සිය ජීවිතයේ තුන්වැනි දශකය ගෙවාලන්නට පෙර විකසිත තරුණ වියේදීම සිවලිංගම් අරූරන් නම් දෙමළ ඉන්ජිනේරුවරයා ‘රාජ්‍ය ත්‍රස්තවාදය’
වපුරමින් තැන තැන ගිය සුදුවෑන් රථයකින් පැහැර ගත්තේ ය. ඔහුගේ ජීවිතයේ සිව්වැනි දශකය මුළුමනින්ම ඔහුට අහිමි කරන ලදි. විද්වත් අධිකරණය විසින් ඔහු ‘නිර්දෝශී කොට නිදහස්’ කරනු ලබන්නේ ජීවිතයේ පස්වැනි දශකයේ මුල්භාගයේදී ය. ඒ ඉකුත් මැයි 16වැනි දා ය.
සිවලිංගම් අරූරන් නිදහස ලබා
එදින, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. තීන්දු ප්‍රකාරව, විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ පංච මහා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඔහු නිදොස් කොට නිදහස් කරන බව මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රකාශ කෙරුණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි සිවලිංගිම් අරූරන්, සහකාර පොලිස් අධිකාරී සිසිල් ද සිල්වාට ලබා දී ඇතැයි කියන ‘පාපොච්චාරණය’ ස්වෙච්ඡාවෙන් කරන ලද්දක් නොවන බව අධිකරණය තීන්දු කළ බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ එම පාපොච්චාරණය සිය අධිකරණය ප්‍රතික්ෂේප කරන බවයි.
ඒ අනුව එකී පාපොච්චාරණය, එක් අතකින් අධිකරණය විසින් ප්‍රතික්ෂේපිත ව්‍යාජ පොලිස් ලියවිල්ලකි. තවත් අතකින් හිතාමතාම අධිකරණය නොමඟ යැවූ පොලිස් ලියවිල්ලකි. පොලීසිය විසින් චේතාන්විතව ම, අධිකරණය නොමඟ යවා ඇතැයි විග්‍රහ කර ගත හැකිවන තීන්දුවක් ප්‍රකාශයට පත්ව තිබියදී, එකී පොලිසියට එරෙහිව ගත හැකි අධිකරණ ක්‍රියාමර්ග කවරේදැයි විෂයෙහි ප්‍රාමාණිකයන් සමාජය ආමන්ත්‍රණය කර පැහැදිලි කළ යුතු ය. එය සිද්ධ වන බවක් නොපෙනේ. මේ මංකොල්ල කා ඇත්තේ නිර්දෝෂී මිනිසකුගේ සමස්ථ තාරුණ්‍යයි.
ගෝඨා ඝාතන තැත නම් ප්‍රබන්දයේ හෝ වෙනත් ‘ත්‍රස්ත’ ප්‍රබන්දයක සැකකරුවකු කිරීම සඳහාම මිස, කිසියම් සංසිද්ධියකට අදාලව කාලාන්තරයක් ලුහුබැඳ, ජංගම දුරකථන ඈ වූ සන්නිවේදන මෙවලම් ඔස්සේ කරුණු රැස්කර අදාල සංසිද්ධියට ඔහුගේ ඇති සම්බන්දය යම්තාක් දුරකට හෝ තහවුරු කරගෙන ඇත්නම්, ඔහු නිල වශයෙන් අත්අඩංගුවට ගන්නවා මිස, සුදු වෑන් රථයකින් පැහැර ගන්නට උවමනාවක් නැත. නමුත් මෙකී අපරාධ රාජ්‍ය තුළ ‘ත්‍රස්තවාදය’ ලෙස නම් කළ විෂයේදී ‘රාජ්‍ය ත්‍රස්තවාදය’ විසින් සිදු කෙරෙන්නේ කිසිවකු පැහැරගෙන රඳවාගෙන ඔහු කිසියම් ප්‍රබන්දයක වින්දිතයකු බවට පත් කිරීම ය.
