2017 වසරේ දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ‘‘සංස්කෘතික සායනය’’ යන මැයෙන් වැඩමුළු මාලාවක් වත්වන ලදී.
මෙම වැඩමුළු මාලාවේ දී: කවිය, නවකතාව, කෙටිකතාව, විචාරය, නර්තනය, වේදිකා නාට්‍ය, රූපවාහිනි මාධ්‍යය, ගුවන්විදුලි මාධ්‍යය, චිත්‍රකලාව සහ මූර්ති කලාව යනාදි සියලු කලා ඉසවු ආවරණය කෙරුණි.
 
යට කී වැඩමුළුවේ සම්පත්දායකයෙකු වශයෙන් සහභාගි වීමේ වරම මට ද හිමි විය. මා වෙත පවරා තිබුණේ ‘‘විචාරය යනු කුමක් ද? සහ විචාරයක් අවශ්‍ය වන්නේ ඇයි ද?’’ යන්න පිළිබඳ වූ පාර්ශ්වය යි. 
 
එහි පළමු පියවර ලෙස පැමිණ සිටි පිරිස වෙත නවකතාව සහ කෙටිකතාව යනු කුමක් ද යන්න පිළිබඳව ද සරල අවබෝධයක් ලබා දිය යුතු බවට ද යෝජනා විය. මතු දැක්වෙන්නේ එම එම යෝජනාව අනුව නවකතාව යනු කුමක් ද යන්න සහ කෙටිකතාව පිළිබඳව මවිසින් කළ දේශනය යි.
 
එම දේශනය මේ මොහොතේ ද කථන භාෂාවෙන් ම පළ කෙරෙන්නේ වඩාත් සරල අවබෝධයක් ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙනි.
 
 
 
නවකතාව කියන්නෙ මොකක්ද?
 
අපි පළමුවෙන් ම බලමු නවකතාව කියන්නෙ මොකක්ද කියල. සාමාන්‍යයෙන් නවකතාව කියල හඳුන්වන්න සහ පිළිගන්නෙ ප්‍රබන්ධ චරිත, සිදුවීම් සහ ප්‍රදේශ ආශ්‍රිත කරගනිමින් පිළිවෙළකට ගලාගෙන යන කතාවක් රචනා කිරීම. විදග්ධ භාෂාවෙන් කියනවනම් දීර්ඝ ගද්‍ය ආඛ්‍යානයක් රචනා කිරීම.
 
 
නවකතාව නමැති සාහිත්‍යාංගයට අවුරුදු දෙදෙහසකට ආසන් හෝ ඒ ප්‍රමාණය ඉක්ම ගිය ඉතිහාසයක් පවතින බව විශ්වාස කරනවා.
 
ඇත්තට ම නවකතාවේ මුලාරම්භය ලෙස සලකන්නෙ සම්භාව්‍ය ග්‍රීක ඉතිහාසය, රෝම ඉතිහාසය සහ මධ්‍යකාලින යුගය. 
 
එකල පවා නවකතාවේ ඉසව් තුනක් පැවති බව සඳහන් වෙනවා. එය ආදිතම යුගයේ හැඳින් වුණේ නුතන අරුමැසි කතා විදියට. පසුව එය කෙටි නවකතා යනුවෙන් හඳුන්වනවා.
 
 The Rise of the Novel
 The Rise of the Novel (1957)) 
 
 (novella) කොහොම වුණත් ඉයන් වොට් (Ian Watt) නමැති විචාරකයාගේ The Rise of the Novel (1957)  නමැති කෘතියේ සඳහන් වෙන්නේ ‘‘නවකතාව’’ නමැති දෙය නිවැරැදිව ම හඳුනගන්න පුළුවන් වෙන්නෙ 18වන සියවසේ මුල් යුගයේ බවයි. (නමුත් නවකතාවේ මූලබීජ පුරාණ ග්‍රීසිය, 10වැනි 11වැනි සියවසේ ජපානය තුළ වගේ ම එලිසබෙත් රැජිනගේ සමයට අයත් එංගලන්තයෙත් හමුවෙලා තියෙනවා.) 
 
 ඔහුට අනුව නුතන යුගයේ නවකතා ලක්ෂණ ප්‍රකට කළ පළමු පුද්ගලයා විදියට එනම් යුරෝපිය සාහිත්‍යකරුවා විදියට සඳහන් කරන්නේ ‘‘දොන් ක්විසෝට්’’ (Don Quixote) කෘතියේ රචකයා වෙන මිගුවෙල් දි සර්වැන්තේස් (Miguel de Cervantes) නමැති පුද්ගලයා. මේ කෘතිය පළ වෙලා තියෙන්නෙ 1605 වසරෙදි.
 
මම කලින් සදහන් කරපු අරුමැසි (romance)  නවකතාව මේ ආකෘතියට සමීප දීර්ඝ ආඛයාන විශේෂයක්.
 
 
මොකක් ද ආඛ්‍යානය කියන්නෙ?
 
ආඛ්‍යානය යනුවෙන් හැඳින්වෙන්නේ යම් කිසි කතාවක් කියනවා කියන එක; එහෙම නැතිනම් යම් සිද්ධියක් විස්තර කිරීම. මෙතනදි ඕනම සාහිත්‍යය රචනයකට අදාළ මූලිකාංග මොනවද කියල ම ඉතුරු කොටසට යමු.
 
