ජාත්‍යන්තර පාසල් හා ටියුෂන් ගුරුවරුන් බොරු කරනවාය හෝ සූරාකන්නන්ය කියා තැලීම බලධාරීන්ට පහසුය
ඇති හැකි දෙමාපියන්ගේ දායකත්වයෙන් පවත්වාගෙන යන සමහර රජයේ පාසල් ජනප්‍රිය පාසල් ලෙස ලේබල් කිරීම සහ එම පාසල්වල ජනප්‍රියත්වයේ ගෞරවයට ලකුණු දා ගැනීමද පහසුය. විභාග දෙපාර්තුමේන්තුවෙන් පවත්වන ජාතික විභාග කඩුළු පනින්න අත්‍යාවශ්‍ය උපකාරක පන්තිවලට මුදල් ගෙවීම දෙමාපියන්ට බැරකර, තම කටයුතු එම විභාග පැවැත්වීමට සීමා කර මෙන්න නිදහස් අධ්‍යාපනය ඇතැයි මවා පෑමත් බලධාරීන්ට පහසුය.
වඩා දුෂ්කර වන්නේ ඇත්ත ඇති සැටියට පිළිගෙන අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමය. 1995-2005 කාලය තුළ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් පාසල් අධ්‍යාපනයේ වැදගත් ප්‍රතිසංස්කරණ සිදු වුනා. එම කාලපරිච්ඡේදයේ සැලකිය යුතු කොටසක් අධ්‍යාපන ලේකම් ධූරය දැරූ ටාරා ද මෙල් මහත්මිය ඇගේ ප්‍රතිසංස්කරණ හා අභියෝග නමැති පොතේ කලකිරීමෙන් සඳහන් කරන පරිදි,
ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කැපවූ නිලධාරීන් සමූහයක් විසින් කටයුතු කලද, මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම දුෂ්කර වෙලා තිබෙනවා. දිගටම පවත්වා ගැනීමටද හැකි වෙලා නැහැ. ඇය සදහන් කරන ප්‍රධාන බාධක තුළ දේශපාලන අවස්ථාවාදය ඉස්මතු වෙනවා. පැහැදිලිවම, අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය යනු එක් අධ්‍යාපන ඇමැතිවරයකුට හෝ ජනාධිපතිවරයකුට කළ හැකි දෙයක් නොවේ. එයට දේශපාලන කණ්ඩායම් ඇතුළු බහුවිධ ක්‍රියාකාරීන්ගේ සහ ආයතනවල සහභාගීත්වය සහ පිළිගැනීම අවශ්‍ය වෙනවා.
පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (SOC) යනු සියලු දේශපාලන පක්ෂ එකතුව සාක්ෂි මත පදනම් වූ සාකච්ඡා කරමින් ප්‍රශ්න විසදීම සඳහා සඳහා අලුතින් පිහිටුවන ලද ක්‍රමවේදයකි. සියලුම SOCs තුලින් මෙම අපේක්ෂාවන් ඉටු නොවෙන්න පුළුවන්, නමුත් පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෑතකදී කරන ලද සාකච්ඡා දිහා බලන කොට අපට බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. නිදසුනක් හැටියට, මෑතකදී මතු වූ ජාත්‍යන්තර පාසල් නියාමනය පිළිබඳ ගැටළුව පිළිබඳ වැඩි දුර සෙවීමට එම කාරක සභාවේ සභාපතිවරයා විසින් ජාත්‍යන්තර පාසල් පිළිගැනීම වළක්වන 1961 අංක 8 දරන පනත හා වෙනත් කරුණු පිළිබඳව වැඩි විස්තර ඉල්ලලා තියෙනවා.
එම සාකච්ඡාවලට සම්බන්ධව හෝ නැතිව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා විසින් සියලු ටියුෂන් ගුරුවරුන්ට ඉගැන්වීමේ බලපත්‍ර අනිවාර්ය විය යුතු යයි යෝජනා කර තියෙනවා. බලපත්‍ර ලබා දීම සඳහා ප්‍රමිතීන් සැකසීම අවශ්‍යයයි. එසේ නම් ජාත්‍යන්තර පාසල් හෝ උපකාරක පන්ති සපයන්නන් පමණක් නොව පොදු නිර්ණායකයක් යටතේ සියලුම පාසල් සඳහා සමාන ප්‍රමිති යොදාගෙන නියාමනය කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය යුතු නේද?
