අල්ලස් හෝ දුෂණ හෝ පිලිබඳ ප්‍රශ්න ඉදිරිපත් කරන තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීමට / ඔවුන් පීඩාවට පත් කිරීමට

නව දුෂණ විරෝධී පනත මගින් නව වරදක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඇතැම් යහපත් අදහස් ඇති පුරවැසියෝ කනස්සල්ලට පත්ව සිටිති. ඔවුනට අවශ්‍ය වී ඇත්තේ දුෂණ විරෝධී පනතේ පහත දැක්වෙන 119 වැනි ඡේදය ඉවත් කිරීමටය.

 

119. එබඳු චෝදනාවක් අසත්‍ය විය හැකි බව හෝ එබඳු චෝදනාවක් මෙම පනත යටතේ වරදක් ලෙස නොසලකන බව විශ්වාස කිරීමට හේතු සහිතව හෝ දැන දැනම 43 වැනි ඡේදය යටතේ කොමිසමට ඉදිරිපත් කරනු ලබන චෝදනාවක් හෝ ඕනෑම තොරතුරක් හෝ සම්බන්ධයෙන් එය ඉදිරිපත් කරන ඕනෑම තැනැත්තකු මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් වැරදිකරු කළ හැකි අතර රුපියල් ලක්ෂ දහයක් නොඉක්මවන දඩයකට හෝ වසර දහයක් නොඉක්මවන සිර දඬුවමකට හෝ එබඳු දඩයක් සහ සිර දඬුවමක් යන දෙකට ම හෝ යටත් කළ හැකි වන අතර ඊට අමතර වශයෙන් උසාවිය සුදුසු යයි සිතන ප්‍රමාණයේ වන්දි මුදලක් එම චෝදනාව එල්ල  කළ තැනැත්තා වෙත ගෙවීමට ද වගකීමෙන් බැඳී සිටිනු ඇත.


අලුත් දෙයක් නොවේ

ඔවුන් තේරුම් ගෙන නැත්තේ මෙය අලුත් වරදක් නොවන බව යි. ඔවුන් ඉල්ලා සිටින්නේ අල්ලස් හෝ දුෂණ සම්බන්ධයෙන් බොරු චෝදනා කිරීම පිලිබඳ දැනට නීති පොතේ ඇති වරද ඉවත් කිරීමයි. වර්තමාන නීතිය යටතේ 119 ඡේදයට සම්පුර්ණයෙන් ම පාහේ සමාන වූ වරදක් අර්ථ දක්වා තිබේ.

 

Bribery Commission

 

21. එබඳු චෝදනාවක් අසත්‍ය විය හැකි බව හෝ එබඳු චෝදනාවක් සත්‍යයෙන් තොර බව විශ්වාස කිරීමට හේතු සහිතව හෝ දැන දැනම 4 වැනි ඡේදය යටතේ කොමිසමට ඉදිරිපත් කරනු ලබන චෝදනාවක් හෝ ඕනෑම තොරතුරක් හෝ සම්බන්ධයෙන් එය ඉදිරිපත් කරන ඕනෑම තැනැත්තකු මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් වැරදිකරු කළ හැකි අතර වසර දහයක් නොඉක්මවන සිර දඬුවමකට හෝ රුපියල් ලක්ෂ දෙකක් නොඉක්මවන දඩයකට හෝ එබඳු සිර දඬුවමක් සහ දඩයක් යන දෙකට ම හෝ යටත් කළ හැකි වන අතර ඊට අමතර වශයෙන් උසාවිය සුදුසු යයි සිතන ප්‍රමාණයේ වන්දි මුදලක් එම චෝදනාව එල්ල කළ තැනැත්තා වෙත ගෙවීමට ද වගකීමෙන් බැඳී සිටිනු ඇත.



