ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලමක් ඉදිකළ යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී

ඊයේ ( ජුලි මස 21 වෙනිදා) ප්‍රකාශ කළේය.

ඒ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග නව දිල්ලි හිදී පැවති ද්විපාර්ශවීය සාකච්ජා අවසානයේදී රාජ්‍ය නායකයින් දෙදෙනා සහභාගී වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින්ය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී පාලමක් සහ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් වන ශක්‍යතා පිළිබඳ කටයුතු කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දීය ප්‍රතිපත්ති තුළ ශ්‍රී ලංකාව සෑම විටම වැදගත් ස්ථානයක පසුවන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඉන්දියාවේ "අසල්වැසියා ප්‍රථමයෙන්" යන ප්‍රතිපත්තිය සහ "සාගර්" දැක්ම යන දෙකෙහිම ශ්‍රී ලංකාව ද වැදගත් ස්ථානයක් ගන්නා බවත් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අවශ්‍යතා සහ සංවර්ධනය එකිනෙකට බැඳී පවතින බවට විශ්වාස කරන බව ද අග්‍රාමාත්‍ය මෝදී මෙහිදී ප්‍රකාශ කළේය.

අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම් මොනවාද ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මෙම ඉන්දීය සංචාරයේ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය යොමු වූ බව එම නිවේදනයේ සඳහන් විය.

HE India 1ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සහ කර්මාන්ත සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ද ත්‍රිකුණාමලය කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනීම ශ්‍රී ලංකාවේ තීරණාත්මක ඉලක්කයක් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ය.

 

 

ත්‍රිකුණාමලයට මොකද වෙන්නේ..?

ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සහ කර්මාන්ත සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ද ත්‍රිකුණාමලය කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනීම ශ්‍රී ලංකාවේ තීරණාත්මක ඉලක්කයක් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ය.

සමුද්‍රීය සම්බන්ධතාවය

  • අන්‍යෝන්‍ය අවබෝධය පරිදි කලාපීය සැපයුම් සහ නාවික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණින් කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය සහ සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම.
  • ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී බෝට්ටු සේවා නැවත ආරම්භ කිරීම සහ රාමේෂ්වරම්, තලෙයිමන්නාරම හා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අනෙකුත් ස්ථාන අතර මගී බෝට්ටු සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම.

ගුවන් සම්බන්ධතාවය

  • යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම මගින් දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කර ඇති අතර, එය කොළඹ දක්වා තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම චෙන්නායි සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ගමනාන්ත අතර සම්බන්ධතා ගවේෂණය කිරීම.
  • ජනතාවට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබා දීම සඳහා පලාලි ගුවන් තොටුපළේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළුව සිවිල් ගුවන් සේවා සඳහා ආයෝජන සහ සහයෝගීතාව දිරිමත් කිරීම සහ ශක්තිමත් කිරීම.

බලශක්ති සහ විදුලිබල සම්බන්ධතාවය

  • පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීමේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමේ නිගමනයන්ට අනුව සුළං සහ සූර්ය බලය ඇතුළුව ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති විභවයන් වර්ධනය වනු ඇති අතර එමඟින් 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වේ.
  • ශ්‍රී ලංකාව සහ BBIN (බංගලාදේශය, භූතානය, ඉන්දියාව සහ නේපාලය) රටවල් ඇතුළු අනෙකුත් කලාපීය රටවල් අතර ද්විපාර්ශ්වික විදුලිබල වෙළඳපොළ සක්‍රීය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතාවකින් යුත් බලශක්ති ජාල අන්තර් සම්බන්ධතාවයක් ඇති කිරීම, ශ්‍රී ලංකාවේ විදුලිබල පිරිවැය අඩු කිරීමට පමණක් නොව ශ්‍රී ලංකාව සඳහා වටිනා සහ විශ්වාසනීය විදේශ විනිමය මූලාශ්‍රයක් නිර්මාණය කිරීමට උපකාර කිරීමටද එමගින් හැකියාව ඇත.
  • සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) යටිතල පහසුකම් පිළිබඳව ඇතිකරගත් එකඟතාව ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තුළ පුනර්ජනනීය බලශක්ති මිශ්‍රණයන් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් නව්‍ය තාක්ෂණයන් භාවිතයෙන් හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා ගවේෂණය.
  • ත්‍රිකුණාමලයේ වැව් ගොවිපළ සංවර්ධනය කිරීමේ අඛණ්ඩ සහයෝගීතාවය එම ප්‍රදේශයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතා ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ දෙරටේ උත්සාහයේ පිළිබිඹුවක් වන අතර අන්‍යෝන්‍ය අවබෝධය මත කර්මාන්ත, බලශක්ති සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ජාතික හා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය තවදුරටත් සංවර්ධනය කිරීමට එකඟ විය.
  • ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති ප්‍රභවයන් සැපයීම සහතික කිරීමේ අරමුණින් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් (multi-product petroleum pipeline) ඉදිකිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම.
  • ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඛනිජ තෙල් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ අක්වෙරළ ද්‍රෝණිවල හයිඩ්‍රොකාබන් නිෂ්පාදනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ඒකාබද්ධ ගවේෂණයක් සිදු කිරීම.

