“HIV වලින් මම බේරුණා. ඒත් ඒ ඇති වෙච්ච බය, මානසික පීඩාව මම මැරෙනකම් හිතේ තියෙයි.”

ඒ අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසුව තම සිතට දැනුන බය හා වේදනාව අප හා බෙදාගත් අප චතුරංග නමින් හඳුන්වන 37 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.

“මගේ තියෙන මෝඩකමට මම ස්පා එකකට ගියා. ඒ ගිහිල්ලත් කිසිම ආරක්ෂාවක් නැතිව මම එතන හැසිරුණේ ඒක මගේ අනිත් මෝඩකම.”

“හැබැයි එතනින් එළියට එද්දිම මම කරපු මෝඩකම මට තේරුනා ඒ එක්කම මට ලොකු බයක් ආවා, මම ගෙදර ඇවිත් ඒ බයෙන් හිටියේ. ඒ බය වේදනාව නිසාම මම ඉන්ටර්නෙට් එකෙන් ලිංගාශ්‍රිත රෝග ගැන පරික්ෂා කළා. එදා ඉදන් සති කිහිපයක් යනකම් මම අවදානයෙන් හිටියේ මට මොනවා හරි රෝග ලක්ෂණ මතු වෙනවාද කියලා.”

ඔහු HIV රෝගියකු නොවන බව මේ වන විට වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වී තිබේ. එහෙත් HIV සම්බන්ධයෙන් වන නිවැරදි දැනුවත්භාවය, නිරෝගී ලිංගික දිවියක් ගත කිරීමට ආරක්ෂා වීම සදහා ගත යුතු පියවර සහ පරීක්ෂා කිරීම් කරගැනීමේ වැදගත්කම එමගින් අවධාරණය වේ.

එසේම ආරක්ෂාකාරී ලෙස ලිංගික ක්‍රියාවන් හි යෙදීමෙන් ඔබ අනියත බියකට ලක්වීම හෝ මානසික පීඩාවන්ට ගොදුරු නොවීම වළක්වාලනු ඇත.

XFGER643“මගේ තියෙන මෝඩකමට මම ස්පා එකකට ගියා. ඒ ගිහිල්ලත් කිසිම ආරක්ෂාවක් නැතිව මම එතන හැසිරුණේ ඒක මගේ අනිත් මෝඩකම.”


“රෝග ලක්ෂණයක් නැතිව HIV අපේ ඇගේ තියෙන්න පුලුවන්”

XGGGSDS

“සති කිහිපයක් ගියත් මට රෝග ලක්ෂණ මතු වුනේ නැහැ. ඒ නිසා මගේ සිතට සැනසීමක් ලැබුනා. ඔහොම මාසයක් විතර යද්දි අහම්බෙන් මම ඒඩ්ස් ගැන විඩියෝ එකක් දැක්කා ඒක දැක්කාම මාව රත් වෙලා ගියා. අර කලින් තිබුන වේදනාව බිය දෙගුණ තෙගුණ වෙලා මට දැනෙන්න ගත්තා.”

“ඒ විඩියෝ එකේ දොස්තර කියපු විදියට කිසිම රෝග ලක්ෂණයක් නැතිව HIV අපේ ඇගේ තියෙන්න පුලුවන් ඒ තිබිලා අවුරුදු 10 කට විතර පස්සේ මතු වෙන්න පුලුවන් හැබැයි ඒ වෙද්දි හැමදේම වෙලා ඉවරයි වෛරස් එක අපේ ඇගම අල්ලගෙන ඉවරයි කියලා තමයි ඒ විඩියෝ එකේ හිටපු දොස්තර කිව්වේ.” යැයි යළිත් ඔහුව වේලාගත් බිය ගැන විස්තර කළේය.

මේ බිය හා වේදනවා සමඟ දින සති ගණන් ගෙවී ගිය අතර කළ යුත්තේ කුමක්ද යන්න සිතා ගත නොහැකිව සිටි ආකාරය චතුරංග බීබීසී සිංහල වෙත කියා සිටියේය.

