ලාංකීය දේශපාලන ඉතිහාසයේ වඩාත් සටකපට ම දේශපාලන නායකයා ජේ . ආර් ජයවර්ධන බව අවිවාදාත්මකය.

ඔහුට දුරදක්නා නුවණ විය. නමුත් එය භාවිතා කලේ බලය ලබා ගැනීමටත් එය පවත්වාගෙන යෑමටත්ය. සිංහලය රාජ්‍ය භාෂාව විය යුතු බව ඔහු ප්‍රකාශ කළේ 1944 තරම් ඈතක  දීය.

බණ්ඩාරනායක කෝට් කලිසම් අතඅරින කාලය වන විට ජයවර්ධනද කෝට් කලිසම් අත්හැරියේය, සේනානායක වරුන්ගෙන් පක්ෂ නායකත්වයට තිබූ අභියෝග ඔහු සූක්ෂ්ම ලෙස ජය ගත්තේය. දිගු කාලයක් ඉවසා ගෙන සිටීමේ හැකියාව ඔහුට තිබිණි.

ef72bed9586d5a57eadcc715202879be
අඩු වරප්‍රසාදිත කණ්ඩායමකින් පැමිණි රණසිංහ ප්‍රේමදාස ඔහු තමාගේ දෙවනියා ලෙස නම්කර අතරම ලලිත්, ගාමිණී, රනිල් වැනි නව නායක පිරිසක් ද පක්ෂය තුළ බිහි කළේය.

1977 පාර්ලිමේන්තු මැතිවරණය ජය ගත් වහාම දිවයිනේ පොලිස් ස්ථානවලට දෙසතියක නිවාඩුවක් ලබා දී විරුද්ධ පාක්ෂිකයින්ගේ ගෙවල් ගිනි තැබීමට, පහරදීමට අවශ්‍ය නෛතික වටපිටාව සකසා දුන්නේය. ඔහුගේ පරමාදර්ශී චරිතය වූයේ නැපෝලියන්ය. නැපෝලියන් යුධ ජයග්‍රහණයකින් පසු තම සෙබළුන්ට නගර කොල්ලකෑමට ඉඩ දුන්නා සේ ජයවර්ධන ජනාධිපතිවරයා ද පාක්ෂිකයන්ට ඕනෑම දෙයක් සිදු කිරීමට ඉඩ ලබා දුන්නේය.

ඔහුට හයෙන් පහක ජනවරමක් ලැබුණු විට 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ධූරය හඳුන්වා දී ඔහු ප්‍රකාශ කළේ “මට කළ නොහැක්කේ ගැහැණියක් පිරිමියකු කිරීම පමණක් බවයි’’ ප්‍රතිවාදීන් මර්දනය කිරීමට කළ හැකි උපරිම දේ කිරීමට  ඔහු පසුබට නොවීය.

1978 අංක 4 දරණ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අභියාචනාධිකරණය 1972 අංක 7 දරණ විශේෂ පරීක්ෂණ කොමිෂන් සභා පනතට ප්‍රජා අශක්නුතාවක් ලබාදිය නොහැකි බවට රිට් ආඥාවක් නිකුත් කළ බැවිනි.

sirima

සිරිමා බණ්ඩාරනායක මැතිනියට එරෙහිව කොමිෂන් සභාවේ නිර්දේශය මත 1980 ඔක්තෝබර් 16 දින පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවති අතර  එම යෝජනාව වැඩි ඡන්ද 121 කින් සම්මත වූ බැවින් බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි විය. එදින පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වූයේ 2,500ක පොලිස් බලඇණියක් පාර්ලිමේන්තුව අවට රඳවාගෙනය. එවකට විපක්ෂ නායක අමිර්තලිංගම් මහතා ප්‍රකාශ කර සිටියේ මෙය දේශපාලන මිනීමැරුමක් බවත් මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තියට එරෙහි ක්‍රියාවක් වන බවත්ය.

තම පුත්‍රයා වූ රවි ජයවර්ධන 1971 කැරැල්ල සමයේ ගිනි අවි ආඥා පනත යටතේ අත් අඩංගුවේ තබා ගැනීමට එරෙහිව සිදුකල පලිගැනීමක් ලෙස ද ඇතැමුන් මේ ක්‍රියාව අර්ථ නිරූපණය කරයි.

