leader s

මංගල මාතර දේශපාලනය ආරම්භ කරන විට දකුණේ දේශපාලනය ඉතා බැරෑරුම් තත්ත්වයක් ඉසිලීය. දකුණේ පැවති භීෂණය විසින් ඒ වන විටත් සැලකිය යුතු තරුණ ජීවිත ගණනාවක් බිලිගෙන තිබූ නිසා, තම දරුවන්
සොයා හඬා වැළපෙමින් පාරවල් දිගේ ඇවිද ගිය සැලකිය යුතු මව්පියෝ පිරිසක් මංගල සොයා ද පැමිණියෝය. 
 
මේ අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සැලකිය යුතු පසුබෑමකට ලක් වී තිබීමත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වය පක්ෂය තුළ ම යම් අභියෝගයට ලක් වී තිබීත් හේතුවෙන්, නව නායකත්වයක් ඉල්ලා පක්ෂය තුළින්ම අරගලයක් ආරම්භ වී තිබුනි. ඒ සඳහා මුල් අවස්ථාවේ විවිධ අය උත්සාහ කළත් පසුව එය බණ්ඩාරනායක පවුල තුළ ඇති වූ තරගයක් බවට පත් විය.
 
 මින් එක් කොටසක් අනුර බණ්ඩාරනායක නායකත්වයට ගෙන ඒම සඳහා කටයුතු කළ අතර තවත් කොටසක් විජය කුමාරතුංගගේ මරණයෙන් පසුව විදේශ ගත ජීවිතයක් ගත කළ චන්ද්‍රිකා මැතිණිය නායකත්වයට ගෙන ඒම සඳහා කටයුතු කළේය.
 
මෙම කණ්ඩායම් දෙකේ අනුර බණ්ඩාරනායකගේ කණ්ඩායමේ නායකත්වය මහින්ද රාජපක්ෂ ද චන්ද්‍රිකා කණ්ඩායමේ නායකත්වය මංගල හා එස්.බී විසින් ද ගනු ලැබීය. චන්ද්‍රිකා මැතිණිය සෑහෙන කලක් රටින් පිටව සිටීම නිසාත්, ඒ අවස්ථාවේ මංගල, මහින්ද තරම් දක්ෂ සංවිධායකයෙක් නොවු නිසාත් තරගය ආරම්භ කරන විටත් අනුර පාර්ශ්වය ඉදිරියෙන් සිටියේය.
 
 
 
Mahinda Rajapaksa leading a pada yathra in 1992 Pic courtesy Lankadeepa
                        කොළඹ සිට කතරමගම දක්වා දියත් වූ පාද යාත්‍රාව
 
 
තම කණ්ඩායම් ශක්තිය උරගා බැලීම සඳහා අනුර, මහින්ද - වික්‍රමබාහු, වාසුදේව මූලිකත්වයෙන් සංවිධානය වූ අතුරුදහන්වූ පවුල්වල සමාජිකයින් සමග කොළඹ සිට කතරමගම දක්වා දියත් වූ පාද යාත්‍රාව එම තරගයේ එක්තරා හැරවුම් ලක්ෂයක් ලෙස පෙන්වා දිය හැකිය.
 
විපක්ෂයේ එක්තරා කණ්ඩායමක් විසින් සංවිධානය කිරීමත්, මුල් අවස්ථාවේ අනෙකුත් පක්ෂ ඒ සඳහා සහායක් නොදැක්වීමත් නිසා දැඩි මර්ධනයක් දියත් වූ ආණ්ඩුවකට එරෙහිව දින 17 ක් තිස්සේ දියත් වූ මෙම පාද යාත්‍රාව සාර්ථක නොවේවි යැයි බොහෝ දෙනෙකු කල්පනා කළහ. 
 
මෙහි සමහර සංවිධායකයින් පවා සිතුවේ ආණ්ඩුව විසින් මෙය අතරමග නතර කර දමනු ඇති බවයි. ඒ නිසා සංවිධායකයින්ට දීර්ඝ සැලසුමක් ද අවශ්‍ය නොවීය.
 
මට මතක හැටියට මෙම පාද යාත්‍රවේ මුල් දිනයෙන් පසුව මංගල ඊට සහභාගී වන්නේ වැලිගම සිට මාතර දක්වා වූ කොටසටය. එම අවස්ථාවට මංගල කෙසේ හෝ චන්ද්‍රිකා ද සම්බන්ධ කර ගත්තේය. ඊට දැඩි විරෝධයක් මහින්ද පාර්ශ්වයෙන් එලල වුවත්, එතැන් සිට කතරගම දක්වා මංගල සහ චන්ද්‍රිකා ද සහභාගී විය.
 
