ශ්‍රී ලංකාවේ ජන විවිධත්වය වර්ණවත් කළ සිලෝන් කැෆර්වරු, සත් වැනි පරම්පරාවට පිවිසෙන විට සිය බස

අහිමි වීමෙන් පමණක් නොව සංස්කෘතික පැවතුම් හා ඡවි වර්ණය පවා ක්‍රමයෙන් තුනී වීමෙන් වෙනස්ම අනන්‍යතාවක් කරා රූපාන්තරණය වෙමින් සිටිති. මේ එදෙසට හෙළන ආදරණීය බැල්මකි.

465465 මාක්ස් ජෙරොම් එමලියානා (89) - පරපුරේ පැරණිම සාමාජිකාව


කරදිය සුළං සිප ගනිමින් පුත්තලම නගරයට සේන්දු වූ අප පුත්තලම - අනුරාධපුර පාරේ කිලෝමීටර් 4ක් පමණ ගමන් කරමින් සිරම්බිඅඩිය ග්‍රාමයට පිවිසුණේ සුවිසල් පොල්වතු මැදිනි. පොල්ගෙඩි කඩාගෙන කන රිළවුන්ගෙන් ද කේකාරාවය නඟන මොනරුන්ගෙන් ද ගහණ මෙම වතු මැදින් වැටී ඇති වැලි පාරේ මඳ දුරක් ඇවිද ගියේ මාක්ස් ජෙරොම් එමලියානා හමුවීමට ය.

සුහදශීලිව අප පිළිගත් එමලියානා "කී නොම්" යනුවෙන් පැවසූ විට අප අන්දමන්ද වූයේ ඇගේ වදන් අපට නොවැටහුණ බැවිනි. "අම්මා ඇහුවෙ නම මොකක්ද කියලා", එමලියානාගේ දියණිය ෂෙරින් වහාම ඉදිරිපත් වී මව විමසූ  වදන්වල අරුත් පැහැදිලි කළාය. මාක්ස් ජෙරොම් එමලියානා සිරම්බිඅඩිය ගමේ ජීවත් වන කැෆර් ජන වර්ගයට අයත් කාන්තාවකි.

සිරම්බිඅඩිය ග්‍රාමයේ 'ශ්‍රී ලංකා කැෆර්' පවුල් 24ක් වාසය කරයි. මෙම පවුල් විසිහතර තුළ කැෆර්වරු හැටතුන්දෙනෙක් (63) ජීවත් වෙති. ඊට පිරිමි විසිහතර (24) දෙනෙක් සහ ගැහැනු තිස්නව දෙනෙක් (39) අයත් වෙති.

mdxlgv"මේ පවුල් විසිහතරෙන් දාහතක් විතරම සමෘද්ධිලාභී පවුල්. සමෘද්ධිලාභීන් සහභාගි වන ගමේ පොදු වැඩකටයුතුවලට ඔවුන් නොවරදවාම සහභාගි වෙනවා. කවදාවත් පැහැර හරින්නේ නැහැ. ඒ වගේම පල්ලියේ වැඩවලට හරිම උනන්දුවෙන්, කැප වීමෙන් යනවා. කාපිරි කිව්වාම සමහරුන්ගේ සිත් තුළ ඇති වෙන්නේ කළු උස මහත, රෞද්‍ර‍ ජාතියක් හැටියට. ඒත් මේ අය හරිම අහිංසක විදිහට ජීවත්වන කට්ටියක්. සැමියා බීගෙන ඇවිත් බිරියට ගැහුවා, ඉඩමෙ මායිම් වෙනස් කළා, රණ්ඩු කළා වගේ නඩුහබ කවදාවත් ඇවිත් නැහැ. සිරම්බිඅඩියේ කැෆර්වරු ඒ තරම්ම සාමකාමී විදහට ජීවත් වෙන්නේ." සිරම්බිඅඩිය ග්‍රාම නිලධාරිනී, රේණුකා බමුණුආරච්චි මහත්මිය, ඔවුන්ගේ පරපුර වෙනුවෙන් ඉස්තරම්ම 'ග්‍රාම නිලධාරී සහතිකයක්' දුන්නාය.
 


