''වැටුප්, වැඩ කරන වේලාවන් සහ වෙනත් දේ සම්බන්ධයෙන් හාම්පුතුන් සමඟ

ආර්ථික සටන් වැදීමෙන් කම්කරු පන්තිය ස්වයංසිද්ධව දේශපාලනික නොවේ ''  - වී.අයි.ලෙනින්

ගෝටාභය ඇවිත් ගොස් අවුරුද්දකට කිට්ටුය. එහෙත් දේශපාලනය එකම තැනය. නැත. තත්වය දිනෙන් දින තවත් දරුණු අතට හැරෙමින් ඇත.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ තනතුරෙන් නෙරපා හරිනු ලැබීම සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට පත්කරගනු ලැබීම අතර සහසම්බන්ධය මෙන්ම එම දේශපාලන ව්‍යවහාරය ගැඹුරින් කියවා ගැනීමක් මෙතෙක් සිදුවී ඇද්ද යන්න ප්‍රශ්නයකි.අඩුතරමින් එවැනි සාකච්ඡාවකට අතගැසීම වෙනුවට වැඩිවශයෙන් සිදුවෙමින් පවතින්නේ කල්මැරීමේ අටියෙන් ප්‍රභූ පාලන තන්ත්‍රය විසින් වරින්වර කරන ප්‍රකාශන සහ ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් දේශපාලන න්‍යාය පත්‍රයන්හි ප්‍රමුඛ ශීර්ෂපාඨ කරගනු ලැබීමය.

එම අඩුපාඩුව පළමුව ආරම්භවන්නේ 'ගෝටාගෝගම' විරෝධතා ව්‍යාපාරය කෙරෙහි ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සියල්ලම මෙන් දක්වන ලද ආංශික වූ තක්සේරුකිරීම් සමඟය.'ගෝටාගෝගම' ව්‍යාප්තවෙමින් 'මයිනාගෝගම' ඉදිවෙන අතරවාරයේ රටපුරා සාමන්‍ය ජනතාව කිසිදු දේශපාලන පක්ෂයක මෙහෙයවීමකින් තොරව දියත්කරන ලද වීදි විරෝධතා ව්‍යාපාර එක් ස්ථානයකට ගොනුවෙමින් ඓතිහාසික ජූලි මාසයේ නවවෙනිදා (2022)රටක සන්නද්ධ සේනාධිනායකයා සහ ප්‍රධාන අණදෙන නිලධාරියා ඔහුගේ නිල හමුදා නිහඬව බලා සිටියදී සිය නිල නිවසේ පිටුපස දොරෙන් පළායාම පවා ප්‍රධාන දක්ෂිනාංශික දේශපාලන පක්ෂවලට පමණක් නොව වාමාංශික පක්ෂවලටත් තවත් එක් සිද්ධියක් පමණක් බවට පත්වෙමින්  කෙළවර විය.



ජූලි මාසයේ නවවෙනිදා ඓතිහාසික මහජන නැගිටීමේ දේශපාලන අර්ථය වටහාගැනීමේ ඌනතාව වැඩිවශයෙන් ප්‍රදර්ශනය කරන ලද්දේ දක්ෂිණාංශික දේශපාලන බලවේගයන් නොව, ශ්‍රී ලංකාවේ වාමාංශික ප්‍රවණතා නියෝජනය කරන දේශපාලන පක්ෂ විසින් වීම වඩාත් බරපතළ ඛේදවාචකයයි. 'අරගලය' යන පොදු ව්‍යවහාරයෙන් ඓතිහාසිකව ඇති මහජන නැගිටීම අද වනවිට දක්ෂිණාංශිකයන්ගේ ලාභයට ලංසුවීම මගින් පවසන්නේ කුමක්ද?



