2014 වසරේ දී ෆේස්බුක් භාවිතා කළේ සමාජ මාධ්‍යයක් විදියට. එය ඔවුන්ගේ අදහස් හුවමාරු කරගත හැකි වේදිකාවක් විදිහට පමණක් ක්‍රියා කළා.
2014 ජුලි මාසයේදී මැතිවරණයක් නොතිබුනත් රටේ එවකට පැවති රාජපක්ෂ පාලනය සම්බන්ධ ගැටළු ගැන බොහෝ දෙනෙක් ෆේස්බුක් හරහා සාකච්ඡා කරනු ලැබුවා.
යහපාලන ඩිජිටල් ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ෆේස්බුක් හි සිදු වූ ස්වභාවික මහජන නැගිටීමක් වූ අතර එහි පීතෲත්වය කිසිවෙකුට හිමි යැයි කිව නොහැක. එකල රට පාලනය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි 8 වැනිදා පරාජයට පත්වූයේ ජනතාව අතර එතරම් ප්‍රසිද්ධියක් තිබුණේ නැති, නායකත්ව බලය සහ නායකත්ව පෞරුෂය අඩු මට්ටමක් හිමිව තිබූ අපේක්ෂකයෙකුට ඉදිරියේයි. එදා මිලියන 6.2 ක ඡන්දදායකයන් මෛත්‍රිපාල සිරිසේන තෝරා පත් කර ගත්තා. එය මගේ මතයට අනුව ඉතිහාසයේ සිදු කළ බලවත් වරදක් වුවත් රාජපක්ෂ පාලනය නවත්වා දැමීම ඉතා වැදගත් බව බොහෝ දෙනෙක් තීරණය කලා.
මෙම සිදුවීම ෆේස්බුක් සමාජ මාධ්‍යය තුළ වැදගත් සිද්ධි අධ්‍යනයක් බවට පත් වුනා. ජනාධිපතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට හේතු වන වැදගත් සාධක ගැන කතා කිරීමට මිනිසුන්ට සමාජ මාධ්‍යය භාවිතා කළ හැකි බවත්, ඒ හරහා මිනිසුන් සිතන ආකාරය වෙනස් කළ හැකි බවත් බොහෝ දෙනෙක් තේරුම් ගත්තා. ෆේස්බුක් හරහා ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවා හැරීම, ජාතිවාදය සහ ප්‍රචණ්ඩත්වය වැනි ප්‍රශ්න උත්සන්න කළ හැකි බවත් ශ්‍රී ලංකාව තුළ සිදු වූ ඇතැම් සිදුවීම් වලින් ඔප්පු වුණා.
මේ ගැටලුව සමනය කර ෆේස්බුක් වේදිකාව පුද්ගලයන්ට තොරතුරු හුවමාරු කරගත හැකි ආරක්ෂිත වේදිකාවක් බවට පත් කරවා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා.
නමුත් 2023, මේ වන විටත් ඇතැම් දේශපාලනඥයන් අන්තර්ජාල ලෝකය කෙතරම් බලවත් දැයි සම්පූර්ණයෙන් වටහාගෙන නැහැ. ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් මේ වන විට පුවත්පත් කියවීම විශාල ප්‍රමාණයකින් අඩු කර ඇති අතර, ගුවන්විදුලියට සවන් දෙන්නන් ප්‍රමාණයද 7%ක් දක්වා පහත වැටී ඇත. රූපවාහිනිය නරඹන මිනිසුන් තවමත් සිටින නමුත් එයට එකම හේතුව වන්නේ රූපවාහිනිය වැදගත් බව මිනිසුන් විශ්වාස කිරීමයි. නමුත් සෑම වසරකම රූපවාහිනිය නරඹන පුද්ගලයන් සංඛ්‍යාවද ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. ජනාධිපතිවරණය, ඩිජිටල් මාධ්‍යය, නව නායකයන්, අන්තර්ජාලය හරහා තොරතුරු පැතිරෙන ආකාරය වැනි වැදගත් මාතෘකා ගැන අප කතා කළ යුතුයි.
