leader s

* එදා 20ට ජනමත විචාරණ ඉල්ලූ නායකයන් අද 22 සම්මත කරගත්තේ අධිකරණ තීන්දුවලටත් කලින් පූර්ව මත දෙමින්ද?

* නීතියේ ආධිපත්‍යයේ ගෝලීය දර්ශකයෙන් පහළටම ඇද වැටුණු රටක, පනත සම්මත වීමෙන් පසු උදාවන අඳුරු යථාර්ථය

 

(22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? ලිපියේ දෙවන කොටස)

 

රහසිගත කඩිමුඩිය

 

විනිසුරු වයස් සීමාව ඉහළ දැමීම, මින් මාස කිහිපයකට පෙරාතුව පැවතුනේ යම් කිසි නිහඬතාවයක ගිලුණු රහස් සඟවා ගත් කන්දක් සේය. විනිසුරු වයස් සීමාව වැඩි කිරීම සහ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නට යන බව පිළිබඳව නීති ප්‍රජාව, විද්වතුන් සහ විපක්ෂය ප්‍රමුඛ රටේ විවිධ පුද්ගලයන් මත පළ කරන විටත්, ආණ්ඩුවෙන් විමසා සිටින විටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන ඒ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරන විටත් අධිකරණ විෂය භාර ඇමැතිවරයා කියා සිටියේ එවැන්නක් පිළිබඳව කිසිදු අදහසක් හෝ සැලසුමක් නොමැති බවකි. එවැනි ප්‍රකාශ මගින් නැති බිල්ලෙක් මවා පාන බවටත් හෙතෙම චෝදනා කළේය.

 

"මේ හරහා යම් අයුක්තියක් අසාධාරණයක් යුක්තිය ඉෂ්ඨ කිරීමට බාධාවක්, අධිකරණයේ ස්වාධීණත්වයට බාධාවක් වෙයි කියලත් කරුණු දෙපාර්ශවයක් විසින් ඉදිරිපත් කරමින් සිටිනවා. මේ සියළු කරුණු අපි සලකා බලනවා. නමුත් මේ දක්වා මෙලෙස විශ්‍රාම වයස දීර්ඝ කිරීම නිල වශයෙන් කැබිනට් තීන්දුවක් අරගෙන නෑ. එහෙම දීර්ඝ කරනවා නම් කොහොමද කරන්නේ, මොන ක්‍රමයටද කරන්නේ යන කිසිවක් තීන්දු කරලා නෑ. හැබැයි මේ වන විට වෘත්තිකයන් රාශියක් නොයෙකුත් ආකාරයේ කරුණු දක්වමින් සිටිනවා. සමහර ඒවා සාධනීය යි. සමහර ඒවා දේශපාලනික යි. නමුත් ඒ හැමදේම අපි සිතලා බලනවා," යනුවෙන් අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර 2026 ජූනි මස 11 වැනි දා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සහ විනිසුරු වයස වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අසන ලද ප්‍රශ්නාවලියකට පිළිතුරු ලෙසය.

 

විනිසුරු වයස වැඩි කිරීම සම්බන්ධයෙන් ඒ දක්වාම ආණ්ඩුවේ කිසිදු සුදානමක් හෝ සාකච්ඡාවක් හෝ නැතැයි විෂය භාර ඇමැතිවරයා විසින් ජූනි 11 වැනිදා පවසනු ලැබුව ද එය මුසාවක් බව පැහැදිලි වන්නේ ඉන් අනතුරුව අදාල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවීමේ දිනයේ සිට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දක්වා වූ කාල රාමුව දෙස බැලීමේදී ය.

 

විනිසුරු වයස වැඩි කිරීමක් පිළිබඳ සැලසුමක් නොමැති බවට 2026 ජූනී 11 දා පාර්ලිමේන්තුව අමතමින් නීතිඥ හර්ෂණ නානායක්කාර ඇමැති පවසා දින 45 ට පසුව , එනම් ජූලී 27 දා අදාල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර නලින්ද ජයතිස්ස ඇමැති ජූලි 28 වැනි දා මාධ්‍ය හමුවේ දැනුම් දුන්නේය. ඉන් අනතුරුව අගොස්තු මස 03 වැනි දා අදාල පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය ලැබී තිබුණු අතරම, අගෝස්තු 07 ගැසට් පත්‍රයේ පළ කරනු ලැබු කෙටුම්පත ඉන් දින 11 ට පසුව එනම් 18 වැනි දා පාර්ලිමේන්තුව හමුවටද ඉදිරිපත් කරන ලදී. නමුත් ගැටළුව ඇත්තේ මේ දින වකවානු තුළ නොව, ඒ දිනවකවානු අස්සේ සැඟවෙමින් යෝජනාවක් හෝ නැතැයි පැවසු පනත් කෙටුම්පතක් කිසිදු ජගතකු කියූවද ආපස්සට හරවා නොගන්නා බවට පවසමින් පාර්ලිමේන්තුව හමුවට ද ඉදිරිපත් කිරීමය.

 

ගෝරනාඩුව

 

රටේ අධිකරණ පද්ධතියට හෝ නීතිය ක්‍රියාත්මක ආයතනවල ක්‍රියාකාරිත්වයට කවර ආකාරයකින් හෝ ඇඟිලි නොගසන බවටත්, බලපෑම් නොකරන බවටත් විධායක පුටුවේ හිඳ ගන්නට පෙර දස අතේ දිවුරා කී අනුර කුමාර දිසානායක, පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කෙරුනු පෙත්සම් විභාගය කට උඩ තිබියදීම දැඩිව සහ තර්ජනාත්මකව කියා සිටියේ කවුරු විරුද්ධ වුණද විනිසුරු වයස ඉහළ දැමීමේ තම තීරණය ආපස්සට හරවා නොගන්නා බවකි. " කවුරු විරුද්ධ වුණද" යනුවෙන් දැක්වෙන අර්ථයට අධිකරණය සහ තීන්දුව ද අයත් විය යුතුය. නොඑසේ නම් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කුමක්දැයි තීන්දුවට පෙර දැන අවබෝධයෙන් සිටිය යුතුය.

 

මාලිමාණ්ඩුවේ දෑවුරුදු ජුබිලිය සමරමින් බේරුවල සහ බුලත්සිංහල ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් ද ජනාධිපති අනුර කුමාර මහත් උද්‍යෝගයෙන් යුතුව මෙසේ කීය.

 

" ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. දැන් අධිකරණයේ විභාගයට ලක් වෙලා තියෙනවා. දින 21 ක් ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය දෙන්න ඕනේ. ඒ තීරණය දුන්න වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා 22 වැනි සංශෝධනය සම්මත කර ගන්නවා".

 

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන්නට නියමිත තීන්දුවක් ගැන අනුර කුමාර දිසානායක විධායක බලයේ මහිමයෙන් අද එසේ පැවසුවද, ඔහුම මෙයින් කලකට පෙර සාමාන්‍ය මන්ත්‍රීවරයකුව සිටියදී තවත් එක් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව කියා සිටියේ මෙවැන්නකි.

 

"අපි විශ්වාස කරනවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙතෙක් ගෙන ආ සංශෝධන 19 න් කිසිවක් ජනතාවගේ අනුමැතියට ලක් කොට නෑ. නමුත් 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ජනතාවගේ අනුමැතිය, ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා අපගේ ඉල්ලීම වන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනා මේකට බාධා කරන් නැතුව 20 වැනි සංශෝධනය අවශ්‍ය ද නැද්ද කියලා පාර්ලිමේන්තුවේ 225 දෙනා තීරණය කරනවා වෙනුවට එක්කෝටි පනස් ලක්ෂයක් වන ජනතාවට එය තීරණය කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. මොකද 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවෙන් පරාද කරන්න හදනවා නම් කවුරු හරි එහෙම කරන්නේ ජනතාවට බය අය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි සියළු දේශපාලන පක්ෂවලට කියන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනා මේ ගැන තීරණයක් ගන්නවා වෙනුවට ජනතාවට, ජනමත විචාරණය සඳහා අවස්ථාව දෙන්න කියලයි."

 

එදා ජවිපෙ නායක අනුර සහ අද විධායක ජනාධිපති AKD පනත් කෙටුම් පතක් සම්බන්ධයෙන් පල කර ඇත්තේ පරස්පර මත දෙකකි.

 

ජනාධිපති අනුර කුමාරගේ එවැනි පෙර දැකුම් එක් නඩුවකට පමණක් සීමා වූවක් නොවන අතර, මෙයට පෙරද අවස්ථා කිහිපයකදීම ඔහු විසින් අධිකරණ තීන්දු පිළිබඳව කල්තියා මත ඉදිරිපත් කොට තිබේ. වරක් කියා සිටියේ ඉදිරියේ ලබා දීමට නියමිත තීන්දුවක් ගැන අත්පුඩි ගසන්නට බලා සිටින ලෙසයි. දේශපාලන වශයෙන් ආන්දෝලනාත්මක තවත් නඩු කිහිපයක් උපුටා දක්වමින් එම නඩුවල තීන්දු ලබා දෙන දින වකවානුද ඔහු විසින් පවසනු ලැබුණි. අත්අඩංගුවට පත්වන්නන් ගැන මෙන්ම සහ ඉන් අනතුරුව සිදුවිය හැකි දේ පිළිබඳවත් ඔහු විසින් පාර්ලිමේන්තුව තුළත් මහජන වේදිකා තුළත් ඉඟි පළ කරන ලදී.

 

ශ්‍රේෂ්ඨාධිකරණයට විධායකය මට්ටු කළ නොහැකි ද?

