The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : රනිල් සුද්ධෝදන කළ 'ගම්මන්පිල බුද්ධාගම'- (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

March 25, 2023 • 12:19 PM

 බල්සාක් කැෆේ : රනිල් සුද්ධෝදන කළ 'ගම්මන්පිල බුද්ධාගම'- (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාකච්ඡාවේදී ගම්මන්පිල මෙසේ කියයි.
  • මම එහෙම කියද්දි කිසි කෙනෙක් මට විරුද්ධ වෙලා නෑ.’’ ඔහු එසේ පවසමින් පසුබිම සකසා ගන්නේ බුද්ධාගමේ නාමයෙන් යුද්ධයේ කුරිරුබව සාධාරණීකරණය කර පෙන්වන්නට ය.
  • ඉහත ප්‍රකාශයටම ඈදෙන ඉතිරිය මෙබඳු ය.
  • මෙකී ගම්මන්පිල බුද්ධාගමට අනුව, ගෞතම සිද්ධාර්ථයන් විසින් අත්පත් කර ගැනුණු බුද්ධත්වය හා ඒ වටා ගොඩනැංවුණු දාර්ශනික හා සාහිත්‍යයික පඨිතයන් වූ කලි, තමන්ගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම උදෙසා අවභාවිත කිරීම වෙනුවෙන් වෙන් කර ඇති පරම දත්ත ගබඩාවෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

සාකච්ඡාවේදී ගම්මන්පිල මෙසේ කියයි.  

‘’මම බුද්ධාගම පිළිපදින්නෙක්. අපි දන්නවා ගොඩක් අය බුද්ධාගමේ ඉන්නවා, නමුත් ප්‍රායෝගික නෑ. මම නම් ආඩම්බරයි කියන්න, මම බුදුදහම පිළිපදින කෙනෙක්. මම එහෙම කියද්දි කිසි කෙනෙක් මට විරුද්ධ වෙලා නෑ.’’

ඔහු එසේ පවසමින් පසුබිම සකසා ගන්නේ බුද්ධාගමේ නාමයෙන් යුද්ධයේ කුරිරුබව සාධාරණීකරණය කර පෙන්වන්නට ය. ඉහත ප්‍රකාශයටම ඈදෙන ඉතිරිය මෙබඳු ය.

 ‘’බුදු දහම් පිළිපදින්නො හැටියට අපි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට උදව් වෙනවා, ඊට අනුබල දෙනවා. දැන් බලන්න, පිස්සු බල්ලෙක් පනිනව පෙරපාසලකට. පැනලා එහි ඉන්න දරුවන්ව හපා කනවා. දැන්, බෞද්ධයෙක් හැටියට මම මගේ දයාව කරුණාව යොමු කරන්න ඕනෙ. කාටද මම කරුණාව දක්වන්න ඕනෙ? බල්ලටද? ඌ හපා කාපු ඒ අහිංසක දරුවන්ටද?’’
ගම්මන්පිල බුද්ධාගම මෙබඳු ය. පුදුමාකාර වූ උපමා උපමේය, ලොමුදැහැ ගැන්වෙනසුළු ය. මෙකී ගම්මන්පිල බුද්ධාගමට අනුව, ගෞතම සිද්ධාර්ථයන් විසින් අත්පත් කර ගැනුණු බුද්ධත්වය හා ඒ වටා ගොඩනැංවුණු දාර්ශනික හා සාහිත්‍යයික පඨිතයන් වූ කලි, තමන්ගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම උදෙසා අවභාවිත කිරීම වෙනුවෙන් වෙන් කර ඇති පරම දත්ත ගබඩාවෙකි.  


ජාතක කතා රචිත පච්චුප්පන්න වත්ථු, අතීත වත්ථු, ගාථා, අට්ඨකතා සහ පූර්වාපර සන්ධිගැළපීම නම් ඒකාකෘතික ව්‍යුහය මත පදනම් වූ ඔහුගේ අලුත්ම ප්‍රකාශයේ පච්චුපන්න වත්ථු හෙවත් වර්ථමාන කතාවේ සිටිනා ජනපති රනිල් වික්‍රමසිංහ අතීත වත්ථුවේ සුද්දෝධන රජ්ජුරුවන් ය.

වික්‍රමසිංහ දේශපාලයේ නිර්ප්‍රජාතාන්ත්‍රික පළාත් පාළන මැතිවරණය කල්දැමීමේ ක්‍රියාන්විතයට අදාල පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ගම්මන්පිල කළ ප්‍රකාශය පළකළ  ‘වී එෆ් එම් රේඩියෝ 107’ යූ ට්‍යුබ් චැනලයේ හෙඩිම මෙබඳු ය. ගම්මන්පිල වචන ය. ‘‘දුප්..දුප්..දුප්...පල බල්ලා එළියට...

