හෙලන් වසරකට වැඩි කාලයක් තම පුතු සමග කතාකර තිබුණේ නැත. ඇය අවසන් වරට අසා තිබුණේ
ඔහු සිරගතව සිටින බව ය. මේ වන විට 31 වන වියේ පසුවන ඔහු දශකයකට වැඩි කාලයක් තිස්සේ ඔපියොයිඩ්වලට [වේදනා නාශක ඖෂධ වර්ගයක්] ඇබ්බැහි වී ඇත.
 
"එයා මට කතා කරන්න උත්සහ කළා. ගොඩක් දුරට සල්ලි ඉල්ලන්න වෙන්න ඇති. මම ගත්තේ නෑ," එංගලන්තයේ වෙසෙන හෙලන් මෙලෙස පැහැදිලි කළා ය. "මේ වෙලාවේ, මගේ ආරක්ෂාව සහ මානසික සහනය වෙනුවෙන් ගන්න තියෙන හොඳ ම තීරණය තමයි ඒක." තම පුතුගේ කුඩා දියණියගේ මූලික රැකවරණය සපයන්නා ලෙස හෙලන්ගේ අවධානය යොමු වී ඇත්තේ, ඇයට හැදී වැඩීමට අවශ්‍ය ආදරණීය සහ සුරක්ෂිත පරිසරයක් ලබා දීම ය.
 
හෙලන් තම පුතු ආවේගශීලී හා දේවල් කඩා බිඳ දමන දරුවෙකු ලෙස සිහිපත් කරන්නේ, ඔහුට දේවල් හාස්‍යජනක ලෙස දැකීමට තිබුණු හැකියාව සහ ඔහුගේ කරුණාවන්ත හදවත පිළිබඳව ද සිහිපත් කරමිනි. නව යොවුන් වියේදී, "ඔහුගේ හැසිරීම කලහකාරී වීම මෙන් ම පැය ගණනක් වැසිකිළියට වී දොර ලොක් කරගෙන සිටීමට පටන් ගැනීම," හේතුවෙන් තමන් ව්‍යාකූලත්වයට පත් වූ අයුරු ඇය සිහිපත් කරයි. "මම මේ හැසිරීම ගැන එයා එක්ක කතා කළා ම එයා මට කිව්වේ, මම තමයි පිස්සා, මම තමයි මත්ද්‍රව්‍ය ගන්නේ කියලා. සමහර වෙලාවට මට ඒකට හිනා වෙන්න ඕනේ වුණා. මොකද ඒක ඒ තරම් විහිළුසහගත කතාවක්."
 
 
ඔහු හෙරොයින් භාවිත කරන බව සොයාගත් විට, තමන් කළ යුත්තේ කුමක්දැ යි හෙලන් දැන සිටියේ නැත. ඔහු දින ගණනාවක් අතුරුදන් වී සිටින අතර අනේකවිධ තුවාල සහිතව යළි පැමිණෙන්නේ ය. ඔහු නිවසේ සිටින අවස්ථාවල ඔහු සමග සිටීම අපහසු කාර්යයකි. "එයා මට කවදාවත් ගහලා නැහැ. ඒත් ගොඩක් වෙලාවල දී එයා තරහින් ගෙදර විනාශ කරලා දානවා. කොරිඩෝ එකේ තාමත් සිදුරක් තියෙනවා එයා දණහිසෙන් ගහල හැදුණු," ඇය පැහැදිලි කරයි.
 
 

රැකියාවේ දී ඇයට වැටුප් ගෙවා තිබුණේ මුදල්වලිනි. ඇය පවසන්නේ, ඇගේ පුත්‍රයා තම මුදල් පසුම්බියෙන් ඒවා ගැනීමට පටන් ගත් බව ය. ඔහු ප්‍රකෝපකාරී ලෙස හැසිරෙනු ඇතැයි සිතා කිසිත් නොපවසන ඇය එම මුදල් තම ඉණ වටේ ඇති පටියක තබා ගැනීමට පටන් ගත්තා ය. "මම කිව්වා මට ණයක් ගන්න පුළුවන් තත්ත්වයක් එන නිසා ඒ සල්ලි කෙලින් ම යන්නේ ගිණුමකට කියලා," ඇය පවසයි. අවසානයේ ඇයට මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු සමග ජීවත්වීම අනාරක්ෂිතයැ යි හැඟුණු බැවින් ඇය ඔහු සමග තිබූ සබඳතා කපා දැමුවා ය.