 

 

හුදෙක් මෙය රටේ විධායක ධුරය විසින් ප්‍රකාශිත නිල මතයක්ද ‌නොඑසේ නම් දේශපාලන ගැලරිය පිනවීමට කරන ලද්දක් යන වග කවර ලෙසකින්වත් ආදාල නොවේ. වැදගත් වන්නේ විධායකයට, අධිකරණය විසින් ලබා දෙන්නට නියමිත තීන්දුවක් හෝ ඒ සම්බන්ධයෙන් කවර හෝ පූර්ව මතයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකිද යන වගයි. එය අතිශයින්ම බරපතල තත්වයක් වනවා සේම ව්‍යවස්ථා විරෝධී අනීතික ක්‍රියාවක්ද වන්නේ ය. ශ්‍රී ලංකාවේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන බල ත්‍රිත්වය සැකසි ඇත්තේ එකක් පරයා අනෙක ඉහළට එසවෙන පරිදි නොව සමාන සහ එකිනෙකාට අනන්‍ය වූ බල සීමාවන් සහිතව බව පාසල් දරුවන් පවා දන්නා කරුණකි. එහි පදනම බලතල වෙන්ව තැබීමේ සහ ක්‍රියාවට නැංවීමේ (Separation of Powers) නෛතික මූලධර්මය යි.

 

එහෙත් ව්‍යවස්ථාදායකය හෝ විධායකය විසින් ස්වකීය බලතල අනිසි හෝ ව්‍යවස්ථා විරෝධී ලෙස හෝ ක්‍රියාවට නංවන්නේ නම් හෝ එසේ නංවන්නට සුදානම් වන අවස්ථාවක හෝ එය නෛතික වශයෙන් වළක්වාලන්නට, වාරණ පනවන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට අභිමතාණුසාරි බලයක් ඇති බවද අමතක නොකළ යුතුය. එම බලය පැවරෙන්නේ ව්‍යවස්ථාවෙන් පැවරෙන ජනතා පරමාධිපත්‍යය යටතේ වන අතර, ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වන අයුරින් නියෝග නිකුත් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය කවර ලෙසකින්වත් අභියෝගයට ලක් කළ හැකි එකක් නොවේ. එහෙත් ව්‍යවස්ථාදායකය විසින් නිරන්තරයෙන්ම පවසනු ලබන්නේ තම කටයුතු සඳහා අධිකරණයට මැදිහත් විය නොහැකි බවයි. එය ව්‍යවස්ථාපිත බලයට මුවා වෙමින් පුරවැසියන් රවටන්නට කරන්නාවූ කූඨ ප්‍රකාශයකි. ව්‍යවස්ථාදායකය පවසන්නේ සත්‍යයක් නම් ඔවුන් විසින් අත්තනෝමතිකව සිදු කරන ක්‍රියා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථා විරෝධී යැයි දක්වමින් ආපස්සට හරවන්නේ කෙසේද? එවැනි නඩු තීන්දු ගණනාවක්ම මෑත ඉතිහාසය පුරාම අප දැක තිබේ.

 

ව්‍යවස්ථාදායකය යනු රටේ උත්තරීතරම නීතිය නොවන අතර, එය නීති සම්පාදන ආයතනයක් ලෙස පමණක් ක්‍රියා කරයි. එනිසාම ව්‍යවස්ථාදායකය, ව්‍යවස්ථාවට පිටින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණ නියමයන්ට ඉහලින් හෝ ඇතැයි සිතීම මිත්‍යාවකි. ඒ බව මනාව පැහැදිලිවන නෛතික අර්ථ කථන සැපයු නඩු තීන්දු ගණනාවක්ම අපගේ නීති ඉතිහාසය පුරාම ලියැවි තිබෙන්නේ ය. මෑත යුගයේ එසේ ලබා දුන් එක් නඩු තීන්දුවක් වන්නේ 2013 වසරේදි දිවි නැගුම පනත් කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී බවට කරුණු දැක්වීමේ "වරදට" හිටපු අගවිනිසුරුවරියක වූ ශිරානි බණ්ඩාරනායක සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විසින් දෙන ලද විනිශ්චය පරිදි ධූරයෙන් නෙරපා හරින්නට කටයුතු කිරීම බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවයි. තේරීම් කාරක සභාවේ තීන්දුව 'ස්වභාවික යුක්ති මූලධර්මය' ට පටහැනි අනීතික ක්‍රියාවක් ලෙස හැඳින්වූ ශ්‍රේෂ්ඨාකරණය පාර්ලිමේන්තුවේ නියෝගය බල රහිත කරන්නට කටයුතු කරන ලද්දේ පාර්ලිමේන්තුව විසින් ගනු ලබන කවර හෝ තීන්දුවක් ප්‍රශ්න කරන්නට අධිකරණයට බලයක් නැතැයි යන තර්කය බිඳ හෙලමිනි.

 

රනිල්ට අමතක උසාවියේ අධිකාරිය

 

එයාකාරයෙන්ම ඉහත පරිච්ඡේදයක දක්වා ඇති 2018 වසරේදි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර පාර්ලිමේන්තුවද විසුරුවා, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති මන්ත්‍රිවරයකු අගමැති බවට පත් කිරීම ව්‍යවස්ථා විරෝධී එකක් බවට දෙන ලද තීන්දුවයි. පාර්ලිමේන්තු කටයුතුවලට මැදිහත් වන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් හෝ අයිතියක් නැතැයි දිගින් දිගටම පුරසාරම් දොඩන රනිල් වික්‍රමසිංහට අමතකව ඇත්තේ විධායකය විසින් ඔහු අගමැති ධූරයෙන් නෙරපා හරින ලද විට එය බල රහිත කරමින් විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය අභියෝගයට ලක් කොට තමන් නැවත අගමැති පුටුවේ ඉන්දවනු ලැබුවේද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවකින් බවයි.

 

ගෝලීය නීති සංස්කෘතියක් සහ ගෝත්‍රික දේශපාලන සංස්කෘතියක්

 

විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ හෝ ඕනෑම ව්‍යවස්ථා විරෝධී සහ පරිපාලනමය ක්‍රියාවක් (Executive of Administrative Action) අභියෝගයට ලක්කර එය අවලංගු කිරීම් බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුවන බව ඉතිහාසයේ තවත් නඩු තීන්දු දෙස සැලකිල්ලෙන් බැලූ විට පෙනී යන්නේ ය. නමුත් ගැටළුව වන්නේ ඒ පිළිබඳව පුලුල් සමාජ හෝ නෛතික සංවාදයක් රට තුළ මේ තාක් මතු වී නොතිබීම ය.

 

1965 දි ප්‍රකාශිත ලියනගේ එදිරිව රැජිණ නම් නඩුවද ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ඇති බලතල බෙදීමේ මූලධර්මය පිළිබඳව ලබා දී තිබෙන ‌සුවිශේෂි නඩු තීන්දුවකි.

 

1962 වස‌රේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සැකකරුවන් සම්බන්ධ නඩු විභාගය වෙනුවෙන් එවක පාර්ලිමේන්තුව විසින් විශේෂ නීතියක් සම්මත කරන ලද අතර, නඩුව විභාග කිරීම සඳහා විනිසුරුවරුන් නම් කිරීමේ බලය විධායකය (එවක අගමැතිවරයා) සහ අධිකරණ ඇමැතිවරයා වෙත පවරා ගන්නට කටයුතු කරන ලදී. එම සිදුවීම එවකට ලංකාවේ ඉහළම අධිකරණය වූ ප්‍රිවි කවුන්සියලය (Privy Council) දක්වා ඇදී ගිය අතර, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අදාල නීතිය පසුව එම අධිකරණය විසින් බල රහිත කරනු ලැබුවේ ව්‍යවස්ථාදායකට හිතුමනාපයට නීති පනවන්නට ඉඩක් නැති බව පෙන්වා දෙමිනි.

 

එහිදි මතු වුණු වැදගත්ම නෛිතක සිද්ධාන්තය වන්නේ නීති සම්පාදනය කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුව තිබුණද නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් හෝ ක්‍රියාකාරකම් මත යමින් "අධිකරණ කාර්ය පටිපාටිය" (Judicial Functions) තමන් වෙත පවරා ගන්නට ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට (එවකට අගමැති ධූරය) හෝ නොහැකි බව සහ එසේ කිරීම ම බලතල බෙදීමේ මූලධර්මය සෘජුවම උල්ලංඝනය කෙරෙන බව පැවසීමයි.

 

අප මේ ජීවත්වන 21 වැනි සියවසේ දී ලොව කිසිදු රටකට සියයට සියයක්ම තමන්ට පමණක් අනන්‍ය වූ හෝ හුදකලා ලෙස පවත්වාගෙන යන්නා වූ හෝ නීති පද්ධතියකින් පමණක් ක්‍රියාක්මක වන්නට පුලුවන් කමක් නැත. එසේ පවතින්නේ ඉතාම සීමා සහිත වූ නීති ප්‍රතිපාදනයන් පමණි. වර්තමානය වන විට ගෝලීය වශයෙන් හෝ කලාපීය වශයෙන් හෝ නොඑසේ නම් ද්විපාර්ශවික වශයෙන් හෝ රටවල් එකිනෙකා සමග යම් කිසි ස්වාධීන රාමුවක් යටතේ හෝ නීතිමය වශයෙන් බැඳි සිටිති. ඒවා ජාත්‍යන්තර තලයේ සම්මුති, ගිවිසුම් හෝ එවැනි ආකාරයේ ලිඛිත බැඳියාවල්ම පමණක් නොවේ.

