ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන ඇතුළු බුදු දහමේ විවිධ ඉගැන්වීම් අද මුළු මහත් ඉන්දුනීසියාව පුරා පැතිර පවතී.

එය ආරම්භ වූයේ කෙසේ ද සහ 1965 ඛේදවාචකයෙන් පසු බුද දහම විවිධ සම්ප්‍රදායන්ට වෙන් වූයේ කෙසේ ද?

පාසල් අවධියේ එක් දිනක මම ජකර්තා නුවර දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති මිතුරෙකුගේ නිවස වෙත ගියෙමි. මා මෙන් ම මේ මිතුරා ද චීන සම්භවයක් ඇති අයෙකි. වෙනස ඇත්තේ ඔහු කිතුණුවෙකු වීමත් මා බෞද්ධයෙකු වීමත් ය.

යළි නිවස බලා යාමට අවශ්‍ය වූ පසු මා ඔහුගේ මවට සමුදුන් අතර ඇය මා නිවසේ ගේට්ටුව වෙත කැටුව ආවා ය.

එහිදී ඇය මා සමග කෙටි සල්ලාපයක යෙදුණා ය: "මොන පල්ලියට ද ඔයා යන්නේ?"

"මම බෞද්ධ ඇන්ටි," සිනාමුසු මුහුණින් යුතුව මම පැවසුවෙමි.

"අනේ, ඔයා තාමත් බෞද්ධ ද," ඇය පිළිතුරු දුන්නා ය.

යළිත් වරක් ඇයට සමුදී පිටව යාමට පෙර මම ඊට "ඔව්" ලෙස පිළිතුරු දුන්නෙමි.

 

පෙයෝප්තා හිමි දුටු උතුරු කොරියානු බුදු දහම

කුමක් හෝ හේතුවක් නිසා මා එම මිතුරාගේ නිවසට ගොස් වසර 15කට වැඩි කාලයකට ගතව තිබුණ ද ඇය එදින පැවසූ "තවමත් බෞද්ධ" යන ප්‍රකාශය මා නොසන්සුන්තාවට පත් කළේ ය.

ඇයගේ චේතනාව අයහපත් එකක් නොවිණි. ඇය එය පැවසුවේ සාමාන්‍ය ස්වරයකින් මිස සමච්චලයට නොවේ.

කෙසේ වෙතත්, එම ප්‍රකාශය සිහියට නැගෙන ඇතැම් අවස්ථාවලදී මම, "ඉතින් මොක ද, මම තාම බෞද්ධයෙක් වුණා ම?" යැයි මාගෙන් ප්‍රශ්න කරමි.

 

මගේ පවුල ත්‍රිධර්ම ප්‍රතිපත්තිවල අනුගාමිකයින් වන අතර වචනාර්ථයෙන් ගත් කල එහි අදහස ‘සත්‍යයේ ඉගැන්වීම් තුනක්’ යන්න යි.

මෙහි එන ඉගැන්වීම් ත්‍රිත්වය නම්, බුදු දහම, ලාඕ ට්සුගේ තාඕවාදය සහ කොන්ෆියුසියස්වාදය වේ. බොහෝ විට ඒවා චීනයේ සමාජ ජීවිතයේ "කුළුණු තුන" ලෙස සැලකේ.

 

චීනයේ, මෙම ශ්‍රේෂ්ඨ ගුරුවරුන් තිදෙනාගේ ම ඉගැන්වීම් භේදයකින් තොරව අනුගමනය කරන අතර ඒවා සමාජ ව්‍යුහයට, රාජ්‍ය පද්ධතියට, දේශීය කලාවන්ට සහ සංස්කෘතියට පවා බලපෑම් කරයි.

එකල මට මේ පිළිබඳව වැටහීමක් නොතිබිණි. මා දන්නා තරමින් මා සහ මගේ පවුලේ සාමාජිකයින් ත්‍රිධර්ම ධර්මයේ මග යන බෞද්ධයෝ වෙති.

2024 මැයි 23 වන දිනට යෙදුණු වෙසක් උත්සවය වෙනුවෙන් ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවලින් භික්ෂූන් වහන්සේ 40 නමක් ජකර්තා සිට ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි බොරෝබුදුර් විහාරස්ථානය දක්වා චාරිත්‍රානුකූල පාගමනක (තුඩොං) නිරත වූහ.


මගේ පියා විවිධ ආරාමවල දේශන පැවැත්වූ බෞද්ධ භික්ෂුවකි. මා සහ තවත් සහෝදරයන් දෙදෙනෙකු (අතීතයේ) සතියකට වරක් නිතිපතා එම දේශනා සඳහා සහභාගී වූ අතර අපි ආරාමයේ තරුණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් ද වූවෙමු.

බාලාංශයේ සිට මධ්‍ය විදුහල දක්වා ම මා නිරන්තරයෙන් ඇතුළත් කෙරුණේ බෞද්ධ පාසල්වලට ය. උසස් පාසලකට ඇතුළු වන තුරු ම මා හට කතෝලික පාසලකට ඇතුළු වීමට අවස්ථාව නොලැබිණි.

මා "තවමත් බෞද්ධ" යැයි අසා විමතියට පත් චීන සම්භවයක් ඇති සෙසු පුරවැසියන්ගෙන් අදහස් ප්‍රථම වරට මට ඇසෙන්නට ලැබෙන්නේ ද මා උසස් පාසලේ ඉගෙනුම ලබන අවධියේදී ය.

මීට පෙර, චීන සම්භවයක් ඇති සුළුතරයක් ලෙස සමාජයේ මට ඇති ස්ථානය පිළිබඳව මම දැන සිටියෙමි.

කෙසේ වෙතත්, මගේ සහෝදර චීන ජාතිකයන් අතර පවා මම සුළු ජාතිකයෙකු බව මෙම ප්‍රකාශය මගින් මට අවබෝධ විය.

Indonisian Buddhist 2


දුකින් පිරුණු ජීවිතය

ප්‍රාථමික පාසලේ සිටියදී, මම අවම වශයෙන් ගුරුවරුන් තිදෙනෙකුගෙන් ආගමික අධ්‍යාපනය ලැබුවෙමි. නිවසේ වූ මගේ පියා, ආරාමයේ දහම්පාසල් ගුරුවරයා සහ පාසලේ බෞද්ධ ධර්මය ඉගැන්වූ මගේ ගුරුවරයා ඔවුන් අතර වූහ.

එකල මා හට බෞද්ධ ධර්මය ඉගැන්වූ ගුරුවරයා වූයේ ජුමාරි මහතා ය. ඔහු මිත්‍රශීලි ජාවා දූපත් වැසියෙකි. ඔහු ඉගැන්වීම් කළ ආකාරයට මම ඇලුම් කළෙමි.

දිනක් පාසලේදී ජුමාරි මහතා අදටත් වලංගු වන එක් දෙයක් පැවසීය: "ජීවිතය දුකින් පිරිලා තියෙන්නේ."

දුක්ඛ, නැතිනම් ඉන්දුනීසියානු භාෂාවෙන් දුක යනු, අනිත්‍ය දේ කෙරෙහි අප තුළ ඇති බැඳීම නිසා පැමිණෙන වේදනාවකි.

වෙනස් වීම නොවැළැක්විය හැකි යථාර්ථයක් වුව ද, සතුටේ උල්පතක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තුවෙන් අපි දේවල් දිගින් දිගට ම අල්ලා ගෙන සිටීමට උත්සහ කරන්නෙමු. අවසානයේ ඉතිරි වන එක ම දෙය දුක පමණකි.

ප්‍රාථමික පාසලේ සිටි අවධියේදී, මට මෙය සම්පූර්ණයෙන් නොතේරුණ ද, ජුමාරි මහතාගේ පැහැදිලි කිරීම ඇසීමෙන් මම මවිතයට පත් වීමි. මා වයසින් මුහුකුරා යත් ම, මම වඩ වඩා ත් ඔහුගේ වචන සමග එකඟ වීමි.

35 වන වියේදී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත් වී වැඩි කල් නොගොස්, එනම්, ක්‍රිස්තු පූර්ව 528දී පමණ ඊසානදිග ඉන්දියාවේ බුද්ධගයාවේදී පස්වග මහණුන් වන උන්වහන්සේගේ පළමු ශ්‍රාවකයන් පස්දෙනාට බරණැසට නුදුරින් පිහිටි සාරානාත්හි දේශනා කළේ ද මෙය යි.

Indonisian Buddhist 19

බුදුන් වහන්සේ පස්වග තවුසන් වෙත ධර්මය දේශනාකරන අයුරු ලාඕසයේ ඇති ප්‍රතිමාවේ දැක්වෙයි


බුදුන් වහන්සේ ඔවුන්ට චතුරාර්ය සත්‍යය වදාළහ. එනම්, ජීවිතය දුකින් පිරී පවතින බව ත්; එම දුක හට ගන්නේ අකුසල කර්මවලට සහ පුනර්භවයට හේතුවන ද්වේෂය, රාගය සහ මෝහය නිසා බව ත්; දුක නැති කළ හැකි බව ත්; දුක නැති කිරීමට මාර්ග අටක් ඇති බව ත් ය.