නවකතාව, කෙටිකතාව සහ කවිය යන සාහිත්‍යාංග තුනටම මේ කාරණා පොදුයි. එනම් ආඛ්‍යානය, ආකෘතිය, අනුභූතිය සහ සන්දර්භය.
 
ආඛ්‍යානය කලින් සඳහන් කළානෙ. අපි බලමු ආකෘතිය කියන්නෙ මොකක්ද කියල.
 
 
ආකෘතිය කියන්නෙ මොකක්ද?
 
ආකෘතිය කියල හඳුන්වන්නෙ කිසියම් නිර්මාණයක හැඩය. එහෙමත් නැතිනම් අදාළ නිර්මාණය නිම කරල තියෙන පිළිවෙළ. 
 
උදාහරණයක් විදියට ගත්තොත් බහුතර කතා ලියන්නෙ ප්‍රථම පුරුෂ ආකෘතියෙන්. ඒ කියන්නේ සමහර කතා ලියන්නේ තවත් කෙනෙක් කතාව කියන විදියට. වඩාත් සරලව කියනවා නම් ‘‘ඔහු’’, ‘‘ඇය’’ හෝ වෙනත් පුද්ගල නාමයකින්.
 
අනෙක් ආකෘතිය වෙන්නෙ උත්තම පුරුෂ. ඒ කියන්නේ ‘‘මම’’ හෝ ‘‘මගේ’’ යනුවෙන් කතාව ලිවීම. තවත් සරලව කියනවා නම් රචකයා අදාළ නිර්මාණයේ චරිතයක් විදියට කියවන්නාට දකින්න ලිවීම.
 
මේ ආකෘති දෙකට අමතරව මධ්‍යම පුරුෂ යනුවෙනුත් ආකෘතියක් පවතිනවා. නමුත් නූතනයේ මේ ආකෘතිය භාවිතා වෙනවා අඩුයි. බොහෝ දුරට බෞද්ධ සාහිත්‍යයේ එන ජාතක කතා ලියවිලා තියෙන්නෙ මේ ආකෘතියෙන්. එහි පුද්ගල චරිත හඳුන්වන්නේ ‘‘නුඹ’’, ‘‘නුඹලා’’, ‘‘තා’’, ‘‘තෝ’’ සහ ‘‘තොපි’’ යනාදි වශයෙන්.
 
 
අනුභූතිය කියන්නෙ මොකක්ද ?
 
දැන් බලමු අනුභූතිය කියන්නෙ මොකක්ද කියල.
 
අනුභූතිය කියන්නෙ කිසියම් නිර්මාණයක් සඳහා පාදක කරගන්නා අත්දැකීම. තවත් සරලව කියනවා නම් රචකයා ඇසු, දුටු සිද්ධියක් හෝ කතාවක්. මේ අත්දැකීම රචකයාගේ අත්දැකීමක්, අන් අයකුගේ අත්දැකීමක් හෝ රචකයා හෝ රචකාවිය අසා තිබෙන අත්දැකීමක් වෙන්න පුළුවන්.
 
 
සන්දර්භය කියන්නෙ මොකක්ද ? 
 
දැන් අපි බලමු සන්දර්භය කියන්නෙ මොකක්ද කියල.
 
සන්දර්භය කියන දේ සාමාන්‍යය අරුත වෙන්නේ ‘‘මුල, මැද සහ අග’’ පිළිවෙළින් ගැළපීම. ඒක තමයි සාමාන්‍යය කතාවක ස්වරුපය. නමුත් දැන් ඒ විදියට ම ලියන්නෙ නැහැ. ඒ ක්‍රමය වෙනස් කරල ලියපු කතා අනන්තවත් තිබෙනවා. තව ඉදිරියටත් ඒ වගේ කතා බිහිවේවි. 
 
හොඳ ම උදාහරණ වෙන්නෙ සමන් වික්‍රමාරච්චිගේ ‘‘අසන්ධිමිත්තා’’ නවකතාව. ඒ වගේ ම භාතිය මදනායක ලියපු ‘‘පාරා’’ නවකතාව.
 
අපි මේ දුර ආවෙ අරුමැසි නවකතාව ගැන කියන්න ගිහින්. අරුමැසි කතාව යනුවෙන් වර්තමාන හැඳින්වෙන සාහිත්‍යාංගය මෙතන සඳහන් කරන අරුමැසි නවකතාවට වඩා වෙනස්. 
 
දැන් බටහිර රටවල අරුමැසි සාහිත්‍යය (romance novel)  විදියට සලකන්නෙ ආදරය සහ රාගය පිළිබඳ වෘතාත්නත ඇතුළත් නවකතාවවලට.
 
 
මම කලින් සඳහන් කරපු අරුමැසි කතාවට පසුව තමයි නවකතාව (novel) කියන සාහිත්‍යාංගය එන්නෙ. 
 
නවකතා කියන ශානරයේ එහෙමත් නැතිනම් සාහිත්‍යාංගයේ වැදගත් ම කතා ලෙස සැලකුවේ: එමලි බ්‍රොන්ටේගේ වදරිං හයිට්ස්  (Wuthering Heights), හර්මන් මෙල්විල්ගේ මෝබි ඩික්  (Moby-Dick) ගුස්ටාෆ් ප්ලෝබෙයාගේ එමා බෝවාරි (Madam Bovary) තොල්ස්තෝයිගේ යුද්ධය හා සාමය (War and peace) සහ ජේම්ස් ජොයිස්ගේ යුලීසිස් (Ulysses) (යුලිසීස් හැර අනෙකුත් කෘති සියල්ල සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තිබෙනවා) යන  කෘති.
 
