ඉන්දියානු සංස්කෘතික කක්ෂයේ අනෙකුත් අය සමඟ අපි අප්‍රේල් මාසයේ දී සූර්ය අලුත් අවුරුද්ද සමරන්නෙමු .

එය ආවර්ජනයට මෙන් ම, ඉදිරිය බැලීමට ද සුදුසු කාලයකි. මෙම අප්‍රේල් මාසය වඩාත් වැදගත් වන්නේ එය ශ්‍රී ලංකාවේ ක්‍රමයේ වෙනසකට බලපෑම් කිරීම සඳහා ඓතිහාසික උත්සාහයක් වූ අරගලයේ සංවත්සරයද වන බැවිනි.


ආවර්ජනය

බොහෝ දුරට සාමකාමී වූ විරෝධතාවල මාස තුනක් අවසන් වන විට අරගලයේ ප්‍රධාන අරමුණු සපුරාගත හැකි වී ය. බිය ඇති කළ සහ  බලවත් ජනාධිපතිවරයෙක් ඉල්ලා අස්විය. රාජපක්ෂ පවුලේ බලය සහ මතවාදය සැලකිය යුතු ලෙස දුර්වල වී ය.



රට අරාජික වුයේ නැත. සැලකිය යුතු දේපළ හානියක් සිදු වුවද, ජීවිත අහිමි වූයේ පුද්ගලයන් 12 දෙනෙකුට පමණකි. විරෝධතාවයට හේතු වූයේ ආහාර පිසින ගෑස්, විදුලිය විසන්ධි කිරීම සහ ඉන්ධන පෝලිම් ය. අධික මිල ගණන් යටතේ වුව ද, ගෑස් හිඟය සමනය විය. නමුත් මිනිසුන් දර භාවිතා කළ නිසා මහල් නිවාස ගිනි ගන්නවාට වඩා මෙය හොඳ තත්ත්වයකි. පැය 13 ක විදුලිය කප්පාදුවේ සිට තත්ත්වය බොහෝ සේ  යහපත් වී ඇත්තේ සැලකිය යුතු මිල වැඩිවීම් ද සමග ය. එහෙත් එය තවමත් ලෙබනනයේ මෙන් 10 ගුණයක මිල වැඩිවීමක් නොවේ.



වාහන සඳහා දත්ත පද්ධතියකට සම්බන්ධ ඉන්ධන සලාක ක්‍රමයක් ක්‍රියාත්මක ය. සලාක ක්‍රමය පරිපූර්ණ නොවන අතර ඉන්ධන ප්‍රමාණයෙන් සියයට 40 ක් පමණ කළු කඩයෙන් වෙයි. අර්බුදයේ උපරිම අවස්ථාවේ බලශක්ති පරිභෝජනය සියයට 40 කින් පහත වැටුණි. එය ආර්ථිකයට අහිතකර අලෙවි වෙයි. නමුත්, මිනිසුන්  දින ගණන් පෝලිම්වල රස්තියාදු කිරීමට වඩා මෙය හොඳ ය.

උද්ධමනය නොවූ විරූ මට්ටමකට වැඩිවී දැන් අඩු වෙමින් පවතී. ආහාර අනුපාතය පැවතියේ 1990 මට්ටමට ගියේය. එනම්, සාමාන්‍ය කුටුම්භයක වියදමෙන් සියයට 60 කට වඩා ආහාර සඳහා වැය වේ. එහි තේරුම නම් ශ්‍රී ලාංකිකයින් වැඩි ම පිරිසකගේ ජීවන තත්ත්වය විශාල ලෙස පිරිහී ගිය බව යි. එසේ වුවත්,  සැපයුම් දාම බොහෝ දුරට යථා තත්ත්වයට පත් වී ඇත.



