ශ්‍රී ලාංකීය ජන විවිධත්වය පෝෂණය කළ සුවිශේෂ අනන්‍යතාවකට හිමිකම් කියන තෙළිඟු ජනතාව, මේ වන විට සිය අනන්‍යතාව රැක ගැනීමේ බරපතළ අර්බුදයකට මුහුණ පා සිටිති.

අනෙක් අතට, පොදු සමාජයට එක්ව ඉදිරියට යෑමේ මාවතද ඔවුන්ට ප්‍රමාණවත් තරමින් විවර වී නැත. මේ ලිපිය, ඔවුන්ගේ වත්මන් ජීවිතවල පිළිබිඹුවකි.

 

“මේ නිමිති පොත කියන්නේ අපිට පරම්පරාවෙන් ලැබුණ උරුමයක්, මේකෙ තමයි අපේ ශ්‍රාස්ත්‍රය තියෙන්නෙ. ඒ වුණාට දැන් ජීවත්වෙන්න හරිම අමාරුයි. හැමදේම ගණන් ගිහින්, මිනිස්සු සාස්තර අහනවා අඩුයි. කීයක් හරි ලැබෙන වෙලාවලුත් තියෙනවා ඒත් සමහරදාට කිසිම දෙයක් නෑ...” ත්‍රිකුණාමලය කෝණේශ්වරම් දෙවොලට යන මාවත අද්දර මහ නුගය යට, සාස්තරයක් කියන්නට අයෙකු හමුවනතෙක් මග බලා සිටින තෙළිඟු කාන්තාවක වන මාරි අප්පන් වල්ලි අම්මා එසේ පවසන්නීය.

 

මාරි අප්පන් වල්ලි

මාරි අප්පන් වල්ලි අම්මා


මඳක් හිතවත් වූ විට, ඈ සිය වම් උරයට බර දී සිරුර හරහා පහළට එල්ලෙන ඔලොගුව තුළ ඇති වස්තුව මට පෙන්වීමට කැමති විය. එහි ඇති වටිනාම දෙය තල් පත් ඉරුවේ තෙළිඟු බසින් ලියැවුණු නිමිති පොතය. ඔලොගුව ගැඹුරේ හුණු කිල්ලෝටයක්ද සහිත බුලත් මල්ලක්ද, කතරගම, පුල්ලෙයාර්, භද්‍රකාලි හා ශිව ඇතුළු දේවතාවුන්ගේ රූපද, නවගුණ වැලක්ද, පඩුරු කාසි කිහිපයක්ද හැර වෙනත් වටිනා කිසිවක් නැත.

 

smart

තෙළිඟු බසින් ලියැවුණු නිමිති පොත

 

මහා ජනසමාජය අහිගුණ්ඨිකයන්, කූතාඩියන් ලෙස මොවුන් හැඳින්වුවද ඔවුන් කැමති ‘තෙළිඟු වංශිකයන්‘ ලෙස තමන් හඳුන්වනු ලැබීමටය. ඔවුන්ගේ මුල් උප්පැන්න සහතිකවල ජාතිය තෙළිඟු යැයි සඳහන් වුවද විවිධ ප්‍රදේශවලදී එය විවිධාකාරයෙන් යොදා ඇති අයුරු දැකිය හැක. ඇතැමෙකුගේ එය ඉන්දියානු වඩිග දෙමළය. මෑත කාලයේ උපන් අයගේ උප්පැන්නවලඑය ලංකා දෙමළ ලෙස සටහන් කර තිබේ. ජාතිය සිංහල ලෙස සටහන් වූ අවස්ථාද ඇත. එකම පවුලේ දරුවන්ගේ උප්පැන්නවල ජාතිය දෙවිදියකට සටහන් වූ උදාහරණද තිබේ.පාරම්පරිකව පැවැත ආ තෙළිඟුබසට අමතරව චතුර ලෙස සිංහල හා දෙමළ බස වහරන මේ ප්‍රජාවට අයත් ජනයාගෙන් වැඩිම පිරිසක් උතුරුමැද පළාතේ තඹුත්තේගම කුඩාගම ජීවත්වන අතර,නැගෙනහිර පළාතේ අලිගම්බේ, සිරිනිවාසපුරම් හා තඹලගමුව ප්‍රදේශවලද තිරුක්කෝවිල් සිරිවල්ලිපුරම්, ගල්ගමුව අන්දරබැද්ද, වව්නියාවඉරට්ටෙයි, මිහින්තලේ සියඹලගස්වැව හා විජිතපුර කලාවැව ධීවර ගම්මානය යන පෙදෙස්වලද දිවි ගෙවති. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ‘රෙංගජම්මාල්‘ බිසවගේ නෑසියන් ලෙස තමන් හඳුන්වන, තෙළිඟු ප්‍රජාවට අයත් පිරිසක් මහනුවර ප්‍රදේශයේ වෙසෙති.

