‘‘බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරන රාජ්‍ය හා රාජ්‍යානුබද්ධ ආයතනවල සේවයේ නියුතු
නිලධාරීන්ගේ කලා කුසලතා ඇගයීම් කෙරෙන නිර්මාණ තරගාවලිය’’
යට උපුටා දැක්වූයේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් විසින් නිකුකුත් කරන ලද දැන්වීමක ආරම්භක වාක්‍යය යි. පළමුවෙන් ම පැවසිය යුතුතේ මෙම පෝස්ටරය සඳහා අකුරු නිර්මාණෙය කළ, එසේත් නොමැති නම් පෝස්ටරය සැලසුම් කළ හෝ එය භාරව සිටි පුද්ගලාට සිංහල අක්ෂර පිළිබඳව නිවැරැදි අවබෝධයක් නොමැති බවයි. නමුදු මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ ඒ සම්බන්ධව නොවන බැවින් එකී කරුණ මෙතැනින් සමාප්ත කර අදාළ මාතෘකාවට පිවිසෙන්නට අවසර.
යට උපුටා දැක්වූ වාක්‍යයට පහතින් අදාළ තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවන කලා නිර්මාණ ලෙස: කෙටි චිත්‍රපට, කෙටි නාට්‍ය, ඡායාරූප සහ චිත්‍ර නිර්මාණ යන සිවු අංශ සඳහන් කර ඇත.
මෙහි දී ‘‘කලාව යනු කුමක් ද?’’ යන්න පිළිබඳව අමාත්‍යංශයේ නිලධාරින්ට අවබෝධයක් නොමැති බව පළමුවෙන් ම අවබෝධ විය. ඒ, ‘‘කලාව’’ යනු යට සඳහන් කළ අංග පමණක් ය යන්න ඔවුන් සිතා සිටින බැවිනි.
කලාව යනුවෙන් හැඳින් වෙන්නේ පුළුල් පරාසයක විසර පවත්නා මිනිසුන්ගේ සුවිශේෂී ක්‍රියාකරකම් රැසකි. එය මිනිසා විලි වසාගන්නා නොයෙක් මාදිලියේ ඇඳුමේ සිට මුළුතැන්ගෙයි දී ප්‍රයෝජනයට ගන්නා හැන්ද, පිහිය යනාදි භාණ්ඩ දක්වා විහිද යයි. ඒ අතුරින් බහුතරයක් මිනිස් ප්‍රජාව වෙත අධ්‍යාපනය, දැනුම, කලා රසය ලබාදෙන කලාංගයක් ලෙස සාහිත්‍ය හැඳින්විය හැකි ය. ‘‘කලාව’’ නමැති විෂය ‘‘සාහිත්‍ය සහ කලාව’’ යනුවෙන් හැඳින්වෙන්නේ එබැවිනි. මේ සියල්ල තනි වදනික් හඳුන්වන්නේ නම් එය ‘‘සෞන්දර්යවාදය’’ ලෙස නම් කළ හැකි ය.
කලාවේ යථාර්ථය එය වුව ද බුද්ධ ශාසන සහ සංස්කෘතික විෂය බාර ඇමතිවරයාගේ සිට අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් ඒ පිළිබඳ අංශු මාත්‍රයක හෝ දැනුමක් නොමැති පිරිසක් බව මෙම දැන්වීම දුටු සැණින් අවබෝධ කරගත හැකි ය.
අදාළ දැන්වීම දුටු දිනට පසු දින ම මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ නිලධරයකුගෙන් විමසූ විට නම ප්‍රසිද්ධ කරන්නට අකමැති වූ ඔහු ඊට ලබා දුන්නේ කදිම පිළිතුරකි. එනම් රාජ්‍ය භාණ්ඩාගරයේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් සියලු කලා අංශ අතුරෙන් වියදම් අවම කළ හැකි කලාංග කිහිපයක් පමණක් මෙවර එම තරගාවලියට ඇතුළත් කර ඇති බවයි.
කලාව සහ ඒ ඒ කලාංග පිළිබඳ මෙන් ම ඒ ඒ කලාංග සඳහා වැය වන මුදල් පිළිබඳව ද මෙම බලධාරීන් තුළ දැනුවත් භාවයක් නොමැති බව මෙහි දී වඩාත් පැහැදිලි විය; ඒ පිළිබඳ විමසීමේ දී ඊට පැහැදිලි පිළිතුරක් සපයන්නට ද හෙතෙම අසමත් විය. නමුදු එහි දී මට හැඟී ගියේ ඇතැම් නිලධාරින් පවා මෙම සිදුවීම පිළිබඳ ඇති තතු දැන සිටින බවයි; දැන සිටිය ද රැකියාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සියල්ල ගිලගෙන සිටින බවයි.
සාහිත්‍ය යනු අවම වියදමක් දැරිය යුතු කලාංගයකි. මා දන්නා තරමින් සාහිත්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන විට ඒ සඳහා සහභාගි වන රාජ්‍ය නිලධාරින් ප්‍රමාණය අවම ය; අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ඒ සඳහා වැය කළ යුතු කාලය සහ ශ්‍රමය අවම ය. එබැවින් ම සාහිත්‍ය නිර්මාණ ඇගැයීමේ දී අදාළ නිලධාරින්ට තම වැටුපට එකතු කර ගත හැකි අමතර දිමනා ද අවම ය.