 

යම් රටක් පුද්ගල නිදහස හෝ මානව හිමිකම් හෝ උල්ලංඝනය වන ලෙස නොඑසේ නම් මර්දනකාරී අණ පනත් භාවිතා කරමින් හෝ කටයුතු කරන විට එම නීති ඔවුන්ගේ ව්‍යවස්ථාදායකය හෝ විධායකයේ නියෝගයන් මත නෛතිකව බල ගන්වන ලද ඒවා යැයි කියමින් කටයුතු කරන්නට ඉඩක් නොලැබෙන්නේ ය. ඒවා ජාත්‍යන්තර තලයේදී නිරීක්ෂණයට මෙන්ම විවේචනයට ද හසු වන්නේ ය. අධිකරණ ක්ෂේත්‍රය ද මේ හා සමානය. 22 වැනි ආණ්ඩුක්‍රම සංශෝධන පෙත්සම් විභාග‌යේදී විනිසුරුවරුන් විසින් නීතිඥ සංගමයේ වාචික ප්‍රතිඋත්තර දීමේ අයිතිය උල්ලංඝනය කර ඇතැයි ද, එමගින් ජාත්‍යන්තර අධිකරණ සම්ප්‍රදායන් බිඳ දමා ඇතැයි ද පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිවරයා පැවසුවේ එබැවිනි. අධිකරණය අප රටේ වුණු පළියට, පෙත්සම් අපේ වූ පළියට ලෝක අධිකරණ සම්මතයට පිටුපා කටයුතු කරන්නට අපට පුලුවන් කමක් නැත.

 

දේශයේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීම

 

රටක අධිකරණයේ ස්වාධීනත්වය ඒ රටේ සමස්ත ජන සමාජයේම පැවැත්ම තීරණය කෙරෙන්නා සේම එම රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව සෙසු රාජ්‍යයන්ට ද යම් විනිශ්චයක් කරන්නට ඉඩ හසර සලසයි. එමෙන්ම එවැනි තත්වයන් රටේ සිවිල් හා දේශපාලන මෙන්ම මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද තීරණාත්මක නිර්නායක සපයයි.

 

ශ්‍රී ලංකාවද අත්සන් තබා තිබෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 14 (1) වගන්තියට අනුව, සෑම පුරවැසියකුටම තමන්ගේ නඩුව 'සාධාරණ සහ අපක්ෂපාති අධිකරණයක්' ඉදිරියේ විභාග කරවා ගැනීමට අයිතියක් තිබෙන අතර, එක්සත් ජාතීන් විසින් 1985 දී සම්මත කර ගනු ලැබු මුලධර්මවල (UN Basic Principles on the Independence of the judiciary) 11 සහ 12 වගන්තිවලට අනුවත් ' විනිසුරුවරුන්ගේ සේවා කාලය, විශ්‍රාම වයස සහ වැටුප් වැනි කරුණු නීතියෙන් නිසි පරිදි ආරක්ෂා කර යුතු වන අතරම, ඔවුන් ධුර දරන කාලය තුළ ඒවාට අහිතකර බලපෑම් කිරීමට විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට හෝ නොහැකි බවත්’ සම්මතයකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ද පුරෝගාමිත්වයෙන් පිහිටුවන ලද පොදු රාජ්‍ය මණ්ඩලය විසින් පිළිගෙන තිබෙන ලැටිමර් සභා මූලධර්මය (Commonwealth Latimer House Principles ) ඇතුළු ජාත්‍යන්තර නීති සම්ප්‍රදායවල දැක්වෙන පරිදි අධිකරණ ව්‍යුහය වෙනස් කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බලතල වෙන්ව තැබීමේ මූලධර්මය රැකගැනීම සඳහා අධිකරණ කොමිෂන් සභාවේ සහ විනිසුරුවරුන්ගේ පූර්ණ එකඟතාවය හා උපදෙස් ලබා ගත යුතුව තිබේ.

 

අලුත් හෝ අපට දුරස්ථ හෝ නොවන මේ සංකල්ප සියල්ල ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ද පිළිගෙන බලාත්මක කොට තිබෙන පුරවැසියන් සතු අයිතිවාසිකම් ය. ඒවා මූලික මිනිස් අයිතිවාසිකම් මෙන්ම සිවිල් හා දේශපාලන හිමිකම් ගණයට ද අයත් ය.

 

ඒ නිසාම මෙවැනි අත්තනෝමතික ක්‍රියාකලාපයන් මගින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සහ සමාජ පැවැත්මකට සිදුවන හානිය සුළුපටු එකක් නොවන අතර, ඇතැම් කාරනා යළි නිවැරදි වන්නට නම් වසර ගණන්, ඇතැම්විට පරම්පරා ගණන් බලා හිදින්නට ද සිදුවිය හැක. කවදාවත් නිවැරදි නොවන්නටත් පුළුවන.

 

විශේෂයෙන්ම, මූලික අයිතිවාසිකම්වලට සීමා පැනවීම හෝ ඇතැම් හිමිකම් ක්‍රමාණුකූලව අහෝසී වීම, නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම හෝ ඒ සඳහා බලපාන්නා වූ තත්වයන් ඇති වීම, ස්වාධීන මැතිවරණ පැවැත්වීම වෙනුවට රාජ්‍ය බලය යොදා ගනිමින් ප්‍රචණ්ඩකාරිව හෝ අනීතික ආකාරයට මැතිවරණ ජයග්‍රහණය මෙන්ම ව්‍යවස්ථානූකූලව බලය පැවරුනු ස්වාධීන කොමිසම් සභා සහ රාජ්‍ය ආයතන දේශපාලන මෙන්ම විධායක බලයට නතු වීම ආදිය මෙවැනි තත්වයකින් පසුව රටකට දායාද විය හැකිය. අධිකරණය විධායකයට හෝ පවතින ආණ්ඩුවට හිතකර නැතිනම් යම් පක්ෂග්‍රාහී බවකින් කටයුතු කිරිමට පොළඹවා ගත් විට ඉහත දක්වන ලද පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලදී එයට එරෙහිව කටයුතු කළ නොහැකි වනු ඇත.

 

 

2/3 ඒකාධිපතිත්වයක්

 

ඒ සියල්ල වර්තමානය හා මනාව සැසඳේ. ලෝක සම්මත නෛතික බැඳීම්, ව්‍යවස්ථා සම්පාදනයන් සහ අධිකරණ සම්ප්‍රදායන් නොතකමින් ඒවාට පිටුපා විධායකයේ හෝ එයට අවනත ව්‍යවස්ථාදාකයේ හෝ අභිමතය මත පමණක් යමින් අපට නීති සකස් කරන්නට හෝ ඒවා රටේ නීතී පද්ධතියට එක්කාසු කරන්නට හෝ නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝක සම්මතයන් මෙන්ම ජාත්‍යන්තර තලයේ නෛතික බැඳියාවල් ප්‍රතික්ෂේප කරමින් යන ඒකාධිපති රාජ්‍ය පාලන තන්ත්‍රයකට එසේ කරන්ට පුලුවන. එහෙත් තේරුම් ගත හැකි භාෂාවෙන් පවසනු ලැබුව හොත් එවැනි ක්‍රියාවන්ට වැඩි ආයුෂ නොමැති බවට උදාහරණ අපේ රටේම ඉතා මෑත ඉතිහාසයෙන් සොයාගත හැක.

 

ජාතික ජනබලවේග ආණ්ඩුවේ මෑත සම්මත හිතුවක්කාරි 22 වැනි පනත් කෙටුම්පත සහ එහි ගමන් මග අපට කිරා මැන බලන්නට සිදු වන්නේ එවන් වූ සමාජ දේශපාලන මෙන්ම නෛතික පසුබිමක ය.

 

කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිලාභී ජනාධිපතිවරයා හා කරට කර සිටිමින් , එංගලන්තයේ බැරිස්ටර් විභාගය සමත් යැයි පැවසෙන, නීතිඥවරයකු ද වන අධිකරණ ඇමැතිවරයා ද මුල සිටම දැඩිව කියා සිටියේ "අපි මේක කතානායකට දාලා සම්මත කරගන්නවා " යනුවෙනි. ඔවුන්ගේ සමස්ත වාග් මාලාවන් පුරාම තිබුණේ සංයමයක් හෝ විචාරශීලිත්වයකින් තොර තර්ජනයකි, ගර්ජනයකි. ඔවුන්ගේ එවැනි ප්‍රකාශ කෙටුම්පත සම්මතයටත් පෙරම අපට ඉඟි සපයන ලද්දේ වැදගත් වන්නේ නීතිය හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොව ඔවුන්ගේ උඩඟු බලහත්කාරී දේශපාලනයේ ස්වභාවය යි. එහි සත්‍ය මේ වන විට පාර්ලිමේන්තුවේ 158/63 ක් ලෙස අප ඉදිරියේ තිබෙන්නේ ය. එනිසා නීතියට පිටස්තර සුදානම් වීම මගින් ඉඟි කෙරුනේ අධිකරණ තීන්දුව කුමක් වුව තමන්ට අවැසි දේ කරන්නට පසුබට නොවන බව නොවේද?

 

ආණ්ඩුවට, පාර්ලිමේන්තුව තුළ 2/3 බලයක් හිමි බව සත්‍යයක් මුත් එයින් තමන්ට අභිමත ආකාරයට සියල්ල කළ හැකි බව හැඟවෙන්නේ නැත. විධායකය තමන්ට බහුතර බලයක් හිමි ව්‍යවස්ථාදායකය යොදා ගනිමින් පනත් කෙටුම්පත් පවතින නීති රෙගුලාසි අභිබවා සම්මත කර ගන්නට යන්නේ නම් එය වරදක් බව කිව යුතුම නොවේ. මන්ද, නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට හෝ එම නීති ක්‍රියාවට නංවන අධිකරණයට හෝ එදිරිව යමින් කටයුතු කරන්නට විධායකයට නොහැකි වන බැවිනි. මේ බල කණු ත්‍රිත්වයටම බලය පැවරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය වෙතිනි. විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට අධිකරණ බලතල අභිබවා යාමට හෝ, අධිකරණය පවතින්නේ තම බල සීමාවට පහතින් යැයි හෝ පවසන්නට නෛතික බලයක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම මෙයට පෙර ලබා දී ඇති නඩු තීන්දු ගණනාවකම පැහැදිලිව දක්වා තිබේ.

