දකුණේ අරගලයට අතෑරුණු උතුරේ අරගලය ස්වභාවය පෙන්වා දීම අරභයා සෙබමාලෛ අම්බුරාසා පියනම විසින් සිය මිතුරෙකැයි පරිකල්පනය කළ
ගාලුමුවදොර අරගල භූමියේ රැඳමින් සිටි ‘ආරියසිංහ’ නම් ලත් සිංහලයා සහෘදව ආමන්ත්‍රණය කෙරෙමින් අඛන්ඩව ලියැවුණු ලියමන් මිටියක් එක මිටට ගත් ‘හිතවත් ආරියසිංහ වෙත’ කෘතිය ජනගත කිරීම අරභයා වන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය එළැඹෙන අප්‍රේල් 28වැනි දින කොළඹ ජාතික පුස්තකාලසේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත.
දෙමළ, සිංහල සහ ඉංග්‍රීසී භාෂා ත්‍රිත්වයෙන් ම පළකෙරෙන කෘතිය සිංහලට නඟා ඇත්තේ කෘතහස්ත පරිවර්ථකයකු වන වන චිරකාලීන අප මිත්‍ර සාමින්දන් විමල් ය.
‘ජීවධරණි සංඝය’ විසින් කෘතිය අරභයා ඇතිකෙරෙන්නට නියමිත සංවාදයට මුලපුරනු වස් කෘතියේ උත්පාදක සෙබමාලෛ අම්බුරාසා පියනම මෙන් ම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ද, සිවලිංගම් අනූ විසින් සිංහලට නැගුණු ‘මතක වන්නිය’ හරහා සිංහල සමාජය හඳුනාගත් එස්. කරුණාහරන් ද ‘ආරියසිංහ සභාව’ ආමන්ත්‍රණය කිරීමට නියමිත ය.
එමෙන් ම ජයතිලක බණ්ඩාර, ඇන්ටන් ජයනන්ද පියනම, ඉන්දිකා උපමාලි, ආදිත්‍ය ප්‍රනාන්දු සහ නදික වැලගොඩපොළ, දිනූපා කෝදාගොඩ, ජිතේන්ද්‍ර විද්‍යාපති ඇතුළත් ‘තීව්‍ර’ කණ්ඩායම මෙන්ම උතුරුකරයෙන් පැමිණෙන සංගීතවේදී කේ. මහින්දකුමාර් ඇතුළු කලාකරුවන් කිහිපදෙනෙක්ද සිය නිර්මාණවලින් සභාව ආමන්ත්‍රණය කිරීමට නියමිතව ඇත.
මෙම කෘතියේදී අම්බුරාසා පියනම ඊට එළඹෙන්නේ, එනම් ලියමනකින් ආරියසිංහයන් හා පුරා කියා අමතන්නේ 2022 වසරේ සිංහල සහ හින්දු අලුත් අවුරුදු දා ලෙස සැළකුණු අප්‍රේල් 14 වැනි දින ය. ණයට අවුරුදු කන අයි.එම්.එෆ්. ප්‍රීණනය තුළ වසරකට මත්තේ ගත කළ දුක්ඛිත මෙන්ම අරගලීය මොහොත දකුණේ බහුතරයකට මේ වන විටත් අමතකව යමින් තිබේ.
අම්බුරාසා පියනම සංඛේතීය සිංහල-බෞද්ධයා හෙවත් ආරියසිංහ වෙත මේ ලියන්නේ නො විමසා ම අමතක කර දැමුණු ස්වකීය ජීවන ඉතිහාසය ගැන ය. නමුත් ලියුං කරදහිකරුවා ස්වකීය මිත්‍ර ආරියසිංහ අමතන්නේ අතිශය හෘදයාගම ස්වරයකිනි. තමන්ව ඔරිජිනල නමින් ම හඳුන්වා දෙන ලියමන්කරු ‘සුවෙන් ද ඔබ’ යැයි ආරියසිංහගෙන් අස යි. එසේ විමසීම ලියමන් ලිවීමේ චිරප්‍රකට ආකෘතිය මෙනෙහි කරන්නකි. මිතුයකුට ලියන්නේ නම් ලියමන් ආකෘතිය තුළ එසේ ඇසිය යුතු ය. නමුත් එසේ විමසීම කෙතරම් යෝග්‍ය වන්නේදැයි ලියමන්කරුවා ආරම්භයේ ම ප්‍රශ්න කරගනියි. මුළු රටම අඳුරේ සහ කුසගින්නේ සිටින විට සුවෙන්ද යැයි විමසීම අපහසුවක් ඇති කෙරෙන්නට ඉඩ ඇතැයි ඔහු ලියයි. ඉක්බිති ඔහු ස්වකීය පූජකවරයට අවනතවන්නකුගේ ස්වරය මතු කරගනිමින් මෙසේ ලියයි. ‘’මෙම වකවානුව ඉක්මනින්ම අවසන්ව යාමට දෙවියනේ පිහිට වුව මැන”
පරිකල්පිත සිංහලයකු වෙත ලියූවද මෙම කෘතිය ස්ථානගත වන්නේ ප්‍රබන්ද නොවන කෘති අතර ය. තමන්ගේ ඔරිජිනලීය නමින් ම ලිවීම එය සනාථ කරන මූලික පදනමක් වෙයි. මෙකී දෙමළ අනන්‍යතාව කෘතිය විසින් ඔසවා තැබෙන කරුණු සනාථ කිරීමට ඓන්ද්‍රිය සාක්ෂි වන්නේ වෙයි.