එකී දේශපාලන අලාභය කල්තබාම සනිටුහන් කෙරුනේ වගකිවයුතු වාමාංශික  පක්ෂ සහ ප්‍රගතිශීලී දේශපාලන සංවිධාන සියල්ලම මෙන් මහජන  'අරගලය' ඉක්මණින් අවසන්විය හැකි තවත් විරෝධතා ව්‍යාපාරයකට ලඝුකරමින් එක්තරා විනෝදයක් ලබන අතරවාරයේ එහි අඩුපාඩු සම්බන්ධයෙන් නිර්වචන ඉදිරිපත් කිරීමට පමණක් සීමාවීමේ පිළිවෙතක් අනුගමනය කරමින්  බලා සිටීමේ පිළිවෙතක් අනුගමනය කිරීමත් සමඟය.

එවැනි පරිසරයක අනියමින් සක්‍රීයවෙමින් තිබුණේ අරගලය පාගාදමනු ලැබීම ඉලක්කය කරගත් රාජපක්ෂවාදී දේශපාලන පක්ෂ සහ සංවිධානවල ප්‍රචාරක ව්‍යාපාරයයි. එක්කෝ එම මහජන නැගිටීම කොළඹ හතේ ඉහල මධ්‍යම පන්තිකයන් විසින් මෙහෙයවනු ලබන අවස්ථාවාදී මෙහෙයුමක් හෝ  එසේත්  නැත්නම්, කුඩුකාරයන් හෝ පාදඩයන් යයි ඔවුන් විසින් විග්‍රහකරනු ලබන 'ලුම්පෙන්' කණ්ඩායම්වලට කෙම්බිමක් වූ ස්ථානයක් හැටියට ඉහත සඳහන් කළ  දේශපාලන කණ්ඩායම් විසින් හඳුන්වන ලද්දේ අරලියගහ මන්දිරයේ සිට පැමිණි මැරයන්ට නොදෙවෙනි වූ සාහසික චේතනාවෙනි. එහි නොවැලැක්විය හැකි ප්‍රතිවිපාකය දැන් ඛේදවාචකයක් බවට පත්වෙමින් පවතින්නේ අපේක්ෂා කල ගතික වෙනස ('සිස්ටම් චේන්ජ්') වෙනුවට පැවැති ජරාජීරණ තත්වය වඩාත් තහවුරු කෙරෙන මර්දනකාරී දේශපාලනයක  සිරවීමක් සිදුවෙමින් පවතින හෙයිනි.

bnjkgyhju

යළිත් ආපසු හැරී බලනවිට ඒවනවිටත් රටපුරා විවිධ මුහුණුවරින් ආරම්භවී තිබුණ මහජන විරෝධතා ව්‍යාපාර එක් තීරණාත්මක අදියරකට සංවිධානගත වෙමින් 2022 මැයි 09 දින සංවිධානාත්මක මට්ටමින් ගාලුමුවදොර පිටියෙන් වේදිකාවට පැමිණියේ පවතින ක්‍රමය කෙරෙහි වූ අවිශ්වාසය සහ පැලැස්තර විසඳුම් මහජන ප්‍රශ්නවලට විසඳුමක් දීමට පාලකයන් අසමත් වූ පරිසරයකයි. එය න්‍යායික වශයෙන් සන්නද්ධ වූ සංවිධානාත්මක විප්ලවකාරී දේශපාලන බලවේගයක මෙහෙයුම නොලද නැගිටීමක් වූ නමුත් එමගින් ඉදිරිපත් කෙරුණ සටන්කාමී ඉල්ලීම් සහ අනුබද්ධ කණ්ඩායම් විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග ඍජුලෙසම ඉච්ඡාභංගත්වයට පත් ජන සමාජයක ස්වභාවය නිරූපණය කෙරෙන අපූරු පැතිකඩක් ප්‍රදර්ශනය කළේය.ගාලුමුවදොර ඉදිකෙරුණ වේදිකාවලින් සහ මහජන කුටිවලින් ප්‍රදර්ශනය කරන ලද්දේ එය එක පන්තියක් නොවන අතරම,ජනවාර්ගික හෝ ආගමික බෙදුම්වලින් තොරව පොදුවේ මහජනතාව මුහුණදී ඇති පීඩාව තුළින් එම නැගිටීම මතුවූ බවයි.එය මහාද්වීප භේදයෙන් තොරව  බොහෝ අසමත් රාජ්‍යයන්හි දියත් කෙරුණ සහ දියත් කෙරෙමින් පවතින මහජන විරෝධතා රැල්ලේ තවත් මුහුණුවරකි.