විශේෂයෙන්ම රජය විසින් සමහර පාසල් ජනප්‍රිය පාසල් ලෙස ලේබල් කර පහේ ශිෂ්‍යත්ව ලාභීන් ඒවාට යොමු කරන්නේ ජනප්‍රියත්වය යනු අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ලෙස තීරණය කරලා ද? මේ ජනප්‍රිය යැයි කියන පාසල්වල සිසුන්ට නිසි අධ්‍යාපනයක් ලැබෙනවා ද? ජනප්‍රිය පාසල්වලට යන්න නොලැබෙන අනිත් ළමයින්ගේ තත්වය කුමක් ද? ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙනවා ද? ඊට අමතරව ජාතික පාසලක් වීමට යන්න නිර්වචනය නොකර සමහර පාසල් ජාතික පාසල් ලෙස ලේබල් කරන්නේ ඇයි?
1960 අංක 5 දරන ආධාර ලබන පාසල් සහ අභ්‍යාස විද්‍යාල පනත හා 1961 අංක 8 දරන පරිපූරක ප්‍රතිපාදන පනත හරහා සියලුම ආධාර ලබන පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් යටතට ගෙන ආ විට එහි අදහස වූයේ රජය විසින් යම් ආයතන වල වියදම දරන්නේ නම් ඒවා රජයේ පාලනයට යටත් විය යුතු බවය. නමුත් පාසල් පිහිටුවීමේ නියාමනය පිළිබඳ 25 වැනි වගන්තිය ඇතුළත් කිරීම තුලින් එම අදහසින් ඔබ්බට ගොස් වයස අවුරුදු 5 සිට 14 දක්වා ළමුන් සඳහා අධ්‍යාපනය ලබා දීමට අළුතෙන් එක්වන අයට ඇති අයිතිය උදුරා ගෙන තියෙනවා.
“(1) මෙම පනත ආරම්භ කළ දිනට හෝ ඉන් පසුව කිසිඳු තැනැත්තකු - (අ) වයස අවුරුදු පහේ සිට අවුරුදු දාහතර දක්වා (වයස දෙකම ඇතුළුව) දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කිසියම් පාසලක් ස්ථාපිත නොකළ යුතුය; හෝ (ආ) අධ්‍යක්ෂවරයාගේ පූර්ව අනුමැතියකින් තොරව වයස අවුරුදු දහඅටට අඩු පුද්ගලයින්ගේ අධ්‍යාපනය සඳහා (අ) ඡේදයේ සඳහන් පාසලක් හැර වෙනත් පාසලක් පිහිටුවීම නොකළ යුතුය.” [25 වැනි වගන්තිය, 1961 අංක 6 දරන පනත]
25 වැනි වගන්තිය තුලින් වයස අවුරුදු 5-14 සඳහා පාසල් අධ්‍යාපනය සඳහා රාජ්‍ය නොවන ආයතන අළුතින් පිහිටුවීම තහනම් කරන නමුත් පූර්ව අවසරය ඇතිව වයස අවුරුදු 16-18 සඳහා ඉඩ සලසයි.
කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන් පුද්ගලික අධ්‍යාපන සැපයුම්කරුවන් විසින් හෝ දෙමාපියන් විසින්ම නොයකුත් හිඩැස් හෝ අවස්ථා යොදාගෙන දෙමාපියන්ගේ ඉල්ලුමට සරිලන අධ්‍යාපන විකල්ප සැපයුම කර තියෙනවා. අද අපට (1) ජාත්‍යන්තර පාසල් ලෙස ආයෝජන මණ්ඩලය හරහා ලියාපදිංචි පාසල්, (2) මා විශ්වාස කරන හැටියට, අ.පො.ස. උ/පෙළ පොර පිටියේ සමානාත්මතාවය ඇතිකිරීමට තීරණාත්මක භූමිකාවක් කරන උපකාරක පන්ති සපයන්නන්, සහ (3) ඇති හැකි දෙමාපියන්ගෙන් සහ ආදි ශිෂ්‍යයන්ගෙන් හයියෙන් පවත්වාගෙන යන ඒ නිසාම අන් සියළු දෙමාපියන්ටද ආකර්ශනීය වන ‘ජනප්‍රිය පාසල්” යන ආයතන දකින්නට තියෙනවා.
.
මේ එක එක ගැන තව දුරටත් සොයා බලමු.
