The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

අවුරුද්දට නැතිව ම බැරි කොණ්ඩ කැවුමේ කතාව

T

The Leader Desk

April 14, 2023 • 1:59 PM

අවුරුද්දට නැතිව ම බැරි කොණ්ඩ කැවුමේ කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොණ්ඩ කැවුමට ප්‍රධාන තැනක් හිමිවෙලා තියෙනවා," යනුවෙන් කොණ්ඩ කැවුම පිළිබඳ තොරතුරු සොයායාමේ ගමනේ දී බීබීසී සිංහල සමඟ මුලින් ම අදහස් බෙදා ගත්තේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, නාට්‍ය හා රංගකලා පීඨයේ සම්මානිත මහාචාර්ය ලයනල් බෙන්තරගේ ය.
  • ඒ වගේ ම සිංහල අලුත් අවුරුද්දටත්," ඔහු පවසයි.
  • අලුත් අවුරුදු කැවිලි මේසයේ පසුගිය වසර ගණනක් පුරා විවිධ කැවිලි වර්ග වෙනස් වී ඇතැම් කැවිලි නැති වී ගොස්, අලුත් කැවිලි වර්ග ඇතුළත් ව තිබුණත්, එදා මෙදා තුර වෙනස් නොවූ එක ම කැවිලි වර්ගයක් තවමත් මේසයේ ප්‍රධාන කැවිල්ලක් බවට පත් වී තිබේ.
  • කැවිලි වර්ගවල ඇති කැවුම්වලින් වැඩි ම පරිශ්‍රමයක් යොදා සාදන කැවිල්ල කොණ්ඩ කැවුම බව සත්‍යයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

කොණ්ඩ කැවුමට ප්‍රධාන තැනක් හිමිවෙලා තියෙනවා," යනුවෙන් කොණ්ඩ කැවුම පිළිබඳ තොරතුරු සොයායාමේ ගමනේ දී බීබීසී සිංහල සමඟ මුලින් ම අදහස් බෙදා ගත්තේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, නාට්‍ය හා රංගකලා පීඨයේ සම්මානිත මහාචාර්ය ලයනල් බෙන්තරගේ ය.

"ඉපදුන දවසේ පටන් ඉඳුල් කටගෑමේ දී, අකුරු කියවීමේ දී, වැඩිවිය පැමිණීමේ දී, මගුල් තුලා වල දී, මරණයට පත්වුණා ම සිදු කරන පිංකම් වල දී කොණ්ඩ කැවුම නැතිවම බැරි කැවිල්ලක්. ඒ වගේ ම සිංහල අලුත් අවුරුද්දටත්," ඔහු පවසයි.

සිංහල-දෙමළ අලුත් අවුරුදු කාලයට ලංකාවේ හැම නිවසක ම පාහේ ආහාර අනුභව නැකතේ දී කැවිලි මේසයක් තැබීම චාරිත්‍රයකි. එමෙන් ම අලුත් අවුරුද්දට නෑ ගම් එන නෑදෑ හිතමිතුරන්ට ද එම කැවිලි මේසයෙන් සංග්‍රහ කිරීමට කිසිවෙකුත් අමතක කරන්නේ නැත. අලුත් අවුරුදු කැවිලි මේසයේ පසුගිය වසර ගණනක් පුරා විවිධ කැවිලි වර්ග වෙනස් වී ඇතැම් කැවිලි නැති වී ගොස්, අලුත් කැවිලි වර්ග ඇතුළත් ව තිබුණත්, එදා මෙදා තුර වෙනස් නොවූ එක ම කැවිලි වර්ගයක් තවමත් මේසයේ ප්‍රධාන කැවිල්ලක් බවට පත් වී තිබේ. ඒ කොණ්ඩ කැවුමයි. කැවිලි වර්ගවල ඇති කැවුම්වලින් වැඩි ම පරිශ්‍රමයක් යොදා සාදන කැවිල්ල කොණ්ඩ කැවුම බව සත්‍යයකි. පිටි මිශ්‍රණය පදමට අනා ගැනීමේ සිට, මිශ්‍රණය ටිකෙන් ටික තාච්චියට දමා කැවුමේ කොණ්ඩය සකසා ගැනීම දක්වා ඉතා ඉවසීමෙන් එය සිදු කළ යුතු ය.