අතීත වතගොත

සාමාන්‍ය ජන ව්‍යවහාරයේ කාපිරි යනුවෙන් හැඳින්වුණද, වර්තමානයෙහි ඔවුන් හඳුන්වන්නේ “ශ්‍රී ලංකා කැෆර්“ යනුවෙනි. ක්‍රි:ව: 1517දී පෘතුගීසින් විසින් යුද භටයන් හා වහලුන් ලෙස මෙරටට බලහත්කායෙන් රැගෙන ආ අයගෙන් සිලෝන් කැෆර් හෙවත් ශ්‍රී ලංකා කැෆර්වරුන් පැවතෙන බව ඉතිහාසයේ සඳහන් වේ. ඔවුන් සතු ගීත ද්විත්වයකින් ඔවුන්ගේ නිජබිම මොසැම්බික් දේශය බව කියැවෙයි. "මිලානේ ඩී මොසැම්බික්" හා "මොසැම්බික් පුරේ වීර වීර මොසැම්බික් පුරේ" (මොසැම්බික් දේශය සැරදේවා) එකී ගීත ද්විත්වයයි. ලන්දේසින් විසින් පෘතුගීසින්ගෙන් ලංකාව අල්ලා ගත් පසුව කාපිරි හෙවත් කැෆර්වරුන් 4000ක් පමණ කොළඹ එක්රැස් කර තබාගෙන වහල් සේවයේ යොදවා ඇත. කොළඹ Slave Island (කොම්පඤ්ඤවීදිය) ලෙස හැඳින්වෙන්නේ ඔවුන් සිරකර තබා ගත් ප්‍රදේශය යැයි කියවේ. ලන්දේසින්ගෙන් පසුව ඉංග්‍රීසින්ගේ පාලනයට නතු වූ කැෆර්වරුන් මහාමාර්ග ඉදිකිරීම, පාලම් හා ආරුක්කු තැනීම, තැපැල් මලු රැගෙන යෑම යනාදි විවිධ කටයුතු සඳහා යොදවා ගැනිණි. මහනුවර - ගලගෙදර ප්‍රදේශයේ සේවයේ යොදවා සිටි කැෆර්වරුන්, එය අවසන් වීමෙන් අනතුරුව පුත්තලම කල්අඩිය හමුදා කඳවුරට රැගෙන විත් ඇත. ඉන්පසුව පුත්තලම ලුණු ලේවායේ කටයුතුවලටත් පුත්තලම කච්චේරියේ කටයුතුවලටත් යොදවා ඇත. කැෆර්වරුන්ට වහල් සේවයෙන් මිදී ස්වාධීනව ජීවත් වීමට හිමිකම් සැලසුණේ ක්‍රි:ව: 1817 දීය. එහිදී නිදහස් භූමියක අවශ්‍යතාව ඉංග්‍රීසින්ට පෙන්වා දීමට කැෆර්වරුන්ට හැකි විය. පුත්තලම සිරම්බිඅඩිය ප්‍රදේශයෙන් අක්කර 5ක භූමි භාගයක කැෆර් ජනාවාසයක් පිහිටුවා ගැනීමට අවසර ලැබුණේ එහි ප්‍ර‍තිඵලයක් වශයෙනි. එවකට එම ප්‍රදේශයේ "සෙල්ල කණ්ඩල්" නමින් කාපිරි කොලණියක් තිබීම ද ඊට හේතුවක් වී ඇත. සිරම්බිඅඩිය හැරුණු විට, පුත්තලම නගරයේත් කල්පිටිය ප්‍රදේශයේත් ත්‍රිකුණාමලය පාල්උට්ටු ප්‍රදේශයේත් කැෆර්වරු ජීවත්වෙති.  



බස නැසුණු හැටි

gftgrtජෝර්ජ් ෂෙරින් ඇලෙක්ස්

 

"අපේ මව්භාෂාව පෘතුගීසි. අපේ ආගම රෝමානු කතෝලික. අපි උපන්දා ඉඳලා මිය යන තුරු සිදු කෙරෙන සියලුම සිරිත් විරිත් කෙරෙන්නේ රෝමානු කතෝලික විදිහට. ඒවායේ වෙනසක් නැහැ. හැබැයි කතා කරන්නේ සිංහලෙන්. මොකද අපි ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. අපේ ගෙවල්වල වැඩිහිටි අය කතා කළේ සිංහලෙන්. අපේ අම්මලාට, ආච්චිට- සීයාට අපේ මව්භාෂාව හොඳට පුළුවන්. ඒත් එයාලා අපිට ඒ භාෂාව ඉගැන්නුවේ නැහැ. අපි අම්මලාගෙන් ඉගෙනගත්ත වචන කීපයක් විතයි අද අපේ පරම්පරාව දන්නේ." යනුවෙන් පැවසුවේ එමලියානාගේ දියණිය ජෝර්ජ් ෂෙරින් ඇලෙක්ස් ය. ඇය ශ්‍රී ලංකාවේ කැෆර් ප්‍ර‍ජාවේ 6 වැනි පරම්පරාවේ පුරුකකි.



ශ්‍රී ලංකා කැෆර්වරුන්ගේ 5 වැනි පරම්පරාවට අයත් ජෝශප් එලියස් සඳහන් කළේ ඔවුන්ට අයත් මව්බස ඔවුන්ගේ දරුවන්ට දායාද කිරීමට කිසිම උනන්දුවක් නොදැක්වූ බවය.  

xretch"අපේ අම්මලා ඇතුළු වැඩිහිටි පරම්පරාව අපේ මව්භාෂාවෙන් කතා කළා. නැළවිලි ගීත ගායනා කරලා දරුවන්ව නැළෙව්වා. ගීත ගායනා කළා. ඒත් එයාලා අපිට ඒ භාෂාව හුරු කළේ නැහැ. මම 1935 අවුරුද්දේ උපන් කෙනෙක්. ඒ කාලේ ලංකාව යටත්වෙලා තිබුණේ ඉංග්‍රීසින්ට. ඒ වන වට පෘතුගීසි භාෂාවට කිසිම තැනක් තිබුණේ නැහැ. ඉංග්‍රීසියට තමයි තැන තිබුණේ. අනික අපි ජීවත් වෙන්නේ ලංකාවේ. ලංකාවේ වාසය කරන සිංහල, මුස්ලිම් හැමෝම එක්ක අපි එකට ජීවත්වෙන්න ඕනෑ. ඒ නිසා අපේ මව්භාෂාව ඉගෙනගත්තාට වැඩක් නැහැ කියලා අපේ වැඩිහිටියන් තීරණය කරන්න ඇති. ඒ නිසා අපිට අපේ මව්භාෂාවෙන් එකදිගට කතා කරන්න බැහැ. වචන 2ක් 3ක් විතරයි ගලපා ගන්න පුළුවන්. සිංදු නම් මතකයි. මම ඉගෙනගත්තේ පුත්තලම සාන්ත ඇන්ඩෘ විද්‍යාලයෙන් දෙමළ මාධ්‍යයෙන්. මගේ දරුවො ඉගෙනගත්තේ සිංහල මාධ්‍යයෙන්. අපේ භාෂාව ඉගෙනගත්තත් අපිට මේ රටේ ජීවත් වෙන්න නම් සිංහල, දෙමළ භාෂා අවශ්‍ය වෙනවා. ඒනිසා අපි අපේ දරුවන්ට පෘතුගීසි භාෂාව උගන්වන්න උනන්දු වුණේ නැහැ." යනුවෙන් ජෝශප් එලියස් පැහැදිලි කළේය.

