leader s

පද්ධතියේ සැඟවුණු අන්තර්ගතයක් නැති බවත්, දකුණ සහ වම එකම මර්දනකාරී ව්‍යුහයක කොටස් බවත් කෆ්කාගේ විශිෂ්ට කෘතිය හෙළි කරයි.



ෆ්‍රාන්ස් කෆ්කාගේ "The Trial" (නඩු විභාගය) කියන්නේ 20වන සියවසේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම නවකතාවලින් එකක්. සමහරවිට 20 වැනි සියවසේ විශිෂ්ටතම නවකතාව වෙන්නත් ඉඩ තියෙනවා .

kafkaෆ්‍රාන්ස් කෆ්කාමේ පොත ලියවිලා තියෙන්නේ 1914 ත් 1915 ත් අතර කාලයේදී. හැබැයි ඒක ලියපු නිශ්චිත ම කාලය අපි හරියට ම දන්නේ නැහැ, මොකද කෆ්කා ඒක ප්‍රකාශයට පත් කළෙත් නැහැ, ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කළෙත් නැහැ. හැබැයි "The Trial" මුලින්ම ජර්මන් භාෂාවෙන් ප්‍රකාශයට පත් කළේ 1925 දී, ඒ කියන්නේ ඔහුගේ මරණයෙන් පස්සේ. ඒක කළේ කෆ්කාගේ සාහිත්‍ය කටයුතු භාරව හිටපු මැක්ස් බ්‍රොඩ් (Max Brod). ඔහු ඒක කළේ කෆ්කාගේ පැහැදිලි අකමැත්ත මැදයි. කෆ්කාට ඕන වුණේ තමන්ගේ නිම නොකරපු සහ ප්‍රකාශයට පත් නොකරපු හැම කෘතියක්ම එක්ක මේකත් ගිනිබත් කරලා විනාශ කරන්නයි. හැබැයි බ්‍රොඩ් කිව්වා "නෑ නෑ… මම මේක අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත් කරනවා" කියලා. ඒ විදිහට ඔහු කෆ්කා ගේ අවසන් කැමැත්තට පිටුපෑවා. කෆ්කා "මේ ඔක්කොම පුච්චලා දාන්න" කියද්දි ඔහු "බැහැ" කිව්වා. අන්න ඒ නිසයි 20වන සියවසේ විශිෂ්ටතම නවකතාවක් අද අපිට කියවන්න ලැබිලා තියෙන්නේ.


"The Trial" වෙනස් ම කෘතියක් වන්නේ ඇයි…?

ඉතින් කෆ්කා මේ නවකතාව අසම්පූර්ණව ඉතිරි කරලා ගියත්, කතාව යම් මට්ටමකට අවසානයකට අරන් එන අවසාන පරිච්ඡේදයක් ලියලා ඔහු අපිට ලොකු උදව්වක් කරලා තියෙනවා. ඒක ඇත්තට ම විශිෂ්ට අවසානයක්. "The Trial" කෘතිය ඊට කලින් ලියපු "The Man Who Disappeared" (නැතහොත් America ලෙස ද හැඳින්වෙන) නවකතාවෙනුත්, ඊට පස්සේ ලියපු "The Castle" නවකතාවෙනුත් වෙනස් වෙන්නේ මේ නිසයි. සමහරවිට කෆ්කාගේ නවකතා අතරින් "The Trial" මේ තරම්ම  ප්‍රසිද්ධ වෙන්න හේතුව ඒකෙ තියෙන යම් පැහැදිලි ගැළපීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට පැහැදිලි ආරම්භයක් වගේම අවසානයක් තියෙනවා වගේ පේනවා. හැබැයි අනිත් නවකතා අනිවාර්යයෙන් ම ආරම්භ වුණාට ඒවාට කිසිම අවසානයක් නැහැ.

හුඟක් අය "The Trial" කියවන්නේ නීතියේ තියෙන භයානකකම සහ නීතියෙ සීමාව ඉක්මවා යාම ගැන, නැත්නම් නීතිය මිනිස්සුන්ට තර්ජනයක් වෙන විදිහ හෝ නිලධාරීවාදයේ දරුණු බව ගැන අනතුරු ඇඟවීමක් විදිහටයි. ඔවුන් මේක දකින්නේ කොමියුනිස්ට් රුසියාව වගේ සමාජ විවේචනය කිරීමක් විදිහට. මොකද ඒ වගේ සමාජවල මතු වන දැවැන්ත නිලධාරීවාදී පද්ධතියක් ඇතුළේ තනි තනි මිනිස්සු හිරවෙලා යනවා. මේ කියවීමට අනුව 'K' (ප්‍රධාන චරිතය) ට වෙන්නෙත් ඒ වගේ දෙයක්. මම හිතන්නේ ඒ අර්ථකථනය වරදක් නැහැ.
 
trial 1
හැබැයි මම හිතන විදිහට "The Trial" කෘතියේ මීට වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි නීතිමය පද්ධතිය සහ ඒ ඇතුළේ ඉන්න තනි පුද්ගලයා අතර තියෙන දයලෙක්තික සබඳතාව මේ කෘතියෙන් ගොඩනගලා තියෙන ආකාරය යි. මේ දෙක එකිනෙකා ගෙන් වෙන් කරලා හිතන්න බැහැ. ඇත්තට ම කෆ්කා සහ මේ නවකතාව අපිට අනතුරු අඟවන්නේ ඒ දෙක වෙන් කරලා හිතන්න එපා කියලයි. මොකද අපි ඒ දෙක වෙනස් හෝ වෙන් වුණු කොටස් දෙකක් විදිහට හිතන්න ගියොත්, පුද්ගලයෙක් විදිහට මේ නීතිමය පද්ධතියෙන් කවදාහරි ගැලවෙන්න ක්‍රමයක් තියෙනවා කියන මුළාවේ (උගුලේ) අපි වැටෙනවා. නැත්නම් මේ නීතිමය පද්ධතිය කියන්නේ අපි ජීවත් වෙන්න ම ඕනෙ තැනක් විදිහට දකින්නේ නැතුව, ඒකෙන් කොහොමහරි නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා කියන මුළවේ අපි වැටෙනවා.
මම හිතන්නේ මේ නවකතාවේ පළමු පේළියෙන් ම පේනවා 'K' (කේ) වැරදිකාරයෙක් නෙවෙයි කියලා. ඒකෙ කියවෙන්නේ, "යම් කෙනෙක් ජෝසප් කේට (Joseph K) බොරු අපවාදයක් කරන්න ඇති, මොකද ඔහු කිසිම වැරැද්දක් නොකර සිටිද්දී ම එක්තරා උදෑසනක ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා" කියලා. ඉතින් කෆ්කා තමන්ගේ තුරුම්පු මුලදී ම මේසය උඩ තියනවා. මම හිතන්නේ කේට කවුරුහරි බොරු චෝදනාවක් කළා මිසක් ඊට කලින් ඔහු කරපු කිසිම වරදක් නැහැ. ඒ වෙනුවට ඔහුට අපහාස කරලා තියෙනවා.

කෆ්කා "The Trial" වෙතින් පිළිබිඹු කළේ කුමක් ද…?

