නොකෙරෙන දීගයට හෙවනැල්ල පේන්නෙත් ඇදේට කියා කියමනක් ඇත.

ඒ කියමන සිහියට ආවේ ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ගේ ප‍්‍රධානත්වයෙන් ජූලි 26 වනදා කැඳවා තිබු සර්ව පාක්ෂික සමුළුවෙන් පසුව විපක්ෂයේ හැසිරීම දකින විටය. විපක්ෂයට අනුව ජනාධිපතිගේ මේ ප‍්‍රයත්නය දේශපාලන උපක‍්‍රමයක්ය, ජනපතිගේ මැදිහත්වීමේ සත්භාවය ගැන ප‍්‍රශ්න ඇත, ඉතිහාසයේ මේ ප‍්‍රශ්නය විසඳීමට රනිල්ට අවස්ථා හිමිවුවත් ඔහු ඒ සඳහා කටයුතු කර නැත,

මේ ආකාරයට ඔවුන් ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ජනපති දරන ප‍්‍රයත්නය විවේචනය කරන නමුත් ඊට අදාළ ඔවුන්ගේ ස්ථාවරය කියන්නේ නැත. ඉතාම තක්කඩි ආකාරයට ඒ මඟහැර වෙන වෙන වාචාල කතා කියමින් වටේ යන සජබ නායක ප‍්‍රමුඛ විපක්ෂයේ මේ පවුකාර නඩය, ජනතාවට කියන්නේ ජනපතිගේ මල් වට්ටියට නොව තමන්ගේ පව් හට්ටියට කරගහන්න එන ලෙසය. නමුත් සජබ නායක ප‍්‍රමුඛ විපක්ෂයේ මේ පවුකාර නඩය වැටී සිටින ලොකුම අමාරුව වන්නේ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිට ජාතික සංහිඳියා වැඩපිළිවෙල සම්බන්ධව තම ස්ථාවරය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සෘජුව ඉදිරිපත් කර තිබීම නිසාය.

All Partes

 

කොහොමටත් මෙරට දේශපාලන කරලියේ සිටින නායකයන් අතරින් ජාතික ගැටලූ‍ව විසඳීම පිළිබඳ පැහැදිලි ප‍්‍රතිපත්තියක් සහිතව කටයුතු කර ඇත්තේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පමණය. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ කිසිම අවස්ථාවක උතුර නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ගැටලූ‍ව ත‍්‍රස්තවාදය සමඟ සමපාත කරගත්තේ නැත. ශ‍්‍රී ලංකා රාජ්‍යයට එරෙහි ත‍්‍රස්තවාදය වෙනම පරාජය කළ යුතු නමුත් ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්නය එයින් නොවිසෙදන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය විය. අර්බුදයට ලක්ව සිටින්නේ මෙරට දේශසීමා තුළ සිටින, මේ බිමේම උපන් ජන කොටසක් බැවින් ඔවුන් සම්බන්ධව තීන්දු තීරණ ගත යුතුව ඇත්තේ, ඔවුන් මේ රටේම පුරවැසියන් ලෙස සලකමින් මිස, ඔවුන් දෙවන ගණයේ පුරවැසියන් ලෙස සලකා හෝ අත්හැර දැමෙන, කොන්කර දැමෙන ආකාරයට නොවන බවද ජනාධිපතිවරයාගේ නොවෙනස් ස්ථාවරය විය.

 

එසේම කිසිම අවස්ථාවක ජනාධිපතිවරයා ජාතික ගැටලූ‍ව සමඟ සිය පෞද්ගලික දේශපාලන බල ව්‍යාපෘතිය වෙනුවෙන් යොදාගත්තේ ද නැත. ඒ වෙනුවෙන් මැතිවරණ දේශපාලනය තුළ කොතරම් වන්දියක් ගෙවීමට සිදුවුවත් ඒ නිවැරදි ප‍්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටීම ජනාධිපතිවරයා අත්හැර දැමූයේ නැත. එදා එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් , රාජපක්ෂවරුන්ට වඩා ජාතිවාදී වීම හරහා ජනතා ආකර්ෂණය ලබාගෙන මැතිවරණ ජයග‍්‍රහණය කළ හැකි බවට මතයක් දක්වමින් පක්ෂ අභ්‍යන්තරයේ කැරලි ගැසුවද ජනපති රනිල් සිය ස්ථාවරය වෙනස් කරේ නැත.