එම මාර්ග අට, එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මෙසේ ය: නිවැරදි දෘෂ්ටිය, නිවැරදි චේතනාව, නිවැරදි වචන, නිවැරදි ක්‍රියා, නිවැරදි දිවි පෙවත, නිවැරදි උත්සහයන්, නිවැරදි සිහිය සහ නිවැරදි සමාධිය.

මෙම මාර්ගයට පිවිසීමෙන් මිනිසුන්ට නැවත නැවත ඉපදීම බිඳ දමා සැබෑ සාමය හෝ නිවන සාක්ෂාත් කර ගත හැකි බව කියනු ලැබේ.

 

"බුදු හාමුදුරුවෝ දේශනා කළේ, දුක තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, අවසානයක් තියෙනවා, මාර්ගයක් තියෙනවා කියලා," බුද්ධයාන භික්ෂු භික්ෂුණීන් අයත් ඉන්දුනීසියාවේ මහා සංඝ (සාගින්) සමූහයේ මහායාන භික්ෂුවක වන නයනගුප්ත හිමි පැවසූහ.

"අපි අට මහා මාර්ග අනුගමනය කළොත් මේ දුකෙන් එතෙර වෙන්න පුළුවන්."

 

තම පළමු ශ්‍රාවකයන් පස්දෙනා වෙත ධර්මය දේශනා කිරීමෙන් අනතුරුව බුදුන් වහන්සේ වසර 45ක් ඉන්දියාව පුරා සංචාරය කරමින් තම ධර්මය ඉගැන්වීමේ නිරත වූහ.

ඉන් පසුව වසර 80ක් ආයු වළඳා උන්වහන්සේ කුසිනාරා නුවරදී පිරිණිවන් පෑ සේක.

Indonisian Buddhist 18

තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි විහාරස්ථානයක සම්බුද්ධ පරිනිර්වාණය දැක්වෙන බුද්ධ ප්‍රතිමාවකි

 

විවිධ සම්ප්‍රදායන්වල ආරම්භය

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උදා වූ සියවස් තුන තුළ, උන්වහන්සේගේ අනුගාමිකයින් බෙදී ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව තුළ විවිධ බෞද්ධ නිකායන් හෝ සම්ප්‍රදායන් වර්ධනය වන්නට විය.

ඇතැම් පර්යේෂකයන් සත්‍ය සංඛ්‍යාව 30කට වඩා වැඩි ගණනක් ලෙස දක්වා ඇතත්, එම කාලය තුළ බොහෝ විට බිහි වූ බව කියන නිකායන් 18ක් පමණ පවතී.

 

බ්‍රිතාන්‍යයේ උපන් බෞද්ධ විද්වතෙකු වන එඩ්වඩ් කොන්ස් පැවසුවේ, "සසරින් එතෙරට යන මාර්ගය ගවේෂණය කිරීම" සඳහා භාවනාවෙහි යෙදී සිටියදී භික්ෂූන් වහන්සේලා මුහුණ දුන් "දාර්ශනික ගැටලු" හේතුවෙන් නිකාය භේදය ඇති වූ බව ය.

"දර්ශනය විද්‍යාවේ අනෙකුත් අංශවලට වඩා වෙනස්. එබැවින් දර්ශනය එක් එක් ගැටලුවකට විසඳුම් එකකට වඩා වැඩි ගණනක් ලබා දෙනවා," යනුවෙන් කොන්ස් සිය ‘A Short History of Buddhism’ (2010) ග්‍රන්ථයේ ලිවීය.

"ස්වාභාවිකව, බෞද්ධයන් ඔවුන්ගේ ධර්මයේ දාර්ශනික අර්ථය ගැන ගැඹුරින් සොයා බැලීමත් සමග මතභේද වැඩි වුණා."

 

අවම වශයෙන් ක්‍රි.පූ. 100 සිට ඉන්දියාවේ මහායාන නමින් නව බෞද්ධ සම්ප්‍රදායක් මතු වූ බව ත් ක්‍රිස්තු පූර්ව 150න් පසු එය ක්‍රමානුකූලව වර්ධනය වීමට පටන් ගත් බව ත් කොන්ස් සඳහන් කළේ ය.

එකල, එවකට පැවති ධර්මයේ සඳහන් ප්‍රකාශ "යල් පැන ගිය හා නිෂ්ඵල" බවට මතයක් පැවති බැවින් නව යුගයේ අවශ්‍යතා සහ සමාජ තත්ත්වයන්ට සරිලන පරිදි බුදුන් වහන්සේගේ ධර්මය හෝ ඉගැන්වීම "ප්‍රතිසංස්කරණය" කිරීමේ අවශ්‍යතාවක් මතු විය.

Indonisian Buddhist 17


පසුව මහායාන කණ්ඩායම විසින් ප්‍රඥාව පමණක් නොව කරුණාව මත පදනම් වූ "ගැලවීමේ නව මාර්ගයක්" මෙන් ම මූලික වශයෙන් "ශූන්‍යතාව" යන සංකල්පයට සම්බන්ධ පැවැත්මේ සහ යථාර්ථයේ මූලික ස්වභාවය පිළිබඳව වන ධර්මයක් හඳුන්වා දෙන ලදී.

එතැන් පටන් මූලික හරයේ වෙනසක් ඇති විය. ඊට පෙර බෞද්ධයන්ගේ පරමාර්ථය වූයේ බුදුරදුන් වදාළ මග යමින් දුක් නැති කර නිවන සාක්ෂාත් කර ගැනීමට සමත් වූ අරහත්භාවයට පත්වීම ය.

 

නමුත් අනෙක් අතට, මහායාන භික්ෂූන් වහන්සේලා අපේක්ෂා කරන්නේ, බෝධිසත්ව වීමට හෝ බුදු වීමට අපේක්ෂා කරන කෙනෙකු වීමට ය.

මෙම ක්‍රියාවලියේදී, බෝධිසත්වයන් තමන් පමණක් නොව සියලු සත්වයන්ට නිවන සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමට උත්සහ කරන නමුත් එහි ප්‍රතිවිපාකයක් ලෙස ඔවුන්ට බුදු වීමට පෙර සංසාරයේ චක්‍රයේ වැඩි කලක් ජීවත් විය යුතු ය.

මෙම සම්ප්‍රදාය මහායාන ලෙස හඳුන්වන්නේ එබැවිනි. එහි වචනාර්ථය "මහා වාහනය" යන්න ය.

 

එකල මහායාන ජනයා ගතානුගතික බෞද්ධ නිකායන් 18 සැලකුවේ "කුඩා වාහනය" යන අර්ථය ඇති හීනයාන ලෙසිනි. මෙය ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන්නේ හීනයාන කණ්ඩායමේ "ආත්මාර්ථකාමී" යැයි හැඟෙන අරහත් බවට පත්වීමේ අභිලාෂයන් සමග බව කොන්ස් පැවසීය.

හීනයාන කන්ඩායම දැන් ඔවුන්ගේ සම්ප්‍රදාය ථෙරවාද ලෙස හැඳින්වීමට කැමැත්තක් දක්වන අතර එහි අර්ථය එනම් "වැඩිහිටියන්ගේ ධර්මය" යන්න ය.

 

"කෙටියෙන් කිවහොත්, අපි [මහායාන] බෝධි චිත්ත [උතුම් සිතුවිලි] වර්ධනය කිරීම ගැන අවධාරණය කරනවා. ඒ කියන්නේ සෑම සත්වයෙකුට ම බුද්ධත්වයට පත් වීමට හැකියාව තියෙනවා සහ සෑම සත්වයෙකුට ම සම්මාසම්බුද්ධ විය හැකි යි," ඉන්දුනීසියාවේ මහායාන භික්ෂුණියක වන භද්‍රා ලෝක භික්ෂුණීන් වහන්සේ පැවසූහ.

සම්මාසම්බුද්ධ යනු, ස්වකීය උත්සහයෙන් බුද්ධත්වයට පත් වී තමන් විසින් සොයා ගන්නා ලද ධර්මය අන් අයට පහදා දෙන කෙනෙකි.

"අපට එකට එකතු වෙලා ඒ දේ ප්‍රගුණ කරන්න පුළුවන්, ඒ සියල්ල සාක්ෂාත් කර ගැනීම සඳහා අපව දියුණු කර ගන්න පුළුවන්. ඉතින්, මට මුලින් ම යන්න අවශ්‍ය නැහැ, මම එතනට එනවා, පසුව මම ඔබට එගොඩ වෙන්න කඹයක් විසි කරනවා, භද්‍රා භික්ෂුණීන් වහන්සේ තවදුරටත් පැවසූහ.

 

ඉන්දුනීසියාවේ මහා සංඝ (සාගින්) සමූහයේ ථෙරවාදී භික්ෂුවක වන ධීරපන්නෝ හිමි පැවසුවේ, ථෙරවාදී භික්ෂූන් තම ඉගැන්වීම් අන් අය සමග බෙදා ගැනීමට උත්සහ කිරීමට පෙර, පළමුව නිවන සාක්ෂාත් කර ගැනීමට උත්සහ කිරීමට වැඩි අවධානයක් යොමු කරන බව ය.