අරගලයට සිදුවුනේ කුමක්ද? යන්න සම්බන්ධයෙන් බොහෝ ආංශික නිර්වචන කියවන්නට ලැබෙයි. එහෙත් අද වඩාත් වැදගත් ප්‍රශ්නය වී තිබෙන්නේ අරගලය අඩපණවීම හේතුවෙන් සමස්ත සමාජයට මුහුණදීමට සිදුව තිබෙන දැවැන්ත මර්දනකාරී අභියෝගය නොවන්නේද?

හේතුව සහ වගකිවයුත්තන් කවුරුන් වුවද, ‘අරගලය’ අපේක්ෂා නොකළ ස්ථානයකින් ඇනහිට පවතින්නේ දක්ෂිණාංශය ලෙස අප සුලභ වශයෙන් හඳුන්වනු ලබන දේශපාලන කඳවුර තවත් තහවුරු කරමින් බව රහසක් නොවේ.එපරිද්දෙන් අරගලයේ වාසිය (තාවකාලිකව හෝ) දක්ෂිණාංශයට පූජාකිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් කවුරුන්ද?තවද, අරගලය විසිරගිය තත්වයකට පත්වීම කෙරෙහි බල පෑ ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂවල අවස්ථාවාදී  උපාය මාර්ගයන් සැහැල්ලුවෙන් ගත හැකිද? මෙය විකල්ප දේශපාලනයක් කෙරෙහි උනන්දුවක් දක්වන සියලුදෙනාගේ අවධානයට ලක්විය යුතු කාරණයකි.


වම තේරුම්නොගත් දේශපාලනය

zdxfwer

සාපේක්ෂ මට්ටමින් ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම වාමාංශික දේශපාලන පක්ෂ කෙරෙහි දැන් පවතින්නේ අඩු ඡන්දදායක ආකර්ෂණයක් වීම සත්‍යයකි.එහෙත් විශේෂයෙන් දකුණු ඇමෙරිකානු කලාපයේ ආසන්න මැතිවරණ ප්‍රතිපල ගත්විට පෙනීයන වැදගත් කරුණක් වන්නේ සාම්ප්‍රදායික ප්‍රතිසංස්කරණවලින් පලක් නොමැතිබව ප්‍රත්‍යක්ෂවීමත් සමග වාමාංශික හෝ වමට නැඹුරු දේශපාලන බලවේගයන්ට මහජනයාගේ ඇහුන්කන්දීමක් පැවතීමය.