වෙළඳ, ආර්ථික සහ මූල්‍ය සම්බන්ධතා

  • ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආර්ථික ක්‍රියාකාරකම්වල වැදගත්කම අවධාරණය කළ අතර ප්‍රතිපත්ති අනුකූලතාව, ව්‍යාපාර කිරීමේ පහසුව ප්‍රවර්ධනය කිරීම සහ එකිනෙකාගේ ආයෝජකයින්ට සාධාරණ ලෙස සැලකීම තුළින් අන්‍යෝන්‍ය ආයෝජන සඳහා තවදුරටත් පහසුකම් සැලසීමට එකඟ විය.
  • ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායන් සහ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල නිෂ්පාදන/ආර්ථික කලාපවල ඉන්දියාවෙන් කෙරෙන ආයෝජන සඳහා පහසුකම් සැලසීම
  • නව සහ ප්‍රමුඛතා ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන පුළුල් ලෙස වැඩිදියුණු කිරීමේ අරමුණින් ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම;
  • දෙරට අතර වෙළඳ ගනුදෙණු පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල (INR) නම් කිරීමට ගත් තීරණය වඩාත් ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වාණිජ සම්බන්ධතා ඇති කර ඇති අතර, ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර වෙළඳාම සහ ගනුදෙනු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් ක්‍රියාත්මක කිරීමට එකඟ විය.
  • ශීඝ්‍ර ඩිජිටල්කරණය ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය සහ පාලනය යන දෙඅංශයේම සිදුවෙමින් පවතින පරිවර්තනීය වෙනස්කම් සඳහා වැදගත් බලවේගයක් වන අතර, ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ පුරවැසි කේන්ද්‍රීය සේවාවන් ජනතාවට ඵලදායී හා කාර්යක්ෂමව සැපයීම සඳහා ප්‍රමුඛතාවයන් අනුව ඉන්දියාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට එකඟ විය.

පුද්ගල - පුද්ගල සම්බන්ධතාවය

  • සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා දඹදිව වන්දනා චාරිකාව සහ රාමායණ චාරිකාව මෙන්ම ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ, හින්දු සහ අනෙකුත් ආගමික සිද්ධස්ථාන පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රචලිත කිරීම.
  • ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා අනුව ශ්‍රී ලංකාව තුළ නව උසස් අධ්‍යාපන සහ නිපුණතා මණ්ඩප (Skilled Campus) පිහිටුවීම ඇතුළුව දෙරටේ අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව ගවේෂණය කිරීම.
  • කෘෂිකර්මය, ජලජීවී වගාව, තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර, මූල්‍ය සහ කළමනාකරණය, සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව, පෘථිවි හා සමුද්‍ර විද්‍යාව, සාගර විද්‍යාව, අභ්‍යවකාශ යෙදුම් යන ක්ෂේත්‍රයන් මෙන්ම ඉතිහාසය, සංස්කෘතිය, භාෂා, සාහිත්‍යය, ආගමික අධ්‍යයන සහ අනෙකුත් මානව ශාස්ත්‍ර වැනි අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති ක්ෂේත්‍රවල ද පර්යේෂණ සහ අධ්‍යයන ආයතන අතර අන්තර් සහයෝගීතාව පුළුල් කිරීම.
  • ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ වරායන් වෙත ගොඩබිම් ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවයක් ඇති කිරීම මඟින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටෙහි ආර්ථික වර්ධනය සහ සෞභාග්‍යය ඇති කිරීම වෙනුවෙන් වසර දහස් ගණනාවක් පැරණි සබඳතා ඉවහල් ඇත. එවැනි ගොඩබිම් සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ඉදිරි කාලයේදී සිදුකරනු ලැබේ.