HE

 

ජනාධිපතිවරයාගේ ස්ථාවරය වූයේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික සමඟිය සහ සංවර්ධනය එකිනෙකින් වෙන් කළ නොහැකි බවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික සමඟිය සහ සංවර්ධනය එකකට පසුව අනෙක ලෙස ළඟා කර ගත නොහැකි බවය. සිය දේශපාලන ඉතිහාසයේ ආණ්ඩු බලය ලද සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් වන ප‍්‍රයත්නය තම වැඩපිළිවෙළහි පළමු තැන තැබුණේ එනිසාය. මෙරට අට වන විධායක ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කර ගැනීමෙන් පසුවද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එම ප‍්‍රතිපත්තියේ කිසිම වෙනසක් සිදුවූයේ නැත.

 

එවක රට පැවතියේ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය හමුවේ දරුණු ප‍්‍රචණ්ඩත්වයක් සහ කල්පවත්නා අරාජිකත්වයක් වෙත ඇදීයමින්ය. එබැවින් පළමුව රටේ නීතිය සහ සාමය ස්ථාවර කළ ජනාධිපතිවරයා ඒ සමඟ ජනතාව මුහුණදී සිටි මූලික දුෂ්කරතා අවම කිරීමට කඩිනම් පියවර ගත්තේය. එසේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කර, අමාරුවෙන් හුස්ම ගත් ජනතාව සැනසුම් සුසුම් හෙළන තැනට ගෙනාවේය.

 

”අපි බලන්නේ දැන් 13 වන ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන් ම ක‍්‍රියාත්මක කරන්න. ඒක උතුරේ ප‍්‍රශ්නයක් විතරක් නෙමෙයි. අපේ දකුණේ මහ ඇමතිවරුත් ඉල්ලනවා මේක ක‍්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා අපි කතා කරලා ඒවත් ක‍්‍රියා කරන්න යනවා. ඉතින් මේ ටික අපි ඊළඟ අවුරුද්දේ දෙකේදී ක‍්‍රමානුකූලව කරගෙන යමු. අද දිළිඳුකම, බඩගින්න, විරැකියාව, දෙමළ අයටවත් සිංහල අයට පමණක් සීමා වෙලා නැහැ. අපි ඔක්කෝම දුක් විඳිනවා. අපි ඔක්කෝම එකතු වෙලා ගොඩ එන්නට ඕන. ඉතින් මේ අද තියෙන්නේ උතුරේ ද්‍රවිඩ අයගේ ප‍්‍රශ්න විතරක් නෙමෙයි. තවත් ප‍්‍රශ්න තියෙනවා සාකච්ඡා කරන්න.”

 

ජනපති රනිල් වික‍්‍රමසිංහ මේ කතාව කිව්වේ 2023 ජනවාරි ජනවාරි 15 වන දා යාපනයේදී පැවති ජාතික තෛපොංගල් උත්සවය අමතමින් ය. ඒ අවස්ථාවේ ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය හමුවේ නිවාඩු ගොස් සිටි ඊනියා දේශපේ‍්‍රමී, ජාතිවාදී තක්කඩි, 13 න් රට බේරගන්න අවසන් සටන අරඹන බව කියමින් සුපුරුදු ජවුසම් නටන්න ගත්තේය. නමුත් ජනාධිපතිවරයා ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් වූ ප‍්‍රයත්නය අත්හැර දැමුවේ නැත. ඒ මේ මොහොතේ කවුරු බලයට පත්වූවද ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නා අතර ජාතික ගැටලූ‍ව විසඳන ජාතික සංහිඳියාව ඇතිකර ගැනීම මෙරට ජාතික අභිලාශ අතර අංක එකට තිබෙන නිසාය. කෙනෙකුට එය ජනප‍්‍රියවාදය වෙනුවෙන් මඟහැර සිටිය හැකි නමුත් ඒ කෙටි කාලයකට පමණය. තම පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමිව ඇත්තේ එක් ආසනයක් වුවත්, තමන් දැන් ආණ්ඩු කරනුයේ කාලයක් තිස්සේ දේශපාලන පසමිතුරු සබඳතාවක් පැවති පාර්ශ්වයේ සහයෙන් වුවත්, නිවැරදි ප‍්‍රතිපත්තිය රට වෙනුවෙන් ඉදිරියට ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරන්න තීරණය ගන්නේ එනිසාය.