 

අනෙක් පසින් ව්‍යවස්ථාදායකයේ පවතින බලය අනුවම ගොස් පනත් කෙටුම්පතක් හෝ නීතියක් සම්මත කළ පමණින් ම එයද යහපත් යැයි පැවසිය නොහැක. මන්ද බහුතර බලය යනු ප්‍රජාතාන්ත්‍රවාදයම නොවෙන බැවිනි. බහුතර බලය යනු බහුතරය හිමි පාර්ශවයේ කැමැත්ත සහ අභිමතය යි. සැබෑ ප්‍රජාතාන්ත්‍රවාදය යනු සුළුතරයේ මතයට ඉඩ ලබා දිමයි. ලංකා ඉතිහාසයේ දැවැන්ත සංහාර සිදුවූයේ " බහුතර රාජ්‍ය බලය හිමි ප්‍රජාතන්ත්‍රවාදයේ" ආනුභාවයෙනි. රටේ සෑම බිම් අඟලකම සමුහ මිනිවළවල් මතු වෙන්නේ ඒ සුපිරි බහුතර ප්‍රජාතන්ත්‍රවාදයට පිං සිදු වන්නට ය. ඒ බහුතර කැමැත්ත නම් ප්‍රජාතන්ත්‍රවාදයේම ගොදුරු බවට අතීතයේදී පත්වූ පිරිසක් වර්තමානයේ එයම මර්දනකාරී ‍අවියක් ලෙස යොදා ගනිමින් නීතිය අවභාවිතා කරන්නේ එහි ඇති මුග්ධ බව මනා ලෙස පෙන්වා දෙමිනි.

 

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම

 

1999 දී කරුණාතිලක එදිරිව දිසානායක නඩුවේ නිමිත්ත බවට පත්ව තිබුණේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද හදිසි නීති රෙගුලාසි භාවිතා කරමින් මැතිවරණ කල් දැමීමට දැරූ උත්සාහයක් අභියෝගයට ලක් කිරීමකි. එහිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලද්දේ පාර්ලිමේන්තුව හෝ විධායකය හෝ කුමන නීති පැනවුවද ඉන් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ නම් ඒ පිළිබඳව මැදිහත් වීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණය සතුවන බවයි.

 

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් තැබූ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමන් වරෙක කියා සිටියේ ‘නීතියේ ආධිපත්‍යය (Rule of Law) ට යටත් ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක කිසිදු ආයතනයක් හෝ පුද්ගලයකු ව්‍යවස්ථාවට ඉහළින් නොසිටින’ බවයි. එමෙන්ම පාර්ලිමේන්තුව වුව කටයුතු කළ යුතු වන්නේ ව්‍යවස්ථාවෙන් පනවා ඇති සීමාවන් ඇතුලත පමණක් යැයි ද එතුමන් විසින් පවසන ලදී.

 

නමුත් දැන් මේ සියල්ල ඉතිහාසයට එක්වී අවසන් ය. මේ කිසිවක් 22 පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සැලකිය යුතු කරුණු කාරනා හෝ හැරවුම් ලෙස හෝ සලකා නොමැති බව පැහැදිලි ය.

 

නඩු කන්දෙන් වසා ගත් ව්‍යවස්ථා සංශෝධනයක්

 

පනත සම්මත කරගැනීමට යන ගමනේ ආණ්ඩුවේ මතය වූයේ, ගොඩ ගැසී තිබෙන මිලියනයකට අධික නොඑසේ නම් ලක්ෂ එකොලහ ඉක්මවන නඩු කන්ද ඉක්මනින් විසඳා යුක්තිය ඉටුවීමේ ක්‍රියාදාමය කඩිනම් කරවීමට නම් විනිසුරුවන්ගේ වයස් සීමා ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතු බවකි. විෂය භාර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් අධිකරණ උපදේශක කාරක සභාව හමුවේ තබන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව දිවයින පුරා අධිකරණ වර්ග අටක ගොඩ ගැසි තිබෙන සමස්ත නඩු සංඛ්‍යාව එකොලොස් ලක්ෂ තිස් දෙදහස් නමසිය දහසයකි (1 1,32 916). ඉන් වැඩිම සංඛ්‍යාව වන අට ලක්ෂ දහඅට දහස් අටසිය අසු නමය (818, 889) වාර්තා වෙන්නේ පහළම අධිකරණය වන මහේස්ත්‍රාත් අධිකරණයේ ය. ඉන් අනතුරුව වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ අපරාධ මහාධිකරණයේ සහ දිසා අධිකරණයේ වන අතර එය පිළිවෙලින් 27, 376 ක් සහ 260,007 කි. සිවිල් අභියාචනාධිකරණයේ ගොඩගැසි තිබෙන නඩු සංඛ්‍යාව 6591 කි. තවද වාණිජ මහාධිකරණයේ නඩු 6330 ක් සහ අභියාචනාධිකරණයේ නඩු 5216 ක් ලෙස විසඳන්නට ඉතිරිව තිබෙන අතරම, කම්කරු විනිශ්චය සභා නඩු 3131 ද ඉහත මුළු සංඛ්‍යාවට ඇතුලත් ය. විනිසුරු වයස වැඩි කිරීම පිළිබඳව ආණ්ඩුව වැඩි බරක් තබා කටයුතු කරන, අනිවාර්යෙන්ම වයස ඉහළ දැමිය යුතු යැයි පවසන ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩ ගැසි ඇතැයි ආණ්ඩුවම පවසන නඩු සංඛ්‍යාව 5396 කි.

 

ශ්‍රී ලංකාවේ අධිකරණ ඉදිරියට වැඩි වශයෙන්ම යන්නේ සිවිල් හෝ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුකර නොව අපරාධ සිදුවීම්ලවට අදාල නඩු බව සියල්ලන්ම දන්නා කරුණකි. එහෙයින් කඩිනමින් විසඳුම් සෙවිය යුතු වන්නේ මහාධිකරණය සහ ඉන් පහළ අධිකරණවල ගොඩ ගැසෙන අපරාධ නඩු තදබදය අවම කිරීම වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ ඇතැම් මූලික අයිතිවාසිකම් නඩුකර ද වසර ගණන් ඇදෙන බව අවිවාදිත කරුණකි. ඒ නිසාම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ද අමතක කොට මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු නොවේ. නමුත් ප්‍රමුඛතාවය ලබාදිය යුතු වන්නේ අපරාධ නඩු විමසන අපරාධ මහාධිකරණය සහ ඉන් පහළට ය. මන්ද එය හුදෙක් අධිකරණමය ගැටලුවක්ම පමණක් නොව අපරාධ විමර්ශනය සහ නඩු පැවරීම නම් කාර්ය සිදුකරන අනෙකුත් ආයතන සමගද බද්ධව පවතින්නක් වන බැවිනි.

 

මෙම නඩු ගොඩ ගැසීමේ සංඛ්‍යාවල ඉදිරියෙන්ම සිටින්නේ ත්‍රස්ත මර්දන පනත වැනි අණ පනත් මගින් සහ මත්ද්‍රව්‍ය චෝදනා යටතේ " නඩු නොමැතිව" දීර්ඝ කාලයක් සිරගතව සිටින පිරිස් ය. විශේෂයෙන්ම නිසි නඩු විමසීමකින් හෝ ඇප ලබා දීමකින් තොර ත්‍රස්ත මර්දන පනත යටතේ වසර 10/ 15 හෝ එයටත් වඩා වැඩි කාලයක් සිරගත කර සිටින රැඳවියන් ගණන අති විශාලය. එසේ නඩු නොමැතිව බන්ධනාගාරයේම අවුරුදු ගණන් ජීවිතය ගෙවමින් එහිම මිය ගිය රැඳවියන් පිළිබඳව ද අප අසා ඇත්තෙමු. එවැනි රැඳවියන් පිළිබඳව කිසිදු රජයකට, අභිචෝදකයන් ට, නීති ප්‍රජාවන්ට මෙන්ම විනිසුරුවරුනට කම්පාවක් ඇති නොවන්නේ ය.

 

එහෙත්, ආණ්ඩුව විසින් පනත් කෙටුම්පත අරබයා ගෙන හැර දක්වන ලද තර්ක විතර්ක මෙන්ම සංඛ්‍යා ලේඛන ද මේ වන විට අතීත කතාවන්ට සීමා වී තිබේ. නඩු ගොඩ ගැසීම හෝ ගොඩ ගැසෙන නඩු විසඳීම සඳහා ඉදිරිපත් කෙරෙන දත්ත කිසිවක් මේ මොහොත වන විට වඩා වැදගත් තාර්කික කතා බහකට ප්‍රයෝජනවත් නොවන්නේ එම සංඛ්‍යා ලේඛන සහ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මූලික සිද්ධාන්තය අතර සම්බන්ධයක් නොපෙන්වන නිසාම නොව, මේ වන විට ඒ සියල්ල පසෙකට විසි කොට අරගලය අධිකරණ ක්‍රියාවලියකට තල්ලු වී ගොස් අවසානයේ කෙටුම්පත සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය ද අවසන්ව සිටින බැවිනි.

