පි. බී. අල්විස් පෙරේරාගේ නිදි මරන්නෙ ඇයි කවි පෙළ මට හදිසියේ සිහිපත් විය.
මේ කවි පෙළ මට මුලින්ම කියවන්නට ලැබුණේ මාසික කවි සගරාවකිනි. ඒ හුඟක් ඉස්සර දවසකය. ඒ කවිපෙළ වෙත ළගාවිය හැකි වුණේ එහි සමහර කොටස් මට අදටත් කට පාඩම් නිසාය. නිදි මරන්නෙ ඇයි අම්මා කෙනෙකුගේ තනිය සාංකාව හූල්ලන රිද්මය ප්‍රති නිර්මානය කිරීමකි. තනි වූ මොහොතක දියණියක් තම මව සනසවන්නීය. අම්මා කෙනෙකුට දියණිකයක ළග සිටීමත් මහත් සහනයක් බව අල්විස් පෙරේරාගේ කවිපෙළ කියවන්නෙකුට සිතෙනු ඇත.
නිදි මරන්නෙ ඇයි කවි පෙළ හොඳ නිර්මානයකි. තම සැමියා අපේක්ෂාවෙන් නිවසේ පිල්කඩ මත හිඳගෙන තැවුලින් පසුවන මවකගේ කල්පනා මෙහිදී හෙමිහිට රෝපනය වන්නේ පැලපත ගොයම මෝරන්නා වාගේ ය. අල්විස් පෙරේරා තම ව්‍යක්ත කමනීය කවි බස මෙසේ හසුරුවන්ට පටන් ගනී.
ඊයම් පාටැති සුදුමැලි අඩසඳ
කඳු බෑවුම අයිනෙන් බැස්සා
අහසේ ගෑවුණ සඳරැස් බිංදුව
අඳුරු යකිනි සළුවෙන් පිස්සා
ඔහු පළමුව කියන්නේ රාත්‍රීයක මූසල ගති සොබාවය. අහසේ අඩ සඳක් පායා තිබිණි. ඊයම් පාටැති සුදුමැලිව දුබල එළියක් පැතිරූ ඒ අඩ සඳත් කඳු බෑවුමෙන් පහළට ලිස්සා ගොසින්ය. හාත්පස පරිසරය කළුවර බව කවියා අපට කවි බසින් කියන්නේ එසේය. ගෙපැල ගිලගත් කළුවර අඳුර අහස පුරාම ගෑවිලාය තමන් අපේකෂා කරන සිද්ධිමය කාරණාවේ හුදෙකලා බව කවියා අපට කියන්නට තමන් ඇසුරු කළ සම්භාව්‍ය සාහිත්‍ය අත්දැකීමක මතක අතරට ගමන් කළා වැනිය
සිරවුණ මොහොතේ සිට ගුමු ගුමු දී
මී මැසි නාදය කැළැම්බුණේ
මීදුම් සලුවක් පොරවා ගනිමින්
නින්දේ පසුවෙයි නෙළුම් වනේ
රාත්‍රීය උදාවී ඇත අඳුර පැතිරී ඇත. ගමන් කළ නොහැකිව ජීවිත නතරව පවතී. පැතුරුණ කළුවර රාත්‍රී ජීවිත සිරකොට ගෙන සිටී. මෙහිදි සංස්කෘත කවියක සුගන්ධවත් ආඝ්‍රාණයක් ආභාෂයක් අපට සිහිපත් වේ. විලේ හැකිළී ගිය නෙළුමක් චලනය වන්නේ කෙසේද? නෙළුම් මලට පන ඇවිත් ද? නැත. මල්පැනි සොයා පැමිණී මී මැස්සෙකු නෙළුම් මල තුළ සිරවෙලාය. මලෙහි සිරවුණ මී මැස්සෙකු ඉන් පිටවීමට උත්සාහ දැරීම චලනයට හේතුවයි. ඉර බැස යන විටත් මලෙහි ලැග සිටි මී මැස්සා හැකිළුන මලේ සිරවෙලා ය. ඉන් පිටවීමට තැත් කරන උගේ දැඟලිල්ලෙන් නෙළුම් මල සෙලවෙන බව එකී සංස්කෘත කවිය විස්තර කරයි.
කවිය කාලිදාසගේ නිර්මානයක් විය හැකිය. එහෙත් මේ කවියේ කියැවෙන චලනය දැඟලිල්ල සිදු වන්නේ මුලූ පරිසරයම නිදන යාමයකය කවියා මෙහිදි රාත්‍රීය ලෝකය හෝ අවකාශය නෙළුම් වනයකට උපමා කරයි.
තණ උඳු පියලිය
මැද්දේ වැතිරී
හැකිළී නිදියයි නිදි කුම්බා
අඳුරේ තනිවී
නිදිමත දැනෙමින්
කෝකිලයා නිදි සක පිම්බා
අඳුර බිඳ නැගෙන කොවුල් හඩක් අපට ඇසෙයි. කෝකිල කූජනය හරහා කවියා අපට කියන්නේ පරිසරයේ මේ රාත්‍රීයෙහි කවුදෝ නිදි වරමින් සිටින බවකි. ඒ මොහොතෙහි ලෝකයම නිදිගෙන ඇති බව කවියා අපට කියන්නේ මෙසේ ය.