ddfe

 

ජනවාර්ගික සහ ධීවර ගැටලුව පිලිබඳ ඉන්දීය අගමැතිවරයා පැවසුවේ කුමක් ද ?

ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, සමානාත්මතාවය, යුක්තිය සහ සාමය සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇති බවට විශ්වාස කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වන සම්බන්ධතාවය නමැති නූල ඉතිහාසය විසින් වියන ලද්දක් බව මාධ්‍ය හමුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේය.

අපගේ රටවල් දෙක අතර වසර දහස් ගණනාවක් පැරණි ශිෂ්ටාචාරමය, සංස්කෘතික, මානව සහ වාණිජ අන්තර්ක්‍රියා හරහා එම ඒකාබද්ධ දැක්මෙහි පදනම සැකසී තිබෙන බවත් අනාගතය සඳහා එවැනි දැක්මක් ආරම්භ කිරීමට වර්තමානයේ වඩාත්ම සුදුසු අවස්ථාව මෙය බවට විශ්වාස කරන බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ වන දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා මේ වන විට දෙරට අතර පවතින සම්බන්ධතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ද මෙහිදී ජනාධිපති වික්‍රමසිංහ පැවසිය.

ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි

 

zsef

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි 21 උදෑසන  ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවිය.

 

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි 21 උදෑසන  ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවිය.

මීට අමතරව ජනාධිපතිවරයා ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි ද හමුවී තිබේ.

කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය අඛණ්ඩව සංවර්ධනය කිරීම, මෙගාවොට් 500 සුළං ව්‍යාපෘතිය, හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය සඳහා තම බලශක්ති විශේෂඥතාව පුළුල් කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ව්‍යාපෘති මාලාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ බව ගෞතම් අදානි සඳහන් කළේය.

adani HE

 

‘විකුණුවේ මොනවාද කියා දැන ගන්න වෙන්නේ ගිහින් ආවට පස්සේ’

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් සමගී ජනබල වේගයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ඉන්දියාවට විකුණුවේ මොනවාද කියා දැන ගත හැක්කේ ඒ සියල්ල සිදුකර අවසන් වූ පසු බවය.

" ජනාධිපතිතුමා ඉන්දියාවේ සංචාරයක නිරත වනවා. මේ ළඟට ගිහිල්ලා විකුනන්නේ. ඉස්සරනම් මෙහෙට ඇවිල්ලා තමයි ගන්නේ.

දැන් අදානි හම්බ වෙන්න ගිහිල්ලා තියෙනවා. අදානිට මොනවාද වික්කේ කියලා අපි දන්නේ නැහැ. IMF ගිහිල්ලා ඇග්‍රීමන්ට් ගැහුවට පස්සේ තමයි අපි දන්නේ. අපි අඩන්න ඕන මේ පාර්ලිමේන්තුවේ ඒවා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා.

කෙදිරි ගාලා, කෙදිරි ගාලා තමයි මේ පාර්ලිමේන්තුවට මුල්‍ය බලය තිබුණා කියලා කිව්වට දැන ගන්න වෙන්නේ.

ඉන්දියාවට වික්කේ මොනවාද කියලා දැන ගන්නේ වෙන්නේ ගිහිල්ලා ආවට පස්සේ." මන්ත්‍රීවරයා පැවසුවේ ය.

xgret

 

ජනාධිපති වික්‍රමසිංහ ධුරයට පත්වීමෙන් පසු පළමුවරට ඉන්දියාවේ නිල සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු පළමු වරට ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (ජූලි 20) දහවල් නව දිල්ලිය බලා පිටත්ව ගියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ආරාධනයකට අනුව ජනපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගියේ ඔහුගේ පදවි ප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණය හෙට දිනට යෙදී තිබිය දී ය.