80 ජූලි වර්ජනය: 40 වසරකට පෙර අහිමි කම්කරු සටන්කාමීත්වය.

ඔහුට වැඩ වර්ජන පෙනෙන්නට බැරි විය. 1980 ජූලි වැඩ වර්ජනයට මැරවරයන් ලවා බයිසිකල් චේන් වලින් පහර දී ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සේවකයෙකු වූ සෝමපාල මරාදැමූ අතර වෘත්තිය සමිති නායක ලෙවි මවුලානා ට ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදු කළේ අගලවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී  මෙරිල් කාරියවසම් ඇතුළු පිරිසකි.

1980 වැඩ  වර්ජනයෙන් පසු රජයේ සේවකයන් 60,000ක පමණ රැකියා අහිමි කොට තම පාක්ෂිකයන්ට රැකියා ලබා දීමට කටයුතු කළේය. කිසිදු රෙගුලාසියක් නොමැතිව මන්ත්‍රීවරුන්ගේ තුණ්ඩුව කට නොහොත් “චීට්” එකකට මෙම රැකියා ලබාදීම සිදුවිය. සුදුසුකම් නොමැති පාක්ෂිකයන් වගා නිලධාරීන් හා ග්‍රාම සේවා නිලධාරීන් ලෙස පත් කරන ලද්දේ මේ කාලයේ ය.

පසුගිය ඡන්ද ප්‍රතිඵල සූක්ෂ්ම ලෙස විශ්ලේෂණයට භාජනය කළ ඔහු සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නේ හැමදාම බලය රැක ගැනීමට හෝ අන්ත පරාජයට පත් නොවී සිටීමටය. ඔහු ජනාධිපති ධූරයට පත් වන විට වයස හැත්තෑ එකකි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හදුන්වාදුන් තිස් පස් වන වගන්තිය මගින් ඔහු විධායක ජනාධිපති ධුරයට නඩු නොපැවරිය හැකි ආකාරයට පූර්ණ විනිර්මුක්තියක් ලබා ගත්තේය.

1983 rioters fire 1 1

ජයවර්ධන ජනාධිපතිවරයා 1977 පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කොට සති දෙකකට පමණ පසු 1977 අගෝස්තු 12 සිට 20 දක්වා දෙමළ ජනතාවට එරෙහිව දිවයින පුරා වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු විය. එක්සත් ජාතික පක්ෂයේ මැර පිරිස් වලට සහ නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව හමුදාවටත් පොලිසියටත් චෝදනා එල්ල විය. ජනාධිපතිවරයා විසින් විණිසුරු එම්.සි සන්සෝනි ගේ ප්‍රධානත්වයෙන් 1977 නොවැම්බර් 09  වැනිදා කොමිසමක් පත් කරන ලදී. දෙමළ ජනතාව ගමන් කල රාත්‍රී තැපැල් දුම්රිය ට අනුරාධපුරයේදී පහරදීම සමඟ ඇරඹුණු ප්‍රචණ්ඩ ක්‍රියා රත්මලාන, බදුල්ල,  කොළඹ, ත්‍රිකුණාමලය, වතුකරය ඇතුළු බොහෝ ප්‍රදේශවල පැවතියේ ය. කොමිසමේ වාර්තා අනුව තුන්සියයකට අධික දෙමළ ජාතිකයන් පිරිසක් මිය ගියේය. රාජ්‍ය නොවන සංවිධාන වල වාර්තා අනුව එය දහස ඉක්මවා ගිය ප්‍රමාණයකි, “ කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන් පසුව ඔහු එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ නැත. පාක්ෂිකයන් ආරක්ෂා කිරීමට ගත් එම ක්‍රියාමාර්ගය වාර්ගික අර්බුදය වර්ධනය වීමට හේතුවක් විය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඇතුළු පිරිසකට බෞද්ධ සංගම් ශාලාවේදී කාණුවකට ඇද දමා පහර දීමක් සිදු වුයේ 1982 ජුලි  31දින රජයට සම්බන්ද මැරවරයන් විසිනි. පුවත්පත් වලට නිසි බලධාරීහු පත්කොට ඇත්ත වැනි පුවත්පත් දැඩි වාරණයකට පත් කළේ ඔහුගේ මුල් යුගයේ ය. බොහෝ පුවත්පත් පිටු  සුදු පැහැයෙන් හිස් අවකාශය තබා ‘’බලධාරියා විසින් කපා දමන ලදි’’ යනුවෙන් සඳහන් කොට තිබීම එකල සුලභ දසුනක් විය. ඇත්ත, දිනකර, ජනදින වැනි විකල්ප මත ප්‍රචාරය කරන ලද පුවත්පත්වල මුද්‍රණාල වලට විවිධ හේතු මත සීල් තබා වසා තබන ලදී.