සමහරු සිතන්නේ මෙය ප්‍රමාණවත් නැති බව යි. 2022 ජූලි 10 වැනි දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පෙරටුගාමී නායක කුමාර් ගුණරත්නම් කියා සිටියේ මින් ඉදිරියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන්නේ අරගලය කියන දේ ම බවයි. අරගලයෙන් ජනාධිපතිගේ ජනවරම අවලංගු වූ ආකාරයට ම ව්‍යවස්ථාදායකයට ද ජනවරමක් නොමැති බව ඔහු කියා සිටියේය. ව්‍යවස්ථාදායකය (සහ විවෘතව ප්‍රකාශ නොකළත්, සමහර විට අධිකරණය ද) ව්‍යවස්ථාවට අනුව ක්‍රියාත්මක වීම නැවැත්වූයේ නම් ගුණරත්නම් වැනි අය එයට කැමති වනු ඇත. ඇත්ත වශයෙන් ම, ඔවුන්ගේ යෝජනා ක්‍රියාත්මක වුවහොත් රට අරාජික වන්නට ඉඩ තිබිණි.




අරාජික නොවුයේ ඇයි ?

මුල් අවස්ථාවේ අරගලය උත්සහ කළේ ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙන් වියුක්තව සිටීමටයි. නායකයින් හෝ ප්‍රකාශකයින් බිහිවීමට ඉඩ අහුරා තිබුණි. එය සමනාත්මතාවදී වුව ද ඉතාමත් ගැටලුකාරී වී ය. තීරණ ගන්නේ කුමන ආකාරයෙන් ද? අරගලය තුල බලය ක්‍රියාත්මක වුනේ  නිශේධ බලයක ස්වරූපයකි. සාකච්ඡා කිරීමට ආණ්ඩුව සුදානම් වූ විට අනෙක් පාර්ශවයෙන් සම්බන්ධවීමට කෙනෙකු සිටියේ නැත. කවුරුන් හෝ එසේ කිරීමට ඉදිරිපත් වූයේ නම්, ඔවුන් අවලංගු කිරීමට යටත් වනු ඇත.


ගාලුමුවදොර පිටිය ප්‍රධාන ස්ථානය වූ නමුත් අරගලය එම ස්ථානයට සීමා නොවීය. 2022 අප්‍රේල් 21 වන දින, විරෝධතාවයට සති දෙකකටත් අඩු කාලයක දී, ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් අරගලය සමඟ සම්බන්ධ කිරීමට, දිවංගත මංගල සමරවීර මහතාට සම්බන්ධව සිටි  කණ්ඩායම් විසින් පළමු උත්සාහය දරනු ලැබීය. විහාර මහා දේවී උද්‍යානයේ පැවති මෙම අවස්ථාවට ගුණරත්නම්ගේ පෙරටුගාමි පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ හැරුණු විට සමස්ත දේශපාලන පක්ෂ සියල්ල ම සහභාගී විය. මෙම උත්සාහය සංකේතවත් කළේ එහි දී ලබා දුන් කහ මල් මගිනි. පසුව කැස්බෑව උසාවියේ ඇප නියම කිරීම වැනි අවස්ථාවල  දී ඔවුහු  නැවත පෙනී සිටියෝ ය.



මෙය කාලය වඩා සංකෝචනය වී ඇති බව පෙනී ගිය කාලයකි. අලුත් ප්‍රවේශයක් ගැනීමට පෙර, කලින් කල දේ සාර්ථකව ක්‍රියාත්මක වේද යන්න බැලීමට වෙලාවක් නොතිබුණි. විරෝධතාකරුවන් නොසැලී සිටි නමුත්, රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා වූ ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම සාර්ථක කරගන්නේ කෙසේද යන්න අපැහැදිලි විය. දිනෙන් දින ආර්ථිකය කඩා වැටෙමින් තිබූ අතර දේශපාලනය අකර්මන්‍යවී තිබිණි.  ඕනෑම දිනක මර්දනය ආරම්භ විය හැකිව තිබිණි.