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණය අසලදී සුදු වෑන් රියකින් සිවලිංගම් අරූරන් පැහැර ගැනෙද්දී ඔහු ඉන්ජිනේරු උපධිධාරියෙකි. පශ්චාත් උපාධිය පිණිස පේරාදෙණිය සරසවියේ ලියාපදිංචිව සිය අධ්‍යන කටයුතු අරඹා තිබිණ. පිත්තල හන්දියේ ප්‍රබන්දයට ඔහුගේ කිසිඳු මළ ඉළව් සම්බන්දයක් නැති වුව ඔහුගේ අධ්‍යාපන පදනම එවන් ප්‍රබන්දයක විශ්වාසය ගොඩනංවා ගැනීමට සාධනීය බලපෑමක් ඇති කරයි.
බෝම්බ සංසිද්ධියක පසුබිමේ සිටි ‘උගත් දෙමළා’ ගණකාධීකාරීවරයකු හෝ නීතිඥවරයාකු හෝ උපරිම ලෙස ගත් කල වෛද්‍යවරයකු හෝ වනවාට වඩා ඉංජිනේරුවරයකු වීම ප්‍රබන්දය විශ්වාසනීයත්වට ළං කිරීමට විශාල පදනමක් හදයි. මන්දයත් ඔහුගේ ඥාන තාක්ෂණය පිපිරුම් විෂය හා සම්බන්ද කිරීමට පහසු බැවිනි. යුද ප්‍රමෝධිත සිංහල සමාජයට තලු මරන්නට හැකි රසයක් ඉන් ජනිත කළ හැකි ය. ‘’අර පිත්තල හන්දියේ අපෙ ගෝඨා සර්ට බෝම්බෙ සෙට් කරපු පර දෙමළා මොරටුවෙ ඉගෙන ගත්තු ඉංජිනේරුවෙක්’’. ආයෙ සමාජයෙන් නම් කිසිදු සැක සංඛාවක් මතු නොවේ. වසර 14ක් නොව, මුළු මහත් සංසාරය පුරාවම ඔහු සිරගත කර තිබුණ ද, ඔහුගේ ජීවිතය නීච නින්දිත ලෙස මංකොල්ල කෑව ද බුදු පහන තියා දවස අරඹන, යුද ප්‍රමෝදිත ‘කිරිබත් සිංහල සිත්’ සසල වන්නේ නැත.
පිත්තල හන්දියේ බෝම්බය
2006 දෙසැම්බර් 1දා පුපුරා ගිය පිත්තල හන්දියේ බෝම්බයට කිසිඳු සම්බන්දයක් පෙන්විය නොහැකි අරූරන් පැහැර ගැනෙන්නේ, ජනසංහාරක යුද්ධය , ‘යුද උන්මාදයක්’ බවට පත් වෙමින් තිබෙන අවදියක ය. සැබැවින් ම ඒ, මනුෂ්‍ය ඝාතනයන්ගේ අංක ක්‍රිකට් තරගයක ලකුණු ගණින්නා සේ ගණින්නට පාදඩ ජනමාධ්‍ය ජනතාවට පෙර පුහුණුවීම් කරමින් සිටි අවදියකි, අවසාන දෙමළ සංහාරයේ, යුදකාමී දවස් කෙමෙන් උදාවෙමින් තිබෙන අවදියකි; ගෝඨාවන්ගේ ප්‍රතිරූපය යළි සංවාදයට ගෙන ඔහු කෙරෙහි වන සිම්පතිය රඳවා ගත යුතු අවදියකි; ආරක්ෂක ලේකම් ලෙස සිටි ගෝඨා අති නීච ලෙස වියරු ලෙස හැසිරෙමින් සිටි අවදියකි; ජනමාධ්‍යවේදීන් මරා දමමින්, පැහැර ගනිමින්, ඔවුන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් සිටි අවදියකි; දැන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගමක් නගරයක් ගාණෙ කැට තියන මහා දේශපාලන වීරයන් රාජපක්ෂ සාටකය අස්සේ රිංගා රෙද්දේ රී ගත් අවදියකි.