කැෆර් ජාතික ජෝශප් එලියස් පදිංචි වී සිටින්නේ සිරම්බිඅඩිය ග්‍රාමයේ නොවේ. ඔහු පුත්තලම ගුඩ්ෂෙඩ් පාරේ පදිංචි වී සිටින කැෆර්වරුන්ගෙන් එක් අයෙකි. ඔහු විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකි.

"මම දෙමළ මාධ්‍යයෙන් ඉගෙනගත්ත නිසා රජයේ සේවයට යනවිට සිංහල විභාගයක් සමත්වෙන්න අවශ්‍ය වුණා. මම ඒ විභාගය සමත් වුණා. මම කල්පිටිය ප්‍රදේශයේ අවු: 20ක් රාජකාරි කළා. එතනදි මම දෙමළ මාධ්‍යයෙන් ඉගෙනගැනීම වාසියක් වුණා. පුත්තලමෙ වසම් කීපයක අවු:10ක් විතර සේවය කළා. ඒ මොන වෙලාවකදිවත් මම කැෆර් ජාතිකයෙක් කියලා මට කුඩම්මාගේ සැලකිලි ලැබුණේ නැහැ. කෙනෙහෙලිකම් කළේ නැහැ. අනිත් අයට වගේම මටත් සැලකුවා." ඔහු පැවසුවේය.
 

නැටුම් ගැයුම්- එකම දායාදය

ජෝශප් එලියස්ගේ වැඩිමහල් සොයුරිය වන්නේ එමලියානා ය. ඇය ද පුත්තලම සාන්ත ආනා විදුහලෙන් දෙමළ මාධ්‍යයෙන් ඉගෙනුම ලැබූ අයෙකි. විවාහයෙන් පසුව සිරම්බිඅඩියට පැමිණි ඈ, අද එහි ජීවත් වන කැෆර්වරුන් අතරින් වයෝවෘද්ධම කාන්තාව වන්නීය. දැන් ඇගේ වයස අවු: 89කි. ඇයට දරුවන් අටදෙනෙකි. මුනුපුරු මිනිපිරියෝ විසිදෙනෙකි.

"නාම්පාපං නමංචේ - රේපාඤ්ඤං මුලා මූ... " යනුවෙන් කැෆර්වරුන්ට අයත් ගීතයක් ඇය අප වෙනුවෙන් ගායනා කළ ද එය අතරමඟ නවතා දැමුවේ ගීතය අමතක යැයි පවසමිනි. බයිලා කපිරිඤ්ඤා ඌරුවට අයත් මෙම කැෆර් ගීත කාපිරි මාඤ්ජා ලෙස හැඳින්වේ. පොල්කටු දෙකකුත් හැඳි දෙකකුත් බෝතලයක් හා කාසියකුත් ඩොල්කියක් හා රබානකුත් පමණක් උපයෝගී කරගෙන සංගීතය සපයා ගන්නා මෙම ගීත මන්දගාමි ස්වරයකින් ඇරඹේ. ක්‍ර‍මක්‍ර‍මයෙන් ඉතා වේගවත් වේ. තද වර්ණවලින් යුතු දිග සාය සහිත ගවුම්වලින් කැෆර් කාන්තාවන් සැරසෙන විට අත්දිග කමිස හා සරම්වලින් සැරසුණු පිරිමින් එකතු වී "කාපිරි මාඤ්ජා"  ගීතවලට නටන ආකාරය ඉතා මනහරය.

r67fgh

"නත්තලකදී, පල්ලියේ මංගල්‍යයකදී, විවාහ මංගල්‍යයකදී අපේ වැඩිහිටි පරම්පරාව ගීත ගායනා කරලා ලස්සනට නැටුවා. අපි පුංචි කාලේ ඒ දිහෑ ආසාවෙන් බලාගෙන හිටියා. ඒ ගීත ගායනා කළේ පෘතුගීසි භාෂාවෙන්. අපේ උත්සවවලට අපි වෙනත් අයගේ සිංදු කියන්නේ හෝ වෙනත් වාදක කණ්ඩායම් ගෙන්වන්නේ නැහැ. අපේ ම සිංදු කියලා අපේ ම සංගීතයට තමයි අපි නටන්නේ. අද කැෆර්වරුන්ට පරම්පරාවෙන් ඉතිරිවෙලා තියෙන්නේ මේ නැටුම් ගැයුම් ටික විතරයි. අපි මේ නැටුම් ගැයුම් එකතු කරලා සංස්කෘතික කණ්ඩායමක් හදලා තිබෙනවා. දැන් අපේ කණ්ඩායමට අවු: 28ක් වෙනවා. මේ කණ්ඩායමේ වැඩිමහල් කෙනාගේ වයස අවු: 74යි. එයා වින්කලයක වැඩ කරනවා. බාලම කෙනාගේ වයස අවු: 24යි. ඒ ළමයා සුපිරි වෙළෙඳසැලක වැඩ කරනවා." යනුවෙන් ජෝර්ජ් ෂෙරින් ඇලෙක්ස් සඳහන් කළාය. මෙම සංස්කෘතික කණ්ඩායමේ නායිකාව වන්නේ ඇයයි.

