ඕස්ට්‍රේලියානු දේශපාලනයේ සිදුවන ප්‍රතිපත්තිමය වෙනස්කම් හමුවේ වුවද, ශ්‍රී ලාංකික වෘත්තිකයින්ගේ සංක්‍රමණ අවස්ථාවන්ට බාධාවක් නොවන බවට විද්වත් මණ්ඩලයක් පෙන්වා දෙයි.
‘TV සුප්‍රීම්’ ඔස්සේ පැවැති විශේෂ සංවාදය
ඕස්ට්‍රේලියාවේ වත්මන් දේශපාලන ප්‍රවණතා සහ සංක්‍රමණික ප්‍රජාවට ඉන් එල්ල වන බලපෑම් පිළිබඳ ගැඹුරු විග්‍රහයක් ‘TV සුප්‍රීම්’ නාලිකාව ඔස්සේ විකාශය විය.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ප්‍රවීණ මාධ්‍යවේදී පැතුම් තිලකසිරි විසින් මෙහෙයවනු ලැබූ මෙම විශේෂ වැඩසටහන සඳහා එරට පදිංචි ප්‍රවීණ සංක්‍රමණ නීතිඥ සුසන්ත කටුගම්පල සහ ප්‍රකට ව්‍යවසායකයකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයකු වන සාලිය ගලප්පත්ති සම්පත් දායකයින් ලෙස එක්ව සිටියහ.
දක්ෂිණාංශික පිබිදීම සහ මැතිවරණ උණුසුම
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ වන කම්කරු පක්ෂය (Labor) සහ ලිබරල් සන්ධානය (Liberal-National) කෙරෙහි පවතින මහජන ආකර්ෂණය වෙනස් වෙමින් පවතින බව මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ජීවන වියදම ඉහළ යාම, නිවාස හිඟය ඇතුළු දේශීය ආර්ථික පීඩනය මුල්කරගනිමින් One Nation වැනි අන්ත දක්ෂිණාංශික පක්ෂ සිය මැතිවරණ සටන් පාඨ සකස් කරන බව සාලිය ගලප්පත්ති මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම මහජනතාව තුළ පවතින ආර්ථික ගැටලු සංක්‍රමණිකයන් පිට පටවා දේශපාලන වාසි ලබාගැනීම මෙහි ප්‍රධාන උපායමාර්ගයක් බවට පත්ව ඇතැයි ඔහු සඳහන් කළේය.
ආර්ථික යථාර්ථය සහ සංක්‍රමණික අවශ්‍යතාව
දේශපාලන වාග් සංග්‍රාමයන් කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට සංක්‍රමණික ශ්‍රම බලකාය අත්‍යවශ්‍ය සාධකයක් බව ප්‍රවීණ සංක්‍රමණ නීතිඥ සුසන්ත කටුගම්පල අවධාරණය කළේය.
වාර්ෂිකව සැලකිය යුතු පිරිසක් රටින් පිටවීම හේතුවෙන් නිර්මාණය වන පුරප්පාඩු පිරවීමට නව සංක්‍රමණිකයන් අත්‍යවශ්‍ය වේ.
ඕස්ට්‍රේලියානු ස්වාධීන පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ (PBO) ඇස්තමේන්තුවලට අනුව, සංක්‍රමණිකයන් සීමා කළහොත් වසර කිහිපයක් තුළ ඩොලර් බිලියන 80ක පමණ ආර්ථික පාඩුවක් සිදුවිය හැක.
ආණ්ඩු වෙනස් වුවද එරට රාජ්‍ය නිලධාරි තන්ත්‍රය සහ ආර්ථික ව්‍යුහය මත පදනම්ව සංක්‍රමණික පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.
ශ්‍රී ලාංකිකයින්ට හිමි පිළිගැනීම
දේශපාලන වෙනස්කම් හමුවේ වුවද නිසි සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට සහ සිසුන්ට පවතින ඉල්ලුමේ කිසිදු අඩුවක් නොවන බව එම විද්වතුන්ගේ අදහස විය.
ශ්‍රී ලාංකික ප්‍රජාව ඕස්ට්‍රේලියාව තුළ ගොඩනගාගෙන ඇති ඉහළ කීර්තිනාමය හේතුවෙන් නීත්‍යානුකූලව සංක්‍රමණය වන වෘත්තිකයින්ට අනවශ්‍ය බියක් ඇති කරගැනීමට අවශ්‍යතාවක් නොමැති බව නීතිඥ කටුගම්පල පෙන්වා දුන්නේය.
දේශපාලනඥයන් මැතිවරණ ඉලක්ක කරගනිමින් දැඩි සටන් පාඨ ප්‍රකාශ කළද, රාජ්‍ය පාලනයේදී රටේ ආර්ථික සමබරතාව රැකගැනීම සඳහා සංක්‍රමණික ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ඕනෑම රජයකට සිදුවන බව මෙහිදී වැඩිදුරටත් තහවුරු විය.
සම්පූර්ණ වැඩසටහන මතු විඩියෝවෙන් නරඹන්න