IMG 6682
විවියන් ගුණවර්ධනට ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් අවස්ථාවේදී සිදුකරන ලද පහරදීමට සහ  රඳවා තබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය වැරදිකරු කල කොල්ලුපිටිය පොලිස් නිලධාරියාට උසස්වීම් ලබාදීමට ක්‍රියාකළ ජයවර්ධන ජනාධිපතිවරයා අධිකරණ තීන්දුව ලබා දුන් විනිසුරුවරුන්ගේ ගෙවල්වලට කළු ලකී නම් හිටපු ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයෙකු වූ මැර වරයෙකු ලවා පහර දීමට කටයුතු කළේය. මෙම පහරදීම සිදුවන වෙලාවේ පොලිසිය දුරකථන ක්‍රියා විරහිත කොට නිද්‍රාශීලී පියවරක් අනුගමනය කළේය.

1982 ජනමත විචාරණයේ දී ගම්පහ දී දරමිටිපොල රතනසාර හිමි  “පැවිදි හඬ” නැමැති අන්තර් ආගමික සංවිධානයෙන් මුද්‍රණය කොට තිබූ  ප්‍රකාශන අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක උඩුගම්පළ ක්‍රියා කිරීම භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන්  කියැවිණි. ඒ අනුව පොලිස් නිලධාරියාට ගෙවීමට නියම වූ දඩය රජය මගින් ගෙවා දමා ඔහුට උසස්වීමක් ලබා දීමට ජයවර්ධන ජනාධිපතිවරයා ක්‍රියා කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙවන සංශෝධනය ඔහු හඳුන්වා දුන්නේ බහු මන්ත්‍රී කොට්ඨාස යක් වූ බේරුවල ආසනයේ දෙවැනි මන්ත්‍රීවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත්වී සිටි ආර්.ජි සමරනායක මහතාට එක්සත් ජාතික පක්ෂයට පැමිණීමෙන් පසු එම මන්ත්‍රීධූරය ආරක්ෂා කර ගැනීමේ කාර්‍ය්ය සඳහාය.  මන්ත්‍රීධූර අටකට සීමා වී තිබූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් දුර්වල කිරීමට ජයවර්ධන මහතා ක්‍රියා කළේ ඒ ආකාරයටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙ වන සංශෝධනය  “සමරනායක සංශෝධනය” ලෙස එකල ඇත්ත පුවත්පතේ හඳුන්වා දී තිබිණි.

කලවාන අතුරු මැතිවරණය

image 95989ef9c1
1977 මහමැතිවරණයේදී කලවාන ආසනය ජයගත් අබේරත්න පිලපිටිය කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවේගම ට වඩා වැඩි ඡන්ද 1662 ක් ලබාගෙන  තිබූ නමුත් මැතිවරණ ඡන්ද පෙත්සම පරාජයට පත් විය හැකි බව ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාට පෙනී ගියේය.

අතුරු  මැතිවරණයක් පැවැත්වූවත් පරාජයට පත් විය හැකි වාතාවරණයක් පවතින බව ජයවර්ධන ජනාධිපතිවරයාට පෙනීගිය නිසා එම තත්ත්වයට මුහුණ දීමට සිදුවීම වැළැක්වීමට වෙනත් උපක්‍රමයක් යෙදීය. 1978 සැප්තැම්බර් 24 වෙනි දින පිලිපිටිය මහතා රිය අනතුරකට ලක්විය. රිය අනතුරෙන් බරපතළ තුවාල ලබා නොසිටි නමුත් පිලපිටිය මහතා පාර්ලිමේන්තු පැමිණියේ නැත. 1979 ජනවාරි පස් වෙනි දින ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමි විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) වගන්තිය අනුව තුන් මසකට වඩා පාර්ලිමේන්තු නොපැමිණියහොත් මන්ත්‍රී ධුරය අහිමි වෙයි.