දෙමව්පියන් සහ දරුවන් අතර ඇති සම්බන්ධය ජීවිත කාලය පුරාවට ම පවතින, ඕනෑ ම හොඳ හෝ නරක අවස්ථාවක දී නොනැසී පැවතිය හැකි සාරවත්, ආදරණීය බැඳීමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, ඇතැම් දෙමව්පියන්ට මෙම සම්බන්ධතාව පවත්වා ගැනීම දුෂ්කර විය හැකි ය. අවසානයේ දී, තමන් ආපසු නොහැරෙන තැනකට පැමිණ ඇති බව ඔවුන්ට හැඟී යා හැකි අතර, එබැවින් ඔවුන්ගේ තම භූමිකාවෙන් ඉවත් වීමට තීරණය කළ හැකි ය.

bbc 1

 

 

වැඩි වැඩියෙන් ධ්‍රැවීකරණය වූ ලෝකයක, තම දෙමාපියන් සමග කතාබස් කිරීම නවත්වන දරුවන් පිළිබඳ සංවාද සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. එහෙත් එතරම් කතාබහට ලක් නොවුණ ද එහි අනෙක් පැත්ත ද සිදු වේ. එසේ වනු ඇත්තේ, දෙමව්පියන් තම දරුවන් සමග සබඳතා කපා හැරීම දුර්ලභ බව දත්ත පෙන්වා දෙන නිසා විය හැකි ය: ස්ටෑන්ඩ් අලෝන් (Stand Alone) නම්, පවුල්වලින් වෙන් වන පුද්ගලයින් සඳහා උපකාර කරන බ්‍රිතාන්‍ය පුණ්‍ය ආයතනයක් විසින් 2015 වසරේදී කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ, තම දරුවන්ගෙන් වෙන් වූ දෙමව්පියන්ගෙන් 5%ක් ඔවුන් විසින් ම එසේ සිදු කරන ලද බව ය.

 

මෙම තීරණය දුෂ්කර හා වේදනාකාරී වන අතර, මෙම වෙන් වීම අත්විඳින පිරිස් පවසන්නේ, එහි ඇති සාපේක්ෂ දුර්ලභත්වය එම තීරණය ඔවුන් විශේෂයෙන් ම හුදෙකලා කරන බව ත්, එය මෙම මාර්ගය අනුගමනය කිරීමට තෝරා ගන්නා පිරිස් වෙත අපකීර්තියක් එක් කළ හැකි බව ත් ය.

'කොන්දේසි විරහිත ආදරය ගැටලුකාරී විය හැකි ය'

"පර්යේෂණ සහ ජනප්‍රිය සංස්කෘතිය යන දෙඅංශය තුළින් ම, තම දරුවන්ගෙන් වෙන් වන දෙමව්පියන් පිළිබඳව අපට ඇසෙන්නේ හරි කලාතුරකින්. ඒ මොකද කිව්වොත් ඒක සමාජය තහනම් දෙයක් ලෙස සලකන නිසා, සහ ඒ අත්දැකීම ගැන විවෘතව කතා ක‍රන්න ඒක විවේචනය නොකරන තැන් තියෙන්නේ හරි ම ස්වල්පයක් සංඛ්‍යාවක් නිසා," පවුල්වලින් පුද්ගලයින් වෙන් වීම පිළිබඳ විශේෂඥවරියක මෙන් ම, බටහිර එංගලන්තයේ, බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ලුසී බ්ලේක් පැහැදිලි කරයි.