එහෙත් එම කාරණය අතින් ශ්‍රී ලංකාවේ  වමේ ව්‍යාපාරය බෙහෙවින් දුප්පත් වී තිබෙන්නේ එම පක්ෂවල දේශපාලන අවංකභාවය සම්බන්ධයෙන් මහජයාට විශ්වාසයක් නොමැතිවීමය. විශේෂයෙන්ම පැරැණි වමේ ව්‍යාපාරය කෙරෙහි පැවැති මහජන විශ්වාසය එපරිද්දෙන් සෝදාපාළුවට ගොස්  තිබෙන්නේ ඔවුන් ගොවි - කම්කරු පන්තියේ උන්නතියට අදාළ සටන්පාඨ ඊට විකල්ප මාවතක යමින් දක්ෂිණාංශයේ ජයග්‍රහණය වෙනුවෙන් අවස්තාවාදීව පාවිච්චිකරනු ලැබීමේ අපකීර්තිමත් ඉතිහාසය හේතුවෙනි.ඔවුන්ගේ එම ගමන් මාර්ගයේ වෙනසක් නොවූ ආකාරය සනිටුහන් කෙරුණ ඉතා මෑත ක්‍රියාදාමය වන්නේ 'අරගලයේ' දී ඔවුන් හැසිරුණ ආකාරය සහ ඉන් අනතුරුව හැසිරෙමින් සිටින ආකාරයයි. එම හැසිරීමේ නොවැලක්විය හැකි ප්‍රතිවිපාකය වුනේ  වාම පක්ෂ වැඩි වැඩියෙන් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල  කොටසක් බවට පත්වෙමින් භූ දේශපාලන දර්ශනය තුළ වියැකී යාමයි. එම පක්ෂ මහජනයාට පිළිගතහැකි මට්ටමින් විශ්වාසනීය විකල්ප ඉදිරිපත් කිරීමට  නොහැකි තත්වයකට පත්ව සිටීම ඇත්තෙන්ම අවාසනාවන්ත තත්වයකි.


දකුණ එකමුතුවීම

ආණ්ඩුවිරෝධී ජාතිකවාදී  සහ වාමාංශික දහරාවට ඇතුළත්  දේශපාලන පක්ෂ හෝ දේශපාලන සන්ධානයන්හි වේදිකා රැස්වීම් සහ ඔවුන්ගේ ප්‍රකාශන මාධ්‍යයන්හි භාවිතාකෙරෙමින් පවතින එක යෙදුමක් වන්නේ 'අලි - පොහොට්ටු සන්ධානය' යන්නයි. එවැනි දේශපාලනමය සන්ධානගත වීමක් ඇත්නම් එහි සැඟවුන අර්ථය කුමක්ද? ‘අරගලය’ මගින් උගන්වන ලද පාඩම පාලක ප්‍රභූතන්ත්‍රය විසින් මැනැවින් ග්‍රහණය කරගත් බව නොවේද?

බිඳවැටුන රාජපක්ෂ රෙජීමය විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පදවියට අනුප්‍රාප්ත කරගන්නා ලද්දේ ඔවුන්ගේ ආරක්ෂාව සලසාගැනීම සඳහාය යන්න 'අලි - පොහොට්ටු සන්ධාන' කතාව සමඟ බැඳුන දේශපාලන විග්‍රහයයි. එමගින් කියැවෙන්නේ වෙනසක් ඉලක්ක කරගත්  'අරගලය' පෙරට යාමට ඉඩහරින ලද්දේනම්, ඔවුන් දෙපාර්ශ්වයටම පැවැත්මක් නැත යන දේශපාලන පාඩම වෙනත් වචනවලින් විස්තර කිරීමකි.එම දේශපාලන පාඩම මැනැවින් තේරුම්ගත් වික්‍රමසිංහ පාලනය දැන් රාජපක්ෂ කඳවුර ආරක්ෂා කරන අතරවාරයේ සියළු ආකාරයේ නෛතික විධිවිධාන පවා සංශෝධනය කර ගනිමින් මර්දනකාරී මාවතක යමින්  ඔවුන්ගේ පන්තිය පදනම් කරගත් අළුත් රෙජීමයකට පදනම සකස් කරමින් ඇත. අත්‍යවශ්‍ය සේවාවන් ප්‍රකාශයට පත්කරමින්, වැඩ වර්ජන කැඳවනු ලබන වෘත්තීය සමිති නායකයන් දඩයම් කරමින් එහි ආරම්භය ළකුණු කරමින් පවතී. ඇතැමුන් ගෝටාභයගෙන් බලාපොරත්තුවූ හිට්ලර් දැන් ඔහුගේ අනුප්‍රාප්තිකයා තුළින් පණ ලබමින් ඇත.

