මාර්තු 8 වෙනි දිනට යෙදී තිබුණ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම සහ සවිබල ගැන්වීම සම්බන්ධයෙන් විවිධ දේශපාලඥයන්, සංවිධාන සහ සමාජයේ විවිධ කොටස් නොයෙකුත් අදහස් දක්වා තිබුනි.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන විකල්පයක් ලෙස ව්‍යවසායකත්වයේ වැදගත්කම මෙම ලිපියෙන් අවධාරණය කෙරේ.

නව ව්‍යාපාර ආරම්භ කිරීම නැතහොත් ව්‍යවසායකත්වය රටක් තුළ රැකියා ජනිත වීමටත්, නවෝත්පාදන බිහිවීමටත්, ආයෝජන ධෛර්යවත් වීමටත්, විදේශ විනිමය ඉපයීම වැඩි කර ගැනීමටත්, ඵලදායිත්වය සහ ආර්ථික වර්ධනය වේගවත් වීමටත් හේතුවේ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන්  සහ වෙනත් රැකියා නියුක්තීන් සම්බන්ධයෙන් කාන්තාවන් පිරිමින්ට වඩා අඩු  නියෝජනයක් දක්වයි. 

 

z p ii WISTA

උදාහරණ වශයෙන් ලංකාවේ සුලු මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2023 වසර අවසානයේදී මිලියන 1 කට වඩා සුලු ප්‍රමාණයක් පැවැති අතර ඒවායින් කාන්තාවන්ගේ හිමිකාරත්වය සියයට 25 ක් පමණ වේ. එසේම 2023 වසරේදී ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කාන්තාවන් දැක්වූ දායකත්වය සියයට 32.1 ක් වූ අතර පිරිමින්ගේ දායකත්වය සියයට  67.9 කි. කාන්තාවන්ගේ සේවා වියුක්ති අනුපාතය 2023 වසරේදී සියයට 7.0  පිරිමින්ගේ සියයට 3.4 කි. මේ අතර රජයේ සහ පෞද්ගලික අංශයේ ඉහළ තනතුරුවල හෙබවීමේදීත්, දේශපාලන ක්ෂේත්‍රයේදීත් ආදී වශයෙන් බොහෝ තැන්වල කාන්තාවන්ගේ නියෝජනය අඩු බව දැකිය හැකිය.

Foa4UGxWYAEZ 3o 1 0

 

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ය. ඔවුන්ගේ සාක්ෂරතාවද පිරිමින්ට වඩා වැඩිය. අධ්‍යාපනයට ප්‍රවේශ වීම සහ අධ්‍යාපන  සුදුසුකම් සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකා කාන්තාවන් සැලකිය යුතු ඉහළ මට්ටමක සිටියත්, රැකියා නියුක්තියට සහ ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දක්වන දායකත්වය මෙලෙස අඩුවීම සැලකිල්ලට භාජනය කිරීම අවශ්‍යය.

විශේෂයෙන් පුරුෂාධිපත්‍යය කේන්ද්‍රීය වූ සම්ප්‍රදායික සමාජයේ කාන්තාවන් දරුවන් බලා ගැනීම, ගෙදරදොර වැඩ කටයුතු කිරීම යනාදියට  සීමා වු අතර ඔවුන් කායික වශයෙන් පිරිමින්ට වඩා අඩු ශක්තියකින් යුතු යැයි සැලකෙන නිසා මුල් යුගවලදී මෙසේ ආර්ථික කටයුතු කෙරෙහි ඔවුන්ගෙන් අඩු සහභාගීත්වයක් අපේක්ෂා කෙරිණි. එසේ වුවද අතීතයේ සිටම කාන්තාවන්ට කාන්තාවන් වීම නිසාම මුහුන පෑමට සිදුවන විවිධ හිරිහැර  (harassments), අසමානතා (inequalities), වෙනස් කොට සැලකීම (discriminations) සහ වැරදි ලෙස සැලකීම නැතහොත්  ඒකාකෘතිකරනය (stereotyping) යනාදිය පිළිබඳව වර්තමාන සමාජයේ අවධානය යොමුව තිබේ.  