 

දෙමව්පියන් තම දරුවන් සමග සබඳතා අවසන් කිරීමට හේතුව දරුවන් ඔවුන්ගේ දෙමාපියන් සමග ඇති සබඳතා කපා හැරීමේ හේතුවට සමාන වේ: බ්ලේක්ට අනුව, වඩා ත් සුලබ ලෙස උපුටා දක්වනු ලබන්නේ පවුල් තුළ සිදුවන ගැටුම්, පෞද්ගලික වටිනාකම්වල ඇති වෙනස්කම් (ආගමික විශ්වාසයන් වැනි), මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ වෙනත් අයහපත් හැසිරීම් ය. ස්ටෑන්ඩ් අලෝන් පර්යේෂණයෙන් පෙන්නුම් කළේ, පුතුන් සමග ඇති සබඳතා බිඳ වැටීම් සඳහා වඩා ත් පුළුල් ලෙස වාර්තා වන හේතු වන්නේ, දික්කසාදවීම්වලට සම්බන්ධ ගැටලු, විවාහයෙන් පසුව ඇති වන ඥාති සබඳතා සහ විවාහය බව ය. දියණියන් සම්බන්ධයෙන් ගත් කල මානසික-සෞඛ්‍ය ගැටලු සහ මානසික අපයෝජනයන් වඩා ත් සුලබ වූ බව පෙන්වා දී තිබේ.

 

එසේ වුව ත්, දරුවන් සමග ඇති සබඳතා කපා හැරීම සඳහා වන මෙම තීරණය ගැනීම දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු මෙන් ම අවසානයේ ඉතා දුෂ්කර කටයුත්තක් වන බව පෙනේ. සමාජයීය වශයෙන්, දෙමව්පියන්ගෙන් අපේක්ෂා කරනු ලබන්නේ අන් කිසිවක් නොව දරුවන් පෝෂණය කිරීම සහ රැකබලා ගැනීම ය. "දෙමව්පියන් ගැන අපට තියෙන්නේ ඉතා ඉහළ, දෙවියන්ට සමාන අපේක්ෂාවන්. ඔවුන් කොන්දේසි විරහිතව ආදරය කරන්න ඕන කියලා අපි බලාපොරොත්තු වෙනවා," බ්ලේක් පැහැදිලි කරයි. "මේක ගොඩක් ගැටලුකාරී වෙන්න පුළුවන්. මොකද මානසික වශයෙන් වගේ ම, ආර්ථික වශයෙන් සිද්ධ වෙන ඕනෑ ම ආකාරයක අපයෝජනය කිරීම් ඇතුළුව ඕනෑ ම ආකාරයක සැලකිල්ලක් ඒ අය විඳ දරා ගන්න ඕනේ කියලා ඒකෙන් අදහස් වෙන නිසා."

තම දරුවන් තමන්ට රිදවන විට පවා දෙමව්පියන් ඒවා නොතකා සිටීමට වෙහෙසෙන්නේ මේ නිසා විය හැකි ය. අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වය පිළිබඳ විශේෂඥවරියක මෙන් ම, එක්සත් රාජධානියේ කෙන්ට් විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යා කථිකාචාර්යවරියක වන ජෙනිෆර් ස්ටෝරි, වැඩිහිටි අපයෝජනයන්ට ගොදුරුවූවන් සමග සිදු කළ බොහෝ සම්මුඛ සාකච්ඡා ඔස්සේ, දෙමව්පියන් තවමත් තම දරුවන් ගැන කණස්සල්ලෙන් හා ශෝකයෙන් සිටින බව සොයා ගනියි. "මට හරියට ම මතක නැහැ. ඒත් එක අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි හිටියා එයාලට එයාගේ දරුවා එක්ක තියෙන සම්බන්ධය කපලා දාන්න ඕනෑ කරපු. ඒත් එක්ක ම එයාලට හැම වෙලාවෙ ම වගේ ඕනෑ වුණේ සම්බන්ධතාව දිගට ම පවත්වා ගෙන යන්න, හැබැයි අපයෝජන අවසන් වෙන්න ත් ඕනෑ වුණා," ඇය විස්තර කරයි.