 

සාස්තර කීමට කෝණේෂ්වරමට යන කතුන්
සාස්තර කීමට කෝණේෂ්වරමට යන කතුන්

 

ඉතිහාසය


තෙළිඟු ජනයාදකුණු ඉන්දියාවේ “මදාරා” හා “පාණ්ඩ්‍ය“ ප්‍රදේශවල ජීවත්වන “කොරවර්” ගෝත්‍රිකයන්ට නෑකම් කියන ජන පිරිසකගෙන් පැවත එන්නන් ලෙස සැලකේ. දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියන මෙරට තෙළිඟු ප්‍රජාව ඉන්දීය සම්භවයක් සහිත ජන කොටසක් ලෙසත් ඔවුන්ගේ භාෂාව දකුණු ඉන්දීය ද්‍රවිඩ පවුලකට අයත් බසක් බවත් වාග් විද්‍යාඥයන්ගේ අදහසයි. එසේ වුවද වර්තමානයේ ජීවත්වන තෙළිඟු ජනයාගෙන් ඇතැමෙකුගේ ඉතිහාසය, ඉන් බොහෝ මෑත වකවානුවකට අයත්ය.

 

smart

සුප්පයියා වේලු

 

“ඉස්සර තේවතුවල කම්කරුවෝ විදිහට තමා අපිව ලංකාවට අරන් ඇවිත් තියෙන්නේ සිරිමා - ශාස්ත්‍රි ගිවිසුම නිසා කොටසක් ආයේ ඉන්දියාවට යැව්වා. ඒ වුණාට අපි ලංකාවෙම නැවතුණා. අපේ ජාතිය තෙළිඟු කියලා ඉස්සර උප්පැන්නයේ ලිව්වා. දැන් එහෙම ලියන්නෙ නෑ. ලංකාවේ නැති භාෂාවක් ලියන්න එපා කියලා නිලධාරින් කියනවා. දැන් ලියන්නේ ‘ලංකා දෙමළ‘ කියලා. රජයේ නිලධාරීන්ම තමා අපේ අනන්‍යතාව නැති කරන්නේ ”රැහේ පැරැන්නකු වන 77 හැවිරිදි සුප්පයියා වේලු පවසයි.

 

අත බලා සාස්තර කීමත්, නිමිත්තක් බැලීමත්, සිය පාරම්පරික ජීවන වෘත්තිය කරගත් මේ මිනිසුන් 1976 වසරේ දී කුරුණෑගල, බමුණාවල සිට සංක්‍රමණයව තඹලගමුව දුම්රිය ස්ථානයට අඩ සැතපුමක් දුරින් වාඩි ලා ගත්තෝය. එකී කුප්පායම වර්තමානයේ ‘තෙළිඟු නගර්‘ ලෙස හැඳින්වේ. පළමුව පවුල් පහක් තාවකාලිකව වාඩි ලා ගත් නමුත් පසුකාලීනව ඔවුන් එහි ස්ථිරව වාසය කිරීමට පටන් ගෙන තිබුණි. 1988 අගභාගයේදී අන්‍යාගමිකරණයට ගොදුරුව බොහෝ පිරිසක් සාස්තර කීම අතැර ඇති මුත් සුළු පිරිසක් සිය සාම්ප්‍රදායික ජීවන රටාව හා සංස්කෘතිය පවත්වාගෙන යෑමට තවමත් වෙර දරති.