"කොණ්ඩ කැවුම හදන්න තියෙන්න ම ඕන දේ ඉවසීම"

zsdcfමතුගම, ලිහිනියාව ප්‍රදේශයේ ජීවත්වන 43න් හැවිරිදි ප්‍රදීපා ගමගේ මෙවර අවුරුදු සැමරීමට කොණ්ඩ කැවුම සාදමින්


"කොණ්ඩ කැවුම හදන්න තියෙන්න ම ඕන දේ ඉවසීම" වසර ගණනාවක් තිස්සේ තම ගමේ ජීවත්වන අයගේ අවශ්‍යතාවයන් සඳහා කොණ්ඩ කැවුම් උයා දෙන මතුගම, ලිහිනියාව ප්‍රදේශයේ ජීවත්වන 43න් හැවිරිදි ප්‍රදීපා ගමගේ කොණ්ඩ කැවුම අදහස් දක්වන්නට පටන් ගත්තේ එලෙසින් ය.

"හාල් කිලෝ එකකට පාන් පිටි ග්‍රෑම් 500කුත් සීනි ග්‍රෑම් 750කුත් පිටි මිශ්‍රණය හදාගන්න ඕනෑ. හාල් පිටිත් පාන්පිටිත් පෙනේරෙන් හොඳට හලාගෙන භාජනයකට දාගන්නවා. සීනි වලින් කොටසක් දුඹුරු පාට වෙනකන් ලිපේ තියාගෙන පැණි හදාගන්නවා. පිටි මිශ්‍රණයට පැණි ටික දාලා ඇල් වතුර ටික ටික දාලා පිටි කැට නැතිවෙනකන් හොඳට අනාගන්නවා. ඒකට ම කරදමුංගු, මාදුරු වගේ දේවල් බැදලා කුඩු කරලා දානවා රස වැඩෙවෙන්න. හරි පදමට මුශ්‍රණය ආවා ම මිශ්‍රණය නූලක් විදිහට නොකැඩි තියෙනවා. ඒ වගේ ම කලවම් කරනකොට බුබුළු නගිනවා. ඒ විදිහට තමයි මිශ්‍රණයේ පදම අඳුර ගන්නේ," යැයි ප්‍රදීපා කැවුම් මිශ්‍රණය සාදාගැනීමේ වට්ටෝරුව පැහැදිලි කළා ය.

xfdythggඇය තෙල් තාච්චිය ලිපේ තබා මිශ්‍රණය ඇය අසලට ගෙන කුඩා කෝප්පයකට මිශ්‍රණයෙන් කොටසක් දමා ගත්තා ය.


ඇය තෙල් තාච්චිය ලිපේ තබා මිශ්‍රණය ඇය අසලට ගෙන කුඩා කෝප්පයකට මිශ්‍රණයෙන් කොටසක් දමා ගත්තා ය. තෙල් හොඳින් රත් වූ පසු මිශ්‍රණයෙන් ස්වල්පයක් තෙල් තාච්චියට දැමුවා ය. "තාච්චියේ තෙල් ප්‍රමාණෙට වඩා ටිකක් උඩට වෙන්න පිටි මිශ්‍රණය දාගන්නවා. එක පාර හලන්නෙ නෑ. ටික ටික වත්කරනවා," ඇය පවසයි.

තෙල් ප්‍රමාණයට මදක් ඉහළට වෙන්නට යෙදූ පිටි මිශ්‍රණය එවිට තරමක් උස් වේ. ඒ කැවුමේ මැදයි. "මේ පොඩ්ඩක් ඉස්සිලා තියෙන තැන ඉරට්ටකින්, කූරකින් වගේ දෙයකින් ටික ටික පාරවනවා. එතකොට තාච්චියේ බැදෙන කැවුමේ මැද තියෙන අමු පිටි ටික උඩට එනවා. ඒ අතරෙදි තෙල් ටික ටික තෙල් හැන්දෙන් කැවුමට ඉහින්න ඕනෑ. ඒ විදිහට ටික වෙලාවක් කළා ම ලස්සනට කොණ්ඩට එනවා. ඊට පස්සේ කැවුම ඒ මේ අත හරවලා රන්වන් පාට වෙනතෙක් බැදගන්න ඕනෑ," ප්‍රදීපා පැවසුවා ය.

ප්‍රදීපාට අලුත් අවුරුද්දට, මංගල උත්සව, පිංකම් ඇතුළු ගමේ ජීවත්වන අයගේ විවිධ උත්සව සඳහා කැවුම් සාදා දීමට ඇණවුම් ලැබේ. "මේ අවුරුද්දෙ කැවුමක් මම දෙන්නේ රුපියල් 60කට. අවුරුදු දෙකකට කලින් වගේ නම් 40ට දුන්නා," යැයි ඇය පවසයි.