 

පරපුරට හිතැති පියතුමා

fujfgj

සිරම්බිඅඩිය ගමේ කැෆර්වරුන්ගේ සංස්කෘතික කණ්ඩායම ගැන කතා කිරීමේදී පයස් කෙනඩි ප්‍ර‍නාන්දු පියතුමා අමතක කළ නොහැකිය. ඊට හේතුව වූයේ මෙම නැටුම් ගැයුම් කණ්ඩායමට පණපොවා සමාජගත කිරීමට මූලික අඩිතාලම දැමුවේ එතුමා නිසාය.

"මම පුත්තලම සාන්ත මරියා දේවස්ථානයේ මීසම් පාලක හැටියට ආවේ 2016 අවුරුද්දේ. සිරම්බිඅඩිය ගමේ ශුද්ධ වූ ත්‍රිත්වයේ දේවස්ථානයේ දිව්‍ය පූජාව ඇතුළු අනෙකුත් ආගමික කටයුතු භාරව සිටියේ මමයි. මෙහිදී මට අවශ්‍ය වුණා කැෆර්වරුන් ගැන ගවේෂණයක් කරන්න. කල්පිටිය ප්‍රදේශයෙත් පුත්තලම ගුඩ්ෂෙඩ් ප්‍රදේශයෙත් සිරම්බිඅඩියෙත් කැෆර්වරුන් කණ්ඩායම් 3ක් ජීවත් වන බව මම හඳුනා ගත්තා. ඒත් අය බෙදිලා හිටියේ. කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ කණ්ඩායම් අතර සම්බන්ධකම් ඇති කිරීමට මට අවශ්‍ය වුණා. එතනදි මම උපක්‍ර‍මයක් පාවිච්චි කළා. ඒ තමයි පල්ලියේ මංගල්ලෙ දවසෙ රාත්‍රියේ ප්‍ර‍සංගයක් සංවිධානය කිරීම. ඒ ප්‍ර‍සංගයට කැෆර්වරුන්ගේ කණ්ඩායම් තුනේම නැටුම් ගැයුම් මම සම්බන්ධ කරවා ගත්තා. ඊටපස්සේ සිරම්බිඅඩිය ගමේ කතෝලික, බෞද්ධ සෑම ගෙදරකටම ගිහින් මම ආරාධනා කළා, අපේ ප්‍ර‍සංගය බලන්න එන්න කියලා. එදා හැමෝටම රෑ කෑම පල්ලියෙන් දුන්නා. ඒ උත්සවයට ආපු කැෆර්වරුන්ගේ තොරතුරු අරගෙන මම සංගණනයක් කළා. ප්‍ර‍සංගය නරඹන්න ආපු අය කැෆර්වරුන්ගේ නැටුම් ගැයුම්වලට කොයි තරම් වශී වුණාද කිව්වොත් නවත්වන්න දෙන්නේ නැතිව රෑ 11, 12 වෙනකම් ප්‍ර‍සංගය පවත්වන්න සිද්ධ වුණා." යනුවෙන් පයස් කෙනඩි ප්‍ර‍නාන්දු පියතුමා පැවසීය.  

ඉන් අනතුරුව එළැඹුණු 2017 වර්ෂය කැෆර්වරුන්ට සුවිශේෂි වර්ෂයක් විය. ඒ, කැෆර්වරුන් ලංකාවට පැමිණ වර්ෂ 500ක් සම්පූර්ණ වීම සහ වහල්භාවයෙන් මිදී ස්වාධීනව ජීවත් වීම අරඹා වර්ෂ 200ක් සම්පූර්ණ වීම නිසාය. ඒ වෙනුවෙන් යමක් කළ යුතු යැයි සිතූ පයස් කෙනඩි ප්‍ර‍නාන්දු පියතුමා උත්සවයක් සංවිධානය කළේය. ඊට රජයේ සහයෝගය ද ඉල්ලා සිටියේය. එහෙත් රජයෙන් කිසිම සහයෝගයක් නොලැබුණෙන් උත්සවයේ බර කරට ගෙන තනිවම ඇදගෙන යෑමට සිදු වූයේ කෙනඩි පියතුමාටය. කැෆර්වරුන් සතු නැටුම් ගැයුම්වලට අමතර අංග කීපයක් එකතු කිරීමට කල්පනා කළ පියතුමා මොසැම්බික්වරුන්ගේ විවාහ මංගල්‍යවලදී සිදු කෙරෙන නැටුම් ගැයුම්, යුද ජයග්‍ර‍හණයකදී කෙරෙන ගායනා වැනි මොසැම්බික්වරුන්ට අනන්‍ය වූ සංස්කෘතික අංග කීපයක් ද එකතු කළේය. මෙම ප්‍ර‍සංගයේ පුහුණුවීම් කටයුතු කළේ කෙනඩි පියතුමාය. මෙම ප්‍ර‍සංගයට ජනමාධ්‍යයෙන් පුළුල් ආවරණයක් ලබා ගැනීමට ද ඔහු කටයුතු කළේය. උත්සවය පුත්තලම නගරයේ දවස පුරා පැවැත්වුණු අතර ඊට ඉහළම ප්‍ර‍තිචාර ලැබිණි.

"ඊට පස්සේ කැෆර්වරුන්ගේ සංස්කෘතික කණ්ඩායමට සංදර්ශනවලට ආරාධනා ගලාගෙන ආවා. මාසෙකට 4ක් 5ක් ලැබුණා. ඒක එයාලාගේ ආදායම් තත්ත්වය ඉහළ දමාගන්න හොඳ මාර්ගයක් වුණා. ඊට අමතරව යුද හමුදාපති මහේෂ් සේනානායක හිටපු කාලේ යුද හමුදාවේ නත්තල් උත්සවය පැවැත්වුණේ පුත්තලම සාන්ත මරියා දේවස්ථානයේ. මම ඒ උත්සවයටත් කැෆර්වරුන්ගේ සංස්කෘතික කණ්ඩායම ගෙන්වුවා. උත්සවය අවසානයේදී නත්තල නිමිති කර ගනිමින් යුද හමුදාවෙන් කැෆර්වරුන්ට රු. ලක්ෂ 15ක විතර බඩු මුට්ටු තෑගි කළා." යනුවෙන් පයස් කෙනඩි ප්‍ර‍නාන්දු පියතුමා විස්තර කළේය.