“මට තේරුණේ නෑ මොනවා කරන්න ද කියලා. මට මතක් වුණේ එහෙම ලෙඩක් හැදිලා තිබුනොත් මම ජීවත් වෙන්නේ කොහොමද කියන එක.ගෙදර මිනිස්සුන්ට සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක එක්ක ලොකු මානසික පීඩාවක් ආවා. හරියට නින්දක් නෑ හැම වෙලාවෙම ඒක මතක් වෙනවා. ඒ වින්ද වේදනාව, බය, මානසික පීඩාව මැරෙනකම් මගේ හිතෙන් අයින් වෙන එකක් නෑ.”

'අනිත් අයට ලෙඩේ නොදී ඉන්න එකත් මගේ වගකීමක්'

HIV

කෙතරම් මානසික පීඩාවක් විඳින්ට සිදු වු නමුත් තම ජිවිතය නැති කරගන්නට නොසිතු චතුරංග දිර්ඝ වේදනාවකින් පසුව සියලු දෙනාගේ යහපත වෙනුවෙන් තීන්දුවක් ගත්තේය.

“මට තේරුනා මෙහෙම ඉන්න එක කිසි තේරුමක් නැති වැඩක් කියලා. මගේත් අනිත් අයගේත් යහපත ගැන හිතලා මම පරික්ෂා කරලා මගේ හිතේ තියෙන දේ ගැන සැක හැර දැනගන්න තීන්දු කළා. ඒ කියන්නේ පරික්ෂා කරලා බලන්න තීන්දු කළා. මට ලෙඩක් තියෙනවා නම් ඉක්මනින් ප්‍රතිකාර අරගෙන ආරක්ෂා වෙන්නත්, මට ලෙඩක් තියෙනවා නම් අනිත් අයට ලෙඩේ නොදී ඉන්න එකත් මගේ වගකීමක් කියලයි මට හිතුනේ.”

“එහෙම පරීක්ෂණ කරන තැනක්, විදියක් ගැන හොයද්දි තමයි මට Know4Sure වෙබ් සයිට් එක ගැන දැනගන්න ලැබුනේ. ඒකෙන් අපේ අවදානම පරික්ෂා කරගන්න වගේම ලෙඩේ ගැන, ප්‍රතිකාර ගැන දැනුවත් වෙන්න පුලුවන්. මම ඒකෙන් එපොයින්මන්ට් එකක් දාගෙන ක්ලිනික් එකට යන්න තීරණය කළා.”

“මම දවසක් දාගෙන ගියා. එතන වෛද්‍යවරයා හම්බ වෙලා සියලු විස්තර කිව්වා. පස්සේ පරික්ෂාවට අවශ්‍ය ලේ දුන්නා. මම ඉල්ලීමක් කළා HIV රැපිඩ් පරික්ෂාව කරන්න කියලා. ඒ අය ඒකේ ප්‍රතිඵලය දෙන්න විනාඩි 20ක් ඉන්න කිව්වා. මම දන්නේ නෑ අදටත් ඒ විනාඩි විස්ස ගෙවුනේ කොහොමද කියලා.”

“ටික වෙලාවකින් දොස්තර නැවත මට කතා කළා. මට HIV නෙගටිව් කිව්වා. මට සතුටක් දැනුනත් ඊටත් වඩා ඉහලින් මගේ හිතේ තිබුනේ මම කරපු මෝඩකම හා ඒකෙන් ඇති වෙච්ච බයයි වේදනාවයි. HIV වලින් මම බේරුණා. ඒත් ඒ ඇති වෙච්ච බය, මානසික පීඩාව මම මැරෙනකම් හිතේ තියෙයි.” එක දිගටම කතා කළ ඔහු සුසුම් හෙළමින් කියා සිටියේය.


