රජයක් විසින් ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ විය යුතුද නැද්ද යන්න පිළිබඳව සමාජයේ විවිධ කොටස් අතර කථිකාවක්  යලිත් මතුව තිඛෙනවා.

 විශේෂයෙන්ම රජය  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 2023 මාර්තු මාසයේ ඇතිකරගත් විස්තීර්ණ ණය ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරන යෝජනා සමග මෙම මාතෘකාව යලි කරලියට පැමිණ තිබේ . ඒ සමඟම  වර්තමාන ජනාධිපතිවරයාත් කිහිප වරක්ම  ව්‍යාපාර කටයුතු වලට රජය සම්බන්ධ විය යුතු නැති බව ප්‍රකාශ කර තිබේ. ඔහු අනුව යමින් සමාජයේ ඇතැම් කොටසක්  රජය විසින් ව්‍යාපාර කටයුතු වලට නොයා යුතු යැයි  ප්‍රකාශ කරන අතර සමාජයේ තවත් කොටසක් රජය සතු ව්‍යාපාර පෞද්ගලිකකරණය කිරීමට සහ රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව කරුනු දක්වයි.


රජයක් විසින් ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ නොවිය යුතුය යන අදහස මුලින්ම  ඉදිරිපත් කරන ලද්දේ 18 වන සියවසේ ප්‍රංශයේ විසූ එක්තරා  ආර්ථික විද්‍යාඥයන් කණ්ඩායමකි. ඔවුන් විසින් රජයක් විසින් ආර්ථික කටයුතු වලට අවම ලෙස  මැදිහත් විය යුතු  යුතු යැයිද රජයේ පුලුල්  මැදිහත් වීම් ආර්ථික කාර්ය සාධනය දුර්වල  කරන්නක් යැයිද  පුකාශ කරන ලදී.  මෙම මතවාදය රාජ්‍ය නිර්බාධවාදී පුථිපත්තිය ( laisses-faire) ලෙස හැඳින්වෙන ලබනවා. මෙම අදහස ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන Adam Smith ද තහවුරු කරන  අතර එය  පසු කාලීනව මිල ක්‍රමය සහ පෞද්ගලික  ව්‍යවසාය මත පදනම් වූ ධනවාදී ආර්ථික ක්‍රමය විකාශනය වීම කෙරෙහිද බලපාන ලදී.


පෞද්ගලික ව්‍යවසාය  ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ  සම්පත් කාර්යක්ෂමව සහ  ප්‍රශස්ත ලෙස උපයෝජනය කළ හැකි බවත්,  ආයතන අතර ඇතිවන  තරගකාරීත්වය හරහා සම්පත් කාර්යක්ෂමව  බෙදා හැරීම සිදු කළ හැකි බවත්,  පාරිභෝගිකයනට තම සිතැඟි පරිදි සාධාරණ මිලකට ගුනත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා ලබා ගත හැකි බවත්,  නවෝත්පාදන දිරි  ගන්වන  බවත්,  සමස්තයක් ලෙස ජනතාවගේ සුභ සාධනය සහ ජීවන තත්වය ඉහළ නැංවීමට හේතුවන බවට පෞද්ගලික ව්‍යවසාය  ක්‍රමයට  පක්ෂව අදහස් දරන අය  තර්ක කරනවා. ඔවුන්ට අනුව රජයේ කාර්යභාරය නීති රීති පැනවීම, නියාමනය,  මහජන උපයෝගිතා සේවාවන් පවත්වා ගෙන යාම,  සාධාරණ තරගකාරිත්වයක් සහතික කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය,  වෙළඳපොල බිදවැටිමි වලදී මැදිහත් වීම, ආදායම් ප්‍රතිව්‍යාප්තිය,  ආර්ථික ස්ථායිතාව ඇති කිරීම, සහ ජාතික ආරක්ෂාව සහතික කිරීම වැනි කටයුතු වලට සීමා විය යුතු බව දක්වනවා.

