ප්රමිතියෙන් තොර ඖෂධ සෞඛ්ය අමාත්යාංශයට මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු ට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරියා ලෙස පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දෙමින් සිටියදී නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ හරස් ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
මහාධිකරණ විනිසුරු ප්රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
එහිදී පැමිණිල්ලේ 339වන සාක්ෂිකාර, මෙම නඩුවේ විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂක එරංග ප්රභාෂ් ලක්සිරි මහතාගෙන් වැඩිදුර නැවත ප්රශ්න විමසීම නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සිදු කරන ලදි.
පෙර දින නඩු විභාගය අවසන් වන අවස්ථාවේදී ලබා දෙමින් සිටි සාක්ෂිය පිළිබඳව සාක්ෂිකරුට සිහිපත් කළ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් වරිය 68 ගොනුව ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛන වෙත සාක්ෂිකරුගේ අවධානය යොමු කරමින් "2022 සැප්තැම්බර් 26 වැනි දින කැබිනට් සංදේශය සකස් කිරීමට අදාළ ලේඛන ඔබේ භාරයට ගත් බව ඔබ කිව්වා. ඒවා අධිකරණයට ඉදිරිපත් කළ බවත් කිව්වා." යනුවෙන් සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු
"ස්වාමීනී,2023 /12/ 19 දින එහි ඡායා පිටපත් දහවැනි චූදිත ගෙන් ලබා ගැනීමක් සිදු කළා. එහි මුල් ගොනුව 2024/02/14 දින ලබා ගැනීමක් සිදුකළා . ඒ බව මහේස්ත්රාත් තුමියට දැනුම් දීමක් වැඩිදුර වාර්තාවක් මගින් සිදුකළා." යනුවෙන් පිළිතුරු ලබා දුන්නේය.
"එම ගොනුව ලබාගත් "සැප්තැම්බර් 26 දිනැති කැබිනට් මණ්ඩල සංදේශය" සකස් කිරීමට අදාළව psrp කාර්යාලයේ තිබූ ගොනුවක් භාර ගැනීමක් සිදුකළ බවත් ඔබ කිව්වා. කැබිනට් අමාත්ය මණ්ඩල කාර්යාලයෙන් ලබා ගත්තාද?" යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ලේඛන අමාත්ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමට කටයුතු කළ බවය.

68 ගොනුවේ තිබෙන අත්සන් සම්බන්ධයෙන් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී
"අධිකරණයට ඉදිරිපත් කළ අමාත්ය මණ්ඩල කාර්යාලය මගින් ලබාගත් ගොනුවේ මුල් ලේඛන තිබූ බව" සාක්ෂිකරු සඳහන් කළේය. එහි සහතික පිටපත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහි ඉංග්රීසි පිටපතේ ඇමතිවරයාගේ අත්සන තබා තිබූ බව අනාවරණය වූ බවද, සිංහල සහ දෙමළ පිටපත් වල අමාත්යවරයාගේ නිල මුද්රාව තබා තිබූ බවද , සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
අදාළ අත්සන පිළිබඳව වැඩි දුර වාර්තා මඟින් මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
අදාළ සිංහල මුල් පිටපතේ තිබූ ප්රශ්නාර්ථ ලකුණු සහ පැති සටහන් පිළිබඳව හරස් ප්රශ්න වලදී ඉදිරිපත් කරුණු සම්බන්ධයෙන් සිහිපත් කළ නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය 2023/12/19 දින එම ඡායා පිටපත් භාර ගන්නා විට එහි ප්රශ්නාර්ථ ලකුණු සහ පැති සටහන් තිබුණාදැයි විමසීමක් කළා ය.
එම අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි සටහනක් නොතිබුණු බවය.
අමාත්ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කිරීමේ ආකෘති පත්රය පිළිබඳව නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ ආකෘති පත්රය සම්බන්ධයෙන් වන විමර්ශනයන් අමාත්ය මණ්ඩල කාර්යාලයේ සහ අමාත්යවරයාගේ කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්රකාශ ලබා ගනිමින් සිදුකළ බවය.
සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයුම් ඒකකයේ සේවකයන් වන දර්ශන බණ්ඩාර, නිහාල් රංජිත්, සවින්ද කුරේ යන අය පළමුවන චූදිත සමග පැවති දුරකථන සම්බන්ධතා ගැන හරස් ප්රශ්න වලදී නීතිඥවරුන් මතු කළ කරුණු සම්බන්ධයෙන් නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී සාක්ෂිකරුගෙන් වෙන්වෙන්ව ප්රශ්න කර සිටියාය.
"දර්ශන බණ්ඩාරගේ රාජකාරිය සම්බන්ධයෙන් කට උත්තරයක් ගත්තාද ?"යනුවෙන් විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඔහුගෙන් ප්රකාශයක් සටහන් කර ගැනීමක් සිදුකළ බවය. පළමුවන චූදිත විසින් සෘජුව භාරදෙන දෙයක් ඔහුට භාර ගැනීමේ හැකියාවක් නොමැති අතර ඔහු වෙත අදාළ ඖෂධ පැමිණි විට අනුමැතිය ලැබීමෙන් පසුව ඒවා භාර ගැනීම සිදුකරන බව විමර්ශනවලදී අනාවරණය වූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
අනුමැතිය ලැබුණු පසු ඔහු විසින් ඒවා භෞතිකව පරීක්ෂා කරන බවටද, ඔහුගේ කාර්යය අධීක්ෂණය කිරීම සඳහා එහි මාණ්ඩලික නිලධාරියෙක් සිටි බවටද, කරුණු අනාවරණය වූ බව එහිදී සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
භාණ්ඩ භාරදීම සඳහා වන invoice පතට කොටු සීල එකක් තබා අනුමැතිය ලබා දුන් තිබිය යුතු බවද සේ අනුමැතිය ලැබීමෙන් පසුව දර්ශන බණ්ඩාර නිලධාරියා විසින් අදාළ ඖෂධ බාරගන්නා බවද විමර්ශනවලදී අනාවරණය වූ බව සාක්ෂිකරු සඳහන් කර සිටියේය.
"මෙහිදී හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් තොග පාලක නිලධාරී සහ සහකාර අධ්යක්ෂවරියගේ අනුමැතිය පමණ ද ලැබී තිබුණේ?" යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අවස්ථාවේදී එය සඳහා අධ්යක්ෂකවරයාගේද අනුමැතිය ලැබී තිබූ බව අනාවරණය වූ බව" සාක්ෂිකරු කියා සිටියේය.
"තොගය බාර ගැනීමේදී ඒ සමග ඉදිරිපත් කළ WOR සහ CAO පතට තොග පාලක නිලධාරීවරයාගේ අවධානය යොමු වූ බවක් අනාවරණය වුණා ද?" යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තුන්වෙනි චූදිත වෙත සහ අධ්යක්ෂක වෙත යොමු කර තිබූ බවය.
තුන්වෙනි චූදිත විසින් එම ලේඛන පරීක්ෂා කර නිර්දේශය ලබාදී තිබූ අතර දෙවැනි චූදිත විසින් එය අනුමත කර තිබූ බවද, ඔහු වෙතට අදාළ WOR සහ CAO පත යොමු වූ බව ද අනාවරණය වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
ඉන්පසුව දර්ශන බණ්ඩාර ට එම තොගය ගබඩාවට ඇතුළත් කිරීමේ හැකියාව ලැබෙන අතර පසුව එම තොරතුරු pronto පද්ධතියට ඇතුළත් වන බවද සාක්ෂිකරු කියා සිටියේය.
එහිදී අදාළ තොගය ciu ඒකකට ඇතුලත් කරන අතර එම ඒකකයට ඇතුලත් කරන ප්රමාණයට අඩු හෝ වැඩි ප්රමාණයක් බාරගත නොහැකි බව අනාවරණය වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
"වෛද්ය සැපයුම් ඒකකයේ සේවකයකු වන නිහාල් රංජිත් ගේ දුරකථන අංකය පිළිබඳව විමර්ශනය කළාද,? හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ භාර ගැනීම හෝ ඒ සම්බන්ධ කාර්යයක් ඔහු ට පැවරී තිබුණු බවක් අනාවරණය වුණාද?" යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එම ක්රියාවලියට ඔහුගේ සහභාගිත්වයක් ඇති බව අනාවරණය නොවූ බවය.