Novels 
 
අපි බලමු නවකතා ශානර මොනවද කියල
 
අපි දැන් දන්නවා නවකතාව කියන්නෙ මිනිස්සුන්ට සමීප අත්දැකිම් විස්තර කරන දීර්ඝ ආඛ්‍යානයක් එහෙමත් නැතිනම් ලියවිල්ලක් බව. නුතන යුගයේ මේ බොහොමයක් සාහිත්‍යය ප්‍රබන්ධ රචනා කෙරෙන්නෙ ගද්‍ය ආකෘතියෙන්. මේ විදියට ගද්‍ය ආකෘතියෙන් ලිවීමට විශාල පිටුබලයක් ලැබෙන්නෙ 15 වන සියවසේ මුද්‍රණ තාක්ෂණය සොයාගැනීමත් සමග.
 
නවකතාව එහෙමත් නැතිනම් novel යනුවෙන් මේ සාහිත්‍යාංගය හඳුන්වන්නෙ ඇයි කියලත් දැනගන්න කැමැති ඇතිනෙ. මේ වචනය එන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන්. ස්පාඤ්ඤ භාෂාවේ තියෙනවා novella කියල වචනයක්. මේ වචනයේ ස්පාඤ්ඤ අරුත වෙන්නෙ: අලුත් දේ, නවමු දේ කියන අදහස. ඒ වචනය ම ලතින් භාෂාවේ ශබ්ද කෙරෙන්නෙ novus යනුවෙන්. 
 
මේ වචන දෙකම එකට එකතු වෙලා හැදෙනවා කියන novellus කියන වචනය. මේ සියල්ල බිඳිල ඇවිත් ඉංග්‍රීසි භාෂාවෙ ශබ්ද කරනවා novel කියල.
 
 
 
ඉතිහාස ලේඛනයේ සහ නවකතාවේ වෙනස
මහාවංශය නවකතාවක් ද? එහෙම නැතිනම් බෝධිවංශය, දිපවංශය, චුලවංශය හෝ වංසත්තපකාශනිය...? මේව නවකතා ද නැද්ද? නැහැ. මේ කියපු සියල්ලම ඉතිහාස ලේඛන. (නමුත් ඒ සියල්ලගෙ ම ප්‍රබන්ධමය ලක්ෂණ නැතුව නෙවෙයි.) එහෙම වුණා කියල ඒවා නවකතා වෙන්නෙ නැහැ. නවකතාව ඉතිහාස ලේඛනයෙන් වෙනස් වෙන්නෙ ප්‍රබන්ධත්වය නිසාම යි. 
 
 
මුල් කාලයේ නවකතාකරුවෝ මේ ඉතිහාසමය සිද්ධි නවකතාවලට ඇතුළත් කළා. ලංකාවේ හොඳම උදාහරණය ඩබ්ලියු. ඒ. සිල්වාගේ ‘‘විජයබා කොල්ලය’’ කියන නවකතාව. 
 
සමහර වෙලාවට ඉතිහාස කතාවේ අන්තර්ගත නොවුණ බොහෝ දේ නවකතාව හරහා පිළිබිඹු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අදාළ කාල සීමාවට අයත් සමාජ, දේශපාලනික සහ පුද්ගල යථාර්ථ නිරූපණය කරන්න නවකතාවට පුළුවන් වෙනවා.
 
 
 
නවකතාවේ ආරම්භක ලිඛිත ඉතිහාසය
 
ගෙන්ජිඅපි හැමෝ ම දන්නවා වර්තමානයේ කෙටි නවකතාව, කෙටිකතාව, ජනප්‍රිය ප්‍රබන්ධය (Popular fiction) ආදි ගද්‍ය ප්‍රබන්ධ කෘති අතර දීර්ඝතම සාහිත්‍යාංගය බවට පත්වෙලා තියෙන්නෙ නවකතාව බව. 
 
ඒ වගේ ම වැදගත් කාරණයක් වෙන්නෙ මොන මොන සාහිත්‍යාංග ඉතිහාසයට එකතු වුණත් ලෝකයේ පළමු නවකතාව විදියට ඉතිහාසගතවෙලා තියෙන්නෙ මුරසකි ශිකිබුගේ ‘‘ගෙන්ජි’’ නමැති නවකතාව. 
 
මේ සඳහා බලපෑ හේතු විදියට සඳහන් කරන්නේ  ඒකීය ධාරණාවකින් යුක්ත වීම, චරිත ගොඩනැංවීමට අවධානයක් දක්වා තිබීම, මනෝවිද්‍යානුකූල ගවේෂණය යනාදි ය.
 
අපි කලින් කතා කළා අරුමැසි නවකතාව සහ නවකතාව පිළිබඳව. දැන් අපි  කෙටි නවකතාව යන සාහිත්‍යාංගය ගැන ටිකක් කතාකරමු.
 
‘‘නවකතාව’’ නමැති යෙදුම එහෙමත් නැතිනම් ඒ හැඳින්වීම 19වන සියවසේ වගේ කාලෙත් යුරෝපයේ ජනප්‍රියව පැවතුණ ‘‘කතන්දර කීමේ කලාව’’ තුළ දැකගන්න ලැබුණා.  සෝවියට් දේශයේ මේ සාහිත්‍යාංගය බහුල ලෙස තිබුණා. 
 