ඡේද දෙකෙහි ම ක්‍රියාකාරී වගන්ති සමාන ය. ‘එම චෝදනා අසත්‍ය විය හැකි බව දැන’ සහ ‘එම චෝදනා සත්‍ය නොවන බව / මෙම පනත යටතේ වරදක් නොවන බව විශ්වාස කිරීමට හේතු ඇතිව’ වශයෙනි. නඩුව ඉදිරිපත් කළ හැක්කේ කාට ද (කොමිසම ) සහ නඩු අසන්නේ කවුද ( මහේස්ත්‍රාත් ) යන කරුණු වල ද වෙනසක් නැත. දඩය වෙනස් ය. 1994 පනතේ පැවති ලක්ෂ දෙකක උපරිම දඩ සීමාව ලක්ෂ දහයක් දක්වා පස් ගුණයකින් වැඩි කොට ඇත. වන්දි ගෙවීමේ උපාංගය මෙන් ම, සිර දඬුවම් උපාංගයද සමාන ය.

දඩය ඉතා ඉහළ බවට විවාදයක් නැති නම් (කිසිදු විරෝධතාවක ඒ පිලිබඳ සාක්ෂි නැත) මෙහි තේරුම නම් දැනට වරදක්ව පවතින බොරු චෝදනා කිරීම වරදක් නොවන තත්ත්වයක් ඇති කිරීමයි.


ලබා දීමට අවශ්‍ය සංඥාව කුමක් ද?    

ඇත්තට ම අපට අවශ්‍ය බොරු චෝදනා කිරීමට ඇති සියලු තහංචි ඉවත් කිරීමට ද?

 

bribery

දුෂණය මගින් සිදුකරන හානි බරපතළ ය. එමගින් ක්‍රමය පිලිබඳ විශ්වාසය විනාශ කරයි. බොරු චෝදනා මගින් සිදුකරන හානිය ද ඒ හා සමාන ය. ඊට අමතරව, ප්‍රසම්පාදනය වැනි කරුණුවල දී, යම් පාර්ශවයක් ප්‍රකෝප කරන ආකාරයේ තීරණ ගත යුතු අය විසින් තීරණ ප්‍රමාද කිරීමට පෙළඹවීමක් ද එමගින් සිදුවිය හැකි ය.



කිසිදු තීරණයක් නොගන්නා විට කිසිදු චෝදනාවක් එල්ල වන්නේ නැත. බොරු චෝදනා එල්ල කරන උදවියට පූර්ණ නිදහසක් දීමට ව්‍යවස්ථාදායකය පියවර ගෙන ඇති විට අවදානමක් ගන්නේ කුමටද?  නිලධාරියකුට එරෙහිව බොරු චෝදනාවක් එල්ල කළ විට සහ බොරු චෝදනා එල්ල කිරීම වරදක් වන තත්ත්වය ඉවත්කොට ඇති විට නිලධාරියාට සිදුවන්නේ තමන් ගැන තමන්ට ම බලා ගැනීමට ය. තිබෙන එක ම ප්‍රතිකර්මය වන්නේ දිස්ත්‍රික් උසාවියේ සිවිල් නඩුවක් පවරා වන්දි ඉල්ලා සිටීම පමණකි.

මා සැක කරන ආකාරයට, 21 වැනි ඡේදය කිසි විටෙක භාවිතා කොට නැතත්, එය ඉවත් කිරීමෙන් සංඥාවක් ලබා දෙයි. එය හොඳ සංඥාවක් නොවේ.
අවභාවිතා කිරීමට ඉඩකඩ තිබේද?  

මෙහි සමපේක්ෂණය වන්නේ “සත්‍ය පැමිණිලි ඉදිරිපත් කරන අයට නඩු පවරා හිරිහැර කරනු ඇත. නඩු විභාගයක් අවසානයේ ඔවුන්ට තම නිවැරදිභාවය තහවුරු කළ හැකි වුව ද, දුෂණ විය හැකි දේ හෙලිකිරීම නිසා ඔවුන්ට මුදල් සහ වෙනත් පාඩු විඳින්නට සිදුවනු ඇත” යන්නයි.

