විද්‍යුත් මාධ්‍ය නියාමනය කොයිබටද - 2 (මෙම ලිපිය මාධ්‍ය නියාමනය කොයිබටද මැයෙන් වූ පසුගිය ලිපිය හා සම්බන්ධ වේ.)
පසුගිය දින කිහිපය පුරාම රූපවාහිනී නාලිකා කිහිපයක් මා අමතා ඔවුන් මාධ්‍ය නියාමනයට විරුද්ධව වැඩසටහනක් කරන බවත් ඒ සඳහා සහභාගි විය හැකිදැයි විමසනු ලැබුවා. ඊට ප්‍රතිචාර දක්වමින් මා පෙන්වා දුන්නේ මාධ්‍ය නියාමනය සම්බන්ධව විවිධ පැති තිබෙන බැවින් ඊට විරුද්ධව පමණක් කතා කිරීම මේ මොහොතේ මාධ්‍ය වල භූමිකාව නොවිය යුතු බවයි. ඒ සියලු මතවලට විවෘත වේදිකාවක් සකස් කර දීම මෙම මොහොතේ රූපවාහිනී නාලිකා වල භූමිකාව විය යුතු බව මම අවධාරණය කළා. ඊට පසු ඔවුන් මට කතා කළේ නැහැ.
රූපවාහිනී නාලිකාවල මෙම හැසිරීමෙන් ම විද්‍යුත් මාධ්‍ය නියාමන අවශ්‍යතාවය තහවුරු වෙනවා.
රූපවාහිනී නාලිකා ඔවුන්ගේ සාකච්ඡා වැඩසටහන් සඳහා සහභාගි කර ගන්නේ ඔවුන්ගේ දේශපාලන සහ ව්‍යාපාරික න්‍යාය පත්‍රයට අනුව අදහස් දක්වන එකම මතය දරන පිරිසකි. යමක් ගැන සාකච්ඡා කිරීමට සහභාගී වන සියලු දෙනාම දරන්නේ එකම මතයක් නම් ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමේ ඵලය කිම? (දේශපාලනඥයෝ සහභාගීවන සාකච්ඡා වැඩසටහන් සඳහා මෙම තර්කය අදාළ නොවේ. එම වැඩසටහන් රේටින් වැඩි කරගැනීම ඉලක්ක කරගත් කිසිවක් ගැඹුරින් සාකච්ඡා නොකරන (බලු පොරයක්) රංගනයකි.
ජාතික ප්‍රතිපත්ති පිළිබඳව ජනතාවට නිවැරදි තීරණයක් ගත හැක්කේ එකම මතයක් දරන පිරිසගේ අදහස්වලට සවන්දීමෙන් නොව ඒ පිළිබඳව විවිධ අදහස් මත දරන අයගේ මතවලින් සන්නද්ධ වීමෙනි. මතභේදයට තුඩුදෙන මාතෘකා ආවරණය කිරීමේදී රූපවාහිනී නාලිකා වල භූමිකාව විය යුත්තේ ඒ පිළිබඳව විවිධ මානයන්ගෙන් සාකච්ඡා කිරීමට විසම්මුතික වේදිකාවක් විවෘත කර දීමයි.
එහෙත් අවාසනාවකට මෙන් විද්‍යුත් මාධ්‍ය නියාමනය වැනි මතභේදයට තුඩුදෙන මාතෘකාවලදී ආණ්ඩුවේ මාධ්‍ය ආයතන ආණ්ඩුවේ හඬ බවට පත්ව තිබියදී පෞද්ගලික රූපවාහිනී නාලිකා ඒ ඒවායේ හිමිකරුවන්ගේ හඬ බවට (His master’s voice) පත්වී තිබෙනවා.
රූපවාහිනී හිමිකරුවන්ගේ සහ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව හඩ නගන මාධ්‍යකරුවන්ගේ ප්‍රකාශවලින් සහ මාතෘකාව ගැන ප්‍රාමාණික අධ්‍යයනයක් නොමැති, එහෙන් මෙහෙන් අහුලාගත් කොටස් එකතු කරගෙන නියාමනයට විරෝධය පළ කරන පුද්ගලයන්ගෙන් රූපවාහිනී වැඩසටහන් පිරී තිබෙන බව පේනවා.