 

"ඔවුන්ට [මහායාන ඇදහිලිවන්තයන්ට] තියෙන්නේ එක අධිෂ්ඨානයක්. මා වටා දුක් විඳින ජීවීන් ඉන්නවා නම්, මට දැන් ම විමුක්තිය අවබෝධ කර ගන්න අවශ්‍ය නැහැ," ධීරපන්නෝ හිමි පැවසූහ.

"නමුත් ථෙරවාදයේදී, මා අවට සිටින සියලු ජීවීන්ට උපකාර කිරීමට හැකි වන පරිදි පළමුව මා විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට උත්සහ කළ යුතු යි."

 

Indonisian Buddhist 16බුද්ධායන ව්‍යාපාරයට සම්බන්ධ ඉන්දුනීසියානු මහා සංඝ (සාගින්) හි ථෙරවාදී භික්ෂුවක් වන ධීරපන්නෝ ධර්මය දේශනා කරන අයුරු


පසුව මහායානය නැවතත් ප්‍රධාන ගුරුකුල දෙකකට බෙදී ගියේ ය: දෙවන සියවසේ මැද භාගයේ සිට වර්ධනය වූ මධ්‍යමික සහ හතරවන සියවසේ පමණ සිට වර්ධනය වූ යෝගාචාර එම ගුරුකුල වේ.

කොන්ස් පවසන පරිදි, යෝගාචාර ගුරුකුලය, "ගැඹුරු භාවනාවකින් ලබා ගන්නා අත්දැකීම් ක්‍රමානුකූලව සකස් කර පැහැදිලි කරන්න" උත්සහ කරයි.

යෝගාචාර කණ්ඩායමෙන්, තන්ත්‍ර පිළිබඳ අදහස් සහ භාවිතයන් මතු වූ අතර, ඒවා බොහෝ විට බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමේ උත්සහයන් පහසු කිරීම සඳහා යොදා ගන්නා විවිධ මන්ත්‍ර, සංකේත සහ චාරිත්‍ර විධි සමග සම්බන්ධ වේ.

භාරතයේ බුදු දහම පරිහානියට පත්වීමත් එහි අනුගාමිකයින් ආධ්‍යාත්මික අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වීමත් තන්ත්‍රයානික ධර්මයේ වර්ධනයට හේතු වූ බව පැවසේ.

 

"තමන්ව ආරක්ෂා කර ගැනීමට එහි අනුගාමිකයින් වැඩි වැඩියෙන් හාස්කම්වල බලය පාවිච්චි කරලා දෙවියන්ගෙන් උපකාර ඉල්ලා සිටියා," කොන්ස් පැවසීය.

 

තන්ත්‍රයානික ධර්මයේ වර්ධනය අවසානයේ "විශ්වයේ අද්භූත ශක්තීන් සහ අධ්‍යාත්මික බලවේග පිළිබඳ උපකල්පනවල ව්‍යාකූලත්වයට" හේතු වූ බව කොන්ස් තවදුරටත් පැවසීය.

 

එතැන් සිට "පුළුල් ලෙස වර්ධනය වුණු නමුත් අපැහැදිලි වුණු බුදු දහම සම්බන්ධ විවිධ සම්ප්‍රදායන්වලට අර්ථයක් ගෙන ඒමේ අරමුණින්" වජ්‍රයාන ගුරුකුලය බිහි විය.

වජ්‍රයාන ආදි-බුද්ධ හෙවත් පළමු බුද්ධ සංකල්පය හඳුන්වා දුන්නේ ය.

 

ගෞතම බුද්ධ යුගයට පෙර ලොව පහළ වූ තවත් බුදුවරුන් සිටි බවට විශ්වාස කෙරේ. වජ්‍රයාන කණ්ඩායමට අනුව, ඒ සියල්ල ආරම්භ වූයේ ආදි-බුදුන්ගෙනි.

Indonisian Buddhist 15


ආදි-බුදුන්ව දකින්නේ "මේ වන විටත් පළමු තැන පවතින, සම්භවයක් නැති, තමා නිසා ම පවතින, නිවනේ සිටින නිසා කිසි දා නොපෙනෙන", අයෙකු ලෙස බව වරක් යෝග්‍යාකර්තාහි Duta Wacana Theological Collegeහි ප්‍රධානියා වූ වූ දේවධර්මාචාර්ය හරුන් හැඩිවිජොනෝ ඔහුගේ Hinduism and Buddhism (1989) යන ග්‍රන්ථයේ පැවසීය.

"ආදි-බුදුන්ගේ හරය නිර්මල ආලෝකය යි. එය ශූන්‍යත්වයෙන්, හිස්බවෙන් හටගනී," හරුන් පැවසීය.

පස් ආකාරයක ධ්‍යාන වැඩීම් තුළින් ආදි-බුදුන්ට පංච තථාගතයාණන් වහන්සේලා හෝ බුදුවරුන් පස්නමක් අවධි කර ගත හැකි බවට විශ්වාස කෙරේ.

වජ්‍රයාන භික්ෂූහු පසුව සියලු ම "විශ්වීය බලවේග" එක් එක් තථාගතයන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන කණ්ඩායම් පහකට බෙදූහ.

විශ්වයේ සියලු ම බලවේග සහ කරුණු මෙම කණ්ඩායම් පහට සම්බන්ධ කිරීම සඳහා "සංකීර්ණ හා පැටලිලිසහගත" පද්ධතියක් පසුව නිර්මාණය කරන ලද බව කොන්ස් පැවසීය.

 

"වජ්‍රයාන ඉගැන්වීම්වල සැබෑ අරුත නිශ්චය කිරීම සැමවිට ම පහසු කාර්යයක් නොවෙයි" යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

 

මොක ද මෙහිදී උන්වහන්සේට උන්වහන්සේගේ ඉහළ ම ස්වරූපය පහත් ම ස්වරූපය තුළ සඟවා ගන්න පුළුවන්, විමුක්තිය ළඟා කර ගත්ත කෙනා සාමාන්‍ය කෙනෙක් විදිහට පේන්නේ, නිවන ළඟා කර ගත්ත කෙනා වඩා ත් ම මහ පොළොවේ ජීවත් වෙන කෙනා වෙනවා, සහ ප්‍රඥාව තියෙන්නේ එකිනෙකට පරස්පර අමුතු තැන්වල."

 

රාජධානි යුගයේ බෞද්ධයින්

කුඩා කාලයේ මගේ ප්‍රධාන විනෝදාස්වාදය වූයේ 'Journey to the West' ටෙලි නාට්‍යය නැරඹීම ය.

හොං කොං වෙතින් ලද මෙම ටෙලි නාට්‍යය ප්‍රථම වරට ඉන්දුනීසියාවේ විකාශය කෙරුණේ 1997 වසරේදී ය. කෙසේ වෙතත්, මට මතක පරිදි, මම ප්‍රාථමික පාසලේ සිටියදී 2000 දශකයේ මුල් භාගයේදී පවා එහි නැවත විකාශනයන් උනන්දුවෙන් යුතුව නැරඹුවෙමි.

රාත්‍රී ආහාර ගන්නා වේලාවට එය විකාශය වූ අවස්ථාවන්හිදී නිරායාසයෙන් ම මම රූපවාහිනිය ඉදිරිපිට අසුන් ගෙන, ටොං සෑම් කොං භික්ෂුව බටහිර දෙසට උන්වහන්සේගේ ගෝලයන් තිදෙනා වන සන් ගෝ කොං, චූ පැට් කායි සහ ෂා වූ චිං සමග ශුද්ධ වූ පොත් සොයා යන සංකීර්ණ ගමන තුළ ගිලී එය නැරඹුවෙමි.

ඊට පසු දා පාසලේදී, මා මගේ පන්තියේ මිතුරන් සමග විකාශය වුණු කොටස් ගැන කතාබහ කළේ, නපුරු බලවේග පරාජය කිරීමට ගෝ කොං දක්වන දක්ෂතාව ගැන අගය කරමින් හෝ පැට් කායිගේ අහංකාර හා අලස හැසිරීම්වලට සිනාසෙමිනි.

සන් ගෝ කොං සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය කර ඇති බව ත්, ටොං සෑම් කොං භික්ෂුව සැබවින් ම ශුද්ධ වූ

පොත්පත් සොයමින් බටහිර දෙසට ගමන් කළ බව ත් මගේ පියා මට පැවසූ විට මම තවත් පුදුමයට පත් වුණෙමි.

මනඃකල්පිත වන්නේ, ඇත්ත වශයෙන් ම, ගෝලයින් තිදෙනා සහ ඔවුන්ට මගදී හමු වන නපුරු බලවේගයන් ය.

"ටොං සෑම් කොං භික්ෂුවගේ ගමන පුරාවට ම නිතර මතුවන මානුෂීය ගුණාංග ගෝලයන් තිදෙනාගෙන් සංකේතවත් කරනවා," මගේ පියා පැවසීය.


