‘‘නෙරූදා වැල්ලවත්තේ පදිංචියට පැමිණි කාලයේ දී නගරයේ වූයේ ‘බාල්දි කක්කුස්සි’ යනුවෙන් එකල හඳුන්වනු ලැබූ වැසිකිළි විශේෂයකි.
එය නෙරුදාට නුහුරු නුපුරුදු දෙයක් විය. හැම දිනක ම පාන්දර ශරීර කෘත්‍ය සහා මේ වැසිකිළියට ගිය නෙරූදා දුටුයේ පෙර දින එහි වූ අපද්‍රව්‍යයෙන් හිස් කරනු ලැබූ පිරිසිදු බාල්දියකි.
එය එසේ පිරිසිදු කරන ලද්දේ කවරකු විසින් ද? ඔහු තුළ කුහුලක් හට ගත්තේ ය. ඒ රහස දැනගැනීම සඳහා දිනක් හෙතෙම පාන්දර යාමයේ රැක සිටියේ ය. ඔහු දුටු දෙය නෙරූදාගේ ම බසින් උපුටා දැක්විය යුතු යැයි මම සිතමි.
‘රැය ගෙවී ගාස් යම්තම් එළිය වැටෙද්දී මගේ ගෙදර පිටුපසට වැටී තිබුණු අඩි පාර දිගේ ඇවිදගෙන ආවේ මෙතුවක් මා ලංකාවේ දී දැක තිබූ ලස්සන ම ගැහැනියයි. කළු වන් සුරුවමක් ලෙස ඇය අඩි පාර දිගේ ලැසි ගමනින් පැමිණියා ය.’
මේ සුරූපිනියත් ඇය විසින් කරන්නා වූ අප්‍රසන්න කටයුත්තත් අතර වූ ප්‍රතිවිරෝධතාව නෙරූදා තුළ ඇති කළේ ඉමහත් කම්පනයකි.
‘ඇය බියෙන් හා සැකයෙන් යුතු වන සිවුපාවකු වැන්න. ඇය මා නොදන්නා වෙනත් විචිත්‍ර ලෝකයකින් පැමිණියකි. මට ඇය අමතක කළ නොහැකි විය.’
එතැන් සිට බොහෝ දින ගණනක් නෙරූදා ඇය එන මග රැක සිටියේ ය. ඇය ව අවනත කර ගැනීම සඳහා බොහෝ තෑගි බෝග ඇය එන මගට දැම්මේ ය. එසේ දින ගණනක් ගිය පසු එක් උදයක ඇය ඔහුට අවනත වූවා ය. ඇය ගේ අතින් අල්ලාගෙන ඔහුගේ යහන් ගැබ වෙත කැටුව යාමට ඉඩ දුන්නා ය.
‘මගේ යහන මත වැතිරුණේ දකුණු ඉන්දියාව පුරා වූ කෝවිල්වල මා දැක තිබූ වසර දහස් ගණනක් ඉපැරණි දෙව් පිළිමයකි.’
ඒ කළු වන් කළු රුවැති දෙව් පිළිමයත් මාත් අතර වූ සම්භෝගය මිනිසකු හා පිළිමයක් අතර වූවක් මෙන් හුදෙක් ඒක පාර්ශවික ව්‍යායාමයක් වූ බව ඔහු පවසන්නේ ඒ අහිංසක සක්කිලි ළඳ වරදින් නිදොස් කිරීමට ද? කිසියම් ශුද්ධ වූවස්තුවක් කෙලෙසුවකුගේ පශ්චාත්තාපය වැනි හැඟිමක් මේ විස්තරය කරන නෙරුදාගේ බසට යටි පෙළක් මෙන් පිවිසෙයි.
‘ඇය හිතින් හා කයින් දෙකන් ම මාව පිළිකුල් කළා ය. මම ඇයට දොස් නොකියමි.’ නෙරූදා එසේ පවසන්නේ ආත්ම ශුද්ධිය පතා දෙවියන් ඉදිරියේ සමාව යදින්නෙකු මෙනි.
