ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම පිළිබඳව පුළුල් කතිකාවක් ලාංකීය සමාජය තුල මේ වනවිට ඇතිව තිබේ. 


වසර 2030 වනවිට ආර්ථිකය ඩිජිටල්කරණය තුලින් ඩොලර් බිලියන 15 ක් ලබා ගැනීමේ උපක්‍රම පිළිබඳව රජය සැලසුම් කරමින් සිටින අතර මෑතකදී සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හේතුකොට ගෙන ඩිජිටල් ආර්ථිකයක් පිළිබඳ විභවතාවන් දුර්වල කිරීමට හේතුවී ඇති ඇතැයි ඇතැමෙක් කරුනු දක්වයි.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය කතාවේදීත්, ඉන් පසුවත් ඩිජිටල්කරණයේ වැදගත්කම සහ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කොට තිබේ. වසර 2030 වන විට ඩිජිටල් ආර්ථිකයක් කරා යාමේ දී පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට අදාළ සංවිධානාත්මක ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ඒ අනුව, රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය නායකත්වය හා මඟ පෙන්වීම සඳහා පූර්ණ බලතල සහිත ඩිජිටල් අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති වරයා අයවැය කතාවේදී ප්‍රකාශ කරන ලදී. 

 

එසේම ඩිජිටල් තාක්‍ෂණයේ නවතම ප්‍රවණතාව වන කෘතිම බුද්ධිය පදනම් කරගෙන ආර්ථික හා සමාජයීය පරිවර්තනයක් සිදු කිරීම අරමුණු කරගනිමින් කෘතිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටද කටයුතු යොදන බවත් මෙම කාර්යයන් සඳහා ඉදිරි වසර සඳහා රුපියල් බිලියන 3 ක මුදලක් වෙන් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ඒ අනුව ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම උදෙසා විවිධ පියවර සහ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බව දැකිය හැකිය. මෙහි ප්‍රමුඛ පියවරක් ලෙස "තිරසර ඩිජිටල් සමාජයක් කරා” යන දැක්ම යටතේ ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කරන DIGIECON 2030 නමින් වූ වැඩසටහනක් තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ආරම්භ කර තිබේ. 

 

මේ වන විට ඩිජිටල් ආර්ථිකයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක ආදායමක් දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන බවත්, එය 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා වැඩි කර ගැනීමට මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා ආර්ථිකය වේගවත් කිරීම සඳහා තාක්ෂණය භාවිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ඩිජිටල්කරනය හරහා කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධනයද වැඩසටහනේ අරමුණු අතර ප්‍රමුඛ වේ.


මීට අමතරව මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සවිබල ගැන්වීමේ මුලපිරීමක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය DigiGo සන්නාමය යටතේ ව්‍යවසායකයන් සඳහා ඩිජිටල් ප්ලේබුක් (Digital Playbook) එළිදැක්වීම සදහා වැඩ සටහනක් ආරම්භ කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ලබා ගත හැකි සහ දැරිය හැකි දේශීය ඩිජිටල් සේවාවන් සඳහා යොමු කිරීම අරමුණු කර ගනිමින් කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සහ තාක්‍ෂණ අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ ඩිජිටල් සේවා අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

ශ්‍රී ලංකාව දැනට පත්ව ඇති දුෂ්කර තත්ත්වය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන උදෙසා ගෙන ඇති මෙවැනි පියවරයන් ප්‍රශංසනීය බව සඳහන් කළ යුතුය. මක් නිසාද යත්,  සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සැලකෙන අතර ඒවා කියාකාරී ව්‍යවසායන්ගෙන් 75% ක් පමණ නියෝජනය වන අතර 45% ක් පමණ සේවා නියුක්තියට සහ දල දේශීය නිෂ්පාදිතයෙන් 52% ක පමණ දායකත්වයක් ලබා දෙන බැවින් ඒවා සංවර්ධනය කිරීමට ගන්නා කවර උත්සාහයක් වුවද වැදගත්ය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ඩිජිටල් තාක්ෂණය හදුන්වා දීම  හරහා ඒවා තව දුරටත් සංවර්ධනය කල හැකි යැයි විශ්වාස කෙරේ.