විවිධ අනන්‍යතා


“තෙළිඟු කිව්වට හැමෝම එකම රැහේ අය නෙවෙයි. අපි කොටස් තුනක් ඉන්නවා. ඒ නිසා අපිට අහිගුණ්ඨිකයෝ කියලා කියන්න බෑ. දන්නෙ නැතිව සමහරු එහෙම කියනවා. අපේ අය නයි නටවන රිලා රැගුම් පාන අය නෙවෙයි. අපි කියන්නේ සාස්තර. තව කොටසක් ඉන්නවා පච්ච කොටන සිඟමන් යදින අය. නයි නටවන අයට තමා අහිගුණ්ඨික කියලා කියන්නේ” තෙළිඟු ගමේ සභාපතිවරයා වන විජයකුමාර් ඇන්ටනි සිය වරිගය ගැන එසේ පවසයි.

 

smart

විජයකුමාර් ඇන්ටනි

 

“දැන් අපේ සංස්කෘතියයි භාෂාවයි නැතිවෙලා යමින් තියෙන්නේ. ඉස්සර රැහේ නායකයාට කිව්වේ “ගූඩ ගානි” කියලා දැන් ඒක නැතිවෙලා. තෙළිඟු බස කතා කළත් මාට්ටුන් ගෝල්, තන්නි ගෝල්, කොරියෝල්, පාසිරෝල්, පයින්ටපාල්, කෝලෝල් හා මනපලෝල් කියලා අපේ රැහේ කුල හතක් තියෙනවා. ඒ හැමෝම මගේ ගමෙි ඉන්නවා. අපි එකම රැහේ අය ලෙස සහයෝගයෙනුයි ජීවත්වන්නේ” ඇන්ටනී පවසයි.

 

නැගෙනහිර පළාත තුළත්නයි නටවන්නෝ, රිලා රැගුම් පාන්නෝසහසාස්තර කියන්නෝ ජීවත්වෙති. අම්පාර අක්කරෙයිපත්තුවේ අලිගම්බේද ත්‍රිකුණාමලය, තඹලගමුවේ තෙලිගු නගර් හා තිරුක්කෝවිල්, සිරිවල්ලිපුරම් යන ප්‍රදේශවලද මේ පිරිස ජීවත්වෙති.

අලිගම්බේ, තෙළිඟු ගම්මාන දෙකකින් යුක්තය. රැහේ නායකයා වන්නේ නිරෝෂන්ය. තඹුත්තේගම ප්‍රදේශයෙන් බිඳී ආ පිරිසක් වන මොවුහු මහත් දුෂ්කරතා මැද දිවි ගෙවන්නෝ වෙති. සාස්තර කියූ ගැහැනු, අලිගම්බේ හරහා ගලායන ඇළෙහි මසුන් අල්ලති.

“තෙළිඟු පවුල් 580ක් 600ක් විතර ගමේ ඉන්නවා.පවුල් 20ක් විතර අඩු ආදායම් ලබන අය. මුල් කාලේ සාස්තර කිව්වා. නයි නැටෙව්වා දැන් ඒක කරලා ජීවත්වෙන්න අමාරුයි. ඉතින් සමහරු මේ අවට කුඹුරුවල කුලී වැඩට යනවා සමහරු සාස්තර කියන්න කතරගම, අනුරාධපුරේ එහෙමත් යනවා.” සිය රැහේ මිනිසුන් ජීවත්වීමට දරන වෙහෙස ගැන නිරෝෂන් එසේ පවසයි.

smartග්‍රාම නිලධාරි ෆරීඩ්තිරුක්කෝවිල්, සිරිවල්ලිපුරම් තෙළිඟු ගම්මානයේ නායකයා එස්. සිංහරාසායි. තෙළිඟුපවුල් 102ක් හෝ 115ක් පමණ මෙම ගමෙහි ජීවත්වෙති. එහි අඩු ආදායම්ලාභී පවුල් ගණන 50කි. පුදුකුඩුඉරිප්පු ග්‍රාම නිලධාරි ෆරීඩ් පවසන පරිදි විජයකුමාර් ඇන්ටනිගේ නායකත්වයෙන් යුත් තඹලගමුව, තෙළිඟු නගර් ගම්මානයේ ජීවත්වන පවුල් ගණන 147කි. අඩු ආදායම්ලාභී පවුල් ගණන 50කි. වැන්දඹුවන් හා සැමියා අතැර ගිය කතුන් 74කි.