සිදුවෙමින් පවතින දෙයෙහි යථාර්ථය පිළිගැනීමට දෙමව්පියන් හා දරුවන් යන දෙදෙනාට ම සහ ඔවුන් වටා සිටින පුද්ගලයින්ට ද අපහසු විය හැකි ය. "දෙමව්පියන්ට හැම බලයක් ම තියෙනවා කියලා හිතුවත්, දරුවෝ වැඩෙද්දී ඒ බලය ක්‍රමයෙන් වෙනස් වෙනවා,"යි Adolescent-to-Parent Abuse: Current Understandings in Research, Policy and Practice නම් කෘතියේ කතුවරිය වන ඇමැන්ඩා හෝල්ට් පවසයි. "දරුවන්ගෙන් දෙමව්පියන් අපයෝජනය වෙන්න පුළුවන් කියලා තියෙන විශ්වාසයේ අඩුව, එහෙමත් නැත්නම් මවකට හෝ පියෙකුට තම දරුවන්ගෙන් ඉවත්ව වෙන්න අවශ්‍ය වෙන එක නරක දෙයක් වීම, දරුවන්ගෙන් ඉවත් වෙන එක ඒ තරම් අපහසු වෙන්න තවත් හේතුවක්."

"Intergenerational stake hypothesis" යන න්‍යාය මගින් ද ඒ පිළිබඳව පැහැදිලි කරයි. මෙම න්‍යායෙන් අදහස් කරන්නේ, දෙමව්පියන් සාමාන්‍යයෙන් තම දරුවන්ට වඩා මාපිය-ළමා සබඳතාවේදී චිත්තවේගීය, මූල්‍යමය සහ ශාරීරික වශයෙන් වැඩි පරිශ්‍රමයක් දරන බව ය. දරුවන් සමග ඇති ශක්තිමත් ධනාත්මක සබඳතා දෙමාපියන්ගේ මනා යහපැවැත්මට, ඉහළ ජීවන තත්ත්වයට සහ මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ අත්විඳීමට ඇති ඉඩකඩ අඩු කිරීම හා සම්බන්ධ වන නමුත් දෙමව්පියන් සමග ශක්තිමත් ධනාත්මක සබඳතා එම ප්‍රතිලාභ ම ගෙන දෙන බවට සහතික නොවේ. මෙයින් අදහස් කරන්නේ, හදිසියේ හෝ ක්‍රමානුකූලව හෝ දරුවා සමග ඇති සබඳතා කපා දැමීමට වන දෙමාපියන්ගේ තේරීම තමන් දෙමව්පියන් ලෙස අසාර්ථක වූවා සේ දැනෙන මානසික පීඩනයට වඩා වැඩි යමක් සමග පැමිණෙන්නක් බව ය.

 

"මාපියත්වය කියන්නේ, ගෞරවයට පාත්‍රවුණු සහ අගය කිරීමට ලක් වුණු භූමිකාවක් සහ අනන්‍යතාවක් - ඒක ජීවිතය වෙනස් කරනවා වගේ ම ජීවිත කාලය පුරා ම පවතින්නක්," යනුවෙන් බ්ලේක් පැහැදිලි කරයි. "අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා එක්ක හොඳ සබඳතාවක් පවත්වන්නේ නැති වුණා ම ඔවුන්ට තමන් ඒ භූමිකාව තුළ අසාර්ථකයි කියලා දැනෙන්න පුළුවන්. ඒක දැඩි වේදනාවක් සහ ලැජ්ජාවක් ඇති කරන්න පුළුවන් වගේ ම දෙමව්පියන් තමන් ගැන සහ තමන් කවුරුන් ද යන්න ගැන සිතන ආකාරය වෙනස් කිරීමක් හෝ ඒකට අභියෝගයක් වෙන්න පුළුවන්."