‘’ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට බල්ලෙක් පාර්ලිමේන්තුවට රිංගලා බුරයි’’

වහාම බල්ලව එළවලා දෙන්නැයි ගම්මන්පිල මූලාසනාරූඪ මන්ත්‍රීගෙන් ඉල්ලයි.’’

දීර්ඝ ශීර්ෂයට අදාල වෙන ‘බලු’ කතාව කියන්නට පෙර ඔහු අපූර්ව පූර්වාපර සන්ධි ගැලපීමක් සිදුකරයි. ඔහුගේම වචන වලින් මෙබඳු ය.


‘’ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි! ජනාධිපතිතුමා භාන්ඩාගාර ලේකම් මැතිවරණ කොමිසමට යන ඒක වළවක්වන එක අපිට සිහිපත් කරන්නෙ සුද්දෝධන රජතුමා සිදුහත්කුමාරයා හතර පෙරනිමිති දකින එක වළක්වන්න ගත්ත උත්සාහය වගේ. හැබැයි ගරු මූඩලසාරූඩ මන්ත්‍රී තුමනි, සුද්දෝධන රජජුරුවො කොච්චර උත්සාහ දැරුවත් සිදුහත් කුමාරයා සතර පෙරනිතිමිති දකින ඒකවත් ගිහිගෙය හැර යාමවත් නතරකරගන්න සුද්දෝධන රජතුමාට පුළුවන් වුණේ නෑ. අන්න ඒ වගේ ම ජනාධිපතිතුමා කෙතරම් වෙර දැරුවත් මේ මැතිවරණය ජනාධිපතිවරණය තෙක්ම කල් දමා ගැනීම නම් කවදාවත්ම ඉටු කර ගන්න බැරි සිහිනයක් කියන ඒක අපි කියනවා’’

ගම්මන්පිල බුද්ධාගමේ මෙවන් කතා වත්ථු කප්පරකි. ඒ අතරින් ක්ෂණිකව මෙනෙහි වන කුප්‍රකට කතා ද එමට ය. රයිගමයා සහ ගම්පලයා සේ සිටි ගම්මන්පිල- රණවක විරසකයට පෙර ඔහු පළාත් සභා කෘෂිකර්ම ඇමති ලෙස සිටියදී මුද්‍රිත පත්‍රිකාවක තමන්ගේ නායකයා මෙන්ම ගමන් සගයා වූ ‘පාඨලී චම්පික’ නාමය වර නඟා තිබුණි.

සරණංකර සහ විපස්සී බුදුවරුන් බුදුවුණු ‘පලොල් බෝධිය’ සිංහලයට අනුව ‘පාඨලී බෝධිය’ නම් වෙයි.‍ අත්ථදස්සී බුදුන් බුදුවුණු ‘සපු බෝධිය’ සිංහලයට අනුව ‘චම්පික බෝධිය’ නම් වෙයි. මෙසේ අර්ත ගැන්වූ බෝධි නාමයන්ට, විරසකයෙන් ඉකිබිති කිසිඳු හිරිකිතයකින් තොරව ඔහු විසින් නිග්‍රහ කෙරිණ.‍  ‘පච’ යන්න ගම්‍ය කරමින් ‘පාච’ යන්න කියමිනි.  ඒතාක් එක්ව දේශපාලනය කළ ගමන් සගයා පීචං කරන්නටත්, ඔහුට අවමන් කරන්නටත් ක්‍රියා කළ හැටි මෙනෙහි කරනා විට පිවිතුරු උරුමයක් සහිත ගම්මන්පිල බුද්ධාගමේ උරුමය එය ම බව පැහැදිලි ය.

311465098 646886643472828 600870707191718799 n

 ගම්මන්පිල බුද්ධාගමේ පරම කූඨක සංසන්ධනය වන්නේ දකුණේත් උතුරේත් සමූහ ඝාතන රැසකට වගකිවයුතු බවට පැහැදිලි චෝදනා ඇති ගෝඨාභය රාජපක්ෂ තමන් පිළිපදිනවා යැයි උදම් අනනා බුද්ධාගමේ ගෘස්තෲවර ගෞතම බුදුන්ට අභිමුඛ කිරීම ය. බුදුන්ගේ ගුණ හා සසඳා පෙන්වූ ගෝඨාභය පරසක්වල ගසන්නට ඔහු ඇතුළු "උත්තර කල්ලියට" වැඩිකාලයක් ගත වූයේ නැත.