උදාහරණයක් ලෙස ගතහොත් සාහිත්‍ය නිර්මාණ තේරීමේ දී සිදු කෙරෙන්නේ අදාළ නිර්මාණකරුවන් සහ නිර්මාණකාරියන් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්මාණ ඒ වෙනුවෙන් තෝරා පත් කරගත් විනිශ්චය මණ්ඩල වෙත බාර දීම ය. නැවත එම විනිශ්චය මණ්ඩලය අමාත්‍යාංශයට පැමිණෙන්නේ තමන් අතට පත් නිර්මාණ පිළිබඳ ඒ ඒ විනිශ්චයකරුවාගේ හෝ විනිශ්චයකාරියගේ අවසන් නිගමනය ද රැගෙන ය. ඒ අතරතුර කාලයේ අදාළ බලධාරින්ට එසේත් නොමැති නම් නිලධාරින්ට ඒ වෙනුවෙන් කළ යුතු කිසිවක් ම නැත; එනිසා ම ඔවුන්ගේ වැටුපට කිසිදු අමතර දීමනාවක් එකතු නොවේ. එහෙත් සාහිත්‍ය කටයුත්ත සිදුවේ.
සාහිත්‍ය පිළිබඳ තත්ත්වය එසේ වුව ද මෙවර බලධාරීන් තෝරාගෙන ඇති අංග වෙනුවෙන් බලධාරින්ගේ මැදිහත්වීම සාහිත්‍යට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතී. එවිට අදාළ බලධාරින්ට සහ නිලධාරීන්ට ලැබෙන අමතර දීමනා ද ඉතා ඉහළ මට්ටමක පවතී. එනිසා තමන්ගේ මඩිය තරකර ගැනීමේ අරමුණෙන් අවම වියදමක් දැරිය යුතු සාහිත්‍ය කපා දමා වැඩිම වියදමක් දැරිය යුතු අංග කිහිපයක් පමණක් (එම අංග ප්‍රතික්ෂේප කළ යුතු යැයි මෙයින් අදහස් නොකෙරේ) තෝරාගෙන ඇත. එය එසේ නොවේ යැයි පවසන්නේ නම් සාහිත්‍ය වෙනුවෙන් කොපමණ මුදලක් වැය කෙරේ ද සහ මේ වන විට තෝරාගෙන ඇති අංශ සඳහා කොපමණ මුදලක් වැය කෙරේද යන්න පිළිබඳ වැය ලයිස්තුවක් ඉදිරිපත් කරන ලෙස මම අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිමි.
එහි දී සාහිත්‍ය අංශ තුනක් හෝ හතරක් වෙනුවෙන් වැය වන මුදල කොපමණ ද සහ මේ වන විට තෝරාගෙන ඇති අංශ සඳහා කොපමණ මුදලක් වැය වේද එය වැය වන්නේ කෙසේ ද යන්න ජනතාවට නිශ්චිත අදහසකට පැමිණිය හැකි ය.
මෙම බලධාරින් සාහිත්‍ය මතු නොව තවත් අංශ විශාල ප්‍රමාණයක් මෙවර අත්හැර දමා ඇත. ඒ අංශවලට ද දැනට තෝරාගෙන ඇති අංශවලට තරම් පිරිවැයක් දැරිය යුතු නොවන බව ඒ ඒ අංශ නියෝජනය කරන කලා ප්‍රජාව පවසයි. දළ වශයෙන් ගණනය කළ ද මේ වන විට තෝරාගෙන ඇති අංශ යනු වැඩිම පිරිවැයක් දැරිය යුතු අංශ යි; විවිධාකාරයෙන් මුදල් වංචා සිදු කළ හැකි අංශ යි. නමුත් සාහිත්‍ය නිර්මාණ ඇගැයීමේ දී මේ කිසිවක් කළ නොහැකි ය.
මෙම සිද්ධියේ දී ද ඇතැම් පිරිස් සුපුරුදු පරිදි මෙරට ප්‍රථම විධායක ජනාධිපති සාහිත්‍ය කන්නදැයි යනුවෙන් විමසූ බව යළි යළිත් උපුටා දක්වමින් මේ සිදුවන්නේ එහි දිගුවක් ය යන මතය යළි යළිත් මතුරමින් සිටිති. ඔහු එසේ පැවසූ බව සත්‍යයකි. නමුදු මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ එහි දිගුවක් නොව මේ වන විට අදාළ විෂයයට වගකිව යුතු නිලධාරින්ගේ අත්තනෝමතික ක්‍රියා බව අප අවබෝධ කරගත යුතු ය; ඒ පිළිබඳ විමසිය යුතු ය. අදාළ නිලධාරින් ද ඊට පිළිතුරු සැපයිය යුතු ය. එසේ නොවන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙවර පවත්වන්නට සුදානම් වන ‘අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවගලියට’ අදාළ සියලු තොරතුර ලබා දිය යුතු ය.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/08/14