ලංකාවේ දේශපාලන වාසනාව පෙන්ඩනයක් සේ පැද්දෙමින් තිබේ. සති දෙකකට පෙර තත්ත්වය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වාසිදායක බවක් පෙනෙන්නට තිබුනි. පාර්ලිමේන්තුවේ බහුතරය IMF ගිවිසුම අනුමත කළ

අතර,විපක්ෂයේ කුඩා කන්ඩායම් එයට එරෙහිව චන්දය දුන්නද, ප්‍රධාන විපක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියේ එම පක්ෂය තුළ සිටින බලගතු ආර්ථික විශේෂඥයින් කිහිපදෙනෙකුගේ බලපෑම නිසා විය යුතුය.  

ප්‍රධාන විපක්ෂයේ මෙම නොසැලකිලිමත් දේශපාලනිකව දුර්වල ප්‍රවේශය නිසා ජනාධිපතිවරයා සහ රජය නිවැරදි මාර්ගයේ යන බවට හැඟීමක් රට තුල ඇති කළ අතර ප්‍රධාන විපක්ෂය පවා ජනාධිපතිවරයාගේ ස්ථාවරයට සහය දක්වන බව පෙනී ගියේය. කෙසේ වෙතත්, IMF  සාකච්ඡා ආන්ඩුව විසින් දුර්වල ලෙස කලමණාකරනය කිරීම විවේචනය කරමින් විපක්ෂ නායකවරයාගේ නවතම ප්‍රකාශයන් පෙන්නුම් කරන්නේ පක්ෂ මතය පිළිබඳව ප්‍රධාන විපක්ෂය තුළ තවමත් විවාදයක් පවතින බවයි.

 ස්ථාවර ආදායම් ලබන්නන් කාණ්ඩයේ කිහිප දෙනෙක් සිතන්නේ රට ස්ථාවර වෙමින් පවතින බවයි. ඔවුන් හේතුව ලෙස දකින්නේ, මූලික වශයෙන් මේ දිනවල ඉන්ධන හෝ ගෑස් පෝලිම් නොමැති නිසාත් විදුලිය කැපීම් නොමැති බවයි. කෙසේ වෙතත් පසුගිය කාලය තුළ ඉන්ධන, ගෑස් සහ විදුලි පරිභෝජනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ඔවුන් නොදන්නවා විය හැකිය.

 

අධික මිල වැඩිවීම මෙන්ම ආර්ථික ක්‍රියාකාරකම්වල හැකිලීම යන දෙකම මෙම පරිභෝජන අඩුවීමට හේතු වී ඇත. 2023 පළමු කාර්තුව තුළ ඉන්ධන ආනයනය ඩොලර් මිලියන 520 සිට ඩොලර් මිලියන 390 දක්වා 25% කින් පහත වැටීම නිරීක්ෂණය කරන විට ඉන්ධන මිල ඉහළ යාමේ බරපතල කම පැහැදිලි වේ. 2022 වසරේ සැලකිය යුතු ලෙස ඉහළ යාම ජනතාවගේ මතකයෙන් මැකී ගොස් ඇති බව පෙනේ.

මෑත කාලීනව ලෝක වෙලඳපොල තුල තෙල් මිල විශාල වශයෙන් අඩුවී තිබියදීත් ලංකාව තුල පෙට්‍රල්  ලීටරයක් රුපියල් 254 සිට රුපියල් 318 දක්වාත් ඩීසල් මිල රුපියල් 176 සිට රුපියල් 310 දක්වාත් ඉහළ ගොස් තිබේ. ඉහළ යන විදුලි පිරිවැය සමාජයේ දුප්පත්ම කොටස්වලට අසමාන ලෙස බලපායි.