ඉතින් මේ නවකතාව අත්අඩංගුවට ගැනීමකින් ම ආරම්භ වීමයි ඉතාමත් තීරණාත්මක. ඒක තමයි කතාවේ පළමු සිදුවීම, ඒ වගේම ඒක සිද්ධ වෙන්නේ නවකතාවේ පළමු වාක්‍යයෙන් ම යි. අත්අඩංගුවට ගැනීම සහ අපි කේ දෙස බලන ආකාරය අතර තියෙන සබඳතාව හරිම වැදගත්. ඔහුව අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු ගේ ජීවිතය ගැන අපි කිසිම දෙයක් දැන නොගැනීම විශේෂත්වයක්. ඒ කියන්නේ ඔහු මොන වගේ මනුස්සයෙක් ද, ඔහු මොනව ද කළේ, ඔහුගේ රැකියාව කුමක් ද, ඔහු ගේ දෙමව්පියෝ කවුද, ඔහුට තියෙන සම්බන්ධතා මොනවා ද කියලා අපි කිසිම දෙයක් දන්නේ නැහැ. ඔහුව එකපාරට ම අත්අඩංගුවට ගන්නවා විතරයි අපි දකින්නේ.
 
ඉතින් ඔබ ඔබෙන් ම අහන්න ඕනේ කෆ්කා ඇයි මේ නවකතාව මේ විදිහට ගොඩනැගුවේ කියලා. ඇයි මුලින් ම අත්අඩංගුවට ගැනීමක් දැම්මේ. මම හිතන්නේ ඒකට උත්තරය තමයි, මේ අත්අඩංගුවට ගැනීම හරහා කේ ව සැබෑ 'පුද්ගලයෙක්' බවට පත් කරනවා. ඒ වගේ ම ඒකෙන් කේ ව යම් නිශ්චිත වරදක් කරලා අත්අඩංගුවට පත්වුණු කෙනෙක්ට වඩා අපේ සමාජයේ ඕනෑම කෙනෙක්ව නිරූපණය කරන 'පොදු මිනිසෙක්' බවට පත් කරනවා. අත්අඩංගුවට ගැනීමට පෙර කේ ගේ ජීවිතය ගැන කිසිම දෙයක් අපිට නොකීමෙන් මේ අත්අඩංගුවට ගැනීම අප ඕනෑ ම කෙනකුට මුහුණ දීමට සිදු විය හැකි පොදු සිදුවීමක් බවට පත් කරනවා. අපෙන් ඕනෑම කෙනෙක් කේ වගේ අත්අඩංගුවට පත්වෙන්න පුළුවන්. මම හිතන්නේ කෆ්කාට මේ නවකතාවෙන් ඇත්තටම පෙන්වන්න ඕන වුණු එක දෙයක් තමයි ඒක.
 
පොලිසියේ ඇස් හමුවේ කේ කියන්නේ ක්ෂණිකව ම වැරදිකාරයෙක් කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. නවකතාවේ පළමු වාක්‍යයෙන් කෆ්කා 'කේ කිසිම වැරැද්දක් කළේ නැහැ' කියලා කිව්වත්, මේ වරදකාරීත්වය තමයි නවකතාවේ පළමු සැබෑ යථාර්ථය වෙන්නේ. ඉතින් කතාවේ මුල් ම හරියේ දී මේ වරදකාරීත්වය පිළිබඳ පූර්ව නිගමනය සහ අහිංසකත්වය ප්‍රකාශ කිරීම කියන දෙක ම එකට දකින්න ලැබෙනවා.

"The Trial"හි 'ආකෘතිය සහ අන්තර්ගතය' අතර තියෙන සබඳතාව

පොලිසිය විසින් පුද්ගලයකු දෙස ක්ෂණිකව සැකයෙන් බැලීම සහ වරදකරුවෙකු ලෙස තීරණය කිරීම සිනමාව ඇසුරින් පෙන්වන්න පුළුවන් හොඳ උදාහරණයක් තියෙනවා. ඒ තමයි ක්‍රිස්ටියන් පෙට්සෝල්ඩ්ගේ (Christian Petzold) "Transit" චිත්‍රපටය. පොලිසියට පුද්ගලයෙක්ව මුණගැසුණු සැණින් ඔවුන් ඔහු වැරදිකාරයෙක් කියලා නිගමනය කරන හැටි සහ ඒ නිසාම ඔහුට වහාම පලායන්න සිද්ධ වෙන හැටි අපිට ඒකෙන් බලාගන්න පුළුවන්. ඔබ කිසිම දෙයක් කරලා නැහැ, කිසිම දෙයක් කියලා නැහැ, හැබැයි ඔබව අත්අඩංගුවට පත්වීමේ අවදානමට ලක්වෙනවා. ඉතින් මම හිතන්නේ "Transit" චිත්‍රපටය සහ "The Trial" නවකතාව අතර ලොකු සමාන්තර ගැළපීමක් තියෙනවා වගේම ඒක යම් දුරකට කෆ්කා ගෙන් ආභාෂය ලැබූවක්.

"The Trial" කෘතියෙන් මතු කරන තවත් ප්‍රධාන කරුණක් තමයි, කේ ව අත්අඩංගුවට ගන්නා වෙලාවේ ඔහු කරපු වරද මොකක්ද කියලා කියන්න කිසිම කෙනෙක් එතන නැති වීම. තමන් කරපු වරද මොකක්ද කියන එක ගැන තියෙන මේ නොදැනුවත්කම නවකතාව පුරාම කැපී පෙනෙනවා. මුළු කතාව පුරාම කේ ඉන්නේ මේ නොදැනුවත්කම කියන තැනයි. ඇත්තටම ඔහුට උරුම එකම ස්ථාවරය ඒක විතරයි. තමන් කළේ මොකක්ද, උසාවිය තියෙන්නේ කොහේද, නැත්නම් යුක්තිය ඉල්ලලා පෙත්සමක් ඉදිරිපත් කරද්දී තමන් කතා කරන්න ඕනේ කාටද කියලා කේ ට කවදාවත් වැටහෙන්නේ නැහැ. මේ නඩුව ඉදිරියට කරගෙන යන්න මග පෙන්වන කිසිම දැනුමක් ඔහුට කවදාවත් ලැබෙන්නේ නැහැ.

මෙහි රසවත්ම දේ තමයි, කේ නිරන්තරයෙන්ම දේවල් ප්‍රශ්න කරමින්, විමර්ශනය කරමින් සිටියත්, තමන්ට එරෙහිව ඇති වරදේ ස්වභාවය මොකක්ද කියලා කවදාවත් ප්‍රශ්න කරන්නේ නැහැ. "අයියෝ, කේ මොකක්ද මේ කරපු වරද?" කියලා අපිට හිතන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔහු කවදාවත් ඒ ප්‍රශ්නය අහන්නේ නැහැ, කිසිම කෙනෙක් "ඔයාට තියෙන්නේ මෙන්න මේ චෝදනාව" කියලා කියන්නෙත් නැහැ. ඒක හරිම කැපී පෙනෙන දෙයක්. කේ විසින්ම ඒ ගැන සොයා නොබැලීම වැදගත් කරුණක්.
 
