වෙසක් සැරසිලි දකින හැම වෙසඟකම අපට නිතැතින් මෙනෙහි වන අප විසින්මැ ලියැවුණු කවියක් ඇත.
‘මම ලිඟුමාල වෙමි’ එහි ශීර්ෂයයි. එය, 1997 වෙසක් මස 17වැනිදා සිදුවුණු කනපතිපිල්ලෛ කෝනේෂ්වරීගේ ම්ලේච්ඡ ඝාතනය පිළිබඳ ලියැවුණකි. පස් විසිවසරකට පෙර ලියැවුණු, මුල්වරට ‘රාවය’ පුවත්පතේ පළවුණු එම කවියේ පාදක සටහන මෙයාකාර විය.
"පොලිස් පාදඩයන් දස දෙනෙකු විසින් දූෂණය කරනු ලැබ අවසන යෝනිය තුළට අත්බෝම්බයක් දමා පුපුරුවා හැර අමානුෂික ලෙස මරා දැමූ කෝනේෂ්වරී අම්පාරේ දිවි ගෙවූ තෙදරු මවකි. මෙම සිද්ධිය සැලවීමෙන් අකම්පිතව සිටි දකුණේ සිංහල සිත්වලින් අද වන විට මෙම සිද්ධිය මුළුමනින්ම ක්ෂය වී ගොසිණි."
කවිය පළවී නොබෝ කලෙකින් එය දෙමළ බසට පරිවර්ථනය වී තිබුණු අතර ලංකාවේ මෙන් ම, විදේශයන්හි පැවති දෙමළ භාෂීය සාහිත්‍යය සභාවන්හි එය සංලාපයට හා සංවාදයට ලක්වන බව චිරකාලීන අප මිත්‍ර එන්. සරවනන් කීවේ එවන් සාහිත්‍ය සභාවකට අපට ඇරියුම් කරන අතර ය.
කවිය ඇරඹෙන්නේ මෙහෙම ය.
"අත ගසාගෙන නළලත
වෙසක් සඳ වැළපෙයි
ජනේලෙන් හොටු පෙරෙයි.
"ළඟපාත ගෙදරක
තෙමඟුල පිණිස නිමවූ
නෙළුම් මල් සත
තවම පරවී නැත...."
ඉකුත් 2022 වසරේ දකුණේ මතුවුණු මහජන අරගලය සමයේ වෙසක් උදාවේ අපූර්ව ඡායාරූපයක් 'වට්සැප්' හරහා පැමිණ අපටද දැකගන්නට ලැබුණි. කිසියම් ජලාශයක් මැද නිර්මාණය කෙරුණු වෙසක් නෙළුම් මල් සහ නෙළුම් මල් මතින් ඇවිද යන ඉපදුණු ගමන් සිද්ධාර්ථ එම පින්තූරය තුළ නිරූපණය කෙරිණ. වෙසක් එකට මෙවන් වෙසක් කූඩු, නෙළුම් මල් දක්නට ලැබීම විශේෂයක් නොවෙතත් මෙම පින්තූරය ගෙන ආ මාරාන්තික වේදනාව වූයේ එම නෙළුම් මල් ‘’පුප්පවා’’ තිබුණේ දෙමළ සංහාරයේ අවසාන අදියර තුළ ලේ කලපුවක් බවට පත්කළ නන්දිකඩාල් කළපුව තුළ වීමයි.
අප ඊට ලියූ රිද්දෙනසුළු කෙටි කවිය 2022 මැයි 16වැනිදා අප නමින් ඇති ෆේස් බුක් පිටුවේ පළවිය. එය මෙසේ ය.
"සැරසිලි මිසක් වෙසඟක් කොහිද යාළුවේ
කොලවරි සුසුම් ඇවිදින් හැඟුම් ඇවිලුවේ
කැණහිලි වැඩත් සිදුහත් නමට පැවරුවේ
මිලිටරි නෙළුම් පිපුණයි කඳුළු කළපුවේ"
පින්තූරයේ අඩංගුව සිංහල හමුදාව සතුවූ අතර පින්තූරයේ අයිතිය කේ. කුමනන් නම් තරුණ මාධ්‍යවේදියා සතු විය. ඔහු අමතන්නට මා උනන්දු කරවූ කේන්ද්‍රිය ප්‍රකාශනය වූයේ විසකුරු සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය වරනඟන මෙම වේදනාබර පින්තූරය යි. ඔහු මුල්වරට මෙම පින්තූරය මුදාහළ ‘ට්වීටරය’ පසු දිනක දැක ගන්නට ලැබුණු අතර එහි වූ සටහන වේදනාව තීව්‍ර කරලන්නක් විය.