(1) ටියුෂන් ගුරුවරුන් විසින් අ.පො.ස උසස් පෙළ පොරපිටිය සම බිමක් කරනවා
රට පුරා පාසල් නියෝජනය වන පරිදි පාසල් 279 ක අහඹු නියැදියක් භාවිතා කරමින් 13 වසරේ සිසුන්ගේ පාසල් පැමිණීම පිළිබඳ 2016 දී ජාතික අධ්‍යාපන ආයතනය මගින් කළ සමීක්ෂණයකින් හෙළි වුනේ 13 වසරේ සිසුන්ගෙන් 72% ක්ම ජනවාරි සිට ජූලි දක්වා පාසල් නොපැමිණෙන බවය. බස්නාහිර පළාතේ නොපැමිණීම 88% තරම් ඉහළ අගයක් ගත්තා.. නොපැමිණීම පිළිවෙළින් වාණිජ, විද්‍යා, තාක්ෂණ සහ කලා විෂය ධාරාවන්හි සිසුන් 68% සඳහා 76.5%, 76%, 70.5 ලෙස විෂය ධාරාව අනුව වෙනස් වන බවත් පෙනී තියෙනවා.
එම සමීක්ෂණයේම කොටසක් ලෙස අදාළ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් 4103 දෙනකු විමසීමේදී ඔවුන් කියා සිට ඇත්තේ සිසුන් නොපැමිණීමට ප්‍රධානතම හේතුව වන්නේ උසස් පෙළ වැනි තරග විභාගයකට මුහුණ දීම සඳහා සිසුන් සූදානම් කිරීමට පාසල්වලට නොහැකි වීමයි. එම හිඩැස පුරවන්නේ උපකාරක පන්ති සපයන්නන් බව කවුරුත් දන්නවා.
වඩාත් වැදගත් කාරණාව වන්නේ, තමන්ගේ ජාතිවාදී සහ අවිචාරාත්මක අදහස් තම පන්ති තුලින් ප්‍රචාර කිරීම පිළබඳව කුප්‍රකට ටියුෂන් ගුරුවරයෙකු වන තිස්ස ජනනායක වැනි අය හැරුණු විට ටියුෂන් ගුරුවරුන් විසින් ශිෂ්‍යයයන් සියයක් දෙසීයක් එක් කර ප්‍රසිද්ධ ශාලා වල පවත්වන පන්ති තුලින් තනි තනිව ටියුෂන් ලබා ගැනීම දැරිය නොහැකි සිසුන්ට ලැබෙන සහනය ගැනද බලධාරීන් සංවේදී විය යුතු බවයි. පිළියම උසස් පෙළ පොරපිටිය වඩා සාධනීය ඉගෙනුම් පිටියක් බවට පත්කිරීමයි.
(2) ජාත්‍යන්තර පාසල් යනු විකල්ප සොයන දෙමාපියන්ට සහනයක්
නීත්‍යානුකූලව, අමාත්‍යාංශයට මෙම පාසල් පිළි ගත නොහැකි නමුත් සදාචාරාත්මකව රජයට ඒවා අහක දමන්න බැහැ.මන්ද සුදුසු පාසල් නොමැතිව මංමුලා වෙන සෑම තරාතිරමකම දෙමාපියන්ට මේ පාසල් මගින් කරන සේවය සුළු පටු නොවන නිසා. තරඟ විභාග සඳහා තම දරුවන් ඕනෑවට වඩා තල්ලු කිරීමට හෝ ඔවුන්ව අයථා ලෙස ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම සඳහා අල්ලස් දීමට කැමති නැති දෙමාපියන් වෙන මොනවා කරන්නද? එවැනි පවුලක් තම දරුවන් තම පොකැට්ටුවට සරිලන දෙවන පෙළ ජාත්‍යන්තර පාසලක් යවා අද ඒ ළමයින් ඉතා සාර්ථක ගුණ යහපත් පුරවැසියන් බවට පත් කරගත් බව මම පුද්ගලිකව දනිමි. ඒ අතරම තම දරුවන් “ගුණ යහපත් සිංහල බෞද්ධ පරිසරයක” ඇති දැඩි කිරීමට අවශ්‍යව නිසා වසර මැද භාගයේදී තම දරුවන් කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට ඇතුළත් කිරීමට යම් මුදලක් යම් අයෙකු හරහා ලබා දුන් බව ඔස්ට්‍රේලියාවේ පදිංචි යම් දෙමාපියකු මා සමග සඳහන් කලාද මට මතකයි..