සෙබමලෛ අන්බුරාසා පියනම සභාව අමතමින් - ‘හිතවත් ආරියසිංහ වෙත’ කෘතිය යාපනයේ දී එළිදැක්වූ දින
කුමාර් ගුණරත්නම්, රාමලංගම් චන්ද්‍රසේකරන් හෝ අරුන් සිද්ධාර්ථන පන්නයේ නමින් පමණක් දෙමළ නොවන සෙබමලෛ අන්බුරාසා, ස්වකීය ඔරිජිනල නාමකායම කෘතියේ කේන්ද්‍රය තුළ රැඳවීම, පීඩිත දෙමළාගේ ඉතිහාසයට සාක්ෂි දැරීමේ අයිතිය තමන් කෙරෙහි රඳවාගත් පීඩිතයකුගේ හෘදය සාක්ෂිය විශ්වාසයේ පදනම සහිතව ම කියවන්නා තුළ පිළිබිඹු කරවයි.
පියනම සිය ආරම්භක ලියුං කරදහියට පිවිසෙන්නේ ම රිද්දනසුළු අතීතයක් හරහා වේගයෙන් ඛන්ඩනය වන සිදුවීම් රාශියක් සම්පිණ්ඩනය කරගනිමිනි. ලියමනේ ම එන වචන අනුව මෙබඳු ය.
‘’ආරියසිංහ ඔබ තවමත් ගෝල්ෆේස් අරගලයෙහි බව මම දැනගත්තෙමි. වැදගත් දිනයක් වන ඔබලාගේ අලුත් අවුරුද්ද ආරම්භ වන අද දවසේ මෙවැනි තත්වයක් පිළිබඳව කිසිවකුත් සිහිනෙන්වත් නොසිතන්න ඇති.
‘’මේ මොහොතේ මගේ හදවතෙහි මතුවන අදහස් කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීම සුදුසුදැයි මම නොදනිමි. නමුත් මට හැඟෙන්නේ ඒවා ඔබ වෙත පැවසීම යහපත් බවයි. එ නිසා මෙය ලියමි. මම මේ අවස්ථාවේ ගතවූ දශක කීපයක සිදුවූ දේවල් පිළිබඳ සිතා බලමි.
‘’අපව අපේ උරුමකම සහිත නිවෙස්වලින්ද ගම්වලින්ද වසර ගණනාවක් තිස්සේ පළවා හරිනු ලැබුවෙන් බොහෝ වතාවක් අවතැන් වීමට ලක්ව හැඬූ කඳුළින් එහෙමෙහෙ ඇවිද්දෙමු. ඒ මොහොතේ අපේ හැඬුම ඔබට ඇසුණේ නැත. ඇයි මෙහෙම තත්වයක් යැයි ඊට පසුවවත් ඔබ ඇසුවේ නැත. අපි අපේ දරු පැටියන් සමඟ වසර ගණනාවක් ආහර හිඟයෙන් කුසගින්නෙන් පීඩා වින්දෙමු. ඔබ පැමිණ බැලුවේ හෝ දුක්වූවේ නැත. බෝම්බ දැමීම හේතුවෙන්ද, කාල තුවක්කු ප්‍රහාර හේතුවෙන්ද බාගෙට මියගොස් සිටිම, අපේ සහෝදරියන් ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්ව සිටීම, අපේ සහෝදරයන් වධහිංසාවට ලක්ව සිටීම ඔබ දැක්කේද නැත. සොයා බැලුවේ ද නැත. අපව පැහැරගෙන ගොස් වෙඩි තබා මහ මඟ විසිකර දමනු ලැබිණ. ඔබ ඒ අසළට පැමිණියේ නැත. කණගාටු වූයේද නැත. අපේ වගා බිම් පැහැරගනු ලැබ හමුදා නිවාස බවට පත් කෙරුණි. ඔබ ඒ පිළිබඳව උනන්දුවක් දැක්වූවේ නැත. ගණනකට ගත්තේ නැත. අපේ අය අතුරුදහන්වීමට ලක්ව වළලණු ලැබිණ. ඒ අවස්ථාවේ පවා ඔබේ අවධාණය අප කෙරෙහි යොමුවුණේ නැත.