yatithala
තවද මේ පිළිබඳව කරුනු දක්වන ඇතැම් පාර්ශව විසින්  වාණිජමය ආයතන රාජ්‍ය අයිතිය යටතේ ක්‍රියාත්මක වන විටෙක රජයේ හෝ අදාළ ඇමතිවරයාගේ මැදිහත්  වීම් නෛසර්ගික බවත්  ආයතන පරිපාලනයට මෙවැනි  දේශපාලන මැදිහත්වීම්  නිසා ස්වාධීනව කටයුතු කරගෙන යාමට බාධා කාරී වන බවත් පවසනවා. අනෙක් අතට මෙම ආයතන වලට නිලධාරීන් පත් කරනුයේද ඉහත කී දේශපාලන අධිකාරිය  නිසාවෙන්  ඔවුන්ට දේශපාලන මැදිහත්වීම් වලින් බැහැරව කටයුතු කිරීම උගහටය. තවද රජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කල් ගතවන සහ අනුමැතියන් සදහා විවිධ අධියරයන් පවතින බැවින් ඉක්මන් තීරණ ගැනීමේ අපහසුතාවන් පවත්නා බවද පැවසේ.

එසේම රජයේ ආයතනයක් අලාභ ලබන විටෙක,  රජයට සහනාධාර ලබාදීම මගින් හෝ රජයේ  මුදලින් ඒවා මූල්‍යනය කිරීමට සිදුවේ. මෙම  අලාභයන් දිගින් දිගටම පැවතීම රජයේ මූල්‍ය තත්ත්වයට විශාල  බලපෑමක් එල්ල කරන අතර,  වෙනත් කටයුතු සඳහා යෙදවීමට තිබෙන මුදල් කපා හැරීමට සිදුවන බවත් සදහන් කරයි .තවද  රජයේ ආයතන ඇතැම් විට ඒකාධිකාරයන් වශයෙන්   ක්‍රියාත්මක  වියහැකි  අතර හෝ තරඟයකින්  තොරව කටයුතු කරන විටෙකදී ආයතන උදාසීන ලෙස කටයුතු  කිරීමට පෙළඹෙන  අතර කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට,  නවෝත්පාදන කිරීමට,  පාරිභෝගිකයන්ගේ කැමත්ත අනුව භාන්ඩ හා සේවාවන් ලබා දීමට යොමු නොවන බවත් ප්‍රකාශ කරයි. ඊටත් අමතරව  රාජ්‍ය අයිතිය යටතේ තිබෙන ආයතන වලට දේශපාලන අධිකාරියේ ආශිර්වාදය තිබෙන නිසා වංචා  හා දූෂණ සදහා ඇති ඉඩකඩද  වැඩි බව ඔවුන් පෙන්වා දෙයි.

4 1ඒ අනුව රාජ්‍ය ආයතන වාණිජමය කටයුතු වලට සහභාගී වීම ආර්ථික සාර්ථකත්වය දුර්වල කිරීමට හේතු වන බව ඔවුන් දක්වනවා.

කෙසේ වුවත් ලෝකයේ සෑම රටකම පාහේ රාජ්‍ය අයිතිය යටතේ ක්‍රියාත්මක වන වාණිජ ව්‍යාපාර තිබෙනවා. ඇමෙරිකාවේ,  යුරෝපයේ, අප්‍රිකාවේ, ආසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ආදී සෑම රටකම රාජ්‍ය ව්‍යාපාර  ක්‍රියාත්මක වෙනවා. මෙම ව්‍යාපාර  ජලය සැපයීම,  ඉන්ධන සැපයීම,  විදුලි බලය, ගෑස්,  දුරකථන,  මහා මාර්ග, ඛණිජ සම්පත්,  ගුවන් විදුලි සහ රූපවාහිනී,  බැංකු,  මූල්‍ය සහ රක්ෂණ සේවා,  ගුවන් සේවා ඇතුලු සෑම ක්ෂේත්‍රයක්ම පාහේ ආවරණය වන ලෙස රජයයන්  කටයුතු කරනවා. චීනය,  ඉන්දියාව , ජර්මනිය සහ රුසියාව වැනි රටවල රජයේ ව්‍යාපාර දහස් ගණනින් පවතිනවා.  

electricity 01


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  2020 වසරේ ප්‍රකාශයට පත් කළ  වාර්තාවක සඳහන් වෙනවා ඇතැම්  රාජ්‍ය ව්‍යවසායන් සමහර රටවල  විශාලතම සමාගමි තුලට ඇතුලත්  වන අතර එම රටවල ආර්ථික වර්ධනය හා සංවර්ධනය උදෙසා දැවැන්ත  කාර්යභාරයක් ඉටු කරන බව. උදාහරන වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වල සහ නැගී එමින් පවත්නා රටවල මුලු යටිතල පහසුකම් සදහා 55% ක පමණ ආයෝජන කරනු ලැබ ඇත්තේ රාජ්‍ය ආයතනයි.  

