වෘත්තික කටයුත්තකට පසු ගිය සතිය මා ගත කළේ කාම්බෝජයේ සීම් රීප් ප්‍රාන්තයේ ය. එම ප්‍රාන්තය වඩා ප්‍රකට අන්කෝර් වට් නම් ලෝකයේ විශාලත ම භූමි ප්‍රදේශයක (අක්කර හාර සීයක පමණ) පිහිටා ඇති, දොළොස්
වැනි ශත වර්ෂයේ සාදන ලද ආගමීක සිද්ධස්ථාන ඇතුලත් පෞරාණික ගොඩනැගිලි හා මනරම් වාස්තු ව්‍යුහ 1,200 පමණ නිසා ය.
මාගේ වෘත්තික කාර්යය වූයේ ඉන්දියානු, පකිස්තානි, ප්‍රංශ හා ඇමෙරිකානු සගයන් කිහිප දෙනෙකු සමග කාම්බෝජ ආචාර්ය උපාධි අපේක්ෂක කණ්ඩායමකට මුලික පුහුණුවක් ලබා දීම ය. විසි පහක පමණ සිසු සිසුවියන් පිරිසක් ඒ සඳහා කාම්බෝජයේ විවිධ ප්‍රාන්තවලින් පැමිණි සිටි අතර ඔවුන්ගේ වයස් කාණ්ඩය 30-45 දක්වා විය.
අපගේ පුහුණුවේ තේමාව වුයේ ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධනයට අදාළ 'ලිට්‍රෙචර් සර්වේ' හෙවත් පර්යේෂණ තේමාවේ ගැන මෙතෙක් ලියැවී පළ වී ඇති දේ ගැන එතෙක් නිෂ්පාදනය වී ඇති දැණුම ගැන ඇස්තමේන්තුවක්, විශ්ලේෂණයක් හා ඒ මත පදනම් කරගෙන විවේචනාත්මක විචාරයක් කිරීමට පුහුණු කිරීම ය.
කාම්බෝජ දෛනික රිද්මය තරමක් වෙනස් ය. උදෙන් ම අවදි වන ඔවුහු නාගෙන කර ගෙන හොඳින් මැදගත් ඇඳුමින් (බොහෝ විට ලා පැහැති) සැරසී පංති කාමරයේ හෝ දේශනාගාරයේ පෙරවරු හත පමණ වෙන විට
අසුන් ගෙන ගුරුවරයා එනතුරු නිහඬ ව බලා සිටිති. හතහමාර සිට දහය පමණ වනතෙන් හිස් බඩින් ම ගුරුවරයාගේ දෙසුමට සාවධාන ව ඇහුම්කන් දීම සාමාන්‍ය සිරිත ය. ගුරුවරුන්ට මෙවැනි ශික්ෂිත සුවච සිසු පිරිස් පාලනය කිසිදු අභියෝගයක් නොවේ. එහෙත් අප මුහුණ දුන් අභියෝගය වූයේ මේ සිසුන් විවේචනාත්මක විචාරයක් ලිවීමට පැකිළීම යි. තම විෂය තේමාව ගැන ලියැ වී පළ වී ඇති කප්පරක් සාහිත්‍ය මුලාශ්‍ර ලැයිස්තු සැකැසුවත් එය ශාස්ත්‍රීය මට්ටමින් හෝ විවේචනය ඔවුන් කරන්නේ ම නැත.
පසු ගිය සතියේ ම යට කී කථාවට තරමක් සම්බන්ධ සිදුවීමක් මා වසන සිංගප්පූරුවෙන් වාර්තා විය. එනම් ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව තෙවැනි හොඳ ම සරසවිය ලෙස සැළකෙන සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ (එන්යූඑස්) යින් කිට් චෑන් නම් ඇදුරෙකුට වූ හදියක් ගැන ය. ඒ අදාළ ඇදුරා 'ඊස්ට් ඒෂියන් රිවිව්' නම් වූ ඕස්ට්‍රේලියානු මාර්ගගත ශාස්ත්‍රීය විචාර අඩවියකට ලියූ ලිපියක් හේතුවෙනි.
සිංගපූරුවේ ප්‍රවාහන ඇමතිවරයාට එරෙහි ව ඇති අක්‍රමිකතා ගැන ඇදුරා යට කී අඩවියේ පළ කළ ලිපියේ කරුණු සාවධ්‍ය බවත් ඉන් යතාර්ථය විකෘති කර ඇති බව කියමින් ඔහුට සිංගප්පුරු රජය විසින් පොෆ්මා නමැති නීතිය (Protection from Online Falsehoods and Manipulation Act - POFMA) යටතේ නිවරද කරන නියෝගයක් (Correction Direction) නිකුත් කෙරිණ.
ඇදුරා හැරෙන තැපෑලෙන් ම ප්‍රසිද්ධ නිවේදනයක් කරමින් තමන්ගේ ලිපියේ කරුණු නිසි ලෙස නොවිමසා වාර්තා කිරීමෙන් මහජනයා නොමග යැවීම හා සත්‍යය නිසි ලෙස වාර්තා නොකිරීම ගැන පාඨකයින්ගෙන් සමාව අයැද සිටියේ ය. තමන් එම ලිපිය අදාළ අඩවියෙන් ඉල්ලා අස් කර ගත් බවත් තමන්ගේ ලිපියෙන් වූ අගතිය හා කුමන හෝ අපහසුතාවයකට මහජනතාවගෙනුත්, අගමැතිගෙනුත්, විශ්ව විද්‍යාලයෙනුත් කොන්දේසි විරහිත ව සමාව අයැදී ය.