 

මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී, දෙමව්පියන්ට සබඳතා කපා හැරීම දැමීම දරුවන්ට වඩා අභියෝගාත්මක විය හැකි ය. "ඒක අනිවාර්යයෙන් ම වෙනස් ම ආකාරයක වේදනාවක් වෙන්න පුළුවන්, මොකද දෙමව්පියන්ට ඔවුන්ගේ ජීවිතවල හිස් බවක් හෝ අඩු අර්ථවත් බවක් තියෙනවා කියලා පේන්න හැකියාවක් ඇති නිසා,"යි බ්ලේක් පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනෙකුට පවුලේ අනෙකුත් සාමාජිකයන් සමග ඇති මිත්‍රත්වය සහ සබඳතා අහිමි වී යනු ඇත. "වෙන් වීමත් එක්ක ඇති වන අහිමි වීම සහ වේදනාව මිනිසුන්ගේ ජීවිතවල විවිධ පැතිවලට බලපෑම් ඇති කරනවා," බ්ලේක් පවසයි.

bbc 2

 

අඳුරු සහ අවුල්සහගත ය

ඇතැම් අවස්ථාවලදී, හෙලන්ගේ මෙන්, සබඳතා කපා හැරීමේ තීරණය පැහැදිලිව ම එක් පාර්ශවයක් විසින් ගනු ලැබේ. නමුත් දෙමාපියන් සහ දරුවන් අතර ඇති වෙන් වීමට හේතුවූ කාරණය බොහෝ විට අවුල්සහගත විය හැකි ය.

එක්සත් ජනපදයේ වෙසෙන ජැක් තම බිරිඳ සමග විවාහ වී දශක දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර එම කාලය තුළ ඔවුන්ට දරුවන් හතර දෙනෙක් සිටියහ. දික්කසාද වන විට ඔවුන්ගේ බාල දියණියගේ වයස අවුරුද්දකි. ඔහුගේ හිටපු බිරිඳ නැවත විවාහ වූ විට, ඔහුගේ බාල දරුවා ඔහුට වඩා ඇගේ සුළු පියා වෙත ආකර්ෂණය වූ බව ඔහු පවසයි. ඇය වයසින් වැඩෙත් ම, ජැක් සමග කාලය ගත කිරීමට අකමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබිණි.

 

ජැක් පවසන්නේ තමන් මානසිකව කඩා වැටෙන ස්ථානයකට පැමිණයේ තම දියණියට වයස අවුරුදු 14ක්ව සිටියදී තමන් ඇය බැලීමට ගිය [දික්කසාද වීමෙන් පසු මවකට හෝ පියෙකුට තම දරුවන් සමග ගත කිරීම සඳහා ලබා දෙන නිශ්චිත කාලය] අවස්ථාවකදී බව ය. සවස් වන විට තමන් නිවසේ සිටිය යුතු වේලාව පිළිබඳව ඇති වූ මතභේදයකින් පසු, ඇය ජැක් සමග සති අන්තයේ කාලය ගත කිරීම පිළිකුල් කරන බව පැවසූ අතර, තමන් සහභාගි වීමට සැලසුම් කර තිබූ උත්සවයට යාම සඳහා ඇය ඇගේ මවට කතා කළා ය. "මම මගේ හිටපු බිරිඳට ඊමේල් පණිවිඩයක් යැව්වේ, මගේ දුවට තව දුරටත් සති අන්තවල දී මාත් එක්ක කාලය කරන්න අවශ්‍ය නෑ කියලා පේන බව කියන්නත්, අනාගතයේදී ඒ තීරණය වෙනස් වුණොත් ඇයව පිළිගන්න මහත් ඕනෑකමින් මම ඉන්න බව කියන්නත්," ජැක් පවසයි. ඔහු තම දියණියට එලෙස හැසිරීම සම්බන්ධයෙන් දොස් නොකියන නමුත්, එතැන් සිට ඇගෙන් කිසිදු පණිවිඩයක් ලැබුණේ හෝ ඇය දැකීමට හැකියාවක් ඔහුට ලැබුණේ නැත.

