චලක සිරිවර්ධන යනු කොළඹ පිහිටි මෘදුකාංග නිෂ්පාදන සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන්නෙකි.

වසරක් සහ මාස 8ක සේවා පළපුරුද්දක් සහිත ඔහුගේ වයස තවමත් අවුරුදු 19 ඉක්මවා නැත‍.

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය A සම්මාන 8ක් සහ B සම්මානයක් සමගින් ඉහළින් සමත් වූ චලක, උසස් පෙළ විභාගයට පෙනී සිටියේ නැත‍.

 

"මම දැන් සැලකිය යුතු වැටුපක් ලබන අවුරුද්දයි මාස අටක පළපුරුද්දක් සහිත මෘදුකාංග ඉංජිනේරුවෙක්. මාත් එක්ක සාමාන්‍ය පෙළ කරලා, උසස් පෙළ විභාගය ලියපු යාළුවො තාම විශ්වවිද්‍යාලයට යන්න බලාගෙන ඉන්නවා. මට වඩා වයසින් වැඩිමල් අය මට වඩා පහළ තනතුරුවල සේවය කරනවා," චලක සිරිවර්ධන තමන් ආ ගමන් මග දෙස ආපසු හැරී බලන්නේ සතුටිනි.

 

ඔහු පැවසූ පරිදි, සිය පියාගේ අභාවයෙන් පසු යම් ආර්ථික දුෂ්කරතාවලට ද මුහුණ දුන් ඔහුට උසස් පෙළ විභාගය කිරීමට වසර කිහිපයක් ගත කිරීම කාලය අපතේ යැවීමක් වනු ඇතැයි සිතට දැනී තිබුණේ, 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කාලයේ සිට ය.

ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබීමෙන් පසු ඔහු මෙතෙක් පැමිණි ගමන් මග මෙලෙස විස්තර කළේ ය.

 

NIBM Kandy I

 

"NIBM එකේ ඩිප්ලෝමා එක කරන්න අවශ්‍ය වුණේ ඉංග්‍රීසි, ගණිතය සහ තොරතුරු තාක්ෂණය එක්ක C සාමාර්ථ 5ක් විතර යි. ඊට පස්සෙ මම අවුරුදු 16දී ඒක පටන් ගත්තා. ඊට පස්සෙ අවුරුදු 17දී උසස් ඩිප්ලෝමා එක කළා මෘදුකාංග ඉංජිනේරු විෂයෙන්. එතනදි මම සීමාවාසික .net මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සීමාවාසික පුහුණුවකට ගියා. ඊට පස්සේ වයස අවුරුදු 18 වෙනකොට ඒ ආයතනයේ ම සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විදිහට පත්වීමක් ලැබුවා. දැන් මට වයස අවුරුදු 19යි. දැන් මම වෙනත් ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ අතරේ මම B. Eng. උපාධිය හදාරමින් ඉන්නවා. ඒක දෙසැම්බර් මාසයේදී ඉවරයි," චලක සිරිවර්ධන පැවසීය.

 

චලක, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, ඔහු එහිදී විද්‍යාලය වෙනුවෙන් රග්බි ක්‍රීඩාවේ නිරත විය.

"උසස් පෙළ නොකරපු නිසා මට පාසල් ජීවිතේ අවුරුදු දෙකක් මග හැරුණා. ඒ ගැන පොඩි දුකක් තියෙනවා. ඒත් මට අවශ්‍ය වුණේ, අම්මාට බරක් නොවී මගේ ම සල්ලිවලින් ජීවිතය විඳින්න. එදා මම ගත්ත තීරණය ගැන දැන් මම සතුටු වෙනවා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

48 big

 

උසස් පෙළ මග හැර අධ්‍යාපන ගමන කෙටි කර ගැනීම

 

චලක මෙන් ම තවත් දරුවන් රැසක් උසස් පෙළ විභාගය මග හැර අධ්‍යාපන ගමන් මග කෙටි කර ගැනීමට උත්සහ දරමින් සිටිති.