පෙර දිග අප විසින් කුලවාදය අනුව යමින් සමාජයේ අග්ගිස්සට තල්ලු කර දමා ඇති මිනිස් වර්ගයක උපන් ළඳක් තුළ දේවත්වයක් දැකිය හැක්කේ ද එනිසා ම ඇයට ගරු කළ හැක්කේ ද උත්තම කවියකුට පමණි.
නෙරුදා එවැන්නෙකි.
අයාලේ ගිය සිතක සටහන්: තිස්ස අබේසේකර: පිටු 261 සහ 262: සරසවි ප්‍රකාශකයෝ: 2007
මෙම කෘතිය මා මිලදී ගෙන ඇත්තේ 2007/05/07වන දින ය; එනම් කෘතිය ජනගත කළ දිනයේ ම ය. පළමු වර කියවා අවසන් කර ඇත්තේ 2007/08/24වන දින ය.
කුමන හේතුවක් මත දෙවන වර කියෙව්වා ද යන්න මතකයේ රැඳී නොතිබුණ ද එම කාතිය මා යලිති කියවා අවසන් කර ඇත්තේ 2010/05/06වන දින ය.
පැබ්ලෝ නෙරුදා
එලෙස දෙවරක් ම මෙම කෘතිය කියවා තිබුණ ද මා යට උපුටා දැක්වු කොටස පිළිබඳ මතකයක් වෙසෙසින් මසිත රැඳී නොපැවතිණ. එලෙස උපුටා දැක්වු කොටස තුළ තිස්ස අබේසේකර විසින් උපුටා දක්වන ලද නෙරුදාගේ සටහනත්, ඒ සම්බන්ධයෙන් තිස්ස අබේසේකරගේ පරස්පර අදහසත් පිළිබද මගේ පුද්ගලික අදහස පසුව ලියන්නට ඉඩ තබා නැවතත් වෙනත් කෘතියකින් කොටසක් උපුටා දක්වන්නට අවසර.
‘‘හැම උදයකම පනිට්ටුව පිරිසිදුව තිබිණ. එහි තිබූ දේවල් වලට කුමක් විණිද යන්න ගැන මට නිනව්වක් නොවී ය. එක්තරා උදයක මම වෙනදාට කලින් පාන්දරම අවදි වූයෙමි. එහි සිදුවෙමින් තිබුණ දේ දැක මම විශ්මයට පත්වූයෙමි.
හරියට කළුපාට පිළිමයක් ඇවිදින්නාක් මෙන් මා ලංකාවේ දී දුටු ලස්සනම ගැහැනිය නිවස පිටුපසට පැමිණියාය. ඇය සැඩොල් කුලයේ දෙමළ ස්ත්‍රියකි. ඇය රතු සහ රන්වන් පාටැති ලාබ සාරියක් ඇඳ සිටියා ය. ඇගේ නිරුවත් වළලු කරෙහි බරැති වළලු දමා තිබිණි ඇගේ නාසයෙහි දෙපැත්තෙහි පුංචි රත් පැහැති තිත් දෙකක් දිලිසිනි. ඒවා සාමාන්‍ය ගල් වෙන්නට ඇති. එහෙත් ඔවුනට නම් ඒවා පද්මරාගය. ඇය සාර සුබාවට වැසිකිළිය වෙත ඇවිද ආවේ මා එතන සිටීම මායිම් නොකොට, ඇස් කොනකින්වත් මදෙස නොබලමිණි. අනතුරුව ඇය එතැනින් අතුරුදන් වූයේ අර ජරා පනිට්ටුව හිස මතින් ගෙන දෙවඟනක මෙන් පා තබමිණි. ඇය කෙතෙක් සුන්දර වූවා ද යත් ඇගේ රස්සාව කුමක් වුවත් මට මගේ සිතින් ඇය අයින් කළ නොහැකි විය. කුලෑටි කැලැ සතෙකු මෙන් ඇය වෙනස්ම වූ ලෝකයකට අයත් අමුතුම කෙනෙකු විය.ඉන් පසුව මම ඇය යන මග සාරියක් හෝ යම් පලතුරු කිසිවක් හෝ ඇයට ගැනීම පිණිස තැබුවෙමි. ඇය ඒ දෙසවත් නොබලා පියමන් කර ගියා ය. නිතිපතා සිදුවන එම නීච කාර්ය ඇගේ කළු සුන්දරත්වය විසින්, උපේක්ෂා සහගත රැජිනියක යටහත් පහත්ව ඉටු කරන වතාවක් බවට හරවා ඇත.
