විකාශන නියාමන කොමිසන් සභා පනත පිලිබඳ සාකච්ඡා ලියවිල්ලක් දැන් උපදේශනය සඳහා විවෘත කොට ඇත.

උපදේශනය සඳහා විවෘත කිරීම හැර, එහි ඇති හොඳ කිසිවක් සොයා ගැනීම දුෂ්කර ය. එහි ඇති නරක වන්නේ විපක්ෂයේ ඇතැමුන් කියන පරිදි බලපත්‍ර අවලංගු කිරීමේ ප්‍රතිපාදන අඩංගුකර තිබීම නොවේ. කොමිසම ආණ්ඩුව පාලනය කරන පක්ෂයේ උපකරණයක් විය හැකි වීම යි. යෝජිත පනතේ ඇති වරද නම් එය නියම මාධ්‍ය නියාමනයකට ප්‍රතිවිරුද්ධ දෙය වීම යි.

2018 වර්ෂයේ මම සභාපති වශයෙන් කටයුතු කල විශේෂඥ කමිටුවේ වාර්තාව සලකා බලන බවට ඉඟි කොට ඊට හාත්පසින්ම වෙනස් ආකෘතියක් මත පදනම්ව සකස් කරන ලද මෙම ලියවිල්ලට සමගාමීව නිල වශයෙන් 2018 වාර්තාවද මහජන උපදේශනයට විවෘත කල හොත් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගත හැකි වනු ඇතැයි විශ්වාස කරමි.

ස්වාධින නියාමනය

commiunication 550x300 acf cropped

නුතන නියාමනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ, 1990 දී, විදුලි සංදේශ නියාමන කොමිසම මගිනි. මෙම සංකල්පය කෙතරම් ආගන්තුකද යත් අපට සිංහල නවවාදයක් (අලුත් වචනයක්) නිර්මාණය කර ජනප්‍රිය කිරීමට සිදු විය. එසේ වුව ද, විදුලි සංදේශ නියාමන කොමිසම පිහිටුවන ලද නීතිය ප්‍රශස්තබාවයෙන් බොහෝ ඈතය. එහි සභාපතිවරයා වන්නේ එම අවස්ථාවේ කොමිසම අයත් වන කුමන හෝ අමාත්‍යංශයක ලේකම්වරයා ය. මෑතක් වන තුරු එම තනතුර හෙබවූයේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ය. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සේවය කරන්නේ “කැමැත්ත ඇති තෙක්”ය. මෙම පදයෙහි තාක්ෂණික තේරුම වන්නේ ඇමතිවරයාට කැමති ඕනෑ ම කෙනෙකු පත් කළ හැකි බව සහ ඉවත් කිරීම සඳහා හේතු දැක්විය යුතු නැති බව යි.  

19 වැනි ශතවර්ෂය අවසානයේ එක්සත් ජනපදයේ ස්වාධීන නියාමනය මතු වුයේ ඒකාධිකාරී දුම්රිය සේවා මිලකරණය වැනි මතභේදාත්මක ප්‍රශ්න දේශපාලන මැදිහත්වීම්වලින් තොරව විසඳීම සඳහා ය. විද්‍යුත් මාධ්‍ය නියාමනය ආරම්භ වුයේ ඉන් දශක ගණනාවකට පසුව ය. දේශපාලනයේ දී මාධ්‍යය ඉටුකරන තීරණාත්මක භූමිකාව සැලකිල්ලට ගත් විට, මාධ්‍ය නියාමකයින් නීතියට අනුව කටයුතු කිරීමත්, ක්‍රියා පටිපාටි අකුරට අනුගමනය කිරීමත්, දේශපාලන බලපෑම්වලට අවනත නොවීමත්, සහතික කිරීම ඊටත් වඩා වැදගත් බව පෙනෙන්නට තිබිණි. එක්සත් ජනපදයේ ෆෙඩරල් සන්නිවේදන කොමිසම ලෝකයේ පළමු මාධ්‍ය නියාමන ආයතනය ලෙස පිළිගනු ලබයි.