 

IMF Jpeg


පසුගිය දශක දෙක තුල රාජ්‍ය  ව්‍යාපාර  සංඛ්‍යාව සමස්ත මුළු ව්‍යාපාර සංඛ්‍යාවෙන් 10% සිට 20% දක්වා දක්වා වැඩි වී ඇතැයි ද,  ඇතැම්  රාජ්‍ය ආයතන ලෝකයේම ක්‍රියාත්මක වෙන බහුජාතික සමාගම් ලෙසද කටයුතු කරයි. මෙම ආයතන වල මුලු වත්කම් 2000 සිට 2018 වන විට  ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 13 සිට  ඩොලර් ට්‍රිලියන  45 ක්  දක්වා වැඩි කර ගෙන ඇති බවත් ඒවායේ නිෂ්පාදිතය ලෝක නිෂ්පාදිතයෙන් 50% කට සමාන බවත් සඳහන් වෙනවා. චීනයේ  පමණක් රජයට  අයත් ව්‍යාපාර 150,000 කට වඩා වැඩි අතර  එරටෙහි මුඵ ආයතන වලින් 60% ක් පමණ රජයට අයත් ව්‍යාපාරයි. තවද  2005 වසරේදී Global Fortune 500 සමාගම්  ලැයිස්තු වේ 14 ක්ව පැවැති රාජ්‍ය ආයතන සංඛ්‍යාව 2023 වසරෙදි  135 ක්  දක්වා වැඩි කර ගෙන එම ලැයිස්තුවේ වැඩිම සමාගම්  ප්‍රමාණයක්  හිමි කරගත් රට බවට චීනය පත්ව සිටිනවා.


මෙලෙස  ලෝකයේ සෑම රටකම පාහේ රාජ්‍ය අයිතිය යටතේ ව්‍යාපාර පවත්වාගෙන  අතර  කිසිදු රටක පූර්ණ ලෙස පෞද්ගලික ව්‍යවසාය ක්‍රියාත්මක නොවන බව  ප්‍රායෝගිකව  දැකිය හැකිය. විශේෂයෙන්ම ධනවාදී ආර්ථික දර්ශනය අනුගමනය කරන රටවල  පවා පෞද්ගලික අංශය විසින් යොමු නොවන මහා පරිමාණ ආයෝජනයන් අවශ්‍ය වන ව්‍යාපාර සඳහාත්, මහජන උපයෝගිතා සහ පොදු භාණ්ඩ  සැපයීමේ ව්‍යාපාර සඳහාත්, සමාජයේ සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍යය වැනි  සේවා සැපයීම සඳහාත් රටේ මූල්‍ය සහ  ආර්ථික ස්ථායිතාව රැක ගැනීමට සහ විශේෂිත පුථිපත්ති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත් රජය මැදිහත් වී කටයුතු කරන බව දැකිය හැකිය.  

education

මීට අමතරව සමාජවාදී ආර්ථික ක්‍රමය අනුගමනය කල සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රටවල් පොදු දේපල අයිතිය යටතේ සියලු ව්‍යාපාර කටයුතු රජය විසින් කරගෙන ගිය අතර සමාජවාදය බිඳවැටීමෙන් අනතුරුවද එසේ  පිහිටවූ ඇතැම් රාජ්‍ය ආයතන තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. ශ්‍රී ලංකාව වැනි මිශ්‍ර ආර්ථික ක්‍රමය අනුගමනය කරන රටවල් රජයේ ව්‍යාපාර මෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යාපාරයනූත් පවත්වා ගෙන යනු ලබනවා.