එක් උදෑසනක මෙහි කෙළවරක් දැකීමට මම තීරණය කළෙමි. මම ඇගේ මැණික් කටුව දැඩිව ග්‍රහණයට ගෙන ඇගේ ඇස්වලට එබී බැලුවෙමි. ඇය සමග කතා කළ හැකි බසක් නොවීය. සිනහවකින් හෝ තොරව ඇය මා සමග පැමිණි අතර ඉතා සුළු වේලාවක් ඇතුළත මගේ ඇඳ මත නිරුවත් වූවා ය. ඇගේ සිහිනිඟත්, පුපුරන්නටතරම් වන පුන් පියයුරුත්, ඇය දකුණු ඉන්දියාවේ අවුරුදු දහසක් පැරණි පිළිම වලින් එකක් බවට පත් කර ඇත. එය වූ කලී පුරුෂයකු සහ පිළිමයක සම්භෝගයක් විය. ඇය කිසිදු ප්‍රතිචාරයකින් තොරව ඒ මුළු කාලය පුරා ම ඇස් හායි ගා ඇරගෙන සිටියා ය. ඇය මා පිළිකුල් කිරීම නිවැරැදි ය. එය නැවත සිදුවූයේ නැත.
මට මතක මම: පැබ්ලෝ නෙරුදාගේ MEMOIRS හි සිංහල පරිවර්තනය සමන් වික්‍රමාරච්චි: පිටු 146 සහ 147: සරසවි ප්‍රකාශකයෝ: 2022
මෙම කෘතිය මා වෙත ත්‍යාගයක් ලෙස ලැබුණේ 2022/02/14වන දිනය. එනම් එම කෘතිය ජනගත කළ දින ය. එය කියවා අවසන් කළේ 2022/02/19වන දින ය.
සමස්ත කෘතිය ම දෙවතාවක් නොකියවුව ද නෙරුදා ලංකාව පිළිබඳ ලියා ඇති කොටස තෙවතාවක් ම කියෙව්වේ ය. ඒ, තිස්ස අබේසේකරගේ කෘතියෙන් උපුටාගත් කොටස වඩාත් තහවුරු කරගැනීම පිණිස සහ මෙම කෘතියේ ලංකාව පිළිබඳ ලියා ඇති කොටස සහ විශේෂයෙන් ම යට උපුටා දක්වා ඇති කොටස පාදක කරගනිමින් අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ලද ඒ වන විට ප්‍රදර්ශනය වෙමින් පැවති Alborada සිනමා නිර්මාණය පිළිබඳ වැඩි දුරටත් පැහැදිලි කරගැනීම සඳහා ය.
කෙසේ වුව ද සිනමා නිර්මාණය තිරගත වන සමයේ එය නැරඹිමට නොහැකි විය. එහෙත් පසුගිය 25වන දින මරදාන සාමයික කේනද්‍රෙය් දී මෙම සිනමා නිරිමාණය ප්‍රදර්ශනය කෙරිණ; අනතුරුව ඒ පිළිබඳ සංවාදයක් ද පැවතිණ.
මතු ලියැවෙන්නේ අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ලද Alborada සිනමා නිර්මාණය පිළිබඳ මගේ කියවීම ය. යට සඳහන් උපුටන ද්විත්වය ම මෙහි අන්තර්ගත කළේ මෙම ලියවිල්ලට අත්‍යවශ්‍ය පෙරවදනක් ලෙසිනි.