හොඳ ම උදාහරණය චිංගිස් අයිතිමතාව් ගේ ‘‘පළමු ගුරුවරයා’’ හෙවත් ‘‘ගුරු ගීතය’’ නමැති කෘතිය. ඊළගට අර්නස්ට් හෙමිංවේගේ ‘‘මහල්ලා සහ මුහුද’’ නමැති කෘතිය.
 
නවකතාවේ විවිධ කොටස් ලෝකයේ මේතාක් බිහිවුණ නවකතාවල දකින්න ලැබුණ මූලික ලක්ෂණ හෝ කොටස් දෙකක් පවතිනවා.
 
 
01.  සමාජයේ පැවති ඓතිහාසික කතන්දර - ‘‘විජයබා කොල්ලය’’, ‘‘කුවන්නා’’, ‘‘මහ රජ ගැමුණු’’, ‘‘මින්නේරි දෙවියෝ’’, ‘‘සෙංකඩගල බිසෝ’’ යන කෘති ඇතුළු මේ ගනයට අයත් කෘති බොහොමයක් තිබෙනවා. මම මේ කෘති කිහිපය විතරක් කිව්වෙ ඒ කෘති මට සුවිශේෂ කෘති වුණ නිසා. 
මගේ පුද්ගලික අදහසට අනුව නම් මාර්ටින් වික්‍රමසිංහගේ ‘‘ගම්පෙරළිය’’ සහ ‘‘කරුවල ගෙදර’’, සේන තෝරදෙනියගෙ ‘‘උදුම්බරාගිර’’, ලෙනාඩ් වුල්ෆ්ගෙ ‘‘බැද්දෙගම’’, මිණිවන් පී. තිලකරත්නගෙ ‘‘ගමක වත’’ යනාදි ප්‍රබන්ධ පවා යම් දුරකට මේ පාර්ශ්වය නියෝජනය කෙරෙනවා.
 
 
 
02.  කිසියම් නවකතාවක අන්තර්ගත චරිතවල අභ්‍යන්තරය හෙළි කරන මානුෂික කතන්දර විදියට ගත්තොත් රූපා ශ්‍රියානි ඒකනායකගේ ‘‘සිටුවර පුවත’’ සහ ‘‘බැද්දේ කුලවමිය’’, ශාන්ති දිසානායකගෙ ‘‘වාලුකා’’, දර්ශනා ෂම්මි විජේතිලකගේ ‘‘ගිරග සසල විය’’ යන කෘති මේ සඳහා විශේෂ නිදර්ශන විදියට පෙන්වන්න පුළුවන්.75 anniversary gamperaliya 400
 
නවකතාවේ පවතින සුවිශේෂත්වය වෙන්නේ ඉහත දක්වපු ලක්ෂණ දෙකම එකට බද්ධ වුණ බවක් දක්නට ලැබීම. එක් අතකට මාර්ටින් වික්‍රමසිංහගේ ‘‘ගම්පෙරළිය’’ කෘතිය ඇතුළු මම කියපු කෘති ඓතිහාසික කතන්දරයක් විදියට ගන්නෙ කොහොමද කියල කෙනෙක් අහන්න පුළුවන්. 
 
ඒක ඇත්ත. මොකද ඒ කතා බොහොමයක අන්තර්ගතය අනුරාධපුර යුගය හෝ පොළොන්නරු යුගය නෙවෙයි. නමුත් මම කියපු කෘති අතරෙන් ‘‘කුවන්නා’’‍, ‘‘සෙංකඩගල බිසෝ’’ සහ ‘‘මින්නේරි දෙවියෝ’’ හැර අනෙක් කෘතිවල අන්තර්ගතවෙන්නෙ 19වන සියවසේ අගබාගයේ කතා පුවත්.
 
 ඒ ඇතැම් කෘතිවල විශේෂත්වය වෙන්නෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින්ගේ දෙපා අබියස නිවටයෝ වුණ මුහන්දිරම්ලා, ආරච්චිලා, කෝරාළලා වෙනස්වන ලෝකයත් සමග වෙනස් නොවීම හේතුවෙන් විනාශය කරා යන ආකාරය සහ නුතනත්වය සමග මුසු වෙමින් එ’තුළින් ම තමන් ධනේශ්වරයට නතුවන නවමු පෙළැන්තියේ කතා ඇතුළත් වීම.
 
 ඒ සමගම මාර්ටින් වික්‍රමසිංහගේ අවිඥානය තුළතැන්පත්ව තිබූ: සිංහල, බෞද්ධ, ජාතික වගේම ජාතිවාදය පියල්ගේ චරිතය හරහා ප්‍රකට කරන්නත් ඔහු සියුම් ලෙස තමන්ගේ වියමන පාවිච්චි කරනවා.
 
මේ කාරණා වර්තමාන පරපුර දැගත යුතුයි. එසේ දැන නොගන්නා නිසා මම මේ පහත දක්වන වර්ගයේ නවකතා බිහිවෙනවා.
 
1) සමාජ ඓතිහාසික නවනකතා ලෙස ප්‍රකාශයට පත්කෙරෙන ව්‍යාජ ඓතිහාසික නවකතා.
 
2) අනෙක යථාර්ථවාදි කතා නමින් ප්‍රකාශයට පත්කෙරෙන හරසුන් කතා. මේ කතා බොහෝ වෙලාවට පසුව ටෙලි පිටපත් බවට පත්වෙනවා. රචකයා හෝ රචකාවිය මේ කතා ලියන්නෙ ම ටෙලියකට දෙන්න බලාගෙන. ඔහු හෝ ඇය ම මීට අදාළ ටෙලි තිරපිටපතත් කලින් ම ලියල තියාගන්නවා.
 
ජි. බී. සේනානායක ගරු කළ යුතු සාහිත්‍යෙව්දියෙක් වුනත් ඔහු පවා මේ ඓතිහාසික යන ව්‍යාජ කතා රචනා කළා. ඒ සඳහා හොම උදාහරණ වෙන්නෙ ‘‘වරදත්ත’’ සහ ‘‘චාරුමුඛ’’ යන නවකතා ද්විත්වය.
 
සයිමන් නවගත්තේගම
සයිමන් නවගත්තේගම
 
 සමහර අය සයිමන් නවගත්තේගමගේ කතා පවා මේ ගනයේ ලා සලකනවා. නමුත් ඔහු සිය නිර්මාණ සඳහා බොහෝවිට භාවිතා කළේ අධියථාර්ථවාදි රීතිය සහ මායා යථාර්ථවාදි රීතිය. 
 
ඒ සඳහා උදාහරණ විදියට ඔහුගේ ‘‘සංසාර ආරණ්‍ය අසබඩ’’, ‘‘සංසාරණ්‍යෙයේ දඩයක්කාරයා’’, ‘‘සංසාරණ්‍යෙය් උරුමක්කාරයා’’, ‘‘සාපේක්ෂණී’’ යන කතා දක්වන්න පුළුවන්. ඔහු මේ කතා ලියන්නේ ථේරවාදී බෞද්ධාගම පාදක කරගනිමින්.
 
 
 
කෙටිකතාව :
 
අපි දැන් කෙටිකතාව ගැන යම් අදහසක් ගන්න උත්සාහ කරමු.
 
මේ සාහිත්‍යාංගය පිළිබඳවත් ලංකාවෙ වගේම විදෙස් සාහිත්‍යෙව්දියෝ සහ විවිධ විචාරකයෝ විවිධ මත පළ කර තිබෙනවා. සරලව ම ගත්තොත් මේ සාහිත්‍යාංගයත් අයත්වෙන්නේ ‘‘ගද්‍ය සාහිත්‍යය’’ අංශයට. නමුත් එහි වෙනසක් පවතිනවා. මොකක්ද මේ වෙනස.
 
  
මේ සම්බන්ධයෙන් විශ්ව ලේඛකයකු වන සම්සෙට් මෝම් දක්වන්නේ මෙබඳු අදහසක්. ‘‘කෙටිකතාව ඔනෑම ප්‍රමාණයක නිර්මාණයක් වෙන්න පුළුවන්. නමුත් එතුළින් ප්‍රකට විය යුත්තේ එක් අවස්ථාවක් පමණයි. එහි දී කිසියම් පුද්ගලයකුගේ මනෝභාව හෝ කිසියම් සිද්ධියක සුවිශේෂතාව ගම්‍ය කරන්න පුළුවන්. ඔහු හොදම උදාහරණය විදියට ගන්නේ ගීද මොපසාංගේ ‘නූල් කැබැල්ල’ කෙටිකතාව.’’
 
 
 
නමුත් එච්. ජි. වේල්ස් දක්වන්නේ වෙනත් අදහසක්.
 
 
ඔහු කියන්නේ කෙටිකතාව කියන්නේ පැය බාගයකට කලින් කියවා අවසන් කළ හැකි කතාවක් විය යුතුයි කියල. නමුත් මෙතනදි ප්‍රශ්නයක් පැනනගිනවා. මොකද ඔහු නියම කරන්නේ කෙටිකතාවේ කාලසීමාව පමණයි. එය කෙටිකතාවක එක් අංගයක් විතරයි.
 
මෙතනදි සම්සෙට් මෝම්ගේ අදහස වැදගත්; ඔහුගේ ප්‍රකාශයේ ‘‘එක් අවස්ථාවක්’’ යන්න ඉතා වැදගත්. ඒකෙන් අදහස් වෙන්නෙ මොකක්ද? ඔහු පවසන්නේ කෙටිකතාවකින් ප්‍රකාශ විය යුත්තේ කෙටි කාලසීමාවක් තුළ සිදුවු හෝ සිදුවන දෙයක් බවයි. 
 
නමුත් එය එසේ ම විය යුතු නැහැ. සමහර විට ප්‍රබන්ධකරුවාට හෝ කාරියට මෙය අතීතය, වර්තමානය සහ අනාගතය යන කොටස් තුනම අන්තර්ගත වෙන විදියට ලියන්නත් පුළුවන්. නමුත් ඒ කාලසීමා තුනටම අදාළ විය යුත්තේ එක් සිද්ධියක් විතරයි.
 
තවත් සරලව ම කියනවා නම් කෙටිකතාවක් කියන්නේ පාඨකයා එක වරම කියවා අවසන් කළ හැකි අන්දමේ රචනාවක් විය යුතුයි. එතනදි නවකතාව ලියන පුද්ගලයාට පවතින අසීමිත නිදහස කෙටිකතාකරුවාට නැහැ. 
 
මොකද අනවශ්‍ය කරුණු අන්තර්ගත වුණු ගමන් ම කෙටිකතාවේ අගය පහත බසිනවා. කෙටිකතාවට අවශ්‍ය යැයි අදහස් කරන අංග කිහිපයක් මේ විදියට සඳහන් කරන්න පුළුවන්.
 
01.   අදාළ විෂය
 
02. රචකයා අනාවරණය කරන්නේ කුමක් ද යන කාරණය
 
03. චරිත නිරුපණය
 
04. කතාවට අදාළ පසුබිම
 
05. අදාළ අවස්ථාව
 
06. කතාව ඉදිරිපත්කරන කථකයාගේ හෝ කතකාවගේ මනෝභාවය.
 
07. කතාව ඉදිරිපත්කරන ශෛලිය
 
08. කතාවට අදාළ පරිසරය.
 
 
දැන් අපි මේ කාරණා එකින් එක ටිකක් විග්‍රහ කරගමු.
 
පළමුවෙන් ම විෂයය කියන්නෙ මොකක්ද කියල බලමු. විෂයය යනුවෙන් අදහස් කරන්නේ කතාවේ සම්පූර්ණ අදහස. උදාහරණයක් විදියට කියනවා නම් ගුණදාස අමරසේකරගේ ‘‘බයිසිකලය’’ කෙටිකතාව. මේ කෙටිකතාව ලියන්නේ රුසියානු ලේඛක ගොගොල් ගේ ‘‘හිම කබාය’’ කෙටිකතාවේ ආභාෂයෙන්. (මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නගෙ රුසියානු සාහිත්‍යය සහ වර්තමාන සිංහල නවකතාව සහ කෙටිකතාව කෘතිය කියවන්න.)
 
දෙවනුව බලමු මේ අනාවරණය කියන්නෙ මොකක්ද කියල.
 
නවකතාවක් වගේ ම කෙටිකතාවක් කියවන ඕනම කෙනෙක් කැමතියි අවසානයට මොකද වෙන්නෙ කියල දැනගන්න. එතනදි තමයි පාඨකයාගේ හද මනස කම්පනයට හෝ සංවේදීතාවට ලක්වෙන්නෙ. 
 
මෙය හොඳින් ම වටහා ගන්න නම් තනුජා අයගමගේ ‘‘තිරිසනා සහ තිරිසනා’’ කෙටිකතාව කියවන්න. ඒ වගේ ම ඒ ලේඛිකාවගේ ම ‘‘අටා නාටා චූනා’’ කෙටිකතාවත් කියවන්න.
 
චරිත කියන කොටස ගත්තොත් කෙටිකතාවක නවකතාවක වගේ චරිත බහුලව ගැවසෙන්න බැහැ. එහෙම වුනොත් ඒ ඒ චරිත හසුරුවාගන්න රචකයාට හෝ රචකාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
 
අවස්ථාව ඉතාම වැදගත්. සමහර විට එක් දවසක සිදුවීමක් වෙන්න පුළුවන්. ඇතැම් විට පැයක සිදුවීමක් වෙන්න පුළුවන්. ඒ ඒ අවස්ථාවල කථකයාගේ හෝ කථකාවගේ මනෝභාව මොනවගේ ද යන්න ඉතා මැනවින් පිළිබිඹු වෙන්න ඕන. මෙය ඉතාමත් පැහැදිලිව ම අවමබෝධ කරගන්න නම් ඇන්ටන් චෙකොෆ්ගේ  ‘‘ලිපිකරුවාගේ මරණය’’ කෙටිකතාව කියවන්න.
 
  
මෙතනදි ශෛලිය කියල ගත්තේ කෙටිකතාව නවකතාවකට වඩා වෙනස් භාෂා රටාවක් කෙටිකතාවට යොදාගත යුතුයි. උපමා, උපමේය නොතිබිය යුතු නැහැ. නමුත් ඒවා සීමාසහිත විය යුතුයි. වර්ණනා අවම විය යුතුයි. හැම තත්ත්පරයකම කියවන්නා තුළ කුහුලක් ඇති කළ යුතුයි.
 
 
ඒ එක්ක ම කතාවට අදාළ පරිසරය තුළ පාඨකයා අතරමං කරන්න පුළුවන් තත්ත්වයක් තිබිය යුතුයි.
 
මෙතනදි පැහැදිලි කරන්න වුවමනා වැදගත් ම කාරණයක් තියෙනවා. සාම්ප්‍රදායානුකුලව නම් කෙටිකතාවේ මුල, මැද සහ අග පිළිවෙලට ගැළපිය යුතුයි කියල කියනවා.
 
 නමුත් නව්‍ය කියවීමක් සහිත සමාජයේ එහෙම ම වෙන්න වුවමනා නැහැ. අතීත සිද්ධියකින් ආරම්භ කරල අවසානය වර්තමානයට ගේන්න පුළුවන්. ඒ අකෘතිමය හරඹය කරන්න පුළුවන් වෙන්නේ රචනා කරන පුද්ගලයාගේ දක්ෂතාව අනුවයි.          
 
 
 
සිංහල කෙටිකතාවේ ආරම්භය හා විකාශනය:
අපි දන්නවා සිංහල සාහිත්‍යයේ ආරම්භය සිදු වන්නේ අනුරාධපුර යුගයෙන් කියල. ගද්‍ය හා පද්‍ය යන දෙඅංශයෙන් ම අපේ සම්භාව්‍ය සාහිත්‍ය පෝෂණය වුණා. 
 
ගද්‍යත් පද්‍යත් ආභාසය ලැබුවේ බණකතාවෙන් කියලත් අපි බොහෝ දෙනෙක් දන්නව. ඉංග්‍රීසි ආධිපත්‍යයේ මුහුණුවර ද මේ වෙනස් වීමට බලපෑවා. ගද්‍ය සාහිත්‍ය බණකතාවෙන් මිදිල සමාජගත වුනා. 
 
විශේෂයෙන්ම සිංහල ප්‍රබන්ධ කතා බටහිර (යුරෝපීය) අත් උදව්වෙන් සිංහල පාඨකයා අතර ජනප්‍රිය වුණා. 1905 ‘‘මීනා’’ ලියැවෙන විට පවා ප්‍රබන්ධ කතාව පාඨකයා අතර කතාබහට ලක්වෙමින් තිබුණා. 
 
1944 මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළිය නවකතා පළ කරද්දි සිංහල නවකතා හුඟක් දුර ඇවිත් තිබුණා. 
 
නමුත් ඒ කතාව සිංහලයේ ප්‍රථම යථාර්ථවාදී නවකතාව විදියට ඉතිහාසගතවෙලා තියෙනවා. 
 
සිංහල කෙටිකතාව ද මේ අතරතුර සමාජයේ තැනින් තැනින් මතු වුණා. කුඩා ප්‍රමාණයේ පුවත්පත්වල මෙම කෙටිකතා පළ වුණත්, 1923 මාර්ටින් වික්‍රමසිංහගෙ ‘‘ගැහැනියක්’’ කෙටිකතා සංග්‍රහය අපේ විශේෂ අවධානයට යොමු වුණා. 
 
මම නම් ඒකෙ වරදක් දකින්නෙ නැහැ. ඒ වගේ ම සාහිත්‍ය පොත පත ඇසුරු කරණ බොහෝ දෙනෙක් දන්නවා දහනව වන සහ විසිවන සියවස්වල යුරෝපයේ කෙටිකතා ඉහළ මට්ටමකින් ප්‍රචලිතව තිබුණු බව. නමුත් ඒ තත්ත්වය 1923 ආසන්න යුගය වනතුරුත් ලාංකික පරිසරයේ ව්‍යාප්ත වුණේ නෑ.
 
 
සද්ධර්ම රත්නාවලිය, ජාතකපොත, අමාවතුර, බුත්සරණ වැනි බණකතා සාහිත්‍යයෙන් අමන්දානන්දයට පත්ව හිටපු අපේ සිංහල පාඨකයාට කෙටිකතාව අපූර්ව සාහිත්‍යාංගයක් වුණ බව කිසිඳු සැකයක් නෑ. ඉතා කෙටිකලෙකින් සිංහල කෙටිකතාව පාඨකයා අතර වඩාත් ප්‍රචලිත වීමෙන් ඒක පැහැදිලි වෙනවා. 
 
 
 
විශේෂයෙන් ඉංග්‍රීසි උගත් සිංහල පාඨකයො මේ වෙද්දි යුරෝපයේ ව්‍යාප්තව තිබූ කෙටිකතා කියවීමට පෙළඹිලා හිටියා. 1923 ‘‘ගැහැනියක්’’ කෘතිය පළවීමත් සමග ම සිංහල පාඨකයාට ඒකය අලුත් අත්දැකීමක් වුණා. 
 
කෙටිකතාව සඳහා ජනප්‍රිය ලේඛකයො වුණ රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ්, ගොගොල්, පුෂ්කිං සහ ප්‍රංශ  ලේඛක ගීද මෝපසාං යන ලේඛකයො අපේ පරිසරය තුළත් ජනප්‍රිය වුණා. 
 
ඇන්ටන් චෙකෝෆ්ගේ ප්‍රකාශයක් වුණ ‘‘කෙටිකතාව යනු ජීවිතයේ ම පෙත්තකි’’ යන කියමනත් සැබෑ ජීවිත අත්දැකීම් එතුළින් විවරණය වීමත් නිසා කෙටිකතා සමාජය පුරා ව්‍යාප්ත වුණා. 
 
මේ නිසා ම කෙටිකතාවක් යනු කුමක් ද ? යන්න විග්‍රහ කිරීමට කතුවරු උත්සුක වුණා. විශේෂයෙන් යුරෝපීය (බටහිර) විචාරකයන් කෙටිකතාව හඳුන්වා දිල තියෙන්නෙ කොහොම ද? යන්න විමසීමට අපේ ලේඛකයෝ උනන්දු වුණා.
 
 බටහිර විචාරකයින් අතරින් ජෝසප් බර්ග් එසවීන් නම් විචාරකයාගේ මතය විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් වුණා. ඔහු කෙටිකතාව යනු කුමක් ද යැයි, පවසනවාට වඩා කෙටිකතාවක් නොවන්නේ කුමක් ද යන්න විවරණය කර තිබෙනවා.
 
‘‘කෙටිකතාව සංක්‍ෂිප්ත නවකතාවක් නොවේ. එය උපාඛ්‍යායනයක් නොවේ. එය කෙටුම්පතක් හෝ උපාඛ්‍යායනයක්  නොවේ. එය චරිත කතාවක් නොවේ. එය හුදු චරිතාලේඛනයක් නොවේ. එය කතාන්දරයක් නොවේ.’’ යනාදි වශයෙන් කෙටිකතාවක් නොවන කරුණ මේ විදියට පෙළගස්වපු එසවින් බර්ග් නම් විචාරකයා කෙටිකතාවක වන්නේ කුමක් ද? යන්න විග්‍රහ කරේ මේ විදියට. ඇත්තට ම ඒව ජාත්‍යන්තරව පිළිගත් කෙටි කතා ලක්ෂණ ලෙසත් හඳුන්වන්න පුළුවන්.
# සියල්ල අභිභවා සිටින එක් ප්‍රබල සිද්ධියක් තිබීම.
 