 

genderstereotypes 1492383602


ඒ අනුව කාන්තාවන් සහ පිරිමි අතර එවැනි විෂමතාවන් (gender disparity) නොපැවතිය යුතු බවට සහ දෙපිරිසම එක සමාන බවට පුලුල් පිලි ගැනීමක් ඇතිව තිබෙන අතර ඒ පිළිබඳව එකඟතාවන් පවා ඇති කර ගෙන තිබේ. එසේ වුවත් ලෝකයේ සෑම රටකම පාහේ කාන්තාවන්ට විෂමව  සැලකීම අද පවා අඩු වැඩි වශයෙන් දැකිය හැකිය.

ස්ත්‍රී පුරුෂ සමානත්වය ඇති කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම රටක ආර්ථික, දේශපාලනික, සමාජයීය, සහ සංස්කෘතිකමය දේහය ප්‍රවර්ධනය කිරීමෙහිලා මූලික අවශ්‍යතාවක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පුකාශ කරයි. එසේම ස්ත්‍රී පුරුෂ සමානත්වය ඇති කිරීම මූලික මිනිස් අයිතිවාසිකමක් වන අතර එය සාමකාමී සහ සෞභාග්‍යමත් ලෝකයක් ඇති කිරීමෙහිලා මූලිකාංගයක් ලෙස සැලකෙයි. කාන්තාවන් සවිබල ගැන්වීම පවුල්වල, සමාජ කොට්ඨාසවල සහ රටවල සමාජ සංවර්ධනය සඳහා උපකාරී වේ. මේ අතර එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් (2030) යටතේද කාන්තාවන්ට සමාන ලෙස සැලකීම සහ ඔවුන්ව සවිබල ගැන්වීම විශේෂ අවශ්‍යතාවක් ලෙස අවධාරණය කර තිබේ.

 

lk Waste Management r02 1679px

කාන්තාවන් සවිබල ගැන්වීම යනු අසමානතාවකින් තොරව තම නිවසේ, වැඩ කරන ස්ථානයේ සහ සමාජයේ කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසීම සහ ඒ සඳහා ඇති ඉඩකඩ පුලුල් කිරීමය. මෙයට කාන්තාවන්ට තමන්ගේ ජීවිත පාලනය කර ගැනීමටත්, තමාගේ අරමුණු පිහිටුවා ගැනීමටත්, කුසලතා දියුණු කර ගැනීමටත්, තමාගේ වටිනාකම් සහ ස්වයං පැවැත්ම තීරණය කර ගැනීමටත්, අවස්ථාවන් සහ සම්පත් වලට ප්‍රවේශවීමටත් සහ ස්වයං තීරණ ගැනීමේ නිදහස යනාදිය ඇතුලත් කල හැකිය. පොදුවේ ගත් කල කාන්තාවන්ට වැඩ කරන ලෝකයේ සමාන ස්ථානයක් ඇති කිරීම සහ පුළුල් කිරීම කාන්තාවන් සවි බල ගැන්වීම යන්නෙන් අදහස් වේ. එකී සවිබල ගැන්වීම ආර්ථික, දේශපාලනමය, සමාජමය, සංස්කෘතිකමය,  මානසිකමය ආදී වශයෙන් විවිධ මානයක් යටතේ සිදු කල හැකිය.

කාන්තාවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට උනන්දු කරවීම සහ එයට සහයෝගය දීම ඔවුන්ව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට යොදාගත හැකි වැදගත් මාර්ගයක් වන සේම ස්ත්‍රී පුරුෂ අසමානත්වය අඩු  කිරීම උදෙසා වන විශේෂ උපකරණයක් ලෙසත් සැලකේ. ඔවුන් මෙසේ බල ගැන්වීම ඔවුන්ට පෞද්ගලිකව මෙන්ම රටක ආර්ථික ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමෙහිලා වැදගත්  වේ.

