මගේ භූගෝලය පිලිබඳ දැනුමේ සීමාව හා දැඩි දුප්පත්කම ගැන මා කිහිප විටක් ම මේ කොලමේ ලියා ඇති බව මතක ය.

 රටවල්වල නම් ගම් ද මා කුඩා කල දැන සිටියේ කිහිපයක් පමණි. ලංකාව හැරුණු විට මුල් වරට මා කුඩා කල දැනගත් විදේශීය රටක නම වූයේ කොරියාව විය හැකි ය. එනමුදු ඒ වෙනස් හේතුවක් නිසා ය.

මා මොන්ටිසුරි යන කාලයේ අප ජීවත් වුණේ මොරටුවේ රාවතාවත්තේ චාල්ස් පෙදෙසේ පිහිටි කෝන් ගහ ඉස්කෝලේ ලෙස එකල හැඳින්වුණු පාසල් භුමියේ ම ය.  ඒ පාරේ ම මුහුද දෙසට යන විට ලුනාව ඇල හා පාලම හමුවේ. පාලම යට හා ඒ ආශ්‍රිත ව අනවසර ව ඉදි වුණු කුඩා පැල්පත් ගණනාවක් තිබිණ. ඊට නුදුරින් පිහිටි ලක්ෂපතිය ප්‍රදේශයේ අර්නස්ට් පෙදෙසින් යන විට ද මෙවන් ජනාවාස තිබිණ.

මේ පෙදෙස්වලින් කෝන්ගහ ඉස්කෝලෙට ආ කොළුවන් සමග මට ඇසුරු කිරීම සපුරා තහනම් කළේ දෙමව්පියන් ය. ඒ ඇයි කියා මා වික්ෂිප්ත ව අසන විට දෙමාපියන්ගේ පිළිතුර වූයේ "ඒගොල්ලෝ ඉන්නේ කොරියාවේ'  ය. 'කොරියාව' යනු ඇසුරු කිරීමට තරම් සුදුසු ළමයින් නොසිටින රටක් බවත්, ඔවුන්ගේ දෙමාපියන් නිතර නිතර රණ්ඩු සරුවල් කරමින් 'නරක වචන' කියා ගන්නා බවත් සමහර කොරියන් දෙමාපියන් මාළු වෙළෙඳාමේ නිරත නිසා මාළු කපන පිහි වලින් කපා කොටා අනෙක් අය මරණ බවත් මා කුඩා කල ලත් විදේශ රාජ්‍යක පිලිබඳ මුලින් ම ලත් දැනුම්වත්භාවය ය.

vintage korea 10

 පනස් ගණන්වල ඈදුණු යුද්ධයකින් නට්ටන් වුණු එක්තරා කාලයක දෙකට කැඩුණු එක කොටසක වූ දකුණු කොරියාව ඒ වන විට සිටියේ අන්ත දුප්පත් රටක් ලෙස ය. කොරියානුවෝ ඒ නරාවෙලෙන් ගොඩ ඒමට නොමනා දුන් වින්ද හ. ලෝකෙන් ම ගිඟා කෑ හ. එක කලෙක අයිඑම්.එෆ් ද ගිය හ. දශක  දෙකකින් පමණ ඔවුන් ඔළුව ඉස්සුවා පමණක් නොව, 1996 වන විට ධනවත් ම රටවල්  ලෙස සැළකෙන OECD  ගොන්නේ සාමාජික රටක ද විය. එක්සිම් බැංකුව 1976 සිට එරට අපනයන හා වෙළෙඳාම ප්‍රවර්ධනය කරන අතර සෙසු රටවල් සමග ආර්ථික හා වාණිජ ගනුදෙණු ප්‍රචලිත කරයි. කොයිකා නමින් ආයතනයක් 1991 ස්ථාපිත කොට සංවර්ධනය වන රටවලට ආධාර දීම ද පටන් ගති.


හැටේ දශකයේ අග ඉපදුණ මට මගේ දෙමාපියන් කොරියාව තහනම් ප්‍රදේශයක් කළ ද මා සති දෙකකට පෙර එහි සංචාරයකට ගියේ ය. මට එවිට තේරුම් ගියේ මට අවුරුදු විස්සකට තිහකට පසු ව ඉපදුණු කොල්ලන්ට අම්මලා තාත්තලා කියා ඇත්තේ 'බොලා කොහොම හරි කොරියාවට පලයල්ලා' කියා ය.    

Ko 2023

මේ වන විට කොරියාවේ ලාංකිකයින් 25,000 -35,000 අතර පිරිසක් සංක්‍රමණික සේවකයින් ලෙස කටයුතු කරන බව කියැවේ. ඔවුන්ගෙන් බහුතරය කර්මාන්ත, ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල නිරත අතර පැය දොළහක පමණ කාර්ය බහුල වැඩ මුරයක් සහිත පරිසරයක වෙහෙස මහන්සියෙන් කටයුතු කරන නමුත් ඔවුන්ගේ කුසලතා රහිත (අන්ස්කිල්ඩ්) හා අර්ධ කුසලතා (සෙමි ස්කිල්ඩ්) රැකියා  සඳහා ඉතා හොඳ වේතනයක් ලබෙන බව කියැවේ.