Indonisian Buddhist 14ටොං සෑම් කොන්ග් භික්ෂු ප්‍රතිමාව


හුදෙක් විනෝදය සඳහා ඉන්ටර්නෙට්හි මම මේ පිළිබඳව යම්තාක් දුරකට සෙවුවෙමි. සත්‍ය වශයෙන් ම, විවිධ මාර්ගගත ෆෝරම්වල මෙන් ම ශාස්ත්‍රීය ලිපි කිහිපයක ම සිටි බොහෝ පරිශීලකයින්, 'Journey to the West' පිළිබඳව සාකච්ඡා කළේ, එය මිනිස් ජීවිතය සහ බෞද්ධ ඉගැන්වීම්වල විවිධ වටිනාකම් ගැන කියැවෙන උපදේශාත්මක කතාවක් ලෙස ය.

නිදසුනක් වශයෙන්, ඇතැමෙකු පවසන්නේ, ගෝ කොං, පැට් කායි සහ වූ චිං දුකට ප්‍රධාන වශයෙන් හේතු වන ද්වේෂය, රාගය සහ මෝහය යන ත්‍රිත්වය සංකේතවත් කරන බව ය.

මෙම ටෙලි නාට්‍යය එම නමින් ම වූ චෙං'එන් විසින් රචිත ජනප්‍රවාදගත නවකතාවේ අනුවර්තනයක් වේ. එය චීන භික්ෂුවක් වන හියුංසාං හිමි ඍජුව ම බෞද්ධ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමට එය බිහි වූ ඉන්දියාවට ගිය ගමනෙන් ආභාෂය ලබා තිබේ.

හියුංසාං හිමි 629 වසරේදී චීනයෙන් පිටත් වී 631 වසරේදී කාශ්මීරයට වැඩම කළහ. 633 වසරේදී ගංගා නදියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි බෞද්ධයන්ගේ පූජනීය භූමියට වැඩම කිරීමට පෙර උන්වහන්සේ එහි වූ භික්ෂූන් සමග ඉගෙනුම් කටයුතුවලට සම්බන්ධ වූ බව කියනු ලැබේ.

ඉන්දියාවේ පිහිටා ඇති බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ පූජනීය ස්ථාන නැරඹීමට අමතරව, උන්වහන්සේ පුරාණ බෞද්ධ ඉගෙනීමේ මධ්‍යස්ථානය වන නාලන්දාවේ බොහෝ කාලයක් ගත කළහ.

Indonisian Buddhist 13ඉන්දියාවේ පැරණි බෞද්ධ ඉගෙනුම් මධ්‍යස්ථානය වූ නාලන්දාවේ නටබුන්

 


643දී හියුංසාං හිමි ඉන්දියාව හැර ගොස් වසර දෙකකට පසුව නැවත චීනයට වැඩම කළහ. උන්වහන්සේ ආපසු වැඩ ම කළේ, සංස්කෘත භාෂාවෙන් ලියැවුණු පූජනීය බෞද්ධ ග්‍රන්ථ 657ක් සහ ධාතු 150ක් සමග ය. ඒ සියල්ල පෙට්ටගම් 520ක අසුරා අශ්වයින් 20 දෙනෙකු විසින් ගෙන යනු ලැබිණි.

664දී හියුංසාං හිමි අපවත්වන තුරු ම උන්වහන්සේට එම ග්‍රන්ථ 657න් පරිවර්තනය කිරීමට හැකි වූයේ 75ක් "පමණි". කෙසේ වෙතත්, එයට වැදගත් මහායාන බෞද්ධ ග්‍රන්ථ කිහිපයක් ඇතුළත් වේ.

හියුංසාං හිමි මහායානයේ ගුරුකුලයක් වන යෝගාචාර දර්ශනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ බව කියනු ලැබේ.

 

පොදුවේ ගත් කල, පර්යේෂකයන් ගණන් බලා ඇත්තේ, පළමු සියවසේදී පමණ බුදු දහම චීනයට ඇතුළු වූ බව ය.

කෙසේ වෙතත්, බෞද්ධ විද්වතෙකු වන එඩ්වඩ් කොන්ස් පැවසුවේ, මෙම ඉගැන්වීම මධ්‍යම ආසියාව හරහා ක්‍රිස්තු පූර්ව 70 සහ 50 අතර චීනයට ගෙන ආ බව ය.

එසේ වුව ද, බු දු දහම - විශේෂයෙන් ම මහායාන සම්ප්‍රදාය - චීනයේ වේගයෙන් වර්ධනය වූයේ තුන්වන සියවසේ හන් රාජවංශයේ බිඳවැටීමෙන් පසුව ය.

 

"වසර 500 පමණ වන විට චීනය පුරා ම බුදු දහම ක්‍රමයෙන් වර්ධනය වුණු අතර, අසංඛ්‍යාත ආරාම ගණනක් සහ භික්ෂූන් වහන්සේලා සඳහා කැටයම් කරන ලද ලෙන් හදමින් එය ශීඝ්‍ර දියුණුවක පැවතිණි," කොන්ස් පැවසීය.

චීනයේ බුදු දහම වර්ධනය වීම සහ ලාඕ ට්සුගේ තාඕවාදයේ පිබිදීම සිදු වූයේ එක ම කාලයේදී ය.

 

Indonisian Buddhist 12තාඕවාදී අනුගාමිකයින් තායිවානයේ චාරිත්‍ර පවත්වන අයුරු


"පස්වන සියවස දක්වා ම බොහෝ තාඕවාදීන් බුදු දහම තාඕවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තවත් එක් ක්‍රමයක් ලෙස සැලකුවා," කොන්ස් පැවසීය.

බෞද්ධ ඉගැන්වීම් කොන්ෆියුසියස්වාදයේ අනුගාමිකයින්ට ද පිළිගත හැකි ය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම ඉගැන්වීම් තුන එකිනෙක බැඳී පවතින අතර චීන සමාජයේ ජීවිත හැඩගැස්වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

645දී පූජනීය බෞද්ධ ග්‍රන්ථ සිය ගණනක් රැගෙන ආ හියුංසාං හිමි ඉන්දියාවෙන් ආපසු පැමිණීම, චීනයේ බුදු දහමේ දියුණුව තවදුරටත් දිරිමත් කළේ ය.

500-800 කාලය තුළ, මධ්‍යමිකා, යෝගාචාර සහ වජ්‍රයාන උප සම්ප්‍රදායේ දේශීය ගුරුකුල ඇසුරෙන්, අවම වශයෙන් බුදු දහමට සම්බන්ධ ගුරුකුල අටක් චීනයේ බිහි විය.

චීනය හරහා මහායාන බුදු දහම පසුව කොරියාවට සහ ජපානයට ව්‍යාප්ත විය.

අනෙක් අතට, බුදු දහමේ මුල් ඉගැන්වීමක් වන ථෙරවාදය ක්‍රිස්තුස් වහන්සේගේ උපතට බොහෝ කලකට පෙර නේපාලය, කාශ්මීරය සහ ශ්‍රී ලංකාව දක්වා ව්‍යාප්ත විය.

ඉන්දුනීසියාව ඇතුළු අග්නිදිග ආසියාතික රටවලට බුදු දහම ඇතුළු වූයේ, හින්දු බලපෑම්වලින් පසුව බව කොන්ස් පැවසීය. එම කාලය තුළ හින්දූන්ගේ වෙළෙඳ මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පමණක් නොව ඔවුන්ගේ වන්දනා ක්‍රම සහ සංස්කෘතිය ද ගෙන එන ලද බව කොන්ස් පැවසීය.

හත්වන සියවසේ ඉන්දියාවට වැඩම කරමින් සිටියදී සුමාත්‍රාහි නතර වූ චීනයේ භික්ෂුවක වන යී චිං ගේ සටහන්වලට අනුව, එකල ථෙරවාද බුදු දහම ශ්‍රීවිජය රාජධානියේ ආධිපත්‍යය දැරීය.

නාලන්දාවට නොඅඩු බෞද්ධ පාසලක් ද, ඉන්දියාවේ මෙන් ම ඉගැන්වීම් හා කාර්යයන්හි නිරත වූ භික්ෂූන් වහන්සේලා 1000කට අධික සංඛ්‍යාවක් එහි වැඩ වාසය කළ බව ද එහි සඳහන් වේ.

කෙසේ වෙතත්, ශ්‍රීවිජය රාජධානිය තුළ මහායාන අනුගාමිකයින් කිහිප දෙනෙක් ද සිටිති. සත්‍ය වශයෙන් ම, වජ්‍රයාන සම්ප්‍රදාය ද එහි පවතින බවට සලකුණු ඇති බව දේවධර්මාචාර්ය හරුන් හැඩිවිජොනෝ පැවසීය.

පාලෙම්බන්ග් අවටින් හමුවූ ශිලා ලේඛන කිහිපයක සඳහන් වූ කරුණු අනුව පෙනී යන පරිදි, හරුන් පැවසුවේ, ශ්‍රීවිජය රාජධානිය තුළ මහායාන බලපෑම ශක්තිමත් වී ඇත්තේ මෑතකදී ය.

මධ්‍යම ජාවාහි, සයිලේන්ද්‍ර රාජවංශයට අයත් මෙඩං රාජධානියේ (මාතරම් රාජධානියේ) රජවරුන් සහ ජනතාව මහායාන බෞද්ධයන් යැයි කියනු ලැබේ.