 

ඔහුගේ දියණිය ආරම්භයේදී ම සබඳතාව කපා හැරිය ද, ජැක්ට ඍජුව ම ඇය සමග පෙර පැවති ලෙස සබඳතාව ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොවී ය. "එහෙම කාලය ගත වෙද්දී මේ සම්බන්ධතාව ආයෙත් ඇති කර ගන්න මට තිබුණු අවශ්‍යතාව අඩු වෙලා ගියා. මට මරණයක් සිදුවුණාට සමාන හැඟීමක් දැනුනේ. පස්සේ මම තත්ත්වය තේරුම් අරගෙන එතැනින් ඉස්සරහට ගියා," ඔහු පවසයි. "මම ඉන්නේ මගේ ජීවිතේ මට තියෙන සම්බන්ධතා ගැන තෘප්තිමත් අවධියක. ඉතින් ඒකත් එක්ක ඇය සමග අර්ථවත් සම්බන්ධයක් ගොඩනගා ගන්න ආයෝජනය කරන්න අවශ්‍ය කාලය ගැන මම උනන්දු වේවි ද කියලා සැකයි. ඇයි ඒක ත් එක්ක එන රඟපෑම බලන එක," ඔහු පැහැදිලි කරයි.

ජැක්ගේ කතාවෙන් පිළිඹිබු වන්නේ, දෙමාපිය දරුවන්ගෙන් වෙන් වීමේ අඳුරු යථාර්ථය යි. එනම්, කවුරුන් විසින් කවුරු අතහැර දමනු ලැබුවේ ද යන්නේ ඇති අපැහැදිලි ස්වභාවය යි. ඔහු කෙරෙහි කැමැත්තක් නොමැති බව පැහැදිලිව ම පෙන්නුම් කළේ ඔහුගේ දියණිය වුව ද ඔවුන් එකිනෙකා දැකීම නැවැත්විය යුතු බවට ඇත්ත වශයෙන් ම අදහස් කළේ ඔහු ය.

 

විශේෂඥයින් පවසන්නේ මෙය අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව ය: "දරුවන්ගෙන් වෙන් වූ ඇතැම් දෙමව්පියන්ට, ඒ තීරණය ගන්න මුලපිරුවේ කවුරුන් ද යන්න ගැන කාටවත් පැහැදිලි පිළිතුරක් නැහැ. එය තරමක් අවුල් සහගත යි," බ්ලේක් පවසයි. වෙන් වීමේ තීරණය ගැනීමට මුලපිරුවේ කවුරුන් ද යන්න පිළිබඳව ඇසූ විට ("ඔවුන් කළේ", "මම කළේ", "අපි එකිනෙකා අතර තිබුණු සබඳතාව කපා දැමුවා" සහ "මට හරියට ම කියන්න බෑ" යන පිළිතුරු අතරින් තෝරා ගැනීමට අවස්ථාව දුන් විට) ස්ටෑන්ඩ් අලෝන් මගින් සිදු කළ ප්‍රජා අධ්‍යයනයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 10%ක් ප්‍රතිචාර එකක් හෝ කිහිපයක් තෝරා ගත් අතර, එමගින් සැමවිට ම තීරණය ගත්තේ කවුරුන් ද යන්න අපැහැදිලි බව පෙන්වයි.

 

වෙන් වීම සෑම විට ම ස්ථිර හෝ ස්ථිතික තත්ත්වයක් නොවේ. වෙන්ව සිටින කාලපරිච්ඡේදයන් හරහා ගොස් බලන විට නැවත එක්වීම සාමාන්‍ය දෙයකි. ස්ටෑන්ඩ් අලෝන් අධ්‍යයනයෙන් සොයා ගෙන ඇත්තේ, විශේෂයෙන් ම එය මව්වරුන් සහ දූවරුන් අතර සිදු වන සාමාන්‍ය දෙයක් බව ය.

