තම ගැහැනු හෝ පිරිමි සිරුර ගැන අභිමානයෙන් හිතන බහුතරයක් අතර, එය සිරගෙයක් ලෙස දැනෙන සුළුතරයක්ද වෙති. ඒ ගැහැනු සිරුරක් තුළ ජීවත්වීමට බල කෙරුණු පිරිමින් සහ, පිරිමි සිරුරක් තුළ ජීවත්වීමට බල

කෙරුණු ගැහැනුන්ය! මෙය, බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට අසීරු, සංකීර්ණ මාතෘකාවකි. එහෙත් අප එය වටහා ගත යුත්තේ, ඔවුන් පෙළන ගැටලුවලින් බොහොමයකට, අපේ නොදැනුවත්කම හේතුවක් වී ඇති නිසා ය.


මේ කතාවට මුල් වස්තු බීජ සැපයුණේ මහනුවරිනි. මහනුවර පදිංචි පූජාන්ගේ කතාව එහි මුල්ම නිමිත්ත ය. පූජාන් යනු සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකි. සංක්‍රාන්ති සමාජභාවී කුලකය එසේත් නැතිනම් ප්‍රජාව ගැන කතා කරන්නට පෙළඹීම එන්නත් කළේ පූජාන්ගේ කතාව ය. සෙසු ප්‍රජාවන්ට නැති ප්‍රශ්න කන්දරාවක් මේ ප්‍රජාව සතු ය. ඒවායින් වැඩිමනක්, පොදු සමාජය ඔවුන්ට උරුම කළ පීඩනයන් ය. පූජාන්ගේ කතාව පිඬු කොට ගැනීමෙන් මේ ප්‍රජාවේ සමස්තයට එබීමට දොරගුළු හැරගත හැකි ය.


පූජාන්ගේ කතාව Screenshot 2023 04 22 at 12.06.42 PM


“මම පුංචි කාලෙම මගේ අම්මයි තාත්තයි මාව දාල ගියා. මාව හදා ගත්තේ මගේ ආච්චි. එයත් රස්සාව විදිහට කරලා තියෙන්නෙ ලිංගික සේවාව තමයි. මම ඉපැදුණේ පිරිමි ළමයෙක් විදිහට වුණත්, ලොකු වෙනකොට මගේ ආශාවල් වුණේ ගැහැනු ළමයි කරන වැඩ. මගේ ගමන, කතාව ගැහැනු ළමයෙක් වගේ නිසා මුලින්ම පාසලේ ළමයි මට විහිළු කළා. කොන් කළා. නොයෙක් කරදර කළා. මට පාසල් ගමන එපා වුණා. අවුරුදු දහය දොළහ වෙන කොටම මගේ පස්සෙ ලොකු පිරිමි ළමයි එන්න ගත්තා. මට අවුරුදු දොළහක් ඇති, පිරිමි ළමයි දහයක් විතර මට එකපාර අතවර කරන කොට. ඒක වුණේ ගමේ පන්සලේ පිංකමක් දවසේ. පන්සල් වත්ත  පිටිපස්සේ. එදා ඉඳලා ඒ අය මට ඉන්න දුන්නේ නැහැ. ගමේ මාමලා, ලොකු අයියලා මට ඉන්න දුන්නෙ නැහැ. මට නිතර ලිංගිකව කරදර කළා. අවුරුදු දාහත දහඅට වෙනකොට මම රස්සා කිහිපයකටම ගියා. ඒ හැම තැනකදීම මාව ලිංගික කරදරවලට ලක් වුණා. මගේ ගමේ ඉන්නත් බැරි වුණා. මම කොළඹ ඇවිත් සැලුන්වල වැඩ කළා. නයිට් ක්ලබ්වල නටන්න ගත්තා. කොළඹ ජීවත් වෙන්න, නවාතැනට දෙන්න සල්ලි ඕන නිසා මම ලිංගික ශ්‍රමික වෘත්තිය තෝරා ගත්තා. ඒ කාලේ පොලිසියට අහුවෙලා උසාවියටත් ඉදිරිපත් කළා. ඒ හැම තැනකදීම මාව ලැජ්ජාවට සහ අපහසුතාවට පත් කළා. කොටින්ම ජජ් පවා ඔලොක්කුවට හිනා වුණා. මම ආයේ නුවර යන්න තීරණය කළා. දැන් මේක මගේ වෘත්තිය.



මේ පූජාන්ගේ කතාවේ මතුපිට සිවියය. එහි ඇතුළාන්තය සැරව ගලන තුවාලයකි. ඉන් වහනය වන්නේ පුදුමාකාර සුචරිතවාදයක් කරපින්නාගෙන යන සමස්ත සමාජයේ අභ්‍යන්තරයේ දුගඳ ය.


ගයානිගේ කතාව

Screenshot 2023 04 22 at 12.07.38 PM

“මම ගෙදර අයට ඕන විදිහට ජීවත් වෙන්න උපරිම උත්සාහ කළා. මට අක්කලා දෙන්නෙක් හිටියේ. ඉතින් මුලදී හැමෝම කිව්වේ අක්කලා එක්කම ඉඳලා මෙයත් ගෑනු ළමයෙක් වෙලා කියලා. ඒත් මට ටික ටික ලොකු වෙනකොට තේරුණා මටත් ආස ගැහැනු විදිහට ඉන්න කියලා. ඒකට ගෙදර අය හරියට විරුද්ධ වුණා. උඹ හින්දා අක්කලවත් බන්දලා දෙන්න වෙන්නෙ නැහැ කියලා මට නිතර ගෙදරින් බැණුම් ආවා. මම කොළඹ ගියේ ආයේ නුවර එන්නෙම නෑ කියලා හිතලා. ඒත් කොළඹ ජීවිතෙත් එපා වුණා. කොළඹදි අපි වගේ අයම තමයි එකතු වෙලා හිටියේ. දැන් කරන්න දෙයක් නැහැ. මාත් නුවර ඇවිත් රෑට පාරේ ඉන්නවා. ගෙදරින් මාව ප්‍රතික්ෂේප නොකළා නම් මෙහෙම වෙන්නෙ නැහැ. දැන් අපි කිහිප දෙනෙක් බෝඩිමක් අරගෙන මේ රස්සාව කරගෙන ඉන්නවා.”