 

1HFXwGO m0KxRyUs l9hSJg
අද වන විට ලොව පුරාම කාන්තා ව්‍යවසායකයින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සහ  රටවල සහ සමාජයන්හි සමාජ සංවර්ධනය ඉහළ නැංවීමෙහිලා සුවිශේෂ කාර්ය භාරයක් ඉටු  කරමින් සිටි. Global Entrepreneurship Monitor (GEM) 2020 වසරේදී කල සමීක්ෂණයකට අනුව ලොව පුරා කාන්තාවන් මිලියන 274 ක් නව ව්‍යාපාර ආරම්භ කිරීමේ උත්සාහයන්හි නිරත වී සිටින අතර ඉන් මිලියන 139 ක් ව්‍යාපාරයන්හි අහිමිකරුවන්/ කළමනාකරුවන් බවට පත්ව ඇත. GEM වැඩ සටහන 2022 වසරේදී කළ අධ්‍යයනයකට අනුව නව ව්‍යාපාර ආරම්භ කිරීමේ අරමුණින් යුතු ( intention) සහ මුල් අදියරේ ව්‍යාපාර කටයුතු කරන ( start up stage) කාන්තාවන් සංඛ්‍යාව පිරිමින්ට වඩා වැඩිය. එහෙත්  ස්ථාපිත කරන ලද ව්‍යාපාර අඛන්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කාන්තාවන්ට වඩා පිරිමින් ඉදිරියෙන් සිටි. අඩු ආදායම් ලබන රටවල කාන්තාවන් මධ්‍ය හා වැඩි ආදායම් ලබන රටවල කාන්තාන්ට වඩා ව්‍යාපාර ආරම්භ කිරීමෙහිලා වැඩි උනන්දුවකින් කටයුතු කරන බව එම අධ්‍යයනයේ දැක්වේ.

තවද ඉහත GEM වාර්තාවට අනුව ගෝලීය වශයෙන් කාන්තාවන් ව්‍යාපාර ඇරඹීමට මූලික හේතුව වී ඇත්තේ එම රටවල වෙනත් රැකියාවන්හි පවතින හිඟ කමයි. ලංකාවේ කාන්තාවන් අතර වැඩි සේවා වියුක්ති අනුපාතයක් ඇත්තේ රැකියා කිරීමට ඔවුන් දක්වන අකමැත්ත නිසා නොව  ප්‍රධාන වශයෙන් රටේ රැකියා නියුක්ති අවස්ථාවන් ප්‍රමානවත් ලෙස නොපැවතීම නිසාය. ඒ අනුව ඔවුන් නව ව්‍යාපාර ආරම්භ කිරීමට යොමු කිරීම සහ දිරිමත් කිරීම ඔවුන් සේවා නියුක්ත කරවීමට පවත්නා යෝග්‍යතම  විකල්පය ලෙස සඳහන් කළ හැකිය.

image 73a23a6b0c

 

කාන්තාවක හෝ පිරිමියෙකු වෙනත් වැටුප් ලබන රැකියාවක යෙදෙනවාට වඩා ව්‍යවසායකයකු වීම මඟින් විශේෂ වාසි අත්පත් කර ගැනීමට  හැකියාව ලැබේ. එතුළින් විශේෂයෙන්ම තමාගේ ප්‍රධානියා තමා බවට පත්වීමට අවස්ථාව ලැබේ. ඇතැම් පුද්ගලයන් වෙනත් අය යටතේ වැඩ කිරීමට, නීති රීති, රෙගුලාසි, වැඩ කොන්දේසි පිළිගැනීමට අකැමැත්තක් දක්වන අතර එවැනි අයට තමා තමාගේ ප්‍රධානියා වීම මඟින් තමාට අවශ්‍ය පරිදි වැඩ කිරීමට, තම කාලය, තම  හැකියාව තමාට අභිමත පරිදි යෙදවීමට නව ව්‍යාපාර ආරම්භ කිරීමෙන්  අවස්ථාව ලැබේ. එසේම තමාට  අභිමත පරිදි තීරණ ගැනීමටත්, තම අදහස් උපරිම ලෙස ක්‍රියාවේ නැංවීමටත්, පූර්ණ කැපවීමකින්, දැඩි උනන්දුවකින් සහ උද්‍යෝගයකින් කටයුතු කිරීමට සහ ස්වයං අභිප්‍රේරණයකින් යුතුව කටයුතු කිරීමට මේ හරහා අවස්ථාව ලැබේ. තම කැපකිරීම් හා උත්සාහයන්හි ප්‍රතිඵල වෙනත් කෙනකුට නොව අවසානයේ තමාටම ලැබීමද මෙහිදී සහතික කෙරේ.

