leader s

විනිසුරු සේවා වයස ඉහළ දැමීම සම්බන්ධයෙන් කරළියට ගෙනා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 25 වැනි සිකුරාදා දිනයේදි  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කෙරුනේ ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාම ඩිජිටල් ක්‍රමයට අත් එසැවූ ඊට 63ක් විරුද්ධ වෙමිනි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් අරබයා ඉතිහාසයේ ඉදිරිපත් වුණු වැඩිම පෙත්සම් ප්‍රමාණයක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ  පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පසුගිය 22 දා අදාල පනත් කෙටුම්පත පිළිබඳ ස්වකීය රහසිගත  තීන්දුව කතානායකවරයා වෙත යොමු කරන ලද්දේ ඒ සම්බන්ධයෙන් වන බොහෝ  සැක සංකාවන්ද ඉතිරි කරවමිනි.

පනත් කෙටුම්පත සම්මතයි. හෙට දවස?

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරමින් පවසනු ලැබුවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට දැනුම් දී ඇති බවයි. එමෙන්ම කෙටුම් පතේ සඳහන් "අවුරුදු 67 ට එළඹෙන දිනය වෙනුවට" , " අවුරුදු 67  සම්පූර්ණ කළ දිනය" ලෙසට වගන්තියක් සංශෝධනය සම්මත කර ගැනීමට නියම කර ඇති බවටත් කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුණි.

ඒ සමගම ඉදිරිපත් කෙරුනු අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පිළිබඳ  ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයද පාර්ලිමේන්තුව හමුවේ තැබු කතානායකවරයා, එය සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවට දැනුම් දී ඇතැයි ද පැවසීය.

ආරම්භයේ සිටම අතිශය විවාද සම්පන්න පනත් කෙටුම්පතක් බවට පත්වු 22 රටේ විවිධ පාර්ශවවල බලවත් විරෝධතාවයටද ලක් වූවකි. මෙම පනත් කෙටුම්පත සමග  අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතද ඉදිරිපත් කෙරුනු අතර, කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් එකවැර ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ කතානායකවරයා විසින් ‌ඒ දෙකම එකවැර පාර්ලිමේන්තුව හමුවේ තැබීම මතම යම් ව්‍යාකූල භාවයක් සහ නොපැහැදිලිතාවයක් ද මතු වුණි. කෙසේ නමුත් මේ මොහොත වන විට ආණ්ඩුව ආරම්භයේ සිටම පාරම්බෑ පරිද්දෙන් අදියර දෙකෙන්ම "විශිෂ්ඨ ජයග්‍රහණයක්" ලබා කෙටුම්පත් දෙකම සම්මත වී අවසන්ය. එහි පලමු පියවර කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවයි. එම තීන්දුවට අනුව 22 පනත් කෙටුම්පත ජනතා පරමාධිපත්‍ය අභියෝගයට ලක් කරන්නක් හෝ  ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් අභියෝගයට ලක් කරන්නක් හෝ නොවේ. ඒ නිසාම කෙටුම් පත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමෙන් පමණක් සම්මත කොට ගත හැකි බව ඉහළම උපරිමාධිකරණයේ විනිශ්චය විය . දෙවැන්න විධායක ජනාධිපතිවරයා පුමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් දැරු මතය සහ අධිකරණ විනිශ්චයටත් පෙරම ප්‍රකාශ කරනු ලැබු පුරෝකතනය යි. එයින්ම  ඔවුන් මේ "සුපිරිසුදු ජයග්‍රහණයේ" පෙරමග සලකුණු දැක තිබුණාට කිසිදු සැකයක් නැත.  