දේශපාලනඥයෙක් ඡන්දදායකයන්ට සහ මහජනතාවට තමන්ගේ පණිවිඩය සන්නිවේදනය කරන්නේ කොහොමද? මෙය ඔප්පු කිරීමට කිසිදු පර්යේෂණ දත්තයක් ඔබට අවශ්‍ය වන්නේ නැහැ. වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන් 100 දෙනෙක් සමග කතා කර බලන්න.
ඔවුන් තොරතුරු ලබාගන්නා ආකාරය විමසා බලන්න.
ඔවුන් පුවත්පත් කියවනවාද? නැහැ
ඔවුන් ගුවන්විදුලියට සවන් දෙනවාද? නැහැ
ඔවුන් රූපවාහිනිය නරඹනවාද? ඇතැම්විට
නමුත් ඔවුන් රූපවාහිනිය නරඹන්නේ දිනකට පැය සුළු ප්‍රමාණයක් පමණයි. ඒ වෙනුවට ඔවුන් අන්තර්ජාලයේ වල පල වන රූපවාහිනී ප්‍රවෘත්ති නරඹනවාද?
ඉතින් ඉලක්කගත ඡන්දදායකයා සියලු පණිවිඩ කියවන බව සහතික කර ගන්නේ කෙසේද?
ඉතින් දේශපාලනඥයින්ට ජනතාවට තම පණිවිඩ යැවීමට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ අන්තර්ජාලය සහ ඩිජිටල් මාධ්‍ය භාවිතා කිරීමයි. නමුත් සංසන්දනාත්මකව බැලූ කල 2015 වසරේ සිට මේ වන විට ඩිජිටල් මාධ්‍යයෙහි පවා විශාල වෙනස් කම් ඇති වී තිබෙනවා.
ෆේස්බුක් සමාජ මාධ්‍යය තවමත් වැදගත් නමුත් එය අතීතයේ දී තරම් ශක්තිමත් නැහැ. පණිවිඩ හුවමාරු කරගැනීමට භාවිතා කරන ලද සමාජ මාධ්‍යයක් වන ට්විටර් ද ඉලෝන් මස්ක් එය භාර ගැනීමෙන් පසුව වෙනස්කම් වලට භාජනය විණි. මේ වන විට වීඩියෝ නැරඹීම සඳහා යූ ටියුබ් වේදිකාව ජනප්‍රිය වී තිබෙනවා. මෙය හරහා බොහෝ දෙනෙක් වැදගත් මාතෘකා ගැන සාකච්ඡා කරනවා. නමුත් කෘතිම බුද්ධිය ප්‍රචලිත වීමත් සමග එයද ඉතා ඉක්මනින් වෙනස් විය හැකි බව මගේ අදහසයි. කෘතිම බුද්ධිය මුලු ලෝකයම පරිවර්තනයකට ලක් කරමින් සිටින, අලුත් දේවල් ඉගෙන ගත හැකි ඉතා වැදගත් නවෝත්පාදනයකි.
1980 වසරවල දී පුද්ගලික පරිගණක ජනප්‍රිය වූ ආකාරයටම කෘතිම බුද්ධිය මේ වන විට ජනප්‍රිය වෙමින් පවතිනවා. Chatgpt දැන් පැරණි පුවතක් බවට පත් වී ඇති අතර එවැනි නව මෙවලම් දහස් ගණනක් නිර්මාණය වී තිබෙනවා. මේ නිසා අන්තර්ජාලය හරහා මිනිසුන් සමග කතා කිරීමට කෘතිම බුද්ධිය භාවිතා කළ යුත්තේ කෙසේදැයි යන්න දන්නා දේශපාලනඥයාට අනෙකුත් දේශපාලනඥයන්ට සාපේක්ෂව වැඩි වාසියක් ලබා ගත හැකි වනු ඇත. ඊට හේතුව වන්නේ කෘතිම බුද්ධිය භාවිතා කරමින් ඔවුන් පුද්ගලයන්ට ළඟා විය හැකි අලුත් සහ ආකර්ෂණීය ආකාර ඉගෙන ගන්නා නිසාය.
