මැයි 22, අපේ ජනරජ දිනය ය.


 අපි අභිමානයෙන් සැමරිය යුතු දිනයක්! මවුබිමේ උස් නිදහස වෙනුවෙන් සටන් වැදි ශ්‍රේෂ්ඨ ලක් පුතුන් සැමරිය යුතු දිනයක්!

පූජ්‍ය වාරියපොළ සුමංගල හිමිපාණන්, වීර කැප්පෙටිපොල, මාතලේ කැරැල්ලේ විරුවන්, හෙන්රි පේද්‍රිස් විරුවා, අනගාරික ධර්මපාලතුමා, කුමාරතුංග මුනිදාස සුබැසියාණෝ .. ආදි ලෙස විරුවන් සැමරිය යුතු දීනයක්!


ජනරජ දිනයේ අප සමරන්නේ 1972 දී යටත්විජිත පාලකයන් හා වූ වහල් බැමි බිඳදැමීම යි. ඔව්, 1948 අපි ලැබූ නිදහස වහල් බැමි මුලුමනින් ම බිඳදැමූවක් නො වේ: විධායක බලය අවසාන වශයෙන් රැඳුණේ අග්‍රාණ්ඩුකාරයා මත. ඔහු නිල වශයෙන් පත් කෙරුණේ බ්‍රිතාන්‍යයේ රජතුමා නැතිනම් රැජින අතින්.

අපේ අධිකරණවල තීන්දු අවසාන වශයෙන් රාජාධිකරණය - ප්‍රිවි කවුන්සිලය ලෙස හැඳින්වුණ බ්‍රිතාන්‍ය සාමිවරුන් ගෙන් සමන්විත වුණ අධිකරණයේ විනිශ්චයට යටත් කෙරුණා. 1962 හමුදා කුමන්ත්‍රණයේ  චූදිතයන් අවසන් වශයෙන් නිදහස් කෙරුනේ ඒ අනුව යි.


ඒ නිසා අප මේ යටත්විජිත බැමි බිඳදා ජනරජයක් වීම හා ඒ සඳහා නායකත්වය දුන් සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය, ටී. බී. ඉලංගරත්න, හෙක්ටර් කොබ්බෑකඩුව වැනි ජාතික නායකයන්, ඒ වගේ ම ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහ වැනි වාමාංශික නායකයන් අද ගෞරවයෙන් සිහිපත් කළ යුතු යි.

විජයග්‍රහණයේ දිනය

දැන් මැයි 22 ජනරජ දිනය; ඊට පූර්වයෙන් වූ 19 වන දිනය, කුරිරු ත්‍රස්තවාදය පරාජය කිරීමේ 15 වන අනුස්මරණය. විරුවනි, අපි හදවතීන්  ඔබ තනිකළේ නැත කිසි දිනේ!

ඒත්, ඒත්, මෙ වර විරු සමරුවට කෝ අපේ ජනාධිපතිතුමා? රාජ්‍ය නායකයා? ඒ වගේ ම රජය ජාතික හා ජාත්‍යන්තර සතුරු බලවේගවලට අප ගේ රණවිරුවන්ට එරෙහි මෙහෙයුම්වලට, අප ගේ රාජ්‍යයට එරෙහි මෙහෙයුම්වලට ඉඩ ලබාදීමේ පිළිවෙතක් අනුගමනය කළා දැ යි ඇතී වන්නේ සැකයක්. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආදියෙහි නියෝජිතයන් වන්නියේ රඟපෑ නාටකය කියාපෑවේ, ඒ ත්‍රස්තවාදයේ, ම්ලේච්ඡත්වයේ පියවරු ඔවුන් බව ද?

විපක්ෂ නායක ගේ දුර්වාබෝධය

ඒ වගේ ම රණවිරු සමරුව හා සබැඳිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ නිවේදනයෙහි, සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීම, බෙදුම්වාදී ත්‍රස්තවාදයට හේතුව ලෙස දැකීම කණගාටුදායක ය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම උස් නිදහස පිණිස අප ගේ පියවරු කළ අරගලයේ තීරණාත්මක ජයග්‍රහණයකි. 

 

ජාතික නිදහස, නිර්මාණශීලීත්වය, දියුණුව යන කරුණු හා මවු බස අතර සබැඳියාව අවබෝධ නොකරගත් නායකයන් ගෙන් - එ.ජා.ප.යේ වේ වා, ස.ජ.බ.යේ වේ වා, ජාතික ජන බලවේගයේ වේ වා, එ වැනි නායකත්වයකින් අපට අපේ ම වූ අනාගතයක්, අපේ ම වූ රටක් බලාපොරොත්තු විය හැකි ද?
 


දෙමළ ජාතික සන්ධානය- හෘදසාක්ෂිය?
 