එහෙත් මේ සිදුවු සියල්ල මෙතැනින් අවසන් නොවන්නේ ය. අධිකරණ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියැවෙන්නේ 22 කෙටුම්පත පනතක් බවට පත්වු පසුවය. එනිසාම මේ සමස්ත කතාව යම් මට්ටමකින් හෝ මුල සිට පෙල ගැස්වීමේ වැදගත් කමක් තිබේ. මන්ද එය හෙට දිනයේ අධිකරණයෙන් ලැබෙන බොහෝ විනිශ්චයන්  සම්බන්ධයෙන්  සාක්ෂියක් සපයනු ඇති බැවිනි. අනෙක් පසින් එය විවිධාකාරයේ නීතිමය තර්ක විතර්කවලින් හැඩ ගැන්වූවක් වූ අතරම, බොහෝ සැක සංකා මතු කරන ලද්දක් ද විය. තවද එය එක් ආකාරයකින් රටේ නීති ක්ෂේත්‍රයේ මෙන්ම තවත් බොහෝ පාර්ශව තුළ ද එකිනෙකට වෙනස් ප්‍රතිවාදී බෙදීම්, වාග් සංග්‍රාමයන්  ඇති කරන ලද්දකි. එය යහපත් චේතනාවෙන් සිදුවු  විසම්මුතිවාදී තත්වයක් නොව විධායක සහ දේශපාලන බලය විසින් පසෙකින් සිට පිදුරු දමමින් අවුළුවන ලද්දකි.  ඒ සියල්ලම අතරේ විධායකය පුමුඛ දේශපාලන  බලාධිකාරිය නොඑසේ නම් ආණ්ඩු පක්ෂය විසින් කිසිදු බිය සැකයකින් තොරව දරන ලද මතය යි. කෙටුම්පත සාධාරණීය කරණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද තර්කනය යි.

අවසානයට පෙර ආරම්භය

අගවිනිසුරු ප්‍රිති පද්මන් සූරසේන

පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පැවරූ පෙත්සම්වලදී  ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව  වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්  පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ( Full Bench ) ඉල්ලා සිටිය ද අගවිනිසුරු ප්‍රිති පද්මන් සූරසේන විසින් එය ප්‍රතික්ෂේප කරන  ලද්දේ එවැනි අවශ්‍යතාවයක් පැන නොනගින බව පවසමිනි.  අගවිනිසුරුවරයා විසින් ඉන් අනතුරුව  පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම්  කරන  ලද්දේ සමස්ත පෙත්සම් විභාගයම  පිළිබඳ සැකයේ වාසිය පනත් කෙටුම්පතට විරුද්ධ පෙත්සම්කාර පාර්ශව වෙත ලබා දෙමිනි.  කෙටුම්පතට විරුද්ධ පෙත්සම්කාර පාර්ශව දිගින් දිගටම අවධාරණය කර තිබුණේ වඩාත් විනිවිදභාවයෙන් සහ විශ්වාසය තැබිය හැකි අයුරින්  පෙත්සම්  විභාගයක් ලබා ගැනීමට නම්   පූර්ණ විනිසුරු මඩුල්ලක් අවශ්‍ය වන බවයි.  එමෙන්ම මෙම  පෙත්සම් විභාගය වනාහි හුදෙක් තවත් එක් නඩුකරයක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයේ ද ඇතුළු ශ්‍රී ලංකාවේ සමස්ත විනිසුරු ප්‍රජාවම ඈඳුනු එකක් වන බැවින් ළබැඳියාවන් අතර ගැටුමක් ( Conflict of Interest ) ඇති නොවීමට නම්  පෙත්සම් විභාගය සඳහා පෙත්සම් කරුවන් ඉල්ලා සිටින පූර්ණ විනිසුරු මඩුල්ලම යටතේ සිදුවිය යුතු බවටත් නීතිඥවරු තර්ක  කළහ.  නමුත් ඒ සියල්ල පසෙකලා  නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ මතය සහ ස්වකැමැත්ත අනුව යමින් අගවිනිසුරුවරයා විසින් අදාල ඉල්ලීම  ප්‍රතික්ෂේප කරන ලදී.

නීතිය, නීතියට එරෙහි වන විට

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන ඕනෑම පෙත්සමක් හෝ නඩුකරයක් විභාග කීරීම සඳහා නම් කරන්නේ කවර නම් විනිසුරුවරයෙක් හෝ වරියක් ද, නොඑසේනම්  එම විනිසුරු මඩුල්ල කොපමණ  සාමාජික සංඛ්‍යාවකින් සමන්විත වන්නේ ද   යන වග   තීරණය කිරීමේ අයිතිය  අගවිනිසුරු සතුය. එය 'තනි අභිමතයකි'.  එයට එරෙහිව කිසිදු මැදිහත් වීමක් කරන්නට කිසිදු පාර්ශවයකට නොහැකිය.  එයට ව්‍යතිරේඛයක් නොමැති අතර එය පවතින්නේ විශ්වාසය සහ නීතියේ සීමාවන් මත පමණක් යමිනි.