Modi Ranil

 

ජනපතිගේ ඉන්දීය සංචාරය විශේෂ වන්නේ ඇයි?

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනයකර 75 වසරක් සපිරීමේ සංවත්සරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි මස 20 සහ 21 යන දිනවල දී මෙලෙස ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුගේ දෙදින නිල සංචාරයේ දී ඉන්දීය ජනාධිපති ද්‍රෞපර්දී මුර්මු, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඇතුළු ඉන්දීය රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන් රැසක් හමුවී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට මෙම සංචාරය ඉවහල් වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

දුකේ දී අත්නොහළ අසල්වැසියා

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද මධ්‍යයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පසුගිය මාර්තු 18 වැනිදා ප්‍රකාශ කළේ, "රුධිරය ජලයට වඩා ඝන" බැවින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම ස්වාභාවික බව යි.

ඉන්දු - ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා පිළිබඳ ප්‍රදර්ශනයක් අමතමින් ඔහු මේ බව පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විදෙස් ප්‍රතිපත්තිය අනුව 'පළමුව අසල්වැසියා' යන සංකල්පය මත ඉන්දියාව ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වූ අවස්ථා රැසක් තිබේ.

ඉකුත් 2022 වසරේ ආරම්භයේ සිට ශ්‍රී ලංකාව මුහුණදුන් මහා ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ලබාදුන් සහයෝගය මෙරට ජනතාවට දැවැන්ත ශක්තියක් විය.

විශේෂයෙන්ම ඉන්ධන හිඟය, ඖෂධ හිඟය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක හදිසි ආධාර සැපයීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී රජය පියවර ගත්තේ ය.

මීට අමතරව ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමතකර ගැනීම සඳහා අවශ්‍ය වූ ණයහිමියන්ගේ සහතිකය ලබා දීමේ දී ඉන්දියාව ප්‍රමුඛ කාර්යය භාරයක් ඉටු කළේ ය.

පදවි ප්‍රාප්තියෙන් පසු ජනපතිගේ විදෙස් සංචාර

2022 වසරේ ජූලි 21 වැනිදා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවස්ථා හයක දී විදේශ සංචාරයන්වල නිරතව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය වසරේ දී බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය සඳහා සහභාගීවීමට ද, පසුව තුන්වන චාර්ල්ස් රජුගේ පදවි ප්‍රාප්ති උත්සවයට ද ඇතුළුව අවස්ථා තුනක දී බ්‍රිතාන්‍යයේ සංචාරය කරනු ලැබුවේ ය.

ඔහු අවස්ථා දෙකක දී ජපානයේ නිල සංචාරවල ද නිරත විය.

පිලිපීනයේ පැවති ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ සැසිවාරය, ඊජිප්තුවේ පැවති 2022 එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස පිළිබඳ සමුළුව සහ ප්‍රංශයේ පැවති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගී වූයේ ය.

මීට අමතරව, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයෙන් ජනාධිපති වික්‍රමසිංහ එරට සංචාරයක නිරත වූයේ ඉකුත් මැයි මාසයේ දීය.

ඉන්දීය සංචාරයට පෙර ජනපති දෙමළ දේශපාලඥයින් හමුවෙයි

 

xgst

ඉන්දීය නිල සංචාරයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට දෙමළ දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය මේ වන විට ඉදිරිපත් කර අවසන් බවත්, එය ක්‍රියාත්මක කරනවා ද, නැද්ද යන්න එම දේශපාලඥයින් තීරණය කළයුතු බවත්, එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ය.

PMD TW

 

එම සාකච්ජාවේ දී මූලික වශයෙන් අවධානයට යොමු වූ කරුණු මොනවා ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය

පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ඊට අවශ්‍ය බවත් ඔහු පැවසීය.

තමා රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බවත්, ඔහුට අවශ්‍ය උතුරු නැගෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය සඳහා වන කෙටුම්පතක් එහි ව්‍යවස්ථානුකූලභාවය විමසා බැලීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර, එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය විසින් කෙටුම්පත් කරන ලද සංහිඳියාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ද ළඟඳීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය.