මහජන මතය වෙනස් කිරීමට ඩිජිටල් සන්නිවේදනයේ බලපෑම මම වසර ගණනාවක් තිස්සේ අධ්‍යනය කලා. මෙය සාම්ප්‍රදායික මාධ්‍ය වලට වඩා බොහෝ වෙනස්.
අන්තර්ජාලයෙ පලකරන්නා කවුදැයි සඟවා තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් පළ කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා වගකීමකින් තොරව ව්‍යාජ පුවත් පළ කිරීමේ අවදානම මතුවෙනවා. මෙය විවිධ ගැටළු මතු කරනවා. සුක්ෂම වූ ඇතැම් සාම්ප්‍රදායික මාධ්‍යයන් සමහරක් ඩිජිටල් බලය අවබෝධ කරගෙන සිය කටයුතු ඩිජිටල් ක්‍රම සමඟ ඒකාබද්ධ කර තිබෙනවා.
2017 වසරේදී විවිධ රටවලට අයත් අප පහළොස් දෙනෙක් ව්‍යාජ ප්‍රවෘත්ති පැතිරීම නවත්වා ගැනීම ගැන කතා කිරීමට ටෝකියෝ නුවරට රැස් වුණා. මම ශ්‍රී ලංකාවේ සිද්ධි අධ්‍යයනය ඉදිරිපත් කළ අතර, අපගේ අධ්‍යයනය අද්විතීය බව පිලිගැනුනා. මේ පිළිබඳ කල අධ්‍යනයක තොරතුරු අප ෆේස්බුක් සමාගමට ඉදිරිපත් කලත් ඔවුන් එය නොසලකා හරිනු ලැබුවා.
Cambridge Analytica saga for Facebook සිදුවීම ගැන ඔබට මතක ඇති. මැතිවරණයක් වැනි වැදගත් දේ වලට බලපෑම් කිරීමට දත්ත වැරදි ආකාරයෙන් භාවිතා කිරීමක් එමගින් සිදු වූ අතර CA- ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්සැන්ඩර් නික්ස් ප්‍රසිද්ධියේ අවමානයට ලක් වී, රැකියාව අහිමි වී, නව රැකියාවක් සොයා ගැනීමට ඇති හැකියාවද ගිලිහුණා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ සහායක ස්ටීව් බැනන් CA අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් වී සිටි අතර ඉන් ගිණුම් මිලියන සියයකට ආසන්න ප්‍රමාණයක් අවදානමට වැටුණා.
දිගන කෝලාහලය
දිගන කෝලාහලයට හේතු වූ ඩිජිටල් අවකාශය මැඩ පැවැත්වීමට මම මැදිහත් වුණෙමි. මම සහ මගේ කණ්ඩායම දැඩි උත්සාහයක් ගත්තද, දින තුනක් තිස්සේ අප කල යුතු දේ ගැන නිසි අදහසක් නොවීය. සියල්ල වැරදී ගිය විට එය නැවැත්වීම හෝ නිවැරදි කිරීම ඇත්තෙන්ම දුෂ්කර වේ.
තම පක්ෂය ජයග්‍රහණය කරවා ගැනීමේ අරමුණ නිසා සමහරු තම ප්‍රතිවාදියා ගැන ව්‍යාජ පුවත් මැවීම සිදුකරනවා. ශ්‍රී ලංකාව වැනි රටක මෙය බොහෝ දුරට සිදු වෙනවා. ජනාධිපතිවරණය වැනි පුද්ගල කේන්ද්‍රීය මැතිවරණයකදී නොවැළැක්විය හැකි චරිත ඝාතන සිදු විය හැකියි. ශ්‍රී ලංකාව තුළ නායකයෙකු වීමට උත්සාහ කරන අය අනිවාර්යෙන්ම මනස ශක්තිමත් පුද්ගලයන් විය යුතුය. ශ්‍රී ලංකාව වැනි රටක ප්‍රතිපත්තිවලට වඩා අපේක්ෂකයාගේ චරිතය, පවුල, මිතුරන්, ව්‍යාපාරික අවශ්‍යතා, ලිංගිකත්වය, ආගමික විශ්වාසයන් සහ පෞද්ගලික ඉතිහාසය ආදියට ප්‍රහාර එල්ල වෙනු ඇත. එය පහසු නැත. නමුත් දේශපාලනය ක්‍රියාත්මක වන්නේ එලෙසය.