‘’2009 මැයි මාසයේ මෙවැනි දිනෙක මම දහස් සංඛ්‍යාත මිනිසුන් හා සුව නොවුණු තුවාල සහිතව වට්ටුවාකල් පාළම මතින් ගමන් කරමින් සිටියෙමි. එදා මෙම කළපුව මත පාවුණේ ඔබ විසින් මරා දැමුණු මිනිසුන්ගේ ලේ වැගිරෙන මළමිනී මිස බුදුන් හෝ නෙළුම් මල් නොවේ. එවක පසළොස් හැවිරිදිව සිටි මම එය ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වෙමි. ‘’
කුමනන්
නවසිය අනූතුනේ මුලතිව් කුමුලමුණෛ උපන් කුමනන් ගැටවර සමයෙහිම කැමරාවක් අතට ගත්තේ විලාසිතාවක් ලෙස නොවේ. තමන් අත්විඳි ජීවිතය විසින් කෙරුණු කැඳවීම හන්දා ය. තමන් අත්විඳිමින් සිටින ජීවිතය පරාවර්ථනය කරනු පිණිස ය. තමා අවට දෛනිකව වරනැඟෙන වේදනාවට ගැඹුරුතර සාක්ෂි සපයනු පිණිස ය.
Image : Kumanan Kana
උතුරු හා නැඟෙනහිර බලහත්කාරී ලෙස අතුරුදහන් කළ දෙමළ තරුණ තරුණියන්ගේ දෙමාපියන් හා ඥාතීන් අඛන්ඩව ගෙනයන යුක්තිය උදෙසා වන අරගලයේ බරපතලම නිමේෂ ලෝකය හමුවේ කියාපෑවේ කුමනන් ය. යුක්තිය ඉල්වන මාතාවන්ගේ සේයාරූවලියේ එකී ‘කුමනන් නිමේෂයන්’ කවර බසකින්වත් කියාපාන්නට බැරි තරමේ වේදනාබර අද්දැකීම් සමුදායයක් අපට අභිමුඛ කරයි.
යුක්තිය පිළිබඳ සටන් ඇවිලෙන උතුරේ සෑම බිම් අඟලකම සක්‍රීය මෙන්ම ඓන්ද්‍රීය සාක්ෂිකරුවකු වන කුමනන් සලකවිධ මිලිටරි අඩත්තේට්ටම්, තර්ජන සහ ගර්ජන හමුවේ වුව තවමත් මාසික වාරික ගෙවා අවසන් කරනැති සිය කැමරාව ඉතා නිර්භීතව පීඩිත දෙමළ ජනයා වෙනුවෙන් ළෙලවමින් සිටියි.
කනපතිපිල්ලෛ කුමනන් නම් තරුණ ඡයාරූප-මාධ්‍යවේදියාගේ පින්තූර මෙන්ම අදහස් දැක්වීම්ද ඉතා තියුණු ය. ඔහු ඇමතූ පසුදිනෙක අපි මෙම ‘නෙළුම් මල්’ ගැන ඔහුගෙන් විමසුවෙමු. ඔහු ලබා දුන් බරපතළ පිළිතුර මෙබඳු විය.
"මෛත්‍රීය පදනම් කරගනිමින් සකළවිධ මනුෂ්‍යන්ගේ නිදුක්භාවය වෙනුවෙන් ගැඹුරු දර්ශනයක් වදාළ බුද්ධ නම් ශාස්තෘවරයාගේ අනුගාමිකයන් යුද්ධය සක්‍රීයව කෙරුණු වෙලාවෙ හැසිරුණු විදිහ ඔබටත් මටත් අමතක වෙන්න විදිහක් නෑ. නන්දිකඩාල් කළපුව කියන්නෙ කොහොම තැනක් ද කියලා ලෝකයම දන්න දෙයක්. එහෙම තැනක බුදුන්ගෙ උත්පත්තිය සංඛේතවත් කරන වෙසක් සැරසිලි නිර්මාණයක් කළාම දෙමළ ජනතාව ඒක මම තේරුම් ගත යුත්තේ කොහොම ද?"