ඇගේ මිතුරිය නම කීමට අකමැති වූවාය. අනෙක් අය කියන නම් ද ඒ අයම දමා ගත් නම් ය. ඇත්ත නම උප්පැන්න සහතිකයේ ඇති නමය. එය පිරිමි නමකි. ස්ත්‍රී ඇඳුම් ඇඳ, ස්ත්‍රී වෙසක් ගෙන ස්ත්‍රී ලාලිත්‍යයට ම දිවි ගෙවන මොවුන් ඊට ගැළපෙන ලෙස නම් තබාගෙන ඇත. නම යනු කෙනෙකුගේ අනන්‍යතාව ය. එහෙත් මේ ප්‍රජාව මුහුණ දෙන ලොකුම ගැටලුව නම් නම හෙළිදරව් කිරීමය. මුහුණ ප්‍රසිද්ධ කිරීම ය. ඔවුන්  ඡායාරූපවලට පෙනී නොසිටින්නේ එබැවිනි.

“අපිට පොලිසියෙන් හරියට කරදර. අපි ජීවත්වෙන්න මේ වෘත්තිය කරන එක ඇත්ත. ඒත් අපි හොරු නෙමෙයි. හොරකමක් කියපුවහම අපිව අරගෙන ගිහින් ගහනවා. උඹලා නේද අරූව සුද්ධ කළේ කියලා. ගොඩක් අය අපිව අරන් ගිහින් අපිට සුද්දෙ දානවා. සල්ලි දෙන්නෙත් නැහැ. ඒත් අපි කියන්නෙ කාටද? ඒවා පොලිසි ගිහින් කියන්නද?”

ඒ ගයානිගේ බෝඩිමේ මිතුරියකි. ඇයගේ අතීතය දිග හරින්නට ඇය කැමති නැත.

“ඒවා හාර අවුස්සලා වැඩක් නැහැ.” ඇගේ පිළිතුරය. එහි ඇත්තක් නැත්තේ ද නැත.

මහනුවරදී තව කිහිප දෙනෙකු සමග අත්දැකීම් බෙදා ගන්නට හැකි විය. ඒ සියල්ලන් රාත්‍රියෙහි වීදි සරන්නියන්ය. ඕනෑම දෙයකට ඔට්ටු ලෙස ඔවුහු සැදී පැහැදී සිටිති. මේ පොකුර තුළ නවයක් දහයක් තරම් පිරිසක් වෙති. හැමගේ අතීත කතා පූජාන්ගේ කතාවට අඩු වැඩි වශයෙන් සමානය. සැවොම කොළඹ විත් එහි තරගකාරීත්වයට ඔරොත්තු නොදෙන තැන නුවරටම ගාල් වූ බව කතා වලින් හෙළිවේ. තම ගමේ වුව ඒ අය තම නිවෙස්වල නොරැඳෙති. බෝඩිම් ජීවිත ගත කරති.

 

 රාත්‍රියෙහි වීදියෙහි සැරි සරා දහවලෙහි බෝඩිම්වලට වැදී සැඟවී සිටිති. නැවත කාන්තා ඇඳුම් ඇඳ සැන්දෑවේ වීදියට එති. ඒ ජීවිතය කොතරම් නම් කටුකදැයි වෙනම කල්පනා කළ යුතු දෙයකි. දහවලේ බෝඩිම් තුළ දී හමු වූ, දියව ගිය මේකප් තට්ටුවලින් හෙම්බත්ව ඇති ඒ මුහුණු පෙන්නුම් කරනුයේ සඟවන්නට වෙර දරන පිරිමි මුහුණුම ය. මේ සැම බාහිරින් ස්ත්‍රී හැඩ මවන, අභ්‍යන්තරයෙන් පිරිමි ගති මකා ගන්නට වෙර දරන පිරිසකි.
“අපිත් ආසයි ගැහැනු විදිහට වෙනස් වෙන්න. ඒකට ලොකු මුදලක් ඕන. අපි වගේ අයට ඒක හීනයක්. මේ රස්සාව කර කර ශරීරය වෙනස් කර ගන්න වෙනම කැප වෙන එක ලේසි නෑ. මොනව කරන්නත් කාලා ඇඳලා ඉන්න එපැයි. සමහර දවස් තියෙනවා නිකං නිදි මරලා, නැත්නම් පොලිස් කූඩුවේ ලැගලා ගෙදර එන.”

ඒ බෝඩිමේම නෙලූගේ කතාව එබඳු ය.