මාසය අවසන් වන විට අරගලය ප්‍රධාන ධාරාවේ දේශපාලනය සමඟ සම්බන්ධ කිරීමට තවත් උත්සාහයක් ගන්නා ලදී. ගාලු මෝදරින් පිටත ඕමල්පේ සෝභිත හිමි ප්‍රමුඛ ආගමික නායකයින් පිරිසක් විසින් දේශපාලන නායකයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමක් සංවිධනය කරන ලදි.  එයට ලැබුණු ප්‍රතිචාරය  ඇල්මැරුණු එකක් වී ය. සිවිල් සමාජ සංවිධාන සහ වෘත්තීය සමිති සම්බන්ධ කර ගනිමින් මැයි 21 වන දින BMICH හිදී මහජන සභාව දියත් කිරීම මගින් අන්තරසම්බන්ධතාවය සඳහා වඩා විශාල වේදිකාවක් ගොඩ නැගීමෙන් මෙම උත්සාහය වඩා පුළුල් කරනු ලැබීය. ගාලු මුවදොර අරගල අඩවියේ ක්‍රියාකාරී විවිධ තරුණ කණ්ඩායම්වල නියෝජිතයන් කථිකයන් අතරට ඇතුළත් විය. මේවා හුදෙක් නිදර්ශන පමණකි. වෙනත් උත්සාහයන් නොවු බව එයින් කියවෙන්නේ නැත.


මැයි 21 දා වන විට භුමියේ තත්ත්වය වෙනස් වී තිබිණි.. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් (මැයි 9 දා) විරෝධතාකරුවන්ට පහරදීම හේතුවෙන් අරගලයේ ලිබරල් ස්වභාවය වෙනස්විය. පෙරටුගාමීන්ට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායම්වලට වැඩි වැදගත්කමක් ලැබිණි. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයට පැමිණි පිරිසට සහ රට පුරා දේශපාලනඥයන්ගේ නිවෙස්වලට එල්ල වූ පළිගැනීම් ප්‍රහාර අරගලයේ අවිහිංසාවාදී ස්වභාවය කිලිටි කළේය. සමස්ත කැබිනට මණ්ඩලය සමග මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්විය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලද අතර ජනාධිපතිවරයා ඔහුගේ තවත් වරදක් වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැරවීමට කැපවන බව ප්‍රකාශ කළේය. ජුනි මාසය වන විට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ජූලි මාසයේ තීරණාත්මක දිනයක දී ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගනු ලැබීය. රාජපක්ෂ පවුල තවදුරටත් විධායකයේ තනතුරු දැරුවේ නැත.


මෙම දේශපාලන වර්ධනයන්ට සමගාමීව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමියන් සමඟ සාකච්ජා පැවැත්වෙමින් තිබිණි. ජුනි මාසය අවසන් වන විට ඉන්ධන පෝලිම් අවසන් කරමින් ඉන්ධන සලාක ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබීය. එමෙන් ම, ඉවුම් පිහුම් ගෑස් ලබා ගැනීමේ හැකියාව ද ලැබිණි. විදුලිය කැපු කාලය ද අඩුකරනු ලැබීය. පෙර පැවති කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් නොවූ තරුණ මන්ත්‍රීවරුන්ගේ වැඩි නියෝජනයක් සහිත පක්ෂ කිහිපයක නව අමාත්‍ය මණ්ඩලයක් එක්රැස් කිරීමට ජනාධිපතිවරයාට හැකි වුවද, පොදු අවම වැඩ පිළිවෙළක් මත සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමේ උත්සාහය සාර්ථක වූයේ නැත. නමුත් පුළුල් ලෙස උපදේශනය කරන ලද පොදු අවම වැඩසටහනේ මූලිකාංග රජයේ ප්‍රතිපත්ති, විපක්ෂයේ ස්ථාවර පත්‍රිකා සහ IMF ගිවිසුමට ඇතුලත් විය.


අගෝස්තු මාසය වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ක්‍රියා පටිපාටිවලට අනුව නව ජනාධිපතිවරයකු තේරී පත් විය. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය වර්ධනය වී ය. ගාලු මුවදොර උද්ඝෝෂණ ස්ථාන බලහත්කාරයෙන් වසා දමන ලදී. පාර්ලිමේන්තුව සහ රැඳී සිටි පිරිසගෙන් මුදවා ගත් ජනාධිපති ලේකම් කාර්යාලය  නැවතත් බලය ක්‍රියාත්මක වන ස්ථාන බවට පත්විය. ඔක්තෝබර් වන විට 20 වැනි සංශෝධනය ආපසු හැරවූ නමුත් එය පෙර තිබූ තැනට හරියටම ආපසු නොගියේ 19 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ප්‍රතිෂ්ඨාපනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැළැක්වූ බැවිනි.


