ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජර්මානු සංචාරයේදී DW (Deutsche Welle) News ජර්මානු රැල්ල ප්‍රවෘත්ති නාලිකාවට

මුහුණ දුන් ආකාරය ගැන පළවූ ප්‍රහාරාත්මක විවේචන ගැන ඔබ හිතන්නේ කුමක්දැයි විමසූ පාඨකයන් අතුරෙන් සමීප හිතවතුන්ට මගේ පිළිතුර කපා ගත්තා නම් කර තියා ගනීවි යන්න ය.

2022 බිඳ වැටුණ රට ගොඩ ගැනීමේ වගකීම භාර ගත් පාලකයා ලෙස රනිල් ලබා දෙන දායකත්වය ගැන රටේ නිහඬ බහුතරයක් තුළ ඇත්තේ සතුටකි. එක් පාඨකයෙකු අනේ ඇයි මේ මිනිහාට මෙහෙම ගහන්නේ......? කියා විමසුවේ බොඳ වූ උච්ඡාරණයකිනි. රනිල් රටේ ගැලවුම් කාරයා යයි කී ඔහුට මා දුන් පිළිතුර පහත දැක්වේ.

''රනිල් රටට යම් සාධාරණයක් කරන බව ඇත්තය. රනිල් රට ගොඩ දැම්මත් රනිල්ව ගොඩ දාන්න නම් සක්‍රයාටවත් බැරිවෙයි.''

ඇයි එහෙම කියන්නේ... මගෙන් එවැනි පිළිතුරක් අපෙක්ෂා නොකළ ඔහු පෙරළා විමසීය.

රනිල් කියන්නේ අදටත් කොළඹ ක්ලබ් එකේ හත් අට දෙනෙකුගේ නායකයා මිස රටේ නායකයෙක් නොවෙයි. එයා පරණ පිනකට පාලකයා වුණාට, නායකයෙක්  වෙන පිනක් රනිල්ට නෑ. රනිල් වෙනුවට එජාප බහුතරය පමණක් නොව මංගල සමරවීර, මලික් සමරවික්‍රම පවා ගියේ සජිත් පස්සේ. රටට හොරකම පුරුදු කළ මහින්ද වෙනුවෙන් අදටත් මිනිස්සු මැරෙන්න හදන්නේ මහින්ද නායකයෙකු නිසාය. රනිල්ට එරෙහි විවේචන හමුවේ ඔහුගේ දැක්ම ප්‍රිය කරන අයවත් පෙනී සිටින්නේ නැත. ප්‍රශ්නය ඇත්තේ එතැනය.

මගේ පිළිතුර අසා මදක් නිහඬ සිටි සහෘදයා දුරකතනය විසන්ධි කළා යයි මම කල්පනා කරමි.

2022

බංකොලොත් රටේ පාලකයා එනම් රනිල් වික්‍රමසිංහ, 2022 ජූලියේ සිට මේ දක්වා ඔහු ගත් හැම පියවරකටම එරෙහිව කර්කශ විවේචන නිර්මානය විය. රාජපක්ෂලා ප්‍රතික්ෂේප කළ ජාත්‍යන්තර අරමුදලෙන් අවශ්‍ය සහාය ලබා ගැනීම නිසාම ඉන්ධන සැපයුම යහපත් වී රටේ ප්‍රවාහනය යළි ශක්තිමත් විය. ඉන්ධන පෝල්ම්වල මරණ නතර විය. පාසල් විවෘත විය. විභාග කාල සටහන් සැකසිණ. උද්ධමනය පහළ වැටිණ. රුපියල ශක්තිමක් විය. එහෙත් අරගලය හේතුවෙන් ගෙවල්වලට කොටු වී සිටි   රටේ වැඩ කරන මිනිස්සු යළි වැඩපලවල් කරා ගොස් රනිල්ට එරෙහි විරෝධතා මෙහෙයවූයේ මිනිසුන්ට ආදරය කළ හැකි නායකත්වයක් නො පැවති නිසා ය. විසි නව වසරක් ඔහු නායකත්වය දුන් එජාපය සමග රනිල් වික්‍රමසිංහත් 2020 ජනතාව ප්‍රතික්ෂේප කිරීම ඊට දිය හැකි සරල උදාහරණයකි.

කිසි දිනෙක දේශපාලනිකව ජාතික තලයේ වගකීමක් පැවරෙතැයි හීනෙන්වත් නො සිතූ ශෙහාන් සේමසිංහලා, කංචන විජේසේකරලා රනිල් යටතේ වැඩ කළත් ඇත්තටම ඔවුන්ගේ නායකයා කවුද යන්න දන්නේ දෙවියන් පමණකි. පවුලේ දේශපාලන හතර මායිම් රැක ගැනීමට රාජපක්ෂලා දරන වෑයම රනිල් නිරීක්ෂණය කරයි නම් රටේ නායකත්වය පිළිබඳ රික්තයක් පවත්නා බව රනිල් වික්‍රමසිංහ තේරුම් නො ගන්නේ උද්ධච්ඡකම නිසාය.

නාමල් රාජපක්ෂ නො ගෙවූ  මිලියන දෙකකට ආසන්න මුදල රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගෙවා දැමීමත්, අනුබුදු මිහිඳු හාමුදුරුවන්ට මුවා වී විදුලි බල මණ්ඩලයට චිට් තැබූ  මිහින්තලා පන්සලේ මිලියන පහකට ආසන්න මුදල සජිත් ගෙවා දැමීමත්  මොකාගේදෝ ඛෙට්ටේ අගමුල වාගේ වුවද එය රටට කියන යාන්ත්‍රණයක් ජනාධිපති වික්‍රමසිංහට නැත.



සජිත් ජනාධිපති කර ගත් විට සියලූ පන්සල් වලට විදුලිය සහ හැම පාසලටම බස් රථ නොමිලේ ලබා දෙතී යයි අදහන මිනිසුන්ට යථාර්ථය කියා දෙන යාන්ත්‍රණයක් නැතද, ජාත්‍යන්තරයට ණය වී ලංකාවේ ජන ජීවිතය යථාවත් කරද්දී අපේ ආර්ථීක ඔස්තාර්ලා නිෂ්පාදනයක් නැතිව ණය ගෙවන්නේ කෙසේදැයි විමසීම තටු ලබා පියාඹනු දැකිය හැකිය. ඒ සමග රුපියල් 20000කට මුදලක් මූලික වැටුපට එකතු කරන ලෙස ඉල්ලන වෘත්තිය සමිති නායකයන් ගෙන් ඕවා දෙන්නේ අම්මාගේ රෙද්ද විකුණලාදැයි ඇසුවොත් ලංකාවේ එවුන් කලිසම ගලවන්නේ රනිල් වික්‍රමසිංහගේ මිස වෘත්තිය සමිති කරයන්ට දොස් නො කියති. එය හරියටම රාජ්‍ය ආදායම අඩුවීම ගැන දේශිය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ තක්කඩින් පාරට බැස පිකටින් කිරීමට  සමාන ය.

 

DW News චැනලයට රනිල් මුහුණ දීම ගැන සාකච්ඡාව මේ මිනිහා ගෙන යන්නේ කොහාටදැයි කෙනෙකුට සිතෙනු ඇත. මා විමසමින් සිටින්නේ රනිල් උපන්, රනිල් දේශපාලනය කළ, රනිල් පැරැද්දූ ලංකාවේ මාධ්‍ය ව්‍යාපාරය රනිල්ගේ දේශපාලනය බංකොලොත් කිරීම ගැන ෂාන් වික්‍රමසිංහටවත් සහෝරද කැක්කුමක් නැතිකම ගැන ය.  

රනිල් බංකොලොත් භාවයෙන් රට මුදා ගත්තද ඔහුගේ කෘතහස්ත දේශපාලනය බලයට පත් හැම විටෙකම බංකොලොත් විය. එය හෙටටත් වෙනස් නොවේ.
මෙයට පෙර විදේශ රටකදී ඔබ ගැති ඉන්දියාවටද අමෙරිකාවටද චිනයටද කියා මාධ්‍ය වේදියෙකු ඇසූ විට රනිල් කීවේ තමන් ගැති ලංකාවට කියාය. ඔබ ගැති යයි කියන ලංකාව බංකොලොත් නේදැයි අර මාධ්‍යකාරයා පෙරළා ඇසුවා නම් රනිල් DW News  චැනලයට මෙන් දක්වන ප්‍රතික්‍රියාව මෙසේ උපකල්පනය කළ හැකිය.  



(මා  බාර ගත් රට බංකොලොත් කියලා ලෝකයම කියනවා. මම ලංකාවේ මිනිසුන්ට කන්ට දෙන්න ණය ගන්නවා කියලා බනිනවා. මට ජන වරම නෑ කියනවා. ඒ මන්ද පෝෂණයෙන් පෙළෙන බංකොලොත් රටේ, කොහු ගුදිර උඩ පුහුණු වෙලා ගෝල් මැඩ්ල් ගත්ත වෙල්පල්ලේ නෙත්මි අහිංසාත්, ඉන්දියාව චිනය රටවල් දෙක පරද්දපු තරුෂි කරුණාරත්නලා ඔලිම්පික් පදක්කම් අපේක්ෂා කරනවා. තරුෂි පරද්දපු ඉන්දියාවටත් චිනයටත් මා ගැතිදැයි ඇසූ විට මට කේන්ති යාම අසාධාරණද? නැති බැරිකම් අඩු පහසුකම් ගැන සිතමින් නෙත්මිලා, තරුෂිලා වර්ජන පිකටින් වලට ගියා නම් අපට කුමක් වන්නේද? ලංකාව පිළිබඳ යථාර්ථය මිස එක එකාගේ කොලකෑලි අරන් මාව වෙහෙසට පත් කරන්න එපා.) කල්පිත පිළිතුර අවසන්ය.

 

 
ඉහත කී ශ්‍රී ලාංකික දරුවන් පිකටින් වලට වර්ජන වලට සහභාගි වුණේ නැත. තරුෂි කොඩිඩ් කාලයේත් ගෙදර වත්තේ තනා ගත් තීරුවක් එක දිගට දුවමින් අභ්‍යාස කළ බව ඇයගේ මව නිලූක්ෂා දිල්රුක්ෂි අබේවර්ධන කීවාය.  ත්‍රී විලර් රියැදුරෙකු වූ ඇයගේ පියා පිකටින් නොකර දුව ශක්තිමත් කිරීමෙන් ප්‍රකාශ වන්නේ ලංකාවේ අරමුණක් ඇතිව ජීවත්වන කිසි මිනිසෙකු පරාද වී නැති බවය. ජනතාව ඉල්ලීම් සඳහා මිස අරමුණු වෙනුවෙන් කැපවීමට හුරු නො කළ කසඩ දේශපාලනයට සාපේක්ෂව තරුෂි ඇතුළු අපේ ක්‍රිඩකයන්ගේ ධෛර්ය, අතීතයේ යොවුන් ගී වැනි නිර්දේශපාලනික ව්‍යාපෘතින් ක්‍රියාත්මක කළ  රනිල් වික්‍රමසිංහට අමතක වී ඇත.

සාමාන්‍ය ජන විඥානය අදටත් ධනාත්මක හා නිර්දේශපාලනික බව කිසිවෙකු දෙන කිසිදු යෝජනාවත් අදහසක් පිළි නො ගන්නා රනිල් වික්‍රමසිංහ පිළි ගන්නේ නැත. දර්ෂා ආවේ අම්පාරේ ගමකිනි. සුසන්තිකා වරකාපොල ඇත්නාවලින් ලෝකයට දිව ගියාය. මල්ලව පොර ශුරි නෙත්මි අහිංසා ආවේ වයඹ වෙල්පල්ලෙන්. තරුෂි කරුණාරත්න උපන් උඩ දුම්බර දඹගහපිටිය කියන ඈත ගමේ කඳු මිස දුවන්න සුදුසු තැනිතලා හෝ තිබුණේ නැත. වාමාංශික ව්‍යාපාර ගම්වල පැලපැදියම් වුනා නම් අපට දර්ෂලා, සුසන්තිකාලා, නෙත්මිලා තරුෂිලා නිර්මානය වන්නේ නැත. ඒ දැරියක් ලෝක ශුරියන් කළේ බංකොලොත් ජනප්‍රිය දේශපාලනයට නො රැවටුණ රටේ බහුතරය වෙත පවත්නා නිර්දේශපාලනික ජන විඥානය විසිනි. රටේ ශක්තිය ඒකරාශී කළ හැක්කේ රනිල්ට පමණකි. එහෙත් ආර්ථීකය හැදුවාට ජනතාවට නායකත්වයක් දෙන ශක්තිය වාසනව රනිල්ට නැත.



මේ මතවාදය රටේ පැල කිරීමට කිසිදු මාධ්‍ය ව්‍යාපාරයක් නැත. රනිල්ට පක්ෂව ලියා පත්තර විකුණන්න බැරි බව රංජිත් විජයවර්ධනත් තේරුම් ගෙන සිටින හැටියක් ලංකාදීපයෙන් තහවුරු වේ. රනිල් නිවැරදි යයි රටේ බහුතරය තේරුම් ගෙන සිටියද ඔහු වෙනුවෙන් පෙනී සිටින්නෙක් නැත.  



ලංකාවේ දේශපාලනය කියන්නේ මොකක්ද කියා හතළිස් හය වසරක් ලංකාවේ දේශපාලනය කළ, හැත්තෑ හතර හැවිරිදි රනිල්ට නො තේරීමත් තමන් ප්‍රතික්ෂේප වෙන්නේ ඇයිදැයි නො දැනීමත් රනිල්ගේම අවුලකි. මහා වංශයේ විස්තර කෙරෙන මහසෙන් රජු මහා විහාරය සමාතලා කොට උඳු වැපිරීම මිහින්තලේ විදුලි බිල විසංධි කළාට වඩා බරපතල කතාවකි. එහෙත් මාධ්‍ය ව්‍යාපාර නො පැවති අතීතයේ මහා විහාරය සමාතලා කොට උඳු වැපුරූ මහසෙන් මින්නේරි දෙවියන් වුණේ රටේ ආර්ථීකය ශක්තිමත් කළ නිසා ය. එය ශ්‍රී ලාංකේය ජන විඥානයේ අවබෝධය පිළිබඳ කතාවකි. අහසින් වැටෙන අන්තිම දිය බිංදුවත් ප්‍රයෝජනයට නො ගෙන මුහුදට යන්න දෙන්න එපා යයි මහා පරාක්‍රමබාහුත් ජන විඥානය තේරුම් ගෙන සිටි පසුබිමක අපේ රාජ වංශය කට පාඩමින් කියන රනිල්ට ඒ ටික තේරෙන්නේම නැත. උතුර දකුණ මාරු වූ ජනාධිපති මාධ්‍ය ඒකකය කරන්නේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජොබ් එක පමණකි.


xdfgrsdgwerrtwetr
රටේ සාම්ප්‍රදායික ජන විඥානය තේරුම් ගැනීමට රනිල් වික්‍රමසිංහ මහා පරාක්‍රමබාහු විය යුතු නැත. ජර්මන් මාධ්‍ය වේදියාගෙන් ලංකාව සෙකන්ඩ් ක්ලාස්ද කියා ඇසීම ලංකාවේ පිංගුත්තරයන් හිතන්නේ රනිල්ගේ හීන මානය කියාය. සූවස් අර්බුදය සම්බන්ධව ඡන්දයක් විමසීමේදී ලංකාව කළ යුත්තේ කුමක්දැයි එකල එක්සත් ජාතින්ගේ නිත්‍ය නියොජිතයා අගමැති බණ්ඩාරනායක ගෙන් ඇසූ විට ඉන්දියාව දෙන පැත්තට අත ඔසවන්න කීමට සාපේක්ෂව, රනිල්ට වටිනාකමක් ලැබී නැත.



ලංකාව සෙකන්ඩ් ක්ලාස්ද විමසීම යනු ලංකාවේ මුල් බැස ගත්  බටහිර විරෝධි අස්ථානය වෙනුවෙන් ලංකාවේ රාජ්‍ය පාලකයෙකු පෙනී සිටීමකි. රනිල්ගේ කරුමෙට ඒ ටික පැහැදිලි කරන ව්‍යාපාරයක් ලංකාවේ නැත. එජාපයේ ඩී.බී.විජේතුංග ජනාධිපති වූ සැනින් ලංකාවේ නව වාර්ගික ප්‍රශ්නයක් නැත යයි කීම මෙහිදී පාද සටහනකි.

මාධ්‍ය වේදියාට තර්ජනය කිරීමක් රනිල්ට එරෙහි චෝදනාවකි. 1969 ජූනි 13 වෙනි දින බුද්ධ ශ්‍රාවක ධර්ම පිඨය විවෘත කළ අවස්ථාවේ අධ්‍යාපන ඇමති අයි.ඇම්.ආර්.ඒ ඊරියගොල්ල භික්ෂු සමාජය තුළ ධර්ම විනය දැනුම අවම බවට කළ කතාව භික්ෂුන් කෝප ගැන්වූ මහා ආන්දෝලනයක් විය. මේ ගැන කැබිනට් රැස්වීමේදී අගමැති ඩඩ්ලි සේනානායක කළ විමසීමකට පිළිතුරු දුන් අමාත්‍ය ඊරියගොල්ල තම කතාව නැවත නැවත රටේ ජනතාවට සවන්දීමට සලස්වන ලෙස ඉල්ලා සිටියේය. දින කිහිපයක් ලංකා ගුවන් විදුලිය ඊරියගොල්ලගේ මුලූ කතාව ප්‍රචාරය වූ පසුව විරෝධය යටපත් විය. හෝ සිද්ධිය යටපත්  විය.

zxdfgswertr

අද ඊට වෙනස් ය. ලිබර්ටි වට රමුවේ සුළඟට පෙරළුණ ගසත් දේශපාලනයට ගාවා රනිල් ලක්ෂ පහක් දී ෂේප් වුණා කියා අවමංග්‍යාධාරයත් හෑල්ලූ කරන තරමට රටේ විපක්ෂය දුර්වල බව කියන්න කෙනෙක් නැත. සජිත් ප්‍රේමදාස මිලියන ගණන් වැය කර බස් පරිත්‍යාග කරද්දී ඔහුලේ අම්මා හේමා ප්‍රේමදාස මදුරු දඟරය, කාබන් පෑන පවා ආණ්ඩුවේ බදු මුදලින් ලබා ගැනීමේ සදාචාරය ගැන කතා කරන වේදිකාවක් රටේ නිර්මානය වී නැත. අගමැති ජනාධිපති වූ වේගයෙන් ඊළඟ මැතිවරණයත් ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ කල්පනා කරයි නම් එය ඔහුගේ නොව රටේ අභාග්‍යයකි.



තිස් අවුරුදු මහවැලි වැඩ සටහන හය වසරකින් නිම කිරීමට අවශ්‍ය බව ජනාධිපති ජේ.ආර්. දන්වා සිටි විට, ලෝක බැංකු ලොක්කන් ලංකාවට එවැනි හයියක් නැති බවට කළ ප්‍රකාශය ඇසූ  ජේ.ආර්. මට උදව් කළ නො හැකි නම් කරුණාකර රටෙන් පිටත්ව යන ලෙස මූනටම කීය. මහවැලි වැඩ සටහන හය වසරකින් නිම කළ බව රහසක් නොවේ. තුන්වෙනි ලෝකයේ රාජ්‍ය නායකයෙක් එසේ කතා කිරීම ගැන තමන් විමතියට පත්වූ ලෝක බැංකු නියෝජිතයන් පසු දවසක ගාමිණි දිසානායකට කියා තිබිණ. බ්‍රිතාන්‍යයන් ගෙන්වූ වතුකරයේ ශ්‍රමිකයන් ආපසු ඉන්දියාවට යා යුතුය යන්න අගමැති ඩී.එස්.සේනානායකගේ ස්ථාවරය විය. මේ ගැන ඇතිවූ උණුසුම් කතාබහක් අතර ස්ටීවන් තමුසෙලා ඉන්නේ අපෙ කකුල් දෙක ළඟ යයි ජවහල් ලාල් නේරු කී විට මම දන්නවා අපි එතන අවුරුදු දෙදහස් පන්සීයක් ඉන්න බව මතක තියා ගන්නැයි ඩී.එස්. පෙරළා දුන් ප්‍රති ප්‍රහාරයත් මෙහිදී වැදගත් වේ.

zdfwse45

2022දී ලංකාව හිඟන දේශයක් කළේ හැට නව ලක්ෂයක් දෙනා විසින් රටේ ජනාධිපති ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටියදී මාධ්‍ය වේදිනියකට ගූ කන ඊරි යනුවෙන් කළ අපහාසයද, ඝාතනය වූ  ලසන්ත මොකාදැයි විමසූ බව රනිල්ට අවලාද නගන කිසිවෙකුට මතක නැත. මාධ්‍ය ඉදිරියේ කෝපයෙන් කතා කළා යයි මේ අවලාද නගන්නේ 1963 මාධ්‍ය නිදහස පිළිබඳ රන් පෑන හිමිකර ගත් එස්මන්ඩ් වික්‍රමසිංහගේ රනිල් වික්‍රමසිංහ නම් පුත්‍රයාට වීම ඉතිහාසයේ සරදමකි.




chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image