The Leader News
BREAKING
සාෆ් පාපන්දු ශූරතාවලියට ඉන්දියාව එන්නේ නැද්ද?●FIFA සාම ත්‍යාගය ලැබූ එකම දේශපාලන නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් ද?●මැලේසියාවෙන් දැවැන්ත අධ්‍යාපන පිම්මක්: ඩොලර් බිලියන හතරක ආර්ථික ඉලක්කයක්●කාවන් තිස්ස ඇත් රජ තුමනි අනේ ඔබටත් සිදු වුණු විපතක්!●බිඳවැටුණු විදුලි සම්ප්‍රේෂණය යථා තත්ත්වයට: බෙදාහැරීම පියවරෙන් පියවර ඇරඹෙයි●දිල්ලි විරෝධතාවට සැරසුණු තරුණ නායක අභිජීත් අත්අඩංගුවට●තායි ගුවන් තොටුපළවලින් ගමන් මලු පරීක්ෂාවට නව නීතියක්●අභ්‍යවකාශයෙන් පෙනෙන බෙදුම් ඉරි නැති එකම නිවස●එරාවුර් දැරියගේ අපයෝජනය: විත්තිකරුට වසර 20ක බරපතළ සිරදඬුවම්●සාක්ෂි මත විමර්ශනය කළා: බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●
Top Ad
විශේෂාංග

කාවන් තිස්ස ඇත් රජ තුමනි අනේ ඔබටත් සිදු වුණු විපතක්!

ගල්ගමුවේ අභිමානය වූ දැවැන්ත කාවන් තිස්ස හස්තියාගේ අකල් වියෝව හුදෙක් වන සතෙකුගේ මරණයක් නොවේ; එය මෙරට වනජීවී සුරැකීමේ යාන්ත්‍රණය හමුවේ තැබූ බරපතළ ප්‍රශ්නාර්ථයකි.

Pasan

Pasan

October 17, 2026 • 8:15 PM

කාවන් තිස්ස ඇත් රජ තුමනි අනේ ඔබටත් සිදු වුණු විපතක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ වන අලි සම්පතේ අභිමානය විදහා දක්වන, ගල්ගමුව ප්‍රදේශයට පමණක් නොව සමස්ත රටටම අභිමානයක් වූ කාවන් තිස්ස ඇත් රජු ඊයේ (16) ගල්ගමුව, උස්ගල සියඹලංගමුව ප්‍රදේශයේ කුඹුරු යායක දී අවසන් හුස්ම හෙළුවේය.
  • මෙරට ජීවත්ව සිටි විශාලතම හා උසින් යුත් වන අලින් අතර ප්‍රමුඛ ස්ථානයක් ගත් මේ හස්තියාගේ නික්ම යෑම හුදෙක් වන සතකුගේ මරණයක් ලෙස සලකා බැහැර කළ හැක්කක් නොවේ.
  • එය ශ්‍රී ලංකාවේ වනජීවී උරුමයට සිදුවූ බරපතළ පාඩුවක් සේම, අපේ වන සතුන් සුරැකීමේ ක්‍රමවේද පිළිබඳව නැවතත් ගැඹුරින් සිතා බැලිය යුතු බව සිහිපත් කරන අතිශය සංවේදී සිදුවීමකි.
  • කාවන් තිස්ස යනු දැවැන්ත සිරුරක් හා අභිමානවත් දළ යුගලයක් හිමි ඇත් රජකු පමණක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ වන අලි සම්පතේ අභිමානය විදහා දක්වන, ගල්ගමුව ප්‍රදේශයට පමණක් නොව සමස්ත රටටම අභිමානයක් වූ කාවන් තිස්ස ඇත් රජු ඊයේ (16) ගල්ගමුව, උස්ගල සියඹලංගමුව ප්‍රදේශයේ කුඹුරු යායක දී අවසන් හුස්ම හෙළුවේය. මෙරට ජීවත්ව සිටි විශාලතම හා උසින් යුත් වන අලින් අතර ප්‍රමුඛ ස්ථානයක් ගත් මේ හස්තියාගේ නික්ම යෑම හුදෙක් වන සතකුගේ මරණයක් ලෙස සලකා බැහැර කළ හැක්කක් නොවේ. එය ශ්‍රී ලංකාවේ වනජීවී උරුමයට සිදුවූ බරපතළ පාඩුවක් සේම, අපේ වන සතුන් සුරැකීමේ ක්‍රමවේද පිළිබඳව නැවතත් ගැඹුරින් සිතා බැලිය යුතු බව සිහිපත් කරන අතිශය සංවේදී සිදුවීමකි.