ක්‍රෑර ස්ත්‍රී ධූර්තයා
පැබ්ලෝ නෙරුදා ලෙස ලොව වෙසෙන බහුතරයක් දෙනා හඳුනාගන්නේ විශිෂ්ට කවියකු, කොමියුනිස්ට්වාදියෙකු සහ විප්ලවවාදියෙකු ලෙසිනි. නමුදු මේ මිනිසා තුළ ම ස්ත්‍රී ලෝලියෙකු මතු නොව ක්‍රෑර ස්ත්‍රී ධූර්තයෙකු ද සිටින බව ඔහු විසින් ම පවසා ඇත.
හඳගම සිය Alborada නිර්මාණය සඳහා පාදක කරගන්නේ මේ කවියා තුළ සිටින ස්ත්‍රී ලෝලියා සහ ක්‍රෑර ස්ත්‍රී ධූර්තයා ය. ඒ සඳහා හඳගම අනුභූතිය සපයාගන්නේ ද පැබ්ලෝ නෙරුදා නමැති කවියා, කොමියුනිස්ටාවාදියා සහ විප්ලවවාදියාගේ ම පාපෝච්චාරණයකි. ඔහු ද එය පළමුව කියවාගත්තේ තිස්ස අබේසේකර විසින් රචිත ‘අයාලේ ගිය සිතක සටහන්’ කෘතියෙන් බව හෙතෙම පවසයි.
හඳගම වෙත ගල් සහ මල්
Alborada සිනමා නිර්මාණය තිරගත වීමෙන් ඉක්බිති හඳගම වෙත මල් මෙන් ම ගල් ද එල්ල විය. ගල් එල්ල වූයේ ලෝපතළ: කවියා, කොමියුනිස්ට්වාදියා සහ විප්ලවාදියා ස්ත්‍රි දුෂකයෙකු බවට පත් කර ඇතැයි යන චෝදනාව මත ය. නමුදු මෙසේ චෝදනා කරන අය: චිලී දේශය තුළ ම ඔහු ස්ත්‍රී ධූර්තයෙකු ලෙස හඳුන්වා ඇති බවත්, ඔහු නමින් ගුවන් තොටුපොළක් නම් කරන්නට යෙදුණ මොහොතේ හෙතෙම ස්ත්‍රී ධූර්තයෙකු බැවින් එසේ නොකරන ලෙසත් බල කරමින් එරට විරෝධතා පැවැත්වු බවත්, එය හේතුවෙන් ම එම අදහස හකුළා ගන්නට චිලී දේශයේ බලධාරින්ට සිදුවු බවත් නොදැන සිටියා ද යන්න සැක සහිත ය.
කෙසේ වුව ද හඳගම සිය නිර්මාණය සඳහා පාදක කරගන්නේ පැබ්ලෝ නෙරුදා නමැති: කවියා, කොමියුනිස්ට්වාදියා හෝ විප්ලවවාදියා නොව යටත් විජිත පාලකයන් විසින් මෙරටට එවන ලද කොන්සල්වරයා ය. සිනමා නිර්මාණයේ කොතැනක හෝ ‘‘පැබ්ලෝ’’ (මේ ඔහුගේ නියම නම වන අතර ‘‘නෙරුදා යන කොටස එක් කර ඇත්තේ චෙක් ජාතික කවියෙකු වූ ජාන් නෙරුදාට ගෞරවයක් ලෙසිනි. හඳගම සිය නිර්මාණයේ දී ‘‘පැබ්ලෝ’’ යනුවෙන් පමණක් හඳුන්වන්නට ඇත්තේ ජාන් නෙරුදා නාමයට කැළලක් වන නිසා විය හැකි ය. ) නමැති පුද්ගලයා: කවියෙකු, කොමියුනිස්ට්වාදියෙකු හෝ විප්ලවාදියෙකු ලෙස හඳුන්වා නොමැත. නමුදු සමස්ත නිර්මාණය පුරා ම ස්ත්‍රී ලෝලියෙකු සහ ස්ත්‍රී ධූර්තයෙකු ප්‍රේක්ෂකයන්ට මුණ ගැසේ. ඔහු ‘‘පැබ්ලෝ’’ මිස ‘‘පැබ්ලෝ නෙරුදා’’ නොවීම ද එක් ආකාරයකට ‘‘පැබ්ලෝ නෙරුදා’’ නමැති කවියා, කොමියුනිස්ට්වාදියා සහ විප්ලවවාදියා ඔහු විසින් කරන ලද ස්ත්‍රී දූෂණයෙන් වියුක්ත කිරීමකිය යන්න මගේ කියවීම ය.