නිදසුනක් වශයෙන්, මසකට ඒකක 30 ට අඩු පරිභෝජනය කරන දුප්පත් පවුල් සඳහා විදුලි බිල දස ගුණයකින් ඉහළ ගොස් ඇත. මීට පෙර, අධික ගෑස් මිල හේතුවෙන් පාරිභෝගිකයින් සැලකිය යුතු පිරිසක් විකල්ප විසඳුම් වෙත යොමු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රටේ මාසික ගෑස් මිලඳී ගැනීම් සැලකිය යුතු ලෙස අඩු වී තිබේ

rupee

 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව පළමු කාර්තුවේදී සමස්ත ආර්ථිකය 11.5% කින් හැකිලී ඇත. 23.4% ක හැකිලීමක් අත්විඳිමින් කර්මාන්ත අංශයට දැඩි ලෙස පහර වැදී ඇත. මෙම ප්‍රතිඵල 2022 දී සමස්ත ආර්ථිකය 8% කින් හැකිලුනාට අමතරවය. ආර්ථිකය සක්‍රීය කිරීමේ වැඩපිලිවෙලක් රජයට නැති තත්වයක් තුල බොහෝ ව්‍යාපාර වසා දැමීමට බලකෙරෙන මෙම ආර්ථිකය සංකෝචනය වීමේ ප්‍රවණතාවය දිගටම පවතිනු ඇත.

 
ඔබ සමහර ඉංග්‍රීසි පුවත්පත් විවෘත කළහොත්, පුද්ගලික ව්‍යවසායකයන්ගේ දේපළ අත්පත් කර ගැනීම් හරහා විකිණීමට ඉදිරිපත් වන බැංකු දැන්වීම්වලින් පිරුණු පිටු ඔබට පෙනෙනු ඇත. පාර්ලිමේන්තුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ විවාදයේදී අනාවරණය වූ පරිදි මේ වසරේ මුල් මාස හතර තුළ එවැනි දේපළ 400කට අධික ප්‍රමාණයක් බැංකු විසින් වෙන්දේසි කර ඇත. මෙම අනුපාතය මත පදනම්ව, වසරේ මුල් මාස හය තුළ ව්‍යවසායකයින් 500 සිට 600 කටවත් ඔවුන්ගේ දේපළ බැංකුවලට අහිමි වන්නට ඇතැයි සාධාරණ ලෙස උපකල්පනය කළ හැකිය.

ව්‍යවසායකයෙකු අළුතින් නිර්මාණය කිරීම අභියෝගාත්මක ප්‍රයත්නයක් වන අතර ව්‍යාපාර වසා දැමීම හරහා අපට ව්‍යපාරිකයන් අහිමි වෙමින් පවතී .  අපේ රටේ මිලියන 6 කට වැඩි සේවක සංඛ්‍යාවක් සමඟ සැසඳීමේදී හාම්පුතුන් ප්‍රමාණය 230,000 කට වඩා අඩුය. කුඩා හා මධ්‍ය පරිමාණ අංශයන් මිලියන 4.5 කට වැඩි පිරිසක් සේවය කරන අතර අපගේ ආර්ථිකයට 55% ක පමණ දායකත්වයක් සපයන බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. අවාසනාවකට මෙන්, මෙම අංශය  ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. උද්ධමනය පාලනය කිරීමේ හොඳම මාර්ගය ලෙස බලහත්කාරයෙන් ආර්ථික හැකිලීම යෝජනා කළ ආර්ථික විශේෂඥයින් මේ අනතුර වටහා ගෙන නොතිබුනි.

මූල්‍ය සාක්ෂරතාව තරමක් අඩු රටක, යෝජිත IMF ගනුදෙනුවේ ක්‍රියාකාරීත්වය සහ ඇඟවුම් තේරුම් ගැනීමට බොහෝ අය අසමත් වෙති. ඩොලරයට සාපේක්ෂව රුපියල තාවකාලිකව ඉහළ යාම ගැන සතුටු වන අය එය අපගේ ණය ආපසු ගෙවීමට පටන් ගැනීමට පෙර එය හුදෙක් කෙටි විවේකයක් බව වටහා ගැනීමට අසමත් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තුවලටම අනුව, 2023 සහ 2027 අතර වසරකට ඩොලර් බිලියන 5.6 ක සාමාන්‍යයක් ලෙස ඩොලර් බිලියන 28 කට ආසන්න මුදලක් ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට වගකීමක් ඇති බව ඔවුන් නොදනී.