මඩකළපු ගමන

lgbt T 2023.04.22

මහනුවරින් පසු ඊළඟ ගමනාන්තය මඩකළපුව වූයේ, මේ ප්‍රජාව වෙසෙන මුස්ලිම් සහ දමිළ අය ඒ ප්‍රජාවන් තුළ අත්විඳින ප්‍රශ්න මහනුවර පූජාන්ලාගේ ප්‍රශ්න තරම්ම විශාල ද කුඩා ද යන්න සොයා බැලීමට ය. සංක්‍රාන්ති සමාජභාවී තත්ත්වයන් සිංහලයන්ට පමණක් ආවේණික දෙයක් නොවේ. එය දමිළ, මුසල්මානු සමාජවලටත් පොදු ය. එහෙත් මහනුවර පූජාන්ලා තරම් එළිපිට සමාජගත වීමක් එහි නැත. කොළඹ ප්‍රධාන වශයෙන් පවත්වාගෙන යන සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන්ට රැකවරණය සපයන රාජ්‍ය නොවන සංවිධානයක සම්බන්ධීකරණය හා මගපෙන්වීම නොවන්නට මඩකළපුවෙන් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් මුණ ගැසීම දැලි පිහියෙන් කිරි කනවාට හපන් ක්‍රියාවකි. එම රහසිගත හමුව ද නම් ගම්, ඡායාරූප නොගෙන ඒ අයගේ අනන්‍යතාවට හානි නොවන ලෙස ආරක්ෂිතව කළ යුතුය යන එකඟතාව මත සිදු වූවකි.

“අපිට මෙහේ ඉන්නව නම් ගෙවල්වල අය කියන විදිහට ඉන්න ඕන. අපි කොළඹ සංවිධාන එක්ක එකතු වෙලා සම්පූර්ණ ස්ත්‍රීන් වෙන්න උදව් ඉල්ලනවා. එහෙම නැතිව අපේ පරිසරයන් තුළ ස්ත්‍රී ඇඳුම් ඇඳගෙන පාරවල්වල ඉන්න බැහැ. සමහරුන්ට ගෙදරින් එළියටවත් එන්න දෙන්නෙ නැහැ. කොහොම වුණත් මේ තත්ත්වයන් තුළ අපිට පීඩනය තියෙන්නේ ගෙදරින් ඥාතීන්ගෙන් විතරයි. ඒ අයගේ තරහට ලක් නොවී ඉන්න අපිත් උත්සාහ කරනවා.”

සිව් දෙනෙක් අප සමග කතාබහට එකතු වුව ද සැම නියෝජනය කරමින් කතා කළේ එක් අයෙක් පමණි. අනෙක් අය කළේ ඔහු කියන දේ නිවැරදි යැයි අනුමත කිරීම පමණ ය.

මේ අය නිවෙස්වලට කොටු වීම තුළ ඒ අයගේ මූලික අයිතියක් වන ලිංගිකත්වයට වාරණයක් වැටුණා ද? එසේ විය හැකිය. එහෙත් පූජාන්ලා මෙන් මේ පිරිස් සමාජ ගොදුරු වී හප නොවීම යහපතකැයි සිතේ. එය ද ඕනෑතරම් පක්ෂව හෝ විපක්ෂව තර්ක කළ හැකි මාතෘකාවකි.

 තමන්ගේ ලිංගිකත්වය වෙනස් කර ගත් බොහෝ දෙනාගේ අරමුණ ගම අතහැර කොළඹට ඒම ය. ගමෙන් විතැන් වෙන ඔවුන් කාත් කවුරුත් අහිමිව අනතුරට ලක්වීම ඉබේටම සිදුවන්නකි. යන එන මං අහිමිව බඩගින්න උග්‍ර වන විට ඒ අය හිතනුයේ ඔවුන් ඩැහැ ගන්නා තැරැව්කරුවන් තම ගැලවුම් කරුවන් ලෙස ය. ඒ අය තමන් හප කොට යළි පාරට විසි කරන බව වැටහෙන්නේ පමා වූ පසුවය.
“මට ගමේ මිනිස්සු සෑහෙන හිංසා කළා. නගරයට ආවේ ගමේ ඉන්න බැරිම තැන. මම අදටත් ආසයි අම්මා තාත්තා එක්ක ජීවත් වෙන්න. අපි අස්වාභාවික මිනිස්සු ජාතියක් නෙමෙයි කියල ගම්පළාත්වල මිනිස්සුන්ට කියලා දෙන වැඩසටහන් තියන්න ඕන. එහෙම වුණා නම් අපිට නගරයේ දුක් විඳින්න ඕන නැහැ.” 

ඒ මඩකළපුවෙන් කොළඹ ආ කරීනාගේ හඬ ය. ඇය දමිළ ය. ඇය සමග තව දෙදෙනෙක් අපට කතා බහට මුණගැස්සුව ද අනෙක් අය මුහුණ බලා සිටීම හැර කතා බහට එකතු නොවී ය. ඒ මුහුණු තුළ සමාජයට ඇති බය මනාව පිළිබිඹු වේ.

TH 2023.04.22
ගම නැමති ප්‍රශ්නය


කොළඹ නගරය තුළ මේ ප්‍රජාව යම් නිදහසක් භුක්ති වින්දද මහනුවරත්, මඩකළපුවේත් කළ ගවේෂණයෙන් පැහැදිලි වන්නේ කොළඹ දී අපි දකිනුයේ ප්‍රශ්නයේ කෙළවරට ආ අය බව ය. එහෙත් ප්‍රශ්නයේ තිඹිරි ගෙය ඇත්තේ ගම් පියස්වල ය. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකුගේ ලිංගික සංක්‍රාන්ති සමය බොහෝ විට පටන් ගනුයේ භද්‍ර යෞවන වියේ දී ය. එනම් පාසල් කාලය ය.

එහෙත් අභාග්‍යයට අප කතා කළ සැමට කායික මානසික හිංසා සහ අඩන්තේට්ටම් ආරම්භව ඇත්තේ එතැනිනි. එය ගම පුරා ව්‍යාප්ත වන්නේ ද ඉන් පසුව ය.

