ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව අවසන් කළ අමෙරිකානු විශේෂඥයින්, නාවික හමුදාව ඇතුළු දේශීය ආයතනික නිලධාරීන්.
ඉන්දීය සාගරයේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව එක්ව විශේෂ පුහුණු වැඩසටහනක් සාර්ථකව අවසන් කරයි.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව සහ වරායන් ඔස්සේ සිදුවිය හැකි නීතිවිරෝධී න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍ය ජාවාරම් හඳුනාගෙන ඒවා මැඩපැවැත්වීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුවේ න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීම සහ වැළැක්වීමේ කාර්යාලය (NSDD) සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සංවිධානය කළ දින පහක විශේෂ තාක්ෂණික වැඩමුළුවක් පසුගියදා කොළඹදී පැවැත්විණි.
මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ හරහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, දේශීය නීති රාමුවට ගැළපෙන ස්ථාවර මෙහෙයුම් පටිපාටියක් (SOPs) ස්ථාපිත කිරීමට නියමිතය.
විකිරණශීලී හා න්‍යෂ්ටික ද්‍රව්‍ය හඳුනාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් ප්‍රායෝගික පෙරහුරුවක.
කලාපීය ආරක්ෂාවට අමෙරිකානු තානාපතිවරයාගෙන් අවධාරණයක්
මෙම පුහුණු වැඩසටහන නිමාවට පත්කරමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති එරික් මේයර් (Eric Meyer) පෙන්වා දුන්නේ නීතිවිරෝධී න්‍යෂ්ටික ද්‍රව්‍ය වැරදි පාර්ශ්වයන් අතට පත්වීම කිසිදු රටකට හුදෙකලාව විසඳිය නොහැකි බරපතළ ගෝලීය තර්ජනයක් බවයි.
"අපගේ අරමුණ ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සතු තාක්ෂණික මෙවලම් හා හැකියාවන් ඉහළ නැංවීමයි. එමඟින් ශ්‍රී ලංකාවේ වරාය හෝ මුහුදු සීමාව හරහා මෙවැනි අනතුරුදායක ද්‍රව්‍ය ගමන් කිරීමට පෙර ඒවා හඳුනාගෙන වැළැක්වීමට හැකියාව ලැබෙනවා."
මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ ස්වෛරී ආරක්ෂාව සුරක්ෂිත කරන අතරම, ඉන්දීය සාගරයේ ප්‍රධාන වෙළෙඳ නාවික මාර්ගවල සුරක්ෂිතතාව තහවුරු කිරීමටද ඉවහල් වන බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රාජ්‍ය ආයතන රැසක ඒකාබද්ධ සම්බන්ධීකරණය
අමෙරිකානු විශේෂඥයින් සහ නාවික හමුදා සාමාජිකයින් එක්ව නීතිවිරෝධී ජාවාරම් වැටලීම් පෙරහුරුවක නිරත වෙමින්.
න්‍යෂ්ටික ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම හුදෙක් එක් ආයතනයකට පමණක් සීමා නොවූවක් බැවින්, මෙරට ප්‍රධාන ආයතන රැසක නිලධාරීන් මෙම ප්‍රායෝගික පෙරහුරුවලට දායක කරගැනීම කැපී පෙනෙන ලක්ෂණයකි.
එම වැඩමුළුවට එක්වූ ප්‍රධාන ආයතන:
* ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව සහ මණ්ඩලය
* ශ්‍රී ලංකා රේගුව සහ වරාය අධිකාරිය
* ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වෙළෙඳ නැව් ලේකම් කාර්යාලය
* ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සහ නීතිපති දෙපාර්තමේන්තුව
මෙම ආයතන අතර පවතින දත්ත හුවමාරුව සහ මෙහෙයුම් සම්බන්ධීකරණය පුළුල් කිරීම හරහා, ඉදිරියේදී මතුවිය හැකි ඕනෑම හදිසි නීතිවිරෝධී නාවික ප්‍රවාහනයක් කඩිනමින් පාලනය කිරීමට අවස්ථාව සැලසේ.
න්‍යෂ්ටික ජාවාරම් වැළැක්වීමේ ජාත්‍යන්තර ක්‍රමවේද පිළිබඳව අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තු විශේෂඥයකු දැනුවත් කරමින්.
ඉන්දීය සාගරයේ මර්මස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ වැදගත්කම
ලෝකයේ නැගෙනහිර සහ බටහිර යා කෙරෙන ප්‍රධානතම ජාත්‍යන්තර නාවික වෙළෙඳ මාර්ගය වැටී ඇත්තේ ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු කලාපය ඔස්සේය.
විශේෂයෙන්ම බහාලුම් (Containers) මිලියන ගණනක් වසරකට හුවමාරු වන කොළඹ වරාය වැනි කේන්ද්‍රස්ථානයකදී මෙවැනි විකිරණශීලී සංවේදී ද්‍රව්‍ය හඳුනාගැනීමේ තාක්ෂණය අතිශය තීරණාත්මක සාධකයක් වේ.
අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ පවතින මෙම තාක්ෂණික හවුල්කාරිත්වය, කලාපීය ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර මුහුදු ආරක්ෂණ ප්‍රමිතීන් පවත්වාගෙන යාමට ලැබුණු ප්‍රබල පිටිවහලක් ලෙස සැලකේ.