වසර අටක් නමයක් වැඩ කළහොත් රුපියල් කෝටි පහක් හයක් ඉතිරි කර ගන්නට හැකි නිසා දැන් දැන් සුදු කරපටි රාජ්‍ය නිලධාරීන් ද, වසර පහේ පඩි රහිත නිවාඩු ක්‍රමය යටතේ කොරියාවට එන්නේ, තමන් ජීවිත කාලේ ම හම්බ කරනා දේ වගේ කිහිප ගුණයක් කොරියාවෙන් හරි හම්බ කර ගත හැකි නිසා ය.

එහෙත් කොරියන් රැකියා කෙරුම ලෙහෙසි නැත්තේ, ඒවා කොරියානුවන් විසින් පිළිකෙව් කරන ත්‍රී-ඩී (ඩේන්ජරස්, ඩර්ටි හා ඩිෆිකල්ට්) රැකියා නිසා ය. වසර නමයකින් පසු ගෙදර එන්නේ හොඳ හරිය කොරියාවට ම දියැවුණු වියැකුණු පිරිසකි.      

Koriya

  කොරියාව සංක්‍රමණික දේශාන්තයක් ලෙස ඉස්මතු වූයේ සාපේක්ෂ ව මෑතකාලීනව ය. එනම් 2004 වසරේ ය. කොරියාවේ එම්ප්ලෝයි පර්මිට් ස්කීම් (EPM) යටතේ ලාංකික තරුණයින්ට කොරියාවට රැකියා අවස්ථා විවර විය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපති කාලයේ වන අතර ඒ වන විට කම්කරු ඇමති ව සිටියේ කම්කරු ක්ෂේත්‍රයේ පළපුරුදු අතාවුද සෙනෙවිරත්න ය. මේ ක්‍රමය එතෙක් පැවැති මැද පෙරදිග ක්‍රමයට වඩා වෙනස් වූයේ කොරියානු හා ශ්‍රී ලංකා රජයන් අතරේ ඇති එකඟතාවයක් යටතේ කරණ ලද එකක් නිසා ය. තෝරා ගැනීම සඳහා මුලික කොරියන් භාෂා කුසලතාවක් ලබා ගැනීම කොන්දේසියක් විය. මේ සඳහා දිවයින පුරා පංති සංවිධානය විය. අනෙක් වෙනස නම්, මේ ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලද්දේ 20-35 වයස් කාණ්ඩයේ තරුණ පුරුෂයින් වීම ය. කාන්තාවන්ට කොරියානු රැකියා ලැබුණේ ඉතාමත් සීමිත ව ය.  

මුලික තෝරාගැනීමේදී ඒ ක්‍රමය දේශපාලනීකරණය වුණු බවට චෝදනා ඇත. මේ ක්‍රමය ඇරඹුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපති සමයේ වුව ද, එය වඩාත් ප්‍රචලිත වුයේ මහින්ද රාජපක්ෂ සමයේ ය. අතාවුද සෙනෙවිරත්න හා ගාමිණි ලොකුගේ කම්කරු ඇමති ධුර ඒ කාලයේ දරණ ලද අතර, රාජපක්ෂ ද කම්කරු ඇමති ලෙස කලක් සිටි බව මතක් කළ යුතු ය. මේ නායකයා  හා යට කී තෙම්පරාදු වූ ඇමතිවරුන් යටතේ කොරියන් රැකියා ක්‍රමය දේශපාලනීකරණය නොවුණා නම් ය පුදුම ය. කොරියාවේ රැකියා සඳහා ගිය බොහෝ දෙනා රාජපක්ෂ බැතිමතුන් වූයේ ඔවුනට ඒ අවස්තාව උදා කර දුන්නේ අදාළ ආසන යටතේ දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය දේශපාලන අනුග්‍රාහකත්වය යටතේ වීම නිසා ය.

Mahinda 202
 
 2005-2010 සමයේ රජෙක් මෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂට 2015 දී සිදුවුණේ මැදමුලනේ උළුවස්සක එල්ලීම ය. අනපේක්ෂිත පරාජයකින් අනතුරු ව තම දේශපාලන ප්‍රතිසංවිධානය කර ගැනුමට රාජපක්ෂ මුලින් සරණ ගියේ අභයාරාමය වෙත ය. රජ ව සිට පජ ව ඇති සෝකය දරා ගත නොහැකි ව යම් අනුප්‍රාණයක් ලබනට මහින්ද කළේ කොරියාවට යාම ය. ඒ තමාගේ 'කොල්ලන්' ටික උණුසුම් පිළිගැනීමක් කරන බව දන්නා නිසා ය. පැරැණි අනුග්‍රාහක දේශපාලන යාන්ත්‍රණය පණ ගැන් වූ රාජපක්ෂ පිළිගැනීමට උත්සව මාලාවක් ම කොරියාවේ ලාංකික සංක්‍රමණික ප්‍රජාවේ රාජපක්ෂ බැතිමත්හු සංවිධානය කළ හ.
 