මෙහිදී තේරුම්ගත යුතුව ඇති බරපතළ කරුණක් වෙයි. එනම් රනිල් වික්‍රමසිංහ එළිපිට මර්දනයක් ගැන කතා නොකරමින් රැඩිකල් ධනේශ්වර ජනප්‍රිය නායකයා බවට පත්වීමට ගෙනයමින් පවතින සැලැස්මයි.



වික්‍රමසිංහ වසර තිහකට ආසන්න කාලයක් නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂයෙන් කැඩීගොස් සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය තුළ ක්‍රියාත්මකවෙමින් සිටින කණ්ඩායමක් නැවත සිය මව් පක්ෂය සමඟ එකතුවීමට යන බවට මාධ්‍ය ඔස්සේ පතුරුවා හරිමින් පවතින  දූෂමාන දේශපාලන තොරතුරු එම සැලැස්මේ එක් කොටසක් වශයෙන් සැලකිය හැකිය. අනිත් අතින් එවැනි එකතුවක් සිදුවීමේ බැරිකමක් නැති අතරම, ඒ  සම්බන්ධයෙන් පැවතුනේ සහ පවතින්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. දැන් එවැන්නක් කල්තබා සිදුවෙන්නේනම්,එය මීළඟ මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණයෙන් අනතුරුව සිදුවෙන්නට තිබුන දෙයක් කල්තබා සිදුවීමක් පමණි. වඩාත් දේශපාලනිකව බලන්නේ නම්, එමගින්  සිදුවෙන්නේත් ප්‍රභූතන්ත්‍රය අපේක්ෂාකරන ''ක්‍රමයේ ශක්තිමත්වීමකි''.



දේශපාලනමය අර්ථයෙන් වමක් ගැන කතාකරන විට අපට අවධානය යොමුකළ හැකිවෙන්නේ අළුතින් හදන වමක් නොව, තිබෙන වම කෙරෙහි   වීම යථාර්ථයයි. ඉතින්, දක්ෂිණාංශයේ ඉහත කී සන්ධානගතවීම හමුවේ දැනට පවතින හෝ එසේත් නැත්නම් තමන් වම යයි පෙනී සිටින දේශපාලන කණ්ඩායම්වල හැසිරීම කුමක්ද?

‘පැරණි’ හෝ ‘නව’ වම වශයෙන් ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තවදුරටත් වර්ගකරනු ලැබීම වමේ පක්ෂවල කල්ක්‍රියාව තරම්ම තවත් අශාස්ත්‍රීය ක්‍රියාවක් වනු ඇත.එහෙත් පසුකර ඇති අවුරුදු ගණන් අනුව පැරණි වාමාංශික දේශපාලන දෙක වන ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නව අභියෝගයට මුහුණදීම සඳහා ඇති සූදානම කුමක්ද? එම පක්ෂ දෙක දැනටමත් සන්ධානගතව සිටින්නේ 'අරගලයට' පරම සතුරු බලවේග සමඟ වීම එක් අතකින් ඔවුන් යළිත්වරක් මහජනයාට කරන සරදමක් වැනිය. ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමේ 'අරගලය' දියත්වීමත් සමඟ එය පාදඩ ජනකොටස්වල එකතුවක්  හැටියට විග්‍රහ කළ විමල් වීරවංශ ඉහත කී වාමාංශික පක්ෂ නියෝජනය වෙන 'උත්තර ලංකා සභාගයේ' නායකයා වෙයි.එහි සෙසු කොටස්කරුවන් වන්නේ කවුරුන්ද?අතුරලියේ රතන හිමි,විමල් වීරවංශ,උදය ගම්මන්පිල සහ ගෙවිඳු කුමාරතුංග ඇතුළු  තවත් අන්ත වර්ගවාදී සංවිධාන සහ පුද්ගල සමූහයකි.