ඉහත සඳහන් කළ පරිදි බොහෝ දෙනෙක්  ප්‍රකාශ කරනවා ව්‍යාපාර කටයුතු වලට රජය සමිබන්ධ නොවිය යුතු බවත් එම අංශයේ ව්‍යාපාර සාර්ථක නොවන බවත්. එහෙත්  රජයේ  ව්‍යාපාර පමණක් නොව පෞද්ගලික අංශයේ ව්‍යාපාරත් අසාර්ථක වෙනවා. උදාහරණ වශයෙන් මෑත කාලයේදී ඇඟලුම් කම්මල් සහ වෙනත් කර්මාන්ත ශාලා විශාල ගණනාවක් වසා දැමීමට සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා මේවා පෞද්ගලික අංශයට ඇයත් ආයතනයි. මීට අමතරව  The finance company, ETI,  Central investment finance company  වැනි ආයතන වසා දමා ඇත.  

z p01 New investo

මෙම තත්ත්වය  ලංකාවේ පමණක් නොව පමණක් නොව වෙනත් රටවල පෞද්ගලික ව්‍යාපාරවලටත් පොදුයි . ජාත්‍යන්තර ප්‍රතිරූපයක් දිනා සිටි BlockBuster, Yahoo, My space, Nokia වැනි ආයතනත් අසාර්ථක වී ඇති බව වාර්තාවේ. තවද  Fortune 500 සමාගම්  වලට ඇතුළත්ව තිබූ  සමාගම් 52% ක් පමණ  2000 වසරේ සිට දැන් එම ලැයිස්තුවේ නැත. තවද  ආසන්න වශයෙන් 20% ක් පමණ නව ව්‍යාපාර ඒවා ආරම්භ කර වසරක්  වැනි කාලයක් තුල වසා දැමීමට සිදු වන බවත්, 45% ක් පමණ නව ව්‍යාපාර පලමු වසර 5 තුල වසා දැමීමට සිදු වන බවත් 65% ක් පමණ නව ව්‍යාපාර ඒවා ආරම්භ කර වසර 10ක් වැනි කාලයක් තුල වසා දැමීමට සිදු වන බව  ව්‍යවශායකත්ය පිළිබඳ පර්යේෂණ වාර්තා සදහන් කරනවා. මෙයින් අදහස් වන්නේ රාජ්‍ය ව්‍යාපාර පමණක් නොව  පෞද්ගලික අංශයේ ව්‍යාපාරවලටත් අසාර්ථ වීම් සහ අලාභ ලැබීම් පොදු බවයි.

social media

රජයේ හෝ පෞද්ගලික අංශයට අයත්  ව්‍යාපාරයක සාර්ථක  වීම  හෝ අසාර්ථක වීම  තීරණය කිරීම කෙරෙහි බලපාන මූලික කරුනු අතර  ආයතනය මෙහෙයවන අයගේ කළමනාකරණ නිපුණතාව, නායකත්වය හා  තීරණ ගැනීමේ නිදහස, වෙළඳපොළ තරගකාරීත්වයට මුහුණ දීමේ හැකියාව, ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන භාණ්ඩ හා සේවා  හඳුන්වාදීම, වෙනත් ආයතනවල නවෝත්පාදන වලට  අනුගත වීමේ හැකියාව, යහපත් මුල්‍ය හා මානව සම්පත්  කළමනාකරණය, දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ඇතිවන  ආර්ථික හා දේශපාලන විචලනයන් වැනි දෑ ප්‍රධාන  වේ.

 

bank

රජයකට රජයේ අනෙක් කටයුතු සාර්ථකව කල හැකිනමි ව්‍යාපාර  කටයුතුත් සාර්ථකව කල හැකි බවයි මගේ පෞද්ගලික අදහස වන්නේ . කෙසේ වෙතත් රජය ව්‍යාපාර කටයුතුවල යෙදෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ ප්‍රධාන වශයෙන් රජයේ ප්‍රමුඛතා සහ  රජයේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති මතයි.  එසේම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් වන අතීත අත්දැකීම් සහ රජයට මූල්‍ය  පහසුකම් සපයන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,  ලෝක බැංකුව, සහ ආසියානු සංවර්ධන බැංකුව  වැනි ආයතන පනවනු ලබන කොන්දේසිද මේ සඳහා බලපානවා.

Semasinghe
(මහාචාර්ය සේමසිංහ දිසානායක)
වාණිජ හා මුල්‍ය කලමණාකරණ අධ්‍යයන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්