ජාත්‍යන්තර පාසල්වලට තම දරුවන් යවන මවුපියන් මේ රටේ බදු ගෙවන පුරවැසියන් වන නමුත් ඔවුන්ට රජයේ අධ්‍යාපන අවස්ථා සීමා වීම නිසා තම දරුවන්ගේ පාසැල් අධ්‍යාපනයට අතින් වියදම් කිරීමට සිදු වී ඇත. අමතර මූල්‍ය බරක් දරනවාට අමතරව ඔවුන්ගේ දරුවන් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සැලකීම ඔවුන්ට හිත වේදනාවට කාරණයක්. උදාහරණයක් ලෙස අන්තර් ජාතික පාසල් වල දරුවන් දේශීය විෂය මාලාව අනුගමනය කළත් ඔවුන් ජාතික විභාග සඳහා අයදුම් කිරීමේදී ඔවුන්ගේ පාසලේ විදුහල්පතිවරයාට ඔවුන් වෙනුවෙන් සහතික වී අස්සන් කරන්න බැහැ. ඒ ළමයින්ට අස්සනක් ලබා ගැනීමට ග්‍රාම නිලධාරී නිලධාරියා හෝ වෙනත් රාජ්‍ය නිලධාරියෙකු සොයා යන්න වෙනවා..
වාර්ෂිකව අධ්‍යාපන අමාත්‍යංශය විසින් ජනප්‍රිය පාසල් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරනවා. එයට පාදක වන්නේ 1-වසරට ඇතුළත් කර ගැනීම සඳහා එක එක පාසැලට ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව යයි මම විශ්වාස කරනවා. එම පාසල් වල ව්‍යාප්තිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් විමසා බැලුවොත් අධ්‍යාපනයේ සමානාත්මතාවය පිළිබඳ රජයේ ප්‍රකාශවල ව්‍යාජත්වය පැහැදිලි වෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330 කින් තුනෙන් දෙකකට ප්‍රදේශය තුළ ජනප්‍රිය පාසලක් නැහැ. උසස් පෙළ පන්ති ඇති පාසල්වලින්ද තුනෙන් දෙකක විද්‍යා විෂය ධාරාවෙන් ඉගෙන ගැනීමේ අවස්ථා නැති වීමද මේ ඉහත සංසිද්ධියේම වෙනත් පැති කඩක්.
ඒත් මේ ජනප්‍රිය පාසැල් වලට තියෙන ඉල්ලුම වැඩි නිසා ඒවායේ පන්තියක සිසුන් 50 ඉක්මවනවා. එවැනි පාසල්වලින් මොන වගේ අධ්‍යාපනයක්ද දෙන්නේ? මෙම පාසල්වල ප්‍රයෝගික ක්‍රියාකාරකම් හා වෙනත් ගවේෂණාත්මක ඉගෙනුම් වලට පරිසරයක් තියෙන්න පුලුවන්ද? සමාජ-චිත්තවේගීය ඉගෙනීම සඳහා මෙම දරුවන්ට ලැබෙන අවස්ථා මොනවාද? වාර්තා වන පරිදි, දරුවන් පළමු දිනයේ සිටම තම පදිංචි ස්ථානය ගැන බොරු කීමට ඉගෙන ගන්නේ නම් සහ/හෝ තම දරුවන් මෙම පාසල්වලට ඇතුළත් කිරීමට දෙමාපියන් අල්ලස් දෙන්නේ නම්, මෙම පාසල් හරහා ලබා දෙන්නේ කුමන ආකාරයේ සාරධර්ම ද?
අවසාන වශයෙන්, රටට අවශ්‍ය වන්නේ ආයතන සඳහා කුමන ලේබලයක් භාවිතා කළත් සියලුම අධ්‍යාපන ආයතන ග්‍රහණය කර ගන්නා සරල නියාමන රාමුවක් සහ ඒම තොරතුරු සංසන්දනාත්මකව දෙමාපියන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට අන්තර්ජාලයෙන් ලබා ගැනීමට සලසන විවෘත දත්ත පද්ධතියක්.
(ආචාර්ය සුජාතා ගමගේ)
සම සම්බන්ධීකාරක
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය
සබැඳි ලිපි :
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ගිලිහිනු සමාජ පිළිගැනීම නැවත ලබා ගැනීමට නම් - (ආචාර්ය සුජාතා ගමගේ)