තම දරුවාට ඇබ්බැහි වූ බොහෝ දෙමාපියන්ගේ තත්ත්වය ද මෙය යි. 2020 වසරේ සිදු කළ ස්වීඩන් අධ්‍යයනයකින් පෙන්නුම් කළේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ වැඩිහිටියන්ගේ දෙමාපියන් අවසානයේ ඔවුන් නැවතත් එකතු වේයැ යි බලාපොරොත්තුවෙන් සිටි බව ය. යම්තාක් දුරකට එයට හේතුව ඔවුන්ට තම දරුවා මත්ද්‍රව්‍ය භාවිත කරන සහ නොකරන ලෙස වෙනස් පුද්ගලයන් දෙදෙනෙකු ආකාරයෙන් දැකීමට හැකි වීමයි. ඉන් දෙවැන්නා ඉවත්ව ගියහොත්, සම්බන්ධතාව දිගට ම පැවතිය හැකි ය.

හෙලන්ගේ දෘෂ්ඨිකෝණයෙන් බැලූ කල, ඇය කිහිප වතාවක් ම තම පුතු සමග තිබූ සබඳතා කපා දමා තිබේ. ඔවුන් වසර ගණනාවක් තිස්සේ වෙන් වීමේ සහ නැවත එකතු වීමේ කාල පරිච්ඡේද හරහා ගමන් කර ඇත. නමුත් මේ වන විට, ඇය ඔහු සමග සම්බන්ධකමක් නොපවත්වන අතර ඊළඟට කුමක් සිදුවේදැ යි නොදන්නී ය. "එයාට වැරදිවලින් අයින් වෙන්න සහ සිරගෙයින් එළියට එන්න කැපවෙන බව පෙන්නන්න පුළුවන් නම්, සමහර විට මට එයාව අපේ ජීවිතයට ආයෙත් අවශ්‍ය වෙයි," ඇය පැහැදිලි කරයි. "ඒත් මම දන්නේ නෑ එයාව ආයෙත් කොහොම ද විශ්වාස කරන්න ද කියලා. අනිවාර්යයෙන් ම එයා එයාගේ දරුවා බලා ගනීවි කියලා විශ්වාස කරන්නත් බෑ."

'හුදෙකලා පීඩාවක්'

වෙන් වීම සඳහා මුලපිරීමට විශ්වාසයෙන් යුතුව හේතු දක්වන දෙමව්පියන්ට වුව ද, ඔවුන් ගන්නා තීරණයේ එදිනෙදා යථාර්ථය එතරම් පහසු වන්නේ නැත. "දෙමාපියන් සහ දරුවන් අතර තියෙන බැඳීම ජීව විද්‍යාත්මක, නෛතික සහ සමාජයීය බැඳීම් හරහා ගොඩනැගෙන එකක් වන අතර ඒක පහසුවෙන් බිඳිය නොහැකි ගැඹුරු බැඳීමක්," හෝල්ට් පැහැදිලි කරයි. "දෙමව්පියන් ඉවත්ව ගියොත්, සම්බන්ධතාව නැති වෙලා යන්න පුළුවන්. ඒත් ඒ බැඳීම් දිගට ම පවතිනවා. ඒ සියල්ල අතහැර දැමීම ඉතා අපහසු වෙන්න පුළුවන්."

 

වෙන් වීමට මුලපුරන බොහෝ දෙමව්පියෝ, තම තීරණය සමග ඇති වන ලැජ්ජාව සහ එල්ල වන දෝෂාරෝපණ ද උග්‍ර හුදෙකලාවකට තුඩු දෙන බව සහ ලේ ඥාතීන්ගෙන් ඔබ්බට පවා ඔවුන් ස්ථාපනය කරගත් සබඳතා ජාලය කැඩී බිඳී යන බව අවබෝධ කර ගනිති. "වෙන් වෙන්න තීරණය කරපු අම්මලා තාත්තලාට කතා කරන්න කරුණාවන්තකමක් තියෙන සහ අවබෝධයක් තියෙන මිනිස්සු ඉන්නේ හරි ටික දෙනයි," බ්ලේක් පැහැදිලි කරයි. "දුක සහ අහිමි වීම ගැන කතා කරන්න යම් ඉඩක් තියෙන්න පුළුවන්, ඒත් මිනිස්සු අපේක්ෂා කරන්නේ ඒකට ඒ තරම් ඉඩක් නොදී ඒ අය ඒ දේවල්වලින් මිදිලා ජීවිතේ ඉස්සරහට යාවි කියලා."