සමපේක්ෂණයක් අවශ්‍ය වන්නේ නැත. 1994 සිට දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ (සමහර විට ඊට වැඩි කලක්) අල්ලස් හෝ දුෂණ හෝ සම්බන්ධයෙන් බොරු චෝදනා කිරීම වරදක් ලෙස නීති පොත්වල තිබිණි. 21 වැනි ඡේදය යටතේ නඩු පැවරීමට විමර්ශන කොමිසම කී වතාවක් ක්‍රියා කළේද? අපරාධ නඩු පැවරීමට පුද්ගලයින්ට බලයක් නැති බවද මෙහිදී සිහි තබා ගත යුතුය.

 

67

තිලාන් විජේසිංහ

 

ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති තිලාන් විජේසිංහ මහතාට එරෙහිව දැන් අපකීර්තියට පත්ව සිටින රජයේ ඉහල නිලධාරියකු බොරු චෝදනාවක් එල්ල කල බව මම දනිමි. අධිකරණයෙන් සාක්ෂි විභාග කිරීමෙන් පසු විජේසිංහ මහතා සම්පුර්ණයෙන් නිදහස් කරනු ලැබීය. නමුත් ඒ මහතාට වුනු අසාධාරණයට විරුද්ධව වර්තමාන පනතේ 21 ඡේදය යටතේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු නොලැබී ය.



නීතිපති දෙපාර්තමේන්තුවේ අපක්ෂපාතීභාවය පිළිබඳව කෙනෙකුට ප්‍රශ්න තිබිය හැකි ය. ආණ්ඩුවේ නීතිඥයා වීම සහ නඩු පවරන්නාගේ අභිමතය අපක්ෂපාතී ලෙස භාවිතා කිරීම අවශ්‍යයෙන් ම එකිනෙක ගැළපෙන භූමිකා නොවේ. ස්වාධීන රාජ්‍ය චෝදක කාර්යාලයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටින්නේ ඒ හේතුවෙනි.

එසේ වුව ද, 21 ඡේදය යටතේ නඩු පැවරීම කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව නොවේ. එය සිදු කරන්නේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය මගින් ස්ථාපිත කරනු ලබන ස්වාධීන ආයතනයක් විසිනි. 20 වැනි සංශෝධනය මගින් සිදුකළ ආකාරයට එය ජනාධිපතිගේ හිතමිත්‍රාදීන් ගෙන් පුරවා නොමැති තාක් කල්, කොමිසමට ලැදියාවන්ගේ ගැටුමක් ඇතිවන්නේ නැත.

එලෙස නඩු පැවරීම් කරන්නේ බලයේ සිටින, පළිගැනීමේ චේතනාවෙන් යුතු තැනැත්තකු විසින් නොව ස්වාධීන කොමිසමක් විසිනි. එමෙන් ම, තීන්දුව දෙන්නේ, පළිගැනීමේ චේතනාව ඇති තැනැත්තකු හෝ කොමිසම හෝ විසින් නොවේ. එය කරන්නේ මහේස්ත්‍රාත්වරයා ය.

මහේස්ත්‍රාත්වරයා, ස්වාධීන කොමිසන් සභාව, කොමිසමේ සාමාජිකයින් පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කොට ඇති ක්‍රියාවලිය, සහ අදාළ නීති මගින් පනවා ඇති ක්‍රියාවලිය ආදිය ගැන විවේචකයින්ට විශ්වාසය තැබිය නොහැකි නම්, නව පනතේ 119 ඡේදයට වඩා විශාල ප්‍රශ්නයක් ඔවුනට ඇත. ස්වාධීන කොමිසන් සභා, අධිකරණ පද්ධතිය, සහ නීතිය ගැන ඔවුනට කිසිදු විශ්වාසයක් නැත්නම් ෛනතික හෝ වෙනත් ප්‍රතිසංස්කරණ ගැන විවාද කිරීමෙන් පලක් නැත. ඔවුනට ඉතිරිවන තාර්කික විකල්පයන් වන්නේ විප්ලවයක් කිරීම හෝ විදෙස්ගත වීම පමණි.    


Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

.

 

Anida

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්