 

6841921352 6ca3899869 b

එසේම රජයේ හෝ වෙනත් පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයකුට හිමිවනුයේ ස්ථාවර මාසික වැටුපක් වන අතර බොහෝ විට තම සුදුසුකම්වලට හා කාර්ය ප්‍රමාණයට එම වැටුප ප්‍රමාණවත් නොවිය හැක. ඒ නිසා ව්‍යවසායකයකු වීම මඟින් තම උත්සාහයන්ට අභිමුඛව ව්‍යාපාරයේ කාර්ය සාධනය අනුව ස්ථාවර මාසික වැටුපකට වඩා ඉහළ ආදායමක් ව්‍යවසායකයකු වීම තුලින් ලබා ගත හැකියි. තවද තම ව්‍යාපාරයේ ලාභ වෙනත් අයට නොබෙදා තමාටම ලබා ගැනීමට මින් අවස්ථාව ලැබේ. මීට අමතරව  ව්‍යවසායකයකු වීම හරහා තමාට විශේෂ වූ නවෝත්පාදන එලී දැක්වීමටද අවස්ථාව ලැබේ. 

එමඟින් වෙළෙඳපොළ  ග්‍රහණය කර ගැනීමටත් ලාභ වැඩි කර ගැනීමටත් තම ප්‍රසිද්ධිය වැඩි කර ගැනීමටත් හැකියාව ලැබේ. ඒ සමගම  ව්‍යාපාරයේ සාර්ථකත්වය මත විශාල ප්‍රමාණයකට රැකියා ලබාදීමට, වෙනත් අයට උපකාර කිරීමට හා සමාජයේ ඉහළ පිළිගැනීමක් හා  ජනප්‍රියතාවක් ලබා ගැනීමට සාර්ථක ව්‍යවසායකයකු වීම මඟින් අවස්ථාව ලැබේ.

 

IMG 640x400
මේ අනුව ව්‍යවසායකයන් බවට පත්වීම මගින් කාන්තාවන්ට පවුලේ ආදායමට/වියදමට සම්පූර්ණයෙන්ම හෝ වැඩි දායකත්වයක් ලබා දීමට හැකි වන අතර,  වත්කම් අත්පත් කර ගැනීමට, නායකත්වය දැරීමට, නවෝත්පාදන බිහි කිරීමට, ස්වයං තීරණ ගැනීමට සහ සමාජයේ පිළිගැනෙන සහ කැපී පෙනෙන චරිතයන්  බවට පත්වීමට අවශ්තාව ලැබේ. එමඟින් ස්ත්‍රි පුරුෂ අසමානතාවයේ පරතරයද අඩු  කර ගැනීමට  හැකියාව ලැබේ.

තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම මඟින් ඉහත දැක්වූ ආකාරයේ වාසි අත් වූවද ව්‍යාපාර බිහිවීමට සහ ඒවා සාර්ථකව පවත්වා ගෙන යාමට තෝරා ගත් ව්‍යාපාර අවස්ථාව (venture opportunity), ව්‍යවසායකයාගේ පවත්නා විශේෂ ලක්ෂණ (characteristics), සහ ව්‍යාපාර බිහිවීමට සහ ප්‍රචලිත වීමට සහයෝගී පරිසරයක් ( eco system) තිබීම යනාදී කරුණුද වැදගත් වේ.

 

5 4 800x571
සාර්ථක ව්‍යවසායකයකුගේ ඉතා වැදගත්ම දක්ෂතාවක් වන්නේ නිවැරදි සහ යෝග්‍ය ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගැනීම සහ තෝරාගැනීමයි. ව්‍යාපාරයේ ලාභය, තරගකාරීත්ව වාසිය, අඛණ්ඩ පැවැත්ම යනාදිය රඳා පවතින්නේ ව්‍යාපාරිකයා හඳුනාගත් ව්‍යාපාර අවස්ථාව මතයි. ඇතැම් ව්‍යාපාර අතරමැදදී  කඩාවැටීම සහ අලාභ ලැබීමට සිදු වනුයේ යෝග්‍ය සහ නිර්මාණාත්මක ව්‍යාපාරික අවස්ථා හඳුනා නොගැනීම නිසාය. මෙම ව්‍යාපාරික අවස්ථාව නව්‍ය  එකක් (innovative)  වේ නම් වඩා යෝග්‍ය වේ.