“මේ අයගෙන් පවුල් 72කට සමෘද්ධිය දෙනවා. 95%ක්ම මුල් ආගම අතහැරලා ක්‍රිස්තියානි ආගමට බැඳිලයි ඉන්නේ. සුළු පිරිසක් තමා සාස්තර කියන්නේ. මේ අය තෙළිඟු ජනවර්ගයක් ලෙස ගණන් කරලා නෑ. වෙනත් කියලා තමා දාලා තියෙන්නේ ” ග්‍රාම නිලධාරි ෆරීඩ් එසේ පවසයි.


වෙනස් වන ජීවන රටාව

 

වෙනස්වන සමාජ ආර්ථික රටාවන් හමුවේ මොවුන් ගේ දිවිපෙවතද සංස්කෘතික අනන්‍යතාවන්ද විපර්යාසකට ලක්ව ඇති බව පෙනී යන්නකි. ස්ථිර නිවාස ඉදිවීම, පාරම්පරික වෘත්තිය වූ සාස්තර කීම හා නයි නැටවීම අත්හැර හඳුන්කූරු නිෂ්පාදනයට හා වෙළෙඳාමට යොමුවීම, සමෘද්ධිය ලබා ගැනීම වැනි වෙනස්කම් රැසක් පසුකාලීනව සිදුව තිබීමත්, සෙසු ජන වර්ග හා මිශ්‍රවෙමින් පැවතීමත් නිසා තෙළිඟු ජන සමාජය මේ වන විට දිය වී යමින් තිබේ.

 

තෙළිඟු ජන සමාජයට ආවේණික ඔවුන්ගෙන් වියැකී යන සංස්කෘතික උරුමයන් මතු පරපුරට ගෙනයෑමට පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව යම් උත්සාහයක් ගනිමින් සිටියි. පළාත් සංස්කෘතික නිලධාරී නිමල්සිරි බණ්ඩාර පවසන්නේ තෙළිඟු ප්‍රජාවගේ පාරම්පරික උරුමයන් හා අනන්‍යතාව ආරක්ෂා කරන වැඩපිළිවෙළක් සකසා ඇති හෙයින් එය කඩිනමින් ක්‍රියාවට නගන බවයි.

වර්තමානයේ දී රැහෙන් පිට අවාහ - විවාහ සිදුවනු දැකිය හැකිය. ‍බොහෝ ඒවා අඩු වයස් විවාහයන්ය. තඹලගමුව තෙළිඟු ගමෙහි තරුණ තරුණියෝ වෙනත් ජන වර්ගවල තරුණ තරුණියන් හා විවාහ වී සිටිති. නව පරපුර සිය පැරණි සංස්කෘතිය, සිරිත් විරිත් මෙන්ම පාරම්පරික රැකියාව ද අතැර ගොසිනි.


ආර්ථික අර්බුදය

smart

හඳුන්කූරු නිපදවීම- පරපුරේ අලුත් ජීවන වෘත්තිය


සාස්තර කීම අතහැරි බොහෝ පිරිසක් හඳුන්කූරු, ෂොපින් බෑග් හා සුවඳ විලවුන් වෙළෙඳාමට යොමුව තිබේ. පිරිසක් අන්‍යාගමිකරණයත් සමග කුලීවැඩ, සපත්තු මැසීම, පෙදරේරු වැනි රැකියාවන්හි නිරතවෙති. පවතින ආර්ථික අර්බුදය මේ මිනිසුන්ගේ දිවි ගමනේ වේගය අඩාළ කළ මහා බාධකයකි. වර්තමානයේ බොහෝ පිරිසකගේ ජීවන වෘත්තිය හඳුන්කූරු නිපදවීමයි. ඔවුන්ගෙන් මිලට ගන්නා හඳුන්කූරු, මගතොට ඇවිද හෝ කඩපොළේ හෝ විකුණා සෙසු පිරිස සිය දිවිය ගැටගහ ගනිති. ඒවා විකුණා ගැනීම පහසු කටයුත්තක් නොවේ.