1979 ජනවාරි 10 වන දින ඔහු කලවාන ආසනයට පත් කළ මන්ත්‍රීවරයා ලෙස නැවත පත් කරන ලදී. මෙම පත්කිරීම නීති විරෝධී බවත් එබැවින් ඔහුගේ පත්වීම අවලංගු වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙන ලදී.

1980 දෙසැම්බර් 10 වන දින නාමයෝජනා කැඳවන ලද මැතිවරණ කොමසාරිස්වරයා කලවාන අතුරු මැතිවරණය 1981 ජනවාරි 12 වන දින පැවැත්වීම නිවේදනය කළේය. කතානායක මගින් එම තීන්දුව වෙනස් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තුන්වෙනි සංශෝධනය ගෙන ඒමටත් ජයවර්ධන ජනාධිපතිවරයා ක්‍රියාකළේය. එක ආසනයට මන්ත්‍රීවරු දෙදෙනකු පත් කිරීමට ගත් උත්සාහයක් ලෙස විපක්ෂය මෙය හැඳින්විය. නමුත් අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක තීරණය නිවැරදි නොවන බව ප්‍රකාශ කරන ලදී.

එම ව්‍යවස්ථා සංශෝධනය 1981 ජනවාරි 6 වෙනි දින තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වුවත් ‍ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ පරිදි ජනමතවිචාරණයක්  නොපැවැත්වූ බැවිනි වලංගු නොවීය. නියත පරාජය පිළිබඳව දන්නා එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ අතර ස්වාධීන අපේක්ෂක ලයනල් ගුණරත්නට ආධාර කළේය. වැඩි ඡන්ද 2403 කින් සරත් මුත්තෙට්ටුවේගම මහතා කලවාන ආසනය ජයග්‍රහණය කළේය.

1981 සංවර්ධන සභා මැතිවරණය

අපි අතින්ද නොවිය යුතු දේ සිදුවුණා' -අනුර අලුත් ගමනකට සැරසේ

සංවිධානාත්මකව කුරුණෑගල ප්‍රදේශයෙන් මැරවරයන් යාපනයට යවා 1981සංවර්ධන සභා මැතිවරණයේදී සිදු  කරණ ලද ඡන්ද කොල්ලය අවසන් වූයේ පොත් 95000 කින් සමන්විතව තිබූ යාපනය පුස්තකාලය දකුණෙන් ගිය මැරවරයන් විසින් ගිනි තැබීමෙනි. ඇමතිවරුන් රැඳී සිටි යාපනයේ සුබාශ් හෝටලයෙන් ඡන්දය ගණන් කිරීමේදී නැති වූ ඡන්ද පෙට්ටි කිහිපයක් පසුව සොයාගත්තේය. මෙම සිදුවීම් මඟින් දමිල තරුණයන්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තිබූ සියලු විශ්වාසයන්  කඩ වූ අතර තිස් වසරක සිවිල් යුද්ධය වේගවත් වීමට ඉන්ධන සැපයු සිදුවීමක් ද විය.

ජයවර්ධන ජනාධිපතිවරයා විසින් සිදුකළ වඩාම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව 1982 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය නොපවත්වා ජනමත විචාරණයක් මගින් වසර හයකින් පාර්ලිමේන්තු කාලය දික් කර ගැනීමට ක්‍රියා කිරීමයි. 4 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 1982 නොවැම්බර් 4 වන දින  පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කරන ලදී. 1989  අගෝස්තු 4 වෙනි දින දක්වා පාර්ලිමේන්තුවේ කාලය දික් කිරීම මේ සංශෝධනය මගින් සිදුවිය.

images

විපක්ෂය ප්‍රබලම ක්‍රියාකාරීන් වූ විජය කුමාරතුංග, ඔසී අබේගුණසේකර ඇතුළු පිරිස නැක්සලයිට් ක්‍රමයේ කුමන්ත්‍රණයක් සිදුකරනවා යයි චෝදනා යටතේ සිරගත කොට මෙම මැතිවරණය පවත්වන ලද අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්  රත්නසිරි වික්‍රමනායකටද සිරගත වීමට සිදු වූ නමුත් පසුව ඇප නියමවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතා මැතිවරණ කාලයේ විසි එක් වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. මැතිවරණ දිනයේ දී කොබ්බෑකඩුව, පිටර්  කේනමන් ආදීන්ගේ ඡන්ද පවා හොර ඡන්ද ලෙස භාවිතා කර තිබිණි.