ජනප්‍රිය විශ්වාසයට පටහැනිව, IMF අප වෙනුවෙන් මෙම ණය ආපසු ගෙවීමේ වගකීම භාර නොගනී. ඒ වෙනුවට, එය අපට 5% ක පමණ ඉහල පොලී අනුපාතයකට අරමුදල් සපයයි, එය ණය ගැනීම දිගටම කරගෙන යාමට අපට නීත්‍යානුකූල භාවය ලබා දීමට පමනක් උපකාර කරයි. මෙම අතිරේක ණය ගැනීම් මගින් සිදුවනු ඇත්තේ දැනටමත් ඇමරිකානු ඩොලර් බිලියන 46කට වඩා පවතින අපගේ පවතින විදේශ ණය තවත් උග්‍ර කිරීමයි. වත්මන් ශ්‍රී ලංකා රජයට  අවශ්‍යව ඇත්තේ නිරන්තරයෙන් වැඩි ණය ලබා ගැනීම සහ වත්මන් ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආධාර ඉල්ලා සිටීම වෙනුවට අභ්‍යන්තරව ආදායම් උත්පාදනය කිරීමේ සැලසුමකි.

image ca656c5599 

 ඉදිරි වසර පහ තුළ සිය ණය පියවීමට අවශ්‍ය වන ඩොලර් බිලියන 28 ස්වාධීනව සුරක්ෂිත කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට නොමැති බව IMF ගිවිසුමේ  නිර්මාපකයන් හොඳින් දැන සිටියහ. එබැවින්, මෙම යෝජනාවට දැනට පවතින ණය හිමියන්ගෙන් ඩොලර් බිලියන 14 ක අඩු කිරීමක්, IMF වෙතින් ඩොලර් බිලියන 2.9 ක්, ලෝක බැංකුව සහ ADB වැනි අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පාලම් ආධාර වශයෙන් ඩොලර් බිලියන 3.75 ක් සහ ඩොලර් බිලියන 3 ක පමණ අමතර ණය කල දමාගැනීමක් ඇතුළත් වේ. ඉතිරිව ඇති ඕනෑම ශේෂයක් නව කෙටි කාලීන වාණිජ ණය හරහා ආවරණය කිරීමට සිදු වනු ඇත . මේ අනුව අළුතින් ණය ගෙන පරණ ණය ගෙවීමේ චක්‍රය යලින් ආරම්භ වනු ඇත.


ආර්ථිකය සක්‍රීය කිරීමට වත්මන් රජයට ඇති හැකියාව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විශ්වාසයක් නොමැති බව පැහැදිලිය. ඉදිරි වසර පහෙන් පසුවත් ආර්ථිකයේ 3%ක වර්ධනයක් පමණක් සිදුවනු ඇතැයි ඔවුන්ගේ අනාවැකිවලින් එය පැහැදිලි වේ. මෙවන් අභාග්‍ය සම්පන්න තතවයක් යටතේ , 2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමේ ජනාධිපති වික්‍රමසිංහගේ අපේක්ෂාවන් දවල් දකින සිහිනයක් මිස අන් කිසිවක් නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සෘජුවම ශ්‍රී ලංකා රජයේ උරහිස් මත පැටවෙන බව වටහා ගැනීම ඉතා වැදගත් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් අපගේ ණයහිමියන් සමඟ සාකච්ඡා වල නිරත නොවනු ඇත. සාකච්ඡා සඳහා වගකීම ඇත්තේ ශ්‍රී ලංකා රජයට සහ අපගේ නීතිමය සහ මූල්‍ය උපදේශකයින්ටය. සාකච්චාවල ඵලදායීබව රඳා පවතින්නේ ඔවුන්ගේ කුසලතා මතය.

ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් විට IMF වෙතින් සහය ලබා ගැනීමේ අදහසට අප බොහෝ දෙනෙක් සහාය දැක්වූ බව සැබෑවකි. ලොව පුරා බොහෝ රටවල් අවස්ථා ගනනාවක එසේ කර ඇත. ශ්‍රී ලංකාවම මීට පෙර කිහිප වතාවක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වී ඇති බැවින් නැවත එසේ කිරීමේ ගැටලුවක් මතු නොවේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ඉල්ලා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදීය. තවද, ශ්‍රී ලංකා රජය අපගේ ණයහිමියන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මූල්‍ය හා නීති උපදේශකවරුන් වන Lazard සහ Clifford Chance පත් කළේ ඔහුගේ කාලයේ ය. කෙසේ වෙතත්, 2022 ජූලි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සිදු වූ අතර, එතැන් සිට නව ජනාධිපතිවරයා එම ක්‍රියාවලිය භාර ගත්තේය.

පිළිතුරු අවශ්‍ය එක් ප්‍රශ්නයක් නම්, ප්‍රතිවිපාක සම්පූර්ණයෙන් සලකා බැලීමකින් තොරව IMF ගිවිසුම අවසන් කිරීමට අප ඉක්මන් වූයේද යන්නයි. ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය හිමියන්ට සමානව සැලකිය යුතුය යන චීන ස්ථාවරය අපි නොසලකා හැරිය අතර එය චීන පෙරමුණේ යම් නොසන්සුන්තාවයක් ඇති කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බහුපාර්ශ්වික ණය හිමියන් බැහැර කිරීමට IMF සමඟ එකඟ වීමෙන් පසුව, රජය අපගේ අනෙකුත් ණය හිමියන්ට විවෘත ලිපියක් නිකුත් කරමින්, සියලුම ණය හිමියන්ට සමානව සලකන බව ප්‍රකාශ කරනා ලදී. කෙසේ වෙතත්, මෙම ඉක්මන් කැපවීම දැන් අපට ගැටලුවක් නිර්මාණය කර ඇත. කිසියම් ණය අඩු කිරීමක් සලකා බැලීමට අවශ්‍ය නම් විදේශීය ණය හිමියන් විසින් දේශීය ණය හිමියන්ට සාපේක්ෂව සමාන සැලකිල්ලක් ඉල්ලා සිටින බව පැහැදිලිය. ඒ අනුව ඌරාගේ මාළු ඌරාගේම පිට තබා කැපීමක් සිදුවනු ඇත.

CBSL3 e1665554648746

 නැවත වරක් මේ සංඛ්‍යා විමසා බලමු. මහ බැංකු වෙබ් අඩවියේ ඇති විස්තර වලට අනුව අනුව, 2023 මාර්තු වන විට, අපගේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 45.5ක් වූ අතර, අපගේ දේශීය ණය ප්‍රමාණය රු. ට්‍රිලියන 13.2ක් හෝ USD බිලියන 36ක් සමාන වේ. විදේශීය ණය හිමියන්ගෙන් ඩොලර් බිලියන 14 ක අඩුවීමක් අපේක්ෂා කරන්නේ නම්, එය අපගේ සම්පූර්ණ වගකීම්වලින් 30% ක් නියෝජනය කරයි. දැන්, මෙම ණයහිමියන් දේශීය ණය හිමියන්ටද සමානව සැලකීමට බල කළහොත් කුමක් සිදුවේද? සියලුම ණය හිමියන්ට එක හා සමානව සලකන බව අප දැනටමත් විවෘතව ප්‍රකාශ කොට ඇති නිසා මෙය සාධාරණ අපේක්ෂාවකි.

 
මේ වන විට රජය මුහුණ දී සිටින උභතෝකෝටික ප්‍රශ්නය එය බව නොඅනුමානය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොවන බවට ආර්ථිකය කළමනාකරණය කිරීමට වගකිව යුතු ඉහළ නිලධාරීන් කාලයක්  තිස්සේ මහජනතාවට සහතික විය. කෙසේ වෙතත් මේ වන විට එහි අසත්‍යතාව හෙළි වී තිබේ. ජනතාවට එවැනි සහතිකයක් ලබා දුන් එම පුද්ගලයින්ම දැන් ඔවුන්ගේම වචන අනුභව කරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය ප්‍රකාශකරමින් සිටිති. එහෙත්, ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණය හෙළි කිරීමට ඔවුහු තවමත් මැලි වෙති.  විදේශීය ණයහිමියන්ගෙන් ආසන්න වශයෙන් 30% ක අඩුවීමක් අපේක්ෂා කරන්නේ නම්, ඔවුන් දේශීය වශයෙන්  ඊට සමාන සැලකීම ඉල්ලා සිටියොත් ඇතිවන තත්වය බරපතලය.  