රාජපක්ෂවරුන් විධායකයෙන් ඉවත්ව ගිය නමුත්, බැසිල් රාජපක්ෂ වෙනුවට බලවත් ව්‍යාපාරිකයෙකු පත්කිරීමත්, වික්‍රමසිංහගේ අසුන ඔහුගේ පක්ෂයේ සභාපතිවරයාට හිමිවීමත් හැර ව්‍යවස්ථාදායකයේ සංයුතියේ එතරම් වෙනසක් සිදුවුනේ නැත. අරගලයේ සිටි පිරිස ඇතුළු බොහෝ දෙනා ඉල්ලා සිටි පරිදි අන්තර්වාර ආණ්ඩුවක් බිහිවුයේ නැති අතර කිසිදු නව මැතිවරණයක් පැවැත්වුණේ ද නැත. ගෝඨාභය කලින් පත්කර සිටි ජනාධිපතිගේ  හා භාණ්ඩාගාරයේ ලේකම්වරුන් මෙන්ම මහ බැංකු අධිපතිවරයා වැනි නිලධාරීන් ද වෙනස් කොට අලුතින්  පත්කොට තිබිණි. "සොරකම් කරන ලද මුදල්" ආපසු අයකර ගත යුතුය යන ඉල්ලීම සම්බන්ධයෙන්, වත්මන්, අක්‍රිය නීතිය වෙනුවට නව නීතියක් කෙටුම්පත් කිරීම හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.


ප්‍රකාශිත ඉල්ලීම් අනුව මනින්නේ නම්, ලැබී ඇත්තේ මිශ්‍ර ප්‍රතිඵලයකි. එසේ වුව ද, ජනාධිපතිවරයා ඉවත්වීම සහ ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ නිර්වචනය නොකළ ඉල්ලීමත් හැර වෙනත් ඉල්ලීම් සම්බන්ධයෙන් අරගලය තුල ඒකමතිකභාවයක් නොතිබූ බව සඳහන් කළ යුතුය.




ඉදිරිය බැලීම

2020 දී තේරී පත් වූ පිරිස ම තවමත් ව්‍යවස්ථාදායකය පවත්වාගෙන යන්නේය යන කාරණයත්, 1977 දී පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් තේරී පත් වූ අයකු ජනාධිපතිවරයා වීමත් අරගලයේ අසාර්ථකත්වයේ සාක්ෂි ලෙස ඇතැම් උදවිය දකිති. 2023 දී මාධ්‍ය සිරස්තල පෙර වසරවල දී පැවතියාට වඩා මුලික වශයෙන් වෙනස් නොවේ. ජීවන තත්ත්වය වසර ගණනාවකට පෙර මට්ටමට පහත වැටී ඇති  නමුත් ජීවිතය පසුගිය වසරේ තිබු තරම් නරක නැත. දිනා ගන්නට වෙර දැරූ


ක්‍රමයේ වෙනස මෙය ද?

දේශපාලන බලධාරීන් සියල්ල වෙනස් කිරීමට විප්ලවයක් සහ අරාජික කාලයක් නැතුව බැරිය. ආර්ථිකය කඩා වැටීම සහ මහජනයාට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගැනීම දිනෙන් දින දුෂ්කර වීම හා සමගාමීවූ මාස හතරක ක්‍රියාකාරී වීදි විරෝධතා පැවති කාලයේ මෙය සිදුවිය යුතුව තිබිණි. එමගින් දරුණු  දුක් වේදනා උත්පාදනය වීම නොවැලැක්විය හැකිය. “විප්ලවය යනු රාත්‍රී භෝජන සංග්‍රහයක් නොවේ” යැයි සභාපති මාඕ ප්‍රකාශ කළේ මේ හේතුවන් වෙන්නට ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා මධ්‍යයේ අක්‍රමවත් ලෙස බලය මාරු කිරීම එම ක්‍රියාවලිය ඇනහිටීමට තුලින් ආර්ථිකය ලෙබනනයේ තත්ත්වයට ගමන් කිරීමට බොහෝ ඉඩ තිබුණි.