මේ විදිහට නවකතාව ගොඩනැගීමෙන් කෆ්කා කියන්න උත්සාහ කරන්නේ "හැඩය/ආකෘතිය" (form) තමයි වැදගත් වෙන්නේ කියන එකයි. ඒ කියන්නේ වරදක ආකෘතිය, අත්අඩංගුවට ගැනීමෙහි ආකෘතිය, නැත්නම් චෝදනා පත්‍රයේ ආකෘතියයි වැදගත් වෙන්නේ. එහි "අන්තර්ගතය" (content) කිසිසේත්ම වැදගත් වෙන්නේ නැහැ. ඉතින් මේ 'ආකෘතිය සහ අන්තර්ගතය' අතර තියෙන සබඳතාවය මුළු නවකතාව පුරාම දිගහැරෙනවා. කේ ගේ වරදේ ස්වභාවය දෙස බැලූ සැනින්ම ඒක පැහැදිලි වෙනවා.ඒ වරදට කිසිම නිශ්චිත අන්තර්ගතයක් නැහැ, තියෙන්නේ ආකෘතියක් විතරයි.
 
තවත් පුදුම හිතෙන දේ තමයි, මේ හැම දෙයක්ම අශෝභන සහ වෘත්තීය නොවන මට්ටමක තිබියදීත්, කේ තමන් ගේ අත්අඩංගුවට ගැනීම සහ නඩු විභාගය නීත්‍යානුකූල දෙයක් විදිහට පිළිගැනීමයි. ඔහුව අල්ලන්න එන මුරකරුවෝ, පරීක්ෂකවරයා, ඔහු යන උසාවිය මේ හැමදේ ම සම්පූර්ණයෙන් ම වෘත්තීය මට්ටමෙන් තොරයි. මේ නිල බලය හෝ වෘත්තීයභාවය නොමැතිකම කැපී පෙනුනත්, කේ හිතන්නේ හැමදේ ම නියමිත පරිදි සිද්ධ වෙනවා කියලයි.

නීතිමය පද්ධතියේ අශිෂ්ටත්වය සහ සාමාන්‍ය විනීතභාවය
 
trial 2
ඇත්තට ම කේ ව අත්අඩංගුවට ගන්න එන එක මුරකරුවෙක් කේගේ යටඇඳුම් හොරකම් කරන්න පවා උත්සාහ කරනවා. මම හිතන්නේ මේ සිදුවීම නවකතාවේ හරිම වැදගත් තැනක්. ඔහු උත්සාහ කරන්නේ කේ ගේ සල්ලි හෝ සාමාන්‍ය ඇඳුම් හොරකම් කරන්න නෙවෙයි. විශේෂයෙන් ම ඔහුගේ යටඇඳුම්. මේකෙන් පෙන්වන්නේ මේ නීතිමය පද්ධතියේ තියෙන අශිෂ්ටත්වය සහ සාමාන්‍ය විනීතභාවය හෝ ඇඳුම් පැළඳුම් ගැන සොයනවා වෙනුවට, යටඇඳුම් සහ ලිංගිකත්වය වැනි දේවල් කෙරෙහි එහි ඇති අශ්‍ලිල උනන්දුවයි.

නමුත් මේ අත්අඩංගුවට ගැනීමේ තියෙන සම්පූර්ණ තේරුම් විරහිත බව අපේ හිතට තදින්ම දැනෙනවා. මෙතනදීත් ආකෘතිය සහ අන්තර්ගතය එකිනෙකට පටහැනියි. එහි ආකෘතියේ යම් තේරුමක් ඇති බව පෙනුනත්, තේරුම් ගන්න බැරි වෙන්නේ එහි කිසිම අන්තර්ගතයක් නැති එකයි. මේ අත්අඩංගුවට ගැනීම අතරතුර මෙන්න මේ වගේ අමුතු දේවල් ගොඩක් සිද්ධ වෙනවා. ටෙරි ගිලියම් ගේ (Terry Gilliam) "Brazil" කියන චිත්‍රපටයෙන් මේක හරි අපූරුවට පෙන්වනවා. ඒ චිත්‍රපටයත් කෆ්කාගේ "The Trial" කෘතියට ලොකු ණයගැති භාවයක් දක්වන එකක්. එහි ආරම්භයේ දී ම 'බට්ල්' (Buttle) කියන චරිතය අත්අඩංගුවට පත්වෙනවා. ඒ අත්අඩංගුවට ගැනීම පිටුපස කිසිම තර්කයක් නැහැ. එතන තියෙන්නේ අත්අඩංගුවට ගැනීමක පිරිසිදු ආකෘතිය විතරයි.

ඇත්තට ම එතන දී ඔහුව අත්අඩංගුවට ගන්නේ වැරදීමකින්. 'Tuttle' (ටට්ල්) කියන චරිතය වෙනුවට පටලවාගෙන තමයි ඔහුව අත්අඩංගුවට ගන්නේ. මේ දර්ශනයේ දී ඇයි ඔහුව අත්අඩංගුවට ගන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ. අනික ඒකට අනවශ්‍ය විදිහට ලොකු බලයක් පාවිච්චි කරනවා. බට්ල්ව අත්අඩංගුවට ගන්න ඒ තරම් සන්නද්ධ බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ "The Trial" නවකතාවට තියෙන සමාන්තර ගැළපීම එන්නේ මෙන්න මේ තේරුම් විරහිත බවත් එක්කයි. බට්ල් කරපු වැරැද්ද මොකක්ද කියලා තේරුම් ගන්න ක්‍රමයක් නැහැ, වගේම ඒකේ මුලට ම ගිහින් හොයාගන්නත් ක්‍රමයක් නැහැ. මොකද අත්අඩංගුවට ගන්න ආපු මිනිස්සු පවා ඒක දන්නේ නැහැ.

නවකතාවෙන් ඉඟි කරන්නේ කුමක් ද…?

කෙසේ වුවත්, එක මුරකරුවෙක් (විලෙම්) කේ ට කියනවා "දැන් නීතිමය කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ, නියමිත වෙලාවට ඔයාට හැමදේම දැනගන්න ලැබෙයි" කියලා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. විලෙම් එක්කෝ බොරු කියනවා, නැත්නම් ඔහුත් රැවටිලා ඉන්නේ. හැබැයි කේ ට නියමිත වෙලාවට කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. කතාව ආරම්භයේ දී ඔහු නොදැන සිටි කිසිම අලුත් දෙයක් කතාව අවසාන වෙද්දීත් ඔහු දැනගන්නේ නැහැ. ඒ කියන්නේ ඔහු කිසිම දෙයක් දැනගන්නේ නැහැ.

ඉතින් මේ නවකතාවෙන් කියන්නේ, නීතිමය පද්ධතිය අමතන්නේ කොහොමද, ඒක එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා කිසිම පැහැදිලි උපදෙසක් නැහැ කියන එකයි. ඒ නිසා කේ මේ නීතිය සහ පද්ධතිය ඇතුළේ මොකක් හරි රහසක් හෝ ක්‍රමයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන අඳුරේ අතපත ගාමින් යනවා. හැබැයි ඔහුට ඒක කවදාවත් හම්බවෙන්නේ නැහැ, මොකද නීතිමය පද්ධතියෙන් කිසිම මගපෙන්වීමක් දෙන්නේ නැහැ.
 