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ නම්, එය බලපාන්නේ කවුරුන්ද යන්න පිළිබඳ අප අවධානය යොමු කල යුතුය. මහ බැංකුවේ මූලාශ්‍රවලට අනුව රුපියල් ට්‍රිලියන 13.2 ක දේශීය ණයවලින් වැඩි ප්‍රමාණයක් භාණ්ඩාගාර බැඳුම්කර ආකාරයෙන් වන අතර එය රුපියල් ට්‍රිලියන 8.7 කි. මීළඟ සැලකිය යුතු කොටස රුපියල් ට්‍රිලියන 4.1 ක් වන භාණ්ඩාගාර බිල්පත් වලින් සමන්විත වේ. සේවක අර්ථසාධක අරමුදලේ (EPF) අරමුදල්වලින් ආසන්න වශයෙන් 90% ක් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇති බව ගණන් බලා ඇත. එබැවින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම රජය සමඟ ආයෝජනය කර ඇති සේවක අර්ථසාධක අරමුදලට සහ අනෙකුත් අර්ථසාධක අරමුදල්වලට බලපානු ඇත.

Gas Line

 මේ වන විට රජය ගන්නා අවසාන ක්‍රියාමාර්ගය කුමක්දැයි අපි තවමත් නොදනිමු. නමුත් මේ තත්ත්වයෙන් පීඩාවට පත්වන පාර්ශ්ව සම්බන්ධයෙන් ඔවුන් විනිවිදභාවයෙන් කටයුතු කර නැති බව පැහැදිලිය. ප්‍රශ්ණය වන්නේ මෙය වළක්වා ගත හැකිව තිබුනාද යන්නයි? පිළිතුර ඔව්. එය කල හැකිව තිබුනේ වඩා හොඳ සාකච්ඡා උපාය මාර්ග සමඟ ය. අපට වඩා විශාල ප්‍රශ්න ඇති තවත් බොහෝ රටවල් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව පසුගිය කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන විසඳුම් සොයාගෙන ඇත. මෑත උදාහරණ වලට යුක්රේනය, ඉක්වදෝරය, චැඩ්, මොංගෝලියාව, ඉරාකය, පකිස්ථානය සහ මෝල්ඩෝවා ඇතුළත් වේ. නමුත් ලංකාව සම්බන්ධයෙන් අප කල සාකච්චා සාර්ථක වී නැත.


මෙම තීරණාත්මක විෂය සම්බන්ධයෙන් එළඹෙන පාර්ලිමේන්තු විවාදයේදී විවිධ දේශපාලන පක්ෂවල ප්‍රතිචාර ගැන ජනතාව අවධනයෙන් සිටිනු ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් තමුන්ට චන්දය දුන්  ජනතාව අමතක කොට ආණ්ඩුවේ ඕනෑම තීරණයකට පක්ෂපාතී වෙමින් ඔවුන්ගේ නොසැලෙන සහයෝගය දිගටම ලබා දෙනවාද? ප්‍රතිවිපාකවල බර දරා සිටින ශ්‍රී ලාංකික මහජනතාවගේ ගැටලු නොසලකා හරිමින්, සමගි ජන බලවේගයට නැවත වරක් ඡන්දය දීමෙන් වැළකී සිටිය හැකිද? අනෙක් විපක්ෂ කන්ඩායම් වල ස්ථාවරය තවමත් අවිනිශ්චිතය.

ඒ කෙසේ වෙතත් ජනතාව පැත්තෙන් සිතනා මහජන නියෝජිතයන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වීමට ඇති ඉඩකඩ ඉතා සීමිතය.

Nalka
(ආචාර්ය නාලක ගොඩහේවා)
ගම්පහ දිස්ත්‍රීක් පා.ම.

PHD(UnisA),BSC.Eng(Hons) Dr
FCMA(UK).FCIM(UK),MBA • PP

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image