අනතුරුව පවුලේ දෙමාපිය සහෝදර සහෝදරියන්ගේ නම්බුවේ වටිනාකම මතු වන්නේ ද ඉහත කැලඹිලි හමුවේ ය. මෙය ගම අත හැරීමට පමණක් නො ව, දිවි නහ ගන්නට වුව සවිමත් ගැටලුවකි. එසේ වූ අවස්ථා ද ඇතැයි අප කළ නිරීක්ෂණයේ දී පැහැදිලි විය. කෙසේ වුව ගමෙන් නගරයට එනුයේ හැඩයෙන් වෙනස් වන පිරිමි ශරීරයක් පමණක් නො ව, ඇතුළතින් තැලී පොඩි වුණ මානසිකව ඇද වැටුණු ශරීර කූඩුවකි. නැවත ගම තුළ දී අප දකිනුයේ ඊට වඩා හෙම්බත් වූ අසරණ ප්‍රජාවක ඛේදවාචකයන් ය.


නගරයේ විඳවිල්ල


සඳුනි නැගෙනහිර පළාතේ හිඳ ජීවිතය එපා වූ තැන කොළඹ නගරය තෝරා ගෙන අද සීදුවේ දිවි ගෙවන්නියකි.


“නැගෙනහිර දුප්පත් ම ගමක මම ඉපැදුණේ. දැන් මට අවුරුදු 25ක්. ගමේ මිනිස්සු මගේ තත්ත්වය තේරුම් ගත්ත නම් මට මගේ අම්මා තාත්තා අත ඇරලා එන්න වෙන්නෙ නැහැ. ගමේ අය මට විතරක් නෙමෙයි මගේ ගෙදර අයටත් අවමන් කළා. සමහරු මාව මූණට මුලින් ම මුණ ගැහෙනවට කැමති වුණේ නැහැ. ප්‍රෙග්නට් අය මාව දැක්කහම පිළිකුල් කළා. කොළඹට ආවට ඉන්නෙ කොහෙද, කරන්නේ මොනාද තේරුමක් තිබුණේ නැහැ. පහසුවෙන් ම ලැබුණේ නයිට් ක්ලබ් වල නටන්න. ඒවා මෙහෙය වන කට්ටිය ඉන්නවා.  අන්තිමට රෑට නටවලා දවිල්ට පාරවලවලට ගෙනත් දැම්මා. මට මේ රස්සාව තිත්ත වෙලා. ඒත් දැන් කරන්න වෙන දෙයක් නෑ.”


ඉස්කෝලෙදි මට යාළුවෙක් හිටියේ නැහැ. මාව කොහේ දැක්කත් කට්ටිය හිනා වුණා. විහිළු කළා. මගේ ලිංගිකත්වය වෙනස්. එහෙම කියලා මම සමාජයට කළ වරද මොකක් ද? කොළඹ ආවා කියලා මහා වෙනසක් නෑ. දුක එහෙම්මයි.

Screenshot 2023 04 22 at 12.32.04 PM

නදීකා ගේ කතාව


“මට හොඳට ඉගෙන ගන්න පුළුවන්කම තිබුණා. ඒත් පාසලේ පීඩනය මට දරා ගන්න බැරි වුණා. මම පවුලේ බාලයා. මට දේපළ පවා අහිමි වුණා. සහෝදරයෝ මට දේපළ දෙනවට විරුද්ධ වුණා. අද ඒවා ඒගොල්ලො භුක්ති විඳිනවා. ගමේ ආවොත් ගහනවා කියනවා. මම මෙහේ ඇවිත් කාත් කවුරුත් නැතිව දුක් විඳිනවා.”


“ඔය ගොල්ලෝ දන්නවද මේක කොච්චර අමාරුද කියලා? මුත්‍රා බර හැදුණම ඒකෙන්වත් නිදහස් වෙන්න ලේසි නෑ. ගැහැනු ඇඳුම් ඇඳගෙන වැසිකිළියකට යද්දී මොන වැසිකිළියටද අපි යන්නේ කියන ප්‍රශ්නය එනවා. පිරිමි එකකට ගියොත් ගහනවා. පුරුදු වචනය කියලා එළවනවා. පිරිමි මුත්‍රා කරනවා බලන්න ආවා කියලා. ගෑනු වැසිකිළියට යන්න බෑ. ඒවායෙනුත් එළවනවා. එතකොට අපි මිනිස්සු නෙමෙයි ද? ගවුම් ඇඳගෙන පාරේ අයිනකට යන්න පුළුවන් ද?”


නදීකාගේ එම පැනයට මා ළඟ උත්තර නැත. එබැවින් මම නිරුත්තරව කරබාගෙන සිටියෙමි.

Fathima 2023.03.22

ෆාතිමාගේ කතාව

“මම නැගෙනහිර අත ඇරියේ ඡන්ද හින්දා. මම කොළඹ ආවත් ගමට ආ ගිය කෙනෙක්. එකපාරක් ඡන්දයට ගියහම මගේ පෙනුම පිරිමි මුහුණක් නෙමෙයි කියලා ලොකු ප්‍රශ්නයක් ඡන්දෙ දාන තැන ඇති වුණා. එතන හයියෙන් නම කියලනේ කෑගහන්නෙ. ගමේ අය ‘ආ මේ අහවලාගේ ගෙදර නේ’ කීවාට මාව හෑල්ලු කළා. එදායින් පස්සේ ඡන්ද ගැන මම හිතන්නේ නෑ. ගෙදර යන්නෙත් නෑ.”