මෑත ඉතිහාසයේ ද මෙවැනිම විශේෂිත නඩුකර කිහිපයක් විභාගයට ගත් අවස්ථාවන්වලදි   සිටි අගවිනිසුරුවරුන් විසින් පත් කරන ලද්දේ පූර්ණ විනිසුරු මඩුල්ලක් නොව පංච පුද්ගල හෝ සත් පුද්ගල විනිසුරු මඩුල්ලකි. උදාහරණයක් ලෙස ගත් විට 2018 කුප්‍රකට දේශපාලන කුමන්ත්‍රණයත් එයට සමගාමිව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව  විසුරුව හැරීමත්  සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුනු පෙත්සම් විභාග කිරීම වෙනුවෙන් එවකට සිටි අගවිනිසුරු නලින් පෙරේරා විසින් පත් කරන ලද්දේ විනිසුරුවන් සත් කට්ටුවකි. එමෙන්ම 2020 වසරේ, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කෙරුනු පෙත්සම් විභාගය සඳහා එවකට සිටි අග විනිසුරුවරයා වූ ජයන්ත ජයසූරිය විසින් ද පත් කරන ලද්දේ ද පංච පුද්ගල විනිසුරු මඩුල්ලකි.

විකාශනය නොවන නීතියක අවසන් සාරය


අතීතයේ එසේ වූ පමණින්ම  වර්තමානයේ ද එය එසේම සිදුවිය යුතුද?  එය නීතිය අභිබවා යෑමක් ද? යන පැනය අප හමුවේ තිබේ.   නීතිය යනු එක තැන පල්විය යුතු දෙයක්  නොවේ. එය නිරන්තරයෙන්ම යාවත් කාලීන වන්නකි. නීතිය නමැති සංකල්පය බිහිවු දා සිටම අද දක්වාම එය විවිධ තල ඔස්සේ නවිකරණය වෙමින්, යල් පැන ගිය දෑ ඉවත් වෙමින්, නව නීති සංකල්ප සහ මූලාශ්‍ර එකතු වෙමින් ඉදිරියට යන්නකි. එය අපජලය සමඟ කුණු රොන් මඩ පිටතට පිටාර ගලමින් විල්තලය සුපැහැදිලි දියෙන් පුරවන්නක් බඳුය. ශ්‍රේෂ්ඨාධිකරණය සතු එක් මූලිකම වගකීමක් වන්නේ නෛතික අර්ථ නිරුපනය සහ නව නීති සම්ප්‍රදායන් මෙන්ම නියමයන් අවස්ථානෝචිතව ප්‍රකාශයට පත් කිරීමයි. නියම කිරීමයි. නීති පූර්වාදර්ශයන් සහ නව මානයන් රටේ නීති පද්ධතියට එකතු වන්නේ එයිනි. විශේෂයෙන්ම ව්‍යවස්ථාපිත අර්ථ නිරූපන වැනි අතිශ්‍ය බරපතල නෛතික කරුණු සම්බන්ධයෙන් අනන්‍ය බලය හිමි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු දෙන්නේ රටේ සමස්ත නීති ව්‍යුහයේම පදනම සහ ශක්තිය එවැනි තීන්දු මත රඳා පවතින්නක් බව වටහා ගෙනය. නමුත්  22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත්  පෙත්සම් විභාගයේදි එවැනි නව මානයන් හෝ  අතීතයේ පූර්වාදර්ශයන් සැලකිල්ලට භාජනය කරනු ලැබුවේ දැයි  කියන්නට අප නොදන්නෙමු.

ජාත්‍යන්තර නීති සම්ප්‍රදායන් බිඳ හෙලිමක් ද?