ශ්‍රී ලංකාවේ, සෘණාත්මක පණිවිඩ ඉතා ප්‍රබල වේ. ඩිජිටල් ලෝකය පහසු වුවද එය භයානක ගැටලු ගෙන දීමට සමත් වන්නේ ඉහත අඩුපාඩුව නිසාය. නමුත් මිනිසුන් එකට එකතු වී වැඩ කරන්නේ නම් සහ බුද්ධිමත්ව සිතන්නට හුරු වන්නේ නම් දේවල් යහපත් කරගැනීමටත්, ව්‍යාජ පුවත් ගැන කරදර වීම නවත්වා දැමීමටත් හැකි වනු ඇත.
මේ මොහොත වන විට කිසිම පක්ෂයකට තනිව ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්නුම් කෙරේ. ජයග්‍රහණය කිරීමට නම් පරස්පරවිරෝධී කණ්ඩායම් වලට එකට එකතු වීමට සිදුවනු ඇත. මේ සඳහා රටෙහි ආර්ථික තත්ත්වය, මිනිසුන්ට ආරක්ෂාව පිලිබඳ හැඟීම දැනෙන්නේ කෙසේද යන සාධක වැදගත් වේ. මෙම සාධක යහපත් අතට හැරුණ හොත් මිනිසුන්ගේ ඡන්දය ලබා දීමේ තීරණය වෙනස් වීමට ඉඩ ඇත. නමුත් දත්ත අධ්‍යයනය කිරීමේදී මට දැනෙන්නේ කිසිදු අපේක්ෂකයකුට සහය දක්වන 25%කට වැඩි මුල් ඡන්ද පදනමක් මුලදී හිමි නොවනු ඇති බවය. තමන්ට ඡන්දය ලබා දිය යුත්තේ ඇයි දැයි යන්න මිනිසුන්ට ඒත්තු ගැන්වීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත. හදිසියේ ආර්ථිකයේ විශාල ප්‍රබෝධයක් ඇති වීම වැනි පුදුම සහගත දෙයක් සිදුවූවොත් මිස මාස කිහිපයකින් කිසිදු අපේක්ෂකයෙකුට බහුතර සහයෝගයක් ලබා ගැනීම පහසු වන්නේ නැත. තිරය පිටුපස යම් රහසක් නොවන්නේ නම්, බොහෝ විට එය අපේක්ෂකයන් තිදෙනෙකු අතර තරගයක් වීමට ඉඩ ඇත.
යම් අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් විවිධ දේශපාලන මතවාද, සංස්කෘතීන්, පෞරුෂයන්, වාණිජමය අවශ්‍යතා ඇති වෙනත් කණ්ඩායම් සමග බල හුවමාරුවක් සිදු කර ගැනීමට සිදුවනු ඇත. ඔවුන්ගේ අරමුණු එක සමාන නොවූවද, වෙනස් අරමුණු බෙදාගැනීමට සහ එකිනෙකා සමඟ එකඟ වීමට ඔවුන් සූදානම් විය යුතුය. ඇතැම් විට සියලු දෙනා සතුටු කිරීමට ආණ්ඩුවේ වැදගත් තනතුරු ලබාදීමට සිදුවනු ඇත. මෙහි තීරණාත්මකම අවස්ථාව වන්නේ මෙයයි. එවැනි අවුලකින් රටට අත්විය හැකි ප්‍රතිඵල ගැන මම බිය වී සිටින්නෙමි. එසේ වුවද ජයග්‍රාහී අපේක්ෂකයාට විකල්පයක් නොමැති වන අතර නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ කිසිදා ගොඩනැගී නැති මහා සන්ධානයක් ගොඩ නගා ගැනීමට සිදු වනු ඇත. විවිධ අදහස් ඇති විශාල කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ දී ජයග්‍රාහකයාට සියලු දෙනා සතුටු කර, එකට වැඩ කරන්නේ කෙසේදැයි යන අභියෝගයට මුහුණ දීමට සිදුවනු ඇත.