කවියා සමග පැමිණි යක්ෂයා
පැබ්ලෝ නමැති රාජ්‍ය තාන්ත්‍රිකයා සිය නිල නිවස වෙත පැමිණෙන මොහොතේ ද ඉන්පසුව නිර්මාණය අවසන ද ගරා යක්ෂ මුහුණක් පිටෙහි බැඳගත් තරුණයෙකු ප්‍රදර්ශනය කිරීමෙන් හඳගම සංකේතවත් කරන්නේ ලොව පතළ: කවියා, කොමියුනිස්ට්වාදියා සහ විප්ලවවාදියා සමග ම යක්ෂයකු ද පැමිණෙන බව යැයි මට හැඟිණ. එය වඩාත් තහවුරු වූයේ අවසන පැබ්ලෝ සිහි විකල්ලෙන් මෙන් ඇවිද යන මොහොතේ ද ඒ ගරා යක්ෂ මුහුණ ප්‍රේක්ෂක ප්‍රජාවට සම්මුඛ කරවන බැවිනි.
පැබ්ලෝ යනු කෙතරම් අමානුෂික පුද්ගලයෙක් ද යන්න පිළිබිඹු කෙරෙන අවස්ථාවක් වන්නේ ඔහුගේ බුරුම පෙම්වතිය කෙරෙහි හෙතෙම දක්වන ක්‍රෑරත්වය යි. එකී ක්‍රෑරත්වයේ කූටප්‍රාප්තිය සටහන් කෙරෙන්නේ ඇය පැබ්ලෝගේ නිවස ඉදිරිපිට එළිමහනේ කිසිදු හව්හරණක් නොමැතිව නිදියන මොහොතේ දී පැබ්ලෝ ඔහුට මෙරට දී හමු වූ පෙම්වතිය, බුරුම පෙම්වතියට රහසේ නිවසට ගෙන්වාගෙන ඇය සමග රමණය කරන මොහොත ය. පැබ්ලෝ නමැති පුද්ගලයා තුළ ලෝකයට ආදරය කරන හදවතක් පැවතිය ද ස්ත්‍රී පාර්ශ්වයට ආදරය කරන හදවතක් නොමැති බව එමගින් වඩ වඩාත්තහවුරු කෙරේ. ඔහු සිය MEMOIRS කෘතියේ ද බුරුම පෙම්වතියගේ සම්ප්‍රාප්තිය සහ නික්ම යාම සඳහන් කරයි. හඳගම එම සිද්ධි දාමය ඔහුගේ පරිකල්පනය ද මුසු කර ඉතා සාර්ථකව ඉදිරිපත් කරයි.
පැබ්ලෝ එම සිද්ධිය ඔහු විසින් රචිත කෘතියේ මේ ආකාරයට සටහන් කර ඇති බව සමන් වික්‍රමාරච්චි විසින් පරිවර්තිත ‘‘මට මතක මම’’ කෘතියේ දි මේ ආකාරයට කියවා ගත හැකි ය.
‘‘හරි අපුරුවට හිරු පායා තිබූ කලෙක වලාකුලක් කඩා වැටුණාක් බඳු අබග්ගයක් සිදු විය. අහසින් කඩාපාත් වුණා සේ මගේ කට සැර බුරුම ආදරිය වු ජොසී බ්ලිස් මගේ නිවස ඉදිරිපිට කඳවුරු බැඳගත්තා ය. ඇය පැමිණ තිබුණේ දුර පිහිටි ඇගේ ම රටේ සිටය. හාල් කියන දේ රැන්ගුන් වල මිසෙක වෙන කොහේවත් වැවෙන්නේ නැතැයි ඇදහූ ලෙසින් ඉන් මල්ලක් පිටේ එල්ලාගෙන පැමිණි ඇය අත අප ප්‍රිය කළ පෝල් රොබින්සන් තැටි සහ රවුමට ඔතාගත් දිග පැදුරක් ද තිබිණි. ඇය ඉදිරිපස දොර අරක් ගෙන මා හමුවීමට එන්නේ කවරෙක් දැයි බලමින් සිටියා ය. කවුරුන් හෝ පැමිණියහොත් ඔවුන් මත කඩාපැන අවමන් කළා ය. ඇගේ දරුණු ඊර්ෂ්‍යාවෙන් ආතුරව මගේ නිවස ගින තබන බවට පාරම්බාමින් සිටින ඇය මට පෙනෙයි. මා බැහැදැකීමට පැමිණි රුවැති යුරේසියානු තරුණියකට ඇය පහර දුන්නා ය.