 

thiruපොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තීරූනීලකාන්දන්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ, පනතට ප්‍රතිපක්ෂ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් විශ්වාස කරන ලද පරිදිම සාධාරණ විනිශ්චයක් පිළිබඳ ඇති ඉඩ ඇහිරෙන බවට ඉඟියක් පළ කළ පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ ( Commonwealth Lawyers Association - CLA )  සභාපති ස්ටීවන් තීරූනීලකාන්දන් පෙස්තම් විභාගයේ අවසන් දිනයේ උසාවිය එලිපත්තේදී  මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ රජයේ පාර්ශවයේ කරුණු දැක්වීමට පිළිතුරු ලෙස ප්‍රතිපාර්ශවය විසින් කළ ඉල්ලීම අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිගත් නීතී සම්ප්‍රදායන් බිඳ හෙලීමක්  බවයි.

"පෙත්සම්කාර නීතිඥවරුන්ට පිළිතුරු දීමට  අවශ්‍ය වුවත් ඒ සඳහා ඔවුන්ට අවස්ථාවක් ලබා නොදීම කණගාටුවට කරුණක්. අධිකරණයේ ස්වාධීනත්වය සහ විනිවිදභාවය යනු අතිශයින්ම ආරක්ෂා විය යුතු දෙයක්. එවැනි ස්වාධීනත්වයක් පිළිබඳව යම් කිසි සැකයක් හෝ අභියෝගයක් මතු වන්නේ නම්, නීතිය පිළිබඳව කුමන තර්ක ඉදිරිපත් කළ ද වැදගත් වන්නේ නැහැ," යි පැවසු පැවසූ පොදු රද මඩුල්ලේ නීති සංගමයේ සභාපතිවරයා මෙවන් වූ ව්‍යවස්ථාමය විශේෂිත නඩුකරවලදි වාචිකව පිළිතුරු දීමේ අයිතිය පිළිගැනීම ජගත් අධිකරණ සම්ප්‍රදායක් ලෙසට ද හැඳින්විය.

එයින් උරණව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කළ  අධිකරණ හා ජාතික ඒකබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර  පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමය යනු , පොදු රාජ්‍ය මණ්ඩල රටවල් නිල වශයෙන් පිළිගත් එකක් නොව එය ' Fee Pay Club ' එකක් යැයි පැවසීය. නමුත් එයට පිළිතුරු දුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ජනක් චිත්‍රලාල් ප්‍රනාන්දු, ඇමැතිවරයාගේ  ප්‍රකාශය සාවද්‍ය එකක් ලෙස හැඳින්වීය. පොදු රාජ්‍ය මණ්ඩලයේ නිල තොරතුරු වලට අනුව පිළිගත් ප්‍රධාන ආයතන ලේඛනයේ ඉහළින්ම සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමය බවත්,  ශ්‍රී ලංකාවේ නීතිඥවරුන්, නීතිඥ සංගමයට තම සාමාජික ගාස්තු ලෙස මුදලක් ගෙවන්නා සේ පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයේ සාමාජික නීතිඥවරුන් ද එසේ ගෙවන  බවත් පැවසු මන්ත්‍රිවරයා ආණ්ඩුවේ ඇමැතිවරුන්ට පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමය සුදුසු නම් එහි නීතිඥ සංගමය Fee Pay Club එකක් පමණක් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරනු ලැබුවේ අධිකරණ ඇමැතිවරයා එංගලන්තයේ දී  පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමය හා  පැවති හමුවීම්වල ලිඛිත තොරතුරු ද සභාගත කරන බව කියමිනි.

අදාල යෝජනාව සහ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අවස්ථා ගණනාවකදීම අධිකරණ ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා මුණ ගැසෙන්නට අවස්ථාව ඉල්ලා තිබුණද අවසන් මොහොත වන තුරුම ඒ සඳහා ඉඩක් දී නැතැයි ද  දින වකවානු සහිතවම හෙතෙම පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.

නීතිපතිවරයාගේ පාර්ශවයේ කරුණු දැක්වීමට වාචිකව තමන්ට පිළිතුරු ලබාදීමට විනිසුරු මඩුල්ල විසින් අවසර නොදීම නිසා තමන්ගේ ලිඛිත දේශන ඉදිරිපත් නොකරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ප්‍රකාශ කළ බවටත් පසුව මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

ප්‍රතිපාර්ශවයේ ප්‍රවීණ නීතිඥයන් විසින් මතු කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා  ඇති ජනතා පරමාධිපත්‍යය නම් බිඳ හෙලිය සහ අන්සතු කළ නොහැකි බලය සහ උපරිමාධිකරණ සතු බලය දෙපසට ඇදෙන්නට වූයේ නෛතික කරුණු අරබයා වඩ වඩාත් පුලුල් සංවාදයකට ඉඩ සලසමින් යැයි පෙනෙන්නට තිබුණද  සැබවින්ම සිදුවුයේ විධායකය විසින් අවුලුවන ලද ගින්නෙන් රටේ නීතියේ හර පද්ධතිය දැවෙන්නට පටන් ගැනීමයි. එහි ප්‍රතිපල තවත් කලකට පසුව අපට දැනගන්නට ලැබෙනු ඇත.