මුරකරුවන් ගෙන් කේ දැනගන්න එකම සහ වැදගත්ම දේ තමයි, නීතිය ආකර්ෂණය වෙන්නේ "වරදකාරීත්වයට" (guilt) මිසක් "වැරැද්දට/අපරාධයට" (crime) නෙවෙයි කියන එක. ඒක හරිම අපූරු වෙනසක්. නීතිය ඇදලා ගන්නේ කේ කරපු නිශ්චිත වරදක් නෙවෙයි. ඔහු වැරදිකරුවෙක් කියන කාරණාව විතරයි. මෙතනදීත් අර ආකෘතිය සහ අන්තර්ගතය අතර තියෙන සබඳතාව පේනවා. අපරාධයට අන්තර්ගතයක් නැහැ, තියෙන්නේ වරදකාරීත්වයේ ආකෘතිය විතරයි. නීතිය ඇදලා ගන්නේ ඒකයි.
 
මුරකරු ප්‍රාන්ස් පවසන ආකාරයට, "මම දන්න තරමින් අපේ දෙපාර්තමේන්තුව (මම දන්නේ පහළ ම මට්ටම විතරයි) සාමාන්‍ය ජනතාව අතරින් වැරදිකාරයෝ හොය හොයා යන්නේ නැහැ. හැබැයි නීතියේ සඳහන් වෙන විදිහට, නීතිය වරදකාරීත්වයට ආකර්ෂණය වෙනවා. ඒ නිසා අපිට මුරකරුවන් විදිහට එළියට යන්න සිද්ධ වෙනවා." ඉතින් ප්‍රාන්ස් සහ විලෙම් වගේ මුරකරුවෝ එළියට එන්නේ මේ වරදකාරීත්වයට ප්‍රතිචාර දක්වන්නයි. නීතියට සාපේක්ෂව පුද්ගලයා තුළ තියෙන මේ වරදකාරී හැඟීම තමයි පොලිස් ක්‍රියාමාර්ගයක් නිර්මාණය කරන්නේ.

අපි මේක විශ්වාස කරනවා නම් (අපි මේක අනිවාර්යයෙන්ම විශ්වාස කළ යුතු ම යි කියලා මම කියන්නේ නැහැ), අපිට උපකල්පනය කරන්න වෙන්නේ නීතිය නෙවෙයි, අපේම ඇතුළේ තියෙන වරදකාරී හැඟීම තමයි ප්‍රශ්නයේ මුල කියලා. කේ ට මේ වරදකාරී හැඟීම නොතිබුණා නම්, නීතිය ඔහු පස්සේ පන්නන්නේ නැහැ. පොලිසිය කෙනෙක්ගෙන් ප්‍රශ්න කරද්දී ඔවුන් සැබෑ අපරාධයට වඩා, ඒ පුද්ගලයාගෙන් මතු වන වරදකාරීත්වයේ සලකුණු දෙසට ආකර්ෂණය වීම ඇතුළේ මේකේ ඇත්තක් තියෙනවා. මින් අදහස් වෙන්නේ කේ අත්අඩංගුවට ගැනීමටත් පෙර සිටම ඔහු තුළ යම් වරදකාරීත්වයක්‌ තිබුණු බවත්, පොලිසිය ආකර්ෂණය වුණේ ඒකට බවත්ය. නවකතාවෙන් ඉඟි කරන්නේ අන්න ඒ වගේ දෙයක්. හැබැයි ඇත්තටම ඔහු වැරදිකරු වෙන්නේ මොකටද කියන එකට කිසිම අන්තර්ගතයක් නැහැ. ඔහු වරදකාරී හැඟීමක් ඇති කරගත යුතුද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නය, එතන තියෙන්නේ වරදකාරීත්වයේ ආකෘතිය විතරයි.

කිසිවකු, කිසිවක් නොදනී

මට තියෙන කුතුහලය තමයි, මේ නීතිමය පද්ධතිය පවා කිසිම දෙයක් දන්නේ නැති වීම. කේ මේ ගැන රැවටෙනවා. කේ හිතන්නේ මේ පද්ධතිය ඇතුළේ හැමදේ ම දන්න කවුරු හරි කෙනෙක් කොහේ හරි ඉන්නවා කියලා. හැබැයි පැහැදිලිවම මේක 'දැනුම' මත පදනම් වුණු පද්ධතියක් නෙවෙයි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ තොරතුරු හෝ දැනුම තියාගෙන ඒ හරහා මිනිස්සුන්ව පාලනය කරන පද්ධතියක් නෙවෙයි මේක. ඔවුන් කේ වගේ ම කිසිම දෙයක් දන්නේ නැහැ, ඒ තරමට ම නොදන්නාකමකින් යුක්තයි.

නීතිමය පද්ධතිය ඇතුළේ තියෙන මේ දැනුම නොමැතිකම "The Trial" කෘතියේ තියෙන වැදගත්ම පැතිකඩක්. මම හිතන්නේ වර්තමානයේ අපේ 'අවේක්ෂණ සමාජය' (surveillance) ගැන කරන විවේචනවලින් මේ කෘතිය වෙනස් වෙන්නේ මෙන්න මේ කරුණ නිසයි. අද කාලේ විවේචනවලින් කියන්නේ අපව කොයිතරම් අවේක්ෂණය කරනවාද, ඒ පද්ධති අප ගැන කොයිතරම් දේවල් දන්නවාද කියන එකයි. ඒ විවේචන ප්‍රංශ දාර්ශනික මිෂෙල් ෆූකෝ (Michel Foucault) ගේ දර්ශනයට ණයගැතියි. ඔහු 'දැනුම සහ බලය' (knowledge and power) එකිනෙකට සම්බන්ධ කරනවා වගේම බලය ක්‍රියාත්මක වෙන්නේ දැනුම හරහා කියලා දකිනවා.
 
හැබැයි "The Trial" කෘතියෙන් පෙන්වන්නේ කවුරුවත් කිසිම දෙයක් දන්නේ නැති බවයි. ඒ පද්ධතිය ඇතුළේ ඉන්න කිසිම කෙනෙක් මුකුත් දන්නේ නැහැ. ඒක නිකම්ම නිකම් කිසිදු රහස් දැනුමක් නැති, විශාල, මෝඩ, ක්‍රියාත්මක වන මැෂිමක් විතරයි. මුරකරුවන්ට හෝ පරීක්ෂකවරුන්ට කේ කරපු වරද මොකක්ද කියලා කිසිම දැනුමක් නැතිවී මෙන්ම ඒක ඔප්පු වෙනවා. මේක අපි සාමාන්‍යයෙන් හිතන විදිහට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි. මොකද අපි සාමාන්‍යයෙන් හිතන්නේ විමර්ශනය කරන පොලිසිය ළඟ තමයි නියම තොරතුරු සහ දැනුම තියෙන්නේ කියලා.
 