ඡන්ද පොළක පෝලිම් දෙකකි. එකක් පිරිමි. අනෙක ගැහැනු ය. එසේ නම් ෆාතිමා ගේ ප්‍රජාව අයත් වන්නේ මොන ගොඩට ද? මේවා මැතිවරණ කොමිසමේ බලධාරීන් සිතා බැලිය යුතු කරුණු ය. අවමානයට ලක් නොවී ඡන්දය දැමීමට බැරි නම්, ඒ පරමාධිපත්‍යය විහිළුවක් නොවේද?

 “මම මඩකළපුවේ ඉපදුණේ. අපිට විතරක් නෙමෙයි ගැහැනු, පිරිමි වුණත් පවුලක ඉන්න ඕන නීති රාමුවක් තියෙනවා. ඒත් මේ දෙකට ම නැති පිරිසක් විදිහට අපිව හංවඩු ගැහිලා. අපිටත් ආගම ඕන. ඒත් ආගම තුළ අපි ‘හරාම්’ ගමේ ඉන්න බැරි තැන මම කොළඹ ආවා. මම ඉන්දියාවේ ගිහිල්ලා සම්පූර්ණ ස්ත්‍රියක් විදිහට වෙනස් වුණා. අද මාව කාටවත් අඳුන ගන්න බැහැ, එහෙම වෙනස් වුණ කෙනෙක් කියලා. ඒත් ගෙදර යන්න බෑ. ඒ අය මාව පිළිගන්න කැමති නෑ. කොවිඩ් කාලේ ලොකු අසරණකමක් දැනුණා. මෙහේ තනිවෙලා ඉන්න කොට අම්මා තාත්තා එක්ක ගෙදර ඉන්න තිබුණා නම් කියලා හිතුණා. මම මගේ ප්‍රජාව වෙනුවෙන් මට හැකි උපරිම දේ කරනවා. ඒත් මට දැන් ප්‍රසිද්ධියේ එන්න බෑ. මොකද අද මම රැකියාව කරන තැන කවුරුත් මම එහෙම සංක්‍රාන්ති සමාජභාවී තත්ත්වයක ඉඳලා සම්පූර්ණ ගැහැනියක් වුණ කෙනෙක් කියල දන්නේ නැහැ. මට දැන් හිතෙනවා ඒ පරණ තත්ත්වය නැවත අලුත් කරන්න ඕන නෑ කියලා. මම දැන් ගැහැනියක්. මේ වෙනසේ තවම ජය ගන්න බැරි වුණ දේ තමයි අපිට ගැහැනියක් වුණත් ළමයි හදන්න බෑ. ඉදිරියේ දී ඒ දියුණුවත් විද්‍යාව ලබයි කියලා මම හිතනවා.”

ඇගේ හඬ, පෙනුම යන කිසිවක පිරිමි ලකුණකුදු නැත. අප දැනුවත්ව නොගියේ නම් අපට වුව කෙලෙසකවත් ඇය සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයකු ලෙස නොසිතෙනු ඇත. එසේ නම් අද අප සමඟ කතා කරන තව කී දෙනෙකු හෙට දවසේ ස්ත්‍රීන් බවට පත්වී සිටිනු ඇත් ද?


අපේ වැටහුම


ප්‍රදේශ කිහිපයක දී සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට අයත් බොහෝ දෙනෙකුගේ ජීවන අත්දැකීම් ඇසුවෙමු. ඔවුහු, කුඩා කල සිට විඳි දුක් ගැහැට ගැන අපමණ කතා දීර්ඝ ලෙස විස්තර කළෝ ය. ඒවා කෙටි අදහස්වලට ලඝු කරන්නට සිදුවූයේ එහි සමස්ත කතාන්දරයක් මතු කර ගත යුතු බැවිනි. ඒ හැම කතාවක් ම අඩු වැඩි වශයෙන් එක ම ආරක් ගනී. එනම් මේ සැම විඳිනුයේ පොදු වේදනාවකි. පොදු දුකකි.



මේ අය සමාජය තුළ කතා බහට ලක් වනුයේ LGBTIQ ප්‍රජාව ලෙස ය. ලිපිය පුරාවට අපි එය භාවිත නොකළේ එය පුළුල් ක්ෂේත්‍රයක් වන නිසා ය. ඊට ඇතුළත් අනෙක් හැම ප්‍රභේදයට ම වඩා සමාජයෙන් හිංසාවට ලක්වන්නේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවයි. LGBTIQ ප්‍රජාව තුළ වුව සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට  සාධාරණත්වය ඉටු වීම සාර්ථක යැයි නො පෙනේ. කොතෙක් නීති වෙනස් වී ඇතත්, කොළඹින් පිට පළාත්වලට ඒ නීති පිළිබඳ දැනුවත්භාවය අඩු ය. ඒ සියල්ල මේ කොළඹ සමාජයේ එක්තරා කුලකයක කතා බහක් වී ඇත.