ඔහු ලබා දුන්නේ පිළිතුරක් නොව, ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නයටම ඈඳූ තවත් ප්‍රශ්නයක් ඔහු අප හමුවේ තබයි. මෙලෙසිනි.
"මෙය බුදුන්ගේ අනුගාමිකයන් විසින්ම බුදුන්ට කරනු ලබන නිග්‍රහයක් නෙවෙයි ද?"
බෞද්ධ දර්ශනයේ පදනම ලෙස ගිනිය හැක්කේ, බුද්ධ චරිතය ආශ්චර්යමත් චරිතයක්වැ පණ පිහිටවනු පිණිස උත්කර්ෂප්‍රාප්ත සාහිත්‍යයික ගොඩ නැංවීම්වලින් ගහණ පසුකාලීන බුදුසමයෙහි කතා ලතාවන් හෝ ඒවා මත පදනම් වුණු සංස්කෘතික සව්කරදහි සැරසිලි නොව, ගෞතම සිද්ධාර්ථ නම් දාර්ශනික මිනිසාගේ ඉපැරණි ඉගැන්වීම් ය.
බුදුන් භෞතිකවම අත්විඳි ජීවිතය පදනම් කරගනිමින් සූත්‍රගත ‘අත්තදණ්ඩ සූත්‍රය’ එහි පරිපාකප්‍රාප්ත, ආත්ම දණ්ඩනය යෝජනා කෙරෙන ගැඹුරුතර බුද්ධ වචනය වෙයි.
‘’ඵන්දමානං පජං දිස්වා, මච්ඡෙ අප්පොදකෙ යථා;
අඤ්ඤමඤ්ඤෙහි ව්‍යාරුද්ධෙ, දිස්වා මං භයමාවිසි.’’
"දියත්තක මත්ස්‍යයින් මෙන් තෘෂ්ණාධියෙන් සැලෙන උනුන් හා පිළිමල්වැගිය සත්වයා දැක මා තුළ බිය උපණැ’යි පැවසෙන බුද්ධ වචනයෙහි පරම ධ්වනියෙහි වතුර හිඳුණු දියපාරක මාළුන් දඟලන්නා සේ යුද්ධ භූමියේ ප්‍රාණය වෙනුවෙන් දඟලන මිනිසුන්ගේ වියරු මෙන්ම ශෝකාකූලභාවයන් පිළිබඳ කියවෙයි. කැපුම් කෙටුම් තුවාල සහිතව දඟලන අනේක වධ වේදනා විඳින මිනිසුන් මෙන්ම ඉවක් බවක් නැති ඝාතනයන් පිළිබඳ කියැවෙයි. මේ වූ කලි, මරණය සියැසින්ම දැක ඇතිිවූ අපමණ කලකිරීම හරහා තමන් තුළම සිදුවූ අන්තර්භාෂණය පදනම් කරගනිමින් ජීවිතය පිළිබඳ ‘අනිත්‍යය’ කවරක්දැයි අවබෝධවුණු ගැඹුරුතර මිනිසකුගේ අධ්‍යාත්මික කම්පනය නොවෙත් ද?
‘අත්තදණ්ඩ සූත්‍රය’ දන්නා කිසිවෙක් බුද්ධ දර්ශනයේ ශාස්තෘවරයා වර්ග සංහාරක යුද්ධයක් සමඟ පටලවා ගන්නේ නැත.