 

ඩිජිටල් විප්ලවය (හතරවෙනි කාර්මික විප්ලවය ලෙසද මෙය හඳුන්වනු ලැබේ) පෙර නොවූ විරූ ලෙස වේගයකින් සහ පරිමාණයකින් අතිමහත් අවස්ථා සහ තැතිගන්වන සුලු අභියෝගයන් ඇති කරමින් අපගේ ජීවිත සහ සමාජය පරිවර්තනය කරමින් ඇත. ඩිජිටල් පරිවර්තනය සැබවින්ම කෝවිඩි වසංගතයට බොහෝ කලකට පෙර ආරම්භ වූවක් වන අතර කොවිඩ් සමයේ එහි වැදගත්කම සහ භාවිතය වඩා වැඩිවූ අතර ආර්ථිකයන්හි සෑම අංශයක් තුළම වර්තමානයේ ව්‍යාප්ත වෙමින් පවතී. 

ඩිජිටල් තාක්ෂණය හා ඩිජිටල් දත්ත ඇසුරෙන් ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමට හැකි වනසේ තාක්ෂණය භාවිතා කිරීම ඩිජිකරණය (digitalization) නම් වේ. මෙය ඩිජිකරණයෙන් (Digitization ) වෙනස්වේ. ඩිජිකරණයේදී සිදුවන්නේ භෞතික තොරතුරු (analogue information) ඩිජිටල් ආකෘතීන්ට (format) පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියකි. උදාහරන වශයෙන් ලිපි ස්කෑන් කිරීම. මෙම ක්‍රියාවලිය ආයතනයක් තුල කාර්යසාධනය වැඩි දියුණු කිරීම සඳහා භාවිතා කිරීම  ඩිජිටල්කරනයේදී සිදුවේ.

 

3d rendering humanoid robot with ai text in ciucuit pattern
ඩිජිටල් ආර්ථිකයන්හි විකාශනය ප්‍රමුඛ පෙලේ තාක්ෂණයන්හි දියුණුවත් සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් පවතී. මෙයට මෘදුකාංග කේන්ද්‍රිය තාක්ෂණයද ඇතුළත්වේ. මේවා අතර artificial Intelligence,  big data analytics, internet of things (IoT), augmented and virtual reality,  blockchain,  advanced robotics,  3D printing, cloud technology,  quantum technology,  sensors  යනාදිය ප්‍රමුඛ වේ.

වර්තමානයේ සීග්‍රයෙන් වෙනස් වෙමින් පවත්නා ව්‍යාපාර පරිසරය තුල ඩිජිටල් කරනය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා වැදගත් අංගයක් බව හඳුනාගෙන ඇත. Digital 2023 වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන්නන් 2023 වසරේදී මිලියන 14.58 ක් පමන වූ අතර එය මුලු ජනගහනයෙන් 66.7% ක් පමණ වේ. එසේම ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයින් මිලියන 7.2 කි. එය මුලු ජනගහනයෙන් 32.9% ක ප්‍රමාණයක් වේ. තවද මිලියන 36.18 ක ජංගම දුරකථන සම්බන්ධතා ලබාගෙන ඇති අතර මෙය මුළු ජනගහනයෙන් 165.5% ක් පමණ වේ (මෙයට දුරකතන වැඩි ගණනක් සහ සිම්පත් වැඩි ගණනක් පාවිච්චි කරන අයද ඇතුළත්ව ඇති  බව පෙනේ).  

 

6c07cb4f51ee43fc87e0cd92389a0de3

LIRNEasia 2019 වසරේදී කළ අධ්‍යනයකට අනුව ශ්‍රී ලංකා ජනගහනයෙන් 63% ක් පමණ ජංගම දුරකතන භාවිත කරන අතර ජනගහනයෙන් 47% ක් පමණ smart ජංගම දුරකථන භාවිත කරයි. මේ අතර ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව 2021 වසරේදී  කළ සමීක්ෂණයකට අනුව වයස 5-69 අතර ජනකාණඩයේ පරිගණක සාක්ෂරතාවය  34.3% ක්  වේ. එම කාණ්ඩයේම ඩිජිටල් සාක්ෂරතාව 57.2% ක් වේ. මේ සියලුම දත්ත වලින් පෙනෙන්නේ ශ්‍රී  ලංකාව සාපේක්ෂව  ඩිජිටල්කරන ක්‍රියාවලියකට හොඳින් අනුගත වීමේ සූදානමක් පවතින බවයි.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට

ඩිජිටල්කරණයට පිවිසුම මගින් විවිධ වාසි හා  ප්‍රතිලාභ අත්කර ගත හැකිය. ඩිජිටල්කරනය ‍ව්‍යාපාර ක්‍රියාවලීන් විධිමත් කරන අතර එදිනෙදා වැඩ යාන්ත්‍රික කරණය කරනු ලබයි. එසේම අතින් කරන කාර්යයන්හි අවශ්‍යතාව අඩුකරයි. අභ්‍යන්තර ක්‍රියාවලීන් යලි සැලසුම් කිරීම මගින් හා ඩිජිටල් ක්‍රම හරහා දියුණු කරන ලද වැඩ කිරීමේ ක්‍රම තුළින් අභ්‍යන්තර කාර්යක්ෂමතාව වර්ධනය කරයි. ඩිජිටල් උපකරණ සහ ඩිජිටල් වේදිකා හරහා පාරිභෝගිකයන් සමඟ සාර්ථකව සම්බන්ධ වීමට හැකියාව ඇති කරන අතර සන්නිවේදන ක්‍රම සහ මාර්ග ගත පාරිභෝගික සේවා සැලසීම මගින් සමස්ත පාරිභෝගික අත්දැකීම් වැඩි දියුණු කරයි.  

 

image 911f4719d7

තවද ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ නව ව්‍යාපාර අවස්ථා ජනිත වීමත්, නව ව්‍යාපාර ආකෘති ( business model) සැලසුම්කරණයටත්, නව ආදායම් ලැබෙන මාර්ග සහ පාරිභෝගික කණ්ඩායම් ඇතිකර ගැනීමටත්, විය හැකි ගනුදෙනුකරුවන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමටත්, වඩා හොඳින් සහ ඉක්මනින්ම තොරතුරු වලට පිවිසීමට හැකි වීමත්, සේවකයන්, සැපයුම්කරුවන් සහ ජාල වලට ක්ෂණිකව ප්‍රවේශ විය හැකි වීමත්, ගෝලීය වෙළඳපොලට පහසුවෙන් පිවිසීමටත්, ව්‍යාපාර කටයුතු, සම්බන්ධතා සහ සම්පත් යලි නිර්වචනය කරගැනීමටත්, ගනුදෙනු පිරිවැය අඩුකර ගැනීමටත්, තම භාණ්ඩ හෝ සේවා වඩා හොඳින් ප්‍රචාරණය කර ගැනීමටත්, නව තරගකාරී වාසි සහිත ව්‍යාපාර මූලාශ්‍ර සොයා ගැනීමටත්, දත්ත පදනම් කරගෙන තීරණ ගැනීමේ හැකියාව පුළුල් වීමටත් ඩිජිටල්කරනය හේතු  කාරක වේ.

ඩිජිටල්කරනය නව සංකල්පයක් හා ක්‍රියාවලියක් නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඩිජිටල්කරනය කිරීමේදී විවිධ ගැටළු සහ අභියෝගයන්ට මුහුණ පෑමට සිදුවීම අනිවාර්යයෙන්ම පිළිගැනීමට සිදුවේ. ඔවුන් මුහුණ දෙන එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ සේවකයන් අතර  ඩිජිටල් කුසලතා පිළිබඳ දැනුම අඩුකමයි. යුරෝපා ආර්ථික කොමිසම 2017 කළ අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ ආසන්න වශයෙන් 50% ක් පමණ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයන්හි සේවකයන් අතර අවශ්‍ය ඩිජිටල් කුසලතා ප්‍රමාණවත්ව නොමැති බවත් එය පූර්ණ ඩිජිටල්කර්නයක් සඳහා බාධාකාරී  බවයි. 

ඒ අනුව සේවකයන් සඳහා පුහුණු වැඩසටහන් සම්පාදනය කිරීම, ඩිජිටල් කුසලතා වර්ධනය කිරීමේ විවිධ පියවර ගැනීම හරහා මෙකී කුසලතා පරතරය පියවීමට කටයුතු කළ යුතුය. 