අදහස් වෙළඳපොල රූපවාහිනී හිමිකරුවන්ගේ හෙජමනියට නතුවීම
මෙරට අදහස් වෙළඳපොල (idea market) රූපවාහිනී හිමිකරුවන්ගේ සහ ඔවුන්ගේ උවමනාව මත හඬගන්නන්ගේ හෙජමනිය ට නතුව පැවතීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විවිධත්වයට(diversity), බහුවිධ බවට (pluralism) සහ ජනතාවට විවිධ අදහස් වලට ප්‍රවේශ වී තීරණ ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කිරීමක්.
රූපවාහිනී නාලිකාවල මෙම හැසිරීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම දැයි නැවත සලකා බැලිය යුතුව තිබෙනවා.
යුනෙස්කෝවේ සන්නිවේදන සංවර්ධන අංශයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර පෙන්වා දෙන පරිදි ප්‍රජාතන්ත්‍රවාදී රටක අදහස් පළ කිරීමේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ නිදහස යන්නෙන් අදහස් වන්නේ රූපවාහිනී නාලිකා හිමිකරුවන්ගේ මත පළ කිරීමේ නිදහස නොව, රටේ ජනතාවට නිදහසේ අදහස් මත පළ කිරීමටත්, විවිධ අදහස් මත වෙත ප්‍රවේශ වීමටත්, නිවැරදි තොරතුරු වෙත ප්‍රවේශ වීමටත් තිබෙන නිදහසයි.
රූපවාහිනී නාලිකා වල භූමිකාව විය යුත්තේ යමි මාතෘකාවක් ගැන විවිධ මත දරන අයට එම මත ප්‍රකාශ කරන්න ඒ පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් පවත්වන්න වේදිකාවක් හදලා දෙන එකයි.
සාකච්ඡා වැඩසටහනකින් නරඹන්නන් බලාපොරොත්තු වන්නේ මාධ්‍ය ආයතන හිමිකරුවාගේ මතය පමණක් ප්‍රකාශ කරන පුද්ගලයන්ගේ ඒක පුද්ගල සන්නිවේදනයට නිෂ්ක්‍රිය නරඹන්නෙක් ලෙස ඇහුම්කන්දීම නොව විවිධ මතවලින් සන්නද්ධ වී අදාල ප්‍රස්තුතය පිළිබඳව නිවැරදි තීරණයක් ගැනීමට අවස්ථාව ලබා ගැනීමයි.
එහෙත් වර්තමාන රූපවාහිනී නාලිකා සාකච්ඡා වැඩසටහන් එකම මතය දරන, නිතර රූපවාහිනී කැමරා ඉදිරියේ පෙනී සිට සමාජ ප්‍රාග්ධනයක් (social capital) උපයාගැනීම අරමුණු කරගත් ප්‍රදර්ශන කාමයෙන් සහ කැමරා කාමයෙන් පෙළෙන නාගරික ප්‍රභූන්ගේ හඬ බවට පත්ව තිබේ.
රූපවාහිනී මධ්‍යස්ථාන හිමිකරුවන්ට සීමිත මහජන දේපල දේපලක් වන “විද්‍යුත් තරංග මාලා හිමිකාරත්වය” නැමැති, සමාජයේ සෙසු අයට නොලැබෙන වරප්‍රසාදය ජනතාව විසින් (ජනතාව වෙනුවෙන් රජය විසින්) ලබාදී ඇත්තේ මහජනයාගේ හඬට ආදේශකයක් ලෙස හිමිකරුවාගේ හඬ නැගීමට නොව මහජනතාවට නිවරදි තීරණ ගැනීමට හැකි වන පරිදි විවිධ අදහස් මත වලට විවෘත වේදිකාවක් සකස් කර දීමටයි.
මෙම වාතාවරණය පමණක් සැලකිල්ලට ගනු ලැබුවත් සීමිත මහජන දේපල භාවිතා කරන රූපවාහිනී නාලිකා තමන් වෙත පැවරී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී, සමාජීය භූමිකාව ඉටු නොකරන බැවින් ඒවා බහුවිධ අදහස් සහ මත වලට විවෘත වේදිකාවක් හදා දෙන ආකාරයට නියාමනය කිරීමේ අවශ්‍යතාවය මතු කර දක්වයි.