නුවර, මඩකළපුව වැනි ප්‍රදේශවල පවා කොළඹ විපර්යාස තේරුම් ගනුයේ තමන්ට කොළඹට පැමිණියහොත් පැවැත්මක් ඇතැයි යන පටු මානයෙන් පමණි. බොහෝ අයිතිවාසිකම් ඇත්තේ කොළඹ පමණ ය. එහි ද සීමිත පිරිසකට පමණි. සිවිල් චරිතවලට පමණි. මෙය අපගේ නිරීක්ෂණයට වඩා අප හමු වූ පුද්ගල චරිතවල ඒකමතික අදහස ය. දැන් දැන් ඔවුන් අතරේ ද තරගයක් නිර්මාණය වී ඇත. එයට හේතුව සැවොම කුමන හෝ රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවාගෙන ඉදිරියට ඒමට දරන උත්සාහයන් ය. ඇතැම් සංවිධාන අපට බොහෝ උදව් කළ මුත් ඇත්තටම ඒවා හරහා සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට යහපතක් වී ඇත් ද යන්න ගැටලුවකි.


th12
සමාජයේ පංගුව

 මෙය සමාජය තුළ උඩු දුවා ඇති ප්‍රශ්නයකි. මෙයට ඉඳුරාම වගකිව යුත්තේ මේ සමාජයම ය. පූජාන්ගේ සිට ෆාතිමා දක්වා කතාවල ඔවුන්ව ඒ තැනට තල්ලු කළ පිරිස කවු ද? ඒ මේ සමාජයේ සුදු පිරුවට ලාගෙන උපාසකයින් මෙන් දිවි ගෙවන්නන් නොවේ ද? පූජාන්ව ළමා කාලයේ ම අපහරණය කළ වුන් අද වැදගත් මිනිසුන් ලෙස පවුල් රකිමින් තම දරුවන්ගේ ආරක්ෂාව සුරකිනු නැත් ද? සෙසු සැම අයෙකුගේ ජීවිතවලට එලෙස කඩා පාත් වූ විනාශ කළ පිරිස් අද යෙහෙන් යහපත් පවුල් ජීවිත ගත කරනු නියත ය.

 අදත් මේ ජීවිතවලට රාත්‍රිය ගෙවා ගන්නට උදව් කරනුයේ මේ සමාජයේ ම අය නොවේ ද? එසේ නම් මේ ප්‍රජාවගේ ඇසුර අපේක්ෂා කරන මහා ප්‍රජාව කොතෙක් විශාල ද? එසේ නම් නොසලකා හැරීම කොන් කිරීම එන්නෙම ඔවුන් ඒ තැනට තල්ලු කරන්නෙම මේ මහා ප්‍රජාවන් කෙරෙන් නොවේ ද?


මානව හිමිකම් යනු මිනිසකු ලෙස උපත ලැබීම නිසා ම මිනිසාට අනිවාර්යය ලෙස හිමි විය යුතු අහිමි කළ නොහැකි අයිතිවාසිකම් සමුදායකි. එසේ නම් මිනිසුන් ලෙස උපත ලද මේ ප්‍රජාවට ද මානව හිමිකම් හිමි විය යුතු නැද්ද?


මේ කතාව පුරාවට මුල්තැන දී ඇත්තේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින එම ප්‍රජාවේ ම අය පවත්වාගෙන යන සංවිධානවලට නොව සැබැවින් පාරට වැටී හෙම්බත් වන සැබෑ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට ය. සැබැවින් ම මේ මොහොතේ මෙරට තුළ වෙසෙන, වඩාත්ම පීඩාවට පත්ව ඇති ප්‍රජාව මේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව දැයි සිතේ. ඔවුන්ට ආවේනික බරපතළ ගැටලු තිබෙන බව සැබෑවකි. එහෙත් සූරාකෑම හා නින්දාසහගත ලෙස සැලකීම, ඔවුන්ගේ පීඩනයෙහි ලොකුම පංගුවයි. නෝනාවරුනි, මහත්වරුනි, එහි විත්තිකරුවන් ඔබ නොවේද?



පොලිස් හිංසන වළක්වන්න චක්‍රලේඛයක්



සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට පොලිසියෙන් සිදුවන වෙනස් කොට සැලකීම් වළක්වාලමින් පොලිස්පති විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.


මෙම චක්‍රලේඛය හරහා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් හෝ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 A, 365 B, 365 C වගන්ති යටතේ හෝ පාදඩ ආඥා පනත යටතේ පොලිස් අත්අඩංගුවට පත්වීම ඔවුනට වාචික හෝ  ශාරීරික හිරිහැරවලට ලක්වීමට සිදුවීම, ලිංගික දිශානතිය ඔප්පු කරන මැයෙන් බලහත්කාරයෙන් ගුද මාර්ග හෝ යෝනි මාර්ග පරීක්ෂණ වලට ලක් කිරීම හෝ පොලිස් භාරයේ දී හිංසනයට ලක් කිරීම ආදී ක්‍රියාවන් වළක්වාලමින් සහ එවන් ක්‍රියා සිදු කරන පොලිස් නිලධාරීන්ට පරීක්ෂණ පැවැත්වීම ඔස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 වන වගන්තියේ 2 වන කොටස යටතේ සමානාත්මතාවට ඇති අයිතිය උල්ලංඝනය කිරීමේ වරදට යටත් කිරීම යනාදී කරුණු පෙන්වා දී ඇත.

මෙය එම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින පාර්ශ්ව එක්ව පොලිස්පතිවරයා සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයකි.   bhoomi harendran 2023                   


 ''කළ යුතු ලොකුම දේ නොදැනුවත්කම දුරු කිරීමයි'' -
ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ මානව හිමිකම් ක්‍රියාකාරිනී
භූමි හරේන්ද්‍රන්

 
LGBTIQ ප්‍රජාව සමාජයට වැදගත් වන්නේ ඇයි?

LGBTIQ ප්‍රජාව වැදගත් වන්නේ ඔවුනුත් මිනිස්සු නිසා. ඔවුන්ටත් විවිධ හැකියාවන් තියෙනවා. ධාරිතාවන් තියෙනවා. ඔවුන්ටත් විවිධ අංශවල රැකියාවන් කරන්න පුළුවන්. රටක පුරවැසියන් හැටියට ඔවුන්ගේ හැකියාව දැනුම කුසලතා තුළින් රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් වැදගත්.