“හඳුන්කූරු හදන්න අමුද්‍රව්‍ය, පැකට්, සෙන්ට් එකට යන වියදම ඒවා විකුණලා හොයා ගන්නත් දැන් බෑ. ඉස්සර වගේ නෙවෙයි දැන් හැමදේම මිල වැඩියි. හඳුන්කූරු වැඩි ගාණකට දෙන්නත් බෑ ඒත් අපි ජීවත්වෙන්නත් ඕන. රුපියල් දාහක් හොයා ගන්න දවසක්ම ඇවිදින්න ඕන” හඳුන්කූරු විකුණන්නකු වනරාමසාමි උදයකුමාර් එසේ පවසයි.


අධ්‍යාපනයේ අභියෝගය

 

තෙළිඟු දරුවන් පාසල් ගියද උසස් අධ්‍යාපනයට යොමුවන ප්‍රමාණය අවමය. පවතින ආර්ථික අපහසුතා නිසා ඉක්මනින් පාසලින් පිටව වෙළෙඳාමට යොමුවීම ඔවුන්ගේ අරමුණයි. එ් නිසා රාජ්‍ය සේවයේ ඉහළට යන ප්‍රමාණය අතළොස්සකි. තෙළිඟු බසට අමතරව සිංහල හා දෙමළ බස මනාව හසුරුවන මොවුන් සිය රැකියාවේදී අවශ්‍ය ලෙස භාෂාව මාරු කර ගැනීමට හපනුන්ය.

 

අකුරු ඉගෙනුම සඳහා තෙළිඟු දරුවෝ අවට පාසල් දෙකකට යති. තඹලගමුව, කුලකෝට්ටන් විදුහල හා භාරතිපුරම් විදුහල මෙම දරුවන්ට සිප්සතර ලබාදෙයි. දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්නා තෙළිඟු දරුවෝ බොහොමයක් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබති. සාමාන්‍ය පෙළ සමත්වීම ප්‍රතිශතයක් ලෙස පහළ මට්ටමක පැවැතියද ලබාගත් දැනුම, තමන්ගේ ව්‍යාපාරයක් කර ගැනුමට ප්‍රමාණවත් බව ඔවුන්ගේ අදහසයි. 

 

රාජ්‍ය සේවයේ ඉහළ වෘත්තීන්හි නිරත වූවෝද තෙළිඟු ජන සමාජය තුළ සිටිති. ‍වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු හා ගුරුවරියක ලෙස තඹළගමුව, තෙලිගු ගමෙන් බිහි වූ රාජ්‍ය සේවයේ ඉහළින් සිටින්නෝ තිදෙනෙකි. තෙළිඟු වැසියෝ ඒ ගැන මහත් ආඩම්බරයෙන් කතා කරති.

 

“ජෝවෙල් ‍දැන් දොස්තර මහත්තයෙක්. ගමේ තව පුතෙක් ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙලා කැනඩාවට ගියා. එයා අපි ගැන පොතකුත් ලිව්වා. ගීතා කියලා දුවෙක් ඉන්නවා. එයා ගුරුවරියක්. මේ ළඟ ස්කෝලයක උගන්වන්නේ. ලොකු මහත් වෙලා ලොකු රැකියාවල් කරන්නේ අපේ ඈයෝ නේද කියලා හිතෙනකොටත් අපිට පුදුම ආඩම්බරයක් දැනෙන්නේ” එසේ කියනුයේ තෙලිගු නගර් ගමෙහි පැරණි නායකයාද ආරම්භකයාද වන සුප්පයියා වේලුය.


අන්‍යාගමිකරණය


භද්‍රකාලියගේ බැතිමතෙකු වන සුප්පයියා වේලු අන්‍යාගමිකරණයට හසු නොවූ සීමිත පිරිස අතර සිය පරම්පරාවේ අනන්‍යතාව රැකගෙන සිටින්නෙකි. තවදුරටත් සිය හඬ අවදි කරන වේලු මෙසේ පවසයි.