කාවන් තිස්ස යනු දැවැන්ත සිරුරක් හා අභිමානවත් දළ යුගලයක් හිමි ඇත් රජකු පමණක් නොවේ. ඔහු ගල්ගමුවේ වනපෙත්, කුඹුරු යායවල්, වැව් ඉස්මත්ත හා ගම්මාන ආශ්‍රිතව සැරිසරමින් ප්‍රදේශවාසීන්ගේ ජීවිතවලට සමීප වූ සුවිශේෂී වන ජීවියෙකි. ඔහුගේ හැඩරුව, ගමන් විලාසය හා මිනිසුන් සමඟ පැවැති ඇතැම් හුරුපුරුදු සබඳතා නිසා ඔහු ප්‍රදේශවාසීන්ගේ ආදරය දිනාගත්තේය. දෙස් විදෙස් වනජීවී ලෝලීන්ගේ අවධානය ද ඔහු වෙත යොමුව තිබිණි.

එහෙත් අද ඒ දැවැන්තයා නිහඬය. එය දේව කෝපයක පෙරනිමිත්තක් ලෙස ද ගල්ගමුවේ සමහරෙක් නම් කරති. ඒ අනුව දැනට ඉතිරි වී ඇත්තේ ඔහු පිළිබඳ මතකයන් පමණක් නොව, ඔහුගේ මරණය වටා ගොඩනැඟුණු බරපතළ ප්‍රශ්න මාලාවකි.


ප්‍රතිකාර ක්‍රියාවලිය සහ මතුවන සැක සංකා

කාවන් තිස්ස ඇතාගේ ඉදිරි දකුණු පාදයේ තිබූ තුවාලයක් හේතුවෙන් ඔහුට සාමාන්‍ය පරිදි ඇවිදීමේ අපහසුතා මතුව තිබිණි. එම තුවාලය වෙඩි වැදීමකින් සිදුවන්නට ඇතැයි සැක පළ වුවද, එය වෙඩි තුවාලයක් බවට නිශ්චිත නිගමනයකට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය කණ්ඩායම් අසමත් වූහ.

නමුත් සැප්තැම්බර් 24 වැනිදා සිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය කණ්ඩායම් ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබිණි. පසුව තුවාලය යම් මට්ටමකට සුව අතට හැරෙමින් පවතින බවට තොරතුරු ද පළ විය. එහෙත් ඔහුගේ ආහාර ගැනීම අඩුවීම ඇතුළු වෙනත් රෝග ලක්ෂණ මතුව තිබූ බවට ද වාර්තා පළ විය.

එවැනි පසුබිමක කාවන් තිස්ස ඇතා ඊයේ සියඹලංගමුව ප්‍රදේශයේ කුඹුරු යායක ඇදවැටී සිටියදී හමුවීමත්, පසුව මියගිය බව තහවුරු වීමත් බොහෝ දෙනකු තුළ ඇති කළේ දැඩි සංවේගයකි.

තුවාලය සුව අතට හැරෙමින් තිබූ බවට වාර්තා පළ වූ ඇතාගේ තත්ත්වය මෙතරම් ඉක්මනින් බරපතළ වූයේ කෙසේද? පාදයේ තුවාලයට අමතරව ඔහුගේ සිරුර අභ්‍යන්තරයේ පැවැති රෝගී තත්ත්වයක් මරණයට හේතු වූයේද? තුවාලයට ප්‍රතිකාර කරන අතරතුර වෙනත් රෝග ලක්ෂණ නිසි පරිදි හඳුනාගෙන තිබුණේද?


මාධ්‍ය සීමා කිරීම් හා විනිවිදභාවය පිළිබඳ ගැටලුව

මෙහි දී කාවන් තිස්ස ඇතාට ප්‍රතිකාර කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ නිරීක්ෂණයට පළ වූ සීමා සහ ඒ ආශ්‍රිතව ඇතිවූ විරෝධතා පිළිබඳව ද ප්‍රශ්න මතුව තිබේ. ඔවුන් සඳහන් කර ඇති පරිදි, ප්‍රතිකාර සිදුවන අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට එම කටයුතු නිරීක්ෂණය කිරීමට වනජීවී දෙපාර්තමේන්තු පාර්ශ්වයෙන් විරෝධතා මතු වූ බවට කරුණු ඉදිරිපත් වී තිබේ.