හැබැයි මෙතනදී ඔවුන්ට කිසිම දැනුමක් නැහැ. ඒ අතින් බලද්දී ඔවුන් සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. උදාහරණයක් විදිහට "The Wire" ටෙලි කතා මාලාවේ ඉන්න රහස් පරීක්ෂකයෝ තමයි ඇත්තටම හැමදේම දන්නේ. එහි ඉහළ නිලධාරීන්ට මොනවා වෙනවාද කියලා කිසිම අදහසක් නැහැ, ඔවුන් වෙන්නේ මොකක්ද කියලා නොදැක්කා වගේ ඉන්නවා. හැබැයි "The Trial" නවකතාවේ වෙන්නේ ඒකේ සම්පූර්ණ විරුද්ධ පැත්ත. මෙහි විමර්ශනය කරන සහ අත්අඩංගුවට ගන්න රහස් පරීක්ෂකයන්ට මොනවා වෙනවාද කියලා කිසිම අදහසක් නැහැ, වගේම ඉහළ නිලධාරීන්ටත් ඒ ගැන කිසිම අදහසක් නැහැ. මේ නීතිමය පද්ධතිය ඇතුළේ ඉන්න කිසිම කෙනෙක් මුකුත් දන්නේ නැහැ.

නීතිය යනු කිසිදු නියමිත බවක් හෝ විනීත බවක් නැති තැනක් ද…?

මුරකරුවන් ගැන පරීක්ෂකවරයා කේ ට කියන්නේ මෙහෙමයි: "මේ මහත්වරු සහ මම, ඔයා ගේ ඔය ප්‍රශ්නය ඇතුළේ නිකම්ම නිකම් අහඹු චරිත විතරයි. ඇත්තටම අපි ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ." මෙතන තියෙන රසවත්ම දේ තමයි, මේ නීතිමය පද්ධතිය ඇතුළේ ඉන්න ඕනෑම කෙනෙක්ට ඔය කතාවම කියන්න පුළුවන් වීමයි. ඒ කියන්නේ නොදන්නේ පරීක්ෂකවරයා සහ මුරකරුවෝ විතරක් නෙවෙයි, කිසිම කෙනෙක් මේ අපරාධය ගැන දන්නේ නැහැ. මොකද මම හිතන්නේ, නීතිය ඉදිරියේ කේ තුළ තියෙන මේ 'වරදකාරීත්වයම' තමයි අපරාධය බවට පත්වෙන්නේ. ඉතින් ආයෙමත් කියනවා නම්, අපරාධය කියන්නේ වරදකාරීත්වයේ ආකෘතිය මිසක්, කිසිම නිශ්චිත අන්තර්ගතයක් තියෙන වරදක් නෙවෙයි.

එහෙම වුණත්, කේ මේ නීතිමය පද්ධතිය එක්ක ගනුදෙනු කරන්නේ මේ හැමදේම දන්න කවුරු හරි කොහේ හරි ඉන්නවා කියලා හිතාගෙනයි. මුළු නවකතාව පුරාම ඔහු කරන්නේ මේ දන්න කෙනාව හොයන එක සහ ඒ දැනුමට ළඟා වෙන්න උත්සාහ කරන එකයි. ඇත්තටම කේ මුළු කතාව පුරාම ඉන්නේ මෙන්න මේ මූලික රැවටීම ඇතුළෙයි. කෆ්කා අපිට විවේචනාත්මකව පෙන්වන්න උත්සාහ කරන්නෙත් ඒකමයි. ඉතින් කේ මේ හැමදේකම ඇත්ත නැත්ත කියලා දීලා තමන්ගේ නඩුවෙන් නිදහස් වෙන්න උදව් කරන්න පුළුවන් "රහසිගත විනිසුරුවරයෙක්" හොයනවා. හැබැයි ඔහුට එහෙම කෙනෙක් කවදාවත් හම්බවෙන්නේ නැහැ, මොකද එහෙම රහසිගත විනිසුරුවරයෙක් ඇත්තටම නැහැ.

කේ ට මේ පද්ධතිය ඇතුළේ කිසිම තැනක සැබෑ දැනුමක් නැහැ කියන එක පිළිගන්න බැහැ. ඒක තමයි ඔහුගේ මූලික ම සීමාව. ඔහු විශ්වාස කරන්නේ කොහේ හරි දැනුම තියෙනවා, තමන්ට ඒකට ළඟා වෙන්න විතරයි ඕනේ කියලා. අන්න ඒ නිසාම ඔහු තමන් ගේ ගමන පුරා ම සම්පූර්ණයෙන් ම වැරදි මගක යනවා. නවකතාව ඇතුළේ ඔහුගේ මුළු උත්සාහය ම වෙන්නේ නීතියට තමන්ව නිවැරදිව ඉදිරිපත් කරන්න පුළුවන් නියමිත ස්ථානයක් සොයාගැනීමයි. ඔහු හිතනවා "අනිවාර්යයෙන් ම එහෙම තැනක් තියෙන්න ඕනේ, මම කොහොමහරි එතනට යන්න ඕනේ, විවිධ මිනිස්සුන්ගේ උදව්වෙන් මට එතනට යන්න පුළුවන්" කියලා. හැබැයි ඔහුට කවදාවත් එතනට යන්න ලැබෙන්නේ නැහැ, මොකද නීතියට මුහුණ දෙන්න කියලා එහෙම නිශ්චිත හෝ නියමිත ස්ථානයක් නැහැ. ඔබට කියන්න පුළුවන් නීතිය කියන්නේම එවැනි කිසිදු නියමිත බවක් හෝ විනීත බවක් නැති තැනක් කියලා. ඒ නිසයි එහෙම නියමිත තැනක් නැත්තේ.

අත්අඩංගුවට ගැනීම් සහ දඬුවම් දීමේ ක්‍රම නිර්මාණය කර ඇත්තේ ඇයි?

ඒ හැමදේම පැත්තකින් තිබ්බොත්, තවත් පුදුම හිතෙන දෙයක් තමයි, මේ අත්අඩංගුවට ගැනීම නිසා කේ ගේ සාමාන්‍ය දෛනික ජීවිතයට කිසිම බාධාවක් හෝ වෙනසක් සිදු නොවීම. ඔහු වෙනදා වගේම බැංකුවේ රක්ෂාවට යනවා, තමන්ගේ සාමාන්‍ය ජීවිතය ගත කරනවා. වෙනස් වෙන එකම දේ තමයි ඔහුට කීප වතාවක් උසාවියට ගිහින් වාර්තා කරන්න සිද්ධ වීම විතරයි. ඒ හැරුණා ම ඔහු කලින් ජීවත් වුණු විදිහට ම ජීවත් වෙනවා. පරීක්ෂකවරයා ඔහුට කියන්නෙත් ඒකමයි: "ඔයාව අත්අඩංගුවට අරන් තියෙනවා තමයි, හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා ගේ රක්ෂාව කරගෙන යන එක නවත්තන්න ඕනේ කියලා, නැත්නම් ඔයා ගේ එදිනෙදා ජීවිතයට ඒකෙන් කිසිම බාධාවක් වෙන්නේ නැහැ." ඉතින් පරීක්ෂකවරයා පවා ඔහුට කියන්නේ හැමදේ ම වෙනදා වගේ ම සිද්ධ වෙන්න ඕනේ කියලයි.
 