2023 ජනවාරි 26 වනදා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා රට ගොඩ නැගීම වෙනුවෙන් සපුරා ගැනීමට අත්‍යවශ්‍ය කොන්දේසි පෙන්වාදෙනු ලැබුණේද ඒ අනුවය.

 

”දේශපාලන සහ ආර්ථික ප‍්‍රශ්න සියලූ‍ දෙනාට එකඟ විය හැකි ආකාරයට පියවරෙන් පියවර අපි විසඳා ගනිමු. මීට පෙර අපි සියලූ‍දෙනා එකඟ වූ ආකාරයට අපි මේ ප‍්‍රශ්නයේ හිර වෙන්නේ නැතිව ක‍්‍රියාත්මක වෙමු. අපි කිසිවෙක් පාවා දෙන්නෙත් නෑ. නැති වෙන්නෙත් නෑ. රට බෙදෙන්නෙත් නෑ. අද රට එකතු වෙලා තිබෙන්නේ.” - ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ (2023 ජනවාරි 26 - සර්ව පාක්ෂික සමුළුව)

 

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, ව්‍යවස්ථාවට ඇතුළත් කර වසර 37ක් ගතවී ඇති නමුත් මෙතෙක් නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතුව ඇති බවත් එසේ නොමැති නම් පාර්ලිමේන්තුව හරහා එය අහෝසි කළ යුතු බවත් ය. එසේම 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක‍්‍රියාත්මක නොකර පළාත් සභා පවත්වාගෙන යාම වියදම් අධික ,මෙන්ම ඵලදායි නොවන කාර්යයක් බවය. ඒ අනුව ජනාධිපතිවරයා සිය ස්ථාවරය දක්වමින් පවසා සිටියේ, ”13 වන සංශෝධනය ක‍්‍රියාත්මක කරන්නෙත් නෑ, අහෝසි කරන්නෙත් නෑ කියලා අපට මැදක සිටිය නොහැකියි.” කියාය.

එහිදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය වැඩිදුරටත් පැහැදිළි කරමින් පවසා සිටියේ ෆෙඩරල් රාජ්‍යයකට විරුද්ධ නමුත් බලය බෙදා දීමට එකඟ බවය. එමෙන්ම රට බෙදීමට කිසිසේත් සූදානම් නැති බව මෙන්ම කිසි විටෙක සිංහල ජාතිය පාවා නොදෙන බවට සහතිකයද රට හමුවේ තැබීය.

එයින් නොනැවතුණු ජනාධිපතිවරයා ද්‍රවිඩ දේශපාලන පක්ෂ නායකයන් සමඟ තමන් උතුරු නැගෙනහිර ගැටළු පිළිබඳ සාකච්ඡා කරන බවද පැවසීය. ඒ සමඟ අවධානයට ලක් කළ යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් මාස 6ක් තුළ ඉදිරිපත් කිරීමටත්, ඒ මත පදනම්ව ඉදිරියට ගොස් එළඹෙන නිදහස් උත්සවය වන විට තීරණාත්මක විසඳුමක් ලබාගැනීමට හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම ඉඩම් අයිතිය, පොලිස් බලතල ඇතුළු ජනවාරි 26 සර්ව පාක්ෂික සමුළුවේ අවධානය යොමුවූ කරුණු පිළිබඳ පෙබරවාරි 08 වනදා පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළ අතර පෙබරවාරි 04 වනදාට පෙර ඒ සඳහා ඇතුළත් කිරීමට යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද දැනුම් දුන්නේය.

