මා දන්නා කාලයේ සිට දිනෙන් දින ම භාණ්ඩ මිල ඉහළ ගියා මිස පහළ වැටුණු අවස්ථා විරල ය. යම් ආකාරයකින් එසේ පහළ වැටුණේ නම් ඒ ඡංද ගුණ්ඩුවක් ලෙස සහ ඡන්දය අවසන් වූ සැණින් ලබා දෙන තාවකාලික වින්දයක් සඳහා පමණි.

 

ලංකාවට සාපේක්ෂව මෙම ඉහළ යාම සහ පහත වැටීම ඡන්දයට ආසන්නව සහ අවසන් වූ කාල සීමාවට ලෙස සීමා වුව ද සමස්ත ලෝකය දෙස බැලූව ද එදා මෙදා තුර භාණ්ඩ මිල සම මට්ටමක නොපැවතිණ; එදා මෙදා තුර එය ඉහළ ගියා මිස පහළ නොවැටිණ. නමුත් ලෝකයේ බොහෝ රටවල භාණ්ඩ මිල ඉහළ යාමට සාපේක්ෂව සමපාතික මට්ටමකට නොවුණ ද ආදායම ද යම් පමණකට ඉහළ ගියේ ය. ලෝකයේ දියුණු රටවල එසේ වුව ද මෙසිරිලකෙහි එය එසේ නොවිණ. ලෝකයට සාපේක්ෂව ගත් විට මෙසිරිලකෙහි බරපතළ අර්බුදය පැන නැගෙන්නේ එතැනින් ය. එදා මෙදා තුර පාලකයෝ අසමත් වූයේ ද මෙම දෙපාර්ශ්වය සමබර කිරීමේ කර්තව්‍යට ය. එය අනාගතයේ සම බර කරනු ඇතැයි විශ්වාසයක් ද තැබිය නොහැකි ය; එය ධනේශ්වර ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණයකි.

 

හතළිස් වසරකට පෙර සහ අද

8010


උදාහරණයක් ලෙස ගතහොත් කොළඹ ඉපිද, ගම් කිහිපයක ම හැදී වැඩුණු මා නැවත කොළඹට සංක්‍රමණය වන විට (1983) ගංගොඩවිල විජේරාම මංසන්ධියේ සිට පිටකොටුවට බස් ගාස්තුව රුපියල් පහකි. එකල සාමාන්‍ය බත් පිඟානක මිල රුපියල් දොළහත් පහළොවත් අතර විය. කිසියම් රාජ්‍ය ආයතනයක ආපණ ශාලාවක නම් රුපියල් පහක් පමණ විය. ජයර්ධනපුර, කොළඹ සහ කැලණිය යනාදි සරසවිවල පිහිටි ආපණ ශාලාවක නම් සාමාන්‍ය කෑම පිඟානක මිල රුපියල් තුනක්, තුනයි ශත පනහක් පමණ විය. එමෙන් ම එකල කම්කරුවෙකුගේ (පෙදරේරු අත් වැඩකරුවකුගේ) වැටුප රුපියල් තිහකි.

මේ එළඹ තිබෙන්නේ 2023 වසර ය. ඒ අනුව බලන විට මීට හතළිස් වසරකට පෙර තත්ත්වයට සාපේක්ෂව ගත්විට බත් පිඟානක මිල සහ කම්කරුවකුගේ දෛනික වැටුප අතර පරතරය කෙතරම් ද...?

අද ගංගොඩවිල විජේරාම මංසන්ධියේ සිට පිටකොටුවට බස්ගාස්තුව (පසුගිය තිස්වන දින අඩු කළ මිල ගණන් අනුව) රුපියල් අනූ හයකි. ඊට පෙර මෙම දුර ප්‍රමාණය රුපියල් එකසිය නවයකි. සාමාන්‍ය බත් පිඟානක මිල අවම රුපියල් දෙසිය පනහකි. කම්කරුවකුගේ (පෙදරේරු අත් වැඩකරුවකුගේ) දෛනික වැටුප අවම රුපියල් දෙදහස් පන්සියයක් හෝ තුන්දහසකි.