HIV රෝගයේ අවසාන තත්ත්වය AIDS

HIV AIDS

අනාරක්ෂිත ලිංගික සබඳතා මගින්, HIV ආසාධිත මවකගෙන් ගර්භණී කාලයේ දී, දරු ප්‍රසූතියේදී සහ මව් කිරි දීමේදී, හෝ ආසාදනය වූ කෙනෙකුගේ ඉන්ද්‍රීයන් බද්ධ කිරීම්, එන්නත් කටු මගින් මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා අය මගින් HIV වෛරසය බෝ විය හැකි ආකාර කිහිපයක් හඳුනාගෙන තිබේ.

වසර 5ක්, 8ක් හෝ ඊට වඩා වැඩි කාලයක් කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වා HIV ශරීරගත වී තිබිය හැකි යැයි ලිංගාශ්‍රීත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය තිලානි රණතුංග බීබීසී සිංහල සමග කතා බහකට එක්වෙමින් කියා සිටියාය.

මෙසේ රෝග ලක්ෂණ නොමැතිව HIV වෛරසය ශරීර ගතවී ඇති පුද්ගලයින්ගෙන් වෙනත් අයෙකුට ආසාදනය විමේ අවදානමක් ද පවතී.

“රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැතුව සමාන්‍ය වශයෙන් රෝගියා අවුරුදු 5ත් 8ත් අතර කාලයක් සමහරු ඉන්නවා ඊටත් වැඩි, සමහරු අවුරුදු 20ක් විතර ඉන්නවා. ඒ කාලයේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ නමුත් වෛරසය ශරිරය ඇතුලේ තියෙනවා. ඒ කාලය ඇතුලත අපේ ප්‍රතිශක්තිය මගින් යම් කිසි තරමක් කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා. ලෙඩ්ඩුන්වත් දන්නේ නෑ HIV ආසාදනය වෙලා ද නැද්ද කියලා.”

“එහෙම ඉදලා අවසානයේ එනවා ඒඩ්ස් කියන තත්ත්වයට. ඒඩ්ස් කියන තත්වයට එනකොට ප්‍රතිශක්තිය හුගාක් අඩු වෙනවා. ඒ නිසා නොයෙකුත් ආසාදනවලට රෝගියා ලක් වෙනවා. ඒවාගේ දකින්න පුලුවන් සුලබ ලක්ෂණයක් තමයි අසමාන්‍ය විදියට බර අඩුවීම, දිගු කල් පවතින කැස්ස, දිගු කල් පවතින උණ, දිගු කල් පවතින බඩඑළිය යාම වගේ රෝග ලක්ෂණ තියෙනවා. තත්ත්වය දරුණු වෙනකොට ක්ෂය රෝගය, සමේ පිළිකා වගේ වෛරස්, බැක්ටිරියා වගේම දිලිර රෝග වගේ නොයෙකුත් ආසාදනවලට රෝගියා ගොදුරු වෙනවා.”

HIV රෝගයේ අවසාන තත්ත්වය AIDS බව කී වෛද්‍යවරිය එම තත්ත්වයට පත් වීමට පෙර රෝගය හඳුනාගෙන ඉතා හොඳින් පාලනය කළ හැකි බව සඳහන් කළාය.

පෙර හා පසු නිවාරණ ක්‍රම මොනවාද?

HIV නිට්ටාවට සුව කිරිමට ප්‍රතිකාරයක් නොමැති වුවද ඉතාම හොඳින් පාලනය කර සමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි ප්‍රතිකාර ක්‍රම පවතින බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

“මේක ඇත්තටම HIV රෝගීන්ට ලැබුන ආශ්චාර්යක් වගේ. මේ බෙහෙත් ගත්තාම මේ රෝගීන්ට සමාන්‍ය පුද්ගලයින් වගේ ජීවත් වෙන්න පුලුවන්. විවාහ වෙනවා, ළමයි හදනවා ඒ හැමදෙයක්ම කරගෙන නෝමල් ලයිෆ් එකකට යනවා. එකම දේ මේ ටැබ්ලට් එක හැමදාම ගන්න ඕනේ. හැබැයි බෙහෙත නැවැත්තුවොත් නැවත රෝගය උත්සන්න වෙන්න පුලුවන්. මේ බෙහෙත් ගන්න කෙනෙක්ගෙන් වෙනත් කෙනෙක්ට අසාදනය වීමත් ඉතාම අඩුයි.”