මම හිතන්නේ කෆ්කා මේ හරහා ඉඟි කරන්නේ, මේ අත්අඩංගුවට පත්වීම හෝ කේ ට සිද්ධ වෙන දේ, අත්අඩංගුවට පත් නොවී ඉන්න සාමාන්‍ය මිනිස්සුන් ගේ වුණත් ජීවිතවල සාමාන්‍ය කොටසක් කියන එකයි. ඒ කියන්නේ කේට සිද්ධ වෙන දේ තමයි ධනවාදී සමාජයක "සාමාන්‍ය ස්වභාවය" තීරණය කරන්නේ. ඒක කිසිසේත්ම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. මම හිතන්නේ මේ නීතිමය පද්ධතියට අවශ්‍ය වෙන්නේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතය අවුල් කරන්න නෙවෙයි, ඒක එහෙම්මම පවත්වාගෙන යන්නයි. ඒ නිසා මේ අත්අඩංගුවට ගැනීම් සහ දඬුවම් දීමේ ක්‍රමය හදලා තියෙන්නේ සැකකරුවන්ගේ හෝ පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතය වෙනස් කරන්න නෙවෙයි.
 
ඒ වෙනුවට මේ අත්අඩංගුවට ගැනීමේ සැබෑ අරමුණ තමයි, නීතිමය පද්ධතිය සමඟ කේ ට තියෙන සබඳතාවය වෙනස් කිරීමයි. තමන් නිවැරදිකරුවෙක් කියලා හිතනවා වෙනුවට, තමන් තුළ තියෙන වරදකාරීත්වය ගැන ඔහු අවධියෙන් ඉන්න ඕනේ. මේ වරදකාරී හැඟීම සහ "මම කොහොමහරි මේ ප්‍රශ්නය විසඳගන්න ඕනේ" කියන සිතිවිල්ල තමයි ඔහුව මේ නීතිමය පද්ධතියට තදින්ම බැදෙන්නේ. නවකතාව ඉදිරියට යද්දී අපිට පේනවා කේ තමන්ගේ නිදහස වෙනුවෙන් කරුණු ගොඩනගන්න කොයිතරම් දුරට ඇබ්බැහි වෙනවාද සහ ඒ වෙනුවෙන්ම කාලය වැය කරනවාද කියලා. යම් අර්ථයකින් බැලුවොත් මම හිතන්නේ ඒක තමයි මේ හැමදේකම සැබෑ අරමුණ. අත්අඩංගුවට ගැනීමේ අරමුණ කේ ට තමන්ගේ ජීවිතය ජීවත් වෙන්න ඉඩ දෙනවා වෙනුවට, තමන්ගේ නඩුව ගැන නිරන්තරයෙන් වද වෙන්න සැලැස්වීමයි.

Kට නිදහස් වීමට නොහැකි වන්නේ ඇයි…?

කේ නීතිමය පද්ධතියට සාපේක්ෂව තමන් අතින් වුණු වැරදි මොනවාද කියලා තමන්ගේම හැසිරීම් අවේක්ෂණය කරන්න පටන් ගන්නවා. ඔහුගේ ලොකු ම වැරැද්ද සිද්ධ වෙන්නේ ඔහු නීතිඥයා සහ උසාවි නිලධාරියා එක්ක ඉන්නේ නැතුව, 'ලෙනී' (Leni) එක්ක යන්න තීරණය කරපු වෙලාවේ දී යි. ඔහු තමන්ට ම මෙහෙම කියාගන්නවා: "මම මීට වඩා බුද්ධිමත්ව හැසිරුණා නම් මීට වඩා දෙයක් වෙන්නේ නැහැ, හැමදේම මුලදීම නටබුන් කරලා දාන්න තිබුණා." ඒ කියන්නේ තමන්ගේ හැසිරීමේ පොඩි වෙනසක් කරා නම් මේ මුළු ප්‍රශ්නයෙන් ම බේරෙන්න තිබුණා කියන අදහසයි ඔහු තුළ තියෙන්නේ.

කේ ට උසාවිය ඉදිරියට පැමිණෙන්න කියලා දන්වද්දී, ඒකට නිශ්චිත වේලාවක් හෝ ස්ථානයක් ලබා දෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක හරිම තීරණාත්මකයි. උසාවිය නිරන්තරයෙන් ම අපැහැදිලි, අද්භූත සහ මීදුමෙන් වැසුණු ස්වභාවයකයි පවතින්නේ. ඒක තමයි උසාවියට මිනිස්සුන්ව පාලනය කරන්න ලැබිලා තියෙන බලයේ රහස. මොකද ඔබට ඒක එක තැනකට කොටු කරලා හඳුනාගන්න පුළුවන් වුණොත්, ඒකට මිනිස්සු මත පවත්වන්න පුළුවන් බලය නැතිවෙලා යනවා.

ඔබට කියන්න පුළුවන් උසාවිය කේ ට ඇමතුවත්, ඒ ඇමතීමට කිසිම අන්තර්ගතයක් දෙන්නේ නැහැ කියලා. මෙතනදීත් කෆ්කා උනන්දු වෙන්නේ ආකෘතිය ගැන මිසක් අන්තර්ගතය ගැන නෙවෙයි කියලා පැහැදිලි වෙනවා. මොකද ඔහු දකිනවා මේ සමාජයත් ඇත්තට ම උනන්දු වෙන්නේ ආකෘතිය ගැන මිසක් අන්තර්ගතය ගැන නෙවෙයි කියලා. අපි හිතන්නේ රහස තියෙන්නේ අන්තර්ගතය ඇතුළේ කියලා, ඒ නිසා අපි ඒක අස්සේ හිරවෙනවා. හැබැයි ඇත්තම යථාර්ථය නම්, ඒ රහස ඉතාමත් විවෘතව ප්‍රකාශ වෙලා තියෙන්නේ එහි ආකෘතිය ඇතුළෙ ම යි. මම හිතන්නේ මේක ඉතාමත් වැදගත් අදහසක්. මම කියන්නේ අන්තර්ගතයක් නැති මේ ඇමතීම, නැත්නම් කිසිදු අන්තර්ගතයක් නොමැති මේ ශුද්දවූ ආකෘතිය නිසා වෙන්නේ කේ ව තවදුරටත් මේ නීතිමය පද්ධතියටම ඇදලා බැඳලා තියාගන්න එකයි. යම් හෙයකින් ඔවුන් මේ චෝදනාවට හෝ නඩු විභාගයට යම් නිශ්චිත අන්තර්ගතයක් දුන්නා නම්, කේ ට තමන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරලා මේ පද්ධතියෙන් නිදහස් වෙන්න ඉඩකඩ තිබුණා. හැබැයි ඔහුට එහෙම කරන්න බැරි වෙන්නේ හරියටම මෙතන මුහුණ දෙන්න කියලා කිසිම නිශ්චිත අන්තර්ගතයක් නැති නිසයි.