එමෙන්ම චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය වැනි අනෙකුත් රටවල් ද මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටී. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ වැදගත් සාධකයකි. මේ නිසා එහි සිදුවන දේ ගැන ජාත්‍යන්තරය සැලකිලිමත් වේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය ස්ථාවර වීම දැකීම ජාත්‍යන්තර යටි අරමුණු ඇති සියළු පාර්ශවකරුවන්ගේ අරමුණයි. මෙය උපක්‍රමශීලිව විසඳාගත යුතු සංකීර්ණ තත්ත්වයකි.
1988 වසරේ දී ප්‍රේමදාස සහ බණ්ඩාරනායක ජනාධිපතිවරණයට මුහුණ දුන්හ. ජනතාවගෙන් 55% ක් පමණ ජනාධිපතිවරණයට සහභාගී වූහ. පසුව පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම් සඳහා 70% කට වඩා වැඩි පිරිසක් සහභාගි විය. සිරිසේන සහ රාජපක්ෂ ජනාධිපතිවරණයේ දී 81% ක පිරිසක් සහභාගි විය. සිරිසේන ජයග්‍රහණය කිරීමට මෙය එක හේතුවක් විය. ඒ අනුව කාලයත් සමඟ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වැඩි වෙමින් පැවතිණි.
පසුගිය මාස හය තුල මා රැස් කර ගත් ඩිජිටල් දත්ත සහ නවතම ප්‍රවණතා සලකා බැලීමේදී මීළඟ ජනාධිපතිවරණයේදී 80% කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි විශ්වාස කිරීමට හේතුවක් නැත.
මෙම තත්ත්වය වයස අවුරුදු 40 ට අඩු තරුණ තරුණියන්ට අදාළ වනු ඇත. ශ්‍රී ලංකාවේ ඡන්දය ප්‍රකාශ කළ හැකි පුද්ගලයන් මිලියන දාසයක් සිටියත් මිලියන හයක් අයත් වන්නේ තරුණ ප්‍රජාවටය. නායකයන් තෝරා ගැනීමේදී හොඳ විකල්ප නොමැති බව මෙම තරුණ පිරිසගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කිරීම කණගාටුවට කරුණකි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණු වන්නේ රැකියා ලබා ගැනීම, සාධාරණ ලෙස සැළකීම, බලාපොරොත්තු සහගත වීම වැනි දෙයයි. අවාසනාවකට මෙරට තරුණ පරම්පරාවේ බලාපොරොත්තු සුන් වී ඇති අතර, ඔවුන්ගේ දුක්ගැනවිලි විසඳීම ගැන දේශපාලන නායකයින්ට පැහැදිලි ඉලක්කයක් නැත.
පසුගිය වසර විසි තුන තුළ විවිධ රටවල තරුණ තරුණියන් 20,000කට වැඩි පිරිසකට ඉගැන්වූ මම පරම්පරා අතර ඇති වෙනස දැක ඇත. මම මගේ තරුණ දරුවන් තිදෙනාගෙන් ඉගෙන ගන්නා අතර ඔවුන්ගේ ඉදිරිදර්ශන ගැන පුදුමයට පත් වෙමි. වර්තමාන තාරුණ්‍යය මගේ පරම්පරාවට වඩා ප්‍රඥාවන්ත බව මට වැටහී ඇත. ඔවුන්ගේ බැඳීම් අඩුය.
ඔවුන් පෙර මෙන් දේශපාලනය ගැන උනන්දු නොවන බව මා නිරීක්ෂණය කර ඇත. තරුණ පිරිස වැඩිහිටි ප්‍රජාව මෙන් එක දේශපාලන පක්ෂයකට ඇලී සිටින්නේ නැත . ඔවුන්ට අවශ්‍ය විශ්වාස කල හැකි ශක්තිමත් පෞරුෂයක් ඇති නායකයෙක් පමණි.