සෑම පුද්ගලයෙක්ම එක හා සමාන නොවන අතර ව්‍යාපාර අවස්ථා ග්‍රහණය කර ගැනීමට ඇති කැමැත්ත සහ හැකියාවන්  පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.  ඒ අනුව යම් යම් ගති ලක්ෂණ වැඩියෙන් පවත්නා පුද්ගලයන්ට අනිත් අයට වඩා සාර්ථකව ව්‍යාපාර පවත්වාගෙන යාමේ වැඩි හැකියාවක් ඇත. ඒ අතර උපයාපාරය කරගෙන යාමේදී යම් ප්‍රමාණයකට අවදානම දරා ගැනීමේ හැකියාව, තමාගේ අරමුණ දිනා ගැනීම සඳහා වු දැඩි අධිෂ්ඨානය, යම් යම් අපැහැදිලි වාතාවරණයන්හිදී පවා ඒවා තර්ජනයන් ලෙස නොසලකා ආකර්ශනීය හෝ ධනාත්මකව  සලකා කටයුතු කිරීමේ හැකියාව, තමාගේ කාර්යයන් තමාගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල මිස  වෙනත් බාහිර බලවේග (උදා: වාසනාව  සහ දෛවය) මත රඳා නොපවතින බවට වන අවබෝධය, යම් කාර්යයක් තමාට කළ හැකි බවට පවතින පවත්ව දැඩි ආත්ම විශ්වාසය (self efficacy), අදාළ කාර්යය කිරීමට පවත්වා දැඩි ආශාව හෝ ආදරය (passion), සහ නොපසුබට උත්සාහය (tenacity) වැනි ලක්ෂණ වැඩියෙන් පැවතීම පුද්ගලයෙකුට ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාමට උපකාරී වේ.

sri lanka women results 732x423

 

මීට අමතරව යෝග්‍ය ආර්ථික හා සමාජ පරිසරයක් ව්‍යාපාර ආරම්භ කරන ප්‍රදේශයේ හෝ රටේ පැවතිය යුතුය. ඒ සඳහා රටේ පවත්නා විවිධ ප්‍රතිපත්ති, ආයතන සහ වෙනත් බාහිර කොන්දේසි වැදගත් වේ. ව්‍යවසායකත්වයට සහයෝගී වන මෙම තත්ත්වය පොදුවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ලෙසයි (entrepreneurial ecosystem) ලෙස හඳුන්වයි. විශේෂිතව සඳහන් කළොත් මින් අදහස් වන්නේ යම් භූමි ප්‍රදේශයක් තුළ ඵලදායි ව්‍යවසායකත්වයක් ඇති කිරීමට හැකි වන සේ එකිනෙකට අන්තර් රැඳීයාවක් ඇති ක්‍රියාකාරීන් (actors) සහ සාධකයන්  (factors) සියල්ලේ එකතුවක් ව්‍යවසායක පරිසර පද්ධතියක් ලෙස හැඳින්වෙයි. 

ඒ අනුව පහසුවෙන් අරමුදල් සපයා ගත හැකි මාර්ග, ව්‍යවසායකත්වය දියුණු කෙරෙන රජයේ ප්‍රතිපත්ති (උදා: සැලසුම්, උපක්‍රම, සහනාධාර සහ බදු ප්‍රතිපත්ති), ව්‍යවසායකත්ව කුසලතා සහ පුහුණුව  ලබාදෙන වැඩසටහන්,  උපදේශන සහ ව්‍යවසායකත්ව අධ්‍යාපනය, අගය කිරීමේ වැඩ සටහන්, සමාජ ජාල වලට සම්බන්ධ වීම, නවෝත්පාදන දිරිමත් කෙරෙන පර්යේෂණ සහ සංවර්ධන කටයුතූ, යහපත් වාණිජ සහ නීතිමය පරිසරය, භෞතික යටිතල පහසුකම් යනාදිය  ව්‍යවසායකත්ව පරිසරයක මූලික අංග වන අතර මේවා යහපත් ලෙස පැවතීමෙන් ව්‍යවසායකත්වය ඇතිවීමට සහ ප්‍රචලිත වීමට හේතුවේ.


Semasinghe(මහාචාර්ය සේමසිංහ දිසානායක)
වාණිජ හා මුල්‍ය කලමනාකරණ අධ්‍යයන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image