කෙසේ වෙතත්, රෝගී වන සතකුට ප්‍රතිකාර කරන ස්ථානයට මහජනතාව හා මාධ්‍යවේදීන් ඇතුළුවීම සීමා කිරීමේදී සත්වයාගේ ආරක්ෂාව, මානසික ආතතිය අවම කිරීම සහ පශු වෛද්‍ය කටයුතුවලට බාධා නොවීම වැනි කරුණු ද සැලකිල්ලට ගත යුතුය.

එහෙත් මහජන අවධානය දිනාගත්, ජාතික වටිනාකමක් ඇති වන සතකු සම්බන්ධයෙන් සිදුවන ප්‍රතිකාර ක්‍රියාවලිය පිළිබඳව විශ්වාසය තහවුරු කිරීම ද අදාළ බලධාරීන්ගේ වගකීමකි. ඒ සම්බන්ධයෙන් එම මාධ්‍යවේදීන් පවසනුයේ තමන් කාවන් තිස්ස ඇතාට ප්‍රතිකාර කරන ස්ථානය අසලට ඒම පවා වනජීවී පශු වෛද්‍යවරුනට නොරිස්සුම් සහගත වූ බව ය. එමෙන්ම ඇතාට සිදු කරන ප්‍රතිකාර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම ඔවුන් තමන්ට “ලෙඩක් දැමීමට” දරන වෑයමක් සේ එම කණ්ඩායමේ ඇතැමුන් සිතා සිටි බව ද එම මාධ්‍යවේදීහු කියති. ඔවුන් වැඩිදුරටත් පවසනුයේ ඇතැම් වනජීවී පශු වෛද්‍යවරුන් තුළ තමන් සිදු කරන ප්‍රතිකාර පිළිබඳව පවා සෑහීමක් නොතිබූ බවකි.

ඇතාගේ බාහිර තුවාල පරීක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස්, රුධිර පරීක්ෂණ, අවශ්‍ය පටක පරීක්ෂණ සහ වෙනත් සායනික පරීක්ෂණ මඟින් ඔහුගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය ඇගයීමට ලක් කළේද? එවැනි පරීක්ෂණ සිදු කළේ නම් ඒවායේ ප්‍රතිඵල මොනවාද? ඒවා අනුව ගත් වෛද්‍යමය තීරණ මොනවාද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම වැදගත් වන්නේ අදාළ වෛද්‍යවරුන්ට හෝ නිලධාරීන්ට චෝදනා කිරීමට නොව, අනාගතයේදී මෙවැනි වටිනා වන සතකුගේ ජීවිතයක් බේරාගැනීම සඳහා ගත හැකි පාඩම් හඳුනාගැනීමට ය.

අවසාන මොහොතේ ඇතාගේ අතුණුබහන් ආශ්‍රිතව බරපතළ රෝගී තත්ත්වයක් පැවැති බවට ද තොරතුරු පළ වී තිබේ. එම තත්ත්වය කුමක්ද, එය කොපමණ කාලයක් පැවැතියේද, මරණයට එය බලපෑවේ කෙසේද යන්න තීරණය කළ හැක්කේ නිසි පශ්චාත් මරණ පරීක්ෂණ හා අදාළ වෛද්‍ය වාර්තා මඟිනි.

එබැවින් දැන් වඩාත් වැදගත් වන්නේ අනුමාන මත නිගමනවලට එළැඹීම නොව, සාක්ෂි මත පදනම් වූ පැහැදිලි කිරීමක් මහජනතාවට ඉදිරිපත් කිරීමය.

 

Tusker Kawanthissa is one of the most renowned wild elephants in Sri Lanka,  known for his massive size and striking tusks. Kawanthissa stands out as a  symbol of Sri Lanka's rich wildlife


‘කාවන් තිස්ස’ නාමය ලැබුණු හැටි

සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් වන අලි ඇතුන් හඳුනාගන්නේ ඔවුන්ගේ සිරුරේ ලක්ෂණ, හැසිරීම් රටාව, දළ යුගලයේ ස්වභාවය සහ සැරිසරන ප්‍රදේශය අනුවය. දළ පූට්ටුවා, සියඹලංගමුවේ ඇතා සහ චණ්ඩි ඒ සඳහා දැක්විය හැකි උදාහරණ කිහිපයකි.

මෙවැනි නම් බොහෝ විට හුදු හඳුනාගැනීමේ සලකුණු බවට සීමා නොවේ. කාලයත් සමඟ ඒවා එම සතුන්ගේ ජීවිත කතා, ඔවුන් පිළිබඳ ජනප්‍රවාද සහ ජනතාව තුළ ගොඩනැඟෙන ආදරය සමඟ බැඳී පවතී.

කාවන් තිස්ස යන නාමය ද එවැනි සුවිශේෂී නාමයකි. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව, 2013 වසරේ ගල්ගමුව උස්ගල සියඹලංගමුව වනපෙතේදී මේ ඇතා මුල් වරට හඳුනාගැනීමෙන් අනතුරුව ඔහුට එම නාමය යෙදීමේ කතාව ගොඩනැඟී තිබේ. ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දායකත්වය ද සඳහන් වේ.

img-20261017-200929-mceclip0-y4p6Qr.jpg

ආර්. එම්. ජේ. බණ්ඩාර හෙවත් 'අලි බණ්ඩාර'


ගල්ගමුව ප්‍රදේශයේ ප්‍රමුඛ වනජීවී ඡායාරූප ශිල්පියකු වූ ආර්. එම්. ජේ. බණ්ඩාර හෙවත් ‘අලි බණ්ඩාර’ ද මේ ඇතාගේ මුල් කාලීන හඳුනාගැනීම් හා සම්බන්ධ වූ අයකු ලෙස ද ප්‍රකටය. නමුත් ඇතැමෙක් පවසන අන්දමට මෙම කාවන් තිස්ස යන නාමය වනජීවී නිලධාරීන් විසින් යොදන එකක් නොවනුයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ක්‍රියාවලිය තුළ එවැනි නම් පටබැඳීමක් සිදු නොවන නිසා ය.

නමුත් පසුව කාවන් තිස්ස යන නාමය මෙරට පුරා ප්‍රචලිත වූයේ ඇතාගේ දැවැන්ත ශරීර ස්වභාවය නිසාම නොවේ. ඔහු ගල්ගමුවේ ගම්මාන ආශ්‍රිතව සැරිසරන අයුරු, දුම්රිය මාර්ග හා ප්‍රධාන මාර්ග අසලදී දක්නට ලැබුණු විශේෂිත හැසිරීම් සහ ඔහු පිළිබඳව ජනතාව තුළ පැවැති ආදරය ද ඊට හේතු විය.

ශ්‍රී ලංකාවේ අතීත රජ පෙළපතක අභිමානවත් නාමයක් දරමින් ජීවත් වූ මේ සත්වයා අවසානයේදී එම නාමයෙන්ම ජාත්‍යන්තර වනජීවී ලෝලීන්ගේ අවධානය දිනාගත් සතකු බවට පත්විය.


‘අලි කුමාර’ සහ කාවන් තිස්සගේ හෘදයාංගම බැඳීම


කාවන් තිස්ස ඇතා පිළිබඳ කතාවේ වඩාත් සංවේදී පරිච්ඡේදයක් ඇත්තේ ගල්ගමුව හා අඹන්පොල අතර ගැටදිවුල ප්‍රදේශය ආශ්‍රිතව ය.

img-20261017-201015-mceclip1-YZhAe1.jpg

චමින්ද කුමාර හෙවත් 'අලි කුමාර'


එම ප්‍රදේශයේදී වන අලි රංචු දුම්රිය මාර්ගය මාරු වන අවස්ථා නිරීක්ෂණය කරමින්, හැකි පමණින් ඔවුන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන පුද්ගලයකු ලෙස චමින්ද කුමාර හෙවත් ‘අලි කුමාර’ ප්‍රදේශයේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධය. ඔහු එම ප්‍රදේශයේ පාපිසි හා බුමුතුරුණු වෙළෙඳාමේ නිරතව සිටින අතර, වන අලින්ගේ ගමන් බිමන් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරයි.

දුම්රිය මාර්ගය මාරු කරන අලි රංචු පිළිබඳව දැනුවත්ව සිටීම, අවදානම් අවස්ථාවන්හිදී අදාළ පුද්ගලයන්ගේ අවධානය යොමු කිරීම සහ වන අලින්ට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සැලසීම ‘අලි කුමාර’ගේ ජීවිතයේ කොටසක් බවට පත්ව තිබේ.

කාවන් තිස්ස ඇතා ද එවැනි අවස්ථාවලදී හමුවූ හුරුපුරුදු සතෙකි.

ඔහුගේ මරණයෙන් බලවත් සංවේගයට පත්ව සිටින චමින්ද කුමාරගේ වචනවලින් ඒ බැඳීමේ තරම පැහැදිලි වේ:

“මම එයාලව කෝච්චියෙන් බේරන්න ලොකු වෙහෙසක් ගන්නවා. දැන් සමහර එන්ජින් ඩ්‍රයිවර් මහත්වරුන් මේ ගැටදිවුල කිට්ටුවට එද්දී, ‘කුමාර, කොහොමද තත්ත්වේ, අවුලක් නෑ නේද?’ කියලා මගෙන් අහනවා. ඒ වගේම තමන්ගේ රංචුවට පාර මාරු වෙන්න ඉඩ දෙන ටිකට ඔය කාවන් තිස්ස එයාගේ ඔළුව පාත් කරලා, හොඬවැල උස්සලා මට ආචාර කරන හැටි දැන් කොච්චර දෙනෙක් නම් දැකලා ඇතිද?”

ඔහුගේ මතකය එතැනින් නතර වූයේ නැත. සිය හුරුපුරුදු වන මිතුරා අහිමි වීමේ වේදනාවෙන් ඔහු සුසුමක් හෙළමින් පැවසුවේ,

“අනේ අම්මේ, ආයෙ නම් ඒ වගේ සම්පතක් මගේ ජීවිතේට හම්බ වෙන්නේ නෑ.”

මේ වචන කිහිපය තුළ ඇත්තේ වන අලියකුගේ මරණය පිළිබඳ ශෝකය පමණක් නොවේ. මිනිසකු හා වන සතකු අතර වචනවලින් විස්තර කළ නොහැකි ආකාරයේ හුරුපුරුදුකමක්, විශ්වාසයක් සහ මානුෂීය බැඳීමක් පැවැතිය හැකි බවට ද එය සාක්ෂියකි.

කාවන් තිස්ස ඇතාගේ වටිනාකම මැනිය යුත්තේ ඔහුගේ උසින් හෝ දළ යුගලයේ දිගින් පමණක් නොවේ. ඔහු ජීවත්ව සිටි කාලය තුළ මිනිසුන්ගේ සිත් තුළ ගොඩනැඟූ එවැනි බැඳීම් ද ඔහුගේ ජීවිතයේ වටිනාකමට අයත්ය.


සියඹලංගමුවේ ඇතා, දළ පූට්ටුවා සහ කාවන් තිස්ස

කාවන් තිස්ස ඇතාගේ මරණය ගැන කතා කිරීමේදී ශ්‍රී ලංකාව මීට පෙර අහිමි කරගත් සුවිශේෂී ඇතුන් පිළිබඳ මතකය ද අමතක කළ නොහැකිය.

සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යනු මෙරට වනජීවී ඉතිහාසයේ ජනතා අවධානය දිනාගත් ඇතුන් දෙදෙනෙකි. ඔවුන්ගේ ඛේදනීය මරණ පිළිබඳ මතකය තවමත් වනජීවී ලෝලීන්ගේ සිත් තුළ රැඳී පවතී.

මෙවැනි වන සතුන් මියයන විට අහිමි වන්නේ තවත් එක් ජීවියකු පමණක් නොවේ. පරම්පරා ගණනාවක් පුරා ස්වභාවික පරිසරය තුළ ගොඩනැඟුණු ජානමය උරුමයක්, පරිසර පද්ධතියේ කොටසක් සහ අනාගත පරපුරට දැකගැනීමට තිබූ ස්වාභාවික සම්පතක් ද අපට අහිමි වේ.

බොහෝ දෙනකු දන්නා පරිදි, සියඹලංගමුවේ ඇතාගේ සහ දළ පූට්ටුවාගේ සජීවී ප්‍රමාණයට සමාන රූපකායන් සහිත සත්ව අහිංසා ස්මාරකයක් ගල්ගමුවේ ඉදිකර තිබීම ද මෙහිදී වැදගත්ය. එය අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සංවිධානයේ ව්‍යාපෘති හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා කායික වෛද්‍යවරුන්ගේ ආයතනයේ (The Ceylon College of Physicians – CCP) සභාපති ධුරය දරන හෘද රෝග විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහගේ මූල්‍ය ප්‍රදානයෙන් සිදු කළ අතර ඒ සඳහා ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්. කේ. විමලරත්නයන්ගෙන් ද සුවිශේෂී සහායක් ලැබී තිබේ.

එම ස්මාරකය හුදු ප්‍රතිමා එකතුවක් ලෙස පමණක් නොව, මිනිස් ක්‍රියාකාරකම් හමුවේ අහිමි වූ වන ජීවීන් පිළිබඳ සමාජ මතකය රැකගැනීමේ උත්සාහයක් ලෙස ද අර්ථකථනය කළ හැකිය.

එහෙත් මෙවැනි ස්මාරක ඉදිකිරීමෙන් පමණක් වන සතුන් ආරක්ෂා කළ නොහැකිය. එවැනි ස්මාරකවලින් සිහිපත් කරන සතුන්ට අත්වූ ඉරණම නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීම ද ඒ හා සමානව වැදගත්ය.


අලි–මිනිස් ගැටුමේ ඛේදවාචකය සහ පද්ධතියේ අර්බුදය


ශ්‍රී ලංකාවේ මිනිස්–අලි ගැටුම අද වන විට ගම්මාන, ගොවිබිම්, වනපෙත් හා ජීවිත රැසකට බලපාන බරපතළ පාරිසරික හා සමාජ ගැටලුවකි. වනබිම් සීමා වීම, අලි ගමන් මාර්ග අවහිර වීම, වගාබිම් හා ජනාවාස ව්‍යාප්ත වීම සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා වන සතුන්ගේ ස්වාභාවික වාසස්ථාන වෙනස් වීම මෙම ගැටලුව තවදුරටත් සංකීර්ණ කරයි.

රොයිටර් පුවත් සේවය 2026 ඔක්තෝබර් 14 වැනිදා පළ කළ වාර්තාවකින් ද ශ්‍රී ලංකාවේ මිනිස්–අලි ගැටුම හා වනබිම් සීමා වීම හේතුවෙන් ඇති වී තිබෙන දැඩි තත්ත්වය පෙන්වා දී තිබිණි. එම වාර්තාවට අනුව, 2019 වසරේ සිට වාර්ෂිකව සාමාන්‍යයෙන් මිනිසුන් 138 දෙනකු සහ වන අලි 402 දෙනකු මෙම ගැටුම් ආශ්‍රිතව මියගොස් තිබේ.

මෙවැනි පසුබිමක කාවන් තිස්ස වැනි අලියකුගේ ජීවිතය සුරැකීම යනු තුවාලයක් සිදු වූ පසු ඖෂධ ලබාදීමෙන් පමණක් අවසන් කළ හැකි කාර්යයක් නොවේ.

Iconic Sri Lankan tusker 'Kawanthissa' dies | Sri Lanka News | Ada Derana |  Truth First

වන සතුන්ට අවශ්‍ය වාසස්ථාන ආරක්ෂා කිරීම, අලි ගමන් මාර්ග පවත්වාගෙන යෑම, දුම්රිය හා මහාමාර්ග ආශ්‍රිත අනතුරු අවම කිරීම, නීති විරෝධී ක්‍රියා මැඬපැවැත්වීම සහ අසනීප වන සතුන් කඩිනමින් හඳුනාගැනීම ඒ හා බැඳුණු අත්‍යවශ්‍ය වගකීම්ය.

එසේම වනජීවී පශු වෛද්‍ය සේවාවන් සඳහා අවශ්‍ය සම්පත්, ඖෂධ, විශේෂඥ සහාය සහ රෝග විනිශ්චය පහසුකම් ලබාදීම ද වැදගත් වේ. වන අලියකුගේ බාහිර තුවාලය සුව වෙමින් පැවතිය ද ඔහුගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අඛණ්ඩව අවධානය යොමු කළ යුතු ය. මෙහි දී අලි ඇතුන් සංරක්ෂණය පිළිබඳ සාම්ප්‍රදායික දැනුමට නවීන පශු වෛද්‍ය විද්‍යා ප්‍රගතිය එක් වීමෙන් තායිලන්තය වැනි රටවල් මේ වන විට ලබා ඇති ප්‍රගතිය ද අප අධ්‍යයනය කළ යුතු වේ.

මේ නිසා කාවන් තිස්සගේ මරණයෙන් පසුව අප විමසිය යුත්තේ එක් ඇතාගේ මරණයට හේතුව කුමක්ද යන්න පමණක් නොවේ. එවැනි ජීවිත තවදුරටත් අවදානමට ලක් නොවීමට අපේ වනජීවී සංරක්ෂණ ක්‍රමවේදවල සිදු කළ යුතු වෙනස්කම් මොනවාද යන්න ද විමසා බැලිය යුතුය.


ඉදිරියේදී විසඳිය යුතු මූලික ගැටලු 5ක්

කාවන් තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රධාන වශයෙන් මතුව ඇත්තේ කරුණු කිහිපයක් පිළිබඳ පැහැදිලි කිරීමේ අවශ්‍යතාවයි:

1- ඉදිරි දකුණු පාදයේ තුවාලය නිශ්චිතවම කුමන හේතුවකින් සිදු වූවක්ද?
2- පාදයේ තුවාලයට අමතරව වෙනත් අභ්‍යන්තර රෝගී තත්ත්වයක් පැවැතියේ නම් එය කුමක්ද?
3- ප්‍රතිකාර කාලය තුළ සිදු කළ සායනික පරීක්ෂණවලින් හෙළි වූ කරුණු මොනවාද?
4- මරණයට ආසන්න දිනවල ඇතාගේ තත්ත්වය වෙනස් වූ ආකාරය සහ එයට ගත් වෛද්‍ය ක්‍රියාමාර්ග මොනවාද?
5- පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වන මරණයට ආසන්නතම හේතුව කුමක්ද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව, ප්‍රතිකාර සටහන් සහ අදාළ විද්‍යාත්මක පරීක්ෂණ ප්‍රතිඵල වැදගත් වනු ඇත.

කාවන් තිස්සගේ මරණයට අදාළව වෙනම පශු වෛද්‍ය කණ්ඩායමක් මඟින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබූ බව ඊයේ පළ වූ වාර්තාවක සඳහන් විය. එහෙත් එහි අවසන් ප්‍රතිඵල හා නිගමන නිල වශයෙන් තහවුරු කර නොගෙන මරණයට හේතුව පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් කිරීම සුදුසු නොවේ.

ඇතාගේ මරණයට කෲර මිනිස් ක්‍රියාවක් හේතු වූයේද? රෝගී තත්ත්වයක් නිසි වේලාවට හඳුනාගැනීමට නොහැකි වීමක් සිදුවූයේද? ප්‍රතිකාර ක්‍රියාවලියේදී යම් අඩුපාඩුවක් තිබුණේද? නැතහොත් ඔහුගේ ජීවිතය බේරාගත නොහැකි තරම් බරපතළ ස්වාභාවික රෝගී තත්ත්වයක් පැවැතියේද?

මේ කිසිවක් දැනට නිශ්චිත නිගමන ලෙස ප්‍රකාශ කළ නොහැකිය. ඒවා හෙළි කළ හැක්කේ විද්‍යාත්මක සාක්ෂි සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් මඟිනි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් හා නිලධාරීන් වෙත එල්ල විය හැකි ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමත්, ඔවුන් සිදු කළ කාර්යය පිළිබඳ නිවැරදි තක්සේරුවක් සිදු කිරීමත් සාධාරණ විය යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ අනුමාන මත පුද්ගලයන්ට දොස් පැවරීම නොව, සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලි කරන විශ්වාසදායක තොරතුරු මහජනතාවට ලබාදීමය.


ශෝකවීමෙන් ඔබ්බට ගිය ජාතික වගකීමක්

අද කාවන් තිස්ස ඇතා ජීවතුන් අතර නැත. එහෙත් ඔහුගේ මරණය සමඟ අපට ඉතිරි වී ඇති වගකීම තවමත් අවසන් වී නැත.

ඔහුගේ ජීවිතය පිළිබඳව ආදරයෙන් කතා කිරීම, ඔහුගේ දැවැන්ත රූපකාය අගය කිරීම සහ ඔහුගේ මරණය ගැන ශෝක වීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔහු වැනි සතුන්ට ජීවත්වීමට සුදුසු පරිසරයක් තහවුරු කිරීමත්, තුවාල ලැබූ හෝ රෝගී වූ වන සතුන්ට කාර්යක්ෂම වෛද්‍ය සේවාවක් සැපයීමත්, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගවීම සහතික කිරීමත් අපේ සැබෑ වගකීම වේ.

සියඹලංගමුවේ ඇතාගේ මතකය, දළ පූට්ටුවාගේ ඉරණම සහ කාවන් තිස්සගේ අකල් නික්ම යෑම එකිනෙකට සම්බන්ධ කරමින් අපට කියා දෙන්නේ එකම පාඩමකි. වනජීවී සම්පතක් අහිමි වූ පසු ඒ ගැන ශෝක වීමට වඩා, එවැනි අහිමිවීම් වැළැක්වීමට ජීවත්ව සිටින කාලයේදී කටයුතු කිරීම වැදගත්ය.

කාවන් තිස්සගේ මරණය ස්වාභාවික හේතුවක් නිසා සිදුවූවක්ද, මිනිස් ක්‍රියාවක් ඊට සම්බන්ධද, නැතහොත් හඳුනාගත යුතු වෙනත් හේතුවක් තිබේද යන්න පිළිබඳ අවසන් තීරණය සාක්ෂි මත පදනම් විය යුතුය. එමෙන්ම සිදුවීමෙන් ඉගෙනගත හැකි පාඩම් ද නිසි ලෙස හඳුනාගත යුතුය.

ගල්ගමුවේ කුඹුරු යායක වැටී නිහඬ වූ මේ ඇත් රජු යළිත් කිසිදා සිය හුරුපුරුදු ගමන් මාර්ග ඔස්සේ නොඑනු ඇත. දුම්රිය මාර්ගය අසලදී ඔහුගේ හොඬවැල උස්සා ආචාර කළ අයුරු සිහිපත් කරමින් චමින්ද කුමාර වැනි මිනිසුන්ට තව බොහෝ කලක් ශෝක වීමට සිදුවනු ඇත.

එහෙත් කාවන් තිස්සගේ මරණය තවත් එක් අමතක වන පුවතක් බවට පත්වීමට ඉඩ නොදිය යුතුය.

ඔහුගේ මරණයට සැබෑ හේතුව සොයාගැනීම, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු මහජනතාවට පැහැදිලි කිරීම සහ අනාගතයේදී මෙවැනි වනජීවී උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙළක් ඇති කිරීම දැන් ඉතිරිව ඇති ප්‍රධාන කාර්යයන්ය.

කාවන් තිස්ස ඇත් රජුට සැබෑ ගෞරවය දැක්විය හැක්කේ ඔහු වෙනුවෙන් ශෝක වචන ලිවීමෙන් “සුබ ගමන්” ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් නොවේ. ඔහුගේ මරණයෙන් පාඩම් ඉගෙනගෙන, තවත් කාවන් තිස්සලාට මේ මහ පොළොව මත නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය සුරක්ෂිත කිරීමෙනි.

ගල්ගමුවේ අහස යට කාවන් තිස්සගේ දැවැන්ත රුව අද නැත. එහෙත් ඔහුගේ මරණය අප ඉදිරියේ තබා ගිය ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්නා තුරු, ඔහු පිළිබඳ කතාව ද අවසන් නොවනු ඒකාන්ත ය.

(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

සබැඳි පුවත් :

කාවන්තිස්ස හස්තිරාජයා දැයෙන් සමුගනී: අලි–මිනිස් ගැටුමේ ඛේදවාචකය

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර ඇරඹීම පමා ඇයි ? - ක්ෂේත්‍ර අර්බුදය මෙන්න

ඒ.ජී රේණුකා දමයන්ති

නිදහස් මාධ්‍යවේදිනී

renudamayanthi2024@gmail.com

View all stories by ඒ.ජී රේණුකා දමයන්ති
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...