ඉන් වැඩි පිරිසක් ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන අතර රජයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන් ද ඒ අතර සිටිති.

පානදුර පිහිටි ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ වයස අවුරුදු 15ක දරුවෙක් ද මේ වන විට මෘදුකාංග ඉංජිනේරු උපාධියක් හැදෑරීමේ අදහසින් පදනම් පාඨමාලාවක් හදාරමින් සිටී.

ඔහුගේ පියා පැවසුවේ, කාලය සහ මුදල් යන කරුණු දෙක ම සලකා මෙම තීරණයට එළඹි බව ය.

 

WhatsApp Image 2024 04 03 at 11.40.33

 

“ජාත්‍යන්තර පාසලක උසස් පෙළ කරනවා කියන්නේ ලොකු වියදමක් යන වැඩක්. එඩෙක්සෙල් උසස් පෙළ විභාගය කරන නිසා අපේ පුතාට රජයේ විශ්වවිද්‍යාලවලට යන්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා, උසස් පෙළ කරලා ආයෙත් වියදම් කරන්න වෙනවා උපාධියක් කරන්න. උසස් පෙළට අවුරුදු දෙකක් ගත වෙනවා. ෆවුන්ඩේෂන් කෝස් එක මාස 10න් ඉවරයි. ඉතින් සල්ලිත්, කාලයත් දෙක ම ඉතිරි කර ගන්න පුළුවන් උසස් පෙළ නොකර පදනම් පාඨමාලාව කරන එකෙන්,” ඔහු පැහැදිලි කළේ ය.

 

 උසස් පෙළ මග හැර උපාධියක් හදාරන්නේ කොහොම ද?

 

1694148630782

 

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් පෙළ විභාගයට පෙනී නොසිට ඍජුව උපාධි පාඨමාලාවක් හැදෑරීමට මේ වන විට අවස්ථාව හිමි වී තිබේ.

විශේෂයෙන්, තොරතුරු තාක්ෂණය, මෘදුකාංග ඉංජිනේරු සහ කළමනාකරණය ආදී ක්ෂේත්‍ර කිහිපයකට සම්බන්ධ උපාධි හැදෑරීමේ අවස්ථාව පවතී.

 

එවැනි උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය, ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය විෂයයන්ට අවම වශයෙන් C සාමාර්ථ සහිතව විෂයයන් 5කින් සමත්ව තිබිය යුතු ය.

 

එවැනි සුදුසුකම් සහිත දරුවන්ට පදනම් පාඨමාලාවක් සමත් වීමෙන් පසු උපාධිය හැදෑරීමට සුදුසුකම් ලබා ගත හැකි ය.

වයස අවුරුදු 15දී පදනම් පාඨමාලාව අරඹන දරුවෙකුට වයස අවුරුදු 19 හෝ 20 වන විට පළමු උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

 

අදියර 12කට බෙදුණු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන යෝග්‍යතා මට්ටම් (Sri Lanka Qualification Frame)

 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ගමන් මග අදියර 12කට බෙදී තිබේ. එම අදියර 12 මෙසේ ය.

  • සාමාන්‍ය පෙළ හෝ ඊට සමාන සුදුසුකම් (සහතික පත්‍ර පාඨමාලා)
  • උසස් පෙළ හෝ ඊට සමාන සුදුසුකම්
  • ඩිප්ලෝමා මට්ටම
  • උසස් ඩිප්ලෝමා මට්ටම
  • පළමු උපාධිය (වසර 3) (Bachelor)
  • විශේෂ උපාධිය (වසර 4)
  • පශ්චාත් උපාධි සහතික පත්‍ර මට්ටම
  • පශ්චාත් උපාධි ඩිප්ලෝමා
  • ශාස්ත්‍රපති/විද්‍යාපති (Masters) - පාඨමාලාවක් පදනම් වූ
  • ශාස්ත්‍රපති/විද්‍යාපති (Masters) - පර්යේෂණයක් සහිත පාඨමාලාව
  • දර්ශනපති (MPhil)
  • දර්ශන විශාරද (PhD)