උරුමය රැකගැනීමේ අභියෝගය
 
එහෙත් ඒ ආ ගමන් මගට විරාමයක් තැබීමට සිදුවූයේ පාස්කු ප්‍ර‍හාරය සහ කොවිඩ් වසංගතය නිසාය. සංස්කෘතික කණ්ඩායම් නායිකාව වන ජෝර්ජ් ෂෙරින් ඇලෙක්ස් සඳහන් කළේ කැෆර්වරුන්ට ඉතිරි වී තිබෙන එකම උරුමය තවත් අවු: 10ක්වත් පවතීදැයි සැක සහිත බවය.



"අපිට ආවේණික නැටුම් ගැයුම් රැකගන්නට මගේ පරම්පරාව වගේම මගෙන් පසු පරම්පරාවත් කැමතියි. ඒත් නැටුම් ගැයුම් පුහුණුවෙන්න ඒ අයට වෙලාවක් නැහැ. කුලී වැඩක් කරගන්න කෙනා ඒ වැඩ නවත්තලා නැටුම් ගැයුම් පුරුදු වෙන්න ගියොත් බඩගින්නේ. කොහේ හරි රස්සාවක් කරනවා නම් ඒ ආයතනවලින් නිවාඩු දාලා පුහුණුවීම් කරන්න බැහැ. අපේ පරම්පරාවේ සංස්කෘතිය රැකගන්න ගියොත් අපි හැමදාම එකම තැන. දුප්පත්කමෙන් ගොඩ එන්න බැහැ. කිසිම නැඟිටීමක් නැහැ. ඒනිසා අපේ බාල පරම්පරාව උත්සාහ කරන්නේ කොහොමහරි රස්සාවක් කරලා දුප්පත්කමෙන් ගොඩ එන්න. ඒකට එයාලාට වැරැද්දක් කියන්න බැහැ. අපේ පරම්පරාවේ සංස්කෘතික අංග වැළලී යන එක ගැන දුකයි. ඒත් අපි මොනවා කරන්නද? අපේ නැටුම් ගැයුම් ආරක්ෂා කර ගැනීමට රජයෙන් කිසිම සහයෝගයක් දෙන්නේ නැහැනේ." යනුවෙන් ජෝර්ජ් ෂෙරින් ඇලෙක්ස් මැසිවිලි නැඟුවාය.



"සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය කියලා වෙනම අංශයක් තිබෙනවා. කැෆර්වරුන්ගේ ගීත, නැටුම්, වැයුම් වීඩියෝ කරලා මෙහි සංරක්ෂණ ගබඩාවේ තිබෙනවා. අපේ දෙපාර්තමේන්තුවෙන් සංවිධානය කෙරෙන උත්සවවලටත් අපි වාර්ෂිකව ඒ අය සහභාගි කරවා ගත්තා. මේ දවස්වල නම් වාර්ෂිකව කෙරෙන උත්සව නැවතිලා තිබෙන්නේ." යනුවෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා කේ.ඩී.එස්. ක්‍රිෂාන්ති පැවසුවේ කැෆර්වරුන්ගේ සංස්කෘතික අංග සංරක්ෂණය වී ඇති බව අවධාරණය කරමිනි.



අපූරු සම්මිශ්‍රණයක්

vcgjhhmවර්තමානයේදී කැෆර්වරුන්ගෙන් ගිලිහී යමින් තිබෙන්නේ ඔවුන් සතු සංස්කෘතික උරුමයන් පමණක් නොවේ. ඔවුන්ට ජානවලින් උරුම වූ හැඩරුව  හීන වෙමින් යන බව කැෆර් බාල පරම්පාව දකින විට මට හැඟුණි. සාමාන්‍යයෙන් අප්‍රිකානුවන්ට උරුම වූ උසට සරිලන මහත, පුළුල් තොල්, බොකුටු හිසකෙස්, අඳුරු වර්ණය වත්මන් කැෆර් පරපුර තුළ දිස් වන්නේ අල්ප වශයෙනි. ඊට හේතුව කැෆර්වරුන් මේ වන විට සිංහල, දෙමළ, බර්ගර් වැනි වෙනත් ජාතින් සමඟ මිශ්‍ර‍ වී සිටීමයි.



"මගේ ආච්චි කැෆර් ජාතික කාන්තාවක්. ආච්චිගේ නම මේරි එළිසබෙත්. ඒත් ආච්චි විවාහ වුණේ බර්ගර් ජාතිකයකු වන කාල් වෝල්ටර් විලයම්ස් එක්ක. ඒනිසා මගේ අම්මා බර්ගර් ජාතික කාන්තාවක් වුණා. මගේ අම්මාගේ නම එළිසබෙත් ජොයිස් විලියම්ස්. මගේ අම්මා විවාහ වුණේ සිංහල ජාතිකයකු වන ජූඩ් ප්‍ර‍නාන්දු සමඟ. ඒ නිසා මම සිංහල වුණා. මගේ උප්පැන්නේ ජාතිය හැටියට සඳහන් වෙලා තිබෙන්නේ සිංහල කියලා." යනුවෙන් පැහැදිලි කළේ ශ්‍රී වික්‍ර‍ම නහලුගේ තැහැනි ඔමේලා ප්‍ර‍නාන්දුය.