අප ගේ ආරක්ෂක හමුදා, තම දිවි පරදුවට තබා ත්‍රස්තවාදීන් ප්‍රාණ ඇපකාරයන් බවට පත් කරගෙන සිටි දෙමළ සහෝදර වැසියන් මුදවාගත් බව, ඔවුන්ට රැකවරණ සැපයූ බව, ඔවුන් පුනරුත්ථාපනය කර යලි ජීවිත ඇරැඹීමට අතදුන් බව, අපේ දෙමළ ජාතික සන්ධානයේ මහජන නියෝජිතයන් නොපිළිගන්නේ ද? ඔබ අයිතිවාසිකම් ගැන කතා කරනවා අපි බොහෝවිට අසා ඇත.

ම්ලේච්ඡ ත්‍රස්තයන් ශ්‍රී මහා බෝධිය අභියස සිල් මෑණිවරුන් ඇතුලු නිරායුධ වන්දනාකරුවන් මරාදමද්දී, උතුම් වූ දළදා වහන්සේ අභියස අධිබලැති බෝම්බ පුපුරුවද්දී, මහබැංකුවේ සිය ගණනකට ජීවිත, අත-පය අහිමි කරද්දී, මරදාන දුම්රිය හ්ථානයේ දී පාසල් සිසුන් ඉලක්ක නර බෝම්බ පුපුරවද්දී, අපේ රජයන් සේ ම දකුණේ ජනතාව ද රාජකීය විදුහල ඇතුළු දකුණේ පාසල්වල දෙමළ සිසුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට, නිදහසට බාධා නොකළ බව ඔබ සීයලු දෙනා හොඳ හැටි දන්නා කරුණකි! අත්දැකීමෙන් ම දන්නා කරුණකි! විග්නේශ්වරන් මන්ත්‍රීතුමා, සුමන්දරන් මන්ත්‍රීතුමා, ඔවුන් ගේ දරුවන් දකුණේ ප්‍රධාන පාසල්වල දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූවන් නොවන්නෝ ද?

ඒත්, ඒත් දැන් ත්‍රස්තවාදය පරාජය වී වසර 15 යි! කෝ පහ වසර ශිෂ්‍යත්වයෙහි යාපනය දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය ප්‍රතිඵල? කෝ ඒ විභාගයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය ප්‍රතිඵල? දෙමළ ජනවර්ගයට අයත් මහජන නියෝජිතයෙනි, ඔබ නියෝජනය කරන දිස්ත්‍රික්කවල සිංහල දරුවන්ට පහ වසර වන තෙක් වත් මවු බසින් ඉගෙනීමට අවකාශ සලසන්නේ නැද්ද? කෝ ඔබේ හෘදසාක්ෂිය?

 
ජනරජයේ ඉරණම?
 
දැන් ජනරජයට වසර පනහ යි! හරියට ම කියතොත් වසර 52 යි! දැන් ජනරජය පවතී ද?

දැන් ජනරජයේ බලශක්ති ස්වාධීනතාවට අත්පත් වෙමීන් ඇති ඉරණම කුමක් ද? රේගුව? අපේ රටට යන-එන පුද්ගලයන් පිළිබඳ දත්ත වෙනත් රටක් අතට පත්වේ නම්, රේගුවේ සුපරීක්ෂාව නොරටුන් අතට පත්වේ නම්, අපේ ජනරජය? දැනටත් අප ගේ මහබැංකු අධිපතිතුමා කටයුතු කරන්නේ, ඔහු පැහැදිලීව ප්‍රකාශ කළ පරිදි මහබැංකුව ජනරජයට අයත් නොවන සේ සලකා නොවේ ද?


 රේගුව, බලශක්තිය, රාමායන මංපෙත්, එට්කා
 
භාරතයේ වීරකාව්‍යයක් වන රාමායනයෙහි ම ලංකාපුරයේ රාවණා කෙ තරම් ශ්‍රේෂ්ඨ නරපතියෙක් දැ යි ලියැවී ඇත. අද ද භාරතය පුරා වසරකට වරක් රවණා රූප වෙත ගල්ගසා, වැලිගසා, පුළුස්සා, විනාශ කර ප්‍රීති වන උත්සවයක් වේ.

දැන් අප ගේ රජය 'රාමායන මංපෙත්' ව්‍යාපෘතියෙන් රාම වන්දනාවට, සීතා වන්දනාවට, හනුමන්තා - රාමායනයට අනුව අප රට ගිනිබත් කළ චරපුරුෂයා වන්දනාවට කෝවිල් තැනීමට ද යන්නේ? පහසුකම් සැලසීමට ද යන්නේ?

දසලක්ෂ සංඛ්‍යාත ඉන්දියානු ශ්‍රමිකයනට අප රටේ රැකියා හා සේවා වෙළෙඳපොළ විවෘත කෙරෙන එට්කා ගිවිසුම හමුවේ අපේ කෑම-බීම, ඇදුම-පැළදුම, භාෂාව-සංස්කෘතිය රැකේ ද?  ජනරජය ගැන කවර කතා ද?