 

මෙම ඓතිහාසික සන්දර්භය ශ්‍රී ලංකාවට වලංගු නොවන්නක් නොවේ. 1997 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ එකල සිටි අමාත්‍යවරයා ඉදිරිපත් කල “ශ්‍රී ලංකා විකාශන අධිකාරි පනත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 10 වැනි වගන්තියට පටහැනි ය. ශ්‍රී ලංකා විකාශන අධිකාරි පනත පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් (නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව) තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත විය යුතු, සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියට අනුකුල වන ලෙස ජනමත විචාරණයක දී ජනතාවගෙන් අනුමත විය යුතු බව අපි තීන්දු කරමු” යනුවෙනි. 

මෙය බරපතළ තීන්දුවකි. එක්සත් ජනපදයේ ස්වාධින මාධ්‍ය නියාමනයේ සන්දර්භය තුළ වර්ධනය වූ නීති විද්‍යාව මත පදනම් වෙමින්, පනත සමස්තයක් ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබීය. නීතිපතිට එරෙහිව අතුකෝරල සහ වෙනත් අය නඩුව මගින් ලබා දී තිබු පුර්වාදර්ශය වර්තමාන පනත කෙටුම්පත් කරුවන් විසින් සම්පුර්ණයෙන් නොතකා හරිනු ලැබ ඇත. 

අග විනිසුරු ජී පී එස් ද සිල්වා , විනිසුරු අමරසිංහ සහ විනිසුරු රාමනාදන් ප්‍රකාශ කළේ “එහි සාමාජිකයින් ඔවුන්ගේ ධුර කාලය පිළිබඳ කිසිදු ආරක්ෂාවකින් තොරව ආණ්ඩුවෙන් පත්කරනු ලැබුවන් වීම නිසා සහ ඇමතිවරයා ලබා දෙන මාර්ගෝපදේශ අනුගමනය කිරීමට එය බැඳී සිටින නිසා පනත මගින් අපේක්ෂා කරන නියාමන ආයතනය පැහැදිලිව ම ස්වාධීනත්වයෙන් තොරය. එපමණක් නොව, වැඩ සටහන් සහ වාණිජ වෙළෙඳ දැන්වීම ඉදිරිපත් කිරීමට මැදිහත්වීමට පනත මගින් ඇමතිවරයාට බලය ලැබෙනු ඇති අතර එමගින් සාධාරණත්වයේ මුලධර්මය යටපත් වීමත්, මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය වීමත්, නීතිමය වශයෙන් පිළිගත නොහැකි වෙනස් කොට සැලකීමේ පදනමක් මත ඇතැම් විකාශකයන්ට අනුග්‍රාහක ආදායම් අහිමි කිරීමත් සිදුවනු ඇත.”

ස්වාධීනත්වය නොමැතිවීම

සජිත් සහ අනුරට ජනපතිගෙන් ආරාධනාවක් !

වර්තමාන පනත මගින් පස් දෙනෙකුගෙන් යුත් තීරණ ගැනීමේ මණ්ඩලයක් යෝජනා කරයි. නිල බලයෙන් පත්වන සාමාජිකයින් වන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් (ඔහු කොමිෂන් සභාවේ ප්‍රධාන ගිණුම්කරණ නිලධාරියා ද වනු ඇත) සහ විදුලි සංදේශ නියාමන කොමිසමෙහි  අධ්‍යක්ෂ ජනරාල් වරයා ය (ඉහත පෙන්වා දී ඇති පරිදි  ව්‍යවස්ථාපිත ස්වාධීනත්වයක් නොමැති අයෙකි). ඉතිරි සාමාජිකයින් තිදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබේ. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කරන්නේත් වෙනස් කරන්නේත් ජනාධිපතිවරයාගේ අභිමතය අනුව බව කවුරුත් දන්නා කරුණකි. ඕනෑ ම සාමාජිකයකු සභාපති ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට හැකි ය. අමාත්‍යංශ ලේකම් / ප්‍රධාන ගිණුම් නිලධාරී ලෙස ඔහුට ඇති අති විශාල බලය අනුව වෙනත් කිසිවකුට සභාපති ලෙස ඵලදායි ලෙස ක්‍රියා කිරීමට අපහසු වනු ඇත.