රට තුළ ඔවුන් කොන් වන්නේ ඇයි?

ඒක රටේ මිනිස්සුන්ගේ වරදක්. ලේබල් ගහන්න කොන් කරන්න අපේ මිනිස්සු දක්ෂයි. රටේ ජීවත් වෙනකොට රාමුවෙන් පිට පනින්න මිනිස්සු බයයි. ඒකෙන් පිට පනින අය ආන්තෘකරණයට ලක් වෙනවා. තමන් තමන් වෙන්න උත්සාහ කරන මිනිස්සු සහ ජීවිතය ජීවිතය විඳින මිනිස්සු කොහොමත් ලංකාවේ ආන්තීකරණයට ලක් වෙනවා. ඒක ලංකාවේ මිනිස්සුන්ගේ කෝණයේ වැරැද්දක් මිස අපේ වැරැද්දක් නෙමෙයි.



මෙහි දී සිවිල් සමාජයට කළ හැකි ප්‍රධාන කාර්යය මොකක් ද?


ඔවුන් කළ යුතු ප්‍රධානතම කාර්යය දැනුම, තොරතුරු ලබා දීමයි. දැනුම ලබා දීම තුළින් ආකල්ප වර්ධනය කරන්න පුළුවන්. ඍණ ආකල්ප අවම කරන්න පුළුවන්. දැනුම හරහා අපි පිළිගැනීම කියන එක ඇති කරන්න උත්සාහ කරන්න ඕන.


නීතිමය පැත්තෙන් ඔබේ ප්‍රජාවගේ අයිතිවාසිකම් දිනා දීමට ලැබෙන සහාය ප්‍රමාණවත් ද?

විවිධ අංශ, විවිධ සංවිධාන කටයුතු කරනවා. සමහරු නීතිපති දෙපාර්තමේන්තුව එක්ක කටයුතු කරනවා. තවත් සංවිධාන නීතිඥයන් සමග නීති සම්පාදකයන් සමග කටයුතු කරනවා. මම නියෝජනය කරන සංවිධානයත් නීතිමය කෙටුම්පතක් හරහා අපේ ප්‍රජාවේ ජීවත්වීමේ අයිතිය, අධ්‍යාපනයට ඇති අයිතිය ඇතුළු සියලු අයිතිවාසිකම් ඇතුළත්ව පරිපූර්ණ ආත්මාභිමානයකින් යුතුව ජීවත්විය හැකි පරිසරයක් නගා ගන්න අත්‍යවශ්‍ය සාධක දිනා ගන්න කටයුතු කරනවා.                                                                            Screenshot 2023 04 22 at 11.45.21 AM


 ‍''දොළොස්වැනි වගන්තියේ රැකවරණය ඔවුන්ටත් අයිතියි''
ආචාර්ය, නීතිඥ
විසාකේස චන්ද්‍රසේකරම්
අනෙකුත් සියලුම පුරවැසියන්ට හිමි සමාන අයිතිවාසිකම් සමරිසි සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ටත් හිමි විය යුතුයි. ඇයි එහෙම අපි කියන්නෙ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තියේ තියෙනවා යම්කිසි පුද්ගලයෙකුට වෙනස් කොට සැලකීම නොකළ යුතු හේතු ගණනාවක්. ඒ පුද්ගලයන්ගේ වර්ගය අනුව, ජාතිය අනුව, වයස අනුව, ස්ත්‍රී පුරුෂභාවය අනුව දේශපාලන මත දැරීම අනුව ආදී ලැයිස්තුවක් තියෙනවා. මේ ලැයිස්තුව ඉවර නොකර අනෙකුත් එවැනි කියලා වචනයක් කියල තියෙනවා. ඒකෙන් අදහස් කරන්නෙ එම ලැයිස්තුවට යොමු කළ හැකි අය සිටී නම් යොමු කළ යුතුයි යන්නයි. ඒ අනුව තමයි අපි තර්ක කරන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 අනුව යම්කිසි සංක්‍රාන්ති පුද්ගලයන්ට සමාන අයිති අයිතිවාසිකම් තියෙනවා කියල.

අනෙක් පැත්ත, සමරිසි සංක්‍රාන්ති පුද්ගලයන්ට විරුද්ධව ලංකාවේ අපරාධ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද? දණ්ඩ නීති සංග්‍රහයේ (1863) 365 සහ 365 අ වගන්තිය යටතේ 'ස්වභාව ධර්මයට එරෙහි ලිංගික සංසර්ගයට සහ බරපතළ අශෝභන ක්‍රියා' යටතේ. මේ ක්‍රියා දෙකෙන් එකක් යටතේ පුද්ගලයෙකුට නඩු පැවරීමටත් අත්අඩංගුවට ගැනීමටත්, දඬුවම් කිරීමටත් අවුරුදු 10 සිරදඬුවමක් නියම කිරීමටත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා. හැබැයි මොනවද මේ අශෝභන ක්‍රියා- ස්වාභාවික ක්‍රියා කියලා නිවැරදි අර්ථකථනයක් කරලා නැහැ. නෛතික රාමුවක් නෑ. එක එක එක්කෙනාට ඕන විදිහට අර්ථ දක්වනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන්නේ පිරිමියෙක් පිරිමියකු සමග සංසර්ගයේ යෙදීම වරදක් කියලා. ඒකට චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ස්ත්‍රියක්-ස්ත්‍රියක් අතර කියන කාරණයත් ගෙනාවා.