ඔවුන්ගේ ඊළඟ සන්ධානගතවීම පොදු ජන පෙරමුණෙන් ඉවත්වූ දේශපාලනමය වශයෙන් හුදෙකලා වූ ඩලස් අලහප්පෙරුම සහ අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම සමගය. ඔවුන්ගේ දේශපාලන හරය ප්‍රදර්ශනය කරන  හොඳම කෝදුවක් වන්නේ ඔවුන්ගෙන් කිසිවෙක් ගෝටාභය රාජපක්ෂගේ අඩුපාඩු කතාකළත් රාජපක්ෂ ව්‍යාපෘතියේ අසහාය නියමුවා වන මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් කිසිදු විවේචනයක් සිදු නොකිරීමට තරම් ප්‍රවේශම් වීමය. එවැනි දේශපාලන සමාගමක් සමඟ වමේ දේශපාලන පක්ෂයකට යාහැකි දුර කුමක්ද? රාජපක්ෂ රෙජීමයේ සියළු අපරාධ අනුමත කරන ලද එම කණ්ඩායමේ ඊළඟ නවාතැනත් ඔවුන්ගේ පරණ කඳවුරම  බවට දැනටමත් දේශපාලන අනාවැකි පළවී ඇත.මෙයින් පෙන්නුම් කෙරෙන්නේ නැගීඑන පැසිස්ට් පන්නයේ පාලනය ඉදිරියේ වමේ පක්ෂ සිටගෙන සිටින්නේ වැරදි ස්ථානයක බවය.


ජවිපෙ සහ පෙරටුගාමීන්

මේවනවිට ශ්‍රී ලංකාවේ සක්‍රීය වාමාංශික දේශපාලන පක්ෂ දෙක වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. එකම දේශපාලන  ගර්භාෂයක උපන් නිවුන් දරුවන්ට සමාන එම පක්ෂ දෙකේ සටන් උපක්‍රමය වී තිබෙන්නේ වෙන්ව සටන්කොට වෙන්ව ගුටිකෑමද? යන ප්‍රශ්නය නැගීමට සිදු නොවන්නේද?



දේශපාලනයේ ගතික ස්වභාවය හඳුනා ගැනීමකින් තොරව ප්‍රායෝගිකව භාවිතයට ගත නොහැකි න්‍යායික දේශපාලන සූත්‍රයන්හි සිරවීම සහ සතුරාගේ උපාය උපක්‍රම තුළ සිරවීම අතර  දශමයකවත්  වෙනසක් නොපෙනෙයි. ඔවුනොවුන් විවේචනය කරගන්නා අතරවාරයේ පසුගිය කාල වකවානුව පුරාම ඔවුන් ප්‍රදර්ශනය කරමින් සිටින්නේ පළාත් පාලන මැතිවරණ සටන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කොටුවීම මිස අන් කුමක්ද?



1901 තරම් ඈත කාලයක ව්ලදිමීර් ලෙනින් විසින් ස්වකීය දේශපාලන ව්‍යාපාරයේ ප්‍රමුඛතා හඳුනාගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද විග්‍රහයන් ඔවුන්ට අමතක වූ හැටියකි.''කළයුත්තේ කුමක්ද?''(1901-02) කෘතියෙහි ලෙනින් මෙවැනි මග පෙන්වීමක් කරයි.

''වැටුප්, වැඩ කරන වේලාවන් සහ වෙනත් දේ සම්බන්ධයෙන් හාම්පුතුන් සමඟ ආර්ථික සටන් වැදීමෙන් කම්කරු පන්තිය ස්වයංසිද්ධව දේශපාලනික නොවේ ''

ලෙනින්ගේ විග්‍රහය මගින් අදට සිදුකරන මගපෙන්වීම වන්නේ පවතින දේශපාලන යතාර්ථය තේරුම් ගනිමින් ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ විය යුතුය යන්නයි. රනිල්ට ‘රාජපක්ෂ’ ලේබලය අලවමින් හුදෙකලා විරෝධතා ව්‍යාපාරවලට කොටු නොවෙමින් මහජන බලය ගොඩනැගීම සඳහා සංවිධානගත වීමයි.


