අඩු ප්‍රවේශපත් අලෙවියෙන් ක්‍රීඩාංගණ හිස්වෙද්දී, නවාතැන් සහ ප්‍රවාහන අර්බුද හේතුවෙන් අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා උළෙල දැඩි විවේචනයට ලක්වේ.
ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ක්‍රීඩාංගණය හා ජපානයේ අනෙකුත් ක්‍රීඩාංගණවල ආසන විශාල ප්‍රමාණයෙන් හිස්ව තිබෙන අයුරු දිස්වීමෙන් පසුව ආසියානු ක්‍රීඩා සංවිධායකයින් ප්‍රවේශ පත් අලෙවිය පිළිබඳව සෑහීමකට පත්ව නැති බව වාර්තා වනවා.
ප්‍රධාන ඉසව්වලටත් ප්‍රේක්ෂක උනන්දුව බිඳවැටෙයි
මීටර් 100 කෙටි දුර ධාවනයන් ඕනෑම ක්‍රීඩා උළෙලක කැපී පෙනෙන ඉසව්වන් වූව ද, නරඹන්නන් 30,000ක් රඳවා ගැනීමේ හැකියාවක් තිබෙන Mizuho Park මලල ක්‍රීඩා ක්‍රීඩාංගණයේ එම තරග සිකුරාදා රාත්‍රියේ පැවැත්වෙද්දී එහි ආසනවලින් හතරෙන් තුනක් ම හිස්ව තිබුණා.
දේශීය නරඹන්නන් ආකර්ෂණය කරගෙන ඔවුන් විශාල ප්‍රමාණයෙන් සතිඅන්තයේ ක්‍රීඩාංගණයට ගෙන්වා ගැනීමට ජපානයේ මිසාකි මොරෝටාගේ කාන්තා රිටි පැනීම රන් පදක්කම් අපේක්ෂාවට පවා නොහැකි වුණා.
පාපන්දු ඇතුළු ක්‍රීඩා අටක් සඳහා ටිකට් අලෙවි වී තිබෙන්නේ සියයට 60කට අඩු ප්‍රමාණයක් බවත් සමාප්ත උත්සවයේ ප්‍රවේශ පත් ද ඒ හා සමාන ප්‍රමාණයකින් විකිණී නැති බවත් අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධායකයින් පවසනවා.
සතියකට පෙර පැවති සමාරම්භක උත්සවයේ ටිකට් සියයට 90කට වැඩියෙන් අලෙවි වී තිබුනත් ක්‍රීඩක ආචාර පෙළපාළිය හා ආසියානු ක්‍රීඩා පහන දැල්වුණු ඒ අවස්ථාවට ජනතාවගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබීම වෙනුවට හිස්වූ ආසන සහිත විශාල පෙදෙස් ක්‍රීඩාමණ්ඩපයේ දිස්වීම පිළිබඳව ක්‍රීඩා උලෙලේ සංවිධායකයින් දොස් නගනවා.
හිස් ආසන සහ භාවිත නොවූ ප්‍රවේශපත් ගැටලුව
සමස්තයක් වශයෙන් ටිකට් අලෙවිය ශක්තිමත් වූවත් සමහර තරගාවලියන් සඳහා හිස් ආසන සැලකිය යුතු ප්‍රමාණයක් දක්නට ලැබීම පිළිබඳව සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. මීට හේතු කිහිපයක් ම තිබුණත් එහි පළමුවැන්න වී තිබෙන්නේ එක් දිනයකදී තරග ගණනාවක් පැවැත්වෙද්දී එහි වඩාත්ම ජනප්‍රිය තරගය වෙත සියලු දෙනා ඇදී යාම බව පෙනී ගොස් තිබෙනවා.
ක්‍රීඩා උළෙලේ අනුග්‍රාහකයින් වැනි ප්‍රධාන හවුල්කරුවන්ට ලබා දී ඇති ප්‍රවේශ පත් සැමවිටම පාවිච්චි නොකිරීම ද තවත් හේතුවක් වී තිබෙනවා.
සැලසුම් සංවිධානයේ අවුල
මේ අතර, ජපාන ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතුවල තිබෙන ඉතාමත් අවුල්සහගත තත්ත්වය පිළිබඳව රටවල් ගණනාවක්ම පැමිණිලි කර තිබෙනවා. මෙය අවුල් වූ සංගීත පුටු තරගයක් වැනි ක්‍රීඩා උළෙලක් ලෙස තායිවානය හඳුන්වා දී ඇති අතර මේ ක්‍රීඩා උළෙල අසාමාර්ථයේ ශ්‍රේණියකට සුදුසු බව දකුණු කොරියාව කියා තිබෙනවා.

ලොකුම ප්‍රශ්නය වී තිබුණේ මේ ක්‍රීඩා උළෙලට සහභාගි වන 17,000ක පිරිසට ඇති නවාතැන් හිඟය යි. මේ ගැටලුවට ගුවන් තොටුපලේදී ප්‍රමාදයන් හා පාවෙන හෝටලයක් මෙන් පෙනී සිටින සංචාරක නෞකාවට ගොඩවීම පිණිස පැය ගණන් තිස්සේ බලා සිටීමද මිශ්‍ර වී තිබෙනවා.
වියදම් අඩු කිරීමේ පියවරක් වශයෙන් සංවිධායකයින් සම්ප්‍රදායික ක්‍රීඩකයින්ගේ ගම්මානයක් මෙවර ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඉදිකර නැහැ.
ඒ වෙනුවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තාවකාලික කන්ටේනර ශෛලියේ කුටි, හෝටල සහ සංචාරක යාත්‍රාවේ ලැගුම් ගෙන සිටිනවා.
අස්ථීර ප්‍රවාහන සේවා නිසා පුහුණුවීම් හා තරග පැවැත්වෙන ස්ථානවලට තරගකරුවන්ගේ බස් රථ ප්‍රමාද වී පැමිණීම මෙන්ම සමහර අවස්ථාවලදී කොහෙත්ම නොපැමිණීමේ සිද්ධීන් ද වාර්තා වී තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