 ඇයගේ සහභාගීත්වයත් සමග ඒ පාර්ශ්වයේ සහාය ද පාද යාත්‍රවට ලැබීමෙන් එය ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවට පත් විය. දකුණේ දේශපාලනය වෙනස් කිරීමට මෙන්ම රටේ දේශපාලනය වෙනස් කිරීමට ද මෙම පාද යාත්‍රාව සැලකිය යුතු අන්දමින් හේතු විය.
 
ඉන් පසුව එවැනි ජන සහභාගීත්වයකින් පැවත් වූ තවත් උද්ඝෝෂණයක් වූයේ ජන ඝෝෂාවයි. දිස්ත්‍රික්ක කිහිපයක දියත් වූ එම උද්ඝෝෂණයත් අනුර බණ්ඩාරනායක පාර්ශ්වයේ සහාය ඇතිව මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවැත්විණි. 
 
මාතර පැවති මෙම උද්ඝෝෂණයට සහභාගී වී නැවත නිවස වෙත යමින් සිටි මහින්ද විජේසේකරගේ ආධාරකරුවෙකු වූ මාතර දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ධීවරයෙකු, එවකට ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ඒ කාලේ නම කිව්වත් බියක් දක්වන එච්.ආර් පියසිරි ඇමතිවරයාගේ අධාරකරුවන් පිරිසක් විසින් පහර දී මරා දමා තිබුණි. 
 
මෙම අවමංගල්‍ය උත්සවය සංවිධානය කිරීම එවකට මාතර නියෝජනය කළ විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මේ සඳහා නව සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මම ද ඊට සහභාගී විමි. අප විසින් ධීවරයාගේ ඝාතනයට විරෝධය දක්වා සකස් කළ පත්‍රිකාව මුද්‍රණය කිරීම එවකට මාතර තිබූ සෑම මුද්‍රණාලයක්ම අදාළ ඇමතිවරයාට තිබූ බිය නිසා ඉතා බැගෑපත්ව ප්‍රතික්ෂේප කළේය.
 
 මා මේ පිළිබඳව කතා කරන්න මංගල හමුවීමට ගියෙමි. ඔහු යන්න සිටි ගමන මඳක් ප්‍රමාද කර මගේ පත්‍රිකාව මුද්‍රණය කිරීම සඳහා ඔහු දන්නා මුද්‍රණාල කිහිපයකට ද කතා කළ ද ඒ සියල්ල විවිධ හේතු ඉදිරිපත් කරමින් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා මංගල ඔහුගේ කාර්යාලයේ තිබු රෝණියෝ මැෂිමෙන් එය මුද්‍රණය කිරීමට සියල්ල සලස්වා සෑහෙන ප්‍රමාදයකින් පසුව ඔහුගේ ගමන ගියේය. ඒ මම මංගලගෙන් උදව්වක් ඉල්ලු පළමු අවස්ථාවයි.
 
 
 
Screenshot 20210824 190536 Facebook
චන්ද්‍රිකා පොදු අපේක්ෂිකාව දක්වා ගෙන ඒමට මංගල කළ මෙහෙය අති විශාලය.
 
 
 
මේ අයුරින් අවුරුදු කිහිපයක් තිස්සේ තිරය පිටුපස දියත් වූ අනුර - චන්ද්‍රිකා බල අරගල සටනේ ජය චන්ද්‍රිකා පාර්ශ්වය විසින් දිනා ගති. එම සටන ආරම්භයේ ඉතා දුර්වල ස්ථානයක සිටි චන්ද්‍රිකා විපක්ෂයේ අපේක්ෂිකාව දක්වා ගෙන ඒමට මංගල විසින් සිදු කළ මෙහෙය ඉතා විශාලය. 
 
ඇඹිලිපිටිය සිසු ඝාතනය සම්බන්ධව සූරියකන්ද වෙත ගිය ගමන, මව් පෙරමුණ ගොඩනැගීම, දකුණු පළාත් සභා මැතිවරණයේ දී අමරසිරි දොඩන්ගොඩ මහ ඇමති කිරීම වැනි ක්‍රියාකාරකම් පිටුපස සිටියේ මංගලය. 
 
එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු විපක්ෂයේ සිටි සියලු පක්ෂ එක වේදිකාවට ගෙන එමින්, දාහත් අවුරුද්දක් තිස්සේ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දමා 1994 දී චන්ද්‍රිකා ජනාධිපතිනිය කිරීමට මංගල මූලිකත්වය ගත්තේය. 
 
මේ හැකියාවන් නිසා මංගල ජාතික මට්ටමේ නායකයෙකු ලෙස රටට දිස් විය. ඉන් පසුව රජුන් තැනීම සඳහා වූ ප්‍රමුඛම පුද්ගලයෙකු ලෙස මංගල නාමය ඉතිහාස ගත විය. 
 
 
 
Colombo, SRI LANKA:  Sri Lankan President Mahinda Rajapakse, (L) who is also the Finance Minister, speaks with Foreign Minister Mangala Samaraweera after presenting the 2006 budget in parliament in Colombo, 08 December 2005. The president raised taxes and offered subsidies to lower income groups. AFP PHOTO/Lakruwan WANNIARACHCHI  (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)
2005 දී මංගල ගේ සහය නොලැබුන නම් අද මහින්ද කෙනෙක් නැහැ..
 
 
2005 වසරේ දී වෙනස්ම දේශපාලන තීරණයක් ගෙන මහින්ද රාජපක්ෂට ඉතා තියුණු ජයග්‍රහණයක් අත්පත් කර දීම සඳහා ද සැලකිය යුතු මෙහෙවරක් සිදු කළේය. 
 
විධායක ජනාධිපති ධුරය අවසන් කිරීම ඇතුළු යෝජනාවලියක් ඉදිරිපත් කරමින් නැවතත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ සමග ගිවිසුම් ගත වෙමින් ද, ටිරාන් අලස් හරහා කොටි සංවිධානය සමග උතුරේ ඡන්ද වර්ජනයක් සඳහා නිල නොවන එකඟත්වයක් ඇති කරමින් මංගල ඒ සඳහා මැදිහත් නොවුයේ නම් එදා මහින්ද ජනාධිපති නොවීමට බොහෝ ඉඩ තිබුනි. 
 
නමුත්, මහින්ද රාජපක්ෂ ජනාධිපති කිරීමෙන් අවුරුදු දෙකක් යන්නට මත්තෙන් ඇමතිකම ද අතහැර දමා කිහිප දෙනෙකු සමග ආණ්ඩුවෙන් දොට්ට බැස්ස මංගල, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පතුරු ගැසීමට පටන් ගත්තේය. කොටි සංවිධානය සමග තිබූ සම්බන්ධතාවය පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය. 
 
මංගලගේ එම ක්‍රියාව බොහෝ දෙනෙකු සැලකුවේ එය දේශපාලන සිය දිවි නසාගැනීමක් විය හැකි බවයි. නමුත්, ඔහු එතැන් පටන් මහින්ද රාජපක්ෂ රජයට විරුද්ධව විශාල වැඩ කොටසක් කළේය. 
 
යුද ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවෙකු වූ සරත් ෆොන්සේකා 2009 වසරේ දී ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෙන ඒමටත්, ඉන් පසුව 2015 දී මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඔහු ජයග්‍රහණය දක්වා රැගෙන යාමටත් වැඩ කළේ මංගලය.
 
 z p01 I WILL
 
 
මෙම ගමනේ දී මංගල අමතක නොවන සිද්ධි කිහිපයක් මතකයේ රැදී තිබේ. ඉන් පළමුවැන්න වන්නේ 2012 ජුනි 22 දින මාතර පැවැත්වීමට සැලසුම්කර තිබු LLRC වාර්තාව ගැන නිදහසේ වේදිකාවේ සම්මන්ත්‍රණය පිළිබඳව වූ මූලික සාකච්ඡාවයි. මෙහි දී ඔහු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් කතිකයෙකු ලෙස සහභාගී කර ගැනීම සඳහා වූ යෝජනාවට ඔහු එක පයින් කැමති විය. ඒ අවස්ථාවේ දීම ඔහුට කතා කර ඒ සඳහා කැමත්ත ද ලබා ගන්නා ලදී. 
 
එමෙන්ම, ඔහුට වෙන් වී තිබූ කතාව වෙනුවට වෙනත් කෙනෙකුට එම කතාව ලබා දිය යුතු බවට ඔහු ම යෝජනා කළ අතර, ඒ සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා සුදුසු බව මංගලගේ යෝජනාව විය. මෙම රැස්වීමේ මංගලගේ කතාවක් නැති වීම අඩුපාඩුවක් විය හැකි බවට මා සමග සිටි බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසූ විට මංගල සිනාසෙමින් කිව්වේ “මගේ කතා අහල දැන් මාතර මිනිස්සුන්ට ඇති වෙලා ඇති“ කියාය. 
 
මෙම රැස්වීම මාතරට ‌‌ඓතිහාසික එකක් වූ අතර, දශක ගණානාවකට පසු දෙමළ දේශපාලන නායකයෙක් මාතර පැමිණි මුල් අවස්ථාව ද මෙය විය. 
 
ඒ නිසාම එහි ආරක්ෂාව පිළිබඳව අප සැලකිය යුතු අවධානයක් යොමු කළ අතර, මංගල කිව්වේ තමන්ගේ සම්පුර්ණ අවධානය ඒ සඳහා යොමු කරන බවත්, රැස්වීම පටන් ගැනීමට පෙර සිට අවසානය දක්වාම ඔහු රැඳී සිටින බවත්, ඔහුගේ හිතවතුන් පිරිසක් ද ආරක්ෂාව සඳහා යොදවන බවයි. 
 
අපි සැලසුම් කළ ආකාරයටම රැස්වීම ඉතා සාර්ථක පැවති අතර, හූ තැබීම් හෝ වෙනත් බාධාකිරීම් වෙනුවට සුමන්තිරන් විසින් තම අත්දැකීම් මත පදනම්ව සිදු කළ ඉතා කාලෝචිත කතාව නිසා එහි පැමිණ සිටි පිරිස් දෑස්වල කඳුළු පුරෝගෙන ඉතා සාවදානව සුමන්තිරන්ගේ කතාව අසා සිටියහ. (එම සම්පුර්ණ කතාව සමබිම පුවත්පතේ  පළ විය )
 
 
 Dg8kckDVMAEi yn
 
 
මගේ දෙවැනි මතකය ඇත්තේ අපගේ නිදහසේ වේදිකාවේ කුරුණෑගල රැස්වීමයි. එම රැස්වීමත් ඉතා සාර්ථකව පැවැත්වෙමින් තිබු අවස්ථාවේ රැස්වීම කඩාකප්පල් කිරීමට සැලසුම් සහගතව පැමිණි එවකට එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට මාරු වී සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ආධාරකරුවන් විසින් සිදු කළ අවහිරතාවයයි. ඒ අවස්ථාවේ සභාව අමතමින් සිටියේ මංගලය. ඔහුට කිසිසේත් තම කතාව කර ගැනීමට මෙම කඩාකප්පල්කරුවන් අවස්ථාව ලබා දුන්නේ නැත. 
 
කථිකයින් අතර සිටි සිරිතුංග ජයසූරිය මැදිහත් වී ඝෝෂාව දෙවනත් කරමින් වේගවත් කතාවක් කළේය. නමුත් කඩාකපල්කරුවන් ඉතා සැලසුම් සහගතව පැමිණ සිටීමත්, එම ස්ථානයේ සිටි පොලිසියේ ද සහාය ඔවුන්ට ලැබීමත් නිසා ශාලාවේ තිබු පුටු එකින් එක වේදිකාව දෙසට ගුවනින් එන්නට විය. 
 
මංගල, කරු ජයසුරිය, සිරිතුංග ඇතුලු වේදිකාවේ සිටි කථිකයින් වෙත පැමිණි පුටු ප්‍රහාරයෙන් ඔවුන් ආරක්ෂා කිරීමට යාම නිසා ෆ්‍රෙඩී ගමගේ ඇතුලු අප සංවිධායකින් කිහිප දෙනෙකුට සුළු තුවාල ද සිදු විය. නමුත්, එම රැස්වීමෙන් පසුව නිදහසේ වේදිකාවට විශාල ප්‍රචාරයක් ලැබුණු අතර, ඊට දින කිහිපයකට පසුව පැවති අනුරාධපුර ඇතුලු නගර කිහිපයක පැවති රැස්වීම් ඉතා සාර්ථක විය.
 
 
 
 10372517 10202889528630389 2293106134335806208 n
 
 
මංගල පිළිබඳ අනෙක් මතකය වන්නේ, 2014 වසරේ දී වීදියේ විරෝධය නමින් පැවති වීදි උද්ඝෝෂණ මාලාවයි. එයට එල්ල වූ පළමු ප්‍රහාරය එප්පාවල දී සිදු විය. ජයතිලක බණ්ඩාර ඉලක්ක කරමින් පැවති එම ප්‍රහාරයෙන් ඔහු තුවාල ලැබීය. 
 
මේ අතර දකුණු පළාතේ පැවැත්වෙන වැඩසටහන් වෙත ද ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවට අපට ආරංචි වූ නිසා පළාතේ සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ඉල්ලා සිටීමට අපි තීරණය කළෙමු. වැලිගම ස්ථාන තුනක දී මෙම වැඩසටහන දියත් වූ අතර, එහි පැමිණි ප්‍රහාරකයින් වෙනත් හේතුවක් නිසා එය සිදු නොකළත් පොලිසිය යොදා අපගේ වැඩසටහන් කඩා කප්පල් කිරීමට උත්සාහ ගත්හ. නමුත් නැසී ගිය ජස්ටින් ගලප්පත්ති මන්ත්‍රීවරයා අපට සහායට පැමිණි නිසා එම තත්ත්වය ද පාලනය කිරීමට අපට හැකි විය.
 
ඊළඟ දිනය යෙදී තිබුනේ මාතර වූ නිසා මා පුද්ගලික මංගලට කතා කර මේ බව කීවෙමි. තත්ත්වය තේරුම් ගත් ඔහු මාතරට අනිවාර්යෙන් සහභාගී වන බව කීවේය. මංගලගේ පැමිණීම නිසා මාතර සැලසුම ද ව්‍යාර්ථ විය. නමුත් ඉන් පසු දින දෙවිනුවරින් පසුව පැවති හම්බන්තොට වැඩසටහනට හම්බන්තොට නගරාධිපති ඇතුලු මැරයන් පිරිසක් විසින් සිදු කළ ඉතා කෲර හා මිලේච්ඡ ප්‍රහාරය නිසා ජයතිලක බණ්ඩාර ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලැබීය. 
 
අප හිතවතුන් කළ ඉල්ලීම නිසා තුවාලකරුවන් හම්බන්තොටින් මාතර රොහල වෙත ඇතුල් කරනු ලැබීය. නමුත් එහි සිටි අප හිතවත් වෛද්‍යවරුන් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකිව නොහැකි බව පැවසීම නිසා මංගලගේ ප්‍රධාන දේශපාලන හිතවතෙකු වූ උපුල් නිශාන්තගේ නිවසේ මේ අයගේ ජීවිත ආරක්ෂාව පතා නතර කිරීමට අපට සිදු විය. 
 
 
 
z p01 Join
 
කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද මංගල නිර්භීත විය; එඩිතර විය. තම දේශපාලන ප්‍රතිපත්ති වෙනුවෙන් ඕනෑම කෙනෙක්, ඕනෑම තනතුරක් අතහැර දැමීමටත් පසුබිට නොවීය. ඕනෑම අභියෝගයක් දෙවරක් නොසිතා ඔහු භාර ගත්තේය.
 
 
 
 ඔහු මාතර ගමේ කරන කතාවම කොළඹදිත් කළේය. සාමාන්‍යයෙන් දේශපාලඥයින් ප්‍රසිද්ධියේ කතා නොකරන මාතෘකා, විශේෂයෙන් ලිංගිකත්වය, පාතාලය, සංඝයා ගැන, මේ රට මෙහි ජීවත් වන සෑම ජාතියකට අයත් බව, ආගම ගැන ජාතික සමගිය මෙන්ම, වෙනත් සුළු ජන කණ්ඩායම් හි අයිතීන් ගැන ඔහු, ඔහුගේ අදහස් නිරවුල්ව හා නොබියව ප්‍රකාශ කළේය. මංගල පුරාවෘත්තයක් වන්නේ එහෙයිනි.

(පිලිප් දිසානායක)
සිවිල් සමාජ ක්‍රියාකාරික  
(සමබිම පුවත්පතින් උපුටා ගැනිණ )
 
 Philip Dissanayake Right to Life Human Rights Centre
 
 
 
 

 

 
 
 
 
 
 

THE LEADER TV 

 

කෙරවලපිටියෙන් කෙළවෙන තැනට ? | මොණරවිලගේ ලියමන

  34

එක රටට, නීතියට අලි වලි ? | අද ගොසිප් එක

41 42



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්