Ranil Sampanthan.3

 

2023 පෙබරවාරි 08 නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළද ආර්ථික යුද්ධය ජය ගැනීමටත්, ඉන් පසු සංවර්ධිත ආර්ථිකයක් රට තුළ නිර්මාණය කිරීමටත්, ජාතීන් අතර සමගිය හා එකමුතුකම වැදගත් බව අවධාරණය කෙරුණේ ඒ අනුවය. එහිදී ආර්. සම්බන්දන් මන්ත‍්‍රීවරයා ද සමඟ තමන්ද 1977 දී පාර්ලිමේන්තුවට පත් වු ඉතිහාසය සිහිපත් කළ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ, දෙදෙනාම පාර්ලිමේන්තුව තුළ සිටියදීම ලංකාවේ ජනවාර්ගික ගැටලූ‍වට තිරසර විසඳුමක් ලබාදීම දෙදෙනාගේම පොදු සිහිනයක් බවත් පැවසීය. ඒ වෙනුවෙන් අවස්ථා කිහිපයකදී උත්සාහ කළ නමුත් ඒවා අසාර්ථක වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙවර එම උත්සාහය කෙසේ හෝ සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

 

එසේම බලය පැවරීමේ ක‍්‍රියාවලිය විධිමත් හා ක‍්‍රමවත් කරලීම උදෙසා, 1992 අංක 38 දරන බලය පැවරීමේ (ප‍්‍රාදේශීය ලේකම්වරුන් පනත, 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂංගික විධිවිධාන පනත සහ 1990 අංක 28 දරන පළාත් සභා (සංශෝධන) පනත, යන පනත් සඳහා සංශෝධන කෙටුම්පත් සකස් කරන බවද සඳහන් කළේය.

මේ හරහා තහවුරු වන්නේ ජාතික ගැටලූ‍ව විසඳා ජාතික සංහිඳියාව ඇතිකර ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ දරන ප‍්‍රයත්නය විපක්ෂය සඳහන් කරන ආකාරයේ ප‍්‍රයෝගයක් හෝ වංක සිතින් ඉදිරිපත් කරනු ලැබුවක් නොවන බවය. ජාතික ගැටලූ‍ව කිසි විටෙක දේශපාලන බල සූදුවක් ලෙස ජනාධිපතිවරයා යොදාගෙන නොමැති බවය. ඉතිහාසය පුරාවට ජනාධිපතිවරයා තමන් ජාතික ගැටලූ‍ව පිළිබඳ දරණ ප‍්‍රතිපත්තියේ සිට එය විසඳාලීමේ අඛණ්ඩ ප‍්‍රයත්නයක නිරතව සිටි බවය.

ඒ බව යළිත් තහවුරු කරමින් 2023 ජනවාරි 26 වනදා පැවති සර්ව පාක්ෂික සමුළුව අවස්ථාවේ පැවසූ ආකාරයටම 2023 ජූලි 18 වනදා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ උතුර - නැගෙනහිර ද්‍රවිඩ දේශපාලන නායකයන් හමුවිය. එසේම ජනවාරි 26 සර්ව පාක්ෂික සමුළුවේ ලබාදුන් වචනය අකුරට ඉටුකරමින් ජාතික සංහිඳියාවක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ගේ සූදානම තහවුරු කෙරෙන වැඩසටහන ඇතුළත් ලේඛනයද එම හමුවට ඉදිරිපත් කළේය.

එපමණක් නොව, එහි A සිට M දක්වා වන කාරණා මේ වන විටත් ඉටුකිරීමට රජය පියවර ගනිමින් සිටින බවත් N, O කාරණා සාධනය කර ගැනීම පාර්ලිමේන්තුව පොදු එකඟතාවකට පැමිණ සිදු කළ යුතු බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.