ඉංග්‍රීසි විජිතවාදී ගොඩනැංවීමක් වන දෙමුහුන් සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය ගැඹුරු බුද්ධ දර්ශනය හා කිසිඳු සම්බන්දයක් නැත. නමුත් මෙම ‘සුප්‍රබුද්ධ දෘෂ්ටිවාදය’ විසින්, සකල ම්ලේච්ඡ-පාදඩ-නරුම ක්‍රියාවන් ආවරණය කරගත හැකි කඩතුරාවක් බවට ‘බුද්ධ’ පිරිහෙළනු ලැබ ඇත. ජන භීෂක, රාජ්‍ය ත්‍රස්තය නිල නීතිය පවට පත් කෙරෙන ජන භීෂක අණපනත් වලට පවා ශුද්ධවරභාවය හිමිවන්නේ මෙම දෘෂ්ටිවාදී හීක්මීම තුළ ය. ‘සිංහල වම’ අවශ්‍යයෙන් ම සහ කැමැත්තෙන්ම මෙම අණපනත් හි පංගුකාරීත්වය තුළ සිටියි. නෝංජල් වාමාංශිකයෝ අලුත් වෙස්මුහුණකින් පැමිණෙමින් සිටින පරණ ‘ත්‍රස්ත’ මහාසෝනා සමඟ හුරතල් වෙමින්, හොරගල් අහුලමින් සිටින අතර සලකවිද මහසොහොනන්ට කොන්දේසිට විරහිතව එරෙහි වෙමින් කොන්දේසි විරහිතකව සටන් කරනවා වෙනුවෙට මහසෝනාගේ අත-පය, නිය-දත්, ගඳ-සුවඳ ආදී අනු අංග ගැන කතා කරමින් සුපුරුදු පරිදිම කල් මරති. ඒත් උතුරු නැඟෙනහිර දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව, ‘රාජ්‍ය ත්‍රස්තවාදයේ’ අලුත් වෙස් මුහුණට මේ වන විටත් තමන්ගේ විරෝධය තීරණාත්මක ලෙස සනිටුහන් කරමින් සිටිති.
එවන් පසුබිමක තවමත් අලුත් අවුරුදු කණාමුට්ටි බිඳින දකුණ, මෙම ත්‍රස්ත පනතේ මතුපිට භීෂක මුහුණ වන විජේදාස රාජපක්ෂට සත්තම දමමින් ඔහුගේ මුහුණ පශ්චාත්භාගයක් බවට පත් කළ මාලිමාවේ හරිණි අමරසූරිය ආචාර්යවරිය ලිස්සන ගහේ නග්ගන්නනට වෙර දරිමින් සිටීම උත්ප්‍රාසජනක ය.
ත්‍රස්තපනත් ඉතිහාසය හා ඇය නියෝජනය කරන දේශපාලන ධාරාවේ පවතින අවියෝජනීය බව හොඳින්ම දන්නා අප හිතමිත්‍ර සිත්තර ප්‍රගීත් රත්නායක "ජාජබට විතරක් නෙවි ලංකාවටම ගැහැනී හරිණී" යැයි සිය ෆේස්බුක් ස්ටේටස්සුවක ලෑමෙන් මතුකරන්නේ කවර උත්ප්‍රාසයක්දැයි සමාජයක් ලෙස අප විමසා බැලිය යුතුව ඇත.
වෙසක් පුන් පසළොස්වක සඳ නැඟී විත් තිබෙන්නේ උත්ප්‍රාසයම වරනඟන මෙවන් ‘ත්‍රස්ත’ පසුබිමක ය. 2009 වසරේ යුද්ධයේ අවසානම අදියරේ දෛනික මිලිටරි ඝාතන ලැයිස්තුවේ වැඩිම දෙමළ ජනතාවක් ඝාතනය කරනු ලැබූ දිනය කවදාදැයි ඉතිහාසය හදාරන්නට කැමැති සියල්ලන් දත යුතු ය. ඒ වෙසක් පුන් පසළොස්වක පොහොය දා ය. ඊට හේතුව සඳ එළිය සේ අචින්ත්‍යය නොවේ. සිතක් ඇත්නම් සිතාගන්නට කිසිසේතම බැරිකමක් නැත. සත්‍යය මෙයයි. වෙසක් පුන් පසළොස්වක දා හඳ එළිය නිසා මිනිස් ඔලුගෙඩිවලට ඉලක්කය ගැනීම සිංහල මිලිටරියට වඩා පහසු වී තිබිණ.
ඉදින් පෝ දා සඳ එළිය, භයානක සංඥාවක් නොවේ ද?
(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී
(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 මැයි 07 )