"මේ කැවුම් හදන්නෙ ගමේ ම ඒකට ඉන්න දක්සි තමයි"

කැවුම් සාදන ස්ථානයේ සිටි වසය අවුරුදු අනූවක් පමණ වන ඇගේ මිත්තණිය ද කොණ්ඩ කැවුම් පිළිබඳ ඇගේ මතකය අවදි කළා ය. "අපේ කලේ දුවෙක් වැඩිවිය පැමිණුනාම චාරිත්‍ර කරන්න එන රෙදි නැන්දට කැවිලි මල්ලක් දෙනවා. ඒකට හදන්නෙ මේ කැවුම් වලට වඩා ගොඩක් ලොකු කැවුම්. හරියට පොඩි පොල් ගෙඩියක් විතර ලොකුයි. කැවුම් හතක් හදලා දෙනවා. කැවුමේ කොණ්ඩෙට, පොල් ගෙඩියක් උලුප්පලා අරගෙන වළලු කපලා පොල් වළලල්ලක් දානවා. මේ කැවුම් හදන්නෙ ගමේ ම ඒකට ඉන්න දක්සි තමයි. කැවුම් හදනකන් ඒ ඇත්තිගෙ පුරාජේරුව අහගෙනත් ඉන්ට ඕනෑ," යි කියමින් ඇය සිනාසුනා ය.

"ඉස්සර අපේ ආච්චිලා කැවුම් හදනකොට අපිව ළඟ තියාගෙන හදන්නේ. අන්තිමට ඉතුරු වෙන පිටි ටික අපට කැවුම් හදන්න දෙනවා. අපි වැරදි වැරදි පොඩි පොඩි කැවුම් හදනවා." මිත්තණිය පැවසුවා ය.

ප්‍රදීපා කොණ්ඩ කැවුම් සෑදීමට ඉගෙනගෙන තිබෙන්නේ ඇගගේ නැන්දණියකගෙනි.

බොහෝ අයට කොණ්ඩ කැවුම් සෑදිම පරම්පරාවෙන් පරම්පරාවට පැමිණෙන හැකියාවකි. මහාචාර්ය බෙන්තරගේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළේ ය. "

ඉස්සර දැන් වගේ පිටි මෝලට අරන් ගිහින් පිටි කොටන්නෙ නෑ. කැවුම් හදන්න පිටි කොටන්නේ ගෙදර වංගෙඩියෙන්. දෙමෝලෙන් කොටනවා තුංමෝලෙන් කොටනවා කියලා මෝල් ගස් දෙකක් හෝ තුනක් යොදාගෙන පිටි කොටනවා. මේ පිටි අරගෙන මිශ්‍රණය හදලා පවුලේ පොඩි අය ළඟ තියාගෙන ආච්චිලා කැවුම් හදනවා. පොඩි දරුවන් කැවුම් හදන්න උගන්වනවා."


කොණ්ඩ කැවුමේ ආරම්භය

කොණ්ඩ කැවුමේ ආරම්භය පිළිබඳ ද අප තොරතුරු සොයාබැලීමක් සිදු කළෙමු.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, මානව විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්‍ය ප්‍රණීත් අබේසුන්දරගෙන් අපි ඒ පිළිබඳ විමසීමක් කළෙමු. "කැවුම කියන වචනය එන්නේ කැවිල්ල කියන වචනයත් එක්ක. මුල් කාලයේ දී පූප කියලා යෙදුවෙත් කැවුම්වලට සමාන වචනයක් තමයි. දුටුගැමුණු- එළාර ‍යුද්ධයේ දී තුවාල වන සෙබළුන්ගේ තුවාලවලට බෙහෙත් විදිහට කැවුම් බැන්ඳා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ කාලයේ කැවුම්වලට පාන් පිටි වගේ දේවල් දැම්මෙ නෑ. ඉස්තරම්ම කිතුල් පිටි, හොඳ ම සහල් වගේ දේවල් තමයි දැම්මේ. ඒ නිසා වසංගත පැතිරීම් වගේ දේවලුත් එයින් පාලනය වුණා කියලා කියනවා. ඒ ඇරෙන්න කැවුම මේ කාලයේ දී හදන්න පටන් ගත්තාමයි කියලා කියන්න අමාරුයි," යැයි ඔහු පැවසුවේ ය.