ඒ අනුව ගත් විට එදා මෙදා තුර යට සඳහන් දුර ප්‍රමාණයට අදාළ බස් ගාස්තුව විසි ගුණයකින් ඉහළ ගොස් ඇත. සාමාන්‍ය බත් පිඟානක මිල ද ඊට ආසන්න ය. 1983 වසරට සාපේක්ෂව කම්කරුවකුගේ වැටුප ගණනය කළ හොත් සිය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. ඇතැම් කම්කරු වෘත්තිකයන්ගේ වැටුප මීට වඩා පහළ මට්ටමක පැවතිය හැකි ය. මා මේ දත්ත සපයාගන්නේ ආසන්න ම කම්කරු පාර්ශ්වයෙනි.


මහ පොළොවේ ඇත්ත


මෙම දත්ත අනුව ගත් විට බැලු බැල්මට පෙනෙන්නේ වැටුප් ඉහළ යාමට සාපේක්ෂව ගත්විට භාණ්ඩ මිල ඉහළ යාම පහළ මට්ටමක පවතින බවයි. එනම් කම්කරුවකුගේ වැටුප් ඉහළ යාමට සාපේක්ෂව භාණ්ඩ මිල ඉහළ ගොස් නැති බවයි. නමුත් එය මහපොළොවේ ඇත්ත නොවේ. මිනිසකුගේ දෛනික අව්‍යශතාව යනු බත් පතකට සහ බස්ගාස්තුවට පමණක් සීමා කළ හැකි දෙයක් නොවේ.

වර්තමානයේ කම්කරුවකු දිනකට රුපියල් තුන්දහසක් ඉපයුව ද ඔහු තුන් වේල සඳහා ම හෝටලයකින් ආහාර ලබාගන්නේ නම් ආහාර සඳහා පමණක් අවම රුපියල් 750ක් වැය කළ යුතු ය. ඊට අමතරව දවල තේ, සවස තේ සහ වැඩ අවසන් වූ පසු සුළු ආහාරයක් ගෙන තේ කොප්පයක් (ප්ලේන් ටී) පානය කරන්නේ නම් අවම රුපියල් 400ක් පමණ වැය කළ යුතු ය. එවිට අවම ආහාරයක් ගෙන දවස සැරි කරගන්නට අවම වශයෙන් 1150ක් වැය කළ යුතු ය. ඊට අමතරව අදාළ කම්කරුවා කොතැනක හෝ නිවසක නවාතැන් ගෙන සිටින්නේ නම් ඒ සඳහා තවත් මුදලක් ද, ගමන් ගාස්තු ද දැරිය යුතු ය. අදාළ පුද්ගලයා දුම්පානය කරන්නේ නම් හෝ මත් පැන් පානය කරන්නේ නම් (එවා අත්‍යාවශ්‍ය නැතැයි කිසිවකු තර්ක කළ හැකි ය. නමුත් එය මිනිස් අත්‍යවශ්‍යතා නොවුණ ද අවශ්‍යතා බව එසේ තර්ක කරනවුන් අවබෝධ කරගත යුතු ය.) ඒ සඳහා ද කිසියම් මුදලක් වැය කළ යුතු ය.

 