මෙහි වඩාත් භයංකර ස්වරූපය වන්නේ කවර නම් නෛතික ප්‍රතිපාදනයක් පැවතුනද එම ප්‍රතිපාදන පවතින තත්වයට හෝ දේශපාලන අවශ්‍යතාවයන්ට උචිතව අනුගත වන්නට ඉඩ හැරීම මගින් සිදුවන විනාශය යි. සැබවින්ම මෙය ව්‍යවස්ථාපිත නීතිය (Constitutional Law) සහ දේශපාලන විද්‍යාව ( Political Science ) හමුවන මංසන්දියේදි ඇති වන ගැටුමකි. නමුත් එය තවමත් ගැඹුරු සහ විදග්ධ සංවාදයකට ලක්ව ඇති බවක් පෙනෙන්ට නැත. එනිසාම අධිකරණය කොතෙක් ස්වාධීන යැයි උපකල්පනය කළද පවතින දේශපාලන වටපිටාව තුළ එහි  ඇසට නොපෙනෙන අයුරින් යම් යම් වෙනස් කම් හෝ එම පද්ධතියේ ස්වාධීනත්වයට සහ සම්ප්‍රදායන්ට හානි සිදුකිරීමේ අවදානමක් පවතී.

විනිසුරු වයස් සීමාව ඉහළ දැමීම  පිළිබඳ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේදී  දැනට සේවයෙහි සිටින විනිසුරුවරුන්ම අදාල පෙත්සම් විභාග කිරීම සම්බන්ධයෙන් ද සමාජ සහ නෛතික කතිකාවක් මතු වුණු අතර ඇතැමුන්  එය හැඳින්වූයේ තමන්ගේ නඩුව තමන්ම විසඳා ගැනීමේ සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙසය. එයද  බරපතල ආකාරයේ ළබැඳියාවල් අතර ගැටුමක් මතු කෙරෙන්නක් බවටත් ඇතැම්මු තර්ක කළහ.  එය අදාල වන්නේ තමන්‌ගේ නඩුවක් හෝ තමන්ට සෘජුව හෝ වක්‍රව බලපාන්නා වූ බැඳියාවක් මතු කරන්නා වූ නඩුකරයක හෝ විනිශ්චය ලබා දීම සඳහා කවර හෝ ආකාරයකින් දායකවීමය. ස්වභාවික යුක්ති මූලධර්මයට (Natural Justice) එකඟ නොවන ක්‍රියාවක්  ලෙසට ද එය නීතිය හමුවේ පිළි ගැනේ.

නමුත් ගැටලුව වන්නේ මෙම නඩුකරයේදි එම තර්ක වලංගු වන්නේ ද යන වගයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 වගන්ති ප්‍රකාරව ව්‍යවස්ථා හෝ පනත් කෙටුම්පත් පිළිබඳ  එකම සහ අවසාන අර්ථ නිරූපන බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය සතුව බව අවිවාදිත කරුණකි. එම බලය වෙනත් කිසිදු අධිකරණයකට හෝ ආයතනයකට පවරා නැති, පැවරිය නොහැකි තනි අනන්‍ය වූ බලයකි. මෙහිදී බලපාන්නා වූ නෛතික තත්වය වන්නේ "අවශ්‍යතා පිළිබඳ මූලධර්මය” යි. එහිදි ඉහත දැක්වු ආකාරයට ව්‍යවස්ථාපිත කරුණු, අණ පනත් කෙටුම්පත් අර්ථ නිරූපනය, අධිකරණ කටයුතු හෝ විනිසුරන්ටම බලපාන්නා වූ කරුණු පවා විනිශ්චයට ලක් කළ යුතු වන්නේ දැනට සේවයෙහි නිරත උපරිමාධිකරණ විනිසුරු මඩුල්ලක්ම විසිනි. එයට වෙනත් විකල්පයක් නීතියේ සපයා නැත.