 

2023 ජූලි 18 වනදා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ උතුර - නැගෙනහිර ද්‍රවිඩ දේශපාලන නායකයන් සමඟ පැවති මේ හමුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ‍ පක්ෂ නායකයන් පූර්ණ බලය බෙදීමකට එකඟ නම් පමණක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවය. තමා උතුරු නැගෙනහිර ජනතාවට කිසිඳු අවස්ථාවක අසාධාරණයක් සිදුනොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදුකිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගයෙන් සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් සිදුකල යුතු බවය.

එහිදී 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් පොලිස් බලතල සම්බන්ධව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ පොලිස් බලතල ලබාදීම සඳහා 2/3 ක බහුතරයක් අවශ්‍ය බවත් එබැවින් ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ‍ පක්ෂ නායකයන්ගේ එකඟතාවක් ලැබිය යුතුව ඇති බවය. එසේම ”මම මේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන තැනදී මේකේ කෙළවරක් දක්වාම යන්න හිත හදාගෙන ඉන්නේ” (I am determined to go all the way) යනුවෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය තවදුරටත් අවධාරණය කර සිටියේය.

 

ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරුන් 7 දෙනෙකු පාලන බලය හොබවා ඇතත් ජාතික ගැටලූ‍ව විසඳා ගැනීම වෙනුවෙන් මෙතරම් නිර්භීත සහ විවෘත අදහස් දැක්වීමක් සිදුකර නැත.

ඉදිරි මැතිවරණ හෝ ජාතිවාදී අගතීන්ගේ සහයෙන් දේශපාලනය තුළ ජනප‍්‍රිය වීමට සිතනවා නම් ජනපති රනිල් මෙසේ හැසිරෙන්නේ නැත. මෙහිදී ජනාධිපතිවරයාගේ ප‍්‍රයත්නය පැහැදිළිවම ජාතික සංහිඳියාව ඇතිකර ගැනීම වෙනුවෙන් වන සත්භාවී මැදිහත්වීමක් බව පැහැදිළිය.

උතුර නැගෙනහිර ද්‍රවිඩ දේශපාලන නායකයන් සමඟ පැවති සාකච්ඡුාවේදී 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු අතර 2023 ජූලි 26 සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබුවේ ඒ පිළිබඳ මෙන්ම සමස්ථ ක‍්‍රියාවලිය පිළිබඳ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් දැනුවත් කිරීමටය. ඔවුන්ගේ ස්ථාවරයද දැනගන්නටය.

ඒ අනුව 2023 ජූලි 26 වනදා සර්ව පාක්ෂික සමුළුව අවස්ථාවේ ද ජනාධිපතිවරයා සිය ස්ථාවරය පැහැදිළිව ඉදිරිපත් කර සිටියේය. ”13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත‍්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප‍්‍රමාණවත් නොවන බවත් එය සමස්ත රටටම බලපාන කාරණයක් බැවින් සියලූ‍ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගතයුතු බවත්” පවසමින්ය.

පවතින ගැටලූ‍ විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් හත් දෙනාට ද නොතිබූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා පවතින ගැටලූ‍ විසඳා ගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව බවත්, තමා සිදු කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙන ඒම පමණක් බවත් කියා සිටියේය.

එසේම පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක් පමණක් ඇති තමාට එම කාර්ය තනිව සිදු කළ නොහැකි බවත්, මෙම කටයුතු ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ‍දෙනා සාමූහිකව කැපවී ක‍්‍රියා කළ යුතු බවත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේය.