 

ජැක් තම දියණිය සමග ඇති නොබැඳීම නොතේරෙන මිතුරන් සමග සාකච්ඡා කර ඇති අතර ඔහු පවසන්නේ ඔවුන්ට කිසි විටෙකත් ලේ සම්බන්ධයකට පිටුපෑමට නොහැකි බව ය. "මට නම්, කෙනෙක් 'ලේ' ඥාතියෙකු වූ පමණින් අදහස් වෙන්නේ නෑ ඒ කෙනාට ඔබට නරක විදියට සලකන්න අයිතියක් තියෙනවා කියලා," ඔහු පැහැදිලි කරයි.

කරුණාව ලැබීම සහ කතාබහ කිරීමට අවකාශයක් හිමි වීම වසරේ නිශ්චිත කාලවලදී විශේෂයෙන් වැදගත් විය හැකි ය. නමුත් මෙම කාල රාමුව එක් එක් දෙමව්පියන් අනුව වෙනස් වේ. විශේෂයෙන් ඇතැම් විශේෂ අවස්ථා [උපන් දින, සංවත්සර සහ පවුලේ හමුවීම්] යෙදී ඇති දිනවලදී සිත් පෑරීම් වඩාත් උග්‍ර අතට හැරේ: ස්ටෑන්ඩ් අලෝන් අධ්‍යයනයට අනුව, පවුලේ සාමාජිකයෙකුගෙන් වෙන් වූ පුද්ගලයන්ගෙන් 90%ක් විශේෂ අවස්ථා යෙදී ඇති දිනයන් අභියෝගාත්මක ලෙස සලකන අතර, 85%ක් උපන් දිනයන් දුෂ්කර ලෙස ත් 81%ක් වෙන ත් පවුල් සමග කාලය ගත කිරීම අපහසු ලෙස ත් සලකයි.

හෙලන්ගේ දෘෂ්ඨිකෝණයෙන් බැලූ කල, නත්තල ළං වන විට ඇය වඩාත් කල්පනාබරිත වන අතර ඇය තම මිණිබිරියට නත්තල් පහන් පෙන්වයි. එය ඇය තම පුතු සමග නිතර සිදු කළ දෙයක් වන අතර, සැවොම එක්ව එම අවස්ථාව බෙදා ගැනීමට තිබුණා නම්යැ යි ඇය ප්‍රර්ථනා කරයි.

 

"එයාට තිබුණු එක ම සරණ මම විතරයි. එයාගෙන් වෙන් වෙන්න මම ගත්ත තීරණය එක්ක ජීවත් වෙන එක කවදාවත් ලේසි දෙයක් වෙන එකක් නෑ," ඇය පවසයි. තම දියණිය තමන්ට මෙතරම් සහයෝගයක් දැක්වීම වාසනාවක්යැ යි ඇයට හැඟෙන අතර, මාස හයකට පෙර හෙලන් ඔවුන්ගේ නිවස අසල පදිංචියට ගියා ය. ඒ ඔවුන්ට නිරන්තරයෙන් එකිනෙකා දැක ගත හැකි නිසා ය. "දුවගේ උදව්ව යි තේරුම් ගැනීම යි නැත්නම්, මම දන්නේ නෑ මම කොහේ ඉඳීවි ද කියලා. එහෙම නොවුණා නම් ඒක මට හිතාගන්නවත් බැරි විධියට හුදෙකලාව අත්විඳින පීඩනයක් වෙන්න තිබුණා," ඇය පවසයි.

 

"මට කරන්න පුළුවන් හොඳ ම දේ තමයි මාව හොඳින් තියා ගන්න එක. එහෙම වුණා ම මට අනිත් අයටත් ඒක ම කරන්න පුළුවන් - මම දවස ගාණේ ඒක කරන්න උත්සහ කරනවා."

 (BBC සිංහල සේවය)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්