 

SQFW

 

අධ්‍යාපන යෝග්‍යතා මට්ටමේ ඉහළට යාම සඳහා මෙම අදියර 12 ම අනුපිළිවෙළින් පසු කිරීමේ අවශ්‍යතාවක් මතු වන්නේ නැත.

උදාහරණයක් ලෙස උසස් පෙළ සාර්ථකව සමත් වීමෙන් 3 වන සහ 4 වන අදියර දෙක ම මග හැර 5 වන අදියරේ හෝ 6 වන අදියරේ ඇති උපාධියක් හැදෑරීමට අවස්ථාව හිමි වෙයි.

ඊට අමතරව, 6 වන මට්ටමේ විශේෂ උපාධියක් ගෞරව සම්මාන සහිතව සමත් වීමෙන් 7,8,9 අදියරයන් පසු කර ඍජුව ම 11 වන අදියරේ දර්ශනපති උපාධියක් හැදෑරිය හැකි ය.

මේ අනුව, මෙම සාමාන්‍ය ක්‍රමවේදය ඔස්සේ වුව ද, අධ්‍යාපන ගමන් මග කෙටි කර ගැනීමට අවස්ථා පවතී‍.

 

'වසර 13ක පාසල් අධ්‍යාපනයෙන් දරුවන් හෙම්බත් වනවා'

 

Graduate from an Online High School Fast as a Dropout

 

ශ්‍රී ලංකාව තුළ මේ වන විට විශ්වවිද්‍යාල වරම් හිමි කර ගන්නා සිසුවෙකු හෝ සිසුවියක සිය මූලික උපාධිය අවසන් කරන්නේ, ‍වයස අවුරුදු 25 සිට 27 අතර දක්වා වන කාල පරාසය තුළ දී බව හඳුනාගෙන තිබේ.

වෙනත් රටවල් සමග සැසඳීමේදී එය දීර්ඝ කාලයකි. ඉන්දියාව ඇතුළු රටවල් රැසක වයස අවුරුදු 21-23 වන විට මූලික උපාධිය සම්පූර්ණ කිරීමේ හැකියාවක් පවතී.

ශ්‍රී ලංකාවේ වසර 13ක් පුරා පාසල් අධ්‍යාපනය ලබන බොහෝ දරුවන් පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසු පශ්චාත් හෝ වෘත්තීය අධ්‍යාපන කටයුතුවල නිරත වීමට මැළිකමක් දක්වන බව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජපන් විශ්වවිද්‍යාලයක් වන KIU විශ්වවිද්‍යාලයේ තත්ත්ව ආරක්ෂණ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පර්යේෂක ආචාර්ය පියවි විජේවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

 

d038e7b5aa4cb1c598e7555fd74ed06b M

 

“අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනය ලබන දරුවෙක් අවම වශයෙන් අවුරුදු 15ක් තිස්සේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. ඔහු උසස් පෙළ ලියලා ඉවර වුණා ම හෙම්බත් වෙලා ඉන්නේ. ඉතින් විශ්වවිද්‍යාල වරම් ලැබුණොත් කොහොම හරි උපාධියක් කරනවා. එහෙම නැති වුණොත් ඒ දරුවන්ගේ අධ්‍යාපනය එතනින් ඉවර යි. උපාධිය ගත්ත බොහෝ දෙනෙක් එතනින් විධිමත් අධ්‍යාපනය අවසන් කරනවා. ඒ ගැන අපි කරල තියෙන සමීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රමයේ යම් වේගවත් බවක් තිබුණොත් දරුවන් වැඩිදුර අධ්‍යාපනයට යොමු වීම යම් තරමකට වැඩි වෙයි,” ආචාර්ය පියවි විජේවර්ධන පැවසීය.