මහචාර්‍ය බෙන්තර්ගේට ඒ පිළිබඳ ව පැවතියේ මෙවන් අදහසකි. "මානව ශිෂ්‍ටාචාචාරයේ එක් අවස්ථාවක දී සහල් ආහාරයට ගන්න පුළුවන් කියලා ඉගෙන ගන්නවා. පස්සේ සහල් කුඩු කරලා පොල් වගේ දේවල් යොදලා රොටි හදනවා. පසු කාලයක පැණි, තෙල් වගේ දේවල් යොදාගන්න මිනිස්සු ඉගෙනගත්ත කාලයේ දී කැවුම් හදන එක පටන් ගන්න ඇති. නමුත් ඒකට නිශ්චිත කාලයක් කියන්න අමාරුයි. කොහොම වුණත් සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, ජාතක කතා පොත, උම්මග්ග ජාතකය වගේ ඓතිහාසික ග්‍රන්ථවල කැවුම් ගැන සඳහන් වෙන නිසා ඒ පොත් ලියවුණු කාලවල කැවුම් තිබෙන්නට ඇති කියලා අපට හිතන්න පුළුවන්,"යැයි ඔහු පැවසුවේ ය.

කොණ්ඩ කැවුමේ විවිධ අවස්ථාවන් තිබේ. කොණ්ඩ කැවුම බැදී තෙල් තාච්චියෙන් පිටතට ගත් වහාම කැම "උණු කැවුම්" කෑමයි. දින කිහිපයක් තබා තෙල් බේරී ගිය පසු කැවුම් නැවත හුමාලයේ තම්බා කෑම ද සිදු කරයි. කැවුම් උයා පැණිමුට්ටියක දින කිහිපයක් ගිල්වා තබා ගත් පසු එය "පැණි කැවුම්" ය.


අවුරුදු කාලයට තෙල් වලින් බැද සාදන කැවිලිවලට ඇදී එන "කෝඳුරුවා" නැමැති කුඩා සතුන් ඒවායින් ඉවත් කිරීමට නිවසේ එක් තැනක කැවුමක් එල්ලා තබන අතර කෝඳුරුවන් එවිට ඒ වෙත ඇදී යයි. එය "කෝඳුරු කැවුම"යි. කොණ්ඩය නොමැතිව සාදන කැවුම "හැඳි කැවුම" යි. හාල් කෙටීමෙන් පසුව ඉතිරිවන සුන් සාල්, එසේත් නැතිනම් කැඩිච්ච හාලේ පිටිවලින් සදන කැවුමට "කුඩු කැවුම්" යැයි කියයි.


ජනශ්‍රැති

මෙවැනි කතා අතරේ කොණ්ඩ කැවුම පිළිබඳ විවිධ ජනශ්‍රැති ද තිබේ.
 
"හැන්ද නටයි - කූර නටයි
රතු කිඩහැලි  - තෙලේ නටයි"
මෙය ජනශ්‍රැතියේ එන කොණ්ඩ කැවුම් පිළිබඳ තේරවිලි කවියක් බව මහාචාර්‍ය බෙන්තරගේ පැවසුවේ ය. එය ඔහු උපුටාගෙන තිබුණේ නෝමන් සිරිපාල විසින් රචනා කර ඇති තේරවිලි සිවුපද නැමැති කෘතියකිනි. ඊට අමතර ව ඔහු උපුටා දැක් වූ ප්‍රස්තාව පිරුළු කිහිපයකි.
 
"මඟුල් ගෙදර ගිහින් කැවුම් පෙත්තක් නොකා ආවා වගෙයි."
"කැවුමක් වටකරගත් කූඹි රැලක් සේ"
"කෝඳුරුවන්ට එල්ලපු කැවුම වගේ"
"සිංහලයන් කැවුම් කන්නට රුසියන් වග රොබට් නොක්ස් වගේ පොත් ලියපු අය ලියා තිබෙනවා. ඒ වගේ ම දෙවන රාජසිංහ රජතුමා රට අල්ලන්න ආව ඕලන්දකාරයන්ට පැණි කැවුම් දීලා තිබෙනවා. ඔවුන් රජුගෙන් ඇහුවාලු මේවා ගසක හැදෙන පලතුරක් ද කියලා. පස්සෙ රජතුමා කිව්වාලු නෑ මේක හාල් පිටි, පැණි දාලා තෙලේ බදින කැවිල්ලක් වග," යනුවෙන් මහාචාර්ය බෙන්තරගේ ජනශ්‍රැතියේ එන තවත් කතාවකට මුල පිරීය.

අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවල දී පමණක් නොව විවිධ ශාන්තිකර්ම, මළවුන් පිදීම, දෙවියන් පිදීම වැනි අවස්ථා වල දී ද කොණ්ඩ කැවුම ප්‍රධාන කැවිල්ලකි.