සිංහල-බෞද්ධ ‘ආගම් භක්තිකයන්ගේ’ උදාරම් බෞද්ධ සන්තානය කූත්තු කරවන්නට සමත් මොකක් හෝ මළවිකාරයක් කියා මෙකී දෙමුහුන් ජාතිකත්ව උරුමය නියෝජනය කරන්නන් සමඟ අන්තර් සම්බන්දය අඛන්ඩව පවත්වාගෙන යාම ජාතිකවාදී දේශපාලනයේ කූඨෝපායමාර්ගයකි. සෘජුවම දේශපාලන ක්‍රියාදාමයන්හි නිරත ගිහි පැවිදි දෙපාර්ශවයම මෙකී ප්‍රතිබෞද්ධතාවේ අඛණ්ඩතාව රඳවාගෙන සිටිති. මෙනයින් ගත් කල ලංකාව නම් වූ සිංහල-බෞද්ධ කොදෙව්වේ අතිශය නරකවම, නීචවම නින්දිතවම අවභාවිත කෙරෙන්නේ ‘බුද්ධාගම’යි.

බෞද්ධ දාර්ශනික මෙන්ම බෞද්ධ සාහිත්‍යයික සංකල්ප අතිශය කෛරාටික වූ සවිඥානිකත්වයකින් ස්වකීය දේශපාලන පැවැත්ම සඳහා අනර්ථකාමීව දුස්සර්ථකතනයට ලක්කිරීම පිළිබඳ පූජ්‍ය ගලකන්දේ ධම්මානන්ද හාමුදුරුවන්ගෙන් අපි විමසුවෙමු.

උන්වහන්සේට අනුව ‘අර්ථකතනවේදය’ සෑම ආගමික සන්දර්භය තුළ සිද්ධ වන්නාවූ දෙයක් බැවින් බෞද්ධාගමික සන්දර්භය තුළ පවා ඒය සිද්ධවීම අසාමාන්‍ය දෙයක් නොවේ. නමුත් හැදෑරිමක් නැතියවුන්, එනිසාම දාර්ශනික ගැඹුර නොදකින්නන්, ඒහෙන් මෙහෙන් අහුළාගත් දෑ උපුටා දක්වමින් ඇතැම් සමකාලීන සංසිද්ධින් හා සමඟ ගැලැප්පීම තුළ දක්නට ලැබෙන්නේ  බුද්ධ දර්ශනය මෙන්ම බුද්ධාගම  අවභාවිත කිරීමකි.

81039925 10157865660599253 1313875910830587904 n

 අපට අනුව නම් මෙය ඉතාම සවිඥානික දේශාපලන කූඨෝපක්‍රමයකි. දුනු-ඊතල ළෙලවමින්, හක්ගෙඩි පිඹිමින්, ධර්මරාජ්‍යයක් ගොඩනැංවීමට සපථ කළ ගම්මන්පිල ද නියෝජනය කළ සිහල-හෙළ උරුම නඩය ‘ධර්මරාජ්‍යය’ යන සංකල්පය ‘මිස්සක පව්වේදී මිහිඳු රහතුන් දෙසූ ‘’සමනාමයං මහාරාජ - ධම්ම රාජස්ස සාවකා’’ යන්නට ගැට ගසන්නට වෙර දැරීමම වුව මෙම දුෂ්ෂර්ථකතන ක්‍රියාදාමයම කියා පායි. සැබැවින්ම මේ වනාහී අර්ථකතනය නොව අනර්තකථනයයි.

ගම්මන්පිලගේ ‘මැතිවරණ සූත්‍රය’ එහිම දිගුවක් වන අතරම සැබෑ ඉගැන්වීම් ද මඟහැරයාමකි. බුදු දහම ලෙස විශේෂයෙන්ම දත හැක්කේ එහි පැරණිම ඉගැන්වීම් ය. ඒවායිනුත් පැරණිම කොටස වන්නේ ‘සූත්‍ර’ හා ‘විනය’ තුළ වන අඩංගුවයි. එහි ගම්මන්පිල බුද්ධාගමේ කියැවුණු ‘සතර පෙරනිමිති’ කතාවක් නැත. එවන් ආඛ්‍යන වනාහී පසුකාලීන බුදුසමයෙහි බුද්ධ චරිතය ආශ්චර්යමත්වැ ගොඩනංවනු පිණිස උත්කර්ෂයෙහි රැඳැවුණු සාහිත්‍යයික ගොඩ නැංවීම් ය.


118871403 10158631475244253 4527565813657590508 n
සිද්ධාර්ථයන්, අනිත්‍යාවබෝධයෙහි එළඹෙන්නේ සතර පෙරනිමිති දැකීමෙන් ඉක්බිතිවැ නම් ‘බුද්ධත්වට’ පත්වන්නට තරම් මහා ගැඹුරු අධ්‍යාත්මයක් ඇත්තකු ලෙස පිළිගන්නට පිළිවන් ද? මනුෂ්‍ය වර්ගයා ලෙඩවන බව නොදන්නා, වයසට යන බව නොදන්නා, මැරෙන බව නොදන්නා සිදුහත් කුමරෙක් පරිකල්පනය කර ගන්නට ඔබට හැකි ද?