සිරම්බිඅඩිය ග්‍රාම නිලධාරිනී, රේණුකා බමුණුආරච්චි සඳහන් කළේ 1980 වර්ෂයට පෙර උපන් කැෆර්වරුන්ගේ ජාතිය, කාපිරි ලෙස උප්පැන්න සහතිකවල සඳහන් වුවද දැන් "ශ්‍රී ලංකා කැෆර්" යනුවෙන් උප්පැන්න සහතිකවල සඳහන් කෙරෙන බවයි. ඊට අමතරව මිශ්‍ර‍ විවාහයන් සමඟ ඒ අයගේ දරුවන් සිංහල, බර්ගර්, දමිළ වශයෙන් ඒ ඒ ජාතීන්වලට අයත් වන බවත් එම සංකලනයන් සමඟ අප්‍රිකානුවන්ට ආවේණික හැඩහුරුකම්  ක්‍ර‍මිකව හීන වී යන බවත් ඈ තවදුරටත් පැවසුවාය.  

තැහැනි ඔමේලා ප්‍ර‍නාන්දු කැෆර්, බර්ගර් හා සිංහල ජාතීන් තුනක සංකලනයකි. බොකුටු හිසකෙස්, අඳුරු වර්ණය, සවිමත් බව, පුළුල් තොල් කිසිවක් ඇයට තිබුණේ නැත. අද ඈ රජයේ රැකියාවක නියුක්ත වී සිටින තරුණියකි. ඈ සේවය කරන්නේ සිරම්බිඅඩිය පුස්තකාල සහායිකා ලෙසිනි.
 


හත්වැනි පරපුරේ ප්‍රවණතා

fnbkftyuසිරම්බිඅඩිය කැෆර් ජනතාව අතරින් මට හමුවූ රජයේ රැකියාවක නිරත එකම තැනැත්තිය තැහැනි ඔමේලාය. තැහැනිගේ පරම්පරාවට පෙර, 6 වැනි පරම්පරාවේ බොහෝ දෙනෙක් පොල්වතු ශුද්ධ කිරීම, පොල්මෝල්වල වැඩ, පෙදරේරු, වඩුවැඩ වැනි දෛනික වැටුප් උපයන රැකියාවල නිරත වී සිටිති. කොටින්ම කිවහොත් පෝලියෝ රෝගයට ගොදුරු වී ආබාධිතව සිටින ලුවී පවා විශේෂ මෝටර් බයිසිකලයක නැඟී ලොතරැයි වෙළඳාමේ යෙදෙන්නේ ජීවන අරගලය ජය ගැනීමට ය. එහෙත් තැහැනි අයත් වන 7 වැනි පරම්පරාවේ අය සුපිරි වෙළෙඳසැල්, සංචාරක හෝටල් වැනි විවිධ ආයතනවල රැකියාවන්හී යෙදී සිටිති. එහිදී ඔවුන්ගේ පෙනුම නිසාම සුවිශේෂි වරප්‍ර‍සාද ලැබූ අය ද සිටිති.    

සුපිරි වෙළෙඳසැලක සේවයේ නිරත වී සිටින සංජනාට මෝස්තර නිරූපණ ක්ෂේත්‍ර‍යට එක්වීමට හැකිxfgerty වූයේ ඇගේ පෙනුම නිසාය. සංජනාගේ නිවුන් සොහොයුරු සජිත්ට "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලි නාට්‍යයේ රඟපෑමට අවස්ථාවක් හිමි වූයේ ඔහු හෝටලයක සේවයේ යෙදී සිටියදී අහම්බෙන් ඔහුගේ රුව දැකීමෙනි. සංජනා හා සජිත්ගේ මව කැෆර් ජාතික කාන්තාවක් වුවද පියා සිංහල ජාතිකයකු වීම නිසා ඔවුන් දෙදෙනා සිංහල ජාතිකයන් වී සිටිති. සිරම්බිඅඩිය කැෆර් ප්‍ර‍ජාවට අයත් ජීවන් පාසල් වියේදීම ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ බැවින් හමුදා සේවයට එක් වී සිටින අතර ඔහු විවාහ වී කැලණිය ප්‍රදේශයේ පදිංචි වී සිටීම නිසා සිරම්බිඅඩයෙන් ඈත් වී සිටියි.

පුත්තලම ගුඩ්ෂෙඩ් ප්‍රදේශයේ පදිංචි කැෆර්වරුන්ගේ තත්ත්වය මීට මඳක් වෙනස් වේ. ඔවුන්ගේ පරම්පරාවක් ඉදිරියට පැමිණ තිබේ. කැෆර්වරුන්ගේ 5 වැනි පම්පරාවට අයත් අය අතර ජෝශප් එලියස් වැනි රජයේ රැකියාවල නියුතු අය සිටිති. රෝහල් උපස්ථායක, හෙද සේවය වැනි රැකියාවල ඔවුන් යෙදී ඇත. පොලිස් අශ්වාරෝහක අංශයේ ප්‍ර‍ධානියකු ලෙස සේවය කළ කොලින් අයත් වන්නේ ද  පුත්තලම කැෆර් ප්‍ර‍ජාවට ය.  