සාමාන්‍ය පවුලක ජීවන වියද ම දෙස අවධානය යොමු කළ විට තිදෙනෙකුගෙන් සමන්විත පවුලක දෛනික ආහාර වියදම ද 1000ක් හෝ 1500ක් පමණ විය හැකි ය. ඒ ආහාර වියදම පමණි. ඒ හැර ප්‍රවාහන ගාස්තු, පාසල් වියදම්, ජලය සහ විදුලි බිල යනාදිය ගත් විට අවම දෛනික වියදම සඳහා රුපියල් 2500ක් පමණ වෙන් කළ යුතු ය. ඊට අමතරව බොහෝ පිරිස් වෙසෙන්නේ කුලී නිවාසවල ය. ඒ සඳහා ද මසකට අවම රුපියල් 30,000ක් පමණ වෙන් කළ යුතු ය. එසේ ගණනය කළ ද අවම වශයෙන් තිදෙනෙකුගෙන් යුත් පවුලක් අවම පහසුකම් යටතේ මාසයක් තුන්වේල යාන්තමට පිරිමසා ගැනීම සඳහා අවම ලක්ෂයක් පමණ වැය කළ යුතු ය. එහෙත් මෙසිරිලකෙහි වෙසන පවුල් අතුරෙන් පවුල් කීයකට මෙම ආදායම ලැබෙනු ඇති ද...? මීට අමතරව රෝග පීඩා යනාදියට, මළ ගෙයක්, මගුල් ගෙයක් යනාදියට වියදම් කිරීමට ද යම් මුදලක් අවශ්‍ය ය. එහෙත් මේ සියලු වියදම් දැරීමට තරම් ආදායමක් ලැබෙන්නේ මෙසිරිලකෙහි වෙසන පවුල් අතුරෙන් කීයෙන් කී දෙනෙකුට ද...?

 

පරිභෝජනවාදියෝ සහ වම්මු


මෙය එදා මෙදා තුර නොවිසඳූ අනාගතයේ ද විසඳිය හැකි යැයි සිතිය නොහැකි තරමේ ගැටලුවකි. එය: සමාජවාදී, ධනවාදී හෝ නව ලිබරල්වාදි යන ඕනැම ක්‍රමයක් තුළ සිදු කළ හැකි නම් එය උදාර කටයුත්තකි. නමුදු එසේ කළ හැකි ද...? එම පැනය සඳහා ඔවු, හෝ බැහැ යනුවෙන් මට පුද්ගලිකව පිළිතුරු සැපයිය නොහැකි ය. මන්ද අධි පරිභෝජනවාදයට මෙන් ම පරිභෝජනවාදයට ‍එරෙහිව ද කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරන වමේ යැයි කියාගන්නා පිරිස් ද මේ වන විට අධිපරිභෝජනවාදින් බවට පත්වී හමාර ය.

ඇතැම් වාමාංශික නායකයෝ, වාමාංශික ක්‍රියාධරයෝ, සිවිල් ක්‍රියාධරයෝ (වෙසෙසින් ම මේ වන විට දිනපතාම උද්ඝෝෂණ කරන, ඕනෑම කරුණකට විරෝධතා දක්වන) යනාදි සියලු දෙනා ද මේ පරිභෝජනවාදයේ ගිලී සිටිති. මේ ආකාරයට පරිභෝජනවාදයට විරෝධය දක්වන යට කී අය අඳින ඇදුම්, පරිභෝජනය කරන ජංගම දුරකතන, ලැප්ටොප්, අයි පෑඩ් මතු නොව වෙනත් බොහෝ අධි තාක්ෂණික භාණ්ඩවල මිල ගණන් සලකා බැලු විට ඔවුන් එම භාණ්ඩ මිලදී ගෙන ඇත්තේ කෙසේ ද, ඒ භාණ්ඩ නඩත්තු කරන්නේ කෙසේ ද යන්න පවා ගැටලුවකි. මේ යට කී ඇතැම් අය අඳින කමිසයක අවම මිල රුපියල් හත් දහසත් දස දහසත් අතර ය. දුරකතනයක වටිනාකම අවම හැත්තැ දහසක් ලක්ෂයක් අතර ය.


කුහක සහ මුග්ධ විවේචන


මේ ආකාරයේ අධි පරිභොජනවාදී ඇතැම් සංවිධාන, දේශපාලන ව්‍යාපාර සහ පුද්ගලයෝ කිසියම් භාණ්ඩයක මිල ඉහළ ගිය සැණින් එය දැඩි විවේචනයට ලක් කරන අතර ම යම් ආකාරයකින් එම භාණ්යේ මිල යම් මට්ටමකින් පහළ බැස්ස විට එය ද විවේචනය කරයි. ඒ 2017 වසරේ පෙට්‍රල් ලීටරයක මිල, ගෑස් සිලින්ඩරයක මිල, බස් ගාස්තුව, කිරි පිටි මිල සමග සංසන්දනය කිරීමෙනි. මේ දිනවල සමාජ මාධ්‍ය පුරා එබඳු පොස්ට් දක්නට ඇත.