‘තිස් වසරකට වඩා අහිමි වූ සහ අහිමි කරමින් පවතින යුක්තිය වෙනුවෙන් ද මර්දනයට එරෙහිව ද අපි දහස් වතාවක් වීදි බැස ඇත්තෙමු. අප වෙත එල්ල කරන ලද මර්දනය පිළිබඳවත්, සීමා උල්ලංඝනය කිරීම් පිළිබඳවවත් ඔබේ සිතිවිලිවල ඔබේ ආකල්පවල කිසිම වෙනසක් සිදුවූයේ නැත. ‘’
මෙසේ සම්පිණ්ඩිත පීඩිත දෙමළ ඉතිහාසය කරුණු ලෙස ලිහමින් හා පටලමින් ආරියසිංහ වෙත අම්බුරාසා දිගටම ලියුං කරදහි ලියයි. ගාලුමුවදොර සඛේතීයව ගත් දකුණේ මහජන නැඟිටීමට අදාල සිදුවීම් ඉතිහාස සංසිද්ධි වෙත අභිමුඛ කරමින් නැවත කියවන්නට සැලැස්සීම කෘතියේ ව්‍යුහය බවට පත්වෙයි.
අම්බුරාසා පියනම ආමන්ත්‍රණය කරන්නේ දකුණේ හෘදය සාක්ෂය බව ඇත්තකි. නමුත් ඔහු විශාල ඉතිහාස දැනුමක් සිය කෘතිය හරහා සමාජය මත තබයි. ඒ තමන් භෞතිකව අත්විඳි ඉතිහාසයයි. එ බැවින් එය ඓන්ද්‍රීය දැනුමක් වන්නේ වෙයි.
දකුණේ සිංහල-බෞද්ධ දෙමුහුන් දෘෂ්ටිවාදයෙන් හික්මීම ලත් අතිවාම ක්‍රියාධරයා තුළ පවා වන බරපතල ගැටළුව වන්නේ ඉතිහාස සාක්ෂරතාව පිළිබඳ ගැටළුවයි. අන්බුරාසා ලියුං කරදහි මෙකී ඉතිහාස සාක්ෂරතාව අත්පත් කර ගන්නට පරම කැමැත්තක් සහිත ආර්ය සිංහලයන්ට සහෘදව ආමන්ත්‍රණය කරන කෘතියක් වන්නේ වෙයි.
සිංහල-බෞද්ධ ජාතිකවාදය යනු ම යටත්විජිතවාදී ගොඩනැංවීමක් බව ආර්ය සිංහලයන් දන්නේ නැත. එබැවින් වසර දෙදහස් පන්සියයක අතීතයම තමන් සිංහල බෞද්ධ වී යැයි මෙකී ආර්ය සිංහලයෝ සිතති. සිංහල-බෞද්ධ අති වාමාංශිකයන් පවා, දෙමළ ජාතික අරගලයත්, දෙමළ ජනතාවත් වෙන් වෙන්ව ව්‍යුහයන් දෙකක් ලෙස දකින්නට තමන් තුළ කැමැත්ත පහළවන, පරම පවිත්‍ර වාම හෘදය සාක්ෂිය නිශ්පාදනය වන්නේ ඉතිහාස සාක්ෂරතාවට අවකාශ නො සලසන මෙකී දෙමුහුන් දෘෂ්ටිවාදී හික්මීම නිසා යැයි අවබෝධ කරගන්නේ නැත.