රූපවාහිනී නියාමනයේ අවශ්‍යතාවය මතු කරන මෑතකාලීන සිදුවීම් කිහිපයක්
පසුගිය සතියේ එක්තරා රූපවාහිනී නාලිකාවක පුවත්පත් කියවන වැඩසටහනක් ඉදිරිපත් කළ මාධ්‍ය කරුවා එම රූපවාහිනී නාලිකාව විසින්ම පළකරන පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් උපුටා දක්වමින් පැවසුවේ ලිංගික ක්‍රියාකාරකම් ස්වීඩනයේ ක්‍රීඩාවක් ලෙස පිළිගෙන ඇති බවයි. මෙය ව්‍යාජ ප්‍රවෘත්තියකි. මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති (Fake News) සහ දුෂ් තොරතුරු (Mal information) විශාල ප්‍රමාණයක් මෙවැනි වැඩසටහන් තුලින් දිනපතා නරඹන්නන් හමුවේ තබයි.
ව්‍යාජ පුවත් සහ දුෂ් තොරතුරු නිසා ජනතාවට නිවරදි, සමස්ත තොරතුරු වලින් සන්නද්ධ වී ඡන්ද පොලේ දී නිවැරදි තීරණයක් ගැනීමේ අවස්ථාව අහිමි කරයි. එය සමාජයේ යහ පැවැත්මට ඉතාමත් අහිතකර ලෙස බලපායි. නිදසුන් වශයෙන් 2019 ජනපතිවරණයේදී මෙවැනි රූපවාහිනී ව්‍යාජ ප්‍රවෘත්ති මත පදනම්ව ජනතාව ගනු ලැබූ තීරණය නිසා වර්තමානයේ ලාංකීය ජනතාව මුහුණපා සිටින ඛේදජනක තත්ත්වය නිර්මාණය වීම පෙන්වා දිය හැකිය. 2019 ජනපතිවරණයට බලපෑ ව්‍යාජ ප්‍රවෘත්ති ගණනාවකි:
* නැගෙනහිර පළාතේ හෝටලයකින් වඳ පෙති දැමූ කොත්තු ලබාදුන් බවට ප්‍රචාරය කළ ප්‍රවෘත්ති
* වෛද්‍ය සාෆි කාන්තාවන් වඳ කළ බවට ප්‍රචාරය කළ ප්‍රවෘත්ති
* පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව ප්‍රචාරය කළ ප්‍රවෘත්ති
* කැලණියේ නාගරාජයා පිළිබඳව මහාචාර්ය හිමිනමක් කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රචාරය කළ ප්‍රවෘත්ති
* ඇමරිකාව සමග අත්සන් කිරීමට යෝජිත වූ එම් සී සී ගිවිසුම පිළිබඳව කුමන්ත්‍රණ න්‍යාය ඉදිරිපත් කරමින් ප්‍රචාරය කළ ප්‍රවෘත්ති
තවද COVID වසංගත සමයේ ජනතාව විද්‍යාත්මකව තීරණය ගැනීම වළක්වමින් රූපවාහිනී නාලිකා මගින් ප්‍රචාරය කළ දුෂ් තොරතුරු ජනජීවිතයට අයහපත් ලෙස බලපානු ලැබීය. නිදසුන් වශයෙන් දේශීය වෛද්‍යවරයෙක් COVID සඳහා බෙහෙතක් සොයාගත් බව සහ ගඟට මුට්ටියක් දැමීම නිසා COVID පැතිර යෑම වළකින බවට ප්‍රචාරය කළ ප්‍රවෘත්ති දැක්විය හැකිය.
වින්දිතයන්ගේ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කිරීම
විවිධ සිදුවීම් වලට සම්බන්ධ වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ පෞද්ගලික තොරතුරු , ඒ පිළිබඳ රූපරාමු ප්‍රවෘත්ති වලට අන්තර්ගත කිරීම මගින් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට රූපවාහිනී නාලිකා මඟින් කර තිබෙන හානියද විශාලය.