"ඔහු සැපයුම් ගණකාධිකාරී කාර්යාලයේ සේවය කළ අතර එහි සැපයුම් ගණකාධිකාරීවරයා ප්රධානියා ලෙස කටයුතු කරන බවද අධ්යක්ෂකවරයාද එහි කටයුතු කරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
"ඔවුන් අභිබවා ගොස් භාණ්ඩ භාර ගැනීමට අනුමැතිය දීමේ හැකියාවක් නිහාල් රංජිත් නමැත්තා නොමැති බවද අනාවරණය වූ බව සාක්ෂිකරු ප්රකාශ කළ අවස්ථාවේදී රිටොප්සි මැබ් සම්බන්ධයෙන් තත්ත්වයද එලෙසම පවතිනවාද? " යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්රශ්නයක් යොමු කළාය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එම තත්ත්වය රිටොප්සිමැබ් ඖෂධයට ද අදාළ වන බවය.
"ප්රධාන ගණකාධිකාරීවරයා සහ ගණකාධිකාරී සැපයුම් අතර වෙනස සොයා බැලුවාද ?"යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී "ගණකාධිකාරී සැපයුම් හට අදාළ invoice පත් සහ GRN පත් ලැබුණු පසුව සැපයුම් කොන්දේසි පරික්ෂා කොට වවුචර් පත් සකස් කල යුතු ලේඛන පරීක්ෂා කර වව්චර පත් සකස් කිරීම් කළ යුතු බව අනාවරණය වූ බවද, ගැනුම් ඇනවුම් අංකයක් නිකුත් කරන බව එහිදී අනාවරණය වූ බවද"
සාක්ෂිකරු සඳහන් කළේය.
සැපයුම් ඝණකාධිකාරීවරයා විසින් අනුමැතිය ලබාදීමෙන් අනතුරුව අදාළ ගොනුව ඔහු භාරයේ තබා ගන්නා අතර ගණකාධිකාරීවරයා වෙත ලේඛන කිහිපයක් පමණක් යොමුවන බව සාක්ෂි අනාවරණය වූ බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
එම ලේඛන අතර invoice පත, GRN පත සහ වව්චරය පමණක් තිබෙන බවද අදාළ චෙක්පත සකස් කිරීම එම වවුචරයට අදාළව සිදුකරන බවද, අනාවරණය වූ බව විමර්ශන නිලධාරිවරයා කියා සිටියේය.
ප්රමුඛතාවන් ලබාදීම සම්බන්ධයෙන් 6වන චූදිත විසින් ප්රශ්න කළ අවස්ථාවේදී චෙක් පත් සකස් කිරීම සම්බන්ධ පොරොත්තු ලේඛනයක් පිළිබඳව මතු වූ බව සිහිපත් කළ නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය "පොරොත්තු ලේඛනයෙන් පිට ගෙවීම් සිදුකිරීම සඳහා ප්රමුඛත්වය ලබාදෙන ලෙස කර තිබූ නිර්දේශ පිළිබඳව සොයා බැලුවාදැයි "සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය.
"ඒ පිළිබඳව සොයා බැලීමක් කළා ස්වාමීනී, අනෙකුත් සැපයුම්කරුවන්ට ප්රමුඛතාවය ලබාදීමට වැඩිය මෙම තත්ත්වය වෙනස්. රිටොප්සි මැබ් ඖෂධය සඳහා 2022/ 11/ 30 ලබාදුන් ප්රදානය අනුව2023/12/07 දින ඖෂධ සැපයීමට නියමිතව තිබුණා. නමුත් අදාළ ඖෂධ සපයා තිබුණේ 2023/05/11 වැනි දින එම ඖෂධ ලබා දිය යුතු කාලය මාස පහක් පමණ ගතවී තිබූ බව තමයි අනාවරණය වුණේ. සැපයුම්කරු සෞඛ්ය අමාත්යාංශයට ඊට පෙර ඖෂධ සපයා තිබූ බවක් අනාවරණය වුණේ නෑ. මීට පෙර ඖෂධ ලබා දී තිබූ ඖෂධ සැපයුම්කරුවන්ට ප්රමුඛතාවය ලබාදෙන බව සඳහන් වුනා.
සැපයුම්කරුට රිටොප්ස් මැබ් ඖෂධය සඳහා මාස දෙකක් තුළ මිලියන සීයයක් ලබා දී ඇති බවත්, හයවන චූදිත ගේ නිර්දේශය අනුව එම කටයුතු සිදුකළ බවත් අනාවරණය වුණා යනුවෙන් සාක්ෂිකරු දීර්ඝ පිළිතුරක් ලබා දුන්නේය.
"පළමුවන චූදිත සැපයුම් ජාලයේ සිටින සැපයුම්කරුවෙක් බවට අනාවරණයක් වුණාද?" යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී ස්වාමීනි, පළමුවරට මේ අවස්ථාවේදී තමයි ලියාපදිංචියක් නොමැතිව ඖෂධ සපයා ඇති බව තමයි අනාවරණය වුණේ .ඔහු සැපයුම් ජාලයේ සිටින සැපයුම්කරුවෙකු නොවෙයි"
යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.

"හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් අනාවරණය වූයේ කුමක්ද?" යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අවස්ථාවේදී 2020.01.23 දින වන විට ඖෂධ 22500ක් සැපයිය යුතුව තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය.
එහෙත් 2023/05/06 දින 900ක් 2023 /07/18 දින ඒකක 750ක්,2023 /07/27 දින එකක 750ක්, 2023 /08/11 දින ඒකක 250ක්, 2023 08/25 දින ඒකක 750ක්, 2023 /09/06 දින ඒකක 585 ලෙස 3350ක් පමණක් ලබා දුන් දී තිබූ බව කරුණු වලින් අනාවරණය වූ බව සාක්ෂිකරු ප්රකාශ කළේය.
"සැපයුම් කොන්දේසියක් මගින් 22500ක් එකවර ලබාදිය යුතු බවට තෝරාගෙන තිබූ අයිසොලේස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් සමාගම කුඩා කොටස් වලින් ඖෂධ සැපයීම සිදුකර තිබෙනවා. අනිත් සැපයුම්කරුවනුත් එසේ කටයුතු කර තිබෙනවාද ?"යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුට ප්රශ්නයක් යොමු කළාය.
" ස්වාමීනි, මෙම ඖෂධයේ මාසික අවශ්යතාවය 7500ක් බවට අනාවරණය වුණා. මෙම ඖෂධ කුඩා කොටස් වලට බාර ගැනීමක් නොකෙරෙන බවත් අනාවරණය වුණා "යනුවෙන් සාක්ෂිකරු පිළිතුරක් ලබා දුන්නේය.
එහිදී මෙම ප්රශ්න කිරීම් වලට විරෝධය පළ කරමින් දෙවැන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා අධිකරණය ඇමතීමක් කළේය.
නීතිඥ අසේල සේරසිංහ මහතා: "ස්වාමීනී බාධා කිරීමකට නෙමෙයි. නමුත් මෙම කෑලි කෑලි ලබා දෙන එක ගැන කවුරුත් හරස් ප්රශ්න වලදී ඇහුවේ නෑ. මේ කරන ප්රශ්න කිරීම වැරදියි යනුවෙන් ප්රකාශ කළේය.
නීතිඥ නයන්න විජේසුන්දර මහතා: ප්රමුඛතාවය ගැන ප්රශ්න කළා. එහෙත් කොටස් වලින් වශයෙන් භාර දීමක් ගැන ප්රශ්න කිරීමක් කළේ නෑ.
සභාපති විනිසුරු ප්රියන්ත ලියනගේ මහතා: ප්රමුඛතාවය ගැන ප්රශ්න ඇහුවා එය හරි . එය හරස් ප්රශ්නවලදී අනාවරණය කර අහපු කාරණයක්
නීතිඥ අසේල සේරසිංහ මහතා : ස්වාමීනී, ප්රමුඛතාවය ගැන ප්රශ්න ඇහුවා කොටස් වශයෙන් භාරදීමක් ගැන ඇහුවේ නෑ. ඒ ගැන කවුරුවත්ම සාක්ෂි දීලා නැහැ.
නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය :හයවන චූදිත වෙනුවෙන් තමයි ඒ ප්රශ්නය ඇහුවේ. ප්රමුඛතාවය දෙන්නේ අඛණ්ඩ සැපයුම් සේවයක් පවත්වාගෙන යාමට බව. 22500ක් ලබාදිය යුතු අවස්ථාවක 3350ක වරින් වර ලබාදීම ගැන තමයි ඇහුවේ.
නීතිඥ අසේල සේරසිංහ මහතා :කොටස් වශයෙන් ඖෂධ භාර දුන් අවස්ථා ඕන තරම් තියෙනවා .ඒ සම්බන්ධයෙන් අවශ්ය නම් ඕන තරම් හරස් ප්රශ්න අහන්න පුළුවන්. එවැනි අවස්ථාවන් ඕන තරම් පෙන්වන්නත් පුළුවන්.
සභාපති විනිසුරු ප්රියන්ත ලියනගේ මහතා: ප්රමුඛතාවයට සම්බන්ධ ප්රශ්න අහන්න පුළුවන්. හරස් ප්රශ්නවලදී ඉදිරිපත් නොකළ දේ අහනවා නම් හරස් ප්රශ්නවලට නැවත වරක් ඉඩ ඉඩ දෙනවා.
එම සංවාදයෙන් අනතුරුව නැවත සාක්ෂිකරුගෙන් ප්රශ්න කිරීම් සිදුකළ නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය
" ප්රමුඛතාවය ලබා දී ඇති මෙම අයිතමය මාසික අවශ්යතාවය සම්පූර්ණ කිරීමට ප්රමාණවත් ප්රමාණයක් සපයා තිබුණාද?" යනුවෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේ එවැනි සැපයීමක් කර නොතිබූ බවය. අයිතම 3385ක් පමණක් සපයා තිබු බවද, එම ඖෂධයේ මාසික අවශ්යතාවය 7500ක් වන බව සාක්ෂිකරු කියා සිටියේය.
"හරස් ප්රශ්නවලදී ඔබෙන් ප්රියන්ත කස්තුරිසිංහ ගැන ඇහුවා ඔහුගේ දුරකථන සංවාද සම්බන්ධයෙන් ඇහුවා" දේදුනු ඩයස්ගේ කට උත්තර සඳහන් කර ගත් බව ඔබ ප්රකාශ කළා?" යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්රශ්නයක් යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එම කට උත්තරය අනුව ඔහු මෙම ප්රශ්නගත ඖෂධ භාර ගැනීම හෝ ගෙවීම් ක්රියාවලියට සම්බන්ධයක් නොමැති බව අනාවරණය වූ බවය.
"ගරුසිංහ විජේසූරිය නමැති නියෝජ්ය අධ්යක්ෂ ජෙනරාල්ගේ ප්රකාශයක් ගැනීම සම්බන්ධයෙන් හරස් ප්රශ්නවලදී ඔබේ ප්රශ්න කළා .ඔහු මෙම ප්රශ්නගත ප්රසම්පාදනයට සම්බන්ධ ද ?ඒ සම්බන්ධයෙන් ඔහු යම් හෝ රාජකාරියක් කර තිබෙනවාද?" යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි කරුණක් අනාවරණය නොවූ බවය.
නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය: spc ආයතනයේ දිනූෂ දසනායක සහ සරත් විජේසිංහගේ ප්රකාශ සටහන් කර ගැනීමක් ගැන ඇහුවා. මෙහිදී ලංසු කැඳවීමට හෝ ඇගයීමට spc ආයතනයේ සභාපති සහභාගිවී සිටියාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනී
නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය: HSEPC කමිටුවේ සරත් විජේසිංහ මහතා සාමාජිකයකු සිටින බව සිටි බවට ඔබ කිව්වා.එම රාජකාරිය සිදු කිරීමේදී SPC ආයතනය ප්රසම්පාදන අස්ථිතිය ලෙස කටයුතු කළාද?
සාක්ෂිකරු :නැත ස්වාමීනි
නියෝජ්ය සොලිසිටර් ජනරාල් වරිය: එම ප්රශ්නගත ප්රසම්පාදනයට අදාළ ඖෂධ සම්බන්ධයෙන් එම ඖෂධ භාර ගැනීම හෝ මුදල් ගෙවීම spc ආයතන මගින් සිදුකර තිබෙනවාද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි
නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය:ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්රධාන විධායක නිලධාරීවරයා විසින් අත්සන් කරන ලද නිල ලේඛන මොනවද කියලා සොයා බැලුවද?
සාක්ෂිකරු : කමිටුව හරහා ගන්නා තීරණ දැනුම් දීමට අත්සන් යොදන බවත් එම තීරණ ඊමේල් මගින් දැනුම් දීමේදී ඊමේල් සඳහා ඔහුගේ අත්සන යොදන බවටත් අනාවරණය වුණා.
නීතිඥ අසේල සේරසිංහ මහතා: ස්වාමීනි, ඊමේල් පිළිබඳව ප්රශ්න අහන්න බෑ. මම ඒ සම්බන්ධයෙන් ප්රශ්න ඇහුවේ නෑ
නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය:දෙවන චූදිත හරස් ප්රශ්නවලදී ඇහුවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්රධාන විධායක නිලධාරීවරයා විසින් අත්සන් කරන ලේඛන නිල ලේඛනද කියලා. ඊමේල්පත නිල ලේඛනයක්ද කියලා තමයි මම අහන්න යන්නේ?
අනතුරුව සාක්ෂිකරුගෙන් නැවත ප්රශ්න කිරීම සිදුකළ නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය" ඔබට චෝදනා කරා ඔබ තෝරාගත් ලේඛන තමයි ඉදිරිපත් කළේ කියලා .ඔබට අවශ්යතාවයක් තිබුණද ලේඛන තෝරාගැනීම සිදුකිරීමට? එසේ නැත්නම් සාක්ෂිකරුවන් විසින් දෙන ලේඛනද ඔබ ඉදිරිපත් කළේ?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරුවන් විසින් ලබා දෙන ලේඛන ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කර සිටියේය.
විමර්ශනයේදී අනාවරණය කරුණු සහ අධිකරණය විසින් ලබාදී ඇති නියෝග පරිදි අනිවාර්යයෙන්ම ලබාදිය යුතු ලේඛන ලබාදීමට සාක්ෂිකරුවන් විසින් කටයුතු කර තිබූ අතර අධිකරණ නියෝග ප්රකාරව ඔවුන් විසින් භාර දුන් ලේඛන භාරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තමන් විසින් සිදුකළ බව සාක්ෂිකරු කියා සිටියේය.
"ඔබට චෝදනා කළා පුද්ගලයන්ට හිරි හැරවන ආකාරයට, කැමති කැමති ආකාරයට විමර්ශනය කරන බවට. එසේ විමර්ශනයක් කළ හැකිද ?" යනුවෙන් නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය ප්රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු "එසේ කරන්න බෑ ස්වාමීනී, විමර්ශනය්දී අනාවරණය කරුණු මත තමයි වැඩිදුර විමර්ශනය කළේ. ඒවා අධිකරණයට වාර්තා කළා. අධිකරණ නියෝග මත ලබා දෙන භාණ්ඩ හා ලේඛන භාරගෙන අධිකරණයට ඉදිරිපත් කළා එම නියෝග වලින් පිටත කටයුතු කිරීමේ හැකියාවක් නෑ." යනුවෙන් සඳහන් කළේය.

නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් වරිය : අං කොං අල්ලගෙන ඔබ චේතනාන්විතව පුද්ගලයන් ඉලක්ක කරගෙන මෙම විමර්ශනය කරන බවට චෝදනා කළා. ඔබට හැකියාවක් තිබෙනවාද සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන සාක්ෂිවලට අර්ථ නිරූපණයක් කිරීමට?
සාක්ෂිකරු: එසේ හැකියාවක් නෑ ස්වාමීනි, සාක්ෂිකරුවන් විසින් ලබාදෙන සාක්ෂි මත තමයි විමර්ශනය සිදු කළේ.
නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඔබගේ අර්ථකථනය වැදගත්ද මේ විමර්ශනයට?
සාක්ෂිකරු :නැත ස්වාමීනී, සාක්ෂි මඟින් අනාවරණය කරුණ තමයි වැදගත් වන්නේ. ස්වාමීනී, විමර්ශනයේදී අනාවරණය කරගත්තා සෞඛ්ය අමාත්යාංශය මෙම ඖෂධ මිලදී ගැනීමට රජයේ මුදල් වංචනිකව ලබාගෙන ඇති බව. රුපියල් 25,000කට වැඩි අගයක් ඇති බව අනාවරණය වුණා. ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහතිකය යටතේ පොදු දේපළ පනතට අදාළව අධිකරණයට කරුණු වාර්තා කළා. එම ලේඛන උගත් මහේස්ත්රා තුමියගේ
අවධානයට යොමු කළා. මහේස්ත්රාත්තුමියගේ නියෝගය පරිදි නඩු භාණ්ඩ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළා. යනුවෙන් සාක්ෂිකරු දීර්ඝ විස්තරයක් කළේය.
නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය: "ලේඛනයක තිබූ මිනිට් සටහනක් කියවා ගැනීමට ඔබට නොහැකි වීම සම්බන්ධයෙන් හරස් ප්රශ්න විමසීමේදී ඔබෙන් ඇහුවා. පූර්ණ විමර්ශනයක් සිදුකර නොමැති බවට ඔබට චෝදනා කළා. එම ලේඛන නීතිපතිවරයා වෙත යොමු කළාද?"
සාක්ෂිකරු: එසේය ස්වාමීනී, ලේඛන අනුව විමර්ශන කළා .සම්පූර්ණ වශයෙන්ම මෙම විමර්ශනය කිරීමට බාධාවන් ඇති වූයේ නැහැ.ඇතැම් අවස්ථාවලදී පැහැදිලි කර ගැනීම සිදු කළ කරගත්තා. අවස්ථානුකූලව නීතිපති උපදෙස් ලැබුණා. අංශයේ නිලධාරීන්ගෙන් අවශ්ය උපදෙස් සහ සහයෝගයත් ලබා ගැනීම සිදුකළා.
නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් වරිය: විමර්ශනයේ ප්රගතිය ස්ථානාධිපතිවරයා මගින් සහකාර පොලිස් අධිකාරීවරයා මගින් අධ්යක්ෂවරයාට දැනුම්දීමට ඔබ බැඳී සිටිනවාද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනි.
නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් වරිය: එම කරුණු එම් එම නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්වුණාද?
සාක්ෂිකරු: එසේ ස්වාමීනී
මෙම පිළිතුරු ලබාදීමත් සමඟම සාක්ෂිකරුගෙන් නැවත ප්රශ්න කිරීම් අවසන් කළ බව නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය.
එම නඩුවට අදාළව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් තවත් කැඳවන්නේ ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා නඩු වාර්තාව පරිශීලනය කිරීම අවශ්ය බවත් ඒ සඳහා කල් ලබා දෙන ලෙසත් ඇය ඉල්ලීමක් කළාය.
ඒ අනුව අදාළ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව අලුතෙන් සාක්ෂිකරුවන් කැඳවන්නේ ද යන්න පිළිබඳව මෝෂන් පතක් මගින් අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරියට විනිසුරු මඩුල්ල විසින් නියම කරන ලදි.
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කෙරිණ.
ප්රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්රව්ය කුප්පි 6,195ක් සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයුම් අංශයට සපයා ශ්රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්රනාන්දු, වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක,එම අංශයේ සහකාර අධ්යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත, වෛද්ය සැපයුම් අංශයෙන් නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්රසම්පාදන ක්රියාවලියේ ප්රසම්පාදන කමිටු සාමාජික වෛද්ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් වෛද්ය සමන් රත්නායක, වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයකු වන වෛද්ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්රධාන විධායක නිලධාරි වෛද්ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ, හිටපු අමාත්යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්ය ආනන්ද විජේවික්රම ඇතුළු වෛද්යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න