 

ඔහුගේ අදහස වී ඇත්තේ, දරුවන් දීර්ඝ කාලීන අධ්‍යාපන ක්‍රමවේදයකින් හෙම්බත් නොකර සාර්ථක කෙටි මාර්ග තෝරා ගැනීම වාසිසහගත බව ය.

 

“සාමාන්‍ය ක්‍රමවේදයට ගියොත් ශ්‍රී ලංකාව ඇතුළෙදි ආචාර්ය උපාධියක් හිමි කර ගන්න වයස අවුරුදු 40ක්වත් ගත වෙන්න පුළුවන්. සමහර විට ඊට වඩා කාලයක් ගත වෙන්නත් පුළුවන්. ඒත්, දැන් උසස් පෙළ මග හැරලා පදනම් පාඨමාලා හරහා උපාධියක් ලබා ගන්න පුළුවන් වයස අවුරුදු 19 වෙද්දී. මේක දරුවෙකුට ලොකු වාසියක්. වෘත්තිය කලින් ආරම්භ කරන්න පුළුවන්, අඩු වයසින් වෘත්තීය පළපුරුද්දක් ලබා ගන්න පුළුවන්, උසස්වීම් ලබා ගන්න පුළුවන්. ඒ දරුවන් බොහෝ විට ආචාර්ය උපාධි දක්වා ඉගෙන ගන්න පෙළඹෙනවා.”

 

 අධ්‍යාපන මග කෙටි කර ගැනීමේ අවාසි සහ ඊට විසඳුම්

 

83677 4

 

අධ්‍යාපන ගමන් මග කෙටි කර ගැනීමේ අවාසි ද පවතින බව ආචාර්ය පියවි විජේවර්ධන පැහැදිලි කළේ ය.

 

“ඉක්මනින් සුදුසුකම් ලබා ගන්න එක යම් වාසිසහගත දෙයක් වුණත්, ඒකෙන් අවාසි වෙන අවස්ථාත් තියෙනවා. මොක ද, කෙටි මාර්ගවලදී දරුවන් විභාග පදනම් කරගෙන ඉගෙන ගන්න තමයි බොහෝවිට පෙළෙඹෙන්නේ. විෂය පදනම් කරගෙන ඉගෙනීම් කරන්නෙ නැති නිසා ඔවුන් ලබන විෂය දැනුම සීමාසහිත යි. කෙටි මාර්ගවලින් ගියත් නියමිත විෂය දැනුම ලබා ගන්න දරුවන් උත්සහ කළ යුතු යි.”

 

මෙම තත්ත්වය අවම කිරීම සඳහා තමන් ක්‍රමෝපායයන් කිහිපයක් අනුගමනය කරන බව ආචාර්ය පියවි විජේවර්ධන පැවසීය.

 

“මම කරන මූලික ම දෙයක් තමයි ප්‍රශ්න බැංකු සංකල්පය වෙනස් කරන එක. මම සකස් කරන ප්‍රශ්න පත්‍රවලට පාවිච්චි කරන්නේ අලුත් ම ප්‍රශ්න. මීට පෙර පාවිච්චි කරපු ප්‍රශ්න අනුසාරයෙන් ප්‍රශ්න පත්‍ර සකස් කිරීම මම කරන්නෙ නෑ. එතකොට ප්‍රශ්න පත්‍රවලට උත්තර හොයලා විභාග සමත් වෙන්න දරුවන්ට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඔවුන් සමස්ත විෂය ම හැදෑරුවෙ නැත්තම් විභාගය සමත් වෙන්න බෑ. එහෙම වුණා ම දරුවන්ගේ විෂය දැනුම පුළුල් වෙනවා,” ඔහු සඳහන් කළේ ය.

 

(BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image