නිදසුන් වශයෙන් වෛද්‍ය සාfපි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය හෙළිදරව් කිරීම, COVID රෝගීන්ගේ පෞද්ගලිකත්වය හෙළි දරව් කිරීම, දිවයිනේ විවිධ ප්‍රදේශවල ලිංගික හිංසනයට ලක්වූ ලමයින්ගේ පෞද්ගලික තොරතුරු සහ සැකකරුවන් වැරදිකරුවන් ලෙස හඳුන්වා ප්‍රචාරය කිරීම ආදිය පෙන්වා දිය හැකිය.
ප්‍රවෘත්ති තුළ ජනවාර්ගිකත්වය, ස්ත්‍රි පුරුෂ භාවය මතුකර හුවාදක්වමින් එම සිදුවීම් වලට වෙනත් අර්ථකථන ලබාදෙන ප්‍රවෘත්ති ද බහුලව දක්නට ලැබේ.
රූපවාහිනී නාලිකා විසින් තමන්ට ලැබුණු වරප්‍රසාදය අවභාවිතා කිරීම පිළිබඳව කදිම උදාහරණයක් 2015 මැතිවරණයෙන් පසුව දක්නට ලැබිණි. යහපාලන ආණ්ඩුව තමන්ට මැතිවරණයේදී උදව් කළ එක්තරා රූපවාහිනී නාලිකාවක් සඳහා අලුතෙන් රූපවාහිනී තරංග මාලා ලබාදී ඇති බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශ කරනු ලැබුවා. එදින අදාල රූපවාහිනී නාලිකාවේ සජීවීව වැඩසටහන් ඉදිරිපත් කරමින් තිබියදී එහි සේවය කරන මාධ්‍යකරුවෙකු බව පෙනුණු පුද්ගලයෙක් මැදිරියට කඩා පැනීමට සලස්වා අදාල ප්‍රකාශය ගැන සඳහන් කරමින් ඔබ කවුද අපි ගැන කතා කරන්න යයි පවසමින් එම හිටපු ඇමතිවරයාට චෝදනා මුඛයෙන් පිළිතුරු දෙන්නට පටන් ගත්තා. එහිදී හිටපු අමාත්‍යවරයාට එම චෝදනා වලට පිළිතුරු දීමට අවස්ථාවක් නොවීය.
මෙහිදී රූපවාහිනී නාලිකාව වෘත්තීයභාවයෙන් කටයුතු කලා නම් සිදු කළ යුතුව තිබුණේ අලුතෙන් රූපවාහිනී තරංග මාලා තම රූපවාහිනි නාලිකාවට ලබා දුන්නේ ද යන්න පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසමෙන් විමසා බලා එහි ප්‍රතිචාරය ඉදිරිපත් කිරීමයි. මෙය රූපවාහිනී නාලිකා විසින් තමන්ට ලැබී තිබෙන වරප්‍රසාදය, ඒ නිසාම ලැබෙන බලය උපරිම වශයෙන් අවභාවිතා කිරීම පිළිබඳ කදිම උදාහරණයකි.
අගතියට පත්වන පාර්ශවයන්ට පැමිණිලි කිරීමට ආයතනයක්
රූපවාහිනී නාලිකා විසින් තමන්ට ලැබී තිබෙන වරප්‍රසාදය, ඒ නිසාම ලැබෙන බලය අවභාවිතා කිරීම, දුෂ් තොරතුරු, ව්‍යාජ ප්‍රවෘත්ති වාර්තා කිරීම, පෞද්ගලිකත්වය හෙළි දරව් කිරීම, සහ අපහාසය ආදිය නිසා අගතියට පත්වන පාර්ශවයන්ට සහ පුද්ගලයන්ට ඒ පිළිබඳව පැමිණිලි කිරීමට හෝ සාධාරණය ඉටුකරගැනීමට අවස්ථාවක් නොමැත.
නිදසුන් වශයෙන් වෛද්‍ය සාෆි සියලු චෝදනාවලින් නිදහස් වුණ ද ඔහුට රූපවාහිනී නාලිකා සිදුකල හානිය ප්‍රතිපූර්ණය කර ගැනීමේ අවස්ථාවක් නොමැත. තවද මැතිවරණ සමයේ දුෂ් තොරතුරු (mal information) ප්‍රචාරය කරමින් මැතිවරණ ප්‍රතිඵල විකෘති කළ රූපවාහිනී නාලිකා විසින් සමාජයට කළ හානිය ප්‍රතිපූර්ණය වන්නේ කෙසේද?