ඔවුන් ඉතා ඉක්මණින් උද්‍යෝගිමත් වන අතර ඉක්මන් ක්‍රියාමාර්ග සහ ප්‍රතිඵල බලාපොරොත්තු වේ. බලාපොරොත්තු කඩ වූ විට ආවේගශීලී වේ. අප තරුණ කාලයේදී හදිසි පණිවිඩ දැනුම් දීමට භාවිතා කරන ලද්දේ තැපෑල, ටෙලිග්‍රෑමය ආදි මාධ්‍යයන් වුවත් අද තරුණයින් පණිවිඩ හුවමාරු කරගැනීමට භාවිතා කරන්නේ තත්පර භාගයකින් පිළිතුරු ලැබෙන ඩිජිටල් වේදිකාවන්ය. ලෝකය වෙනස් වෙමින් පවතින අතර එවැනි තරුණ පිරිසක් කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ජේෂ්ඨ දේශපාලන නායකයින්ට ඇති දැනුම සීමිතය.
මීලඟ ජනාධිපති අපේක්ෂකයා තේරුම් ගත යුත්තේ ඩිජිටල් යුද්ධය ජයග්‍රහණය කිරීමේ වැදගත්කමයි. අවසානය වන තුරු ඡන්දය ලබා දෙන්නේ කාට දැයි තීරණය නොකළ ඡන්දදායකයින්ගෙන් බහුතරය වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයන් වනු ඇත. බොහෝවිට ජනාධිපතිවරණයක ප්‍රතිඵලය තීරණය වන්නේ අවසාන මොහොතේ තීරණය කරන ඡන්දදායකයින් නිසාය. ඔවුන් තම තීරණය අවසාන දිනය දක්වා ප්‍රමාද කරනු ලබයි. 2005 වසරේදී, උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනයේ බලපෑමෙන් වික්‍රමසිංහට එරෙහිව රාජපක්ෂ ජයග්‍රහණය කළේ ඡන්ද 180,000කින් පමණි.
ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයන් 1988 වසරේ සිට පසුගිය ජනාධිපතිවරණය දක්වා ජයග්‍රහණය කළේ හැඟීම්, බොරු පොරොන්දු මත මිස ප්‍රතිපත්ති සහ ජීවන යථාර්ථයන් පෙන්වා දීම මගින් නොවේ. බොහෝවිට මීළඟ ජනාධිපතිවරණයත් ඒ මගම යාමට ඉඩ ඇත. අන්තර්ජාලය සහ ඩිජිටල් මාධ්‍ය මිනිසුන්ගේ හැඟීම් මෙහෙයවනු ලබයි. මිනිසුන්ට ඩිජිටල් මාධ්‍යය හරහා එකිනෙකා සමඟ සාකච්ඡා කිරීමට හැකියාව ලැබීම, අනෙකා විශ්වාස කරන දෙයම විශ්වාස කරන්නට පෙළඹීම සිදු වේ.
මිනිසුන්ට ඇසීමට අවශ්‍ය දේ සහ තේරුම් ගැනීමට පහසු දේ පැවසීමට හැකි වන නායකයාට ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් හිමිවනු ඇත. එය 1960 දී කෙනඩි නික්සන්ට එරෙහිව ජයග්‍රහණය කළ ආකාරයට සමාන වනු ඇත. ඔහු එවකට ජනප්‍රිය වූ රූපවාහිනිය ආදී මාධ්‍යයන් භාවිතා කිරීමට දැන සිටි අතර ජයග්‍රහණයට එය හේතු විය.
2014 වසරේදී ඉන්දියාවේ මෝධි සහ ගාන්ධි අතර විශාල මැතිවරණයක් පැවැත්වුණු අතර මෝධිගේ කණ්ඩායම ඩිජිටල් වේදිකාව හොඳින් භාවිතා කරන ලදී. ගාන්ධිගේ කණ්ඩායම අන්තර්ජාලය තුළ වැඩි යමක් සිදු කළේ නැත. රාජ්නාත් සිං භාරතීය ජනතා පක්ෂ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධානියා වුවද, අරවින්ද් ගුප්තා සහ තරුණ තාක්ෂණික බලකාය කැපී පෙනෙන ඩිජිටල් ව්‍යාපාරයක් දියත් කරන ලදී. තරුණ ගාන්ධි ඩිජිටල් මාවතට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කළ නමුත් ඔහුට නිසි වෙබ් අඩවියක්වත් නොතිබූ බව මට මතකය.