ව්‍යවස්ථාදායක සහ විධායකය සම්බන්ධ වන පත්වීම් ක්‍රියා පටිපාටි නියාමන ආයතනවලට ඉහළ සුදුසුකම් ඇති පුද්ගලයින් පත් කිරීම සහතික කිරීමේ එක් ක්‍රමයකි. නමුත් එය අදාළ වන්නේ කොමිසමේ සාමාජිකයින් පස් දෙනාගෙන් තිදෙනකු සඳහා පමණකි. නිල සාමාජිකයින් දෙදෙනකු සහ පත් කළ සාමාජිකයින් තිදෙනෙකු ඇති විදුලි සංදේශ නියාමන කොමිසමේ පුර්වාදර්ශය බලන්නේ නම්, මෙම පත් කළ සාමාජිකයින් තිදෙනාට තීරණාත්මක කාර්යයක් ඉටුකිරීමට ඉඩක් නැති බව පෙනෙනු ඇත. එසේ වුව ද, ඔවුන්ටද වැඩි බුරුලක් දී නැත.

 

ස්වාධීන නියාමනයේ අරමුණ වන්නේ නියාමකයින් දේශපාලන සලකා බැලීම් හෝ බලපෑම්වලට යටත් නොවී නීතියට අනුව කරුණු මත පදනම්ව තීරණ ගැනීම යි. එය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කරන්නේ ඔවුන් පදවියෙන් ඉවත් කිරීම අපහසු කිරීම මගිනි. පනතේ s 9(2) අනුව, වැරදි හැසිරීම පිලිබඳ තමන්ගේ මතය මත පදනම්ව, ව්‍යවස්ථා සභාවට දැනුම් දීමෙන් පසු, ඔවුන් තනතුරෙන් පහ කිරීමට ජනාධිපතිට හැකි ය. අනුමැතියක් අවශ්‍ය නැත. දැනුම්දීම පමණකි. මෙය ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ වලට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය අනවශ්‍ය බවට පසුගිය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ භාවිතා වූ භාෂාවේ දෝංකාරයකි.

කොමිසමේ මග පෙන්වීම් යටතේ විකාශන නියාමන අධිකාරියේ බලය ක්‍රියාත්මක කිරීම විකාශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වගකීමකි. සාමාජිකයින් අර්ධ කාලීන වන නිසා මෙය බලගතු තනතුරක් වනු ඇත. යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත මගින් දූෂණ විරෝධී කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පත් කිරීමට සහ ඉවත් කිරීමට විධිවිධාන සලසා ඇත. නමුත් විකාශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එවැනි ආරක්ෂාවන් නොමැත. පත්කිරීම සහ ඉවත් කිරීම කොමිසමේ අනුමැතියට යටත් ඇමතිවරයාගේ අභිමතය පරිදි වන්නේය.

බලපත්‍ර සම්බන්ධව

බලපත්‍ර දීම වාර්ෂිකව බව s. 5(c)  හි සඳහන් ය. නවීන විකාශන පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ආයෝජන පිළිබඳව කෙටුම්පත් කරන්නන්ගේ නොදන්නා කම සහ බලපත්‍ර අලුත් කිරීමේ නිසි ක්‍රියා පටිපාටි පවත්වාගෙන යාම සඳහා යෙදවිය යුතු සම්පත් ප්‍රමාණය නොසලකා හැරීම මෙමගින් පෙන්නුම් කරයි. විකාශන ජාල, මැදිරි සංකීර්ණ ආදිය සඳහා ප්‍රාග්ධන ආයෝජනයට අවිනිශ්චිතබවන් තොර වාතාවරණයක් අවශ්‍ය බව අලුතෙන් කිව යුතු නැත.