ජී ඇල් පීරිස් හා ඩලස් අලහප්පෙරුම ද රාජපක්ෂගේ තනියට කොරියාවට ගිය හ. 2012 අප්‍රේල් මාසයේ නිල රාජ්‍ය සංචාරයක් සඳහා රාජපක්ෂ කොරියාවට  ගියේ එරට ජනපති ලී ම්යූන්-බක්ගේ ආරාධනයකට ය. එහත් 2016 අගෝස්තුවේ ඔහුට වී.අයි.පී දොරෙන් පවා ඇතුළු වීමට මහත් වෙරක් දැරීමට සිදු වී ගුවන් තොටුපොළේ තරමක් රස්තියාදු වුව ද බැතිමත්හු ශාලා පිරෙන්නට රොක් වූහ.
 
CpUYRv8VIAAYmNK
බයිවරු ලෙස හැඳින්වෙන මේ සම්ප්‍රදායානුකූල රාජපක්ෂ බතිමතුන්ට අමතර ව කොරියන් තරුණ කැලේ තවත් කොටස් රාජපක්ෂ කලාපයට පිවිසුණේ 2019 අප්‍රේල් බෝම්බ ප්‍රහාරය හා ඒ පිහිටෙන් තම කැම්පේනය ඉස්සූ ගෝඨාභය සාධකය නිසා ය. කොරියන් තරුණ කැල ඒ වන වන සිස්ටම්-චේන්ජ් රැල්ලට හසු වී සිටි අතර, 2019 දෙසැම්බරයේ පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාපක්ෂ ජනපති කරනට තරුණයෝ තමන් මහන්සි වී හරි හම්බ කරගත් වොන් ලක්ෂ ගණනින් ලෝභ නැති ව වියදම් කළ හ. සමහරු කොරියාවේ සිට ම අවුත් ජන්දය දැමූ හ.

2022 දී කොරියන් තරුණ කැල 'මොරාල් වුණා' කියා මට කීවේ තරමක කලක් කොරියාවේ වැඩම කර සිටින ලාංකික හිමි නමකි. උන්වහන්සේට අනුව තරුණයින් 'මොරාල් වුණේ' ගොල්පීසියේ අරගල-පින්තුර හා වීඩියෝ සමාජ මාධ්‍යයෙන් දැකීමෙනි. ඔවුන්ගේ පවුල්වල උදවියට ගෑස් හා තෙල් පෝලිම්වල ඉන්නට සිදු වීම වැනි ප්‍රායෝගික කාරනා ද ඊට බලපෑ බව කියැවේ. 
340919270 941712693633680 9190022749822694352 n 
 
 මෙය යසට මාළු බා ගත හැකි බොර දිය පොකුණක යී වටහා ගත්තේ, මාර්තු මස ජනපති වීමට ඔන්න මෙන්න ව සිටි අනුර කුමාර දිසානායක මහතා ය. එතුමාට පරාජිත මහින්ද රාජපක්ෂ තම මොරාලය ප්‍රාණවත් කර ගැන්මට හනිකට ගොඩ බැස්සේ කොරියාවට බව ද සිහි විය. ඇරත්, පළාත් පාලන මැතිවරණ දින නියමයක් නැති ව කල් ගිය නිසා ලංකාවේ කරන්නට දෙයක් ද නැති නිසා දිසානායක මහතා ද කළේ කොරියාවට යාමයි. 2023 අප්‍රේල් මාසයේ එතුමා කොරියාවේ දින කිහිපයක් ගත කළේ මාර්තුව පුරා ම රට වටා යමින් කළ පළාත් පාලන කැම්පේනයේ විඩාව සමනය කර ගන්න පොඩි 'බ්‍රේක්' එකක් ද ලෙස විය හැක.
ඒ අනුව බලන කල, කොරියාව යනු ලාංකික තරුණයිනට යහමින් රැකියාවක් කරගෙන සතුටුදායක වැටුපක් ලබමින් එම මුදල ලංකාවට සම්ප්‍රේෂණය කර, අප රටේ ආර්ථිකයට සෙතක් කරනට ඇති තැනක් පමණක් නොව දේශපාලනික ව හෙම්බත් වුණු නායක කාරකාදීන් ට කෙටි කලකට ගොස් වටයක් ගසා ඒමට හා ගාණකුත් කඩාගෙන ආ හැකි 'ඉස්පා' එකක් ද වී ඇති බව පෙනේ.

 
Udan fernando
 (උදන් ප්‍රනාන්දු, PhD)
 විධායක අධ්‍යක්ෂක, දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය (CEPA)
 බාහිර කථිකාචාර්ය විවෘත විශ්ව විද්‍යාලය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 
Anida

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image