“සාස්තර කියන ඈයෝ දැන් ඉතිරිවෙලා ඉන්නේ පවුල් 15ක් විතරයි. බයිබල් ආගමේ පාස්ටර් කෙනෙක් ගමට ආවා. සාස්තර කියන එක පවක් ඒ නිසා ඒක අතාරින්න කියලා මුලින් කිව්වා. ඊළගට රැහේ උන් සාස්තර කියන එකත් අතෑරියා. ශිව දෙවියෝ, භද්‍රකාලි අම්මා අදහන එකත් අතෑරලා ආගමට ගියා. ඊට පස්සේ අපිට තිබ්බ ලොකු ඉඩම් පර්චස් 20 කෑලිවලට බෙදලා, ආගමට ආව අයට ගෙවල් 27ක් හදලා දුන්නා. ඒකෙන් අපේ පරම්පරා උරුමෙයි, සංස්කෘතියයි දෙකම නැතිවෙලා ගියා. සමිති ශාලාවක් රජයෙන් හදලා දුන්නත් ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී ගමට එන්නෙ නෑ ඒ අය ‍හොයන්න අපි කිලෝ මීටර එකහමාරක් විතර පුදුකුඩුඉරිප්පුවට යන්න ඕනෑ..”

පොදු ඉඩමක සහයෝගයෙන් ජීවත්වුණ ඔවුන් පුද්ගලික ඉඩම්වල තනි තනිව ජීවත්වන තැනට පත් කර තිබේ. පරම්පරාවක් ඇදහූ ආගමද පරම්පරාවක දායාදය වූ සාස්තර හා නිමිති දැමීමේ කලාවද මුල් බස වූ තෙළිඟුද මේ මිනිසුන්ට අහිමි වි ගොසිනි. අන්‍යාගමිකරණය ඒ උරුමය අහිමිකර ඇත. පැරණි පරපුර ඒ ගැන කනගාටු වුවද නුතන පරපුරට එය සතුටට කරුණකි.

 

smart

තංගරාසා දේවිකා

 

“ආගමට ගියාට පස්සෙ අපේ සංස්කෘතියයි. පරම්පරා රස්සාවයි නම් නැති වුණා. ඒ වුණාට දැන් අපේ අය ගෙයක් දොරක් හාදාගෙන, අරක්කු නොබී, බිස්නස් එහෙම කරගෙන පිළිවෙළකට ඉන්නවා. මේ කාලේ බිස්නස් එහෙම අමාරුයි. ඒත් අපේ දරුවෝ අපිට වඩා හොඳට ඉදීවි.” හඳුන්කූරු නිපදවීමේ ව්‍යාපාරයක නිරත වන තංගරාසා දේවිකා පවසන්නීය.


ඉඩම් හා නිවාස ගැටලුව


ප්‍රමාණවත් ඉඩම් නොමැතිකම හේතුවෙන් තෙළිඟු නගර් ගමෙහි ඇතැමෙක් දුම්රිය මාර්ගය දෙපස රිසිවේෂන් ඉඩම් අල්ලා, තාවකාලික නිවාස තනාගෙන සිටිති. දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින් මෙම ක්‍රියාවට මුලින් එරෙහි වුවද පසුව මානුෂික හේතූන් මත ඔවුන්ට හිරිහැර කිරීම නවතා තිබේ. ඒ සැබෑවටම මොවුන්ට යෑමට තැනක් නැති හෙයිනි. නමුත් ස්ථිරව නිවාස ඉදිකිරීමට ඉඩ නොදෙන නිසා තාවකාලික නිවසක දිවි ගෙවීමට සිදුව තිබේ.



smart

විජේන්ද්‍ර කුමාරි


“දැන් බැඳලා අවුරුදු 20ක් වෙනවා. අපිට ඉඩමක් නැහැ. දරුවෝ එක්ක අම්මලා ගාව ජීවත් වුණා. දරුවෝ ලොකු මහත් වෙනකොට හැමෝටම ඉන්න අමාරුයි. ඒ නිසා අපි මේ කැලය සුද්ද කරගෙන මෙතැනට ආවා. දුම්රියේ මහත්වරු ඇවිත් මෙතැනින් යන්න කිව්වා. පස්සෙ අපිට යන්න තැනක් නෑ කිව්වම අපිට ඉන්න කිව්වා. හැබැයි කියන දවසට යන්න ඕන කිව්වා.” සිය දරුවන් සමග තාවකාලික නිවසක දිවි ගෙවන විජේන්ද්‍ර කුමාරි පවසන්නීය.