HIV රෝගය සහිත පුද්ගලයකු හට නිරාවරණය වුවහොත් වහාම ගත හැකි ක්‍රියා මාර්ග ගැන ද විශේෂඥ වෛද්‍ය තිලානි රණතුංග බීබීසී සිංහල වෙත සිටියාය.
එවැනි පුද්ගලයකු පැය 72ක් ඇතුලත හෝ ඊට පෙර වහාම වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු අතර දින 28 ක කාලයක් සඳහා ලබා දෙන ඖෂධයක් මගින් HIV රෝගය ආසාදනය වීම වළක්වා ගත හැකි බව ඇය සඳහන් කළාය.

එමෙන්ම HIV පෙර නිවාරණ ක්‍රම ගැන ද විශේෂඥ වෛද්‍ය රණතුංග සඳහන් කළාය.

“අවදානම් ලිංගික චාර්යා තියෙන අයට අපි කියනවා පෙර නිවාරණ ප්‍රතිකාර ගන්න කියලා. ඒකත් ටැබ්ලට් එකක්. වෛද්‍ය උපදෙස් අනුව ඒ ටැබ්ලට් එක ලබාගන්න පුලුවන්. ඒ ටැබ්ලට් එක ගන්න කාල සීමාව තුල HIV වෛරසය තිබුනත් වෙනත් කෙනෙක්ට HIV හැදෙන එක බොහෝදුරට අඩු කරන බව පරික්ෂණවලින් තහවුර කරලා තියෙනවා.”

EGRT54HIV නිට්ටාවට සුව කිරිමට ප්‍රතිකාරයක් නොමැති වුවද ඉතාම හොඳින් පාලනය කර සමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි ප්‍රතිකාර ක්‍රම පවතී


සැක හැර දැනගන්නේ කොහොමද?

HIV රෝගය ආසාදනය වී ඇති දැයි දැන ගැනීමට රුධිර පරීක්ෂාවක් කරනු ලබන අතර අද වන විට තමන්ටම පරික්ෂා කර ගත හැකි ලෙස ස්වයං පරික්ෂණ ක්‍රමයක් ද පවතී.

එම ස්වයං පරික්ෂණ කට්ටල හෝ රුධිර පරීක්ෂාවක් මගින් සැක හැර දැනගැනීමට අවශ්‍ය නම් රජයේ රෝහල්වල ඇති ලිංගාශ්‍රීත රෝග සායනයට යොමු වීමෙන් පරික්ෂා කර ගැනිම හෝ ස්වයං පරික්ෂණ කට්ටලය ලබා ගැනිමේ හැකියාව පවතී.

ZXDFSTR

එමෙන්ම ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන නිවාරණ ඒකකය හඳුන්වා දී ඇති Know4Sure වෙබ් අඩවිය හෝ ඇප් එක හරහා වෙලාවක් වෙන් කරගෙන සායනවලට සහභාගි විමේ හැකියාව හෝ ස්වයං පරික්ෂණ කට්ටල නිවසටම ගෙන්වා ගැනිමේ හැකියාව තිබේ.

මෙම සායනවලට සහභාගි වන පුද්ගලයන්ගේ තොරතුරු හා පුද්ගලිකත්වය ඉතා රහසිගත අතර සේවය සපයනු ලබන්නේ විශේෂ පුහුණුව සහිත කාර්ය මණ්ඩලයකි.

(BBC සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්