ඉපැරණිම බුද්ධ ආඛ්‍යන පවසන්නේ පංචස්කන්ධයෙන්ම යුද්ධයන්ගේ වේදනාව අත්විඳි සිද්ධාර්ථයාණන් කෙනෙකුන් ය. ‘අත්තදණ්ඩ සූත්‍රය’ මෙකී ජීවන අත්දැකීම් සමුදායෙහි පරිපාකයය වූ බුද්ධ වචනය වන්නේ ය.

 ‘’ඵන්දමානං පජං දිස්වා, මච්ඡෙ අප්පොදකෙ යථා; අඤ්ඤමඤ්ඤෙහි ව්‍යාරුද්ධෙ, දිස්වා මං භයමාවිසි.’’

‘’දියත්තක මත්ස්‍යයින් මෙන් තෘෂ්ණාධියෙන් සැලෙන උනුන් හා පිළිමල්වැගිය සත්වයා දැක මා තුළ බිය උපණැ’යි බුදුන් පවසන්නේ මෙකී ආත්ම දණ්ඩණ ක්‍රියාවලිය යෝජනා කරමිනි. මෙහි පරම ධ්වනිය පරිකල්පනය කළහොත් ඒ වතුර හිඳුණු දියපාරක මාළුන් දඟලන්නා සේ යුද්ධ භූමියේ ප්‍රාණය වෙනුවෙන් දඟලන මිනිසුන්ගේ වියරු මෙන්ම ශෝකාකූලභාවයන් පිළිබඳ කියවෙයි. කැපුම් කෙටුම් තුවාල සහිතව දඟලන අනේක වධ වේදනා විඳින මිනිසුන් මෙන්ම ඉවක් බවක් නැති ඝාතන නොහොත්  මරණය සියැසින්ම දැක ඇතිිවූ එපාවීම, කලකිරීම, කොටින්ම අනිත්‍ය කවරක්දැයි තමන් තුළම සිදුවූ අන්තර්භාෂණය තුළින් පැන නැඟුණ ගැඹුරු මිනිසකුගේ අධ්‍යාත්මික කම්පනයම කියැවෙයි. ඉදින් කුඩා දරුවෙක්ට වුව මහා අරුමයක් නොවන ලෙඩ වීම, මහලු වීම හෝ මියයෑම බුද්ධත්වයට පවා පත්වුණු චින්තකයකු නොදැන සිටියා යැයි යන සාහිත්‍ය ප්‍රවාදයම පවා බුද්ධ චරිතය කෙරෙහි පටුත්වය කැඳවීමකි.

118938583 10158631472704253 1902069361815635888 n
නමුත් බෞද්ධ සාහිත්‍යයේ එන එවන් සංසිද්ධි කිසිඳු පෙරපර ගලප්පනයකින් තොරව මැත දොඩවන සෙයියාවෙන් දේශපාලන වරප්‍රසාද මැද ‘හළා දැමීම’ සිංහල-බොෟද්ධ දෘෂ්ටිවාදයේ පොල්මංකාරයන්ගේ කුලකයේ, යථාවත්බව ප්‍රකාශමාන නොකරන්නේ ද? රනිල් සුද්දෝධන කළ ගම්මන්පිල බුද්ධාගම යනු එහි හරස්කඩකි.

මෙහි පිවිසුමේ සඳහන් සංජන ‘යංග් ඒෂියා ’ සංවාදයේ ගම්මන්ලිග කියනා පිස්සු බල්ලා දරුවන් හපා කෑම දරුවන්ගේ ‘කර්මය’ මත සිද්ධවූවක් විය නොහැකිදැයි යන්න ගම්‍ය කරමින් සංජන හත්තොටුව උත්ප්‍රාසාත්මක බාධාවක් කරයි. ඒ බාධාවට පි‍ළිතුර ලෙස ගම්මන්පිල පවසන්නේ මෙබන්දකි.

‘’ඒක ඉතාම වැරදි අර්ත දැක්වීමක්. අවාසනාවට බුද්ධ දර්ශනය ගැන සමහර අයට ඇති නොගැඹුරු අවබෝධය නිසා හැමදේම කර්මය කියලා හිතනවා. කර්මය කියන්නෙ ජීවිතය ගමන් කරවන බලයන් හයෙන් එකක් විතරයි. කර්මය අක්‍රීය දෙයක් නෙවෙයි. බුද්ධාගම කුසල් කරන්න දිරිමත් කරනවා කරපු පව් වලින් මිදෙන්න’’

Majula wediwrdhana

 

 

 

(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com
(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 මාර්තු 26)

 JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...