 

රජයේ ඉල්ලීම හරහා තෙළිඟු ජනයාට රාජ්‍ය නොවන සංවිධාන වරින් වර නිවාස 81ක් ඉදිකර දී තිබේ. නමුත් පවුල් 147කට පවතින නිවාස හා ඉඩම් කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මේ හේතුවෙන් එක් නිවසක පවුල් තුනක් හෝ හතරක් ජීවත්වනු දැකිය හැකිය. ඉඩම් ඉල්ලා සිටියද ප්‍රාදේශීය ලේකම්වරිය ඉඩම් ලබා දීමට කටයුතු නොකරන බව මේ මිනිසුන් නගන චෝදනාවයි. අවට ජීවත්වන තෙළිඟු නොවන ජනයා විකුණන ඉඩම් මිලදී ගැනීමට ගියද ඒවා තෙළිඟු ජනයාට නොවිකුණන ලෙසට ඉඩම් නිලධාරින් පත්තිනිපුරම් හි කෝවිල් සමිතියට බලපෑම් කර ඇති බවත් තෙළිඟු නොවන අයෙකුගේ ඉඩමක් කෙසේ හෝ මිලට ගත්තද ඔප්පු හෝ බලපත්‍ර ලබා ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කිසිදා ඉටු කර ගත නොහැකි දෙයක් යැයි තෙළිඟු නගර් හි වත්මන් නායක විජයකුමාර් ඇන්ටනි පවසයි.

 

“අපිට තියෙන ලොකුම ගැටලුව ඉඩම් නැතිකමයි. එකම ගෙදර පවුල් තුනක් හතරක් ජීවත් වෙනවා. ඉඩමක් ඉල්ලුවට ප්‍රාදේශීය ලේකම් මගේ මිනිස්සුන්ට ඉඩම් දෙන්නෙ නැහැ.”

තෙළිඟු ගම වටා සිංහල හා දෙමළ බස කතාකරන ජනයාගේ ගම් පැවැතිය ද ඔවුන්ගෙන් තමන්ට කිසිදු හිරිහැරයක් නැතත් රාජ්‍ය නිලධාරින් දක්වන කුඩම්මාගේ සැලකිලි කිසිලෙසකින් හෝ අඩු නොවන්නේ යැයි විජයකුමාර් ඇන්ටනි තවදුරටත් පෙන්වා දෙයි.

ඉඩම් නොමැතිකම හා ඉඩම් ලබා නොදෙන්නේ යැයි තෙළිඟු ජනයා නගන චෝදනාවට පිළිතුරු දුන් තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජේ. ශ්‍රීපති මහත්මිය පැවැසුවේ මෙම ගැටලුව තෙළිඟු ජනයාට පමණක් ඇති ගැටලුවක් නොවන බවයි.

 

smart

තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජේ. ශ්‍රීපති

 

“අපේ ඉඩම් 60%ක් කන්තලේ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම්, වන සංරක්ෂණය ඒවා නිදහස් කරන්නේ නැහැ. තෙළිඟු ගමට පහළින් තියෙන්නේ කුඹුරු හා සෙසු ජනවර්ගවල අයගේ ඉඩම්. මම ලොකු ගැටලුවක ඉන්නේ මේ අයට ඉඩම් දෙන්නෙ කොහොමද කොහෙන්ද කියලා. මේ අය වෙනත් තැනක නැවත පදිංචි කරන්නත් අපිට ඉඩම් නැහැ. නමුත් අපි ඉඩම් නිදහස් කරගන්න උත්සාහ දරමින් ඉන්නවා. ඒ අතර ඔවුන්ට සමෘද්ධිය හා ඉඩම් බලපත්‍ර ලබාදී තියෙනවා.” ප්‍රාදේශීය ලේකම්වරිය එසේ පවසයි.


දේශපාලන නියෝජනය


තෙළිඟු ජනයා විඳින මේ පීඩාවන් අවම කර ඔවුන්ට වඩා හොඳ ජීවන රටාවක් ලබාදීමට හැකි හැමදේ කරන්නේ යැයි තඹලගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති චම්පික බණ්ඩාර පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ‍තෙළිඟු ගම අවට සෙසු දෙමළ ප්‍රජාවගෙන් පවා අඩු කුලයේ පිරිස් ලෙස කොන්වෙමින් සිටින මේ පිරිසට තනිව නැගී සිටිමට තමන්ට හැකි පමණින් කටයුතු කරමින් සිටින බවයි.

 චම්පික බණ්ඩාර තඹලගමුව ප් රා.සභාපති

තඹලගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති චම්පික බණ්ඩාර

 

“ගමේ සභාපතිව ඉන්න විජයකුමාර් ඇන්ටනි මේ සැරෙත් එක්ක අපි දෙපාරක්ම ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු කරලා ඡන්දෙට යොමු කළා. තෙළිඟු ගමේම ඡන්ද 480ක් තියෙනවා. මගේ බලාපොරොත්තුව තෙළිඟු ජනතාවගෙන් කෙනෙක් සභාව නියෝජනය කරවන්නයි. එතකොට ඒ අයගේ ගැටලු ගැන කතා කරන්න ඒ අය වෙනුවෙන් හඬ නගන්න නියෝජිතයෙක් ලැබෙනවා. මේ මිනිස්සුන්ටත් සමාජයේ තැනක් ලැබෙනවා.” සභාපතිවරයා එසේ කියයි.

 

උප්පැන්නයේ ජාතිය ලංකා දෙමළ ලෙස සටහන් කිරිම තුළ ජන හා ‍නිවාස සංගණනයේදී ‘වෙනත්‘ ගොඩට වැටෙන තෙළිඟු ජනයා වෙනම ජන වර්ගයක් ලෙස පිළිනොගැනීමත්, පාසල් අධ්‍යාපනය ලබන තෙළිඟු දරුවන්ට ඔවුන්ගේ මුල්බස වූ තෙළිඟු බස ඉගැන්වීමට වැඩ පිළිවෙළක් නොමැතිකමත් තෙළිඟු ප්‍රජාව මෙරට ජන සමාජයෙන් දිය වී යෑම කඩිනම් කරන සාධක ලෙස හඳුනාගත හැකිය.

 

සිය වරිගයේ අනන්‍යතාව පෙන්වන තෙළිඟු බස රැක ගැනීමට ඔවුනට උනන්දුවක් ඇතත් වගකිවයුත්තන් ඊට දක්වන දායකත්වය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. පවතින ආර්ථික අර්බුදයද ඔවුන්ගේ දිවි ගමන හරස් කළ මහා බාධකයකි. සාස්තර කියා හඳුන්කූරු විකුණා උපයන සොච්චම මේ මිනිසුන්ගේ ජීවන බර උසුලාගෙන යාමට ප්‍රමාණවත් නැත. කොන් කිරීම හා ඉඩම් නොදීම වැනි ගැටලු විසඳීමට බලධාරීන්ට නොහැකි වුවද තෙළිඟු ප්‍රජාව රැක ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් හෝ සැකසීම යුතුකම නොවන්නේද?


 
lakmal baduge(ලක්මාල් කේ. බදුගේ)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
(උපදේශනය සහ අනුග්‍රාහක දායකත්වය ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා ආයතනයෙනි.)

 

 

'ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා' වෙනත් ලිපි :


ආර්ථික යුද්ධයෙන් බැටකන නැගෙනහිර යුද වැන්දඹුවෝ

ආබාධිත ළමා සොල්දාදුවන්ගේ නොනිමි ජීවන අරගලය! - (වසන්ත චන්ද්‍රපාල)

එමලියනා, ෂෙරීන් සහ දිනිති! - මව්බසත් අමතක වී යන කැෆර්වරුන්ගේ කලදවස - (හර්ෂා සුගතදාස)


 

JW

 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්