එම භීම සමයේ, ගෝඨාට එරෙහිව විවෘතව සටන් පාඨ කියමින්, පාරේ සටන් සිදුකළේ ජනමාධ්‍ය සංවිධාන පමණකි. මන්දයත් එය, පෙර කීවා සේ ම, මහා ලොකු නම්-ගම් ඇති දේශපාලන පක්ෂ සහ චරිත මංකොල්ලකාරී ද අපරාධකාරී ද මිනීමරුවන්ගේ දෑත් ශක්තිමත් කරමින් සිටි අවදියකි.
නිදහස්ව ආ අරූරන් ‘ලංකා ෆයිල්ස්’ යූ ට්‍යුබ් නාලිකාව සමඟ ‘තේරෙන සිංහලෙන්’ ඔහුට සිදු කළ දේ පවසයි. ඔහුට අනුව පැහැරගැනීමෙන් පසු සංසිද්ධියේ ආරම්භය මෙසේ ය. රාජ්‍ය අපරාධකාරීත්වයේ ඍජු හවුල්කාර නින්දිත පොලීසිය, පාපොච්චාරණය නිර්මාණය කර ගනු පිණිස ඔහුට නොනවතින් ප්‍රහාරයක් එල්ල කරයි. පොලු වලින් පහර දෙයි. අතපයට ය. ඇඟ පතට ය. ඉක්බිති එල්ලා පහර දෙයි. පසුකරමින් තිබුණේ ජේ.එම්.ඉඕ.ට හෝ අධිකරණයට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නොවූ අවදියකි. අයිතීන් මුක්ත ජීවන අවදියකි. ඔහු බලන්නට අවසර තිබුණේ අයි.සී. ආර්. සී.යේ ඩන්කන් ෆෝඩ්ට පමණි. කෙළක් සිද්ධි අතරේ එකක් වන මෙය ඩන්කනුවන්ට විශේෂයක් නොවන්නට ඉඩ ඇත.
කිරිබත් කෑවුන්ට ඒ බැව් අමතක කර දමා ‘ස්ටේටස්’ දැම්ම හැකි තරම් කාලයක් ගතවි තිබිණ. ‘ප්‍රබන්දක්කාර අරූරන් යනු ප්‍රබන්දයක වින්දිතයකි’ යැයි අප මෙම කොලමේ ලීවෙමු. තාක්ෂණික විෂයම මිස කිසිඳු ප්‍රබන්ද සාහිත්‍ය කෘතියක් කියවන්නට පවා ඇල්මක් නොතිබු දෙමළ තරුණයෙක් මේ වන විට පරිනත ලේඛකයකු බවට පත් ව ඇත. ඒ නොනැසෙන ධෛර්යය, ආත්මශක්තිය උත්පත්තියේ පටන්ම ජීවන පරිසරයෙන්ම උරුම වූ පීඩිත දෙමළ සමාජය නියෝජනය කළ නිසාවෙන් මිස, වෙනත් සිංහල බිබික්කමක් නිසා නොවේ.
එකී වන්දිගෙවීම වනාහී, සිංහලට පරිවර්තනය වන්නට නියමිත අරූරන්ගේ පොත් කියවා ඉන් ‘දුක්බර ලෙස සතුටුවී’ ඒ ගැන ලියන ‘දුක්බර ස්ටේටස්’ මගින් ‘ලයික්ස්’ ‘හාට්ස්’ උත්පාදකරගෙන, ඒ සිම්පතිය පවා තමන් තුළට ඇද ගන්නා කාලකණ්ණි ක්‍රියාවලියක් විතර ද?