දේශපාලන බලධාරීන් වෙනස් වී නැති බව පෙනෙන්නට ඇතත්, ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ හැසිරීම වෙනස් වී ඇත. 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ඡන්දය දුන් පිරිසම යන්තම් වසර දෙකකට පසුව එය අවලංගු කිරීමට ඡන්දය දීම වෙනත් ආකාරයකින් පැහැදිලි කළ හැකිද? එමෙන්ම රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ වෙළඳ ගිවිසුම් වැනි කාරණා සම්බන්ධයෙන් සාම්ප්‍රදායික ස්ථාවරයන් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.


මන්ත්‍රීන් නොවන මහජන සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් යුතුව ආංශික අධීක්ෂණ කමිටු ප්‍රතිෂ්ඨාපනය කිරීම ව්‍යවස්ථාදායකය සිය ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු කරන ආකාරයේ පරිවර්තනයකි. යම් ප්‍රමාදයකින් පසුව සති කිහිපයකට පෙර මෙම කමිටු පත් කරනු ලැබීය. කුඩාම පරිපාලන ඒකක වන ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ජන සභා නමින් අධීක්ෂණ සහ පුරවැසි ආදාන කමිටු 14,000ක් නිර්මාණය කිරීමේ කටයුතු සිදු වෙමින් පවතී. අත්දැකීම් මත පදනම් වූ ක්‍රියා මාර්ග නිවැරදි කිරීම් සමග නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම්, ඉහත ක්‍රියා මාර්ගයන් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අරගලයෙන් ලැබුණු ප්‍රධාන දායකත්වයක් විය හැකිය.

වත්මන් මැතිවරණ ක්‍රමය නියෝජිතයන් සහ මහජනතාව අතර විශ්වාසය නැතිවීමට බලපා ඇති බව බොහෝ දෙනා පිළිගෙන ඇති කාරණයකි. එය ප්‍රචාරක වියදම් වැඩි කර ඇති අතර එමඟින් ප්‍රචාරක කටයුතු සඳහා මුදල් සැපයීම සඳහා දූෂණයට කොන්දේසි නිර්මානය කර ඇත. සුළුතරයන්ගේ දුක් ගැනවිලි සමනය වන ආකාරයෙන් බලය විමධ්‍යගත කිරීම නොකෙරෙන තත්වයක පවතී. ව්‍යවස්ථාදායකය පළාත් සභා මැතිවරණ ප්‍රතිසංස්කරණය කිරීම අත්හැර දමා ඇති බවක් පෙනෙන්නට ඇති අතර, එහි ප්‍රතිඵලය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආණ්ඩුකරණයේ සම්පුර්ණ මට්ටමක් වසර හතරකට වැඩි කාලයක් මුළුල්ලේ වසා දමා ඇත. නිවැරදිව ක්‍රියාත්මක කළහොත්, පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව අඩකින් අඩු කරන සීමා නිර්ණ කමිටු වාර්තාව මේ පෙරමුණෙන් ලැබෙන එකම ශුභාරංචිය යි.


ක්‍රමයේ වෙනස

 
ක්‍රමය වෙනස් කිරීමට ක්‍රියා පටිපාටිවල, දේවල් සිදුකරන ආකාරයේ වෙනස්කම් ඇතුළත් විය යුතු ය. නමුත්, බොහෝ දෙනා, ක්‍රමය වෙනස් කිරීම යනු බලධාරීන්ගේ වෙනසක් ලෙස සලකන බව පෙනෙන්නට තිබේ. උත්ප්‍රාසය නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රමය වෙනස් කිරීමට ජනවරමක් ලබා ගනිමින් තේරීපත් වූ පසු, 2019 දී වගකිම දැරුවන්ගේ වෙනසක් සිදු වී තිබීම යි. හුදෙක් මිනිසුන් වෙනස් කිරීම හෝ වඩාත් නිශ්චිතව කිවහොත් වෘත්තීය දේශපාලඥයින් වෙනුවට ආධුනිකයින් ආදේශ කිරීම හෝ, ක්‍රමය වෙනස් කිරීමක් සහතික කිරීමක් නොකරන බවට, ඔහුගේ කෙටි ධුර කාලය සහ ඔහු පත් කළ අයගේ අසාර්ථකත්වය සාක්ෂි දරයි.


