පහත දක්වා ඇත්තේ IMF විසින් ලංකාවේ රාජ්‍ය වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ දළ සිංහල පරිවර්තනයකි.


මෙහි කාල රාමුව අනුව IMF හි දෙවන වාරිකය සම්බන්ධයෙන් මෙහි ඇති නිර්දේශ විශාල ලෙස බල නොපෑවත් එහි තුන්වෙනි වාරිකය සහ ඉන් පසු ජාත්‍යන්තර රටවල් සහ මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේදී මේවා බලපෑම් සහගත බව නොකිවමනාය.

පාර්ලිමේන්තුව තුල සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් මෙම යෝජනාවලිය සම්බන්ධව කතාකරමින් මීට විරුද්ධ වන අය සිටී නම් නැගිට ඒ පිළිබඳව කරුණු දක්වන්නැයි පවසද්දී කිසිම පාර්ලිමේන්තු ඇමති හෝ මන්ත්‍රීවරයෙකු ඊට එරෙහි වූයේ නැත.(ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුල සිටි ප්‍රමාණය පිළිබඳව අදහසක් ලියුම්කරුට නොමැති බවද මෙහිදී සදහන් කල යුතුය.)


රටම හොල්ලන IMF කොන්දේසි 16 ක් හර්ෂ හෙළි කරයි


මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් විවෘත සංවාදයක් රට තුල ඇතිවන්නේ නම් එය දේශපාලන-ආර්ථිකය පැත්තෙන් ඉතා වටිනා බව මගේ අදහසයි.

2024 දී බලය ලබාගන්නා ඕනෑම ආණ්ඩුවක් මීට සමගාමීව ගමන් කරනවාද, එසේත් නොමැතිනම් ඊට වෙනස්ව වෙනත් විකල්පයක් ඉදිරිපත් කරනවාද,එසේ ඉදිරිපත් කරන විකල්පය කුමක්ද ? යන්න දැන ගැනීමට මම කැමතිය.

පහත එම යෝජනාවලියේ කරුණු 16 ය සංක්ෂිප්තව පෙල ගස්සා ඇත.

  1. 2023 නොවැම්බර් වනවිට ස්වාධීන දූෂණ විරෝධී උපදේශකයින්ගෙන් සැදුම්ලත් උපදේශන කමිටුවක් පිහිටුවීම.
  2. දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ (ජනාධිපති, අගමැති, සහ අමාත්‍යවරුන්ගේ) වත්කම් ප්‍රකාශ තෝරාගත් වෙබ් අඩවියක 2024 ජූලි වනවිට ප්‍රසිද්ධ කිරීම.
  3. අපරාධ නීතියේ ප්‍රතිපාදන බලාත්මක කිරීම.
  4. ජාතික විගණන පනත සංශෝධනය කිරීම.
  5. සමාගම් පනතට ප්‍රකාරව අවශ්‍ය ප්‍රතිලාභ තොරතුරු සහ මහජන ප්‍රතිලාභ හිමිකාරීත්ව ලයිස්තුවක් සකස් කිරීම සඳහා නීති අවසන් කර ක්‍රියාත්මක කිරීම.
  6. ජාත්‍යන්තර යහ ක්‍රමවේද ඇතුළත් ජාතික ප්‍රසම්පාදන නීතියක් 2024 දෙසැම්බර් වනවිට ක්‍රියාත්මක කිරීම.
  7. තරගකාරී ටෙන්ඩර් ප්‍රසම්පාදන ගිවිසුම් වර්ධනය කරගැනීම පිළිබදව වාර්තාවක් 2024 දෙසැම්බර් වනවිට වෙබ් අඩවියක පළ කිරීම
  8. 2024 මාර්තු මාසයේ සිට රුපියල් බිලියනයකට වැඩි සියළුම රජයේ ප්‍රසම්පාදන ගිවිසුම්, ආයෝජන මණ්ඩලය යටතේ බදු විරාම හිමිවූ සියළුම සමාගම්වල නම්, බදු විරාම මගින් අහිමිවූ බදු ප්‍රමාණය, සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමේදී ආයතන වලට ලැබුණු බදු සහන වෙබ් අඩවියක ප්‍රසිද්ධ කිරීම. මෙම තොරතුරු මාස 6කට වතාවක් යාවත්කාලීන කළ යුතුය.
  9. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියක් සකස් කිරීම.
  10. විනිවිදභාවයක් ඇතිවන තුරු උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අයදුම්පත් අත්හිටුවීම හෝ නතර කිරීම.
  11. නිසි පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අමාත්‍යවරයාට බදු හඳුන්වාදීම වැලැක්වීම සඳහා බදු නීතිය සංශෝධනය කිරීම.
  12. ආදායම් රැස්කරන සෑම දෙපාර්තමේන්තුවකම වංචා දූෂණ වැලැක්වීම සඳහා ඒවා තුළ කෙටි කාලීන දූෂණ විරෝධී ක්‍රියා මාර්ග ගැනීම.
  13. සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකුවේ සෘජු කළමනාකාරීත්වයෙන් ගලවා ගැනීම සඳහා කැබිනට් යෝජනාවක් 2024 ජුනි වනවිට ඉදිරිපත් කිරීම.
  14. බැංකු අංශයේ සහ මූල්‍ය අංශයේ අධීක්ෂණය සඳහා වන නීති සහ රෙගුලාසි තර කිරීම.
  15. 2024 දෙසැම්බර් වනවිට, අන්තර්ජාල ඩිජිටල් ඉඩම් ගොනුවක් විවෘත කිරීම සහ එම තොරතුරු වෙබ් අඩවියක පළ කිරීම.
  16. අධිකරණ සේවා කොමිසමේ ධාරිතාවය වර්ධනය කිරීම සඳහා එහි සම්පත් හා කුසලතා පුළුල් කිරීම වෙනුවෙන් සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කිරීම.


මෙම යෝජනාවලිය දෙස තියුණු නිරීක්ෂනයක් හෙලන්නේ නම් ඉන් මූලික අරමුණ ලෙස ලාංකීය රාජ්‍ය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමක් කෙරෙහි අවධානය යොමු වී ඇති බව නිරීක්ෂණය විය යුතුය.

හර්ෂ ද සිල්වාට පවා මගහැරෙන්නේ මෙහි දේශපාලනික කොටසයි. ආර්ථිකය පිළිබඳ විශේෂඥයින්ට වුවද මෙහි ඇති නිර්දේශ මත සිදුකල යුතු දේශපාලනික ප්‍රතිසංස්කරන පිළිබඳව දක්වා ඇති තියුණු මැදිහත් වීම මහගැරෙන සුළුය.



ලංකාවේ ආර්ථික අර්බුදය උඩට එන්නේ සංස්කෘතික දේශපාලනය තුල ගිලී වීම පසුගාමී චින්තනයක් ඇති අපේ වැනි දූපත් රාජ්‍යයක අනිවාර්‍ය ලක්ෂණයකි.


ජාතික සම්පත් පිළිබඳව ඇති අගතීන් ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමේ බධා ඇති කරයි. පසුගිය වසර 40 පමන කාලය තුල “විජේවීරවාදී” වාමාංශික කතිකාව විසින් ඒවා විකෘති කොට තිබේ. උදාහරනයකට ප්‍රවාහනය, වරාය, ගුවන් සේවය, විදුලිය වැනි ක්ෂ්‍රේත්‍ර ව්‍යාපාරික අවස්ථා ලෙස නොව ජාතික සම්පත් ලෙස වර්ගීකරණය කිරීමත් ඒවාට ගෙන එන ප්‍රතිසංස්කරන “ජාතික සම්පත්, විකිනීම” ලෙසත් අර්ථ ගන්වා තිබේ.

මෙම යෝජනාවලියේ 09 වෙනි යෝජනාව ලෙස රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම යෝජනා කර තිබේ. ඊට ඕනෑම බලය හොබවන ආණ්ඩුවක් මුහුණ දෙනවා බැලීම කුතුහලය ජනනය කරයි.



ලංකාවේ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 15 පමන වෙතැයි සැලකේ. ඔවුන්ගේ වැටුප් හා දීමනාද, යටිතල පහසුකම් හා විශ්‍රාම දීමනාද සදහා රාජ්‍ය විසින් GDP යෙන් 70% පමන වැය කරයි. එයින් පෙරලා ලැබෙන සේවය පිළිබඳව ඇත්තේ කැලැල් සහිත ඉතිහාසයක් සහ වර්තමානයකි.



අතිශයින්ම දූෂිත හා වෘත්තීය සමිති මාෆියාවන් විසින් පාලනය කරන දුම්රිය සේවය ගතහොත් ඛේදනීය අඩියකට වැටී තිබේ. මරදාන දුම්රිය ස්ථානයේ සිදුවූ ශ්‍රේණින් දෙකක් අතර වූ සිගරට් බීමක් නිසා වූ ගැටුම මීට ආසන්න උදාහරණයකි. ඉන් දුම්රිය ධාවනය අඩාල වූ අතර නිල නොලත් වැඩ වර්ජනයක් ලෙස එය ක්‍රියාත්මක විය.