 
ආර්ථික පරිවර්තන' කෙටුම්පත
 
දැන් අප ගේ ජනරජ දිනයේ දී ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 'ආර්ථික පරිවර්තන' කෙටුම්පත කුමක් පිණිස ද? පළමු ව, ඒ මින්මතු ආර්ථිකය හා බැඳුනු සකලවිධ තීන්දු තීරණ ගැනීමේ බලය, පාර්ලිමේන්තුව නොවිමසා ඒ තීන්දු තීරණ ගැනීමේ බලය ජනාධිපතිතුමා අතට පත් කිරීම පිණිස ය.

අද ද ඒ බලය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතු යැ යි ව්‍යවස්ථාවට 17 වන සංශෝධනය, 19 වන සංශෝධනය ගෙන ආ මහා පාර්ලිමේන්තුවාදියා, මුදල් ඇමැතිකම දැරීම මඟින් තමන් හස්තයට ගෙන ඇති බව සැබෑ ය. මේ මඟින් කෙරෙනුයේ මුදල් හා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරුන් සතු වූ සීයලු බලතල, ඒ හා බෑඳුණු සියලු අණ-පනත් නිශේදනය කරමින් ජනාධිපති අතට ගැනීම ය. ඒ සමඟ ම පාර්ලිමේන්තු අනුමැතිය යන්න පාර්ලිමේන්තුවට දැනුම්දීම බවට පත් කිරීම ය.

මේ පනත සම්බන්ධයෙන් විපක්ෂයෙන් කරුණු දැක්වූ ආචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමා මෙහි සැබෑ ගැඹුර, භයානකකම දුටු බවක් නොපෙනේ. ඔහු මූලික වශයෙන් ප්‍රශ්න කළේ මේ පනත මඟින් මේ ආණ්ඩුවේ මුල්‍ය ප්‍රතිපත්තිය ඉදිරි ආණ්ඩුවල ද මුල්‍ය ප්‍රතිපත්තිය විය යුතු බවට වන ප්‍රතිපාදනය යි. වීරසුමන මන්ත්‍රීතුමා  ඒ අනුව යමින් ප්‍රශ්න කළේ, "එහෙම කොහොම ද?" කියා යි.. "අපේ ආණ්ඩුවක් ආවාම අපි මේවා වෙනස් කරනවා ය යි ද" ඔහු තවදුරටත්  කියා සිටියේ ය.

ඒත් ඇත්තට ම එසේ කළ හැකි ද? බැලූ බැල්මට ඔව්! අලුත් ජනවරමකින් පත්වන ආණ්ඩුවකට අලුත් අණ-පනත් ගෙනා ආ හැකි ය. එ මඟින් තිබෙන පනත් නිශේධනය කළ හැකි ය. ඒ මතුපිටින් ය. මේ පනතේ සැබෑ භයානකකම ඇත්තේ, මේ කෙටුම්පත සම්මත වුණොත්, ඒ හා එට්කා වැනි ද්විපාර්ශික ගිවිසුම් අත්සන් කෙරූණොත්, මේ පනතින් මෙ රට ඉඩම්, ස්වාභාවික සම්පත් ආදියට පුරවැසියන් හා සමාන අයිතිවාසිකම් වීජාතිකයන්ට පැවරීම ක්‍රියාත්මක වුවහොත්, අප රට ද අත්සන් කර ඇති අන්තර්ජාතික ගිවිසුම් අනුව, ඒවා ආපසු හැරවිය නොහැකි වීමෙහි ය.


වසර 35කට වඩා ගතවී තිබිය දීත් ජේ. ආර්. ජයවර්ධන ජනාටිපතිතුමා පාර්ලිමේන්තු අනුමැතියකින් හෝ තොරව අස්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමෙන් ගැලවීමට ත්‍රස්තවාදය සහමුලින් ම පරාජය කර වසර 15ක් ගෙවී තිබිය දීත් අප සමත්වී ඇද්ද? මේ ගතවන්නේ අපේ ජනරජය අපට අහීමි වන හෝරාව ද?


ඔබ ශ්‍රී ලංකා ජනරජයට පෙමින් බැඳෙන්නේ නම්, රණවිරුවන් දිවිපුදා රැකදුන් මාතෘභූමියට ආදරය කරන්නේ නම් මේ ඔබේ මොහොත යි; ඔබ අවදි විය යුතු, ඔබ ක්‍රියාත්මක විය යුතු, ඔබ මැදිහත් විය යුතු මොහොත යි!
 
(පසුගිය 22 වන දින පාර්ලිමේන්තුව අමතා මේ අදහස් ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වූ නමුත් විපක්ෂයේ ඇතමුන් ගේ ද, ආණ්ඩු පක්ෂයේ ද නොසණ්ඩාලකම් නිසා ඊට අවකාශ නොලැබුණි)

gevindu kumaratunga(ගෙවිඳු කුමාරතුංග - පා.ම.)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්