 

‘අධිකරණයේ ස්වාධීනත්වය’ සඳහා විරෝධය දැන් කොයිබටද?

 

එහෙත් එයින් සියල්ල අවසන් වන්නේ නැත. සෑම අවසානයක්ම තවත් ආරම්භයක පදනම වන්නා සේම ඉතිහාසය නැවත නැවත සිහිගන්වන්නට අවස්ථාවක් ද සලසන්නේ ය. 22 කෙටුම්පත අපට එම පාඩමද අනාගතයේදී උගන්වනු ඇත. ආණ්ඩුවේ දැන් වගකීම වන්නේ 22 වැනි සංශෝධනය හරහා අධිකරණය යොදා ගනිමින් තමන්ට අවැසි දේශපාලන දඩයම් හෝ ඉලක්ක ගත පුද්ගලයන් ට එරෙහි නඩු පමණක් කඩිමුඩියේ විසඳීම නොව ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛන මතින් දැක්වෙන ලක්ෂ එකොළහ ඉක්ම වන නඩු කන්ද ක්‍රමාණුකූලව විසඳීම සඳහා සැලසුම් සකස් කිරීමය. නමුත් අමතක නොකළ යුතු දෙයක් තිබේ. යුක්තිය ඉටු වූවාට මදිය. යුක්තිය ඉටු වන බව පෙනෙන්නට ද තිබිය යුතුය.

 

22 වැනි ආණ්ඩුක්‍රම පනත් කෙටුම්පතට විරුද්ධ පාර්ශවයන් විසින් ඒ සම්බන්ධයෙන් පවසන ලද්දේ කුමක්ද? එයද සටහන් කොට තැබීම අනාගතය උදෙසා කළ යුත්තකි.

 

අදාල යෝජනාවට සහ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ අදහස් දක්වන ලද විපක්ෂය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ සියළුම මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන අධිකරණ සේවා සංගමය ( JSA) ඇතුළු අනෙකුත් පාර්ශව පෙන්වා දුන්නේ නඩු ප්‍රමාදය අවම කිරීම සඳහා වන යෝජනාවන්ට එය ප්‍රායෝගික විසඳුමක් නොවන බවයි. එසේම දේශීය සහ විදේශීය අනෙකුත් නීති ප්‍රජා සංගම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතායතන, සිවිල් සංවිධාන ද ඇතුළු බොහෝ පාර්ශව විසින් දිගින් දිගටම අවධාරණය කරන ලැබුවේ විනිසුරු වයස ඉහළ දැමීමෙන් සමස්ත අධිකරණ පද්ධතියම දැඩි අර්බුදයකට ගමන් කළ හැකි බවයි. අදාල යෝජනාව හෝ ව්‍යවස්ථා සංශෝධනය මඟින් ගොඩගැසි ඇති නඩු ප්‍රමාණය කඩිනමින් විසඳීම සඳහා ප්‍රායෝගිකව කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බවත්, සැබවින්ම එයින් සිදුවන්නේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සහ විනිසුරු භූමිකාව දේශපාලනිකරණයට නතු වීම බවත් ඔවුහු පෙන්වා දුන්හ.

 

UN අනතුරු ඇඟවීම

 

 

එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිත ආයතනයක් විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම ක්‍රියාව හෙලා දැකීමට ලක් කරනු ලැබු අතර, විනිසුරු වයස් සිමාව ඉහළ දැමීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවටත් අනතුරු අඟවනු ලැබුණි.

 

අගෝස්තු 07දා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කළ විනිසුරු සහ නීතිඥ ස්වාධිනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය වන මාග්‍රට් සැටර්ත්වයිට් (Margaret Satterthwaite) අනතුරු අඟවා තිබුණේ ශ්‍රී ලංකා රජය විසින් අදාල සංශෝධනය ක්‍රියාත්මක කරනු ලැබුව හොත් එය අධිකරණ පද්ධතියේ ස්වාධිනත්වයට මෙන්ම ඒ පිළිබඳව පුරවැසියන් සතුවන විශ්වාසය ට ද හානි පැමිණිය හැකි බවට යි. එමෙන්ම සේවයේ නිරත විනිසුරුවරුන්ගේ විශ්‍රාම ධුර කාලය විනිවිදභාවයෙන් සහ සියළු පාර්ශවවල දායකත්වය සහිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් හෝ තොරව කඩිමුඩියේ වෙනස් කිරීමට යාමෙන් ගැටලු රැසක් ඇති විය හැකි බවටත්, එම ක්‍රියාවලිය තුළින් විධායකය ට සහ ව්‍යවස්ථාදායකය ට අධිකරණයේ බලයට අනිසි ලෙස මැදිහත් වන්නට හැකි වන බවටත් විශේෂ නියෝජිතවරිය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

 

එය පහසුවෙන් බැහැර කළ හැකි තර්කයන් නොවන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ සිදුවෙමින් තිබෙන එහෙත් සිදු නොවිය යුතු දේශපාලන මැදිහත්වීම් සහ ඇතැම් වෙනස්කම් දෙසද බලන විටය.

 

 ආණ්ඩුව කුමක් පැවසුවද අවසාන වශයෙන් සිදුවන්නේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අත්තනෝමතික බලයට අධිකරණ පද්ධතිය යටපත් වීම මිස වෙනත් දෙයක් නොවේ. අනෙක් පසින් විනිසුරන් සහ අධිකරණ පද්ධතිය පිළිබඳව ඇති අවම හෝ මහජන විශ්වාසය බිඳවැටීමකට ලක්වීම ද නොවැලැක්විය හැකි එකක් වන්නේ ය. මන්ද සෑම තීන්දුවක්ම නෛතික සීමාවකට යටත් වනවා සේම එම තීන්දුවෙන් සමාජය සදාචාරාත්මක භාවිතයකට හුරු කරන්නේ ද එසේ නොවන්නේ ද යන වගද පෙන්නුම් කෙරෙන බැවිනි.

 

මහ උසාවියේ තීන්දුවෙන් පසු රටේ ඉරණම?

 

මේ සියල්ල අතරින් සැලකිල්ලට බඳුන් කළ යුතු වන්නේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කවර නම් තීන්දුවත් ලබා දුන්නද , පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් සම්මත කෙරුන ද ඉන් අනතුරුව එය රටේ ඉදිරි අධිකරණ සහ නෛතික ව්‍යුහයටත්, ව්‍යවස්ථාපිත ආයතන පද්ධතියටත් කවර නම් බලපෑමක් කරන්නේ ද යන වග විමසා බලන්නටයි.

 

විශේෂයෙන්ම මතුව තිබෙන තත්වය රටේ පොදු මහජනයා කෙරෙහි කවර නම් බලපෑමක් සිදු කරන්නේද, ඔවුන් එය කෙසේ අවබෝධ කොට ගෙන සිටින්නේ ද, යන වග ද මෙහිදී වැදගත් කාරනා ලෙස සැලකිය යුතුව තිබේ.

 

පනත් කෙටුම්පත හෝ පනත සමඟ මේ තාක් රටේ සාමාන්‍ය ජනයා බන්ධනයක් ඇති කර ගෙන නොමැති බවට තර්ක විතර්ක අවශ්‍ය නොවේ. ඒ බන්ධනය පාර්ලීමේන්තු වටරවුමේ පැවති දේශපාලන විරෝධතාවලින් හෝ එයට ප්‍රතිවිරුධ විරෝධතාවලින් හෝ ගණනය කළ නොහැකිය.

 

පනත් කෙටුම්පතට විරුද්ධව පෙල ගැසුණු බොහෝ පාර්ශව විශේෂයෙන්ම නීතිඥ ප්‍රජාවද කටයුතු කළේ සාමාන්‍ය ජනයා අතරට නොයා තෝරාගත් පිරිසක් ඉදිරියේ කරුණු දැක්වීමට පමණක් සීමා වෙමිනි. අවම වශයෙන් ඔවුන් තම කණිෂ්ඨ නීති වෘත්තිකයන්, නීති සිසුන් මෙන්ම උසස් අධ්‍යාපනයෙන් අනතුරුව රටේ සමාජ දේශපාලන සහ වෘත්තීය තත්වයන් හා සම්බන්ධ වීමට සිටින විශ්ව විද්‍යාල සිසු සිසුවියන් වැනි පාර්ශව හෝ මෙයට සම්බන්ධ කරගනු අප දුටුවේ නැත.

 

යම් හෙයකින් පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනුමතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුව හොත් හෝ එය එසේ නොවී ජනමත විචාරණයකින් ද නොඑසේ නම් එම දෙයාකාරයටම යටත්ව හෝ සම්මත කරනු ලැබුව හොත් හෝ ඉන් අනතුරුව කුමක් කළ යුතු වන්නේ දැයි උපකල්පනය කරමින් නිශ්චිත මතයක්, අවධානයක් නීති ප්‍රජාවද ඇතුළු මෙයට විරුද්ධ පාර්ශවයන් සතුව පැවතියේ දැයි කියන්නට තරම් සාධනීය කරුණු නොමැත. එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද්දේ ද කවරාකාරයකට ද, නොඑසේ නම් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද්දේ කෙසේද යන වග පසෙක ලා බැලුවද අවසානයට එය බලපාන්නේ රටේ නීති පද්ධතියට නම් ඒ පිළිබඳව අවබෝධයක් රටේ පුරවැසියන් සතු විය යුතුමය. මන්ද යත් ආණ්ඩුව විසින් තරයේම පවසන පරිදි අදාල යෝජනාව සහ එය බලාත්මක කිරීම සඳහා ගෙනෙනා පනත් කෙටුම්පත සෘජුවම ක්‍රියාත්මක වන්නේත්, ඈඳී ඇත්තේත් රටේ ජනතාවගේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා සමඟ ය. එනම් නඩු විසඳීම සහ අධිකරණ තදබදය අවම කිරීම සඳහා ය.