එක් සාක්ෂියක් නම්, බොරෝබුදුර් විහාරයේ ඇති ප්‍රතිමා සමහරක් මහායාන සම්ප්‍රදාය අනුව නිර්මාණය වීමයි. මෙම විහාරය වසර 800 ගණන්වල සයිලේන්ද්‍ර රාජවංශයේ සමරතුංග රජුගේ පාලන සමයේදී ගොඩනගන ලද්දක් බව දන ගැනීම වටී.

Indonisian Buddhist 11මධ්‍යම ජාවා හි බොරෝබුදුර් විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව

 

මේ අතර, හරුන් සඳහන් කළේ, 13 සිට 16 වන සියවස දක්වා මජාපාහිත් රාජධානියේ යුගයේදී "සමමුහුර්තවාදය එහි උච්චතම අවස්ථාවට පැමිණි" බව ය.

"ඉන් පෙනී යන්නේ ශිව, විෂ්ණු සහ මහායාන බුදු දහම යනුවෙන් සහජීවනයෙන් හා සාමයෙන් එකට ජීවත්වන චින්තන ගුරුකුල තුනක් ඇති බව යි," හරුන් පැවසීය.

"ඒ කියන්නේ සාමාන්‍යයෙන්, මිනිස්සු තවමත් ආගම් තුනට අදාළ වන නමස්කාර ක්‍රම, ජීවන රටාවන් සහ විධි ක්‍රම පවත්වාගෙන යනවා."

කොන්ස් මෙම පිළිවෙත දකින්නේ, තන්ත්‍රයානික හෝ වජ්‍රයාන-නැඹුරු බුදු දහමේ "ආන්තික ස්වරූපයක්" ලෙස ය.

 

කෙසේ වෙතත්, 14 වන සහ 15 වන සියවස්වල හින්දු-බෞද්ධ රාජධානියේ බිඳවැටීමත් සමග බුදු දහම අතුරුදහන් වී යාම සිදු විය. ඉන්දුනීසියාව තුළ ඉස්ලාම් ආගම වර්ධනය වීම ඊට එක් හේතුවක් විය.

 

නිදහසින් පසු බුදු දහම

20 වන සියවසේ මුල් දශකවලදී, ලන්දේසීන් ඉන්දුනීසියාව යටත් විජිතයක් බවට පත් කරගෙන සිටි අවධියේ, බොහෝ බෞද්ධයන් චීන සම්භවයක් ඇති අය වූ අතර ඔවුහු බොහෝ විට මහායාන බුදු දහම, තාඕවාදය සහ කොන්ෆියුසියස්වාදයේ අංග මිශ්‍ර වූ පන්සල් වන්දනා කළහ.

චීන සම්භවයක් ඇති ජනයා මෙම ඉගැන්වීම් ත්‍රිත්වය ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන්නක් ලෙස සැලකූහ.

කෙසේ වෙතත්, එකල ධර්ම දේශන හෝ ආගමික ඉගැන්වීම් සිදු නොවුණු අතර, විහාරස්ථානවල වැඩ සිටි චීන භික්ෂූන් වහන්සේලා අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කිරීමෙහි ලා වැඩි වශයෙන් සම්බන්ධ වූ "චාරිත්‍ර විශේෂඥයින්" යැයි පැවසිය හැකි බව ජැක් මැන්ග්-ටැට් චියා විසින් සිය Kiprah Para Mahabhiksu (2022) නම් ග්‍රන්ථයේ සඳහන් කර ඇත.

අනෙක් අතට, යටත්විජිත යුගයේ එවැන්ජලිස්තවරුන්ගේ පැමිණීමත් සමග වැඩි වැඩියෙන් බෞද්ධයන් ආගම වෙනස් කරනු ඇතැයි යන කනස්සල්ල ඇති විය.

මේ හේතුවෙන්, දැන් ඉන්දුනීසියානු ත්‍රිධර්මයේ පියා ලෙස හඳුන්වනු ලබන වෙළෙන්දෙකු සහ ලේඛකයෙකු වන ක්වී ටෙක් හෝයි චීන සම්භවයක් ඇති ජනතාව තම මුතුන් මිත්තන්ගේ ඉගැන්වීම් තුන අඛණ්ඩව ආරක්ෂා කිරීම සහතික කිරීමට සටන් කළේ ය.

ඔහු 1932 වසරේ සිට බෞද්ධ ඉගැන්වීම් නිතිපතා සාකච්ඡා කළ 'Moestika Dharma' සඟරාව ප්‍රකාශයට පත් කළ අතර විහාරස්ථාන, වැඳුම් පිදුම් කරන ස්ථාන පමණක් නොව බුදු දහම ඉගෙන ගත හැකි ස්ථාන බවට පත් කිරීමට දිරිමත් කළේ ය.

1934 වසරේදී, ක්වී විසින් ත්‍රිධර්මයේ අනුගාමිකයින්ට උපකාර කිරීම සඳහා සම් කව් හ්වී (ආගම් තුනේ සංගමය) පිහිටුවන ලදී.

එම වසරේ ම ශ්‍රී ලාංකික භික්ෂුවක වන නාරද මහා ස්ථවිරයන් වහන්සේ ඉන්දුනීසියාවට වැඩම කරවීම ද ඔහු විසින් සංවිධානය කෙරිණි.

මෙය වැදගත් වන්නේ, වසර 500කට පසු ජාවා වෙත පැමිණි පළමු ථෙරවාදී භික්ෂුව නාරද මහා ස්ථවිරයන් වහන්සේ වීම හේතුවෙනි.

උන්වහන්සේගේ සති තුනක සංචාරය අතරතුර, නාරද හිමි බොරෝබුදුර් විහාරස්ථානයට ගොස් දේශන පැවැත්වූ අතර ජාවා දූපතේ විවිධ ප්‍රදේශවල විහාරස්ථාන සහ දේවධර්ම සංගම් සමග සහයෝගයෙන් කටයුතු කළහ.

Indonisian Buddhist 10බොරෝබුදුර් විහාර සංකීර්ණය


කෙසේ වෙතත්, බුදු දහමේ පුනර්ජීවනය සඳහා හැරවුම් ලක්ෂ්‍යය සිදු වූයේ නිදහසින් පසු ය. ටී බෝන් අන් එහි පුරෝගාමියා විය.

ටී මුල් වරට බුදු දහමට නිරාවරණය වූයේ චීන විහාරස්ථානවලදී වන අතර ඒවායේ ඉගැන්වූ ධර්මය පිළිබඳව දේවධර්ම සංගම්වල සිදු වූ විවිධ සාකච්ඡාවලින් ඉගෙන ගත්තේ ය.

ජපන් ආක්‍රමණය අවසන් වූ පසු, ටී නෙදර්ලන්තයේ ග්‍රොනින්ගන් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව හැදෑරීය.

ඔහු එහි ගත කළ වසර පහ තුළ බුදු දහම කෙරෙහි ඔහු තුළ වූ උනන්දුව තවත් වැඩි විය. එබැවින්, ඔහු තම අධ්‍යාත්මික මග යාම සඳහා අධ්‍යයන කටයුතු නතර කර 1951දී ඉන්දුනීසියාවට ආපසු යාමට තීරණය කළේ ය.

ඉන්දුනීසියාවට පැමිණි පසු ඔහු චීන ප්‍රජාවට බෞද්ධ ඉගැන්වීම් ඉගෙන ගැනීමට හැකි වන පරිදි විහාරස්ථානවල විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කළේ ය.

1953 මැයි 22 දින ඔහු බොරෝබුදුර් විහාරස්ථානයේ ජාතික වෙසක් උත්සවයක් පැවැත්වූ අතර එයට බෞද්ධයන් 3000ක් පමණ සහභාගී වූහ.

මෙය ඉතිහාසගත සිදුවීමක් වූයේ, එය මජාපාහිත් යුගයෙන් පසු බොරෝබුදුර්හි පැවති පළමු වෙසක් උත්සවය වූ බැවිනි.

Indonisian Buddhist 9


ටී පසුව මහායාන භික්ෂූන්ගේ මගපෙන්වීම යටතේ ආධුනික භික්ෂුවක බවට පත් විය.

මුලදී, ඔහු චීනයේ පැවිදි වීමට අදහස් කළේ ය. කෙසේ වෙතත්, ඔහුට එහි යාමට අපහසු විය. ඇතැම් විට ඒ චීනය 1949 වසරේදී මහජන චීන සමූහාණ්ඩුව ලෙස ප්‍රකාශයට පත් කළ දා සිට පැවති ආගමික කණ්ඩායම්වලට වූ සීමා කිරීම් නිසා විය හැකි ය.

මහායාන පැවිද්ද ලබා ගැනීම දුෂ්කර වූ නිසා ටී ථෙරවාද සම්ප්‍රදාය ඇති වෙනත් රටවල විකල්ප සෙව්වේ ය.

ඔහු 1953 දෙසැම්බර් මාසයේදී මියන්මාරයට යාමට තීරණය කළේ ය. එහිදී, ටී, අෂින් ජිනරක්ඛිත නමින් ථෙරවාදී භික්ෂුවක ලෙස පැවිදි වන තෙක් පුහුණුව ලැබීය.