අවලංගු කළ නොහැකි බලපත්‍ර නිකුත් කිරීම අර්ථ ශුන්‍යය. බලපත්‍ර නිශ්චිත කාලයක් සඳහා විය යුතු අතර එම කාල පරාසය ඇතුලත නිශ්චිතභාවයක් තිබිය යුතු ය. නමුත් බලපත්‍ර කොන්දේසි අඩු සහ වැඩි වශයෙන් උල්ලංඝනය කිරීම් සඳහා ප්‍රතිවිපාක තිබිය යුතු ය. එසේ නොමැති නම්, බලපත්‍ර කොන්දේසි අර්ථ ශුන්‍ය නොවන්නේද?  නියාමන භාවිතය තුළ, ඉතාම කලාතුරකින් සිදුකරන බලපත්‍ර අවලංගු කිරීම හඳුන්වා දෙන්නේ "මරණ දඬුවමක්" ලෙසයි. බොහෝ අවස්ථාවන්හී දී, දඬුවම් වෙනත් මෘදු ආකාර ගනී. ඕනෑම දඬුවමක් පැනවීමට නම්, ස්වභාවික යුක්තියේ මූලධර්ම අනුගමනය කරන බව සහතික කරන ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතු ය.

radioproduction940x529

හොඳ ම භාවිතය වන්නේ, නැවත අලුත් කිරීම සඳහා නිශ්චිත ක්‍රියා පටිපාටි සහිතව වසර පහේ සිට දහය දක්වා වූ බලපත්‍ර කාලයකි. බලපත්‍රයේ අවසන් වසර කිහිපයේ දී ආයෝජන අධෛර්යමත් කෙරන බව නිරීක්ෂණය කොට ඇති නිසා, යහපත් හැසිරීම මත පදනම්ව අලුත් කිරීමේ උපකල්පනය අවසන් අවුරුදු දෙකේ දී ලබාදීම දියුණු නියාමන භාවිතයක් ඇති රටවල සාමාන්‍ය තත්ත්වයකි. නමුත් නීතිය මගින් බලපත්‍ර වාර්ෂික ලෙස නිර්වචනය කළහොත් මේ කිසිවක් අර්ථවත් නොවේ.

වාර්ෂික බලපත්‍ර සන්දර්භයක් තුළ විකාශකයින් ආයෝජන සිදු කරන්නේ කෙසේද සහ ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි යමෙකු ප්‍රශ්න හැකි ය. වසරක කෙටි චක්‍රය තුළ නිසි බලපත්‍ර අලුත් කිරීමක් හෝ බලපත්‍ර-කොන්දේසි-උල්ලංඝන ක්‍රියා පටිපාටි සඳහා කාලයක් නොමැති බැවින්, තීරණ ගනු ලබනුයේ, ඇමතිවරයා සමඟ සුහදව කටයුතු කිරීම, ඔහුගේ ප්‍රියතම පුණ්‍ය කටයුතුවලට දායක වීම වැනි වෙනත් සාධක මත බව බලපත්‍රලාභින් තේරුම් ගනු ඇත. එමෙන් ම, විකාශන නියාමන අධිකාරියෙහි සාමාජිකයින් සහ නිලධාරීන් සතුටු කිරීම බලපත්‍ර කොන්දේසි පිළිපැදීමට වඩා වැදගත් වනු ඇත. ඉහළ අවදානමක් පැවතිය හැකි වුව ද, දැන් එම කටයුතු කරගන්නා ආකාරයට ම, සාම්ප්‍රදායික අනුග්‍රහ පදනම් ක්‍රමය තුළට ඒවා ඇතුළත් කරගත හැකි ය.