ඇගේ හැසිරීම නිසංසල වීදියට හිරිහැරයක් සේ සැලකු යටත් විජිත පොලිසිය, මා ඇය නිවස තුළට වැද්ද නොගන්නේ නම් රටෙන් එලවා දැමීමට කටයුතු කරන ලෙස අවවාද කළේ ය. මා කළඹන ඇගේ අසන්තෘෂ්ටික ප්‍රේමයේ සියුමැලි බව සහ ඇය කෙරේ මා තුළ ඇති භීතිය අතරට මැදිව මම පිඩා වින්දෙමි. ඇයට මගේ නිවස තුළට අඩියක් තැබීමට ඉඩ දීමට තරම් මම නිර්භය නොවූයෙමි. ඇය වූ කලී ප්‍රේමයෙන් ආතුර වූ, ඕනැම දෙයක් කළ හැකි විදියේ තැනැත්තියකි.
අවසන එක් දිනෙක ඇය ඉවත්ව යාමට හිත හදාගත්තාය. ඇයත් සමග නැව වෙත එන ලෙස ඇය මට ආයාචනා කළාය. නැව පිටත්වීමට ඔන්න මෙන්න කියා මට වෙරළ වෙත යාමට සිදු විය. ඇය අනෙක් මගින්ගෙන් කැඩී මාවෙත පැමිණියා ය. ශෝකයෙන් සහ ප්‍රේමයෙන් ආතුරව සිටි ඇය මගේ මුහුණ හාදු වලින් වසා ඇගේ කඳුළු වලින් මා වැස්සුවාය. ඇය මගේ අත්, මගේ ඇඳුම, සිපගත්තේ යාතුකර්මයක දී මෙනි. එක්වරම මා නැවැත්වීමට පෙර ඇය ලිස්සා ගොස් මගේ පාවහන් මත ඇද වැටුණාය. ඇය නැගී සිටින විට ඇගේ මුහුණ පුරා මගේ සුදු පැහැති සපත්තු වල හුනු ඔප ද්‍රව්‍ය තැවරී තිබිණි. සදහටම මගෙන් වෙන්වී යන මේ ගමන නොගොසින්, නැවට යන්න හරින්නැයි ඇගෙන් ඉල්ලා සිටීමට මට නොහැක. මගේ හොඳ සිහි කල්පනාව එබන්දක් කිරීමෙන් මා වලකාලීය. එහෙත් මගේ හදවතෙහි ඇති වූ දරුණු කැලල තවමත් මගේම කොටසක් ලෙස පවතී. එකී මැඩගත නොහැකි ශෝකය, සුදු හුනු සලකුනු සහිත ඇගේ මුහුණ දිගේ ගලා ගිය එකි ගොරතර කඳුළු, තවමත් මගේ මතකය තුළ නැවුම් ය.