මජාපාහිත් යුගයෙන් පසු ඉන්දුනීසියාවෙන් බිහි වූ පළමු භික්ෂුව බවට ද ඔහු නිල වශයෙන් පත්විය.

1955 වසරේදී ඉන්දුනීසියාවට ආපසු වැඩම කිරීමෙන් පසු, අෂින් හිමි වසර දෙකක කාලයක් පුරා ඉන්දුනීසියාව වටා සංචාරය කළේ බෞද්ධ ඉගැන්වීම්, විශේෂයෙන් චීන සම්භවයකින් තොර ප්‍රජාවන් වෙත ප්‍රචාරය කිරීමට ය. ඔහුට අවශ්‍ය වූයේ බුදු දහම සෑම කෙනෙකුට ම ළඟා කර වීම ය.

Indonisian Buddhist 8


ඒ කාලයේදී ම, අෂින් හිමි බුද්ධායන සම්ප්‍රදාය ආරම්භ කළේ, ඉන්දුනීසියාවේ බහුවිධ සංස්කෘතියට සහ භාෂාවට ගැළපෙන "ඉන්දුනීසියානු බුදු දහමක්" ප්‍රවර්ධනය කිරීමේ දැක්ම ඇතිවය.

 

බුද්ධායන, එනම් "බුදුන්ගේ වාහනය" යන්න, සියලු සම්ප්‍රදායන් ඇතුළත් බෞද්ධ ප්‍රඥාවේ හරය රැගෙන යන බව කියනු ලැබේ.

"අෂින් ජිනරක්ඛිත හිමි නිකායික බුදු දහම 'පරිශුද්ධ' බුදු දහමක් ලෙස සලකන මත විවේචනය කළා," චියා සිය ග්‍රන්ථයේ සඳහන් කර ඇත.

"[බුද්ධායන] බෞද්ධයන්ට මහායාන, ථෙරවාද සහ වජ්‍රයාන බුදු දහමේ ප්‍රතිපත්ති සහ භාවිතයන් අතරින් තෝරා ගැනීම් සිදු නොකර ඒවා ගවේෂණය කිරීමට අවස්ථාව ලබා දෙනවා."

 

ප්‍රායෝගිකව, අෂින් හිමි අවධාරණය කළේ, බෞද්ධයන් එක් ගුරුකුලයක පිළිවෙත් කෙරෙහි පමණක් අවධානය යොමු නොකළ යුතු බව ත් අනෙක් පිළිවෙත් වැරදි ලෙස නොසැලකිය යුතු බව ත් ය.

Indonisian Buddhist 7


1980 ගණන්වල උන්වහන්සේ ථෙරවාදී පන්නයේ සිවුරු පළඳිමින් මහළු මහායාන භික්ෂුවකගේ පෙනුම ගැනීමට රැවුල පවා වැවූහ.

බුද්ධායන සම්ප්‍රදාය වර්ධනය වන්නට විය. ඉන්දුනීසියාවේ නවක භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා දැනුමින් පෝෂණය කිරීමට සහ ක්‍රියාශ්‍රීලී බෞද්ධ ප්‍රජාවක් ගොඩනැගීමට අෂින් හිමි සමත් වූහ.

 

එමෙන් ම, බුදු දහමේ ප්‍රතිරූපය තවදුරටත් චීන සම්භවයක් ඇති ජනයාගේ ආගමක් ලෙස නොපෙනෙන ලෙස වෙනස් කිරීමට ද උන් වහන්සේ සමත් වූහ.

"උන්වහන්සේ නව ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එය චීන ආගමේ සිට බහු වාර්ගික ආගමකට - චීන සහ ස්වදේශිකයන් සඳහා - නූතන ජාතික රාජ්‍යයක් තුළ බුදු දහමේ ප්‍රතිරූපය වෙනස් කළා," චියා පැවසීය.

 

1965 පමණ වන තෙක් සියල්ල හොඳින් පවතින බවක් පෙනිණි.

 

අභ්‍යන්තර බෙදීම් සහ මහා ක්‍රිස්තියානිකරණය

කලකට පෙර ඉන්දුනීසියාවේ කොමියුනිස්ට් පක්ෂය යුගයේදී, අදේවවාදය ප්‍රවර්ධනය කිරීම වැඩිහිටියන් පමණක් නොව දරුවන් ද ඉලක්ක කර ගත්තේ ය. ළදරු පාසල්වල දරුවන් පවා එවැනි අදහස්වලින් විෂ ගැන්වීය.

නිදසුනක් වශයෙන්, ගුරුවරියක් තම සිසුන්ට දෙවියන්ගෙන් රසකැවිලි ඉල්ලා සිටීමට උගන්වයි.

ගුරුවරිය කී මග යමින් දරුවෝ එක්ව දෑස් පියාගෙන දෑත් ඔසවමින් "අනේ දෙවියනේ අපිට රසකැවිලි දෙන්න," යැයි පවසති.

එවිට ගුරුවරිය "දැන් ඇස් අරින්න. ඔබේ අතේ රසකැවිලි තිබේ ද?" අසයි.

"නෑ මිස්" යනුවෙන් දරුවන් පිළිතුරු දෙති.

එවිට ගුරුවරිය ද පිළිතුරු දෙමින්, "ඇත්ත වශයෙන් ම නැහැ. ඒ කියන්නේ දෙවියෝ කියලා කෙනෙක් නැහැ," යනුවෙන් පවසයි.

මෙය බුදියවන් 1970 ගණන්වල ප්‍රාථමික පාසලේ සිට උසස් පාසල දක්වා ඔහුගේ ගුරුවරුන්ගෙන් බොහෝ විට පාසලේදී අසා ඇති ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය ආගම් විරෝධී යැයි ලේබල් කරන ලද කතා කිහිපයෙන් එකකි.

එහි සම්පූර්ණ කතාව 'Breaking the Inheritance of Memories: Anti-Communist Discourse and Post-Soeharto Reconciliation Politics (2004)' කෘතියේ ඇතැයි ඔහු පැවසීය.

සාමාන්‍යයෙන් ආගමික ගුරුවරුන් සහ පංචශීල සදාචාර අධ්‍යාපනය (PMP) විෂය උගන්වන ගුවරුන් මෙම කතා රෝපණය කිරීමේ මාධ්‍යය වේ.

එපමණක් නොව, ගුරුවරු බොහෝ විට එය ජාතික උත්සවලදී, ආගමික නිවාඩු හෝ විශේෂයෙන් සෑම ඔක්තෝබර් 1 දිනක ම පංචශීලයේ "පාරිශුද්ධත්වය" සිහිපත් කරන ජාතික නිවාඩු දිනවල සිදු කරති.

Indonisian Buddhist 6

1965 දී ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් සහ හිතවාදීන් විසින් සමූහ වශයෙන් ඝාතන සිදු කිරීමේ සිද්ධිවල සාක්ෂිකරුවෙකු වන සුකාර්, 2016 මැයි 3 වන දින මධ්‍යම ජාවා හි සෙමරන්ග් හි වින්දිතයින්ගේ සොහොන් යැයි විශ්වාස කෙරෙන සොහොන් කොත් අසල සිටින අයුරු


1965 සැප්තැම්බර් මස අගදී හමුදා ජෙනරල්වරුන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ මහ මොළකරු බවට චෝදනා එල්ල වූ ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය, "එක් සර්වබලධාරී දෙවියෙකු කෙරෙහි විශ්වාසය තැබීම" යන පංචශීලයේ පළමු මූලධර්මය (විශේෂයෙන්) අවලංගු කිරීමට උත්සහ කරන බවට සලකනු ලැබීය. මෙම ක්‍රියාව ඉන්දුනීසියානු ජාතියේ ස්වභාවයට පටහැනි ලෙස සැලකේ.

සුහර්තෝගේ ආණ්ඩුව "එක් දෙවියෙකු කෙරෙහි විශ්වාසය" තැබීමේ වැදගත්කම අවධාරණය කළ අතර කොමියුනිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමට ආගම මෙවලමක් ලෙස භාවිත කළේ ය.

මෙම ප්‍රතිපත්තියට ප්‍රතිචාර වශයෙන් අෂින් ජිනරක්ඛිත භික්‍ෂුව සිය බුද්ධායන ව්‍යාපාරය තුළ සං හියං ආදි-බුද්ධ සංකල්පය හඳුන්වා දෙන ලදී.

චියා සිය ග්‍රන්ථයේ "ආරම්භයක් නොමැති බුදු රජාණන් වහන්සේ" ලෙස පරිවර්තනය කරන සං හියං ආදි-බුද්ධ, එක ම දෙවියන් යන සංකල්පයේ බෞද්ධ අනුවාදය ලෙස ඉදිරිපත් කරයි.

මෙම සංකල්පය නැගෙනහිර ජාවාහි මෙඩං රාජධානියේ (මාතරම් රාජධානියේ) පළමු රජු වූ අම්පූ සින්ඩොක්ගේ පාලන සමයේදී එනම්, 10 වන සියවසේදී ලියැවුණු ග්‍රන්ථයකින් ආරම්භ වූ බව අෂින් භික්ෂුව අවධාරණය කළේ ය.