විධායකයේ අත පෙවිම් වලට එරෙහි නීති සංග්‍රාම

2001 වසරේ ඉදිරිපත් කෙරුනු 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්  ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ පත් කිරීම් පිළිබඳව විභාග කරන ලද්දේ ද ශ්‍රේෂ්ඨාධිකරණයේ එවකට සිටි  වීනිසුරු මඩුල්ලක් විසිනි. තමන්ද පාර්ශවකරුවන් වන නඩුවක්  හෝ පෙත්සම් විභාගයක් වන බැවින් ළබැඳියාවල් අතර ගැටුම  මත යමින්  මෙයින් සියළු විනිසුරන් යම් හෙයකින් ඉවත් වන බවට උපකල්පනය කරන ලද හොත් ඉන් අනතුරුව කුමක් සිදුවනු ඇද්ද? සැබවින්ම එය බරපතල ව්‍යවස්ථාමය අර්බුදයක් දක්වා දිව යා හැකි තත්වයකි. අනෙක් පසින් " නඩු විමසීමේ වගකීම" නම් මූලධර්මය ද බිඳ වැටිය හැකි බවටත් ඇතැම් නීති විශාරදයන් විසින් තර්ක කරනු ලැබේ. විනිසුරුවරයකු ස්වකීය ධුරයේ දිවුරුම් දෙන විට "කිසිදු බලපෑමකට යටත් නොවී අපක්ෂපාතීව සහ පවතින නෛතික මූලධර්මයන්ට යටත්ව" කටයුතු කරන බවටත් යුක්තිය ඉටු කිරීම සඳහා ක්‍රියා කරන බවටත් ප්‍රකාශ කරන අතර, එනිසාම ව්‍යවස්ථාපිත නීතිය යටතේ පැවරී තිබෙන බලයක් හිතාමතාම නොතකා හැරීම  "වගකීම් පැහැර හැරීමක්" (Abdication of judicial duty) වන්නට ද ඉඩ තිබෙන්නේ ය.

එනිසාම, මෙවැනි නඩුකරවලදි ඉහළම උපරිමාධිකරණයේ විනිසුරන්ට තමන්ද පාර්ශව කරුවන් වන නඩුවක් වුව විභාග කළ යුතුවම ඇතැයි  යන සංකල්පය දේශීයව හා ජාත්‍යන්තරව පිළි‌ගෙන තිබෙන්නකි.  ඒ සඳහා ඇති ජාතික සහ ජාත්‍යන්තර නෛතික පුර්වාදර්ශ කිහිපයක් මෙසේ ය .

2023 වසරේදි රජය විසින් වෘත්තිකයන්ගේ උපයන විට බදු ( PAYE Tax ) ඉදිරිපත් කළ විට එම සංශෝධනයේ පාර්ශවකරුවන් බවට පත්ව සිටි විනිසුරන්ටම එම පෙත්සම් විභාග කරන්නට සිදුවිය. මන්ද තමන්ද  පාර්ශවකරුවන් වන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදි විනිසුරුවරුන් එම පෙත්සම විභාගයට නොගෙන සිටියේ නම් එය බරපතල නෛතික සහ රාජ්‍ය ප්‍රත්පත්තිමය අර්බුදයක් දක්වා ගමන් කරන්නට වුව ඉඩ තිබුණු බැවිනි.

පසුගිය දිනෙක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට යළිත් තමන්ද පාර්ශවකරුවන් වන නඩුවක තීන්දුවත් යළිත් ලියන්නට සිදුවිය. ඒ්   විනිසුරුවරුන්ගේ අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (Advance Personal Income Tax - APIT) කපා ගැනීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට  හානියක් සිදු නොවන බවට පවසමිනි.