දණ්ඩ නීති සංග්‍රහය අපට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය පාලනයෙන් 1890 ගණන්වල. අද බ්‍රිතාන්‍යයෙත් ඒ නීතිය නෑ. සමරිසි විවාහත් වෙනවා. ලංකාවේ අපි විවාහ ඉල්ලන්නෙ නෑ. හැබැයි නිදහස ඉල්ලනවා.
Screenshot 2023 04 22 at 11.48.38 AM

 ''ඔවුන් සංවිධානය වුණොත්, හිරිහැර නතර වේවි''
නීතිඥ ලක්ෂාන් ඩයස්

90 දශකයෙ මුලදි වගේ මහ ඉස්පිරිතාලේ ලිංගික විපර්‍යාසවලට ලක්වන අයගේ වාට්ටුව බලන්න යන්න ආස හිතුණා, යාලුවෙක් කිව්ව නිසා ඒ ගැන. ඒ මගේ තාරුණ්‍යයේ ලිංගික කුහුල නිසා. හැබයි සංක්‍රාන්ති ලිංගිකයන් ගැන කුහුලක් අපිට තිබුණේ නෑ. ඔවුන්ව මුල සිටම හඳුන්වන අවර ගණයේ නාමයක් තිබුණා. ඒක පිරිමින්ට භාවිත කිරීම මාරන්තික ගෝරියක් වුණා. ඒ  නිසාම පේනවා ඒ නම කොයිතරම් අවර ගණයේ අපහාසයක් හැටියට සමාජය සැලකුවද කියලා.

බොම්බාය හිජ්‍රාවරුන් ගැන කියැවුණු චිත්‍රපටයක් හා ලිපියක් නිසා ඔවුන් ගැන අධ්‍යයනය කරන්නත් කලක ආසාවක් තිබුණා. ඒවා කෙසේ වෙතත් ඉන්දියාවේ සංක්‍රාන්තී ලිංගිකයන් බලවත් කණ්ඩායමක් විදියට දැන ගත්තේ කෝච්චිවල ඔවුන්ගේ බලය  හා  රාත්‍රියට ඉන්දීය වීදිවල යනකොට ඔවුන් පෙන්වූ තග නිසා. සංක්‍රාන්ති ලිංගිකයන් ඉන්දීයාවේ තග දාද්දී අපේ සංක්‍රාන්ති ලිංගිකයන්ට පාර පුරා කොල්ලන්ගෙන් ජීවීතය බේර ගන්න දුවන්න වීම  නම් විශේෂයෙන්ම සැලකිය යුතු කාරණයක්.

එහෙම වුණේ ඇයි? අපිට ලිංගීකත්වය කියන කික් එක එන්නේ දුබලයා මත ලිංගික ආතතීය මුදා හැරීම මත කියලයි මගේ මතය. බොහෝ අවස්ථාවල එහෙම නැතුව රාගය උගන්වන්නේ නැති සමාජයක රාගය මත ලිංගිකත්වය  මුදා හරීන්න අපී දන්නේ නැති නිසා විවාහය තුළත් මේකමයි. ඉතීන් අපි දුබල සංක්‍රාන්ති  ලිංගිකයකු අල්ල ගත්තම තනිපංගලමේ  ඔවුන් කොටු උණාම තම ලිංගික ආතතීය මුදා හරිනවා.

සමහරවිට  සාපරාධී හා ක්‍රෑර විදියට, මේක තමයි කෙටි කතාව.  නීතිය හා සාමය රකින තැන්වල සිට සුචරිතවාදීන් ඉන්න තැන් දක්වා අපේ මිනිසුන්ගේ සංක්‍රාන්තී ලිංගිකයන් ගැන හැසිරීම ඉතා කුරිරුයි. මගේ  සේවාදායකයන් ඉන්නවා සංක්‍රාන්ති ලිංගිකයන්. සමහරු අපෙන් බලාපොරොත්තු වෙන්නේත් ඔවුන් හා ගැහැනියක ලෙස ගනුදෙනු කිරීම.

ඒ ඔවුන්ට සමාජය දුන්නු මානසික බලපෑම. ඔවුන් සංවිධනාත්මක වෙන්න  කැමති නෑ හෝ බයයි. ඒ නිසාම පීඩනය හැමදාම ඔවුන් ළඟ, ඉන්දියාවේ වගේ සංවිධානය වුණොත් ඔය පිරිමි හා  නීතිය කරවන අය ඔවුන්ට හිරිහැර කරන එක නවතීවි.

එච්චරයි අවශ්‍ය වන්නේ, හිරිහැර වීම නවත්වන එක. ඒක නැවැත්වුව ගමන් ඔවුන්ගේ ගමන ඔවුන් යනවා.  ඔවුන්ව ලිංගිකත්වයට භාවිත කරන්න ඕන කොහොමද කියන එක ගැන මෙහෙයවීම කරන්න අපි කාටවත් බෑ. ඒක ඔවුන් ඒ අවස්ථාවේ අවශ්‍යතාව අනුව ගත යුතු තීරණයක්. ජාතික හැඳුනුම්පතට සංක්‍රාන්තී ලිංගිකභාවය ගැන සටහන් කිරීමට අවස්ථාව තිබීමත් ඉදිරිගාමී තත්ත්වයන් වුවත්, පොදු සමාජය ඒ ගැන දක්වන කැමැත්ත හා ආකල්ප වෙනස් වෙන්නේ ඉතාම හෙමින්. කඩිනමින් විය යුත්තේ එයයි.
 
Tiran Kumara Bangagamaarachchi
 
 
 
 
 
 
 
 
 
(ටිරන් කුමාර බංගගමආරච්චි)
නිදහස් මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්