 

ඒ අනුව දැන් කාර්ය භාරය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුවය. 13 වන සංශෝධනය වසර 37 ක් පමණ පැරණිය. එය ව්‍යවස්ථාවේ පැවතියද මුළුමනින්ම ක‍්‍රියාත්මක කර නොමැත. ඒ සම්බන්ධව විවිධ පක්ෂ වෙත විවිධ ස්ථාවර පැවතිය හැකිය. එසේම 2017 වසරේ උතුරු හා නැගෙනහිර හැර අනෙක් පළාත් 07 ප‍්‍රධාන අමාත්‍යවරුන් පළාත් සභාවලට වැඩි බලතල ලබා දෙන ලෙසට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම පළාත් සභා යනු සිංහල ජනතාව වැඩිවශයෙන් ජීවත් වන ප‍්‍රදේශය. ඒ අනුව පළාත් සභා බලගැන්වීම කොහෙත්ම උතුරට හෝ නැගෙනහිරට සීමා කෙරෙන්නේ නැත. එය සමස්ත රටටම බලපවත්වන කාරණයක් ය.

 

මෙහිදී ජනාධිපතිගේ යෝජනාව වැදගත් නමුත් ආණ්ඩුවේම ස්ථාවරය මෙයද කියා විමසීමටද දෙයක් නැත. මන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 13 වන සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදාහැරීමක් සම්බන්ධව එකඟතාව ප‍්‍රසිද්ධියේ සඳහන් කර ඇති නිසාය. මේ වන විට විපක්ෂයේ සිටින නමුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී.එල්. පීරිස් එවකට විදේශ අමාත්‍යවරයා ලෙස ඊට එකඟතාව දැක්වූ බවද රහසක් නොවේය. ඒ අනුව එදා 13+ සඳහා පක්ෂ වී අද විරුද්ධ වන්න හේතුවක් තිබිය නොහැක. විපක්ෂයේ බහුතරයද පැරණි එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ය. ඔවුන්ද 13 සංශෝධනයට විරුද්ධ පදනමක් ඉතිහාසයේ තිබුණේ නැත. එවැනි විරෝධතාවක් පැමිණිය හැකි නම් ඒ ජාතික ගැටලූ‍ව විසඳීම වෙනුවට එය ජන්ද ඉලක්ක කරගත් උපාය මාර්ගයක් බවට පත්කර ගැනීමේ අපේක්ෂාවෙන් විය යුතුය. අනෙක් අතට 2022 ජුලි 26 සර්ව පාක්ෂික සමුළුව සඳහා පැමිණි පක්ෂ නායකයන් සහ නියෝජිතයන් බහුතරයක් වෙතින් සංහිඳියා ප‍්‍රයත්නය වෙනුවෙන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පැසසුමට ලක් කළ බවද රහසක් නොවේය.

 

එබැවින් සජබ නායක ප‍්‍රමුඛ විපක්ෂයේ මේ පවුකාර නඩය කළ යුතුව ඇත්තේ ජනාධිපතිවරයාගේ සත්භාවය සොයමින්, විවිධ අසත්‍ය කරුණු සමාජගත කිරීම වෙනුවට 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව මෙන්ම උතුර නැගෙනහිර සංවර්ධන සැලැස්ම සහ සංහිඳියා ක‍්‍රියාවලිය පිළිබඳ තම පක්ෂවල ස්ථාවරය ප‍්‍රසිද්ධ කිරීමය. නමුත් නමුත් සජබ නායක ප‍්‍රමුඛ විපක්ෂයේ මේ පවුකාර නඩයේ හැසිරීම පෙන්නුම් කරන්නේ ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් වන දැක්මක් වැඩපිළිවෙලක් ඔවුන්ට නැති බවය. එසේම ඊනියා දේශප්‍රේමීන් සහ ජාතිවාදී තක්කඩි සමඟ එකගෙයි කමින් හෝ බලය ඩැහැගැනීමේ අපේක්ෂාව නිසා ඔවුන් 13 ගැන ස්ථාවරය කීමටත් බය බවය. එනිසා 13 සමග ජාතික සංහිඳියාව වෙනුවෙන් වන වැඩපිළිවෙලෙහි හෙවනැල්ලේ පවා ඇද සොයන බවය.

 

- කල්ප අනුත්තර ලියනගේ
Chatham Street Journal - 2023.07.30

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්