''ගිලාභෝපස්ථානය'' මහා පින්කමක් කියලා බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ රෝගීන් සුවපත් කරන්න උපස්ථාන කරන එක එලොවටත් මෙලොවටත් පින් ඵලදෙන පුන්‍ය ක්‍රියාවක් කියන එකයි.

ලෝකයේ ඕනෑම රටක් ජාතික ආරක්ෂාව ලඟට මුල්තැන දෙන්නේ රෝගී ජනතාව සුවපත් කරන එකට. ඊළඟට අධ්‍යාපනයට.

ඒත් දැන් අපේ රටේ මොකද වෙන්නේ. ජාතික ආරක්ෂාව කියන වචන දෙකට මුවාවෙලා ජනතාව මර්දනය කරන්න කදුළු ගෑස්වලට අම්බානක වියදම් කරමින් ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට මැරෙන්න අරින එක. මෙහේ කැනියුලාවක් විස වෙන තරමටම ඒ විසෙන් රෝගීන් මැරෙනවා. නිර්වින්දනය කරන්න එන්නතක් විදගන්න වෙන්නෙ අන්තිම කැමති පත්තරෙත් ලියලා තියලා.

රට පුරාම ඉස්පිරිතාලවලින් ඇහෙන දකින්නට වෙන රෝගීන් මැරෙන එක ගැන සෞඛ්‍ය ඇමති විතරක් නෙමෙයි රටේ පාර්ලිමේන්තුවයි, රටේ නායකයයි වගේ වගක් නැතිව ඉන්න එක හිතුවම හිතට දැනෙන දේවල් මේ ලිපියෙන් වචන වලට හරවන්න බැහැ. ඒ තරමට ඒ වචන අසභ්‍යයි, අශ්ශීලයි.

Keheliya12

 වෙන රටක මෙහෙම මිනිස්සු මැරුණා නම් සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙලා. ඛෙහෙත් ගන්න සල්ලි නුදුන්නොත් ඉල්ලා අස්වෙනවා වගේ හීන් කෙදීරියක් සෞඛ්‍ය ඇමැතිගෙන් ඇහුනට මොකද එයා ඉල්ලා අස්වුනේ නැත්තේ දැන් ඛෙහෙත් ගන්න අම්බානකට සල්ලි හම්බ වෙනවා ඇති. එහෙම හම්බ වෙනකොට ඒ සල්ලිවලින් ගන්නෙ කල් ඉකුත් වු ඛෙහෙත් නම් ඉතිං ලෙඩ්ඩුන්ට දෙයියන්ගෙම පිහිට තමයි. රටක ලෙඩ්ඩු දිගට හරහට මැරෙන එක සෞඛ්‍ය ඇමති කෙනෙකුටයි රටේ නායකයාටයි ආණ්ඩුවටයි ප්‍රශ්නයක් නෙමෙයිද? සෞඛ්‍ය ඇමතිවරු හිටියා ඒත් මේ වගේ සෞඛ්‍ය ඇමැති කෙනෙක් නම් හිටියෙ නැහැයි කියලා මගතොටේදී මිනිස්සු කියන කතා සිහිපත් කිරිම් එක්ක බැලූවම මේ මිනිස්සුන්ට නම් වගේ වගක් නැහැ.


අම්බානක බදු ගහලා මේ රටේ ජීවත් වෙන්න බැරිවුනාම දොස්තර මහත්තුරු රට අතහැරලා යනවා. එක සැත්කමකින් ලෙඩ්ඩු මැරෙනකොට අනිත් පැත්තෙන් දොස්තර මහත්තුරුන්ගෙ හිඟයක් ඇතිවෙලා තියෙනවා.

ඒ කාලෙ පෙට්‍රල් ෂෙඩ් වල පෝලිම් ගැහිලා දුක් වින්ද මිනිස්සුන්ට ගෙදරට ගෑස් එක ගේන්න වුනේ හරියටම කාලබෝම්බයක් ගේනවාවගේ. දැන් ඒවා නැවතිලා ඒ වෙනුවට ලෙඩ්ඩු මැරෙනවා. කරුමෙටවත් ලෙඩක් නම් හදාගන්න එපා නොමිලේ වෛද්‍ය සේවාවන් සැපයීම මුදලට ලෙඩ්ඩු සුවපත් කරන තරමට ලඝු කරලා දැන් ආණ්ඩුවේ ඉස්පිරිතාලවල ගෙවන වාට්ටු හදන්න පටන් අරන්. මිනිස්සුන්ගේ හිතට ඇතුළු කරන්න හදන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලවල ඛෙහෙත් ගන්න ගිහින් මැරෙනවට වැඩිය හොඳයි ප්‍රයිවට් හොස්පිටල් වලට සල්ලි ගෙවලා ජීවිතේ බේරගන්න කියන එකයි.