පසුගිය වසර හතළිහ පුරාවට බලපත්‍ර නිකුත් කර ඇත්තේ ගාස්තු, නිශ්චිත කාල සීමාවන් සහ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම් සඳහා ප්‍රකාශිත නිර්ණායක සහ ක්‍රියා පටිපාටි නොමැතිව ය. එහෙත්, 2007 දී ගුවන්විදුලි ජාලයකම බලපත්‍ර එක රැයකින් අවලංගු කරනු ලැබී ය. ඒවා නැවත ලබා දුන්නේ හිමිකරු පාලක පක්ෂයට බැඳෙන බවට දිවුරුම් දුන් විට පමණි. 2006 දී චන්ද්‍රිකා රූපවාහිනී සේවාවක් විධිමත් විභාගයකින් තොරව එක රැයකින්  වසා දමා එහි උපකරණ රාජසන්තක කරනු ලැබී ය. පසුව උපකරණ මුදා හරින ලද අතර බලපත්‍රය ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුවේ සමාගම විකිණීමට සහ එවකට සිටි අගවිනිසුරුවරයාගේ ප්‍රියතම පුණ්‍යායතනයට විශාල පරිත්‍යාගයක් කිරීමට හිමිකරු එකඟ වීමෙන් පසුව ය.

නියාමනයේ වපසරිය

phone broadcasting know the law

විකාශන නියාමන කොමිසම විසින් විකාශන සේවා නියාමනය කරනු ඇති බව s 5 මගින් ප්‍රකාශ කොට ඇත. අර්ථකථන අසම්පූර්ණ ය. "ඇමති" යන යෙදුම ගැන හැර වෙනත් නිර්වචන එහි  සපයා නැත. මෙය ප්‍රහේලිකාවක් වන්නේ එවකට අමාත්‍යවරයාගේ ඉල්ලීම මත 2018 සකස් කරන ලද  විශේෂඥ වාර්තාවේ අවශ්‍ය අර්ථ දැක්වීම සපයා ඇති බැවිනි.

විකාශන සේවා: "ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් විකාශනය සඳහා වෙන් කර ඇති විද්‍යුත් චුම්භක වර්ණාවලියේ එම කොටස භාවිතා කරමින් එම සේවාවන් ලබා ගැනීමට සුදුසු උපකරණ ඇති පුද්ගලයින්ට රූපවාහිනී වැඩසටහන් හෝ ගුවන් විදුලි වැඩසටහන් ලබා දෙන සේවාවන්."

 

එම වාර්තාව මගින් කේබල් සහ චන්ද්‍රිකා විකාශන සේවා නියාමනය කිරීම සඳහා විධිවිධාන සලසා ඇති අතර එම සේවා අර්ථ නිරූපණය කර ඇත. සමහර විට ප්‍රශ්නය  වූයේ මෙම නැවත සම්ප්‍රේෂණ (retransmission) සේවා පිළිබඳව ලියැවිල්ලේ සඳහනක් නොමැති වීම සහ කේබල් සහ චන්ද්‍රිකා සේවාද ඇතුළත් විකාශන සේවා පිළිබඳ සංයුක්ත අර්ථ දැක්වීමක් සැකසීමට කෙටුම්පත්කරුවන් සැලසුම් කර තිබීම විය හැකි ය. විකාශන සේවාවක් සැපයීම සඳහා පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබා ගත හැකි බලපත්‍ර සංඛ්‍යාව කොමිෂන් සභාව විසින් තීරණය කරනු ඇති බව s 6 (e) සඳහන් වීමෙන් මේ බව අනුමාන කළ හැකි වෙයි. පද්ධතියේ විවිධ අංග සඳහා  වෙන වෙනම බලපත්‍ර ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ නම් මිස විකාශකයෙකුට බලපත්‍ර ගණනාවක්  අවශ්‍ය වන්නේ ඇයි?