 

339155744 2281675352014018 5873400689720677281 n

සමාජ මාධ්‍ය පොස්ටුවක්

 

2020 දක්වා පැවති භාණ්ඩ මිලට සාපේක්ෂව ගත් විට මෙම වසර කිහිපය ඇතුළත එම භාණ්ඩ විශාල වශයෙන් මිල ඉහළ ගිය බව සත්‍ය ය. නමුදු ඊට සාපේක්ෂව ගත් විට මේ වන විට යම් යම් භාණ්ඩ අවම ප්‍රමාණයකින් හෝ මිල පළල බසිමින් පවතී. එසේ වුව ද ඇතැම් අවස්ථාවාදි, නරුම සහ කුහක පිරිස් (සමහර පොහොට්ටු පාර්ශවිකයෝ ද ඇතුළුව) 2015 වසරේ යහපාලන ආණ්ඩු සමයේ පැවති මිල ගණන් සමග සංසන්දනය කර මේ 2023 වසරේ ද 2015 සිට 2020 දක්වා තිබූ මිලට ම භාණ්ඩ මිල අඩු කරන්නැයි ඉල්ලා සිටිති.

ලිපිය ආරම්භයේ සිට මධ්‍යය දක්වා ම 1983 වසරේ සිට මේ දක්වා වූ භාණ්ඩ මිල ඉහළ යාම සහ වැටුප් ඉහළ යාම ඇතුළු අනෙකුත් කරුණු ඉදිරිපත් කළේ මෙම සිද්ධිය පිළිබඳ යළි අවධාරණය කිරීම සඳහා ය. එනම් දැන් ලෝක වෙළඳ පොළෙහි කොතැනක හෝ කිසිම භාණ්ඩයක් 2015 සිට 2019 සහ 2020 දක්වා කාලය තුළ තිබු මිලට ලබාගත නොහැකි බව අවධාරණය කිරීම සඳහා ය.

 

සරලව පවසන්නේ නම් 2022 වසරේ මෙම කාලවකවානුවේ රටේ ජනතාව විඳි දුක් පීඩාවලට සාපේක්ෂව (එකල විඳි සියලු දුක්පීඩා මෙහි වෙන වෙන ම සටහන් නොකළ ද ඒ සියල්ලට රාජපක්ෂ සනුහරය වග විය යුතු බව පවසන අතර ම) මේ වන විට එය යම් මට්ටමකට හෝ අවම වී පවතී. එය පරිපුර්ණ තත්ත්වයක් නොවන බව ද පැවසිය යුතු ය. නමුදු රටක ජනතාවක් ලෙස අප කල්පනා කළ යුත්තේ පැවති අයහපත් වාතාවරණයට වඩා පවතින අවම යහපත් තත්ත්වය යටතේ හෝ යම් යම් සීමාවලට යටත්ව තම ජීවන පැවැත්ම සකසාගත යුතු බවයි. එය අරගලය අත්හැරීමක් හෝ ජන අයිතිය ඉල්ලා සටන් කිරීම අතහැර යාමක් නොවේ. රාජපක්ෂ සනුහරය විසින් කාබාසිනිය කරන ලද රටේ ආර්ථිකය යම් පමණකට හෝ ඔසවා තැබිය හැකි තත්ත්වයකට ඉඩ සැලසීම ය.

 

රට හදන අපේ විරුවා

 