 

ජනමත විචාරණය ද? කෙටුම්පත හකුලා ගැනීම ද?

 

පනත් කෙටුම්පතට විරුද්ධ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ පාර්ශව විසින් දැඩිව ඉල්ලා සිටිනු ලැබුයේ පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යටත් විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි. එය කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරන ලද සියළු පාර්ශවයන් විසින් මතුකරන ලද තර්කයකි. අනෙක් පසින් ඒ සියල්ලන්ම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට විරුද්ධ වන බවත් එමගින් අධිකරණයේ සැබෑ අර්බුදයට විසඳුම් නොලැබෙන බවත් තර්ක කෙරිණි.

 

‘ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලැබිය යුතු නැති’ බවට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීරණය කරනු ලැබ මාලිමාන්ඩුවේ සමස්ත මන්ත්‍රී මණ්ඩලයේම ඡන්දයෙන් දැන් පනත් කෙටුම්පත සම්මතය.

 

එනිසාම ජනමත විචාරණ තර්කනය අදාල නොවෙතත් නීතිඥ ප්‍රජාව සහ පනත් කෙටුම්පත සම්මත වන්නට නම් ජනමත විචාරණයක් අවශ්‍යම බව පැවසු පාර්ශවවල මතය අනුව යමින් යම් හෙයකින් එය ජනමත විචාරණයකට ලක් කරන්නට සිදුවුයේ නම් යන උපකල්පනය මත මෙය මදක් විමසා බලන්නට කැමැත්තෙමි.

 

22a6 20260928

 

ජනමත විචාරණයට 22 ගියා නම්

 

යම් පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වගන්තියක් හෝ කිහිපයක් හෝ උල්ලංඝනය වන්නේ නම් නොඑසේ නම් සෘජුවම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් යටතට වැටෙන්නක් නම් හෝ එය අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යටත් කළ යුතු බව නෛතික කරුණකි. නමුත් ගැටලුව එය නොවේ. යම් පනත් කෙටුම්පතක් නුසුදුසු බවට අධිකරණය හමුවේ තර්ක කොට එයට විසඳුමක් ලෙස අධිකරණයෙන් පිටතදි ජනමත විචාරණයකට හසුකර සුදුසු එකක් බවට පත් කර ගන්නේ කෙසේද යන වගයි. එය බැලු බැල්මට පරස්පර එකක් වනවා පමණක්ම නොව අතිශය දෙබිඩි පිළිවෙතකි. එය සමාන වන්නේ ත්‍රස්ත මර්දන පනත (PTA) වැනි අති භයංකාර පනතකට විරුද්ධ මතයක් දරණ අතරම එයට සළු පිළි අන්දවා හැඩ දමා ජාත්‍යන්තර ප්‍රතිරූපයට ගැලපෙන සේ සංශෝධනය කරන්නැයි කරන ඉල්ලීමක් වැනි දෙයකට ය. දේශපාලන උවමනාවන් මත ගෙනෙන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණය සහ සමස්ත යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයම ආපස්සට හැරවිය නොහැකි ලෙස අර්බුදයට ගමන් කරවන්නේ නම්, උගත් නීති ප්‍රජාවේ සහ විද්වතුනගේ හඬ සහ වගකීම විය යුතුව තිබුණේ එය ජනමත විචාරණයක් වෙත තල්ලු කිරීම නොව සම්පූර්ණයෙන්ම හකුලා ගන්නා ලෙස බලපෑම් සහගත ක්‍රියාවලියකට යෑමයි.

 

එසේත් නොවන්නේ නම් යම් හෙයකින් පනත් කෙටුම්පත සම්මත වුව හොත් ඉන් අනතුරුව කුමක් කරන්නේ ද යන වග සහිත විකල්ප ක්‍රමවේදයන් තෝරා ගෙන සිටීමයි.

 

ජනමත විචාරණයක් අවශ්‍ය යයි හෝ එසේ කරන්නැයි පවසා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ පමණින් හෝ සියල්ල යහපත් වන්නේ නැත. සැබෑ අර්බුදය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. ඒ වනාහි, විධායකය යටතට සෘජුව හෝ අනියමින් හෝ අධිකරණ පද්ධතිය නතුවී අවසන් වීමෙනි. ජනමත විචාරණයක් යනු මැතිවරණයක්ම නොව එය නිශ්චිතව විමසන එක් කරුණක් සම්බන්ධයෙන් සලකුණු දෙකක් යටතේ කැමති හෝ අකමැති බව ප්‍රකාශ කිරීමකි. ඒ සඳහා සක්‍රියව දායක වන්නේ රටේ පුරවැසියන් බැවින් ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධයක් හෝ දැනුවත්භාවයක් තිබිය යුතුය. කෙටුම්පතට විරුද්ධව පෙත්සම් ගොනු කොට ජනමත විචාරණයක් ඉල්ලා සිටින නීති ප්‍රජාව පුමුඛ පිරිස් ඒ සඳහා පෙර සුදානමකින් සිටියේ ද? යම් හෙයකින් කෙටුම්පත ජනමත විචාරණයකට තබන්නට සිදුවුව හොත් එයට විරුධව නොකැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා රටේ පුරවැසියන්ව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කොට ති‌බුණි ද? එවැනි කිසිවක් නොමැත.

 

එක රැයින් රටපුරා පෝස්ටර් ගසන්නට මෙන්ම එක කොල කෑල්ලකින් රටක් වසා දමන්නටත් සමත් දේශපාලනයක දශක ගණනාවක් යෙදී, ළඟ ළඟ මැතිවරණ දෙකක්ම දිනා තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ඇති පක්ෂයක් සමග ‘ඔව්-නෑ’ ඡන්ද සටනක් කරන්නට ඔය විද්වත්, ප්‍රජාතන්ත්‍රකාමී, ව්‍යවස්ථා භූෂණ, නීතියේ ආධිපත්‍යධාරී, බලය වෙන්ව තබා ගැනීම් වාදී මහත්ම, මහත්මීන්ට පෙර සුදානමක් තිබුණිද?

 

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඇතුළු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා ගැටෙන පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට හසුකරන්නැයි මේ තාක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති කවර නම් නියෝගයක් ව්‍යවස්ථාදායකය විසින් ක්‍රියාත්මක කර තිබේද? 1982 සුප්‍රකට ලාම්පු කළ ගෙඩි සෙල්ලමෙන් පසුව ලංකාවේ පැවති ජනමත විචාරණය කුමක්ද? එවැනි පනත් කෙටුම්පත් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයා වෙත යොමු කොට ඇතත් ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කුමක් සිදුවූවා දැයි කියන්නට කිසිවකුත් නොදනී.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123(4) වගන්තියේ මෙසේ දැක්වෙයි.

 

" යම් පනත් කෙටුම්පතක් හෝ පනත් කෙටුම්පතක විධිවිධාන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනූකූල යයි තීරණය කරනු ලැබ ඇත්තා වූ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනූකූල යයි තීරණය කරන සේ සැලකෙන්නා වූ අවස්ථාවක ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධාන හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රකාශ කර ඇති ආකාරයට හැර සම්මත කොකළ යුත්තේ ය".

 

එහෙත් අධිකරණ තීන්දු ප්‍රකාශ වන්නටත් පෙර ඒ සම්බන්ධයෙන් ඉඟි පළ කරන ලද විධායකයට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ නියමයන් වැදගත් වේවී ද? ඒ ගැන ව්‍යවස්ථාව හීං කෙඳිරියක්වත් නගන්නේ නැත.

 

අප අමතක නොකළ යුතු වැදගත්ම දෙය මෙයයි. මේ පාර්ලිමේන්තුව, එහි නියෝජනය සහ එහි දේශපාලන බලාධිකාරිත්වය ඉතිහාසයේ සිට මේ දක්වාම බලය දරණ ලද සියළු පක්ෂ , මහජන නියොජ්තයන් ආදි සියල්ලන්ම සියළු ආකාරයේ මර්දනකාරි අණපනත්වලට අත ඔසවා ඒවා රටේ නීති බවට පත් කරන්නට තර්ක විතර්ක පෑ අයවලුන් බවයි. එනිසාම අද මෙයට විරුද්ධ වුණු පාර්ශව හෝ මහජන නියෝජිතයන් හෙට දවසේදී මෙයටත් වඩා බිහිසුණු අණ පනත් රැගෙන එන්නට පුලුවන. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන බව කියා බලය ගත් මේ මොහොත වන විටත් මාලිමා ආණ්ඩුව "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" ඉදිරිපත් කොට තිබෙන අතර, අධිකරණයේ ස්වාධීනත්වයට කෑගසන බොහෝ පාර්ශවයන් ත්‍රස්ත පනත සම්බන්ධයෙන් කෙසේ ප්‍රතිචාර දක්වන්නේ දැයි අප බලා සිටින්නෙමු. මන්ද එම පනත් කෙටුම්පත සෘජුවම මේ රටේ දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරනා පනත් කෙටුම්පතක් වන බැවිනි. සුදු කරපටි මහත්වරුනේ, ඔබ ඔබේ හෘදය සාක්ෂියේ දිග පළළ එය පරාජයට පත් කරන්නට අත ඔසවන්නේ දැයි අපට පෙන්වන්න.