 

"බුදු දහම සහ සං හියං ආදි-බුද්ධ සංකල්පය දිගු කලක් පුරා ඉන්දුනීසියානු ඉතිහාසයේ කොටසක් වී තිබුණු බව තහවුරු කරන්න අෂින් ජිනරක්ඛිත හිමි ඓතිහාසික තහවුරු කිරීම් මත විශ්වාසය තබනවා," චියා පැවසීය.

 

සුහර්තෝ රජයට මෙම අදහස පිළිගත හැකි නමුත් සියලු ම බුද්ධායන අනුගාමිකයෝ ඊට එකඟ නොවූහ.

චියා පැහැදිලි කළ පරිදි, බුද්ධායන සමූහයේ සිටි ථෙරවාදී භික්ෂූන් කිහිප දෙනෙකු අෂින් හිමි සැලකුවේ "බුද්ධ-ධර්මයේ සත්‍ය ඉගැන්වීම්වලින් බැහැරව" සිටින භික්ෂුවක ලෙස ය.

Indonisian Buddhist 5බුද්ධායන ව්‍යාපාරයට අනුබද්ධ ඉන්දුනීසියාවේ (සාගින්) මහා සංඝරත්නයේ ථෙරවාදී භික්ෂුවක් වන ධීරපන්නෝ බෞද්ධයන් පිරිසක් සමඟ


ශ්‍රී ලංකාවේ නාරද මහා ස්ථවිරයන් වහන්සේ අෂින් හිමිගේ ශිෂ්‍යයෙකුට ලිපියක් පවා යවා, "කරුණාකර ඔබේ ගුරුවරයාට බුදු දහමේ දෙවියෙකු නොමැති බව කියන්න," යැයි පැවසූහ.

පොදුවේ ගත් කල, බුදු දහමේ දේවත්වය පිළිබඳ සංකල්පය විශ්වයේ නිර්මාතෘ ලෙස සර්වබලධාරී චරිතයක් විශ්වාස කරන ස්වර්ගීය සැපතක් අපේක්ෂා කරන ආගම්වලට වඩා වෙනස් ය.

 

ඉතා සරලව කිවහොත් බුදු දහමේ දේවත්වය යනු, පුද්ගලකරණය නොවූ නිවන ම වේ.

සං හියං ආදි-බුද්ධ සංකල්පය දේශපාලන බලපෑම් මත සහ සුහර්තෝගේ යුගයේ බුදු දහමේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමට අවශ්‍ය යැයි හැඟී බිහි වුණ ද අවසානයේ එය අභ්‍යන්තර බෙදීම් ඇති කිරීමට හේතු විය.

 

ථෙරවාදී සහ මහායාන සම්ප්‍රදායන්ට අයත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් බුද්ධායනය විසින් පිහිටුවන ලද සංඝ සමාජයෙන් ඉවත් වී තම තමන්ගේ ම සංඝ සමාජයක් පිහිටුවීමට තීරණය කළහ.

අනෙක් අතට, ඉන්දුනීසියාවේ චීන සම්භවයක් ඇති පුරවැසියන් තවමත් තම මව් රට සමග සබඳතා පවත්වන බවට ත්, කොමියුනිස්ට ව්‍යාපාරයට සම්බන්ධ බවට ත් ඇති වූ සැකය නිසා සුහර්තෝගේ රජය ද ඔවුන් එරට මහ ජාතියට අන්තර්ග්‍රහණය කර ගැනීමේ ප්‍රතිපත්ති මාලාවක් නිකුත් කළේ ය.

එම ප්‍රතිපත්තිය හරහා චීන නම් භාවිතය, භාෂාව සහ එය භාවිත කර ලිවීම තහනම් කරයි. චීන ආගමික ක්‍රියාකාරකම්, විශ්වාසයන් සහ සිරිත් විරිත් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළ නොහැක. චීනයේ මාධ්‍ය, දේශපාලන හා සමාජ සංවිධාන සහ පාසල් ද විසුරුවා හැරිණි.

සියලු ම පුරවැසියන් ඉන්දුනීසියාවේ නිල ආගම් පහෙන් එකක් තෝරා ගැනීම රජයේ අවශ්‍යතාවයි.

සත්‍ය වශයෙන් ම, මීට පෙර විධිමත් ලෙස ආගම වැළඳ නොගත් චීන සම්භවයක් ඇති ඇතැම් අය අවසානයේ බෞද්ධ වීමට තීරණය කළහ.

කෙසේ වෙතත්, චීන සම්භවයක් ඇති බොහෝ ජනයා තමා බුදු දහම හෝ කොන්ෆියුසියස්වාදය වැළඳගතහොත් තමන් චීනයට හෝ කොමියුනිස්ට්වාදයට සම්බන්ධ යැයි රජය සිතනු ඇතැයි බියෙන් ක්‍රිස්තියානීන් වීමට තීරණය කර ඇතැයි කියනු ලබන බව ජර්සන් බෙනියා නාර්චිසෝ සිය Christianization in New Order Indonesia (1965-1998) නම් අධ්‍යයනයේ ලියා ඇත.

චීන ජනතාව පමණක් නොව, ජාවා දූපත් ජනතාව ද, විශේෂයෙන් ම කොමියුනිස්ට් පක්ෂයට සහය දැක්වූ බහුතරයක් රෙපරමාදු හෝ කතෝලික දහම වැළඳ ගැනීමට රොක් වූ බව ආමොස් සුකම්ටෝගේ Tensions Between Religious Groups during the Old Order to the Beginning of the New Order (2013) නමැති අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව පෙනී යයි.

Indonisian Buddhist 4ජාවාහි ක්‍රිස්තියානි ප්‍රජාව 2012 මැයි මාසයේදී නැගෙනහිර ජාවා හි ජාවි වෙටන් ක්‍රිස්තියානි දේවස්ථානයේදී


1966-1971 කාලපරිච්ඡේදය තුළ මිලියන 2කට වැඩි ජාවා දූපත් වැසියන් පිරිසක් කිතුනුවන් බවට පත් වූ බව නාර්චිසෝ සඳහන් කළේ ය.

"1965න් පසු, මධ්‍යම ජාවාහි, සමහර විට කතෝලිකයන් ලෙස බව්තීස්ම වීමට පෝලිමේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව පල්ලියේ සාමාජික සංඛ්‍යාවටත් වඩා වැඩි වුණා" නාර්චිසෝ ලිවීය.

ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ දත්තවලට අනුව, රෙපරමාදු සහ කතෝලික ක්‍රිස්තියානීන් සංඛ්‍යාව 1971දී ඉන්දුනීසියාවේ මුළු ජනගහනය වන මිලියන 118.37න් 7.4% දක්වා ළඟා විය. මේ අතර, 1990දී එම ප්‍රතිශතය මිලියන 179.25 ජනගහනයෙන් 9.6%ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ අතර ම, බෞද්ධයන්ගේ ප්‍රතිශතයේ සාපේක්ෂව වෙනසක් නොවිණි; එය 1971 වසරේදී 0.9%ක් සහ 1990දී ආසන්න වශයෙන් 1%ක් පමණ විය.

විනෝදයට මෙන් දශක ගණනාවක් ත්‍රිධර්ම දේශකයකු ලෙස ක්‍රියාකාරීව කටයුතු කරන මගේ පියාගෙන් මම මේ ගැන ඇසුවෙමි.

පියා පැවසුවේ, සත්‍ය වශයෙන් ම බෞද්ධයන්ගෙන් "විශාල පිරිසක්" ක්‍රිස්තියානුවන් බවට පත් වුණු බව ය.

"කිතුනුවන් සහ කතෝලිකයන් ඉලක්ක කරන්නේ චීන ජාතිකයන්," ඔහු පැවසීය.

"ඒ විතරක් නෙවෙයි,චීන ජනතාවගේ ප්‍රතිපත්තිය තමයි, 'කලබල වෙන්න එපා. හැම ආගම ම හොඳයි," යන්න ය.

 

ඉන්දුනීසියානු පන්නයේ බුදු දහම

මේ වන විට බෞද්ධ ප්‍රජා මාර්ගෝපදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මග පෙන්වීම යටතේ සංවිධාන 40ක් පමණ පවතින බව ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය සඳහන් කරයි.

එක් බෞද්ධ නිකායකට සංවිධාන කිහිපයක් තිබිය හැකි බැවින් මෙම අගයෙන් ඉන්දුනීසියාවේ නිකාය ගණන සත්‍ය ලෙස ම පිළිබිඹු නොවේ.

කෙසේ වෙතත්, ඉන්දුනීසියාවේ බෞද්ධයන් සංඛ්‍යාවෙන් සුළුතරයක් ලෙස පැවතුණ ද ඔහු තවමත් නිදහසේ සිට බෞද්ධ ඉගැන්වීම්වල වර්ධනය සිදු වූ ආකාරය පෙන්වා දෙයි.

 

ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ දත්තවලට අනුව, 2022 වන විට ඉන්දුනීසියාවේ බෞද්ධයන් මිලියන 2.02ක් හෝ මුළු ජනගහනයෙන් 0.73%ක් සිටිති.