EBRD ආයතනය 2021 වසරේදී නිකුත් කළ වාර්තාවකට අනුව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ඩිජිටල්කරනය සඳහා අවශ්‍ය මෘදුකාංග සපයා ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වන බවත්, ඩිජිටල් තාක්ෂණයන්හි ආයෝජනය සඳහා අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන බවත් සඳහන් කරනවා. 

තවද දකුණු අප්‍රිකාවේ 2023 දී කල පර්යේෂණයකට අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන අභියෝගයන් කාර්මික බාධා, ආයතනික හා සංවිධානමය බාධා, තාක්ෂණිකමය බාධා සහ නීතිමය බාධා ලෙස වර්ගීකරණය කර තිබේ. 

 

0F9A2507 scaled 1 768x432
ඉහත දැක්වූ අභියෝගයන්ට අතිරේකව සම්ප්‍රදායික ක්‍රමයට හැඩගැසුණු සේවකයන් හා කළමනාකරණය ඩිජිටල්කරන ක්‍රියාවලියක් හඳුන්වාදීමේදී වෙනස්වීමට  මැලිකමක් දක්වන බවත්, පවත්නා ක්‍රම වෙනස්කර නව තාක්ෂණික ක්‍රම හඳුන්වාදීමේදී ඒවා ගැලපීම පිළිබඳ ගැටලු ඇති කරන බවත් එහි සඳහන් වේ. 

තවද විශාල වේගයකින් වෙනස් වන තාක්ෂණයද මෙම ආයතනවලට අභියෝගාත්මක වේ. අලුත් තාක්ෂණ ක්‍රම බිහිවෙද්දී ආයතන තරගකාරීව ක්ෂේත්‍රයේ රැඳී සිටීමට නම් ක්ෂණිකව ඒවාට අනුගත විය යුතුය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සාමාන්‍යයෙන් සම්පත්වලින් සහ ප්‍රවීණතාවන්ගෙන් හිඟ නිසා ඩිජිටල් තාක්ෂණයේ නව ප්‍රවණතා සහ නවෝත්පාදන වලට මුහුණ දීමට බොහෝ විට අපොහොසත්වේ. 

තවද ආයතනයන් විශාල ක්‍රියාවලීන් ප්‍රමාණයක් සහ දත්ත විශාල ප්‍රමාණයක් මෙහෙයවද්දී සංවේදී තොරතුරු හා සුවිශේෂ තොරතුරු ආරක්ෂාව (cyber security) පිළිබඳව අභියෝගයන්ට මුහුණ දීමටත් සිදුවන බව එම අධ්‍යයනය මගින් තව දුරටත් හෙළිදරව් කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා ඩිජිටල් කරනය ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි වන අතර එහිදී මතුවන ගැටළු සහ අභියෝගයන්ට මුහුණ දීමට ආයතන කටයුතු කළ යුතුය. නැතහොත් ඒ සඳහා රජය මැදිහත්වීම කල යුතුය. 

 

iStock 878803262
කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය නිසි ආකාරයෙන් බල ගැන්වීම සඳහා පුලුල් සහ උසස් යටිතල පහසුකම් ගොඩනැගීම වැදගත් බව සඳහන් කල යුතුය. උදාහරන වශයෙන් ජාල වේගය (network speed) සහ ජාල ආවරණය (network coverage) වේගවත් සහ පුලුල් වීම අත්‍යවශ්‍යය. එසේ වුවද වර්තමානයේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ආයතන බොහෝ ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවද වාර්තාවේ.   

විශේෂයෙන්ම ඉහළ බදු අනුපාත, ඉහළ ඉන්ධන සහ විදුලි මිල, අමුද්‍රව්‍ය ‍සපයා ගැනීමේ දුෂ්කරතා සහ ඉහළ පොලී අනුපාත සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට විශාල බලපෑමක් එල්ල කර ඇත. ඩිජිටල්කර්ණය සාර්ථකවීමට නම් පවත්නා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක්ද ඊට සමගාමීව ක්‍රියාත්මක විය යුතුය.

Semasinghe(මහාචාර්ය සේමසිංහ දිසානායක)
වාණිජ හා මුල්‍ය කලමනාකරණ අධ්‍යයන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්