අද ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දී සිටින්නේ (අ) සමහරු දිගටම ඉල්ලා සිටින පරිදි, බලධාරීන් වෙනස් කිරීම මගින් ක්‍රියා පටිපාටි වෙනස් වීමට ඉඩ සැලසීම, සහ (ආ) 2022 අගෝස්තු සිට සිදුවෙමින් පවතින බව පෙනෙන ආකාරයට, පැරණි බලධාරීන් හරහා ක්‍රියා පටිපාටි වෙනස් කිරීම අතර තේරීමකි. දෙවන විකල්පය සම්බන්ධයෙන් වුවද, (ආ1 ) වෙනස්කම් ප්‍රමාණවත්ද (ආ2 ) නොවේද යන ප්‍රශ්නය විවාද කළ හැකිය.


බලධාරීන්ගේ සම්පුර්ණ වෙනස්වීමක් සිදුවුයේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නොකළහොත් ජනාධිපතිවරණයක් කැඳවිය හැකි ප්‍රථම අවස්ථාව වන්නේ 2024 දෙවන භාගය යි. ජනාධිපතිවරයා තීරණය කළහොත් හෝ බහුතර මන්ත්‍රීවරුන් තීරණය කළහොත් 2025 අගෝස්තුවට පෙර මහ මැතිවරණයක් කැඳවිය හැකිය. එබැවින්, ප්‍රධාන බලධාරීන්ගේ වෙනසක් සිදුවිය හැක්කේ 2024 අග භාගයේ දී ය.  එබැවින් (අ ) විකල්පය දැනට අදාළ නැත.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ ආංශික අධීක්ෂණ කමිටු පිලිබඳ ඉහත උදාහරණ මගින් පෙන්වා දුන් පරිදි, (ආ) විකල්පය දැන් සිදුවෙමින් පවතින දේ නිරූපණය කරයි. කමිටු පත් කිරීමට ගතවන කාලය, කමිටු සංයුතිය ආදිය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින දේ, විකල්පය (ආ1) ද, විකල්පය (ආ2 ) ද, යන්න පිළිබඳ විවාදයට ඉඩ සලසයි.


(ආ2 ) වැළැක්විය හැකි සහ (ආ1 ) සාක්ෂාත් කර ගත හැකි එකම මාර්ගය පුරවැසි මැදිහත්වීම යි. 2024 නොවැම්බර්, 2025 අගෝස්තු හෝ ඊට පෙර මැතිවරණ සඳහා නාමයෝජනා කැඳවන විට, ඒවාට බලපෑම් කිරීමේ ක්‍රමානුකූල ප්‍රයත්නයන් දක්වා වේගවත් කරමින්, ක්‍රමය වෙනස් කිරීමේ යථාර්ථවාදී මාර්ගය වන්නේ දැන් සිදුකරන අඛණ්ඩ පුරවැසි මැදිහත්වීම යි. ක්‍රම වෙනසක් ඇති කළ හැකි වන්නේ මෙම අඛණ්ඩ, ක්‍රමානුකූල මැදිහත්වීම (හෝ වෙනස් ක්‍රම මගින් කෙරෙන අරගලය) මගිනි. එසේ නැතිව විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ නිසි ලෙස තේරී පත් වූ නායකයින්ට ශුන්‍යවාදී විරෝධයක් දැක්වීමෙන් නොවේ.


Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
(උපුටා ගැනීම - අනිද්දා ජාතික පුවත්පතින් )

 

 

Anida

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image