බලපත්‍ර ලබා දීම අර්ථවත් වීමට නම්, බලපත්‍රයක් නොමැතිව විකාශන සේවාවක් ක්‍රියාත්මක කිරීම වරදක් විය යුතුය. S. 18 ප්‍රකාශ කරන්නේ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරී බලය යටතේ හැර කිසිම පුද්ගලයෙකු හෝ ආයතනයක් ශ්‍රී ලංකාව තුළ විකාශන සේවාවක් ක්‍රියාත්මක නොකළ යුතු බව යි. නමුත් මෙය ක්‍රියාත්මක කිරීමට නම් බලපත්‍රයක් නොමැතිව ක්‍රියා කිරීම වරදක් බවට පත්විය යුතු ය. එම කොටස අඩංගු කර නැත.

522455 848x441

බලපත්‍රය යටතේ සැපයිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි විධිවිධාන නොමැති වූ විට,  2006 දී CBNSat සහ LBN ආයතන අත්තනෝමතික ලෙස වසා දැමීම වැනි ක්‍රියාවන් නැවත සිදුවීමට ඉඩ ඇත. එමෙන් ම, විදේශීය ආයතන මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවල චන්ද්‍රිකා විකාශන සේවා සැපයීමට එරෙහිව ක්‍රියා කිරීමට රජයට හෝ නියාමකයාට හෝ  නොහැකි වනු ඇත. දේශීය චන්ද්‍රිකා සහ විකාශන සේවා ක්‍රියාකරුවන්ට අනුව මෙම විදේශීය සැපයුම්කරුවෝ ශ්‍රී ලංකාවේ බදු ගෙවන සහ දේශීය නීතිවලට අනුකූලව කටයුතු කරන දේශීය ආයතනවලට එරෙහිව අසාධාරණ තරගයක යෙදී සිටිති. මෙම ගැටළු සහිත ප්‍රශ්නය ගැන කෙටුම්පත්කරුවන් කිසිඳු සැලකිල්ලක් දක්වා නැති බව පෙනෙන්නට තිබේ.

S. 6(g) වගන්තිය මගින් ප්‍රකාශ කරන්නේ කොමිෂන් සභාව “ඉලෙක්ට්‍රොනික විකාශන සේවා අධීක්ෂණය සහ නියාමනය” කරන බවයි. "ඉලෙක්ට්‍රොනික" යන විශේෂණ පදයේ දුර්ලභ ඇතුළත් කිරීම නිසා විකාශනයේ දී භාවිතා වන සංඛ්‍යාත භාවිතයේ තාක්ෂණික නියාමනය සම්බන්ධව වන්නක් ලෙස ඉහත වාක්‍ය ඛණ්ඩය අර්ථකථනය කිරීමට කෙනෙකු පෙළඹවිය හැකි ය. විකාශනය නියාමනය කිරීම සඳහා ඇති ප්‍රධාන පදනම වන්නේ එහි දී  හිඟ සංඛ්‍යාත භාවිතය යි. ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය මගින් විකාශනය සඳහා වෙන් කර ඇති සංඛ්‍යාත සම්බන්ධයෙන් පැහැදිලි ශ්‍රම බෙදීමක් අර්ථ දක්වා තිබීම හොඳ විය හැකි ය.

ඇමති  භූමිකාව

Broadcasting regulatory bill FxvmsE4WwAYUvfk

අන්තර්ගතයන් (වැඩ සටහන්, ප්‍රවෘත්ති, ආදිය) සම්බන්ධ ප්‍රශ්නවල දී ඇමතිගේ මැදිහත්වීම ගැන අතුකෝරල තීන්දුව ලියු විනිසුරුවරු අප්‍රසාදය පළ කලහ: “රෙගුලාසි සැදීමට ඔහුට ඇති අසීමිත බලය සමග ඇමතිවරයා, “මාර්ගෝපදේශ” මගින්  වැඩසටහන් ඉදිරිපත් කිරීමට බාධා කළ හැකි තත්ත්වයකට පත් කර ඇති අතර, එමඟින් වගකීම් සහගත විකාශනයේ හදවත වන සාධාරණත්වයේ මූලධර්මවලට හානි සිදුවිය හැකි ය."