thumbs b c 8baa5d0d7940ff522c2ee24ff17ee53d

‘‘ඔවු ඉතිං අපි එදා ඉඳලම කරේ ඕකනෙ’’ යැයි දැන් කිසිවකු විමසිය හැකි ය. එය ඇත්තකි. නමුත් රාජපක්ෂ සනුහරය වෙත තව දුරටත් මේ රටේ පාලන බලය අත්පත් කර දුනහොත් රටට මෙවන් අයහපත් වාතාවරණයක් උදාවන බව මෙම ලියුම්කරු ප්‍රමුඛ බොහෝ පිරිස් පැවසුහ. එහෙත් මේ රටේ බහුතරයක් එය පයිසයකට මායිම් නොකර ‘‘රට හදන අපේ විරුවා’’ ජනාධිපති පුටුවේ හින්දුවේ ය. ඔහුට සට්ටැඹිකම් කරමින් පාර්ලිමේන්තුවට ගාල් වූ (වියත් මග ඇතුළු) පිරිස ‘‘රට හදන අපේ විරුවා’’ට තුනෙන් දෙකේ බලයක් ද අත්පත් කර දුන්හ. ඔහුගේ හැදිල්ල 2021 අවසන් වන විට හොඳින් ම පැහැදිලි විය. එදා ලී ක්වාන් යූ සහ මහතිර් මොහොමඩ් ගැන කටමැත දෙඩවූ ජාතියේ පංචායුධය අද ඇටිකෙහෙල් කැ උගුඩුවකු සේ තැන් තැන්වල ගොස් විවිධ කතන්දර කියමින් යළි රටේ ජනතාව ගොනාට අන්දන්නට කැසකවයි. එවන් තත්ත්වයක් තුළ මේ වන විට ලැබෙමින් පවතින සහන සහන නොවේ යැයි ඒත්තු ගන්වන්නට ද පෙළ ගැසෙමින් සිටියි. එහෙත් අප කල්පනා කළ යුත්තේ ලද දෙයින් සතුටු වීම නොවුණ ද රට පැවති තත්ත්වයට වඩා අඩියක් හෝ ඉදිරියට ගන්නට මේවන විට හැකි වී තිබීම පිළිබඳව ය.

 
එසේ කල්පනා නොකර 2015 සිට 2019 දක්වා වු කාලය තුළ රටේ පැවති භාණ්ඩ මිලට ම අද දින ද භාණ්ඩ ඉල්ලා සිටීම නොවේ. ඊට සාපේක්ෂව අද මිල ගණන් සංසන්දනය කර බැලීම ය (ඒ සමග ම එදාට සාපේක්ෂව වැටුප් වර්ධනය නොවී ඇති බව ද සඳහන් කළ යුතු ය.); ඒ පිළිබඳ සාධනීය අදහස් දැක්වීම ය. එසේ නොවුණ හොත් මේ මුග්ධ අදහස් දක්වන්නෝ 2030 වසරේ දී ද 2015 සිට 2019 දක්වා කාලය තුළ පැවති මිලට ම භාණ්ඩ ඉල්ලා සිටිනවා සිකුරු ය. එහෙත් එසේ පවසන අය යළි තමන්ගේ අතීතයට මඳක් එබි බලන්න. එවිට වර්තමානය පිළිබඳ යම් සහනදායි සිතුවිල්ලක් පහළ වනු නියත ය. එසේ නොවන යමෙක් සිටී නම් ඔවුන් හුදු අවස්ථාවාදින් පමණි; ඔවුන් අවැසි වන්නේ හැකි තාක් දුරට රට තුළ ප්‍රශ්න පැවතීම ය. එනම් එදා මෙන් ම අදත් රුපියල් 117ට පෙට්‍රල් ඉල්ලා උද්ඝෝෂණය කිරීම ය. එය තව දුරටත් වලංගු නොවන සටන් පාඨයකි. එබඳු අනෙක් සටන් පාඨ පිළිබඳ අදහස ද එය ම ය.

මෙම ලිපිය අවසන් කිරීමට පෙර තවත් යමක් ලිවිය යුතු ය. එනම් මෙය කියවන හෝ මෙබඳු ලිපියක් අසවලා ලියා ඇතැයි දැනගත් සැණින් ‘‘ආ දැන් ඌ රනිල්ට කඩේ යනවා’’ යැයි පවසන, සිතන අදහස් දක්වන අය සිටිත් නම් ඒ අය තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න. ඒ පිළිබඳ කිසිදු අමනාපයක් නොමැත. එහෙත් මා කිසිවකුට කඩේ යන්නේ ද නැත. එසේ පවසන අය කිසිවකුට හෝ කඩේ යනවාදැයි මම නොදනිමි.



jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

2023/04/05

 
JW
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්