අධිකරණය යනු මිනිස්සුන් ගෙන් ම සැදුම් ලත් පද්ධතියක් මිස පිටස්තර දෙයක් නොවේ
 
trail 3
මම හිතන්නේ මේකට කදිම උදාහරණයක් "Marathon Man" කියන විශිෂ්ට චිත්‍රපටයේ ඩස්ටින් හොෆ්මන් (Dustin Hoffman) රඟපාන 'බේබ්' (Babe / Babe Levy) කියන චරිතයෙන් බලාගන්න පුළුවන්. ඒ චිත්‍රපටයේ දී නාසි දන්ත වෛද්‍යවරයෙක් බේබ්ව අල්ලගෙන ප්‍රශ්න කරනවා තමන්ගේ මැණික් ටික ආපහු ගන්න යන එක ආරක්ෂිත ද (Is it safe?) කියලා. හැබැයි ඔහු මේ ප්‍රශ්නය අහන්නේ කිසිම අන්තර්ගතයක් නැති, පිරිසිදු ආකෘතිමය ස්වභාවයකින් විතරයි. මේ නාසි වෛද්‍යවරයා (ක්‍රිස්ටියන් සෙල්) බේබ්ට කිසිම පසුබිම් විස්තරයක් දෙන්නේ නැහැ, ඔහු නිකම්ම නිකම් ආකෘතියක් විතරක් ඉතිරි කරලා ප්‍රශ්නය විතරක් ඉදිරිපත් කරනවා.

ඉතින් අපිට පේනවා බේබ්ට මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා කිසිම අදහසක් නැති වෙන හැටි. "ඒක ආරක්ෂිතද? ඔයා මේ කතා කරන්නේ මොකක් ගැනද? මොකක්ද ආරක්ෂිත? මම දන්නේ නැහැ ඔයා මොකක් ගැනද කියන්නේ කියලා. ඔයා හරියට ම මොකක් ගැන ද කතා කරන්නේ කියලා මම දන්නේ නැතුව ඒක ආරක්ෂිත ද නැද්ද කියලා මට කියන්න බැහැ." මේ දර්ශනයේ දී බේබ් ඇත්තටම දන්නේ නැහැ මෙතන තියෙන අන්තර්ගතය මොකක්ද කියලා. ඔහුට ලැබෙන්නේ "ඒක ආරක්ෂිතද? ඒක ආරක්ෂිතද?" කියන ආකෘතිමය ප්‍රශ්නය විතරයි. ඔහු එක එක උත්තර දෙමින් මේ 'ඒක' කියන්නේ මොකක්ද කියලා අහනවා, හැබැයි ඔහුට කිසිම අදහසක් නැහැ. ඊට පස්සේ ඔහුව බය කරන්න ආයුධ පෙන්වනවා, අවසානයේ දී ඔහුට දරුණු ලෙස වධ හිංසා පමුණුවනවා. හැබැයි එතකොටත් ඔහුට නිවැරදි උත්තරය දෙන්න බැහැ, මොකද ඔහු ඒ උත්තරය ඇත්තටම දන්නේ නැහැ.

මම හිතන්නේ "Marathon Man" චිත්‍රපටයේ එන මේ දර්ශනය ඇමරිකානු සිනමාවේ දකින්න ලැබෙන හොඳම 'කෆ්කාස්ක්' (Kafkaesque - කෆ්කාගේ ශෛලිය ගත්) දර්ශනයක්. මොකද ඒකෙන් අර 'ආකෘතිය සහ අන්තර්ගතය' අතර තියෙන ගැටුම, ඒ කියන්නේ අන්තර්ගතයක් නැතිව පිරිසිදු ආකෘතියක් විතරක් තිබීමේ ස්වභාවය මතු කරනවා. හැබැයි මේක "The Trial" තරම්ම  විශිෂ්ටයි කියලා මම හිතන්නේ නැහැ. මොකද මේ චිත්‍රපටයේ ඉන්න ක්‍රිස්ටියන් සෙල් කියන චරිතය ඇත්තටම අන්තර්ගතය මොකක්ද කියලා දන්නවා, ඒක නොදන්නේ බේබ් විතරයි. ඒ නිසා "The Trial" නවකතාවේ තියෙනවා වගේ පිරිසිදු ආකෘතිමය ස්වභාවයක් මෙතන නැහැ. මොකද කෆ්කාගේ කතාවේ කේට විතරක් නෙවෙයි, උසාවියටවත් තමන් කේට විරුද්ධව දාලා තියෙන චෝදනාව මොකක්ද කියලා අදහසක් නැහැ. අපි මේක තේරුම් ගන්න ඕනේ අන්න ඒ විදිහටයි.

ඉතින් කේ උසාවියට යන්නේ තමන්ට එන්න කියපු චෝදනාවට මුහුණ දෙන්න නියමිත, නිල බලයක් තියෙන උසාවි ශාලාවක් දැකීමේ බලාපොරොත්තුවෙන්. ඔහු හිතන්නේ ඒක නීත්‍යානුකූල, පෙනුමැති උසාවි ශාලාවක් වෙයි කියලා. හැබැයි ඔහු ඒ ලිපිනය හොයාගෙන ගියාම දකින්නේ ඒක නිකම්ම නිකම් සාමාන්‍ය මහල් නිවාස සංකීර්ණයක් වගේ තැනක් කියලා. ඒක ඇතුළේ උසාවියක් තියෙන පාටක්වත් නැහැ, තියෙන්නේ සාමාන්‍ය කාමර සහ නිවාස විතරයි. ඔහුට උසාවි ශාලාව තියෙන තැන හොයාගන්නත් ලොකු උත්සාහයක් ගන්න වෙනවා. මොකද එතන නිල වශයෙන් ඉදිවුණු උසාවි ගොඩනැගිල්ලක් නැහැ.
 
ඔබ මුල්ම වතාවට "The Trial" කියවද්දී මේක ඇත්තටම ලොකු කම්පනයක්. "පොඩ්ඩක් ඉන්න, කොහොමද මේක උසාවියක් වෙන්නේ? මෙහෙම තැනක කොහොමද උසාවියක් පවත්වන්නේ?" කියලා ඔබට හිතෙනවා. හැබැයි මෙතනදී තියෙන සැබෑ අදහස තමයි, උසාවිය පවතින්නේ සාමාන්‍ය ජනතාව අතරමයි කියන එක. මම හිතන්නේ කෆ්කා උත්සාහ කරන්නේ උසාවිය කියන්නේ ඉහළින්ම තියෙන දෙයක්, මිනිස්සු ඉන්නේ පහළින්මයි කියන සාම්ප්‍රදායික අදහස නැති කරන්නයි. ඒ වෙනුවට මේ නීතිමය පද්ධතියට අපි හැමෝම කොයිතරම් දුරට සම්බන්ධ වෙලා ද කියන එක පෙන්වන්නයි ඔහුට ඕන කරන්නේ. කේ හිතන්නේ මේක තමන්ගෙන් වෙන්වුණු වෙනම ම පද්ධතියක් කියලා වුණත්, ඒක එහෙම එකක් නෙවෙයි. කේ ඉන්නේ රැවටීමක, මොකද ඔහු හිතනවා උසාවිය සහ එහි ඉහළ නිලධාරීන් කියන්නේ තමන්ට වඩා සුවිශේෂී, වෙන්වුණු කොටසක් කියලා. හැබැයි කෆ්කා පෙන්වන්නේ මේක ඇත්තටම මිනිස්සු අතරම තියෙන, මිනිස්සුන්ගෙන්ම හැදුණු පද්ධතියක් මිසක් පිටස්තර දෙයක් නෙවෙයි කියන එකයි. ඒක ඉතාමත් තීරණාත්මක අදහසක්.
 