උතුරු නැගෙනහිර යුක්තිය පසිඳලීමේ කාර්යයේ දී විදේශීය විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් සිදු කිරීමට රජයේ කිසිදු සූදානමක් නැති බවත්, අවශ්‍ය නම් පමණක් දකුණු හා නැගෙනහිර ආසියනු රටවල පවතින ක්‍රමවේද අනුව විදේශීය නිරික්ෂකයින්ගේ වාර්තා පමණක් ලබා ගැනිමේ හැකියාව ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

උතුර සහ නැගෙනහිර පළාත් තුළ සංචාරක සහ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් ඉදිරිපත් විය.

'ඉන්දීය සංචාරයට පෙර නාටකයක්'

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ජාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙමළ දේශපාලකයින් ප්‍රකාශ කර සිටියේ මෙය ඉන්දීය සංචාරයට පෙර සිදුකළ නාටකයක් බව යි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන්, ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීමට ජනපති සතුව නිසි සැලැස්මක් නොමැති බව ප්‍රකාශ කළේ ය.

"ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ක තිබ්බ සාකච්ජාවේ දී ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ඔහු සතුව නිසි සැලසුමක් නොමැති බව පැහැදිලි වුණා. ලෝකයට පේන්න, විශේෂයෙන් ඉන්දියාවට පේන්න කරපු නාට්‍යක් විදිහටයි අපි එය දකින්නේ. ෆෙඩරල් ක්‍රමයක අවශ්‍යතාවය පිළිබඳ එම හමුවේ දී අපි ප්‍රකාශ කළා. නමුත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක ජනාධිපතිවරයා සිටියේ. එය ජාත්‍යන්තරයට පෙන්වන්න ගත් උත්සහයක් බව කියන්න කැමතියි," මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.

 
PMD TW1
 

මේ අතර ජූලි 19 වෙනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයයේ නීති පීඨයේ මහාචාර්ය ඒ. සර්වේෂන් පැවසුවේ ජනාධිපතිවරයා එක ගලෙන් අඹ ගෙඩි දෙකක් කඩා ගැනීමේ උත්සාහයක නිරතවන බව ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා, "උතුරු නැගෙනහිර එක් නොකර පොලිස් බලතල නොදුන් පළාත් සභා තමයි පසුගිය සමයේත් තිබුනේ. ඒ ක්‍රමය නැවත ලබා දෙන්න දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් කැඳවලා ආපහු සාකච්ජා කරන්න අවශ්‍යතාවයක් නැහැ.

"ම සාකච්ජාව ජනාධිපතිතුමා එක ගලෙන් අඹ ගෙඩි දෙකක් කඩා ගැනීමේ උත්සහයක්. ඉන්දියාවේ සංචාරයක නිරත වෙන්න සූදානම් වෙන ජනාධිපතිතුමා පළාත් සභා ක්‍රමය ගෙන එන බව පෙන්වමින් ඉන්දියාවේ සහයෝගය ගන්න උත්සාහ කරනවා. අනෙක් පැත්තෙන් පොලිස් බලතල දෙන්නේ නැහැ කියලා දකුණේ ජනතාවගේ සහයෝගය ගන්න උත්සාහ ගන්නවා. ඒ වගේම පළාත් සභා ක්‍රමය ගෙන එන බව පෙන්වලා උතුරු සහ නැගෙහිර ජනතාවගේ සහයෝගය ගන්නත් උත්සහ ගන්නවා.

"ඊළඟ මැතිවරණය ඉලක්කකර ගත්ත ජනාධිපතිවරයාගේ උපායක් විදිහට අපි මේක දකිනවා," මහචාර්යවරයා පැවසුවේ ය.

ජනපති යටතේ ඇති අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනෙන් බැහැර වන එම කාලසීමාව තුළ ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.

ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසද, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ඇත.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසද පත් කර තිබේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් කුමන ප්‍රතිලාභයක් අත්වෙයිද? ඒ පිළිබඳ බොහෝ පර්ශව උනන්දුවෙන් පසුවෙති.

 

(BBC සිංහල සේවය)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්