මේ හදන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාල ටිකත් වෙන්දේසි දාන්න. එතකොට සල්ලි තියෙන උන්ට සල්ලි ගෙවලා ඛෙහෙත්, ප්‍රතිකාර ගන්න පුළුවන් නිසා ජීවිතේ බේරගන්න පුළුවන්. සල්ලි නැති එකාට ලෙඩ හැදිලා මැරෙන්නත් පුළුවන්.

paisent

 ''ආරෝග්‍ය පරමලාභා'' නිරෝගි සුවය පරම ධනයයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබුනට මේ ලිච්ජවි රජාලට බුදුබණ තේරෙන්නේ නැහැ. ඉස්පිරිතාලවල ඛෙහෙත් නැති එකවත්, තියෙන්නෙ බාල ඛෙහෙත් කියන එකවත් ගැන හිතන්නෙ නැතුව මේ මැරෙන එක ගැනවත් මුන්ට කිසිම සංවේදීකමක් නැද්ද? පුංචි දරුවෝ මල් වගේ. ඒ පුංචි පැටවුන්ගේ ජීවිතේ අවදානමේ, තරුණ කාන්තාවන් ඉස්පිරිතාලවල ගිහිං නිර්වින්දන ඖෂධ එන්නත විදගත්තම ආයේ කිසිම දිනක ඇස් අරින්නෙ නැත්නම් මොකක්ද මේ උලව් සෞඛ්‍ය සේවය.

සෞඛ්‍ය සේවයත් පුද්ගලිකරණය කරන්නයි මේ හදන්නේ. ඊළඟට ඉස්කෝල ටිකත් වහලා දාලා ඒකත් ප්‍රයිවට් කරන්න හදා මේ උත්තමයො
රටේ ජනතාව බදු ගෙවලා ගෙවලා, උහුලන්න බැරි තරමට ඉහළ ගිය ලයිට් බිල්, වතුර බිල් ගෙවලා ගෙවලා, නහුනෙට නැගලා තියෙන බඩු මිල ඉස්සරහ පිට දැපනෙ දාලා වැටිලා ඉද්දි අන්තිම ඉන්ජෙක්ෂන් එකත් ගහනවා මැරිලම යන්න.

syringe and vial 640x410
මේක ජනාධිපතිතුමාට අප්‍රසාදයට පත් කරන්න ගහන ගේම් එකක් කියලා U.N.P. කාරයො කියද්දි අපට අහන්න වෙන්නෙ මේ සෞඛ්‍ය ප්‍රශ්නය ගැන වචනයක්වත් නොකියන එතුමා බබාද කියලා.

මේ වගේ තත්ත්වයක් තියෙන රටක් තියෙනවද කියලා බලන්න, ලෝක සිතියමක් අරන්. එහෙම නැහැ. මේ තරම් ඉවසනනෝ ඉන්න රටක මොන විජ්ජුම්බරයක් උනත් ඉතිං වගේ වගක් නැතිව හුදු වාර්තාකරණයකට පමණක් සීමා වුන මාධ්‍ය උන්නැහේලට බැරිද ආණ්ඩුවේ මේ මුනිමත මාධ්‍ය අකුණක් ගස්සවලා ඇහැරවන්න. රටේ ඉස්පිරිතාලවල ''ස්කෑන්'' යන්ත්‍ර බොහොමයක් අක්‍රිය වෙන්නෙ මොන හේතුවක් නිසාද කියන එක මාධ්‍යයට ප්‍රශ්න කරන්න බැරි ඇයි?

2048 ලෝකයේම දියුණුම රට බවට පත් කෙරෙන පුච්චානම් නවත්තලා දැන් මේ වර්තමාන තත්ත්වය ගැන හිතලවත් බැරිද මේ සෞඛ්‍ය ගැටළුවට විසඳුමක්  දෙන්න.

Sujeewa Photo
(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




සබැඳි පුවත් :
ජනාධිපති ගෙන් සෞඛ්‍ය ඇමතිට නියෝගයක්

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image