පූසා නිදියයි බල්ලා නිදියයි
පයක් නවා ගිරවාද නිදි
අම්මා පමණක් මා උකුළට ගෙන
හිස පිරිමැද නිදි නැතිව හිඳී
(ඩබලිව්. ඒ. අබේසිංහ සංස්කරණයේ මේ කවියේ තුන්වෙනි පෙළ ගිරවා මැදිරිය තුලෙහි නිදි යනුවෙන් දැක්වේ. මෙහි මා දක්වා ඇත්තේ මුල් සගරාවේ පළවු ආකාරය යි. සත්තකින්ම ගිරවුන් නිදන්නේ පයක් නවාගන ය.) ගෙපැලේ නේවාසික සියල්ලන්ම නිදි ගෙනය. අමු තිත්ත කළුවර ය. අඩ සඳ බැස ගොස්ය. රාත්‍රීය තනිය, හා සාංකාව කොටු කරනු ලැබ සිටී. සියල්ලන්ම නිදි ගත් රාත්‍රීයෙහි දැරියක් අම්මා සමග අවදිව සිටින්නීය. නිදි මැරිල්ලේ හේතු කාරණා අපට හෙළි වන්නේ හෙමිහිටය. ඒ මාතාව කිසි විටෙකත් කතා නො කරයි. දොඩමළු වන්නී දැරිය පමණය. කවියා මේ දැරිය ගැන මනරම් උපමා උපමේය මිශ්‍ර කළ චමත්කාර සෞන්දර්ය සිත්තමක් ඇඳ අපට පෙන්වයි.
කැදලි තොටිල්ලේ
මවගේ තුරුල්ලේ
අත් තටුවක් යට හොටය තබා
සීන නදිය මැද
පාවෙයි තනියම
හෙට පියඹා යන කුරුළු බබා ඒ කුරුළු බබාත් මේ දැරියත් හෙට දවස මෙනෙහි කරමින් සිහින නදියේ පා වෙමින් සිටින්නාහ.
කවියා මේ පියඹා යාම හරහා දැරියගේ යව්වන වයසත් ඇය කුල ගෙයින් නික්ම යාමට ආසන්න බවත් අපට කියයි. ඒ හරහා තනිවන මවගේ හෙට දවසත් අපූරුවට නොකියා කියා සිටී.
නිදි මරන්නේ ඇයිදැයි කවියා හෙළි කරන්නේ මේ නිමේෂයේ ය. නිදි වරමින් සිටින ගැහැනිය අපට තවමත් මුණ ගස්වා නැත. දරුවාට දැනෙන්නේ මවගේ දෑස පිස හිසට උර හිසට ගිලිහෙන කඳුළු විය හැකිය. මව පිලෙහි වාඩිලාගෙන සිටින්නී තම සැමියා එන තුරුය. දැරියත් තම පියානන් පොරොත්තුව සිටින්නීය. මේත් අර කුරුලු කූඩුවේ බබා අනුව යන තවත් මිනිස් බඛෙකු විය හැකිය.
කොතරම් දොර ළග හිඳගෙන උන්නත්
පියා නොවෙයි අද නම් එන්නේ
ඈනුම් පොදි බැඳ එළියට විසි කොට
අම්මේ ඇයි ඔබ නො නිදන්නේ
ඈනුම් පොදි බැඳ එළියට විසි කිරීම යනු පලක් නැති දෙයක් බැහැර කිරීමක් සලකුණු කරයි. එය කියන පමාවෙන් කළ හැකිද යන්න දන්නේ ඇයගේ මව පමණි. එහෙත් අද දරුවන් ජීවිතය ලෝකය දකින්නේ එසේ විය හැකිය. එය ඇයට වචනයෙන් විස්තර කිරීමේ හැකියාවක් නැත. අම්මා ගොළු වෙලාය. දියණිය තව තවත් දොඩමලු වෙයි.
අම්මේ මල් සුවඳක වෙස් අරගෙන
නාහෙන් ඇතුලුව සනසන්නම්
ඇස් දෙක යන්තම් අඩවල් කළ විට
සිහින ගොඩක් අරගෙන එන්නම්
දෑස පියා ගන්නැයි දුව මවට කියයි. එවිට අම්මාට ඇයත් යන්ට යනවා වැනි හැගීමක් ඇතිවුණාට සැක නැත. අම්මලා ජීවිතය ආරම්භ කරන්නේ වදා හදා ගත් මහ පිරිස් පිරිවරාගෙනය. ඔවුන්ගේ ජීවිත වියපත් වන්නේ සහ පිරිවර වියැකි තට්ට තනියෙන් හුදෙකලා වෙමිනි. දුවණියත් කවදා හෝ දවසක තමන් හැර යන බව අම්මා දන්නවා විය හැකිය. එවන් අසරණ මොහොතක එනම් දුවණියක තමන් හැර යාමට සූදානම් මොහොතක ඇතිවන කතාබහ කියැවෙන අල්විස් පෙරේරාගේ තවත් පද්‍ය නිර්මානයක පද පේළි මා වටා මෙසේ දෝංකාර දෙයි
දුව-රත්තරනෙන් පොඩි ඇඳුමක් දෙන්නට
කහ කුරුල්ලෝ නටමින් අඩ ගැහුවෝ
මව-යන්න එපා දුව යන්න එපා
දුව-වලාකුළට හැන්දෑවේ ආවොත්
ඕනැම පාටක පට රෙදි දෙනවලූ
බලන්නකෝ අර කවුද කියනවා
මව-යන්න එපා දුව යන්න එපා
දුවණියන් දුරු රට යාම නිසා තනිවූ පිය වැරුන්ගේ වේදයිතයන් කිසි තැනෙක ලියා තබා නැතිද?
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )