leader s

ත්‍රි පුද්ගල මහාධිකරණයක් හමුවෙහි දැනට විභාග වෙමින් පවත්නා පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුව, පාර්ලිමේන්තුවෙහි මහත් ආන්දෝලනයකට ලක් විය.

මෙම නඩු විභාගය අසා සිටීමට සැකකරුවන්ගේ ඥාතීන්ට අවස්ථාවක් නැති බව එහි දී සඳහන් වූ කරුණකි. රජයේ පාර්ශවය එම චෝදනාව පිළිගත්තේ නැත.

එසේ නමුත් පසුගිය 13 වන දින එම නඩු විභාගය  නිරීක්ෂණය කිරීමට පොලිසිය තමාට අවසර නොදුන් බව ප්‍රකට හිමිකම් ක්‍රියාාකරිකයකු වන රුකී ප්‍රනාන්දු සමාජ ජාල සටහනක් මගින් කියා සිටියේය.  එම තහනම විනිසුරුවරුන්ගේ නියෝගයක්  බව පොලිසිය ඔහුට  පැවසූ නමුත් එවැනි නියෝගයක් පෙන්වීම ප්‍රතික්ෂේප කළේය. රුකී ප්‍රනාන්දු කියා සිටියේ එය වෙනස් කොට සැලකීමට ලක් නොවීමට ඔහුට ඇති ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් අනාගතයේදී ශ්‍රී ලංකා පොලිසියේ එවැනි අත්තනෝමතික ක්‍රියාමාර්ග වැළැක්වීමට සහ පිළියම්  ලබා ගැනීමට තමා මානව හිමිකම් කොමිසම  වෙත පැමිණිලි කිරීම ඇතුළුව වෙනත් ක්‍රියා මාර්ග ද ගන්නා බවය.

ruki fernandoරුකී ප්‍රනාන්දු

 

ඔහු තව දුරටත් මෙසේ සඳහන් කළේය. ‘පාස්කු ප්‍රහාරය නඩු විභාගය මහජන උන්නදුවක් සහිත එකකි. එහිලා විනිවිදභාවය අත්‍යවශ්‍යය. චූදිතයන්ගේ පවුල් ඇතුළු අනෙකුත් අය විවෘත අධිකරණවල කටයුතු නිරීක්ෂණය කිරීමෙන් ද නතර කර ඇති බව මට දැන ගැනීමට ලැබුණි. මෙය සාධාරණ නඩු විභාගයට බලපෑ හැකි අතර, එය අගතියට පත් පාර්ශවයන්ට ද නරක ය’.

ආරක්ෂාව අවශ්‍ය නමුත් එය මහජනයාගේ මුලික අයිතිවාසිකම් කෙලෙසීමට ආවරණයක් නොවේ. පාර්ලිමේන්තුවෙහි දී සභා නායක බිමල් රත්නායක විසින් කියා සිටිය යුතුව තිබුණේ මෙවැනි විවේචන පිළිබඳ සොයා බලන බව මිස ප්‍රතිප්‍රහාර දීම නොවේ.

කුමන හෝ හේතුවක් මත මෙම නඩුවෙහි පළමුවැනි සාක්ෂිකරු වූ රොහාන් ගුණරත්න සහ දෙවැනි සාක්ෂිකරු වූ මේජර් ජෙනරාල් සුරේශ් සලේ ගේ සාක්ෂි තවම කැඳවා නැත. නිල නොවන ආරංචි මාර්ග දක්වන්නේ එම සාක්ෂි  නොකැදවා සිටීමට ඉඩ ඇති බවයි.

 



කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි ලේඛනයට එම දෙදෙනා ඇතුළත් කර තිබුණි. නීතිපති දෙපාර්තමේන්තුව යනු ආණ්ඩුවේ අර්ධ හස්තයකි.

මෙම දෙවන සාක්ෂිකරු වූ මේජර් ජෙනරාල් සුරේශ් සලේ 2019 නොවැම්බරයේ දී බලයට පත් ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියා ලෙස පත් කරන ලද පුද්ගලයායි. එම තනතුරට හමුදා නිලධාරියකු පත් කරන ලද මුල් අවස්ථාව එය විය. ඊට පෙර ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සිටි කාලයෙහි ඔහු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා විය. 2024 නොවැම්බරයේ දී බලයට පත් අනුර කුමාර දිසානායක විසින් වහාම ඔහු එම ධුරයෙන් ඉවත් කරන ලදී.

director gen sis fileසුරේශ් සලේ

මේජර් ජෙනරාල් සුරේශ් සලේගේ නම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරමින් බ්‍රිතාන්‍ය චැනල් 4 රූපවාහිනී නාලිකාව වාර්තා චිත්‍රපටියක් ප්‍රදර්ශනය කලේ 2023 වසරෙහි දීය. එවැනි සම්බන්ධයක් ඇති බවට ප්‍රකාශ කළේ රාජපක්ෂ සමයෙහි රාජ්‍ය ඇමතිවරයකු වූ පිල්ලෙයාන් ගේ ලේකම්ව සිටි හන්සීර් අසාද් මවුලානාය. සලේ එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර එම වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කළ හොත් චැනල් 4 නාලිකාවට නඩු පවරන බවට තර්ජනය කළේය. එය ප්‍රදර්ශනය කරන ලද නමුත් සලේ නඩු පැවරුවේ නැත ඒ වෙනුවට ඔහු බ්‍රිතාන්‍ය  මාධ්‍ය නියාමන ආයතනය වන ඔෆ්කොම් (සන්නිවේදන කාර්යාලය) හි නඩුවක් පැවරුවේය. එම නඩුවෙන් ඔහු පරාජය වූයේ, ඔහුගේ අදහස් දැක්වීමට චැනල් 4 වාර්තා චිත්‍රපටයෙහි ප්‍රමාණවත් අවස්ථාවක් දී ඇත යන නිගමනය උඩයි.

එම වාර්තා චිත්‍රපටයට විරුද්ධව සලේ දැක් වූ එක් කරුණක් වුයේ 2018 වසරෙහි ද 2019 පාස්කු ප්‍රහාරය වන තුරුද තමා ලංකාවේ නොසිටි බවය.

 



එනමුත් පාස්කු ප්‍රහාරය අවස්ථාවෙහි ආරක්ෂක ලෙක්ම්වරයා වූ හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ ප්‍රහාරයට දෙසතියට පෙර මේජර් ජෙනරාල් සුරේශ් සලේ ලංකාවේ දී තම කාර්යාලයට පැමිණ හමු වූ බවයි. හේමසිරි ප්‍රනාන්දුට අනුව එම හමුව සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස දන්වා ඇත්තේ එවකට යුද හමුදා සේනාධිනායක වූ ජෙනරාල් මහේශ් සේනානායකය.

මේජර් ජෙනරාල් සුරේශ් සලේ තමා පාස්කු ප්‍රහාරයට වගකිය යුතු බවට චෝදනා කරන ලදැයි කතෝලික සභාවේ පියතුමන් දෙදෙනෙකුට විරුද්ධව රුපියල් මිලියන 50 බැගින් වන්දි ඉල්ලා නඩු පවරා තිබේ. ඒ මීගමුව සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිරිල් ගාමිණී පියතුමාට සහ සමාජ සහ ආගමික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමාටය.

මේ අතර ඔහුට විරුද්ධව ප්‍රබලතම චෝදනාව එල්ල කර ඇති හන්සීර් අසාද් මවුලානා ලංකාව හැර පලා ගියේ මේජර් ජෙනරාල් සුරේශ් සලේ විසින් කරන ලද තර්ජනයකින් පසු බවට මෙරට පල කරන ඩේලි මිරර් පුවත්පත විශේෂාංග ලිපියක් පළ කළේය. එම තර්ජනයට හේතු වූයේ, ඉහත කී පියතුමන් විසින් කරන ලද චෝදනාවට කරුණු සැපයූයේ මවුලානා බවට සලේට ඇති වූ සැකයක් උඩ බව එම ලිපිය කියයි. එනමුත් එම ලිපිය පළ කිරීමට විරුද්ධව මේජර් ජෙනරාල් සලේ නඩු පවරා නැත.

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නම් කිරීම අද හෙටම !

 

ජනාධිපති රනිල් රාජපක්ෂ යටතේ ආරක්ෂක අමාත්‍යාංශය 2023 සැප්තැම්බර් 09 ප්‍රකාශයක් නිකුත් කරමින්  වැනල් 4 නාලිකාව මේජර් ජෙනරාල් සුරේශ් සලේට එල්ල කළ  චෝදනා නිශ්චිතව ප්‍රතික්ෂේප කළේය.  එය කියා සිටියේ එකී වාර්තා චිත්‍රපටය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වරද හමුදා බුද්ධි අංශයට සහ ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙත පැටවීම ආරක්ෂක අමාත්‍යාංශය දැඩි ලෙස හෙළා දකින බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාර පිළිබඳ සොයා බැලූ පාර්ලිමෙන්තු කාරක සභාව හමුවේ හිටපු ආණ්ඩුකාරවරයකු වූ අසාද් සාලි භයානක චෝදනා නැගුවේය. ඊට විරුද්ධවද මේජර් ජෙනරාල් සලේ පියවරක් ගත්තේ නැත. එමෙන්ම සාරා ජෙස්මින්ගේ තුන්වන ඩීඑන්ඒ පරීක්ෂණය මගින් ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත්වු අවස්ථාවෙහි එය බාර ගත්තේද සුරේශ් සලේය.

පාස්කු ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිසම හමුවෙහි සුරේශ් සලේ විසින් දෙන ලද සාක්ෂිය පිටු 148ක් පුරා දිවයයි. එහි ඔහු සහරාන්ට වඩා භයානක වන්නේ එම මතවාදය පෝෂණය කරන ආයතන බව සඳහන් කරයි. ඔහු විශේෂයෙන්ම නීතිඥ හෙජාස් හිස්බුල්ලා ගැන සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මතවාදී බලවේගයේ ප්‍රධානියකු ලෙසය.

 

sainthamaruthu
මානව හිමිකම් නීතිඥයකු ලෙස ද ප්‍රසිද්ධ හෙජාස් හිස්බුල්ලා සභාපති වූ සේව් ද පර්ල් නම් ආයතනයෙන් පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතක බෝම්බ කරුවන් තිදෙනෙකු බිහි වූ බවත් ඔවුන් සමඟ හෙජාස් නිරන්තර සබඳතා පැවැත් වූ බවත් ඔහු සඳහන් කරයි.

සුරේශ් සලේ ජාතික බුද්ධි ප්‍රධානී ලෙස මෙම සාක්ෂිය දෙන විට නීතිඥ හෙජාස් හිස්බුල්ලා චෝදනා නොදක්වා ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන ගත වී තිබුණේ සතියක් පමණි. වසරක් යන තුරු ඔහුට  නීතිඥයකු හමුවීමට ඉඩ දුන්නේ නැත. ඔහුට ඇප ලැබුණේ දෙවසරකට පසුය.

මේජර් ජෙනරල් සලේ පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම හමුවෙහි දුන් සාක්ෂියෙහි මෙසේ සඳහන් වේ.

(උපුටනය) ;

9 1068x601
‘ අපේ නෙට්වර්ක් එකට වැටිච්ච නැති සංවිධානයක් තිබ්බා. ඒක ‘සේව් ද පර්ල්’. මේ ජේඑම්අයි (එනම් සහරාන්ගේගේ සංවිධානය) වගේම එකක්. අපිට මේ සංවිධානය පිළිබඳ කිසිම දැනුමක් තිබ්බේ නැහැ . ඒකට හේතුවක් තිබ්බා. මොකද ඒ ‘සේව් ද පර්ල්’ එක ඉතා ඉතාමත් පරෙස්සමෙන් සුඛ සාධක සංවිධානයක් එකක් හැටියට ඇතිවෙච්ච සංවිධානයක්.  හැබැයි ‘සේව් ද පර්ල්’ එකෙන් සෑහෙන පිරිසක් ඒ කියන්නේ මරා ගෙන මැරෙන හතර දෙනෙක් බිහි වෙනවා. එතකොට හෙජාස් හිස්බුල්ලා එයා මේක  ප්‍රසිඩන්ට්. මේක ඇවිල්ලා ආගමික සංවිධානයක් හැටියට මූහුණ දුන්නේ. මේ ඉස්කෝලේ තුළ සම්පූර්ණයෙන්ම ළමයි ගන්නේ අම්මා හෝ තාත්තා නැති එහෙම නැතිනම් අම්මා නැති තාත්තා නැති, සම්පූර්ණයෙන්ම උගන්වන්න බැරි යම්කිසි ළමා පිරිසක්. මේ ළමා පිරිසට ඇවිල්ලා ලෙක්චර්ස්වලට  සහරානුත් එනවා. මේ ආයතනයේ අපට හම්බ වුන පොත් වල බැලුවහම ඉතාමත්ම සංවිධානාත්මකව ළමා මනස විකෘති වන ආකාරයට ඒ පොත් හදලා තියෙනවා. පොත් තිස්පහක් අපට හම්බ වුණා. ඒවා අපි කෙලින්ම රජයට දුන්නා. අපි පරිවර්තනය කරලා ඒවා උසාවියට ඉදිරිපත් කරලා තිබෙනවා. මෙතනදී  සහරාන්ලා එක පැත්තකින් ක්‍රියාත්මක වෙන කොට සහරන්ලා බිහි කරන දීර්ඝ කාලීන සැලසුම් තියෙන්නේ මේ වගේ මධ්‍යස්ථාන හදා ගෙන නීතිමය පහසුකම් ලබා  දීලා සල්ලි ලබා දීලා මේවා කරන සැලසුමක් පිටිපස්සේ තිබ්බා. අද අප ගොඩාක් කටයුතු කරන්නේ මං දකින්නේ සහරාන්ගේ ක්‍රියාකාරීත්වය ගැන. නමුත් සහරාන්ලා බිහි වුනේ කොහොමද කියන එක ගැන ලොකු අවධානයක් යොමු වෙන්නේ නැහැ.

එතකොට මානැල්ල බුදු පිළිම මේ කඩලා ඒකෙදි සහරාන් ලක්ෂ දාහතක් දෙනවා තව කණ්ඩායමකට එතකොට ඒ කණ්ඩායම හරහා මේ ලෝයර් තවමත් තවත් ලෝයර් කෙනෙක් හරහා එකවුන්ට් එකට ඒ සල්ලි ටික අර ගෙන ඒ සල්ලි යොදවනවා. ඒත් එක්කම අපි දැක්කා මේ ප්‍රධාන ලෝයර් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිල්ලා  ත්‍රස්තවාදය පිළිබඳ ඩ්‍රාෆ් එක එන කොට එයාගෙම කෙනෙක් ඉදිරිපත් කරලා  අපි දැක්කා මුස්ලිම් අන්තවාදය හා සම්බන්ධ කරන්න එපා කියලා අදහසක්  ගෙනැල්ලා ඒකට විරුද්ධව කටයුතු කිරීමක් සිදු කරනවා.

මේක දුරකථන අංක මගින් ඊමේල් මඟින් ෆිසිකල් සම්බන්ධතා මගින් සොයා ගත්තේ. මේ ඔක්කොම කරලා සිදුවීම් වන සතියේ (එනම් පාස්කු ප්‍රහාරය සතියේ) සතියේ දී එයා යනවා ඊජිප්තුවට. නැවත වරක් ලංකාවට එන්නෙ ඊට පස්සේ. දැනටමත් ළමයි දස දෙනෙක් දැනට ප්‍රකාශ කරලා තියෙනවා.  මේ මතවාදය එක පතුරවන මිනිස්සු තමයි භයානක මිනිස්සු. මොකද ඒ ගොල්ලො ඇවිල්ලා මධ්‍ය කාලීන තා දීර්ඝ සැලසුම් එක්ක මේ වගේ කණ්ඩායම් බිහි කිරීම තමයි ඒගොල්ලන්ගේ කාරිය. මේ  පුද්ගලයාට මුහුණුවර හතක් තියෙනවා කියලා මම දකිනවා. කටාර් චැරිටි කියන ආයතනයෙන් දුන්න මිලියන 4000න් මේ පුද්ගලයාට මිලියන 30ක් ලැබුණා. කටාර් චැරිටි  ත්‍රස්තවාදයට ආධාර කරන සංවිධානයක්. ’

(උපුටනය අවසානය)

pasku 2
මේ කියන චෝදනා කිසිවක් නීතිඥ හෙජාස් හිස්බුල්ලාට විරුද්ධව අධිකරණය හමුවේ ඉදිරිපත් කර නැත. ඔහුට විරුද්ධවය චෝදනාව පදනම් වන්නේ සහිරා විද්‍යාලයේ කළ කතාවක් මතය.

රනිල් රාජපක්ෂ ජනාධිපති කාලයේ දීම  කටාර් චැරිටි සංවිධානයට යළි ලංකාව තුළ කටයුතු කිරීමට ඉඩ ලැබුණි. එය පිළිගැනීමට ඔහුගේ අධිකරණ ඇමතිවරයා  වූ අලි සබ්රිද ගියේය.

දැන් විභාග වන පාස්කු ප්‍රහාර නඩුව ආරම්භ වූයේ මේජර් ජෙනරාල් සුරේශ් සලේ ජාතික බුද්ධි සේවා ප්‍රධානියා ලෙස සිටියදීය. ඔහුගේ සාක්ෂිය සත්‍ය නම් මෙම නඩුවෙහි පළමුවැනි විත්තිකරු විය යුතුව තිබුණේ හෙජාස් හිස්බුල්ලාය.  එසේ වී නැත. ඇයිදැයි සිතා බලන්න.

යළිත් වරක් මේ සටහන අමාත්‍ය බිමල් රත්නායයකගේ අවධානය පිණිස ද වේ.

sunanda deshapriya(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)


 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්