"සිරම්බිඅඩිය ගමේ ළමයින් ඉගෙන ගන්නේ ගමේ ඉස්කෝලෙන්. ඒ පාසලේ තියෙන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා විතරයි. උසස් පෙළ පංතිවලට පුත්තලමෙ පාසල්වලට යන්න ඕනෑ. පවුල්වල තියෙන ආර්ථික ප්‍ර‍ශ්න එක්ක ළමයින්ව පුත්තලම පාසල්වලට යවන්න උනන්දු වෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළ කළාට පස්සේ මොකක් හරි රස්සාවක් හොයා ගන්නවා. මම අ.පො.ස. උසස් පෙළට ඉගෙනගත්තේ හලාවත කාර්මිලා කන්‍යාරාමයේ නේවාසිකව ඉඳලා. පුත්තලමේ ජීවත්වන කැෆර්වරුන්ට පුත්තලමෙ හොඳ ඉස්කෝල තියෙනවා. පහසුකම් තියෙනවා. ඒ නිසා එයාලා ඉගෙනගැනීමට නැඹුරු වෙනවා. සිරම්බිඅඩියේ වැඩිදෙනෙක් දුප්පත්කමෙන් ගොඩ එන්න තමයි උත්සාහ කරන්නේ." යනුවෙන් තැහැති ඔමේලා ප්‍ර‍නාන්දු පැහැදිලි කළාය.
 

පරපුරේ මිණිකැට


සිරම්බිඅඩිය කැෆර්වරුන්ගෙන් හා හා පුරා කියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වාසනාව උදා වූයේ ෂෙරින්ගේ දෙවැනි දියණිය වන මයිකල් ඔලිවියා සුසෑන්ටය. වාණිජ විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ හැදෑරූ ඔලිවියා දැන් වයඹ විශ්වවිද්‍යාලයට තේරී සිටියි. ෂෙරින්ගේ පුතු ඩේමියන් සත්සර සිරම්බිඅඩිය විදුහලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මලල ක්‍රීඩාවෙන් දස්කම් දක්වන සිසුවෙකි. කැෆර් ප්‍ර‍ජාව සහ කැෆර්වරුන්ගේ උරුමයන් සංරක්ෂණය කිරීම පිළිබඳව ඔහුට කිසිදු අදහසක් නැත. ඔහුගේ එකම බලාපොරොත්තුව ක්‍රීඩාවෙන් ඉදිරියටම යෑම පමණි. ෂෙරින් මෙන්ම ෂෙරින්ගේ සැමියා වන මයිකල් මොරිස් ලෙනාඩ් කැෆර් ජාතිකයන් වුවද ඔවුන් දෙපළගේ එකම පුතුට තබා ඇත්තේ සිංහල නමකි. ඒ, සත්සර ය.    



ජෝශප් එලියස්ගේ පවුලේ  ද එසේමය. ජෝශප් එලියස්ගේ මව මිකිලියා වන අත පියා මාර්කු ය. එකී නම් අයත් වන්නේ පෘතුගීසින්ටය. එහෙත් ජෝශප්ගේ පරම්පරාවටත් ජෝශප්ගේ දරුවන්ටත් නම් තැබීමේදී ඉංග්‍රීසි ආභාෂයට මුල් තැන ලැබිණි. ජෙරාඩ්, වර්ජිනියා, එලිසබෙත් වැනි නම් තැබුවේ ඒ අනුවය. එහෙත් ජෝශප්ගේ මුනුපුරා කවිඳු ය. ඔහුගේ මිනිපිරිය දිනිති ය. මෙම නම් නම් වෙනස් වන ආකාරය ගැන කතා කරන විට මහගමසේකරගේ "රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත" පද්‍ය සංග්‍ර‍හය සිහියට නැඟුණේ නිරායාසයෙනි.

කැෆර්වරුන්ගේ නම්, සිරිත් විරිත්, සංස්කෘතිය ක්‍ර‍මක්‍ර‍මයෙන් තුරන් වී යෑම පිළිබඳව කනගාටුවක් තිබුණත් ලංකාවේ සාමාන්‍ය ජනතාව සමඟ ජීවත් වන විට ඊට හැඩ ගැසීමට සිදු වන බව ජෝශප් එලියස් සඳහන් කළේ සංවේගයෙනි.

"මීට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා දකුණු අප්‍රිකාවේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙබරවාරි 04 වැනිදා නිදහස් උත්සවය සැමරීමේ උත්සවයක් සංවිධානය කරලා අපි ඒ රටටට ගෙන්වා ගත්තා. අපි එහෙ ගිහින් නැටුම් ගැයුම් ඉදිරිපත් කළා. අපේ භාෂාවෙන් කතා කළා. ඒත් ඒ රටේ අයට අපි කියන දේ තේරුණේ නැහැ. ඒ අය කතා කළේ ‘බන්ටු‘ කියන භාෂාව අපිට භාෂා පරිවර්තක කෙනකුගේ සහාය අවශ්‍ය වුණා. එදා අපි තේරුම් ගත්තා අපේ භාෂාව ලෝකයෙන් තුරන් වෙමින් යන මළ භාෂාවක් කියලා." යනුවෙන් ජෝර්ජ් ෂෙරින් ඇලෙක්ස් පැවසුවාය. මොසැම්බික් රටේ භාෂාවේ පූර්ව අවස්ථාවක් මෙරට කැෆර්වරුන් අතර ඉතිරි වී තිබීම නිසා මෙම ව්‍යාකූල තත්ත්වය ඇති වූවා විය හැකිය. බොහෝවිට වර්තමානය වන විට එරට භාෂාව නවීකරණය වෙමින් යුග ගණනාවක් ඉදිරියට පැමිණ ඇතිවාට සැක නැත.    
 