මට මතක මම: පැබ්ලෝ නෙරුදාගේ MEMOIRS හි සිංහල පරිවර්තනය සමන් වික්‍රමාරච්චි: පිටු 141 සහ 142: සරසවි ප්‍රකාශකයෝ: 2022
හඳගම මෙම සිද්දි දාමය ඉතා සුන්දර, බිහිසුණු, සංවේදී මෙන්ම ශෝකාකුල ලෙස ප්‍රේක්ෂක ප්‍රජාව වෙත ඉදිරිපත් කරන්නට සමත්ව ඇත. එහි දී ඔහු සතු රූපමය භාෂා හැකියාව මැනවින් ප්‍රකට කර ඇත. එමෙන් ම ඔහු සිය පරිකල්පන ශක්තිය ද මැනවින් උපස්තම්භක කරගෙන ඇත. උදාහරණයක් ලෙස නෙරුදා සටහන් නොකරන, එහෙත් සිනමා නිර්මාණයේ දී ජොසී බ්ලිස් අත රැඳි (නිදන පැදුරේ දවටාගෙන රැගෙනවිත් ඇති) කඩුව, ඇය එයින් පැබ්ලෝගේ නිදියහන වටා ඇති මදුරු දැල කපා දැමීම යනාදිය ඉදිරිපත් කළ හැකි ය.
වසලයෙකු නොව සක්කිලියෙකු වූ පැබ්ලෝ
නෙරුදා සිය කෘතියේ එක් තැනෙක මෙලෙස සටහන් කරයි.
‘‘සිනහවකින් හෝ තොරව ඇය මා සමග පැමිණි අතර ඉතා සුළු වේලාවක් ඇතුළත මගේ ඇඳ මත නිරුවත් වූවා ය.’’
මෙම කොටස කියවූ සැණෙන් පාඨක ප්‍රජාවගේ සිත් තුළ මැවෙන චිත්ත රුපය වන්නේ එම සක්කිලි ළඳ සිය කැමැත්තෙන් ම පැමිණ, සිය කැමැත්තෙන් ම නිරුවත් වී ඇති බවයි. නමුදු හඳගම සිය නිර්මාණයේ දී (මෙය ද ඔහුගේ පරිකල්පනය විය හැකි ය) එම සිදුවීම ඊට සපුරා ම වෙනස් ආකාරයකින් ඉදිරිපත් කරයි. එනම් පැබ්ලෝ එසේ ලියූව ද ඔහු කළේ එවැන්නක් නොව සක්කිලි ළඳ කෙරෙහි සිය බලහත්කාරය යොදවා ඇය දූෂණය කළා යන්න ය. ඔවු... මගේ පුද්ගලික හැඟීම ද ඔහු ඇය දූෂණය කළා යන්න ය. මන්ද පැබ්ලෝ නෙරුදා ම එම කොටස අවසන මෙසේ සටහන් කරයි.
‘‘එය වූ කලී පුරුෂයකු සහ පිළිමයක සම්භෝගයක් විය. ඇය කිසිදු ප්‍රතිචාරයකින් තොරව ඒ මුළු කාලය පුරා ම ඇස් හායි ගා ඇරගෙන සිටියා ය. ඇය මා පිළිකුල් කිරීම නිවැරැදි ය. එය නැවත සිදුවූයේ නැත.’’
මෙහි දී යට සඳහන් කළ ‘‘සිනහවකින් හෝ තොරව ඇය මා සමග පැමිණි අතර ඉතා සුළු වේලාවක් ඇතුළත මගේ ඇඳ මත නිරුවත් වූවා ය.’’ යන ප්‍රකාශය සපුරා ම නිෂේධනය කෙරේ. එනම් ඔහු මේ සියල්ල සිදු කළේ ඔහුගෙ පුරුෂ බල පරාක්‍රමය සහ සිවිල් බල පරාක්‍රමය අනිසි ලෙස භාවිත කරමිනි.
සිනමා නිර්මාණය අවසානයේ හඳගම පැබ්ලෝ ඇද දමන තත්ත්වය දැඩි උපහාසාත්මක ය; අපහාසාත්මක ය. එය බුද්ධ දේශනාවේ එන කිසියම් ප්‍රකාශයක් සමග ද සමපාත කළ හැකි ය.
“නජච්චා වසලෝ හෝති නජච්චා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ”
වසල සූත්‍රය
මෙම ගාථාවෙන් කියවෙන්නේ “උපතින් කිසිම පුද්ගලයෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන බවත්, කිසියම් පුද්ගලයෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ ඔහු හෝ ඇය කරන ක්‍රියාවෙන් බවයි.