 

ත්‍රස්‌තවාදය වැළක්වීමේ පනතත් රටේ සම්මත නීතියක් බව මෙහිදී සිහිපත් කරගනු වටින්නේ නීතියක් වූ පලියට ඒ හැමෙකටම එකඟවන්නට නීතිගරුක පුරවැසියන් බැඳී නැති හෙයිනි. සිවිල් නීති කැඩීම නම් ජනසම්මත විරෝධතා විධික්‍රමයක් ජගත් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවේ ඇත.

 

නෛතික සාක්ෂරතාවයක් නැති පුරවැසි සමාජයක ජනමත විමසුම ඉරණම

 

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සාක්ෂරතාවය 90% ආසන්න හෝ ඉන් මදක් වැඩි අගයක තිබුණද නෛතික සාක්ෂරතාවය නම් පවතින්නේ අතිශය පහළ පසුගාමි මට්මකය. යමක් කියවා බලා හෝ අසා දැනගෙන තේරුම්ගත හැකි මට්ටමින් රටේ සමස්ත ජනගහනයෙන් කවර නම් සංඛ්‍යාවකට රටේ නීති පද්ධතිය පිළිබඳව, පුරවැසියන් සතු අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් භාවයක් තිබේද? පොලිසිය, අධිකරණය හෝ වෙන යම් රාජ්‍ය ආයතනයකට ගොස් සේවයක් ලබා ගැනීම හෝ තමන්ට හිමි අයිතිවාසිකම් පිළිබඳව කතා කොට සේවය සලසා ගන්නට හැකි මට්ටමේ නීතිමය දැනුවත් භාවයක් තිබෙන්නේ රටේ පුරවැසියන්ගෙන් කීයෙන් පංගුවකට ද? ඉතා සංකීර්ණ නීති විග්‍රහ එයට අවශ්‍ය නැත. බස් රථයක ටිකට්ටුවක් ඉල්ලා එය නොදුන් පසුව හෝ වෙළඳ සැලකට ගොස් ඉතිරි මුදල වෙනුවට කඩ හිමියා දෙන ටොපිය ප්‍රතික්ෂේප කොට එයට එරෙහිව තම පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව කතා කරන්නට දන්නේ රටේ පුරවැසියන්ගෙන් කී යෙන් කී දෙනාද?

 

අත්අඩංගුවේදි මරා දමන, වධහිංසාවට ගොදුරු වන, අනීතිකව සිරගත කරන, අතුරුදහන් කරන තම සමීපතමයන් වෙනුවෙන් මේ රටේ නීතිමය අරගලයක පැටලී සිටින්නේ කී දෙනකු ද? රාජ්‍යයෙන් තමන්ට හිමි අන්සතු කළ නොහැකි සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳව දන්නේ සමස්ත ජනගහනයෙන් කී දෙනාද? අධිකරණයක් හමුවට ඉදිරිපත් කළ පමණික් විනිසුරුවරයාට හෝ තමන්ගේ මතයට අඟුලු ලා දැමිය නොහැකි බව, අනිතීකව දණ්ඩනයට පමුණුවිය නොහැකි බව දන්නේ ඒ වෙනුවෙන් සටන් කරන්නේ කවරෙක්ද? රටේ නීතිය යනු, අධිකරණ විනිසුරන් හෝ පොලිසියවත් නොඑසේ නම් විධායකය ප්‍රමුඛ දේශපාලන තන්ත්‍රයවත් නොවන බවට අවබෝධයක් ඇත්තේ ජනගහනයෙන් කියෙන් පංගුවකට ද?

 

ඒ බව හුදී ජනයාට තේරුම් කර දෙන්නට ගාස්තු අය නොකර පන්ති පවත්වා ඇත්තේ කවර නීතිඥ සංගමයද?

 

ව්‍යවස්ථාවක් යනු කුමක්දැයි තම ජීවිත කාලය පුරාම අසා නැති ඒ පිළිබඳව වගේ වගක් නැති ගැහැනුන්, මිනිසුන් කී ලක්ෂයක් මේ පොලොවේ ඉපදී, මැරී යන්නේද? එවන් මිනිසුන් මතට මේ බර පටවමින් නීතිඥවරුන්, නීතී විශාරදයන්, ව්‍යවස්ථාදායකයේ විපක්ෂයේ පිරිස් සහ අවසානයේ අධිකරණයේ වියතුන් මේ කරන්නට තටමන්නේ කුමක්ද? අවසානයේ රටේ ජනතාව එය අනුමත කළ නිසා අපට කරන්නට දෙයක් නෑ යැයි පවසමින් අතපිසදා ගන්නට ද? මේ කරන්නට හදන්නේ දේශපාලකයන්ගේ සහ නීතිය පිළිබඳ ප්‍රාමාණික දැනුමැති උගතුන්ගේ පවු රටේ ව්‍යවස්ථාවටම මුවා වෙමින් නීතිය පිළිබඳව කණ අත්සනවත් තබන්නට නොදන්නා මිනිසුන් පිට පටවා පැත්තකට වන්නද?

 

ලෝකෙන් උතුම් රටේ ‘අයි නෝ ද ලෝ’

 

ශ්‍රී ලංකාවේ නෛතික සාක්ෂරතාවය පෙන්වන මනා දර්ශකයක් පසුගිය වසරේදි ප්‍රකාශයට පත්ව තිබෙන අතර, එයට අනුව නීතිමය සහ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය අතින් මෙරට පුරවැසියන් සිටින්නේ අතිශයින්ම පහල මට්ටමක ය.

 

ජගත් යුක්ති ව්‍යාපෘතිය (World Justice project - WJP) වාර්තාවේ Rule of Law Index අගයට අනුව 2025 වසරේ ලොව රටවල් 143 කින් ශ්‍රී ලංකාව පසු වන්නේ 74 වන ස්ථානයේ ය. නමුත් එය ඇතැම් විෂයන් වලදි 140 ට ආසන්න වන පහල තැනකටද වැටී ති‌බෙන්නේ රටේ පුරවැසි හිමිකම් සහ නෛතික සාක්ෂරතාවය පිළිබඳව සැබෑ තත්වය පෙන්වමිනි.

 

එම දර්ශකයේ සිවිල් හා අයිතිවාසිකම් ගෝලීය තත්වය තේමාවන් 8 ක් යටතේ දක්වා තිබෙන අතර, සාමාන්‍ය ජනතාවට තම සිවිල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් නෛතික ප්‍රවේශ වීමට ඇති හැකියාව සහ දැනුවත්භාවය සලකා බැලීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව පසුවන්නේ රටවල් 143 න් 70 වන තැනය.

 

22a7 20260928

 

පුරවැසින්ගේ එදිනෙදා නෛතික ගැටළු සමාන ප්‍රවේශයන් සහිතව සාධාරණව සහ දැරිය හැකි පිරිවැයක් යටතේ ලබා දිය යුතු බවට තිබෙන හිමිකමෙන් ශ්‍රී ලංකාව පසුවන්නේ ලෝක දර්ශකයේ 111 වැනි ස්ථානයේ වන අතර, සිවිල් අධිකරණ පද්ධතියක් තුළ ජාතිය ,ආගම , කුලය , ස්ත්‍රි පුරුෂ සමාජභාවය හෝ දේශපාලය ද ඇතුළු කිසිදු වෙනස් කමකින් තොරව හිමිකම් ලැබීමට ඇති අයිතිය ද ලෝක තත්වයට අනුව සටහන් වී තිබෙන්නේ 117 වැනි ස්ථානයේ ය. එමෙන්ම යුක්තිය ඉටුකර ගැනීම සඳහා වන අධිකරණ ක්‍රියාවලියකදි මුදලට හෝ වෙන යම් වරප්‍රසාදයන් මත නොවී සියළු දෙනාට සම අයිතිය යටතේ හිමිකම් ලැබීමට අයිතියක් ඇති බවට වන ගෝලීය දර්ශකය සටහන් ශ්‍රී ලංකාවේ නම සටහන් වන්නේ 56 වන තැනය.

 

රටේ පාලකයන්ට, රාජ්‍ය නිලධාරින්ට ,පොලිසිවලට අවශ්‍ය ආකාරයට අධිකරණ පද්ධතිය, නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සහ පුරවැසි අයිතිවාසිකම් ආදියට සීමා පැනවිය නොහැකි බවට වන තත්වය අනුව ගෝලීයව අප රැඳී සිටින්නේ 70 වැනි තැනය. එමෙන්ම ශ්‍රී ලංකාවේ නෛතික සාක්ෂරතාවයේ ගෝලීය ස්ථානය 136 ලෙස සටහන්ව තිබෙන්නේ අධිකරණ ක්‍රියාදාමය තුළදි අනවශ්‍ය ප්‍රමාදයකින් හෝ බාධාවතින් තොරව යුක්තිය, සාධාරණය ඉටුකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳවයි. අධිකරණය විසින් ලබා දෙන යම් නියෝගයක් යුක්තිය ඉටුකර ගැනීමේ ක්‍රියාවලියේ දි හුදු ලියවිල්ලකට සීමා නොවි එය ප්‍රායෝගිකව ඉටුවිය යුතු බවට වන විශ්වාසය සහ ඒ පිළිබඳව ඇති නීති රීති පිළිබඳව ඇති පුරවැසි ක්‍රියාකාරිත්වයෙහි දි අප සිටින්නේ 108 වැනි ස්ථානයේ ය.

 

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මග පෑදුනු අධිකරණ තදබදය සහ නඩු ප්‍රමාදය පිළිබඳව ඇඳුණු දර්ශකයක් වන්නේ රටේ පුරවැසියන්ට තමන්ගේ ඇතැම් නෛතික ගැටලු සහ යුක්තිය ඉටුකර ගැනීමට ඇති ප්‍රවේශයන් අධිකරණය දක්වා නොගොස් වෙනත් ආයතනික සහ විකල්ප ක්‍රමවේදයන් ඔස්සේ විසඳා ගැනීමට හැකියාවක් පවතින බවට වන දැනුවත්භාවය යි. එහි අප සිටින්‌නේ 95 වැනි ස්ථානයේ ය.