ඉදිරියේ මේ වෘත්තීය සංගම් බලු පොර වෙත බලය ලබාගන්නා ඕනෑම ආණ්ඩුවකට මුහුණ දීමට සිදුවනු ඇත.



මෙහි 03 වෙනි සහ 16 වෙනි යෝජනා හරහා සාමය හා නීතිය පිළිබඳව සිදුකර ඇති නිර්දේශ අපි මීට පෙරද කතාකර ඇත්තෙමු. එක් පසෙකින් 03 වෙනි යෝජනාව හරහා අපරාධ නීතිය නැවත සැකසීමත් 16 වෙනි යෝජනාව හරහා අධිකරණ පද්ධතිය හා එහි ක්‍රමෝපායන් ප්‍රතිසංස්කරනය කිරීමත් නිර්දේශ වී තිබේ. ලංකාව තුල යුක්තිය මිල අධිකය. ඒවා වෙනුවෙන් මුදල් වීසිකල හැකි පුද්ගලයන්ට අප්‍රමාදවත්, මුදල් වියදම් කල නොහැකි පුද්ගලයන්ට ප්‍රමාදවත් යුක්තිය (?)ඉටුවේ. නීතිඥ ගාස්තු පිළිබඳව නියමිත කැටකැරියක් නොමැති අතර ඒවා හිතූ, හිතූ ලෙස අයකර ගනී.


ප්‍රජාතත්‍රවාදය පිළිබඳව පුක පොලොවේ ගසාගන්නා නීතිඥ සංගමයද මෙහිදී නිහඩය. ඔවුන්ගේ ආදායම මෙන්ම ඒවා ආදායම් බදු වලට යටත් නොවීම පිළිබඳව ඇත්තේ ගුප්ත බවකි. වෘත්තීය මට්ටමේ ඇති සිවිල් බලය නිසා රාජ්‍ය ත්‍රස්ත්‍රකර ඇති අතර නිවට රාජ්‍ය යාන්ත්‍රනයක් තුල ඔවුන් පොරවල් වී ඇත.


මේ මම ඉහත සාකච්ජා කරන ලද කරුණු හරහා පවා මට උලුප්පා දක්වන්නට අවශ්‍ය වූයේ, මෙම IMF නිර්දේශ, දේශපාලනික ප්‍රතිසංස්කරන කෙරෙහි සංවේදී වී ඇති බවයි. එය එක් අතෙකින් ලාංකීය රාජ්‍ය පිළිබඳව පසුගිය යුගයේ සිට මතුවූ මැසිවිලි සෘජුව කියා පෑමකි. හර්ෂ ද සිල්වාගේ අභියෝගය එන්නේ එතැනිනි.


2024 මැතිවරණ වසරක් ලෙස සලකා බැලෙන්නේ නම්, ඊට මුහුණ දීමේදී මේ යෝජනාවලිය හරහා කෙරෙනා බලපෑම සරල නැත.

එය පැවති දේශපාලන භූමිය අංශක 180 ආපසු කැරකැවීමට සමත් විය යුතු වුවත් මෙම යෝජනාවලිය හරහා සියලුම දේශපාලන පක්ෂ අර්බුදයට යනවායැයි ගනන් බැලීම වැරදි සහගත කියවීමකි. ඒවා වටා රොදබැද සිටින පාක්ෂිකයන් යනු වැඩවසම් ක්‍රමය තුල ඉඩම් හිමියන්ට සිටි වහලුන් වැනි කොටසක් විනා ඊට පරිබාහිරව තත්ත්වය නිරීක්ෂණය කරන්නවුන් නොවේ. නමුත් ඕනෑම පක්ෂයක්, සන්ධානයක් රාජ්‍ය බලය ලබාගත් පසු මේ යෝජනා මගහැරිය නොහැකි තත්ත්වයකට ලංකාව පත්වී තිබේ.

නමුත් ඇතිවී ඇති අර්බුධය පිළිබඳව කෙරෙනා දේශපාලනික ගනන් බැලීම් විහිලු සහගතය. දේශපාලන ප්‍රතිසංස්කරන හා ගැටගැසී ඇති පසුගාමී අගතීන් මෙහිලා ඉටුකරන්නේ මුඛ්‍ය කාර්‍යභාරයකි.

ඉන් මිදී දියුණු දේශපාලනික වැඩසටහනක් වෙනුවෙන් කටයුතු කිරීම යනු අද දවසේ විප්ලවීය දේශපාලනයයි.

IMF විසින් ඒ සදහා අපිට ටොක්කක් ඇන තිබේ.


(විශේෂ ලියුම්කරුවකු විසිනි - carbonnews.lk)


සබැඳි ලිපිය

රටම හොල්ලන IMF කොන්දේසි 16 ක් හර්ෂ හෙළි කරයි

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image