ජනාධිපතිවරණයේදී ජයවර්ධන මහතා අනුරාධපුරයේ දී ප්‍රකාශ කොට තිබුණේ තමා  ජනාධිපතිවරණය ජය ගතහොත්’’ ලංකාවේ මැතිවරණ සිතියම වසර දහයකට හකුලන බවයි’’  “අපට වාසිදායක මේ අවස්ථාවේදී උදව් කරන අය සමඟ දේශපාලන ක්‍රීඩාවෙන් ජය ගෙන දේශපාලන වශයෙන් විරුද්ධ අය නැතිකර දමා නැපෝලියන් අවසන් යුද්ධයෙන් ජය ගත් අවස්ථාවේ එංගලන්තයේ විලියම් පිට්  යුරෝපයේ සිතියම අවුරුදු දහයකට හකුළා දමන්න  යැයි කීවා මෙන් ලංකාවේ ඡන්ද කොට්ඨාශ සිතියමද  අකුලා දමන්න කියා අපි ජනතාවට කියනවා යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

1982 සැප්තැම්බර් 21 දින ජනාධිපතිවරණයෙන් පසු ඇහැලියගොඩදි ඔහු ප්‍රකාශ කළේ ”ජනාධිපතිවරණයෙන් ජයගෙන ලංකාවේ මැතිවරණ සිතියම වසර දහයකට හකුලන බව අනුරාධපුරයේදී කිව්වා. අද එය ඇහැලියගොඩදී  මම තවත් වතාවක් කියමි. වෝටර්ලූ සටනින් නැපෝලියන් පැරදුණේ වසර දහතුනකට පසුවය. නැපෝලියන් පරාජය කරන වෙලින්ටන් සාමි තමා බව කියන කොබ්බෑකඩුව මහතා දැන ගත යුතු කරුණ නම් මා ඉල්ලන්නේ අවුරුදු දහතුනක් නොව දහයක් පමණක් බවයි”.

TH27 MEERA ANTI TE 3059080f

ප්‍රකාශ කළ  ලෙසටම විපක්ෂයට දැඩි පීඩනයක් මුදා හැර ජනමත විචාරණය නොහොත් ලාම්පු කලගෙඩි සෙල්ලම ඔහු ජයග්‍රහණය  කොට මැතිවරණ සිතියම  හකුලා දැම්මේය.

මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගැනීම.

ජනමතවිචාරණ ජයග්‍රහණයෙන් පසු සියලුම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි දින රහිතව ලබාගෙන ඔහු තම භාරයේ තබා ගත්තේය. එම ක්‍රියාව මගින් පක්ෂ තුළ තුළ ‍අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැති කළේය. එමෙන්ම තම අභිමතය පරිදි අතුරු මැතිවරණ දහ අටක් පමණක් පවත්වා අනෙකුත් පුරප්පාඩු වන මන්ත්‍රීධුර තමාට සිතැඟි පරිදි පත් කළේය .වත්තල මැතිවරණ කොට්ඨාශයට ජෝන් අමරතුංග(1978) පත්  කිරීම. එම් ඩී එච් ජයවර්ධන ඉල්ලා අස් වූ පසු කඩුවෙලට  පෝල් පෙරේරා (1983) බුලත්සිංහල- රොනී ද මැල් (1983)  හාරිස්පත්තුව- ආර් පී විජේසිරි මියව (1984) හේවාහැට-ශ්‍රියානි ඩනියෙල් මිය (1982) මෙසේ ඔහු විසින් අතුරුමැතිවරණ නොපවත්වා සිය අභිමතය පරිදි පත් කළ මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකි

rasanduna 6 3

පැවැත්වූ  අතුරු මැතිවරණ තුළ ද ජනප්‍රිය විපක්ෂ අපේක්ෂකයන් පරාජයට පත් කිරීමට කළ හැකි සියලුම දේ සිදු කළේය, 1983 වසරේ විජය කුමාරතුංග මහතා තරග කළ මහර අතුරු මැතිවරණය ‍ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය බලය උපරිම ලෙස භාවිතා කරන ලද මැතිවරණයකි. වෙඩි තැබීමකින් විජය කුමාරතුංග  අනූනවයෙන් බේරුණු අතර  ඔහුගේ සමීපම ආධාරකරුවෙකු මිය ගියේය. මැතිවරණය දිනයේ විශාල වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ අතර අවසානයේ විජය කුමාරතුංග මහතා පරාජය වූයේ ඡන්ද 45කිනි. කිහිප වතාවක් ඡන්දය ගණනය කිරීමෙන් පසු ඔහු පරාජය වී තිබිණි. ඇත්ත පුවත්පත වාර්තා කළේ ඡන්දය විජය පරදින තුරු ගණන් කරන ලෙසට ජයවර්ධන ජනාධිපතිවරයා විසින් නියම කොට තිබූ බවයි.

රජය සමග ගිවිසුමක් තිබීම හේතුවෙන් ගාල්ල ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇල්බට් සිල්වා ගේ මන්ත්‍රීධූරය අධිකරණය මගින් අවසන් කරනු ලැබූ විට ඔහු නැවත කඹුරුපිටිය මන්ත්‍රීවරයා ලෙස පත් කිරීමට ජයවර්ධන ජනාධිපතිවරයා ක්‍රියා කළේ අධිකරණය තුට්ටුවකට ගණන් නොගෙන ය.

ස්ත්‍රී දූෂණ චෝදනාවකට වැරදිකරු වී සිටී ගෝනවල සුනිල් වැනි මැරවරයන්ට ජනාධිපති පොදු සමාව ලබාදී වැරදි පූර්වාදර්ශ ඇතිකිරීමට ජයවර්ධන ජනාධිපතිවරයා කටයුතු කළේය. ඉන් නොනැවතී ගෝනවල සුනිල්ට සාම විනිසුරු  පදවියක් ද ප්‍රදානය කළේය.

මන්ත්‍රීවරුන්ට දූෂණ ක්‍රියාවලට ඉඩ ලබාදීම.

Sri Lanka 1977 Cabinet Ministers
හේවාහැට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අනුර ඩැනියල් එවකට ඩොලර් ලක්ෂයක් පමණ වටිනා රන් පොලු රැගෙන ඒමේදී රේගු නිලධාරීන්ට හසුවූයේ එම යුගයේ දී ය දඩය ගෙවාගත නොහැකිව අධිකරණය මඟින් වැරදිකරු වූ මන්ත්‍රීවරයා වෙනුවට ඔහුගේ සහෝදරිය මන්ත්‍රී ධූරයට පත්කිරීමට ජයවර්ධන ජනාධිපතිවරයා තීරණය කළේය. 1989 මහ මැතිවරණයේදී ඔහුට නැවත එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලැබිණි.

1970 /77 සමයේ රජයට පවරාගත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව තිබූ ඉඩම් මන්ත්‍රීවරුන් අතර සහ පාක්ෂිකයන් අතර බෙදා ගැනීමේ ක්‍රමය ආරම්භ කරන ලද්දේ ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි. ඔහු මුලින්ම පූර්වාදර්ශයක් සපයමින් තමන්ගෙන් නිසාරු පොල්වත්තකට නාත්තන්ඩිය මැතිවරණ කොට්ඨාශයේ කීනකැලේ නැමැති සරුසාර පොල් වත්තකට හුවමාරු කරගත්තේය. මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දීමේ ක්‍රමය ආරම්භ කරන ලද්දේ ඔහු විසිනි. වර්තමානයේ මෙවැනි වාහන බලපත්‍රයක් විවෘත වෙළෙඳ පොළේ රුපියල් මිලියන හතළිහකට වඩා වැඩි වටිනාකමකට මන්ත්‍රීවරුන් විසින් අලෙවි කරයි.