 

අපරාධ විමර්ශන කාර්යයේදී ශ්‍රී ලංකාව පසුවන්නේ 72 වැනි ස්ථානයේ වන අතර, එය සැකසි තිබෙන්නේ අපරාධ විමර්ශන සහ ඒ හා බැඳුනු අනෙකුත් ආයතනවල ක්‍රියාකාරිත්වය, එය කෙතරම් දුරට නීතියට අනුව සහ මහජන විශ්වාසය ඇතිවන අයුරින් සිදු කරන්නේ ද යන තත්වය මතයි. මේ හැරුණු කොට අපරාධ විමර්ශන ක්‍රියාවලිය හා බැඳුණු අධිකරණය මගින් යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලිය , බන්ධනාගාරය සහ සෙසු පුනරුත්ථාපන ආයතන පද්ධතින් තුළින් අපරාධ අවම වීම, යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයේ අපක්ෂපාතීත්වය යන අංග කෙරෙහි ගෝලිය දර්ශකයේ ශ්‍රී ලංකාව රැඳි සිටින්නේ පිළිවෙලින් 119, 83 සහ 87 වැනි ස්ථානයේය. ඒ හැරුනු විට දුෂණයෙන් තොර අපරාධ විමර්ශන ක්‍රියාවලියක් අතර අප සිටින්නේ ගෝලීය වශයෙන් 56 වැනි ස්ථානයේ වන අතර රජයේ ආයතනවල අනිසි මැදිහත්වීමෙන් තොරව ස්වාධීනව යුක්තිය ඉටුකර ගැනීම සම්බන්ධයෙන් එම දර්ශකය 79 වැනි තැන ගනු ලබයි. 2025 වසරේ WJP ගෝලීය දර්ශකයට අනුව අපරාධ යුක්ති ක්‍රියාවලියේදි බලපාන්නා වු නිසි ක්‍රියාදාමය සහ සැකකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ දී ශ්‍රී ලංකාව රැඳි සිටින්නේ 113 වැනි ස්ථානයේ ය.

 

මෙම දත්ත අදාල විෂයන් සහ එම විෂයන් ක්‍රියාත්මක කිරීමට සිටින ආයතන වල ක්‍රියාකාරිත්වය සමඟ බැඳුණු ඒවා මුත් මින් පෙන්වන්නේ ඒ සම්බනධයෙන් රටේ පුරවැසියන් සතු දැනුවත්භාවය, මැදිහත්වීම සහ එම තත්වයන් වෙනස් කිරීම සඳහා ඔවුන් සපයන සජීවි දායකත්වයේ පරිමාව යි. රටක යම් රාජ්‍ය ආයතනයක් අකාර්යක්ෂම හෝ අනීතිකව හෝ නොඑසේ නම් සම්මත නීතිරීති මිනුම් දඬු මෙන්ම ව්‍යවස්ථාපිත රෙගුලාසි ආදිය උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේ නම් එයින් අවබෝධ කොට ගත යුතු සත්‍ය වන්නේ එම රටේ පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල සහ එම තත්වයන් වෙනස් කිරීම කෙරෙහි ඔවුන්ගේ ඇති දැනුවත්භාවය සහ විෂයානුගත සාක්ෂරතාවයෙහි දිග පළල යි.

 

රට අභ්‍යන්තරයේද මෙවැනිම දත්ත සමුදායක් තිබෙන අතර ඇතැම් සමික්ෂණ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන් සතු මූලික අයිතිවාසිකම් සහ සිවිල් අයිතිවාසිකම් පිළිබද දැනුවත්භාවය පවතින්නේ ඉතාම පහල අඩියක ය.

 

විශේෂයෙන්ම රාජ්‍ය ආයතන තුළින් මහජන සේවා සපයා ගැනීම සහ එහිදි සිදුවන අක්‍රමිකතා හෝ නොසලකා හැරීම් සම්බන්ධයෙන් එයට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව රටේ ජනතාව සතුව තිබෙන්නේ ඉතාම අල්ප දැනුමකි. ආණ්ඩුකරණය, ව්‍යවස්ථාදයක සහ දේශපාලන බල ක්‍රම විධි, අණ පනත් රෙගුලාසි ආදී විෂයන් ගැන පමණක් නොව සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපනය, කම්කරු, ගමනාගමය සහ ප්‍රවාහනය ආදී එදිනෙදා ජන ජීවිතයට බලපාන හිමිකම් සහ වරප්‍රසාධ පිළිබඳවත් ඒවා උල්ලංඝනය කෙරුනු විට ගත හැකි ක්‍රියාමාර්ග හෝ ප්‍රවිශ්ඨ විය හැකී නෛතික ආයතන පද්ධති පිළිබඳවත් රටේ සමස්ත ජනගහනයෙන් දැනුමක්, අවබෝධයක් තිබෙන්නේ සංඛ්‍යාත්මකව කී දෙනෙකුට ද?

 

ඒ දැනුවත්භාවය පුරවැසියන් හට ලබාදීමේ වගකීම පැවරෙන්නේ කාගේ උරමතට ද? අවම වශයෙන් මෙවන් තීරණාත්මක සංධිස්ථානයකදි හෝ ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සිතා බලා කටයුතු කිරීම, සැලසුම් සකස් කිරීම රටේ නීති වියතුන් සතු කාර්යභාර්ය කි.

 

එසේත් නැතිනම්, ඔවුන් දැන් සැරසෙන්නේ භීෂණය හා දුෂණය වෙනුවට ප්‍රජාතන්තවාදය සහ යහපාලනය දියවන්නාව දිගේ ලබාදෙන බවට කඩවුණු පොරොන්දු දුන් අනේකවිධ නායකයන් බලයට පත් කිරීමට මේතාක් කල් දරදිය ඇද්දා සේ ඊළඟ දියසේන කුමාරයාගේ අභිෂේක මංගල්ලයට පෙරමග සැකසීමටද?

 

විකල්පය කුමක්ද?

 

අප කුමක් පැවසුවද මේ මොහොත වන විට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ ඒ සමගම ඉදිරිපත් කෙරුනු අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මතව පනත් බවට පත්වී අවසන් ය. දැන් එයින් ලැබෙන ප්‍රතිළුල භූක්ති විඳිනු මිස වෙන කළ හැකි කිසිවක් නොවේ යැයි පසකට වී බලා සිටින්නේ ද? නොඑසේ නම් එය රටේ සම්මත නීතියක් බව පිළිගෙන ඉවසනු වෙනුවට එයින් වන අනිටු ඵල විපාක පිළිබඳව රටේ පුරවැසියන්ව දැනුවත් කොට ඉදිරියේ දි හෝ ඒ තත්වය වෙනස් කිරීමට පෙළ ගැසෙන්නේ ද යන වගයි. එහි ප්‍රමුඛ වගකීම පැවරී ඇත්තේ නීති ප්‍රජාව සහ අධිකරණ ක්ෂේත්‍රයෙන්ම මෙයට විරෝධය පළ කළ පාර්ශවයන් සතුව ය. ඉන් අනතුරුව දේශපාලන තන්ත්‍රයට ය.

 

22 වැනි සංශෝධන පනත ආපස්සට හැරවිය හැකි එකම අවස්ථාව 2/3 බලයක් සහිතව ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනයකින් ම පමණි. එය දේශපාලන කාර්යයකි. නමුත් ඒ සම්බන්ධයෙන් අතීතයේ මග හැරුණු වගකීම් වෙනුවෙන් පෙළ ගැසීම මේ සියළු පාර්ශවයන් සතු වගකීමකි.

 

අවසානයක් නොවන අවසානයට මෙයද සටහන් කොට තබන්නට තැමැත්තෙමි .මේ මාලීමා ආණ්ඩුවේ මැතිවරණ ධම්මපදය වන "පොහොසත් රටක් ලස්සන ජීවිතයක් " , පොතේ පිටු අංක 199 සිට " නීතිය මත පාලනයක්, සමප්‍රවේශී අධිකරණ පද්ධතියක් " නමින් අධිකරණය සම්බන්ධයෙන් ලියැවී ඇති දෑ අතරින් කෙටි වාක්‍ය කිහිපයකි.

 

" අධිකරණය මගින් ස්වාධීනව හා කාර්යක්ෂමව යුක්තිය පසිඳලීම මෙන්ම මහජනයාට ඒ ක්‍රියාවලිය පිළිබඳව ඇති විශ්වාසයත්, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමෙහිලා අතිශය වැදගත් වේ. නමුත් අද ලංකාවේ මෙම ක්‍රියාවලිය අධික මිල සහිත මහජනතාවගෙන් ඈත් වූ සහ ජනතා විශ්වාසය පළුදු වූවකි. ස්වාධීන, කාර්යක්ෂම , විනිවිදභාවයෙන් යුක්ත හා මහජනතාවට දැරිය හැකි අධිකරණ පද්ධතියක් ඇති කිරීමෙන් ඒ පිළිබඳව බිඳිගිය ජනතා විශ්වාසය නැවත ගොඩ ගැනීමට ජාතික ජනබලවේගය අපේක්ෂා කරයි."

 

පවසා ඇති පරිදිම ඉදිරියේදි යුක්තිය වෙනුවෙන් රටේ පුරවැසියන්ට අධික මිලක් ගෙවන්නට සිදුවනු ඇත.

 

(සටහන | කේ. විජේසිංහ)

මුල් කොටස: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද?

 

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්