# ඉස්මතුව පෙනෙන එක් ප්‍රධාන චරිතයක් තිබීම පරිකල්පනයෙන් යුතු වීම.
 
# කතා වින්‍යාසයක් තිබීම.
 
# සියල්ල එකට කැටි වී තිබීම.
 
# සංවිධානාත්මක බවක් තිබීම.
 
යනාදි ලක්ෂණ තමයි ඔහු සඳහන් කළේ
 
සිංහල කෙටිකතා පිළිබඳ සාකච්ඡා කරන විට මාර්ටින් වික්‍රමසිංහයන් කලාත්මක කෙටිකතාවක තිබිය යුතු ලක්ෂණ සමූහයක් පෙළගස්වා තිබෙනවා. ඒ මෙන්න මේ විදියට
 
# එකම සිදුවීමක් මුල්කොටගෙන රචිත කතාව.
 
# චරිතාංගයක් නිරූපණය සඳහා ලියන ලද ආඛ්‍යානයක්සිදුවීම් කීපයක් ඇසුරින් රචිත කතාවක්.
 
# කිසියම් අවස්ථාවක මිනිසෙකුගේ සිතට නැගුණු හැඟීමක් විවරණය කරනු සඳහා කරන ලද රචනය.
 
# කෙනෙකුගේ යටි සිතෙහි සැඟවුණු හැඟීමක් හෙළිකෙරෙන විවරණය.
 
# කිසියම් සමාජ තත්ත්වයක බින්දු මාත්‍රයක් විදහාපාන කතාව.
 
 
මාර්ටින්  වික්‍රමසිංහ මේ අදහස් ඉදිරිපත් කරල තියෙන්නෙ ඔහුගේ "වහල්ලු" කෙටිකතා සංග්‍රහයේ ප්‍රාස්ථාවනාවෙ.
 
මෙම ප්‍රමිතීන්ට අනුව ලියැවුණු මුල්ම කෙටිකතා සංග්‍රහය ලෙස සැලකෙන්නෙ 1923 වික්‍රමසිංහ විසින් රචිත ගැහැනියක් නමැති කෙටිකතා සංග්‍රහය.
 
මේ විදියට සිංහල කෙටිකතාවේ ආරම්භය හා විකාශනය පිළිබඳ විමසද්දි අදහස් තුනක් ප්‍රචලිතව පවතිනවා.
1. සිංහල කෙටිකතාව අපේ පැරැණි බණ කතාව ඔස්සේ ජන්මය ලැබූ බව.
 
2. ඍජුවම බටහිර කෙටිකතාවේ ආභාසයෙන් ඇරැඹුණ බව.
 
3. අපේ පැරැණි බණකතාවෙනුත් බටහිර බලපෑමෙනුත් යන අංශ දෙකෙන්ම ආභාසය ලැබිච්ච බව.
 
 
දැන් අපි බලමු සිංහල කෙටිකතාව ජනප්‍රිය කරවන්න අතීත යුගවල දායකත්වය සැපයූවෙ කවුද කියල. 
 
ඒ අය අතර: 
 
ඩබ්.ඒ.සිල්වා, (1927) 
 
හේමපාල මුනිදාස (1946) 
 
ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වා(1955) 
 
මාර්ටින් වික්‍රමසිංහ(1924) 
 
ජී.බී.සේනානායක(1945) 
 
යන අය හඳුන්වල දෙන්න පුළුවන්.
 
 
ඒ වගේ ම මෑත කාලීන කෙටිකතාකරුවන් වන කේ.ජයතිලක, මඩවල එස්.රත්නායක, අජිත් තිලකසේන, සයිමන් නවගත්තේගම, ජයතිලක කම්මැල්ලවීර, ඇරැව්වල නන්දි මිත්‍ර යන පිරිස අමතක කරන්න බැහැ.
 
මුල් කාලීන කෙටිකතාවලට වඩා මෑත යුගයේ විසූ මෙම ලේඛකයින්ගේ කෙටිකතා තේමාව, ආකෘතිය, භාෂාව, ජීවිතාදර්ශය ආදී දේවලින් ප්‍රබල වෙනස්කමක් දක්වන බව අපි අමතක කරන්න හොද නැහැ.
 
නූතන ම පරපුර නියෝජනය කරන: කේ. කේ. සමන්කුමාර, ලියනගේ අමරකීර්ති, තිළිණා වීරසිංහ, තරංගා රණසිංහ, ප්‍රභාත් ජයසිංහ, අනුරසිරි හෙට්ටිගේ, සුදර්ශන සමරවීර, අනිල් හේරත් ආදි  ලේඛක ලේඛිකාවො කලින් සඳහන් කරපු දෙපිරිස ම අභිභවා යන්න සමත් වෙලා තිබෙන බවත් අපි අමතක කරන්න හොඳ නැහැ.
 
‘‘සංස්කෘතික සායන’’ වැඩමුළුවේ දී විචාරය සම්බන්ධයෙන් මම පවත්වපු දේශනයත් මේ ආකාරයට ම පළ කිරීමට බලාපොරොත්තු වෙනවා.
 
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
කියවන්න 
 
 
 

 

 

 


 

 

දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව

 
 
ජනපතිගේ සහාය විමල්ට ?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්