K කළ විශාල ම වැරැද්ද කුමක් ද…?

කේ මේ උසාවි ශාලාව හොයන අතරතුර, හැමෝගෙම දොරවල්වලට තට්ටු කරලා බලන්න පුළුවන් වෙන්න ඔහුට මනඃකල්පිත චරිතයක් නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. ඔහු කියන්නේ තමන් සොයන්නේ 'ලන්ස්' (Lance) කියන වඩුවෙක්ව කියලා. මනඃකල්පිතව සොයන චරිතයකට ඒක හරිම අපූරු නමක්. අවසානයේදී මේ වගේ පිස්සු හැදෙන ගවේෂණයක යෙදෙමින් ඉද්දී ඔහුට අහම්බෙන් වගේ උසාවි ශාලාව මුණ ගැසෙනවා.

නමුත් මෙතන තියෙන උත්ප්‍රාසාත්මක දේ තමයි, ඔහු මේ උසාවි ශාලාවට කඩා වැදෙද්දී, එහි සිටින අය ඔහුගේ පැමිණීම කලින් ම බලාපොරොත්තුවෙන් සිටියා වගේ හැසිරීමයි. උසාවියට කියලා වෙනම ම වෙන්වුණු නිශ්චිත ඉඩක් නොතිබුණත්, ඔහු එතනට එන්න ඕනේ කියන එක ඔවුන් කලින් ම දැනගෙන හිටියා. මම හිතන්නේ අන්න ඒ නිසයි කේට ප්‍රවේශ විය නොහැකි, හැබැයි මේ උසාවිය හෝ නීතිමය පද්ධතිය සතුව තියෙන යම් කිසි රහස් දැනුමක් එතන තියෙනවා වගේ අපිට දැනෙන්නේ. මේ නීතිමය පද්ධතියේ ඉන්න කවුරු හරි කෙනෙක් මේ නඩුව ගැන හැමදේම දන්නවා කියන හැඟීම මේ හරහා නිරන්තරයෙන්ම ගොඩනැගෙනවා. කොහේ හරි කවුරු හරි හැමදේම දන්නවා කියලා පොඩි පොඩි ඉඟි අපිට දිගින් දිගට ම ලැබුණත්, ඒ දන්න කෙනා ළඟට යන්න කේට කවදාවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තව ද, කේ එතනට පැමිණෙන වෙලාව දෙස බැලුවත් ඒක හරිම රසවත්. ඔහු එතනට එන්නේ ප්‍රමාද වෙලා, හැබැයි මුලින් ම ඔහුට එන්න කියලා කිසිම වෙලාවක් දීලා තිබුණෙත් නැහැ. උසාවි ශාලාවේ ඉන්න කෙනෙක් ඔහුට කියනවා, "ඔයා මෙතනට එන්න තිබුණේ මීට පැයකුත් විනාඩි පහකට කලින්, ඒ කියන්නේ උදේ 9:00ට" කියලා. හැබැයි ඔවුන් කේට කතා කරලා එන්න කියද්දී කවුරුවත් එහෙම වෙලාවක් කියලා තිබුණේ නැහැ. එතන දිනයක් තිබුණා, හැබැයි වෙලාවක් තිබුණේ නැහැ.

මම හිතන්නේ කේ රැවටෙනවා වගේ අපි මේකට රැවටෙන්න හොඳ නැහැ. "The Trial" කෘතියෙන් අපිට දෙන ලොකුම පාඩම තමයි ඒක කේ රැවටුණත්, කියවන අපිට කේ ට වඩා වෙනස් විදිහකට මේ උසාවිය ඇතුළත දකින්න අවස්ථාව ලැබෙනවා. උසාවිය ඇතුළේ කිසිම සැබෑ දැනුමක් නැති බවත්, එහි කිසිම දෙයක් දන්නා කෙනෙක් නැති බවත් අපිට පේනවා. ඉතින් යම් අර්ථයකින් බැලුවොත් උසාවියත් ඉන්නේ කේ ඉන්න තේරුම් කරගත නොහැකි තත්වයේමයි. කේ හිතන්නේ ඇතුළේ හැමදේම දන්න කවුරුහරි ඉන්නවා කියලා විතරක් නෙවෙයි, තමන්ට මේ තත්ත්වය ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලත් ඔහු හිතනවා.
 
තමන්ට තනියම හැමදේම විසඳගන්න පුළුවන් කියලා හිතන එක තමයි මිනිස්සුන්ගෙන්ම හැදුණු පද්ධතියක් මිසක් පිටස්තර දෙයක් නෙවෙයි. ඔහු හිතනවා තමන්ට එක දෙයක් පැහැදිලිවම තේරෙනවා කියලා; ඒ තමයි උසාවියේ ඉන්න පිරිස දකුණු පැත්තේ කණ්ඩායම සහ වම් පැත්තේ කණ්ඩායම කියලා කොටස් දෙකකට බෙදිලා ඉන්නවා කියන එක. ඔහු හිතනවා එක කණ්ඩායමක් තමන්ට හිතවත්, අනිත් කණ්ඩායම තමන්ට සතුරුයි කියලා. හැබැයි මේ බෙදීම සම්පූර්ණයෙන් ම මුළාවක් . ඔහු මේ උසාවියේ තේරුම් විරහිත බවට තමන්ට ඕන විදිහට තේරුමක් දෙන්න හදනවා. ඒක තමයි කේ අහුවෙන ප්‍රධානම රැවටීම.
 
අවසානයේ දී පැහැදිලි වෙන්නේ දකුණ සහ වම කියලා කිසිම බෙදීමක් නැති බවයි. කේ එළියට යද්දී ඔහු දකිනවා ඔවුන් හැමෝගෙ ම ඇතුළෙන් පැලඳගෙන ඉන්න නිල ලාංඡන එක සමානයි කියලා; ඒ කියන්නේ ඔවුන් හැමෝම උසාවියේම නිලධාරීන්, හැමෝම ඉන්නේ එකම ඔරුවක. මේ බෙදීමක් තියෙනවා කියන විශ්වාසය නිසා කේ හිතනවා සභාවේ ඉන්න අය ඉල්ලන දේ තමන් දන්නවා කියලා. ඔවුන් තමන්ගේ කතාවට හොඳ ප්‍රතිචාර දක්වද්දී ඔහු හිතනවා තමන් ඔවුන්ව දිනාගත්තා කියලා, හැබැයි ඔවුන් ඇත්තටම ප්‍රතිචාර දක්වන්නේ කේ හිතන විදිහට නෙවෙයි. ඉතින් තමන් හැමදේම දන්නවා කියලා කේ හිතන හැම මොහොතකම ඇත්තටම ඔහු කිසිම දෙයක් දන්නේ නැහැ.

mandis(සටහන - මැන්ඩිස් මුරුක්කුවදුර)

 

 

 

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil