The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නයි, පැණි, වද පෙති පුවත් නාළිකාවලට පණ දෙන බුකී තහංචිය

T

The Leader Desk

June 13, 2021 • 11:18 AM

නයි, පැණි, වද පෙති පුවත් නාළිකාවලට පණ දෙන බුකී තහංචිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජීය මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරු (දුෂ් තොරතුරු /ව්‍යාජ පුවත්) පතුරවන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවට ආණ්ඩුව කළ ප්‍රකාශය නිසා බුකීවාසීන් රත් වෙලා ඉන්න බව පේනවා.
  • ඉතින් නීතිමය ක්‍රියාමාර්ගයකදී වෙන්න පුළුවන් දේ තමයි, ආණ්ඩුව නිල වශයෙන් අසත්‍යයයි කියලා ප්‍රකාශ කරන දේ අසත්‍ය විදිහට පිළිගැනීම.
  • ඉතින් ඒක ඇත්තද බොරුවක්ද කියලා කාටවත් ඔප්පු කරන්න බෑ.
  • ඒවා කෙනෙක් සත්‍ය බව පවසද්දී තවත් කෙනෙකුට කියන්න පුළුවන් අසත්‍යයක් යැයි කියා.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙතැනදී මුලින්ම තීරණය කරන්න ඕන කාරණය තමයි මොනවද අසත්‍ය තොරතුරු කියන්නේ කියන එක. සාම්ප්‍රදායිකව සත්‍ය තොරතුරු එකතු කිරීම සහ බෙදා හැරීම පැවරිලා තිබුණේ ප්‍රවෘත්ති මාධ්‍යන්ට. ප්‍රවෘත්ති මාධ්‍යන් විසින් සම්භාව්‍ය අර්ථයෙන් සත්‍ය තොරතුරු කියලා හැඳින්වූයේ මූලාශ්‍රයක් තියෙන, කරුණුමය නිරවද්‍යතාවය සහිත තොරතුරුවලට.

හැබැයි මේ නිර්වචනය ලංකාවේ නීති පොත්වල තියෙනවද දන්නේ නැහැ. ආණ්ඩුව සත්‍ය තොරතුරු කියලා කියන්නේ මොනවද කියලා නිල වශයෙන්න් කියලා නැහැ. ඉතින් නීතිමය ක්‍රියාමාර්ගයකදී වෙන්න පුළුවන් දේ තමයි, ආණ්ඩුව නිල වශයෙන් අසත්‍යයයි කියලා ප්‍රකාශ කරන දේ අසත්‍ය විදිහට පිළිගැනීම. 


උදාහරණයක් විදිහට ආණ්ඩුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල උනේ නැහැ කියලා ආණ්ඩුව නිල නිවේදනයක් නිකුත් කළොත් එය සත්‍ය තොරතුරක් වෙනවා. එහෙම නැත්නම් ගිලෙන නැවෙන් මුහුදට තෙල් කාන්දු වෙන්නෙ නැහැ කියලා ආණ්ඩුව නිවේදනයක් නිකුත් කළොත් ඒක සත්‍ය තොරතුරක් වෙනවා.      

unnamed 7

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව

 

ඒ අර්ථයෙන් ගත්තම ආණ්ඩුව නිල වශයෙන් කියන දේ මත තමයි, ඕනෑම තොරතුරක සත්‍යය හෝ අසත්‍ය බව තීරණය වෙන්නේ. ඊට ප්‍රවෘත්ති මාධ්‍ය වෘත්තීය මාර්ගෝපදේශ තුළ සම්භාව්‍ය අර්ථයෙන් භාවිතා වෙන අසත්‍ය පිළිබඳ නිර්වචන අදාළ වෙන්නේ නැහැ.

අනිත් අතින් අපි දැන් ජීවත් වෙන්නේ පශ්චාත් සත්‍යය යුගයක නිසා ඕනෑම දෙයක් කෙනෙකුට අවශ්‍යතාවය අනුව සත්‍යය විදිහටත්, අසත්‍යය විදිහටත් අර්ථ ගන්වන්න පුළුවන්.   

ඊළඟට මූලාශ්‍රයක් තිබුනත් මූලාශ්‍රය කියන දේ සත්‍ය ද අසත්‍යය ද කියලා පරික්ෂා කර බලන්න ක්‍රමයක් නැති උනාම ඒක ඉබේම ඇත්තක් බවට පත්වෙනවා.   
nalowadathu5

නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන්

 

උදාහරණයක් විදිහට කැලණි ගගෙන් නයෙක් මතුවෙලා අනාවැකියක් කිව්වා කියලා කෙනෙක් කිව්වා කියල හිතමු. ඉතින් ඒක ඇත්තද බොරුවක්ද කියලා කාටවත් ඔප්පු කරන්න බෑ. මේ වගේ තොරතුරු අසත්‍ය පැතිරීමක් විදියට ඔප්පු කරන්නේ කොහොමද? 

   
පසුගිය අවුරුදු කීපය පුරාම සමාජීය මාධ්‍යවලටත් වඩා මේ අන්දමේ දුෂ් තොරතුරුවලින් ප්‍රධාන ප්‍රවාහයේ රූපවාහිනී නාලිකා ප්‍රවෘත්ති පිරිලා තිබුණා. සමාජීය මාධ්‍යයන්හි තොරතුරුවලට මූලාශ්‍ර උනේ ඒවා. ධම්මික පැණිය, ගඟට මුට්ටිය දැමීම, වඳ පෙති වගේ රූපවාහිනි ප්‍රවෘත්තිවල දී වුණෙත් ඒකමයි. ඒවා කෙනෙක් සත්‍ය බව පවසද්දී තවත් කෙනෙකුට කියන්න පුළුවන් අසත්‍යයක් යැයි කියා. එතකොට මේ  නීතිය ඒවාට අදාළ වන්නේ නැද්ද  කියන ප්‍රශ්නය මතුවෙනවා.

ආණ්ඩුවේ උපාය මාර්ගය

දෙරණයි, හිරුයි තමයි පහුගිය මැතිවරණයේදී ගෝඨාභය ප්‍රතිරූපය සහ මහජන මනෝභාවයන් එකට මුණ ගැස්සවූ පාලම වෙලා තිබුනේ.    

ගෝඨාභය බලයට පත්වෙලා සෑහෙන කලක් යනකන් ගෝඨාභය බලයට පත් කළ ජනයාගේ මනෝභාවයන් දිගටම නඩත්තු කරන්න දෙරණට පුළුවන් වුණා.      

මිනිස්සුන්ගේ ෆැන්ටසිය වෙච්ච සිංහල බෞද්ධ රාජ්‍යය සහ සෞභාග්‍යමත් ලංකාවක් කියන එක අතට අහුවෙන දෙයක් නොවන, තමන්ට නොදැනෙන දෙයක් නිසා දෙරණ ට වැඩේ පහසු වුණා.  

 

2020 03 24 90492 1585041346. large

හැබැයි කොරෝනා එහෙම නෙමෙයි, මිනිස්සුන්ගේ ඇඟට, හිතට, හැගීම් වලට දැනෙන තමන් හැමෝටම අදාල වෙන ප්‍රපංචයක්.    

අවුරුද්දකට වැඩි කාලයක් මිනිස්සු ගත කළේ ගෙදරට වෙලා කාලය කා දමමින්. ඔවුන්ට සාලේ ඉඳගෙන රූප පෙට්ටිය බලනවට වඩා බුකිය හොඳ උත්තේජකයක්. කොරෝනා විසින් දුරස් කරපු ඥාතිමිත්‍රාදීන් ලං කරගන්න වගේම කොරෝනා නිසා තමා හෙම්බත් කළ කාංසාව, හුදෙකලාව, ත්‍රාසය, අවිනිශ්චිතබව, ඒකාකාරිත්වය වගේ හැඟීම් එලියට දාන්න ඔවුන්ට බුකිය හොඳ තෝතැන්නක් වුණා.   

ඒත් බුකියෙ හැඟීම්බර විනෝදායන භූමිකාව ඉක්මනින්ම වෙනස් වෙන්න පටන් ගත්තා. ඒකට මුල් වුණේ ඒ වෙනකොට බුකිය අරක්ගෙන හිටපු යහපාලන ප්‍රකාශකයෝ සහ ආණ්ඩුව ගැන කලකිරීමෙන් හිටිය පාවෙන ඡන්දදායකයෝ ටික. ඔවුන් කොරෝනා බුකියේ දේශපාලනයට ඇඳ ගත්තා.    

ඊට පස්සේ ආන්ඩුවේ කොරෝනා අසමත්කම් හා හිරිහැර වගේම දුරදිග නොබලා සැලසුම් නැතිව කරපු අත්හදා බැලීම් , ආණ්ඩුවට සිද්ධ උන අකරතැබ්බ, බුකියේ  ශක්තිය වන හැඟීම් සහගත බව, මැදිහත්වීම සහ සහභාගිත්වය වගේ අවි එක්ක එකතු වුනා.  

බුකියට ආපු ගෝඨාභය වාදී වැසියන් දන්නෙම නැතුව මේ රැල්ලට අහු වුණා. බුකිය මේ වගේ දේවල් වලින්  මාස ගාණක් ඉඳලා හොඳටම උණුසුම් වෙලා තිබුනේ.  

ආණ්ඩුව බුකිය දිහා බලනකොට පෙනුනේ රටේ හැමෝම තමන්ට එරෙහි වෙමින් ඉන්න බවක්. ඉතින් ආණ්ඩුවට ඕන වුණා බුකීවාසීන් පසු බස්සලා, බුකියෙ තියෙන උණුසුමයි, ආකර්ෂණයයි, ඒකෙන් ජනමතයට කරන බලපෑමයි අඩු කරන්න. ඊට පස්සේ ඒ බුකීවාසීන් ආයෙමත් ආලින්දයේ තියෙන දෙරණ ළඟට කැඳවාගෙන යන්න. ඒකට තමයි බුකී තහංචිය එන්නෙ.

හැඟීම්බර මහජන අවකාශය

ලංකාවේ ජනගහනය මිලියන 21ක් විතර. ලංකාවේ බුකී වාසීන් මිලියන හතක් විතර ඉන්නවා. ඒ කියන්නේ එහි සමස්ත ජනගහනයෙන් 50% ගේ මතවාදය කෙරෙහි බුකියට බලපෑම් කරන්න පුළුවන්. පහුගිය අවුරුද්දෙ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව(IMS) කරපු සමීක්ෂණයකට අනුව ලංකාවේ ජනගහනයෙන් සියයට හතළිහක් තොරතුරු දැනගන්නේ සමාජ මාධ්‍ය වලින්.  

 

Sri Lanka Media Audience Study 2019 front Page 01 scaled

ලෝකය පුරාම තියෙන ප්‍රවනතාවය තමයි මිනිසුන් සාම්ප්‍රදායික ප්‍රධාන ප්‍රවාහයේ   මාධ්‍ය ප්‍රවෘත්තිවල ඉඳලා ව්‍යාජ ප්‍රවෘත්ති වලට මාරු වෙමින් ඉන්නවා කියන එක. ප්‍රධාන ප්‍රවාහයේ   මාධ්‍ය ප්‍රවෘත්තිවල නිරස බවත්, ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වල දේශපාලනය මහජනතාවට හෙළිදරව් වීම, සහ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ගැන මහජන විශ්වාසය බිඳ වැටීමත් මේ කෙරෙහි බලපාලා තියෙනවා. 

සමාජීය මාධ්‍ය කියන්නේ හැඟීම්බර ප්‍රකාශන, තොරතුරු විනෝදායන(infortainment), ඉහළ සහභාගිත්වයක් සහ ක්‍රියාකාරීත්වයක් සඳහා වේදිකාවක් සහිත පුද්ගලික සන්නිවේදන ක්‍රමයක්.     

සමාජීය මාධ්‍යන්හි දුෂ් තොරතුරු විසින් අද අප ජීවත්වන පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී, පශ්චාත් සත්‍යය, පශ්චාත් ගෝලීය වර්චුවල් සමාජය තුළ මහජන අවකාශය, සහ මහජන කතිකා සවිමත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා සම්බන්ධ අප්‍රකට එහෙත් තීරණාත්මක භූමිකාවක් ඉටු කරමින් තිබෙනවා.   

හැඟීම්බර මහජන අවකාශයේ සැරිසරන දුෂ් තොරතුරු සත්‍යය සොයා ගැනීමට සහ විවෘත කතිකාවන්ට මඟ පාදනවා.    

දුෂ් තොරතුරු හැඟීම්බර මහජන අවකාශයේ දී ජනමතයට කරන බලපෑම රූපවාහිනියට වඩා ප්‍රබලයි. දුෂ් තොරතුරු, සමාජීය මාධ්‍ය මහජන අවකාශය තුළ නිර්මාණය වන්නේ වෘත්තීය ප්‍රවෘත්ති මූලාශ්‍ර හෝ පෞද්ගලික මූලාශ්‍ර පදනම් කරගනිමින්. එමඟින් පශ්චාත් සත්‍ය දේශපාලනය ප්‍රශ්න කරනවා. අභියෝගයට ලක් කරනවා. පශ්චාත් සත්‍ය දේශපාලනයේ යෙදිල ඉන්න ආණ්ඩු ඒකට බයයි.     

ඒ හින්දා බුකී වාසීන් බය ගන්නවා බුකියේ තියෙන උණුසුම, ආකර්ෂණය, සහ එය මහජන මතයට කරන බලපෑම නැති කරන්න ආණ්ඩුවට ඕන.     

බුකිය කියන්නේ අරාජික රාජ්‍යයක්. අරාජික රාජ්‍යයකට දාන තහංචි, බුකියේ තාක්ෂණය සහ නිර්මාණශීලිත්වයේ විසින් තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ කියන යථාර්ථය ආණ්ඩුවට පරක්කු වෙලා හරි දැනගන්න ලැබෙයි.



Dr Pradeep N Weerasinghe 255x276

 

 

ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
ජේෂ්ඨ කථිකාචාර්ය
කොළඹ විශ්වවිද්‍යාලය

 

 

 

  
##########
 
THE LEADER TV 
ගම්මන්පිලට ගහන්න ගිය පොහොට්ටු ලේකම් ඉල්ලා අස්වෙයි?
මැති ඇමති සැප වාහන වෙන්දේසියේ විකුණයි!
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නයි, පැණි, වද පෙති පුවත් නාළිකාවලට පණ දෙන බුකී තහංචිය | The Leader