මතභේදයට තුඩු දුන් සාම ත්යාගය
ජාත්යන්තර පාපන්දු සම්මේලනයේ සාම ත්යාගය - FIFA Peace Award - ලබා ගත් එකම දේශපාලන නායකයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මීට හේතු වී තිබෙන්නේ එම මතභේදාත්මක ත්යාගය අහෝසි කරන ලෙසට හෝ එය දේශපාලන බලපෑම්වලින් විමුක්ත කරන ලෙසට FIFA කවුන්සලය ලෝක පාපන්දු ප්රධානී ජියානි ඉන්ෆන්ටීනෝ ට කියා සිටීමයි.
මේ ත්යාගයට ප්රධාන වෙනස්කම් සිදුකරන ලෙසටත් එසේත් නැත්නම් එය සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙසටත් බ්රහස්පතින්දා පැවති කවුන්සල රැස්වීමේදී එහි සාමාජිකයින් කිහිප දෙනෙකු ම තරයේ ඉල්ලා තිබෙනවා. ඒ අනුව, FIFA හි පාපන්දු සමාජමය වගකීම් කමිටුව දෙසැම්බර් 16 වැනිදා ඩෝහා නුවර පැවැත්වීමට නියමිත ඊළඟ කවුන්සල රැස්වීමට පෙර මේ පිළිබඳව නිර්දේශ කළ යුතු වනවා.
සාම ත්යාගය සමාජමය වගකීම් කමිටුව වෙත බාරදී ඇතැයි ඉන්ෆන්ටීනෝ බ්රහස්පතින්දා රැස්වීම ආරම්භයේදී ම ප්රකාශ කළා.
ට්රම්ප් නිසා ඇති වූ රාජ්යතාන්ත්රික අවදානම
ට්රම්ප් සමග තිබෙන සම්බන්ධය නිසා මේ සාම ත්යාගය කෙලෙසී ඇති බවට ප්රබල මතයක් කවුන්සල සාමාජිකයින් අතර තිබෙනවා. මේ ත්යාගය ලබන ඊළඟ පුද්ගලයාගේ අනන්යතාවට ට්රම්ප් අකමැති වුනොත් අමෙරිකානු ජනාධිපතිවරයා ඊට විරුද්ධ වෙමින් රාජ්යතාන්ත්රික කැලඹිලිකාරි තත්ත්වයක් නිර්මාණය කිරීමට ඉඩ තිබෙන බවට සමහර සාමාජිකයින් අවධානය යොමුකර තිබෙනවා.
පුද්ගලයින් 22 දෙනෙකුගෙන් සමන්විත FIFA සමාජමය වගකීම් කමිටුවේ බලය පවත්වා ගෙන යන්නේ ඉන්ෆන්ටීනෝ ට පක්ෂපාතී රටවල නියෝජිතයින් වන බැවින් සාම ත්යාගය අවලංගු කිරීමෙන් FIFA සභාපතිවරයාට අපහාසයක් සිදුවනු ඇතැයි යන පදනම මත ඔවුන් එය වැළැක්වීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත්, මේ ත්යාගයේ වෙනසක් අවශ්ය බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා.
දේශපාලනයෙන් තොර පාපන්දු සම්මානයක්
කවුන්සලයේ එක් සාමාජිකයෙකු පවසන පරිදි බොහෝ විට මෙහි ප්රතිඵලය වනු ඇත්තේ සමාජ සමගිය හා වගකීම ප්රවර්ධනය කිරීමෙහි ලා කැපී පෙනෙන සේවයක් ඉටු කළ පාපන්දු ක්ෂේත්රය තුළ ම තනි පුද්ගලයෙකු වෙනුවෙන් සාම ත්යාගය යළි නිර්මාණය කිරීමයි. එය දේශපාලනඥයෙකුට ප්රදානය කළ නොහැකි බවට වන කොන්දේසියක් ද ඊට ඇතුළත් වනු ඇතැයි එම සාමාජිකයා පවසනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ක්රීඩා සංස්කාරක