ප්‍රවෘත්ති මාධ්‍යකරුවන්ගේ නිදහස (Editorial Independence)
ජනතාව නිවැරදි තීරණ ගැනීමට නම් ඔවුන්ට ලැබෙන ප්‍රවෘත්තිවල වෘත්තියභාවයක් තිබිය යුතුය. එනම් රූපවාහිනී ප්‍රවෘත්තිවල නිරවද්‍යතාවය (accuracy), සමබර බව, අපක්ෂපාතිත්වය(impartiality) ආරක්ෂාව වී තිබිය යුතුය. ප්‍රවෘත්ති මාධ්‍යකරුවන්ට වෘත්තීයභාවයෙන් යුතු ප්‍රවෘත්ති ජනතාවට ඉදිරිපත් කළ හැක්කේ ඔවුන් සේවය කරන ප්‍රවෘත්ති කාමරය තුළ ඔවුන්ට කර්තෘ නිදහස (Editorial Independence) තිබුණොත් පමණි. එහෙත් මෙරට රූපවාහිනි මධ්‍යස්ථාන වල ප්‍රවෘත්ති කාමර වලට එවැනි නිදහසක් නොමැති බව ප්‍රසිද්ධ කරුණකි. රූපවාහිනී මධ්‍යස්ථාන හිමිකරුවන් විසින් කුමක් ප්‍රචාරය කරන්නේ ද? නොකරන්නේද යන්න පමණක් නොව ඒවාට විවිධ අර්ථකථන ලබාදීම ද සිදුකරමින් ප්‍රවෘත්ති කාමරවල සේවය කරන සංස්කාරකවරුන්ට සහ වාර්තාකරුවන්ට ඔවුන්ගේ සංස්කරණ නිදහසට සහ ස්වාධීනත්වයට බලපෑම් සිදුකරයි.
සැබැවින්ම ජනතාව රූපවාහිනී නාලිකාවලින් ප්‍රවෘත්ති වශයෙන් නරඹන්නේ එම රූපවාහිනී නාලිකා වල හිමිකරුවන්ගේ දේශපාලන සහ ව්‍යාපාරික න්‍යාය පත්‍රයට අනුව සකස් කළ ප්‍රවෘත්තිය. එමගින් නිවරදි තොරතුරුවලින් සන්නද්ධව ජනතාව තීරණ ගැනීම වළක්වයි. මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් තර්ජනයකි.
ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක අවශ්‍යතාව
ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ රටක ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතීමට නම් සීමිත මහජන දේපලක්,.. “වරප්‍රසාදයක්” ලෙස භාවිතා කරන රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක අවශ්‍යතාවයි. එවැනි කොමිසමක් දේශපාලන මැදිහත් වීමෙන්, ආණ්ඩුවේ, නිලධාරීන්ගේ සහ වෙළෙඳපොළ බලපෑමෙන් නිදහස්ව ස්වාධීනව පිහිට විය යුතුය. එහි කාර්යභාරය විය යුත්තේ විද්‍යුත් තරංග මාලා උපරිම මහජන යහපත සඳහා (public interest) භාවිතා වන ආකාරයේ විද්‍යුත් මාධ්‍ය වපසරියක් නිර්මාණය කිරීමයි. තවද එම කොමිසම මගින් මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තොරතුරු දැනගැනීමේ අයිතිය , විද්‍යුත් මාධ්‍යයන්ගේ විවෘතභාවය, වගවීම (openness and accountability) සහ සංස්කරණ නිදහස (Editorial Independence) සහතික විය යුතුය.
(මතු සම්බන්ධයි)
(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්වවිද්‍යාලය.
යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත මෙන්න
සබැඳි ලිපි :
මාධ්‍ය නියාමන ප්‍රමිතීන්ට පටහැනි සාකච්ඡා ලියවිල්ලක් - (මහාචාර්ය රොහාන් සමරජීව)
විද්‍යුත්මාධ්‍ය නියාමනය හුදු ව්‍යාපාරික ගනුදෙනුවක් ද ? - (විජයානන්ද ජයවීර)
විද්‍යුත් මාධ්‍ය නියාමනය කොයිබට ද 1 ? - (ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)