අන්තර්ගතයනට බලපාන ප්‍රමිතීන් සැකසීමේදී සෘජු දේශපාලන මැදිහත්වීම වැළැක්විය හැකි එක් ක්‍රමයක් නම්, යම් පන්තියක බලපත්‍රලාභීන් විසින් ප්‍රබල මහජන සහභාගිත්වය ඇතිව සාමූහිකව ව්‍යවහාර  සංග්‍රහයන් වර්ධනය කිරීම සහ ඒවා ස්වාධීන කොමිෂන් සභාවක් විසින් අනුමත කර බලපත්‍ර කොන්දේසි ලෙස ඇතුළත් කිරීම යි. ව්‍යවහාර සංග්‍රහය උල්ලංඝනය කොට ඇති බවට පොදුජන හෝ කොමිසමේ හෝ සාමාජිකයකු විශ්වාස කරන විට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි ය. මැදිහත් වීමෙන් පසු, බරපතළ සිදුවීම් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම් ලෙස සලකා කටයුතු කළ හැකි ය. කොමිසම ස්වාධීන නම් සමස්ත ක්‍රියාවලිය ම දේශපාලනයෙන් පරිවරණය වේ.

S. 5(l) මගින් කොමිෂන් සභාවට චර්යා ධර්ම සංග්‍රහ සැකසීමට බලය ලබා දී ඇති අතර 6(k) මගින් ව්‍යවහාර සංග්‍රහ සකස් කිරීමට බලය දී ඇත. නමුත් 19 වැනි වගන්තිය මඟින් ඉහත සඳහන් කිසිදු උල්ලංඝනයක් විමර්ශනය කිරීමට විමර්ශන කමිටුවට බලය ලබා දී නැත. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම් සහ ආචාර ධර්ම උල්ලංඝනය කිරීම් පමණක් ගැන බලය දී ඇත. සංග්‍රහ වර්ග තුනක් ගැන සඳහන් වීම අඟවන්නේ පරිවර්තන හෝ වෙනත් දෝෂ ඇති බව යි. එසේ වුව ද, කොමිසම විසින් ව්‍යවහාර සංග්‍රහ සංවර්ධනය කිරීමේ සහ බලාත්මක කිරීමේ ඉහත සඳහන් ආකෘතිය පනතින් අපේක්ෂා කිරීම කළ නොහැකි ය. කුමන තත්ත්වයක් තුළ වුවත්, ස්වාධීන නොවන කොමිසමක් අන්තර්ගතයේ කරුණු විනිශ්චය කිරීම ගැටළු සහගතය.

යෝජිත ආකෘතිය අනුව, බලපත්‍ර කොන්දේසි අමාත්‍යවරයා විසින් සාදන ලද සහ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද, රෙගුලාසි මගින් නියම කරනු ඇත (s. 34). කොමිසමට බලයක් නැත. මෙය අතුකෝරල තීන්දුවට ඍජු ලෙස පටහැනි ය.

නිගමනය

දුර්වල ලෙස කෙටුම්පත් කොට ඇති සාකච්ඡා ලියවිල්ල නියාමනයේ යහපත් භාවිතයන්ට පටහැනි ය. අතුකෝරළ නඩුවේ දක්වා ඇති නිර්ණායක භාවිතා කල හොත්, එය සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙනීයනු ඇත. අංග සංශෝධනය කිරීමෙන් එය නිවැරදි කළ නොහැකි ය. උචිත එකම ක්‍රියා මාර්ගය වන්නේ නැවත මුල සිට පටන්ගැනීම බව පෙනෙන්නට තිබේ.


රජයට මුදල් තිබේ ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත මෙන්න

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්