ඔන්ලයින් හෙවත් මාර්ගගත තලයේ සිදුවන සාවධ්‍ය වාර්තා කිරීම් හා නොමග යැවීම්වලින් ජනතාව ආරක්ෂා කිරීම පොෆ්මා නීතියේ අරමුණ ලෙස සැළකේ. පොෆ්මා නීතිය සිංගප්පුරු පාර්ලිමේන්තුවේ සම්මත වූයේ 2019 මැයි මාසයේ ය. 72-9 ලෙස, එනම් විපක්ෂය වන වර්කර්ස් පාර්ටියේ මන්ත්‍රීවරුන් නව දෙනාගේ විරුද්ධත්වයෙන් එහෙත් අති බහුතර ජන්දයෙන් එය සම්මත විය.
දුස් තොරතුරු / ව්‍යාජ පුවත් නීතිය ලෙස ද ජනවහරට ආ මෙම නීතිය ගෙන ඒමට 2017 සිට මුල් වුයේ සිංගප්පුරු නීති හා අභ්‍යන්තර කටයුතු භාර ඇමති කේ. ශන්මුගම් ය. ඔහු දේශපාලනයට පිවිසීමට පෙර නීතීඥ වෘත්තියේ නියැළුණ අයෙකි. පොෆ්මා නීතිය ක්‍රියාත්මක කෙරුමට හා පරිපාලනයට ඉන්ෆොකොම් මීඩියා ඩිවෙලොප්මන්ට් ඒජන්සි (ඉම්ඩා) නම් විශේෂිත අධිකාරියක් පොෆ්මා නීතිය යටතේ ස්ථාපිත කෙරිණ.මෙම අධිකාරියෙන් නිකුත් කෙරෙන නිවරද කරන නියෝගයට නොතකා හරින හෝ එසේ කිරීම ප්‍රතික්ෂේප කරන සමාගමකට (උදාහරණයකට ෆේස්බුක් වැනි) ඩොලර් ලක්ෂ පහක දඩයක් පැණවීමටත් පුද්ගලයෙකුට නම් ඩොලර් දස දහසක උපරිම දඩයක් පැණවීමටත් හෝ වසර තුනක දොළහක උපරිම සිර දඬුවමක් පැවරීමටත් පොෆ්මා නීතිය යටතේ සිදු කෙරේ. යම් අවස්ථාවල යට කී අධිකාරියට සාවධ්‍ය තොරතුර පළ කරන වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමට ද පොෆ්මා නීතියෙන් ඉඩ ලබා දෙයි.
මැයි 2019 සිට ජූනි 2023 දක්වා කාලය තුල පොෆ්මා යටතේ සිද්ධි හතලිස් පහක් (45) වාර්තා වී ඇති අතර, ඒවා සම්භන්ධයෙන් නිවරද කරන නියෝග අසූ පහක් (85), පිවිසීම අවහිර කිරීම් දෙකක් (2) හා ඉලක්කගත නිවරද කිරීම් නියෝග (අතරමැදි අන්තර්ජාල සමාගම් වෙත කෙරෙන) පහළොවක් (15) නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ ද මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනතක් කෙටුම් පත් කරමින් යන අතර ඒ ගැන දැඩි විරෝධයක් මතු වෙමින් පවතී. අප ජාතියක් ලෙස හැබිචෝල් විරෝධකරුවන් බවට පත් වී ඇති නිසා විටෙක විරෝධය පාන නිමිත්තේ බරපතලභාවය ද හෑල්ලු වෙන තත්ත්වයක් උදා වී ඇත. එහෙත් මේ පනත ගැන සම්ප්‍රදායික පක්ෂ, පාට හා මතවාද ඔස්සේ නොබෙදී මේ පනතෙන් ප්‍රකාශනයේ නිදහස සීමා වීම ගැන විවේචන මතුවෙමින් පවතී.
කාම්බෝජයේ - පොල්පොට්
ප්‍රකාශන නිදහස සම්බන්ධයෙන් කලකට පෙර කාම්බෝජයේ පොල්පොට් සමයේ හඳුන්වා දුන් 'පොල්' ක්‍රමය නිසා පොල්පොට් නැතත් කට පියාගෙන සිටීම සංස්කෘතියේ කොටසක ලෙස තවමත් පවතින බව එහි ගත කළ කෙටි කාලයේදී මට පසක් විය. ඒ එක කොනක් ය. ප්‍රකාශන සංස්කෘතියේ අප ඉන්නේ තව කොනක ද කියා මට විටෙක සිතේ.
ඕනෑ ම කෙනෙකුට ඕනෑ ම දෙයක් ගැන ඕනෑ ම දෙයක් කීමට අපට ඇත්තේ එක්තරා 'පොෂ්' නිදහසකි. ඒ පොෂ් තත්ත්වය සාර්ථක ව මෙල්ල කළේ කොටි සංවිධානය හා 87-89 කාලයේ ජවිපෙ විසිනි. ඔවුන් අනුගමනය කළේ 'පොල්' ක්‍රමය යි. කෙටුම්පත් වී ඇති පනත බැලු බැල්මට පොෆ්මා ම ය හැඩ රුවක් ඇත් ද යී කෙනෙකුට සැක සිතේ. 'පොෂ්' ප්‍රකාශන ශෛලියක් අභ්‍යාස කරන සමකාලීන ලාංකීය සමාජය 'පොෆ්' කළ හැකි ද යන්න මට නම් සිතා ගත නොහැක.
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )