හිටපු  සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ, නිශ්ශංක සේනාධිපතිගෙන් බිලියන දෙකක වන්දි මුදලක් ඉල්ලා, එන්තරවාසියක් යැවූ බව වාර්තාවේ. 
 
 
මේ සංසිද්ධිය එක්සත් ජාතික පක්‍ෂයට බද්ධ ප්‍රජාතන්ත්‍රවාදි ළබැඳියන් තම නායකත්වයට යවන එන්තරවාසියක් බවට පරිවර්තනය වීමේ ඉඩකඩ බොහෝය. හේතුව දිල්රුක්‍ෂි පාවා දුන් තක්කඩියන් එක්සත් ජාතික පක්‍ෂයේ පැවැත්මට වින කටින නිසාය. 
 
නිශ්ශංක සේනාධිපති සහ දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ සංසිද්ධිය වරදකාර ගජ මිතුරෙකු බේරා ගැනීමට එජාප කැබිනට් කැබිනට් සගයෙකු රජයේ නිලධාරියෙකු උපක්‍රමශීලීව බිලි දීම නිල වශයෙන් තහවුරු වීමකි. 
 
එක්සත් ජාතික පක්‍ෂය ඒ ගැන නිල වශයෙන් ඊට ප්‍රතිචාර දැක්විය යුතු වේ. ආගන්තුක සිද්ධින් හරහා ඉස්මතු වන දූෂිතයන් නිරාවරණය කිරීම කීවෙනිදෝ ආණ්ඩුව ලෙස දැක්වෙන, මාධ්‍ය සතු වගකීමකි. 
 
වෝටර්ගේට් සිද්ධිය ඊට උදාහරණයකි. රනිල් වික්‍රමසිංහ මාධ්‍ය ගණන් ගන්නේ නැත. එහෙත්  රනිල්ගේ දේශපාලනය කොළපතට සහ පොල් කට්ටට සීමා වී හමාරය. 
 
ඇවන්ගාර්ඩ් දිල්රුක්‍ෂි සිද්ධිය වෝටර්ගේට් මෙන් කුණාටුවක් විය හැකිය. හෝ කුණාටුවක් කරගත හැකිය. 
 
 SIL FEA p23 සුපිරි 01
ඇවන්ගාර්ඩ් - දිල්රුක්‍ෂි සිද්ධිය වෝටර්ගේට් මෙන් කුණාටුවක් කරගත හැකිය. 
 
 
 
ආසන්න වසර විසි ගණනක් අතපය බැඳ වළ දමා තිබූ එජාපයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රිය විය යුතු මොහොත එළෙඹෙමින් පවතී. 
 
නිර්දෝෂි රාජ්‍ය නිලධාරියෙකු ගජ මිතුරෙකු වෙනුවෙන් අමු අමුවේ පාවාදීමේ වගකීම එජාපය භාර ගන්නවාද? එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර වහා පිළිතුරු දිය යුතුවේ. 
 
 
යහ පාලන රජය නියෝජනය කළ එජාප කැබිනට් ඇමතිවරුන් නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනී සිටීම, එජාපය අනුමත කරනවාද?  එය එජාප දේශපාලන සෞඛ්‍ය පිළිබඳ ලිට්මස් පරීක්‍ෂණයකි. 
  
මෙවන් පරිසරයක ජනාධිපති අපේක්‍ෂකයෙකු නම් කිරිම තබා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට විනය පරීක්‍ෂණයක් කිරීමට හෝ එජාපයට සදාචාර අයිතියක් තිබේද?  
 
අමාත්‍ය වජිර අබේවර්ධන, ඇවන්ගාඩ් බලවතාගේ ගජ මිතුරෙකි. නො නිල අනපේක්‍ෂිත මොහොතක අමාත්‍යවරයාට, එවකට අල්ලස් හෝ දූෂන විමර්ශණය කිරිමේ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මුණ ගැසෙයි. 
 
අමාත්‍ය අබේවර්ධනට වහා නිශ්ශංක සේනාධිපති පිළිබඳ අල්ලස් විමර්ෂණය සිහිපත් වේ. වජිර වහා නිශ්ශංක සේනාධිපති සිය දුර කථනයට සම්බන්ධ කර  දිල්රුක්‍ෂිට දිගුකර, මේ කෝල් එකේ ඉන්න කෙනාට ටිකක් සවන් දෙන්නැයි ඉල්ලා සිටියි. දිල්රුක්‍ෂි අමාත්‍යවරයා හමුවේ දෙවතාවක් නොසිතීම නිසා අසරණ  වූවාට සැක නැත. 
 
නිශ්ශංක සේනාධිපති සිංගප්පුරුවේ රෝහලක සිට මාධ්‍යයට මුදා හරින ලද්දේ මේ දුර කතන කතාබහ බව කියති. 
 
 108929027 20190924 164314
එවක සිංගප්පූරුවේ සිටියේ යැයි පැවසුනු නිශ්ශංක සේනාධිපති
 
 
වජිරගේ මේ නිර්ලජ්ජී හැසිරීම, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගාල්ලේ ප්‍රසිද්ධ රැස්විමකදී සවිස්තරව හෙළි දැක්වීය. 
 
ඒ හඬපටය ස්ථාන  10ක් නැවත නැවත සංස්කරණය කළ එකක් බවට රජයේ රස පරීක්‍ෂක තහවුරු කළ බව නොබෝදා වාර්තා විය.
 
 
(අ) ඇවන්ගාර්ඩ් සමාගමට නිකුත් කළ ගිනිඅවි බලපත්‍ර ගැන ප්‍රශ්න කිරීමට කැඳවූ දමයන්ති විජයරත්න හෝ ඊට සමාන නමකින් දැක්වෙන ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරිනියක අනවසරයෙන් විදේශගතවීමට ඉඩ හැරීම, 
 
 
(ආ) සිල් රෙදි නඩුවේ දෙවන චුදිතව මහාධිකරණ ඇප ලබා සිටි වැඩ තහනමට ලක් කිරීමට නියමිතව සිටි, අනුෂ පැල්පිට තව දුරටත් රාජ්‍ය සේවයෙහි රඳවා ගැනීම, 
 
 
(ඇ) එකී අධි චෝදනා ලත් තැනැත්තා අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම යන විෂමාචාරයන් අමාත්‍ය අබේවර්ධන, චේතනාන්විතව සිදු කළ බවට මාධ්‍ය චෝදනා නැගීය. දමයන්ති විජයරත්න ආපසු ගෙන්වා ගත හැකිව තිබුණද ඇවන්ගාර්ඩ් විමර්ශණ යට ගැන්වීමේ අරමුණෙන් අමාත්‍ය අබේවර්ධන, අදාළ පියවර ගත්තේ නැත.  
 
එකල විදේශ කටයුතු අමාත්‍ය වරයා, ඇවන්ගාර්ඩ් ව්‍යාපරය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා තමා බව පාර්ලිමේන්තුවේදී  පිළිගත් ජනාධිපති නීතිඥ තිලක් මාරපන විය. 
 
ඇවන්ගාර්ඩ් සිද්ධියේදී වජිර, මාරපන එජාප අමාත්‍යවරුන් දෙදෙනාගේ අනවශ්‍ය අතපෙවීම් නකර කිරීමේ වගකීම් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී තිබිණ. 
 
එහෙත්  එජාප නායකයා රටේ අගමැති ලෙස පාර්ලිමේන්තුවේදී, අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ වගකීම තමා භාර ගන්නා බවට ප්‍රකාශ නො කළා නම් අර්ජුන් මහේන්ද්‍රන්ට එදා රටින් බැහැර වීමට අවසර නොලැබේ.  
 
විමල් වීරවංශ වංචනික ගමන් බලපත්‍රයක් සමග කටුනායක ගුවන් තොටේදී රඳවා ගත් අවස්ථාවේත් අගමැති වික්‍රමසිංහ මේ ආකාරයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා වනසේ ක්‍රියා කළේය. 
 
ගෝඨාභයගේ පුත්‍රයෙකු අනවසර ඩොලර් ප්‍රමාණයක් සමග හසුවූ අවස්ථාවක සිද්ධියට මැදිහත්ව රනිල් වික්‍රමසිංහ සැකකරු මුදා හැරීමට ක්‍රියා කළ බව විජේදාස රාජපක්‍ෂ, මෑතකදී  හෙළි කළේය. දුලාංජලි හොර නෝට්ටු සමග හසුවූ විට, මහින්ද රාජපක්‍ෂ කියා කළ ආකාරයද සැලකිල්ලට ගත් විට, රාජපක්‍ෂලා, වික්‍රමසිංහලා සහ ප්‍රේමදාසලා උනුන්ගේ වාසියට චේතනාන්විතව බලය අවභාවිත කරන බවට තවත් සාක්‍ෂි අවශ්‍ය නැත.  
 
මේ සියල්ල සමාලෝචනය කළ විට, රනිල් වික්‍රමසිංහ යහ පාලන කාලයේ හොරුන් බේරුවා පමණක් නොව, සිය ඇමති සගයන්ට එසේ කිරීමට, සහාය දුන් බවද තහවුරු නොවේද? මේ සිද්ධින් හරහා රනිල් වික්‍රමසිංහ එක්කෝතම නිල බලය දැඩි සේ අයථා ලෙස භාවිතා කිරීමේ ඇබ්බැහිකමකින් යුතුව හැසිරුණ බව තහවුරුවේ. 
 
මේ නිරාවරණය වන්නේ 2024 එජාප ජනාධිපති අපේක්‍ෂකයාගේ මානසික ස්වභාවය සහ වගවීමේ රටාවය. අදටත් අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණයට භාරදීමේ වගකීමක් එජාප නායකයා ලෙස රනිල් වික්‍රමසිංහට පැවරෙයි. 
 
2020 මහ මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුව එජාපයට නොව රනිල් වික්‍රමසිංහට එරෙහි එකකි. 
 
නීති විරෝධි ගණුදෙණු පිළිබඳ විමර්ශනයකට අවශ්‍යව සිටි  නිශ්ශංක සේනාධිපති නැමැත්තාට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් වරිය සමග කතා කළ යුතුව තිබුණා නම් තම නීතිඥයෙකු සමග එකී නිලධාරිනිය හමුවීමට හැකියාව තිබිණ. 
 
මෙහිදී සිදුවුණේ ඇමතිවරයෙකු ලවා, නිශ්ශංක සේනාධිපති  ඇයව කොටු කරවා ඇයගේ විශ්වාසවන්ත භාවය පළුදු කරවීමය.  
 
 108929025 20190924 171208 
 
උක්ත දුර කථන සාකච්ඡාවේ හඬ පටය 2019දී  සිංගප්පුරුවේ රෝහලක සිට ඒකපාක්‍ෂිකව නිශ්ශංක සේනාධිපති මාධ්‍යට මුදා හැරීම කුමන්ත්‍රණකාරි ක්‍රියාවේ සාමාජිකයෙකු නොවූ බව සහ තමා ඊට චේතනාන්විතව සහභාගි නොවූ බව වජිර අබේවර්ධන එජාපයට තහවුරු කළ යුතුවේ.
 
දිල්රුක්‍ෂිගේ එන්තරවාසිය හරහා යහ පාලන කාලයේ හොරුන් රැක්කා යන රනිල්ට එරෙහි චෝදනා යළි අලුත් වේ.  එයින් එජාපයේ අතීත කීර්තියට මෙන්ම, අනාගත ජයග්‍රහණයන්ටද හානියකි.   
 
ජනතාව 2015දී ජයග්‍රහණය කරවූයේ එජාපය නොවේ.  යහ පාලනය නම් රාජ්‍ය සංකල්පයයි. ඊට නායකත්වය දුන් මාදුළුවාවේ සෝබිත හිමියන්ගේ 'සාධාරණ සමාජයක් කරා ව්‍යාපාරය'ද රනිල්ගේ ගෝල බාලයන් නිසා, අපකීර්තියට ලක් විය.  
 
ඇවන්ගාර්ඩ් සිද්ධියට පැටලුන වජිර අබේවර්ධන සහ තිලක් මාරපන දෙදෙනාම එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වෙති.  වජිර එක්සත් ජාතික පක්‍ෂයේ වර්තමාන සභාපති වරයාය. 
  
එජාපය මේ දිනවල ප්‍රාදේශීය සංවිධාන බල ගන්වමින්  සිටින්නාහ.  ඒ කාර්යයෙහි නියැළි මිතුරෙකු මට හමුවිය. හැට අට හැවිරිදි මගේ මිත්‍රයාට අනුව, සංවිධායකයන් සොයා ගැනීම අපහසු නැත. එහෙත් ඔවුන්ට රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් පවතීද? යන්න  ගැටළු සහගත බවය. 
 
“ඉස්සර යූඇන්පී කියලා පොල් ලෙල්ලක් දැම්මත් සතියෙන් පිකප් කරනවා. හමුදා සොල්දාදුවෙකු යයි කියාගත්  පොල්ගහවෙල සුනිල් රන්ජන් ජයකොඩි ගැන අල්ලපු ගමවත් දැන සිටියේ නැත. කාගෙන යන ගතිය මිස වෙන කිසිදු හයියක් ඔහුට තිබුණේ නැත. කථිකත්වයක් නොවීය. කඩවසම්ද නැත. නිවෙසකට ගොඩ වැදී හැසිරෙන විදිය පවා අවුල්ය. එහෙත් ඇම්.ඩී. බණ්ඩා නියෝජනය කළ පොල්ගහවෙලට ජේ.ආර්.ට අවශ්‍ය වුණේ  ඩඩ්ලිවාදි ඇම්.ඩි. බණ්ඩාලා වැනි ප්‍රභූ පන්තියට රිදවිය හැකි අපතයෙකි.  එකල එජාපය යනු ඕනැ චරිතයක් වැර ගැන්විය හැකි බලවේගයකි. ජයකොඩි එජාප සංවිධායක බව අසා, පාක්‍ෂිකත්වයෙන් ඔහු වටකර ගත්හ. 
 
එදාත්  ආණ්ඩුව සිටියේ අද වාගේම පාරට බහින්න බැරිවය. එදා එජාපය කෙරෙහි පැවති ආදරය භක්තිය විශ්වාසය අද තිබේද? සමාජය තුළ හුදෙකලාවූ ගමේ යූඇන්පී කාරයන්ට ඇම්මක් ඇත. එහෙත් කඩාගෙන යන ගැම්මක් නැත. මේ සියල්ල අතර, අලුතින් පත්වන සංවිධායකයන්ට රනිල් අනාගත ජනාධිපති බව ගෙයින් ගෙට කියමින් යන්ටත් සිදුවී ඇත.” ඔහු කතා කළේ දැඩි කළකිරිමෙනි. 
 
“ඇයි මේ ගැන පක්‍ෂය කතා නො කරන්නේ......” මා එසේ ඇසූවිට, මිතුරා දෙවුර සොලවා සිනාසුණා පමණකි. නැවත ඔහු දොඩමළු විය.
 
නව සංවිධායකට රනිල් ගොඩ නොදමා ගමට යා නොහැකිය. කොච්චර හේදුවත් හැමදාම මොනවා හෝ ලෙඩක් දා ගනී. සංවිධායක ගොඩ යන්නේ නායකයා ගොඩ දැම්මොත් පමණකි. එජාපය ගොඩ ගැනීම තෙවන අදියර වේ. රනිල්ලා ගොඩ දමා එජාපය දිනවීමට යාම එළුවා, තණකොල මිටිය සහ කොටියාගේ තේරවිල්ල වැනිය. 
 
 2021දී එජාපය පැරදුණේත් මේ නිසාය. මේ නිසා වර්තමාන එජාප සංවිධායකයන් විය සිදුරෙන් අහස බලන කණ කැස්බෑවා තරම් අසරණය. ජයග්‍රහණය බොහෝ දුරය. හුඟ දෙනෙක් දැන් රුවන් විජයවර්ධනට ළංවෙමින් සිටිති.  ඒ ගමට ගමේ පන්සලට එක සේ යා දෙන එජාප ආකර්ශණයට රුවන් ගැලපෙන බව දැනෙන නිසාය.
 
 
 
“රුවන් ඈලිමෑයි කියලා කියනවා නේද?  
 
Photoshop රුවන් විජයවර්ධන
 
 
 
“මොනවා කියන්න බැරිද? නායකයෙක් නටන්න, රඟන්න, වයන්න, ගයන්න දරුවන් වඩාගන්න ඕනැද?  නායකයෙක් කියන්නේ ඉමේජ් එකක්. ඩඩ්ලි කථීකයෙක්ද? කඩිසරද? කඩවසම්ද? හැබැයි මහත්තයෙක්. රුවන් වචන කිහිපයකින් බොහෝ දේ සන්සුන්ව කීමට හපනෙක්.” මම මිත්‍රයාට අභියෝග කරන්නට ගියේ නැත.
 
සංවිධායකයන් මුහුණ දෙන ගැටලුව නම් සත්‍යයකි. 20200 මැතිවරණයේදි කළුතර තෙවරප්පෙරුම, අම්පාරේ දයා ගමගේ, කුරුණෑගල අඛිල විරාජ් කාරියවසම්, පුත්තලමේ රංගේ බණ්ඩාර, ගම්පහෙන් රුවන් විජයවර්ධන පැරදුණේ රනිල්ගේ හෙවනැල්ලේ පැවති ඇද කුද නිසාය. 
 
යහ පාලන කාලයේ අර්ජුන් මහේන්ද්‍රන්ලා වජිරලා, සාගලලා රනිල්ලාගේ ක්‍රියාකාරකම් වල සියලු පව් පල දුන්නේ එජාප අපේක්‍ෂකයන් මතිනි. 
 
2020 මාර්තු මැද සතියේ එජාප මන්ත්‍රීන් කී දෙනෙකු නම් රනිල් හමුව අපි යන්නේ යූඇන්පීය එපා වෙලා නොවේ සර්ත් එක්ක හිටියොත් පරදිනවා” කියා නොගියේද? 
 
2020 එජාපයෙන් තරඟ කොට, පැරදී තවදුරටත් දේශපාලනය කරන කිසිවෙකු හෝ තවදුරටත්  රනිල්ගේ නායකත්වය අනුමත කරයි නම් ඔවුන් දේශපාලනයට නම් සුදුසු නොවේ.
 
පවත්නා ආණ්ඩුව බිංදුවට වැටී හමාරය. විකල්පයක් සොයන  වර්තමානයේ මැතිවරණ සිතියමේ එජාපය ස්ථානගතවීම කෙසේද? 
 
2015 අගොස්තුවේදී  ඡන්ද 5,098,916ක් ලැබූ එජාපය 2020දී ලබා ගත්තේ ඡන්ද 249,435කි. අගෝස්තුවට සාපේක්‍ෂව අහිමි කරගත්  ඡන්ද ප්‍රමාණය  4,849,481 කි. එයින්  2,771.980ක් සමගි ජන බල වේගයට ඇදී ගොස්ය.  එජාප-සජබ (රනිල් හෝ සජිත් ඊට අසමත්ය.) යළි එකතු වුණොත් ශක්තිය 3,021,415 කි.
  
 දෙ පිරිසම ප්‍රතික්‍ෂේප කළ  2077501ක් දෙනා කැඳවිය හැක්කේ කාටද?  මුර පදය එය වේ. 
 
2020 මැතිවරණයේදී මහනුවර ගමක එජාපට සමීප  පවුලක ඡන්ද 5ක් විය. එජාප කණ්ඩායම් නායකයා දිනුවොත්  එයා රාජපක්‍ෂලාට එකතුවේ යයි කවුරුත් සැක කළහ. පාර්ලිමේන්තුවේ හඬක් නැගීමට, කේ.ඩි. ලාල් කාන්තට දිනවීමේ එකඟතාවක් ඇතිවිය. මැතිවරණ දින සවස  තේ පානයේදී ගෘහණියත් ඇයගේ නැගෙණියත් දුවණියත් ඡන්ද කටුගා දැමූ බව හෙළිවිය. ජවිපෙ නිසාය. 
 
එක්ව සිටියා නම්....? පස් දෙනාම අලියාට විය හැකිය.  
 
 
 
 
Sajith Premadasa lg 700x394 1 සජබය සත්තකින්ම පක්‍ෂයක් නොවේ. රනිල් විරෝධයෙන් පිරී ගිය  මල්ලකි. මල්ලකට බලවේගයක් පක්‍ෂයක් වෙමින් යුගයක් නිර්මානය කළ නොහැකිය. 2020දී නොබෙදී සිටියා නම් රාජපක්‍ෂලා සුම්මාය.
 
  
 2015දී පොදු අපේක්‍ෂකත්වය ඉල්ලා සිටි විපක්‍ෂ නායක රනිල්ට  “නෑ තමුසෙට දෙන්නේ නෑ’‘ කියන්න සෝබිත හාමුරුවන්ට තිබුණ හයිය නායකත්වය පෞරුෂය 2018දී අගමැති  රනිල්ට තිබුණා නම් සජිත් නටන්නේ නැත. කෙනෙකුට අනෙකා හැමදාම රැවටිය නොහැකිය. ඒ පාඩම රනිල්ට එජාපය 2020දී   කියා දී ඇත.
 
2020 ප්‍රතිපලය අනුව, එජාපය සිටින්නේ ජවිපෙටත් පසුපසිනි. සජබයේ බහුතරය හිතන්නේ  දෙපාර්ශ්වය එක් වෙයි නම් එක් රැයකින් පනස් ලක්‍ෂයක් පෙළ ගැසෙනු ඇත. ඔවුන් පසුගිය කාලයේ වජිර සභාපති කමෙන් ඉවත් කරතැයි බලා සිටියහ. සාධනීය එකඟතාවක් ගැන කල්පනා කළහ. එහෙත් රනිල්ගේ  පාර්ලිමේන්තු යාමෙන්  තත්වය වෙනස් විය. 
 
රාජපක්‍ෂලා සමග පවත්නා රනිල්ගේ අඛණ්ඩ දීගය එජාපයට හානිකර බව ඔවුන්ගේ අදහසය. පවත්නා තත්වය තුළ ජනාධිපති ධුරය කෙසේ වෙතත් 2024 අගමැති පදවිය හෝ එජාපයට ලබා ගැනීමට නම් යහ පාලනයේ අගමැති වරමත් කෙළෙසූ රනිල් ඉවත්ව යා යුතුවේ. ඊට හේතුව එජාප ජන පදනම ඡන්ද දෙලක්‍ෂයට ලඝු වීම ගැන විවෘත සාකච්ඡාවකට හෝ රනිල් ඉදිරිපත් නොවීමත් වජිර වැනි පිරිහුණ පුද්ගලයන් ඉවත් නොකිරීමය. 
 
 5464654
ඩඩ්ලි සේනානායක 
 
 
1946 සැප්තැම්බර් 6 වෙනිදා ආරම්භ වූ එජාපය ලබන සැප්තැම්බර් 6 වෙනිදා 75 වෙනි වසර සපුරන්නීය. වසර 72ක් ගෙවුණ තැන සෝවියට් රුසියාවත් ඇද වැටිණ. අලියාත් එහෙම හිතනවා ඇති. එජාපයට වසර දහයක් පිරෙන විට, මන්ත්‍රී ආසන 8කි.  දා හතර වෙනි සංවත්සරය දවසේ ඩඩ්ලි එජාපයේත්  විපක්‍ෂයේත්  නායකයා විය. දහසය වෙනි සංවත්සරයේදී  ඩඩ්ලි රටේ අගමැතිව සිටියේය.  ඒ එජාපයේ ආසන්න විසි හත් වසරක් පුරා එකම නායකයෙකු නිසා දිය වෙමින් පවතී. 
 
එක්සත් ජාතික පක්‍ෂය යනු මනා විනයක් දේශපාලන සෞඛ්‍ය සම්පන්න භාවයත් ආරක්‍ෂා  කළ ගරු කටයුතු මිනිස් එකතුවකි. ඒ මිනිස් එකතුව 1977ට පසුව, කොළඹට සින්න විය. රටේ විනාසයට මිනිස් ගෞරවයට වින කැටූ මර උගුලක් ලෙස මිනිසුන්ගේ අපවාදයට ලක්විය. පරම්පරා ගණනක සාපයට ගොදුරු විය. 
 
ලංකාව නම් සංස්කෘතික උරුමයේ වටිනාකම නොදත් හරසුං කිහිප දෙනෙකු අතට පත් මේ මහා ජාතික සම්පත 2020 වනවිට අගාධයේ පතුලටම තල්ලු විය. අසාර්ථකවීම තුළ සාර්ථකත්වය තැම්පත්ව පවතී.  ඒ  පරම සත්‍යය අත්පත් කර ගැනීමට, එජාපයට අවශ්‍ය නව නායකයෙකු පමණි. 
 
රනිල් වික්‍රමසිංහ, වජිරලා කිසි විටෙක අත් නොහරි. ඒ හුදෙක් තම ආරක්‍ෂාව සඳහා ය.  රනිල් පක්‍ෂය තුළ ආරක්‍ෂාව වැඩි කර ගන්නා තරමට දූෂිතයන් බලවත් වී එජාපය දුර්වල වේ. 
 
1994 සිට 2021 දක්වා විසි හත්  වසරක එජාපයේ දුක්මුසු කතාන්තරය හෙවත් රනිල් එජාපයට දුන් නායකත්වය මෙසේ සාරාංශ කළ හැකිය. එකෙකු කනෙන් අල්ලා පාරට විසි කිරීම හැර වෙන කිසිදු පිළියමක් නැත. කාලෝ අයං තේ.
 
gd
ගාමිණි දිසානායක 
 
 
ඩඩ්ලි සේනානායකගේ නායකත්වයෙන් දේශපාලනයට අත්පොත් තැබූ අවසන් දේශපාලනඥයා ගාමිණි දිසානායක එජාපයෙන් එළවාගත්තේ රනිල් ප්‍රේමදාස දෙදෙනා ය.
 
 ඩඩ්ලි ගෙන් දේශපාලනයට පිවිසි ඩී.බී,විජේතුංග, ගාමිණි දිසානායක ආපසු කැඳවා ගත්තේය. ගාමිණි එජාපයට පැමිණීමත් සමගම පාර්ලිමේන්තු කණ්ඩායම් (විපක්‍ෂ) නායකත්වයද ගාමිණි දිසානායකට වැඩි ඡන්දයෙන් පැවරිණ.  
 
මහින්ද රටේ බලය ගත්තේත් රනිල්ට එජාප නායකත්වය ලැබුණේත් ප්‍රභාකරන් නිසාය. ඩි.එස්.ගෙන් සාමාජිකත්වය ගත් විජේපාල මෙන්දිස්ලා, ඩඩ්ලිගෙන් දේශපාලනය උගත් ධර්මදාස බණ්ඩාලා, රාජපක්‍ෂලාට එක් වුණේ  රනිල් නිසාය. 
 
කවුරු කොතැන සංධාන ගැසුවද 2020 මහ මැතිවරණයේදී සැඟවී සිටි 2077501ක් වූ  එජාප ශක්තිය 2024 දී රටේ තීරණාමක ආවේගය හසුරුවන බව තේරුම්ගත යුතුවේ.  
 
 
 
Chandrasiri Senevirathne 21(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක 
 
(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි.)

 

 

 


 

THE LEADER TV 
 
 
 
ආණ්ඩුවට අවුරුද්දයි: චමල් PBව පතුරු ගසයි! 
 
 
 
බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්