වමේ මහජන සන්ධානයක්

වමේ ව්‍යාපාරයන්හි කට්ටිවාදී හැසිරීම දේශපාලනමය වශයෙන් මහජන ව්‍යාපාරයන්ට සිදුකර ඇති හානිය අසීමිතිය. දෙවැනි ලෝක මහා යුද්ධයෙන් සහ විශේෂයෙන්ම සෝවියට් සංගමය බිඳ වැටීමෙන් අනතුරුව වාමාංශය මුහුණදී ඇති පිරිහීම තක්සේරු කිරීමක් යුරෝපයේ වාම ව්‍යාපාර මගින් සිදුකරමින් පැවතුණි.එක්සත් රාජධානියේ වාම ව්‍යාපාර අතර සන්ධානයක් ගොඩනගා ගැනීමේ වැඩ පිළිවෙලක් දියත්කරනු ලැබ තිබෙන්නේ එවැනි තේරුම් ගැනීමක් යටතේය. ටෝනි බ්ලෙයාර්ගෙන් අනතුරුව ස්ටාමර් ගේ(Keir Starmer) නායකත්වය යටතේ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය නැවත අන්ත දක්ෂිණාංශයට ගමන් ගැනීමත්, ජෙරමි කෝබින් සමඟ පෙළගැසුන පක්ෂයේ වාම දහරාව පක්ෂය තුළ කොන්කරනු ලැබීමත් සමඟ පක්ෂය තුළ සහ ඉන් පිටස්තර වාම සහ සමාජවාදී කණ්ඩායම් එක්කිරීමට මුලපුරන ලද එම සන්ධානය හඳුන්වනු ලබන්නේ වමේ මහජන සන්ධානය (PAL) යනුවෙනි.

PAL යනු වාම පක්ෂ සහ සංවිධාන ගණනාවක සන්ධානයකි. එහි පරමාර්ථය වන්නේ වාම සංවිධාන අතර සහයෝගීතාවය සහ ඒකාබද්ධ වැඩ කිරීම, සාකච්ඡා කිරීම සහ ප්‍රතිපත්ති සංවර්ධනය ජාලගත කිරීම සහ පෝෂණය කිරීමයි. අවසානයේ සමාජවාදී ආන්ඩුවක් තෝරා පත් කර ගැනීමට සහාය වීමයි. කම්කරු, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී හරිත කණ්ඩායම් ඇතුළු  සියළු  කොන්සර්වේටිව් විරෝධී බලවේග 'ප්‍රගතිශීලී' පෙරමුණක්  කරා එකතුවිය යුතුය යන්න ඔවුන්ගේ මූලික තර්කයයි.ජාතික වශයෙන්,'ප්‍රගතිශීලී' ඡන්දය කොන්සර්වේටිව් ඡන්ද සංඛ්‍යාව අභිබවා යන අතර, එහි ප්‍රතිඵලය  ‘ප්‍රගතිශීලී’ කම්කරු නායකත්වයෙන් යුත් රජයක් බවත් ඔවුහු පෙන්වා දෙති.



ශ්‍රී ලංකාවේ පවතින අභියෝගය වඩාත් දරුණු වූවකි. එම අභියෝගය තේරුම් ගනිමින් සියළු වාමාංශික පක්ෂ සහ ප්‍රගතිශීලී බලවේග අතර එකමුතුවක් ඉක්මණින් සිදුනොවුනොත් සිදුවෙන්නේ වෙන් වෙන්ව වෙඩිකෑමට සිදුවීම හැර අන් කුමක්ද?



upali Gajanayake(උපාලි ගජනායක)
බීබීසී සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්