ඩිජිටල් මාධ්‍ය භයානක තියුණු කඩුවක් වැනිය. ප්‍රවේශමෙන් හසුරවන්නේ නම් උපකාරයක් වනු ඇත. දැනට පවතින සාම්ප්‍රදායික මාධ්‍ය වලට ඩිජිටල් මාධ්‍ය පරාජය කළ නොහැක. ඩිජිටල් මාධ්‍ය ජයගත හැක්කේ ඩිජිටල් මාධ්‍ය හරහාම ය. ශ්‍රී ලංකාව තුළ බොරු ප්‍රවෘත්ති ඇතිවීම කිසිදිනක නවතින්නේ නැත. ව්‍යාජ පුවත් ජීවිතයේ කොටසක් බවට පත් වන අතර දිගට මාධ්‍ය කතිකාවත පුළුල් වනු ඇත.
මා වරදවා වටහා ගැනීමෙන් වළකින්න. සාම්ප්‍රදායක ප්‍රචාරණ ක්‍රම තවමත් වැදගත් වේ. නමුත් ඩිජිටල් ප්‍රචාරණ ක්‍රමය වීරයා වී ඇත. එහි ප්‍රතිඵලයක් විදියට මැතිවරණ රැස්වීම් වලට පෙර මෙන් පුද්ගලයන් දහස් ගණන් සහභාගි නොවනු ඇත. පෝස්ටර් බෙදන අපේක්ෂකයා නොසලකා හැරෙනු ඇත. මත්පැන්, ත්‍යාග වැනි අල්ලස්වලට තරුණ පිරිස විරුද්ධ වනු ඇත. එවැනි දේ ලබා දීමට උත්සාහ කරන විට ඒවා පටිගත කර අන්තර්ජාලයට මුදා හරිනු ඇත. නායකයාගේ ජීවිත රටාව සහ ඔහු කරන සියලු දේ ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා නැරඹීමට හැකි වනු ඇත.
ජය ගැනීමට ප්‍රතිපත්තිය අවශ්‍ය වනු ඇත. නමුත් සෑම ප්‍රතිපත්තියකටම අපේක්ෂකයා ස්ථිර ලෙස පෙනී සිටීම අනිවාර්ය වනු ඇත. එය අපේක්ෂකයාගේ පණිවිඩ ගෙන එන්නේ කවුරුන්ද යන්න මත රඳා පවතිනු ඇත. විශ්වාසනීයත්වය ගොඩනැංවීම සඳහා පණිවිඩය සහ පණිවිඩකරු එක සමාන ලෙස වැදගත් වීම අත්‍යවශ්‍ය වනු ඇත. ඡන්දදායකයන් ආකර්ෂණය කරගැනීමට විශිෂ්ඨ පණිවිඩයක් නිර්මාණය කළත් එය ඡන්දදායකයා වෙත ගෙනයාමට විශ්වාසනීය සහ දක්ෂ පණිවිඩකරුවන් සොයාගැනීම අභියෝගාත්මක කාර්යයක් වනු ඇත. 2024 වසරේදී ඩිජිටල් යුද්ධය දිනන තැනැත්තා රටේ ජනාධිපතිවරයා වනු ඇත.
2005න් පසු මහින්ද රාජපක්ෂ පිළිබඳව විශාල උද්යෝගයක් ඇති නොවන ප්‍රථම වතාව මෙය වනු ඇත. මෙය අධ්‍යනය කල යුතුම සිද්ධි අධ්‍යනයක් වනු ඇත.
(සාලිය වීරකෝන්)
සාලිය වීරකෝන්: ව්‍යවසායක, ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් ලද වසර 30 ක පලපුරුද්දක් සහිත, මහජන නායකත්වය, මහජන ප්‍රතිපත්ති, අලෙවිකරණය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ශාස්ත්‍රීය පසුබිමක් ඇති, පසුගිය වසර 12 තුළ බොහෝ ජ්‍යෙෂ්ඨ දේශපාලන සහ ව්‍යාපාරික නායකයින්ට උපදෙස් දී ඇති, Harvard Kennedy School හි ආදි ශිෂ්‍යයෙකි.
Next presidential election: Win the digital war to win the election