1986 දී මන්ත්‍රීවරුන්ගේ දූෂණ සෙවීමට කමිටුවක් පත්කර නමුත් එහිදී කරුණු හෙළි දරව් වෙමින් පැවැති පරීක්ෂණ හේතුවෙන් එම ක්‍රියාදාමය සම්පූර්ණයෙන්  අතරමඟ නවත්වා දැමුවේය. එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිදුවූ වංචාවක් සහ ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකිරීක් හෙළි වීම හේතුවෙන් එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා වූ ඊ.එල් සේනානායක සහ එවකට අමාත්‍යාංශයේ ඉහළ නිළධාරියෙකු වූ රංජන් විජේරත්නට චෝදනා එල්ල විය. ඔවුන්  ඉල්ලා අස්වී වෙනත් තනතුරු සහ අමාත්‍යාංශ භාර ගැනීමෙන් එම කොමිසමේ ක්‍රියාමාර්ග අවසන් විය. මේ  දක්වා දේශපාලනයේ අනිවාර්ය අංගයක් වී ඇති දූෂණය  දේශපාලනයේ කොටසක් බවට පත්වූයේ වූයේ මෙවැනි ක්‍රියාමාර්ග  හේතුවෙනි.

ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ට අනුව ජයවර්ධන කේන්ද්‍රය සඳහා පැරණි වෛජයන්ති නැමැති නිවස ලබාදීම සිදුවන්නේ ද එක්තරා ආකාරයක බදු ගෙවීම් පැහැර හැරීමේ වංචනික ‍ ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසය.

jvp 2 1

1983 කළු ජූලියෙන් පසු එම සිදුවීමට කිසිඳු සම්බන්ධතාවයක් නොමැති ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් වාමාංශික පක්ෂ කීපයක් තහනම් කිරීමට ජයවර්ධන ජනාධිපතිවරයා ක්‍රියා කළේය. මෙම තහනම  හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණට අනිවාර්යෙන් යටිබිම්ගත දේශපාලනයට පිවිසීමට සිදු වූ අතර එය ජයවර්ධන ජනාධිපතිවරයා ගේ පාලනය අවසාන කාලයේ මහා කැරැල්ලක් බවටත් තාප්ප වල “ ජේ ආර් මරමු” යනුවෙන් සටන් පාඨ එළිදක්වන ප්‍රචණ්ඩ ව්‍යාපාරයක් බවටත් කෙටි කාලයකින් එය වර්ධනය විය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා  දීමේදී පැරණි ව්‍යවස්ථාව යටතේ දිවුරුම් දී සිටී ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන් හය දෙනකුට ධූරය හැර දා ගෙදර යෑමට සිදුවිය. අධිකරණ ධූරාවලියේ පිළිගත නොහැකි වෙනස්කම් සිදුවිය. තමාගේ හොඳම මිතුරකු වූ ලේක්හවුස් ආයතනයට ජයවර්ධන මහතා පැවරූ අපහාස නඩුවක ඔහුගේ නීතිඥවරයා ලෙසද කටයුතු කළ නෙවිල් සමරකෝන් මහතා අගවිනිසුරුවරයා ලෙස පත් කරන ලදී. නමුත් ඒ මහතා ජයවර්ධන මහතා ගේ අභිලාෂය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණය සහ විධායකය අතර ගැටුම් ඇති විය. මෙම ගැටුම්වල අවසාන ඵලය වූයේ විනිසුරුවරුන්ගේ  නිවෙස්වලට මැරයන් ලවා ගල් ප්‍රහාර එල්ල කරලීමයි.

ජයවර්ධන ජනාධිපතිවරයා භාවිතාකල විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉන්දියාව සහ රෝ සංවිධානය දෙමළ සටන්කාමී කණ්ඩායම් වලට අවි පුහුණුව සහ ආධාර එළිපිටම ලබාදෙන තත්වයක් 1983 සිට 1986 දක්වා යුගයේ දක්නට ලැබිණි. රට දෙකම පත්තුවෙන විලක්කුවක් බවට පත් කිරීමට හේතු වූයේ ජයවර්ධන ජනාධිපතිවරයාගේ  උග්‍ර බලකාමී ප්‍රතිපත්තීන්ය.


Rasanga(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image