ඉන්දුනීසියාවේ නිල රාජ්‍ය ආගම් හයෙන්, බෞද්ධයන් සංඛ්‍යාව වැඩි වන්නේ කොන්ෆියුසියස් අනුගාමිකයින් සංඛ්‍යාවට පමණි. එය එම වසරේ ම මුළු ජනගහනයෙන් 0.03%ක් හෝ 74,899 ක් ලෙස වාර්තා විය.

 

ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන යන සම්ප්‍රදායන් තුනට විශේෂිත වූ වෙනත් සංවිධාන ද පිහිටුවා තිබුණත් බුද්ධායනය මෙම ඉගැන්වීම් තුන සඳහා වේදිකාවක් ලෙස කටයුතු කරයි.

බුද්ධායන යටතේ සිටින පිරිස වෙනස් වන්නේ අෂින් ජිනරක්ඛිත භික්ෂුව විසින් ඇති කරන ලද සං හියං ආදි-බුද්ධ සංකල්පයෙනි.

Indonisian Buddhist 3


"[බුද්ධායනයෙන් පිටත] අනෙකුත් බොහෝ සම්ප්‍රදායන්ට මෙම සංකල්පය පිළිගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් එක් ගුරුකුලයකට පමණක් යොමු වන නිසා," යනුවෙන් සාගින් ථෙරවාදී භික්ෂුවක වන ධීරපන්නෝ හිමි පැවසූහ.

 

"අපි ඉන්නේ බුද්ධායනයේ නම්, මම ථෙරවාදියෙක් වුණත්, ඉන්දුනීසියාවේ බුද්ධාගම පිළිබඳ අවබෝධයක් ගන්න මම අනිවාර්යයෙන් ම මහායාන සහ වජ්‍රයාන ඉගෙන ගත යුතුයි."

එහි වර්ධනයේදී, බුද්ධායනය ඉන්දුනීසියාවේ විවිධ ප්‍රදේශවල ජනතාවගේ සංස්කෘතියට හෝ ජන විඥාණයට ගැළපෙන ලෙස අනුවර්තනය වීමට "නම්‍යශීලී" වූ බව ද කියනු ලැබේ.

 

නිදසුනක් වශයෙන්, ජාවා දිවයිනේ ප්‍රදේශ කිහිපයක බුද්ධායනයේ වජ්‍රයාන අනුගාමිකයින් ද කෘතඥතාව පළ කිරීමේ ආකාරයක් ලෙස දේවි ශ්‍රී දෙවියන්ට වන්දනාමාන කරන අතර ඒ හරහා හොඳ අස්වැන්නක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

15 වන සියවසේ අග භාගයේ සිට 16 වන සියවසේ මුල් භාගය දක්වා වරක් පජජරන් රාජධානිය මෙහෙය වූ සිලිවංගි රජුගේ අවතාරය යැයි ප්‍රදේශවාසීන් විශ්වාස කරන කළු සහ සුදු පැහැති කොටි ප්‍රතිමාවක් සඳහා බෝගෝර්හි මහා බ්‍රහ්ම විහාරය සහ පන් ඛෝ විහාරය ද ඉඩ ලබා දී තිබේ.

එපමණක් නොව, පජජරන් රාජධානි යුගයේ සිට ඉස්ලාමීය දේශකයින් රැසකගේ සොහොන් සහ ස්මාරක ද දක්නට ලැබේ. ඇත්ත වශයෙන් ම, මුස්ලිම් ජාතිකයින්ට යාච්ඥා කිරීමට වෙන්වූ කාමරයක් තිබේ.

මෙම විහාරස්ථාන මුලදී බුදු දහම, තාඕවාදය සහ කොන්ෆියුසියස්වාදයේ අංගයන් ඒකාබද්ධ කළ චීන ආගමික ස්ථානයක් වූ දැන ගැනීම වටී.

සාමාන්‍යයෙන් චීනයේ ජනප්‍රවාදවල සිටින විවිධ දෙවි දේවතාවුන්ගේ ප්‍රතිමා ද තිබේ.

 

"බොහෝ විට, ප්‍රතිමාවක් සාදනු ලබන්නේ චීනයේ ගමක් වෙනුවෙන් යම් සේවයක් කළ අයෙකු සඳහා වන අතර එමගින් ප්‍රදේශවාසීන්ට ඔවුන්ගේ සේවය මතකයේ තබා ගන්න අවශ්‍ය ඉඩ සලසන බව," මගේ පියා දිනක් පැවසීය.

 

මෙම සම්ප්‍රදාය ඉන්දුනීසියාවට ද ගෙන යන ලදී. එබැවින්, දිවංගත හිටපු ජනාධිපති ගුස් දුර් හෙවත් අබ්දුර්රහ්මාන් වහීඩ්ගේ ඡායාරූපයක් සහිත පූජාසනයක් මාගෙලංහි හොක් අං කියොන්ග් විහාරස්ථානයේ තිබීම සාමාන්‍ය දෙයකි. සෑම විට ම මිනිසුන්ට එහි පැමිණ ඔහු වෙනුවෙන් වන්දනාමාන කළ හැකි පරිදි එය ස්ථාපනය කර ඇත.

Indonisian Buddhist 2

මධ්‍යම ජාවා හි මාගෙලාන්ග් හි හොක් අන් කියෝං විහාරස්ථානයේ දිවංගත හිටපු ජනාධිපති අබ්දුර්රහ්මාන් වහීඩ් හෙවත් ගුස් දූර්ගේ පූජාසනය සහ ඡායාරූපය


ගුස් දුර් ඉන්දුනීසියාවේ චීන සම්භවයක් ඇති පුද්ගලයින් සඳහා විශාල සේවයක් කළ බව සැලකේ. විශේෂයෙන් ම ඉහු 2000 වසරේදී චීන ආගමික ක්‍රියාකාරකම්, විශ්වාසයන් සහ සිරිත් විරිත් ප්‍රසිද්ධියේ තහනම් කිරීමේ සුහර්තෝගේ ප්‍රතිපත්තිය අවලංගු කළේ ය.

මේ නිසා දැන් චීන අලුත් අවුරුදු උත්සව, විවෘතව හා සජීවීව පැවැත්වීමට ඉඩහසර ලැබී තිබේ.

විශේෂයෙන් ත්‍රිධර්මය පිළිපදින චීන ජාතිකයන් සඳහා විහාරස්ථාන වඩා ත් ගැළපෙන ආගමික ස්ථාන ලෙස සැලකේ.

කෙසේ වෙතත්, චීන සෑම දෙයක් ම පාහේ කොන් කළ සුහර්තෝගේ ප්‍රතිපත්තිය නිසා බොහෝ විහාරස්ථාන "ආරක්ෂිත ස්ථාන" බවට පත් කිරීම සඳහා ආරාම බවට පත් කිරීමට බල කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා බොහෝ විට බෞද්ධයන් සඳහා විශේෂිත පූජනීය ස්ථාන ලෙස දක්නට ලැබේ.

සුහර්තෝගේ පාලනයෙන් එල්ල වූ දේශපාලනික බලපෑම් නිසා ඉන්දුනීසියාවේ ත්‍රිධර්ම සංවිධානය අවසානයේ බෞද්ධ ප්‍රජා මාර්ගෝපදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මගපෙන්වීම යටතේ පැවතිණි.

ඒ හැරුණු විට තවත් විවිධ බෞද්ධ සම්ප්‍රදායන් ඉන්දුනීසියාවේ බිහි වී වර්ධනය වී ඇත.

ජපානයෙන් දායාද වුණු නිචිරෙන් ෂෝෂු ඉන් එකකි. එහි නිර්මාතෘ නිචිරෙන් දයිශෝනින් ධර්මය පරිහානියට පත්වන කාලයේ පහළ වූ බුදුවරයෙකු ලෙස සැලකේ.

සිද්ධාර්ථ ගෞතම යුගයෙන් පසු මීළඟ බුදුන් වහන්සේ යැයි කියන මෛත්‍රී බුදුන් ගැන විශ්වාස කරන චීනයේ මෛත්‍රී බුදුන් මුල් කර ගත් සාම්ප්‍රදාය ද ඇත.

ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ බෞද්ධ ප්‍රජා මාර්ගෝපදේශ අධ්‍යක්ෂ ජනරාල් සුප්‍රියාදි බලාපොරොත්තු වන්නේ, දැනට පවතින සියලු ම බෞද්ධ සංවිධාන හෝ නිකායන්වලට එක ම කලාපයක සාමකාමීව පවතිමින් එකිනෙකාගේ වෙනස්කම් පිළිගෙන කටයුතු කළ හැකි බව ය.

 

"[විවිධ සම්ප්‍රදායන්ට අයත් මිනිසුන්] වඩා ත් ම නිවැරදි දහම අපේ, අපේ තමයි පාරිශුද්ධ බව වැඩි ම කියලා එකිනෙකාට දොස් පවරා ගැනීමේ අවදානමක් තියෙනවා," සුප්‍රියාදි පැවසීය.

 

"මෙන්න මේකෙන් තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ."

සටහන :
(විරිය සිංගිහ්)
බීබීසී පුවත් ඉන්දුනීසියාව

[උපුටා ගැනීම - BBC සිංහල සේවය]

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්