WHAT IS LAW
ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීමේ එතෙක් පැවති ‘කොලීජියම්’ ක්‍රමවේදය (Collegium System) අහෝසි කො‌ට ඒ වෙනුව‌ට ජාතික අධිකරණ කොමිසම් සභාවක් ( National Judicial Appointment Commission - NJAC)  පිහිටුවා  විනිසුරුවන් පත් කිරීමේ අරමුණින් ඉන්දීය රජය විසින් 2015 වසරේදි පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරනු ලැබු අතර,  අදාල පනත් කෙටුම්පත සම්බන්ධනේ ඉන්දීය නීතිඥ සංගමය ප්‍රමුඛ පාර්ශව එයට එරෙහිව පෙත්සම්  ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් අදාල නඩුවෙන්ද ඉවත් විය යුතු බවටයි . නමුත් එවකට සිටි ඉන්දීය අගවිනිසුරු ජයදිෂ් සිං ඛේහාර් ( Justice J.S Khehar ) පුමුඛ විනිසුරුවරුන් විසින් අවධාරණය කරන ලද්දේ යම් නඩුවක් මුළු අධිකරණ ක්ෂේත්‍රයටම ආයතනික බලපෑමක් එල්ල කරන්නේ නම් "අවශ්‍යතා මූලධර්මය" අනුව යමින් විනිසුරුවරුන් ට  එම නඩුව විභාග කළ හැකි  බවයි.

අදාල ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉන්දීය රජය වීරිය දැරුවේ එහෙත් පැවති ක්‍රමවේදය අහෝසි කොට විනිසුරන් පත් කිරීමේ බලය අදාල කොමිසම් සභාව වෙත පැවරීමට ය. බැලු බැල්මට එය ස්වාධීන ආයතනයක් ලෙස පෙනුන ද අවසාන අධිකරණ විනිශ්චයෙන් එම මතය පුපුරවා බැහැර කරන ලදී.  අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනා, මධ්‍යම රජයේ අධිකරණ ඇමැතිවරයා, අගවිනිසුරු සහ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා විසින් පත් කරන කමිටුවකින් නිර්දේශ කරන " විශිෂ්ට සිවිල් පුරවැසියන් දෙදෙනකු" ද ඇතුළු පිරිසකගෙන් කොමිසම් සභාව සමන්විත වන බව පැවසුණද, පෙත්සම් විභාග කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙන් සිව් කට්ටුවක්ම 2015 ඔක්තෝබර් මස 16 දින තීන්දුවක් ලබා දෙමින් කියා සිටියේ එම පනත් කෙටුම්පත මෙන්ම යෝජිත කොමිසම මිගින් ද  අධිකරණයේ ස්වාධීනත්වය අහිමි කෙරෙන බවයි.

"හතරවැනි විනිසුරුවරුන්ගේ නඩුව” (Fourth Judges Case) ලෙස ඉන්දීය අධිකරණ ඉතිහාසයේ හැඳින්වෙන මෙම නඩුව අපගේ 22  වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තීන්දුව උදෙසා ද අතිශය වැදගත් නෛතික නිර්වචනයන් සපයන්නක් වන අතර, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ල විසින් එදා තීන්දු කරන ලද්දේ විනිසුරන් පත් කිරීම හෝ ඒ ආශ්‍රිත කවර කරුණක් වුව දේශපාලන සහ විධායක බලය යටතට ගැනීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසන  බවටයි. තවද  එමගින් බලය බෙදා හැරීමේ මූලධර්මය (Separation of Powers) දැඩිව බිඳ දමන බවටත් තර්ක කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය,  රජය විසින් ඉදිරිපත් කළ  පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම අහෝසි කොට අදාල කොමිසම පත් කිරීම ද බල රහිත කරන ලදී.

ඇමරිකානු පෙඩරල් විනිසුරුවරුන්‌ගේ වැටුප් සංශෝධන අරබයා රජය විසින් 1980 දි ගෙනෙන ලද නීතියක් පිළිබඳ (United States V Will) නඩුවේ දී ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ ස්වභාවික යුක්ති ධර්මයේ එන "තමාගේ නඩුව සඳහා තමා ම විනිසුරුවරයකු නොවිය යුතුය " යන මූලධර්මය (nemo judex in causa sua) ව්‍යවස්ථාපිත අකර්මන්‍යතාවයක් වැළැක්වීමේදි අදාල නොවන බවයි. එහිදි වැදගත් වන්නේ "අත්‍යාවශ්‍යතාවේ මූලධර්මය” යැයි ද විනිසුරන් විසින් අවධාරණය කරන ලදී.