ඒ අනුව ගත් විට මෙම ගාථාවේ ‘‘වසල’’ යන වදනට ‘‘සක්කිලි’’ යන වදන යෙදුව හොත් පැබ්ලෝ යනු කවුරුන් ද යන්න මැනවින් වටහාගත හැකි ය.
හඳගම සිය නිර්මාණය අවසානයේ මේ සියල්ල සංකේතවත් කර ඇත. ඒ, ඔහු විසින් සක්කිලි ළඳ දූෂණය කිරීමෙන් ඉක්බිති සිය සේවකයා (රත්නෙ අයියා හෙවත් බ්‍රම්පි) පැබ්ලෝගේ වැසිකිළිය බලහත්කාරයෙන් ම පාවිච්චි කළ පසු පැබ්ලෝ අසූචි ශෝධකයා බවට පත්කිරීමෙනි. එනම් ඔහු කළ ක්‍රියාව අනුව ඔහු සක්කිලියෙකු බවට පත්වූ බව ප්‍රකට කිරීමෙනි. සිනමා නිර්මාණයේ කුටප්‍රාප්තිය ලෙස මා දකින්නේ එම දර්ශන පෙළ යි. තව දුරටත් පවසන්නේ නම් ඕනෑම බ්‍රාහ්මණයෙක් තුළ සක්කිලියෙකු සිටින බවත්, අසුරු සැණෙකින් එම සක්කිලියා සමාජයට අනාවරණය වන බවයි.
තිස්ස අබේසේකරගේ පරස්පර ලියවිල්ල
ලිපිය අවසන් කිරීමට පෙර තිස්ස අබේසේකරගේ ලියවිල්ලේ පරස්පර භාවය පිළිබඳව ද වදනක් දෙකක් ලියන්නට අවසර.
‘‘ඒ කළු වන් කළු රුවැති දෙව් පිළිමයත් මාත් අතර වූ සම්භෝගය මිනිසකු හා පිළිමයක් අතර වූවක් මෙන් හුදෙක් ඒක පාර්ශවික ව්‍යායාමයක් වූ බව ඔහු පවසන්නේ ඒ අහිංසක සක්කිලි ළඳ වරදින් නිදොස් කිරීමට ද? කිසියම් ශුද්ධ වූවස්තුවක් කෙලෙසුවකුගේ පශ්චාත්තාපය වැනි හැඟීමක් මේ විස්තරය කරන නෙරුදාගේ බසට යටි පෙළක් මෙන් පිවිසෙයි.’’
‘ඇය හිතින් හා කයින් දෙකන් ම මාව පිළිකුල් කළා ය. මම ඇයට දොස් නොකියමි.’ නෙරූදා එසේ පවසන්නේ ආත්ම ශුද්ධිය පතා දෙවියන් ඉදිරියේ සමාව යදින්නෙකු මෙනි.
මේ ආකාරයට නෙරුදාගේ බලහත්කාරය පිළිබඳ ලියන තිස්ස අබේසේකර ම යළි මෙලෙස සඳහන් කරයි.
‘‘පෙර දිග අප විසින් කුලවාදය අනුව යමින් සමාජයේ අග්ගිස්සට තල්ලු කර දමා ඇති මිනිස් වර්ගයක උපන් ළඳක් තුළ දේවත්වයක් දැකිය හැක්කේ ද එනිසා ම ඇයට ගරු කළ හැක්කේ ද උත්තම කවියකුට පමණි.
නෙරුදා එවැන්නෙකි.’’
පැබ්ලෝ නෙරුදා නමැති ලෝ පතළ කවියා, කොමියුනිස්ට්වාදියා සහ විප්ලවවාදියා කුල පීඩිත, අවිහිංසක ළඳක කෙලෙසීම කෙතරම් දුර්ලභ දේවත්වයක් ද... නෙරුදා යනු එබඳු දුර්ලබ දේවත්වයකින් හෙබි පුරුෂයෙකි. ඒ දේවත්වයේ නිරුවත අනාවරණය කළ හඳගම නිර්මාණකරුවාණනි... ඔබට තුති...!
(කෘති ද්විත්වයෙන් උපුටාගත් කොටස්වල අන්තර්ගතය එපරිද්දෙමිනි)
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/04/02