අප විසින් සහෝදර දෙමළ ප්‍රජාව අරභයා අඛන්ඩව ලියැවුණු, එමෙන් ම, වර්ග සංහාරක යුද්ධය තීව්‍ර කෙරුණු සමයේ තදබල ලෙස ලියැවුණු කාව්‍යයන් ඇතුළත්ව, 2010 වසරේ පළකෙරුණු ‘මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි’ කෘතියේ ආරම්භක කවිය ලෙස ස්ථානගත කෙරුණේ ‘’ඒ අහස හෙවත් මුවදොර වදන’’ ලෙස ශීර්ෂ ගැන්වුණු කවියයි. දෙමළ භාෂා අයිතිය පරිධියට ම පිටමං කෙරුණු මොහොතේ පැන නැඟුණු ගාලුමුවදොර අරගලය ගැන වූ එ කව මෙබඳු ය.
‘’ගාලු මුවදොර අහසට
නැඟුණු සන්සුන් කටහඬ
තළා පිටමං කළ දින
මුවදොර වදන හමුවිය.
සිංහල බස ම ලඹදෙන
නීල අහසට එරෙහිව
සිංහලෙන් කවි ලියනට
මුවදොර වදන හමුවිය
අත්තටු කැපුව විහඟුන්
ඉගිල්ලෙන්නට තතනන
අහස පවරනු පිණිසව
මුවදොර වදන හමුවිය
අලුත් අහසක් සුපතන
තැලී පොඩිවුණු සෙනඟට
එ වන් අයිතිය නැති තැන
මුවදොර වදන හමුවිය’’
ගාලු මුවදොර වූ කලි අරගල භූමියකැයි අප විසින් කෘතියක රඳවන ලද්දේ එය අරගල භූමියකැයි දකුණේ ජනතාව තුළ අධිනිෂ්චය වීමට වසර දුසිමකට කලිනි.
සෙබමාලෛ අම්බුරාසා පියනම ගාලුමුවදොර අරගල බිමෙහි සිටින ‘හිතවත් ආරියසිංහ වෙත’ ඒ අතීත අරගලය ගැන මෙනෙහි කරමින් මෙසේ ලියමන් ලියයි.
‘’හිතවත් ආරියසිංහ, ගාලු මුවදොර යැයි කියන විට ක්ෂණිකව අපේ මතකයට එන්නේ 1956 වසරයි. ඔබ එය දන්නේදැයි නොදනිමි. රජය විසින් සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කෙරෙන පනත ගෙන ආවේ එම වසරේදී ය. එම පනතට එරෙහිව සත්‍යාග්‍රහ අරගල එනම්, සාමකාමී අහිංසාවාදී අරගල මාස ගණනක් පැවතිණි. එහි එක් අවස්ථාවක් වන්නේ ගාලු මුවදොර පිටියේ අපේ පැරැන්නන් විසින් සිදුකෙරුණු මහා අරගලයයි. ආණ්ඩුව කළේ මැරයන් යොදවා වියරු ලෙස පහරදී දෙමළ වැසියන් පළවා හැරීමයි. එදා අපි ගාලු මුවදොර සිටියෙමු. වසර හැටහයකට පසුව අද ඔබලා සිටින්නාහු ය. එහි ඇති දෛවයේ සරදම කුමක් ද?’’
රාජ්‍ය ත්‍රස්වාදය තීව්‍ර කරනු වස් පිඹුරුපත් සකස් කෙරමින් පවතින ‘නව ත්‍රස්ත’ පනත දකුණේ සමාජය පුරා භීතිය පතුරුවමින් පවතින මේ නිශ්චිත මොහොතේ අන්බුරාසා ලියුං කරදහි කියවීම ඉතා වැදගත් ය. ලියුං කරදහි තිහකින් සමන්විත කෘතියේ, දකුණේ මහජන නැඟිටීමට දින 98ක් ගතවන මොහොතේ ලියා ඇති අවසන් ලියමන මධ්‍යයෙහි දී වේදනාප්‍රාප්ත අධ්‍යාත්මයකින් බරව වුව අතිශය සෘහද ස්වරයෙන් පියනම ‘ආරියසිංහට’ මෙසේ ලියයි.
‘’අපව පසෙකට තල්ලු කර දමා ඇති තත්වයක් තුළ පවා, රටේ පුරවැසියන් ලෙසින් මෙම රටේ සෞභාග්‍යමත් ජනතාවක් ලෙසින් වාසය කිරීමට අපි කැමැත්තෙන් සිටිමු. නමුත් එලෙසින් නිදහසේ ජීවත්වීමට හැකි කිසිම සංඥාවක් මේ දක්වා අපට දක්නට ලැබෙන්නේ නැත. ඒත්, එකම දේශයක් තුළ සමඟියෙන් ජීවත් විය හැකිය යන්න තවමත් අපි විශ්වාස කරන්නෙමු’’
(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී
(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 අප්‍රේල් 23)