"ශාන්තිකර්මයක් තිබෙනවා නම් කැවිලිවල තිබෙන අනිවාර්ය අංගයක් තමයි කොණ්ඩ කැවුම කියන්නෙ. ඒ වගේ ම කළු කුමාරයා පිදීම, මළගිය අය සිහි කරලා කරන පූජා, දේවපූජාවලටත් අනිවාර්යයෙන් ම කොණ්ඩ කැවුම් තියනවා. දැරියක් වැඩිවිය පැමිණුනා ම චාරිත්‍ර ඉටුකරන රෙදි නැන්දාට දෙන කැවිලිවලත් කොණ්ඩ කැවුම් තිබෙනවා. ඒවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් ලොකුයි, " යැයි පැවසූ මහාචාර්යවරයා කළු කුමාරයා පිදීමේ දී කැවුම් ගැන සඳහන් වන පහත කවිය අපුරුවට ගායනා කළේ ය.
 
"ගනිමින් නැළියෙන් සතරක් කැවුමට
පුදමින් ඈතින් කිරිබත් වටකොට
පුදමින් රත්පැහැ කබළු කැවුම් වට
පුදමින් රොටිගෙඩි තලගුලි වටකොට"
නර්තන ශිල්පීන්ගේ වෙස් තැබීමේ චාරිත්‍රයේ දී ඊට පෙර, පළමුවරට වෙස් තබන නර්තන ශිල්පීන්ගේ කකුල් කැවුම් මළුවලින් තැවූ බව ද , එමෙන් ම ළදරුවන්ගේ පාද ඇද නොවී කෙළින් කිරීමට ද එම ළදරුවන්ගේ පාද කැවුම් මළුවලින් තවා ඇතැයි ජනශ්‍රැතියේ ඇති බව ඔහු පවසයි.


අච්චුවක්
 
ergtකැවුමේ යට කොටස සඳහා ඇති ආකෘතියකි. නාවින්න ප්‍රදේශය ආශ්‍රිත ව වෙළඳ සැලක හිමිකාරිනියක් වන ශ්‍යාමලී කැවුම් සාදන්නේ එම අච්චුව භාවිත කරමිනි.


වර්තමානය වන විට කාර්‍යබහුල ජීවිත ගත කරන බොහෝ දෙනෙකු අවුරුදු කාලයට කොණ්ඩ කැවුම් මිල දී ගැනීමට පුරුදු වී සිටිති. එලෙස ව්‍යාපාරික මට්ටමින් කොණ්ඩ කැවුම් සාදන අයගේ පහසුව සඳහා ඇති උපකරණයක් පිළිබඳ ද අපට තොරතුරු හමුවිය.

එය කැවුමේ යට කොටස සඳහා ඇති ආකෘතියකි. නාවින්න ප්‍රදේශය ආශ්‍රිත ව වෙළඳ සැලක හිමිකාරිනියක් වන ශ්‍යාමලී කැවුම් සාදන්නේ එම අච්චුව භාවිත කරමිනි.

"සාමාන්‍ය විදිහට ම පිටි මිශ්‍රණය හදලා මේ අච්චුව තෙල් තාච්චියෙන් තියලා, අච්චුව ඇතුළට පිටි දාගන්නවා. එතකොට කැවුමේ යට කොටස ඉස්පංචියක වගේ ලස්සනට රැළි වගේ එනවා. හැබැයි කොණ්ඩය හදන්න ඕනෑ," යි ඇය පැහැදිලි කළා ය.

අප සමඟ මුලින් ම අදහස් බෙදාගත් ප්‍රදීපා පැවසුවේ බොහෝවිට ඇය සහ කොණ්ඩ කැවුම් සෑදීමේ හැකියාව ඇති ඇගේ පවුලේ කිහිපදෙනෙක් පිටි මිශ්‍රණය සාදා ශීතකරණයේ තබා, අලුත් අවුරුද්දට අමුත්තන් පැමිණෙන අවස්ථාවේ දීම ඔවුන්ට රිසිසේ කෑමට "උණු කැවුම්" සාදා දෙන බවයි.

පළාතෙන් පළාතට කැවුම්වලට යොදන ඇතැම් අමුද්‍රව්‍ය වෙනස් විය හැකි අතර ඔවුන් ආහාරයට ගන්නා ආකාරය ද වෙනස් විය හැකියි. කෙසේවුවත් කොණ්ඩ කැවුම ඕනෑම පළාතක, සිංහල ජනතාවගේ කැවිලි මේසයක නොවරදිනම සේම වැඩිම ආකර්ෂණය දිනාගෙන ඇති කැවිල්ල බවට පත් ව තිබේ.


(BBC සිංහල සේවය)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...