කෙනඩි පියතුමාගේ අධ්‍යයනය  

එහෙත් පයස් කෙනඩි ප්‍ර‍නාන්දු පියතුමා සඳහන් කළේ ලංකාවේ කැෆර්වරුන් සතුව තිබෙන්නේ පෘතුගීසි භාෂාව නොවන බවයි. අප්‍රිකානු, පෘතුගීසි ඇතුළු භාෂා කීපයක් සම්මිශ්‍ර‍ණය වූ භාෂාවක් ලංකා කැෆර්වරුන් සතු වන බවත් එය අප්‍රිකානු වහල් සමාජය පමණක් භාවිත කළ ක්‍රෙඔල් භාෂාව බවත් පයස් කෙනඩි ප්‍ර‍නාන්දු පියතුමා පැහැදිලි කළේය. ඔහු ඒ බව තහවුරු කරගෙන තිබෙන්නේ කැෆර්වරුන් පිළිබඳව කළ අධ්‍යයනයකිනි. ශ්‍රී ලංකාවේ කැෆර් ප්‍ර‍ජාව පිළිබඳව අධ්‍යයනය කරමින් ඔවුන්ගේ උන්නතිය වෙනුවෙන් ඇපකැප වූ පයස් කෙනඩි ප්‍ර‍නාන්දු පියතුමා මීට මාස කීපයකට පෙර පුත්තලමට ආයුබෝවන් කීවේ වෙනත් දේවස්ථානයකට මාරුවීමක් ලැබුණු නිසාය. සිරම්බිඅඩිය කැෆර්වරුන් සංවිධානය කළ සමුගැනීමේ සාදයේදී පියතුමාව මල් කලඹක් දී පිළිගනු ලැබුවේ කැෆර්වරුන්ගේ වයස්ගතම කාන්තාව වන එමලියානා ය.  



"අපේ පරම්පරාවේ මුල් කට්ටිය තමයි මේ රටේ පාලම්, බෝක්කු, මහා මාර්ග, දුම්රිය මාර්ග හැදුවේ. ගාලු කොටුව හදන්නත් අපේ මුතුන්මිත්තෝ දහදිය වැගිරුවා. ඒත් අපේ අය වෙනුවෙන් ලංකාවේ සොහොන් කොතක්වත් නැහැ. ලෝක යුද්ධවලින් මිය ගිය විජාතික රණවිරුවන් වෙනුවෙන් මේ රටේ සොහොන්කොත් තිබෙනවා. රටේ සංවර්ධනයට දායක වුණු අපේ අයට මුකුත් නැහැ. අප්‍රිකානු තානාපති කාර්යාලය අපේ මුතුන්මිත්තන් ගැන තොරතුරු සොයාගෙන යද්දි ගාලු කොටුව ළඟ තිබෙන රථගාල, ඉස්සර අපේ අයව වළ දාපු සොහොන් බිමක් කියලා සොයාගෙන තිබුණා. ඊටපස්සේ 2019 අප්‍රේල් 10 වැනිදා ඒ කාලේ හිටපු අප්‍රිකානු මහ කොමසාරිස්වරිය රොබීනා මාක් මහත්මියගේ ප්‍ර‍ධානත්වයෙන් ගාලු කොටුවේ සමරු උත්සවයක් පැවැත්වුවා. ඒකට අපිත් ගියා. එදා ගාලු කොටුවෙ රථගාලට වාහන ඇතුළත් නොකර, අපේ කටයුතු කරගෙන යෑමට පොලිසිය සහයෝගය දුන්නා. මිය ගිය අපේ මුතුන්මිත්තන් වෙනුවෙන් ආගමික වතාවත් කළේ අප්‍රිකානු විදිහට. එදා ගාලු කොටුවෙ අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් ස්මාරකයක් හදලා විවෘත කළා." යනුවෙන් සඳහන් කළේ ජෝර්ජ් ෂෙරින් ඇලෙක්ස් ය.


 
ශ්‍රී ලංකාවේ වාසය කරන කැෆර්වරුන් හා ඔවුන්ගේ සංස්කෘතිය  සංරක්ෂණය කරගැනීම උදෙසා යම් වැඩපිළිවෙළක් අරඹා තිබේදැයි  දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා සිටි අවස්ථාවේදී එවැනි  වැඩපිළිවෙළක් නොමැති බව දන්වා සිටියේ කැෆර් ජනතාව මොසැම්බික් රටට අයත් අය බව සදහන් කරමිනි. ලංකාවේ මොසැම්බික් තානාපති කාර්යාලයක් හෝ මහ කොමසාරිස් කාර්යාලයක් නොමැති බැවින් මෙරට කැෆර්වරුන් මෙහි අතරමං වී ඇති සෙයක් මටහැඟුණි.
 ස්වකීය මව්බිමෙන් හා සංස්කෘතියෙන් බැහැර කර බලහත්කාරයෙන් මෙරටට ගෙනැවිත් පදිංචි කරවූ කැෆර්වරුන්ට මේ වනවිට ඔවුන්ගේ අනන්‍යාව පවා ආරක්ෂා කර ගැනීමට හැකියාවක් නැති බව මේ අනුව පැහැදිලි ය. ආර්ථික ගැටලු හා අන්‍ය ජාතිකයන් සමඟ මිශ්‍ර‍ වීමෙන් කැෆර්වරුන් වඳ වී යන ප්‍ර‍ජාවක් ලෙස හඳුනා ගත හැකිය. ලාංකීය සමාජයේ ජන විවිධත්වය පෝෂණය කළ, සිය ශ්‍රමයෙන්, සංස්කෘතියෙන් රටට බොහෝ දෑ උරුම කළ ඔවුන් ගැන අප මීට වඩා සොයාබැලිය යුතු නොවේද?


Harsha 2023

 

 

 


(හර්ෂා සුගතදාස)

 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ඡායාරූප- ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න, රවී විජේමාන්න   

(උපදේශනය සහ අනුග්‍රාහක දායකත්වය ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා ආයතනයෙනි.)

 

JW

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්