මේ සියළු අර්බුදයන්ට හේතුව ශ්‍රී ලංකාවේ විධායකය විසින් ස්වකීය පාලන සමයන් තුළ දී අධිකරණය ප්‍රමුඛ ව්‍යවස්ථාපිත නීති පද්ධතිය සමග දේශපාලන සෙල්ලමක නිරත වන්නට උත්සාහ දැරීම බවම අප විසින් තේරුම් ගත යුතුව තිබේ. එය සෑම විධායක ජනාධිපතිවරයකු විසින්ම සිදුකර ඇති බරපතල වරදකි.

දෙවියන්ගෙත් දෙවියන් අහක බැලු විට

ඉන් අනතුරුව එල්ල වන්නේද  තවත් එවැනිම චෝදනාවකි. එය නම්, මෙතරම් වැදගත් සහ බලවත් නඩුකර කිහිපයක්, විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් ඉතිහාසයේ එදා මෙදාතුර ඉදිරිපත් කෙරුනු වැඩිම පෙත්සම් සංඛ්‍යාවක් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් පහලින්ම සිටින විනිසුරු මඩුල්ලක් පත් කිරීමයි. අධිකරණ ක්‍රියාවලියක නීතිය මෙන්ම එයටම අනන්‍ය වු සම්ප්‍රදායන් ද තිබේ. එනිසාම මෙවන් වැදගත් නඩුකරයක් විභාගයට ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙලින් සිටින විනිසුරුවරුන් පත් කිරීම සිදු නොකළේ මන්දැයි යමෙක් තර්ක කරන්නේ නම් සම්ප්‍රදායන්ට අනුව එයද පහසුවෙන් බැහැර කළ හැකි දෙයක් නොවේ. එහෙත් එයද නීතිමය වශයෙන් අගවිනිසුරුවරයාගේ අභිමතයට යටත් යැයි පවසන්නට ද පුලුවන. නමුත් මේ සියල්ල අවසානයේ  පෙත්සම් විභාගයට පෙර අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහ විශ්වාසය කවර නම් මට්ටමකින් තිබෙන්නේ දැයි විනිශ්චයකට ලක්වීම නම් නොවැළැක්විය හැකි වන තරමේ එකකි. සරලව පවසනු ලැබුව හොත් එය පවතින නීතීමය හෝ අධිකරණ සම්ප්‍රදායන්ට පමණක් ලඝු කොට පසෙකට දැමිය හැකි එකක් නොවේ. එය විධායකය තමන්ට 2/3 අති බහුතර බලයක් හිමි ව්‍යවස්ථාදායකය යොදවා බල ගන්වන ලද පනත් කෙටුම්පතක සුජාතභාවය පිළිබඳව විනිශ්චයක් සපයන්නට සිටින ශ්‍රේෂ්ඨාධිකරණයේද පාරිශුද්ධත්වය කිරා මැන බලන ලද්දකි. මෙය ‘දෙවියන්ගේත් දෙවියන්’ පිළිබඳව කෙරුනා වු විනිශ්චයකි. ඒ දෙවියන් සහ දෙවොල ත්, රටේ පරීශුද්ධම නීතිය යැයි  පැවසෙන ව්‍යවස්ථාවට නීති සම්පාදනය කෙරෙන ආයතනයේ මහජන නියෝජිතයනුත් එකතුව කුමක්  කරන ලද්දේ දැයි අනාගතය විසින් තීන්දු කරන්නට ඉඩ හසර සපයන්නකි.  ඒ් සියළු තත්වයන්වල තරම අපට දැක ගන්නට ලැබෙන්නේ ද මෙම පනත් කෙටුම්පත ප්‍රකාරව සැබවින්ම සිදු වන්නේ නඩු කඩිකම් කිරීම ද? නොඑසේනම් විධායකයට අවැසි පරිදි අධිකරණය හසුරවීම ද යන කරුණ ඉදිරි නඩු තීන්දු ඇසුරින්ම මහජන විනිහ්චයට භාජනය කිරීමෙනි.

| කේ .විජේසිංහ

 

මෙම ලිපියේ මීළඟ කොටස බලාපොරොත්තු වන්න..!

 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්